27 March 2017
RSS Facebook Twitter   

මැතිවරණ නීති කැඩූ පුද්ගලයන් 394 ක් පොලිස් අත්අඩංගුවට

maanchu2015 මහමැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 394 දෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට ඊයේ (04) සවස 06.00 දක්වා කාලය තුළදී මෙම පිරිස පොලිස් භාරයට ගෙන තිබේ. 
 
පොලීසියට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස පුද්ගලයන් 60 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පුද්ගලයන් 334 දෙනා
පොලීසිය විසින් දිවයින පුරා සිදුකළ සෝදිසි කිරීම්වලදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස අතරින් බොහෝදෙනා නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ පුද්ගලයන්ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසන්නේ පොලීසිය මැතිවරණ නීති අකුරටම ක්‍රියාත්මක කරන බවයි. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පවසයි.
 
මැතිවරණය හා සම්බන්ධ පැමිණිලි 892 ක් පොලිස් දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව වැඩිම පැමිණිලි ලැබී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රමාණය පැමිණිලි 163 ක් වන අතර අඩුම පැමිණිලි වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි. 
 
මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ගණනය කිරීම්වලට ඊයේ සවස 06.00 වනවිට කැෆේ සංවිධානයට ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය 961 ක් බව එහි විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ තම සංවිධානය පැමිණිලි 783 ක් ලැබී ඇති බවයි. සී.එම්.ඊ.වී. ආයතනයට අනුව ඔවුන්ට ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය 470 කි. 

 

 

නවතම පුවත්