18 August 2018
RSS Facebook Twitter   

මාරුතය

sasasa
වළාකුලින් සගවා තරු ලෙසින් දිළෙන නුඹ නෙතු යුග
නොවිදි නෙතු කැළුම් විඳිනා සඳ මඩලක සිසිලස යට
මල්පෙති මත ඇඳුන රටා පරදා මතුවන නුඹෙ වත
සමග සිනාසෙමි තනිවම සිහින ලොවක සිසිලස විඳ

කල්පාන්ත මාරුතයක උණුසුම රැඳි නුඹ සුසුමක
පතිණි වරම අහිමි රැයක නුඹ නිදනා තනි යහනක
කවුළු දොරින් පෙරී ඇවිත් වත දිදුළන සඳ එළියක
පිසින්න අවසර දෙනවද නලියන තෙත ඇහි බැමි යට

කතා දහක් අග ඇතිමුත් නිහඩව සිටිනා මුවමත
වෙවුලන නා දළු පවසන නිහඬ කවක නවතින සිත
නුඹට හොරෙන් තුරුළු කරන් රඳවන්නට මල් ගොමුවක
සම්මතයට පිටින් ඇවිත් රැදෙනවාද අද හවසම

සසල වළා නෙතු යොමුවත් නිසල නොමැති ලොව මදකට
ඒ ගැන නොසිතා සිටින්න සසල නොවෙමි මම නුඹ ලඟ
බිඳී කැඩුන තටු පිරිමැද සුවපත් කරනට ඔසු ගෙන
දෙනවද ඉඩ ඔබේ ලොවේ බිඳකට ඉවසා දන මත

 

--http://katusuhadawatha.blogspot.co.uk/2015/02/blog-post_16.html

එන්න පුළුවන් ද වෙලාවක....මහේෂ් රත්නායක

 

perez 61727 1රිදෙන හිත පිරි මදින්නට
හිත කියන කවි අසන්නට
මද නලක දැවටී හෝ
එන්න පුළුවන් ද වෙලාවක....

නුඹ දකින එක ම තත්පරය ද
වරුවක් තරම් දිගට දැනෙනා බැව්
නුඹ දකින හැම විටම
කාලය ද මොහොතකට නවතිනා බැව්
නොම දන්නවා ඇති නුඹ...

කොහේ හෝ ඔබ ඉන්නා ඉසව්වේ හිඳ
ඇදී එන මුදු මද සුළඟේ පවා
නුඹෙ සුවඳ තැවරි ඇති බව දැනෙන හැම විට
හිත කියන කවි පද අහන්නට
පමා වෙන්නට පෙර සැදෑවට
එන්න පුළුවන් ද වෙලාවක...

 

