20 June 2018
RSS Facebook Twitter   

ඩිලාන් රාජරත්නම් අතුරුදන් වීම පසුපස “නේවි සම්පත්’’

පැහැර ගෙන ගොස් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ 2009 වසරේ දී හෝ ඊට ආසන්න කාලයක දී රඳවා සිටි ඩිලාන් රාජරත්නම් නැමැති තරුණයා මුදා හැරීමට රුපියල් කෝටියක කප්පමක් තරුණයාගේ මවගෙන් ඉල්ලා සිටි කප්පම් කල්ලිය ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙකු යටතේ ක්‍රියාත්මක වූ ඝාතන කල්ලියක් බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

ඩිලාන් රාජරත්නම් අධිකරණය ඉදිරියට පමුණුවන ලෙස ඉල්ලමින් ඔහුගේ මව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද හබයාස්කෝපුස් පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය ඒ පිලිබදව විමර්ශනයක් කිරීමට කොළඹ මහේස්ත්‍රාත්වරයාට නියෝග කොට තිබේ. එම විමර්ශනයේ දී ඊයේ (16 වනදා) සාක්ෂි දුන් ඩිලාන් රාජරත්නම් ගේ මව සඳහන් කලේ තම පුත්‍රයා පැහැරගෙන ගියේ නාවික හමුදාවේ සම්පත් මුණසිංහ නැමැති නිලධාරියා බවයි. ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ අත්අඩංගුවේ රඳවා සිටි ඩිලාන් රාජරත්නම් දුරකතනයෙන් ඇමතූ බවත් සම්පත් මුණසිංහ බාරේ තමන් සිටින බව හෙලි කල බවත් මව සාක්ෂි දෙමින් පවසා සිටියා ය.

සම්පත් මුණසිංහ නොහොත් “නේවි සම්පත්’’ ලෙස හැඳින්වෙන්නේ හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා සහ නාවික හමුදා බුද්ධි අංශයේ ප්‍රධානීන් වන ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ ය. ඔහු හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් මාෂල් ඩොනල්ඩ් පෙරේරා මහතාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරීයා වූ වින්ග් කමාන්ඩර් නිශාන්ත ගජනායක ගේ ප්‍රධානත්වයෙන් යුත් පැහැර ගෙන යාමේ, අතුරුදන් කිරීමේ සහ කප්පම් එකතු කිරීමේ කණ්ඩායමේ ප්‍රධානියා ය.

යුධ හමුදා බුද්ධි අංශයේ මේජර් කැලුම් මද්දුමගේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි යන අය මෙම කණ්ඩායමට සෙසු ආරක්ෂක අංශ වලින් අනුයුක්ත කර සිටි නිලධාරීන් ය. කරුණා අම්මාන්ගේ සමීපතමයෙකු වන ඉනයභාරතී ද මේ කණ්ඩායමේ ද සාමාජිකයෙකි.

කොළඹ සහ ඒ අවට පැහැර ගැනීම්, අතුරුදන් කිරීම් සහ කප්පම් එකතු කිරීම් සිදු කළ මෙම කණ්ඩායම ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙකුගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වී තිබෙන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය ද මෙම කල්ලියේ ක්‍රියාවක් බව රහස් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.

වත්මන් සන්ධාන රජයේ ඵලදායිතා අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා එජාපයේ සිටි අවධියේ දී පාර්ලිමේන්තුවේ කළ හෙළිදරව්වකින් පසු රහස් පොලීසිය විසින් ජයික් හිල්ටන් හෝටලයේ රැදී සිටි නිශාන්ත ගජනායක ව අත් අඩංගුවට ගනු ලැබිණ. ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ නොහොත් නේවි සම්පත් පුද්ගල පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2009 වසරේ දී අත් අඩංගුවට ගැනෙන අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අභිරහසක් ව පැවැති ඝාතන රැසක තොරතුරු හෙළිව තිබිණ. රහස් පොලීසියේ විශේෂ විමර්ශන ඒකක 01 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා විසින් නිශාන්ත ගජනායක සහ සම්පත් මුණසිංහ සම්බන්ධව රහස් පොලිස් පරීක්ෂණ මෙහෙයවන ලදී. අදාල පරීක්ෂණයේ දී මෙම ඝාතක කල්ලිය හා ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළම නිලධාරියා හා ඍජු සම්බන්ධතා හෙලි වීමත් සමග රහස් පොලිස් පරීක්ෂණ අතරමග නවතා දැමිණ.

 

 

නවතම පුවත්