-මහේෂ් රත්නායක

--http://awanhala.blogspot.co.uk/2015/02/blog-post.html

 

 ~~~ නපුරු කෙල්ල ~~~

මා එනු ඇතැයි බලාගෙන
අගුළු නොලූ දොර දුටිමි...

පුයර සුවඳක් හෝ හමාගෙන
එන්න ඇරි කවුළුව දුටිමි....

ඔබ උන් කුටියේ දොරත්
කවුළුවත් මගහරිමි..
යලි පුයරද හරිමි.

අන් මග ගියෙන් අප
අහම්බෙන් වත් හමුනොවන්නට
පරිස්සම් වෙමි,
සුවඳින් හෝ
ඔබ නොරිදවමි..

 

- උපේක්ෂා 

 lovablegirl

රිදෙන හිත පිරි මදින්නට
හිත කියන කවි අසන්නට
පමා වෙන්නට පෙර සැදෑවට
ඒවි ඉක්මනින්ම ඔබ ලඟට .... :)

--කුෂානි 

 

 

රිදෙන ඔය හිත පිරිමදින්නට
නිල් නෙතේ ලා රත මැකෙන්නට
හනික විත් නුඹ මානයේ හිඳ
වයමි වෙණ තත් හඬ මැකෙන්නට

උරහිසේ මගෙ හිස හොවන්නට
නෙතින් විතරක් රහස් කියනට
පපුතුරේ හදගැස්ම අසනට
හඳ එළියෙ සැඟවී මැවෙන්නද ?

- දිලිනි නිමන්තිකා  

 

 

ලොකු මැණිකේ......-අසංක ගයාන් අබේසිංහ-

full-tears-44326812ලොකු මැණිකේ උඹලා හිටි ගෙපැළ තුළ
උණුහුම දැනේ මා හට තවමත් හොඳට
කිම මා අතැර ගියෙ තනියම මේ ගමන
මාත් රැගෙන ඇයි නොගියේ මගේ සඳ

උඹෙ අඩි සද්දෙ ගෙදර පුරා ඇසේයා
සැඳෑ අඳුරෙ උඹෙ සේයා මැවේයා
ගෙදර පහන නිවුණු විලස දැනේයා
තනි හීතලේ මම හිඳිනේ කෙසේයා

දරු මුණුපුරන් නෑදෑ පිරිවරද සිටී
උන් උන්ගේ වැඩ මා හට පලක් නැතී
පපු කැනැත්තෙ උඹ හැමදා ලැගුම් ගතී
දැන් මා හට මේ හදවත අයිති නැතී

බෙහෙත් සුවඳ පිරුණයි මුළු නිවස එදා
සිරියාවයි උඹෙ කටහඬ ඇසුණු නියා
ගිනි නොමලන කුස්සි පොඩියෙ තනිව මෙමා
පපු ගින්නෙන් දැවෙමි තැවෙමි නිහඬ වෙලා

මහළු මගේ ඇස් දැවුණේ මේකටද
සැතපෙන දෙණ නිසල උඹේ දකින්නද
සංසාරේ කාහට දුක කියන්නද
එන්නද මාත් උඹෙ පස්සෙන් ඒ ලොවට...


-අසංක ගයාන් අබේසිංහ-

-http://kurutugegeepawra.blogspot.co.uk/2015/02/blog-post_12.html

සොඳුර නුඹ ලිහිණියක -මනොෂ් සඳරුවන්

loniliness-1406890

"අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින
සිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්ද ...?"

දයාබර හේමා,

ඔන්න ඔයාට පොරොන්දු වුන විදියටම ඔයාට ලියුමක් ලියනවා. හේමා මං අද හවස දෙකහමාර විතර වෙද්දි මෙහෙට ආවා. කෙලින්ම මං ඉස්කෝලෙට ආවේ. බොහොම පුංචි ඉස්කෝලයක් හේමා. මං විදුහල්පති තුමාව මුණගැහුනා. ඉස්කෝලෙ වරදක්නම් නෑ. හරිම අහිංසක ළමයි ඉන්න ඉස්කෝලයක්. දෙකට ඉස්කෝලෙ ඇරලා, ඒත් මං යනකොටත් ළමයි කිහිප දෙනෙක් හිටියා. ඉස්කෝලෙන් කිලෝමීටර් දෙකක් විතර ඈති පරණ ගුරු නිවාසයක් තියෙනවා. ගෙයක් හොයාගන්නකල් මට ඒකෙ ඉන්න පුලුවන්. ඒක ටිකක් ජරාවාසවෙලා. ඒත් මාව එතනට එක්ක ආපු ළමයි තුන්දෙනා මට උදවු කලා මෙතන අස්පස්කරගන්න. හවස් වෙනකල් වැඩකලා. දැන් නම් ඉවරයි. ළඟ ළිඳකින් නාගත්තා. අදට මං පාන් රාත්තලක් ගත්ත කඩෙන් පරිප්පු හොද්දකුත් එක්ක. ඒත් හෙට ඉඳන් උයන්න පටන්ගන්න ඕනි.

ඒක නෙවෙයි හේමා. අද මට ඔයා නැති අඩුව වෙන කවරදාකවත් නැතිතරම් දැනෙනවා. වෙනදට මං ගෙදරට එනකොට ඔයා ආදරෙන් මං ළඟට එනව දුවගෙන. ඔයාගෙ මූණ දකිනකොට හිතේ මොන කරදරේකින් ආවත්, ඇඟට මොන මහන්සියක් දැනුනත් ඒ හැමදේම අතුරුදන්වෙලා යනවා. ඔයා මට ආදරෙන් හදල ගෙනත් දෙන තේ කෝප්පෙ මාව ආයෙත් පණගහල ගන්නවා. ඒත් අද.. ඔයා මගෙන් කොච්චරනම් ඈතකද.

ඊයෙ රෑ ඔයාට මං මොන පණ්ඩිතකම් දෙඩුවත් දැන් මටත් හිතෙනවා අපිට මේ එකපාරටම මොකද්ද උනේ කියලා. තාමත් මේ ට්රාන්සර් එක මට හීනයක් වගේ. ඇත්තටම අපිට මේ මොකද්ද උනේ හේමා?

හේමට මතකද මං දවසක් සක්වා ලිහිණියන්ගෙ කතාව කියල දුන්නා. මං අර කිව්වෙ, සක්වා ලිහිණි කියන කුරුල්ලො හැම වෙලේම කිරිල්ලියි කුරුල්ලයි ඉන්නෙ එකට, ඒත් ඒ දවල්ට විතරයි. මොකද්දෝ අවාසනාවන්ත හේතුවකට උන් දෙන්නට රෑට වෙන් වෙන්න වෙනවලු. ඒකත් මහ පුදුම වෙන්වීමක්, පහුවදා එළිවෙනකල් දෙන්නට එකම ගාඟක දෙපැත්තටවෙලා මූණෙන් මූණ බලාගෙන හඬන්න වෙනවලු, හඳත් එක්ක උදාවෙන රාත්රිය ගෙවිල ගිහිල්ලා ආයෙත් ඉරත් එක්ක පහුවදාට අලුත් දවසක් උදාවෙනකල් උන් දෙන්නට මේ විදියට වෙන්වෙලා අඬන්න වෙනවා. මතකද, ඒ කතාව දවසක් මං ඔයාට කිව්වා.


අද, අපි දෙන්නත් ඒ සක්වා ලිහිණියෝ වගේ වෙලා නේද හේමා. අපිත් අපෙන් වෙන්වෙලා. අපිට අපි ළඟම ඉන්නා පුලුවන් කම තිබුනත් එහෙම කරගන්න බැරි විදියට අපිට ඈතට වෙලා හූල්ලන්න වෙලා. එදා සාහිත්යයෙනම් මේ කුරුලු ජෝඩුවට මේ අපරාදෙ කලේ රාත්රියට ලෝකෙට ආරාදනා කරපු හඳ. හඳ තමයි රාත්රිය ගෙනත් ලිහිණින්ව වෙන්කලේ. ඒත් අපිව වෙන්කරපු වරදට අපිට බෑ හඳට දොස් කියන්න. අපි වෙනුවෙන් හඳ මොනා කරන්නද. වැරදිකාරයෝ හඳ තරම් සෞම්ය නෑ. අපි දෙන්නගේ තටු කපල අපි මෙහෙම අසරණ කලේ කවුද, මොන හේතුවකටද.

මේ ගෙවෙන්නෙ අපේ ජීවිතවල දුශ්කරම කාල පරිච්ඡේදය. හරිම කටුක කාලයක් අපිට. ඒත් මේ විරහ වේදනාවන්, මේ කරදර, තානිකම දරාගෙන අපිට ඉන්න වෙනවා. ඒ අපේ ජීවිත වලට අපි ආදරේ කරන නිසා. අපි හිත් හදාගමු, මේ හැම දෙයක්ම තාවකාලික දේවල් කියලා. හේමා, මං මුලිනුත් කිව්ව වගේ හිතුව තරම් ලේසි නෑ මට ඔයාගෙනුයි දුවගෙනුයි මෙහෙම ඈත්වෙලා ඉන්න එක. ඒක හරිම, හරිම අමාරු දෙයක්, හැම තත්පරේම මට මතක්වෙන්නෙ ඔයාල දෙන්නා. සමහර විට මේ අපි අපෙන් වෙන්වෙලා ගෙවන මුල්ම දවස වෙන්නැති, ටික දවසක් යනකල් මේකට හුරුවෙන්න අමාරුවෙයි. මේ අඩුව මටත් වඩා ඔයාට දැනෙන බව මං දන්නවා.

ඉතින් හේමා, දූ මොකද කියන්නේ? තාත්ති ගැන අහනවද, එයාට තවම තේරුමක් නැති නිසා ඉඳී ඔහොම. ඒත් තාත්ති ගෙදර එන්නෙ නෑ කියල දැනුනනම ගොඩක් දුක හිතෙයි. අපි එයා වෙනුවෙන්ම ඒ කටුකබව දරාගමු. මොකද, අපිට මේ වෙච්ච දේ එයාගෙ ජීවිතේ කවදාවත් එයාට වෙන්න දෙන්න හොඳ නෑ. ඒ වෙනුවෙන් අපි එයාට මීට වඩා හොඳ අනාගතයක් හදල දෙන්න ඕනි. අපේ තටු කපල දාල අපිව මෙහෙම හිරකලත් අපේ දරුවන්ට සීමා මායිම් නැතිව පියාඹන්න ලෝකයක් හදල දෙමු. නිදහසේ පියාඹන විදිය අපි එයාලට කියල දෙමු.

මං කලිනුත් කිව්ව වගේ මෙහේ මොනතරම් දුෂ්කර උනත් හිත හොඳ මිනිස්සුන්ගෙන් නම් අඩුවක් නෑ වගේ හේමා. ඒ මිනිස්සුන්ගෙ අව්යාජ හිනාවම ඇති. කොල්ලො තුන්දෙනා තමන් වෙනුවෙන් ආව සර් කියල මං වෙනුවෙන් පුදුම මහන්සියක් උනේ හවස්වරුවම. නිදාගන්න පුලුවන් විදියට හාදාගත්තත් ස්ථිර පදිංචියටනම් මේක සුදුසු නෑ හේමා. පායන කාලෙ නිසා හොඳයි, වහලෙන් අහසෙ තරුත් පේනවා, වැහි කාලෙක එහෙමනම් ඉන්න බෑ. දොර ජනෙල් පවා සේරම අබලන්. ඒ නිසා වැහිකාලෙ එන්න කලින් ඉක්මනට කුලී ගෙයක් හරි බෝඩිං කාමරය්ක් හරි හොයාගන්නම ඕනි.

මෙහෙට කරන්ට් එහෙමත් නෑ, මේ ලියන්නෙත් හවස කඩෙන් ගෙනාපු භූමිතෙල් ලාම්පුවේ එළියෙන්. මදුරුවෝ කපුටො වගේ. ඇඟේ හැප්පුනාම අපිත් වීසිවෙන සයිස්. මදුරු කොයිල් එහෙම නැතුව හිටියොත් උන් අපිව උස්සගෙනත් යයි. ඒකයි මං ඔයාලව එක්ක එන්න අකැමතිම උනේ මේ ගමනට. ඒත් හේමා මට ඔයාල දෙන්න නැතුව ඉන්න අමාරුයි. ඒ නිසා මං ඉක්මනටම හොඳ ගෙයක් හොයාගන්නම් කුලියට. හැමදේම හරියකට පිළිවෙලක් උනාම මං ඔයාල දෙන්නවත් මෙහෙට එක්ක ගන්නම්. දූ තාම පොඩියිනේ. එයා ඉස්කෝලෙ යන කාලෙ වෙනකොට සමහර විට අපිට ආයෙමත් ගමට මාරුවක් හදාගන්න බැටිවෙන එකක් නෑ. ඒක ඒ කාලෙට බලමු. ටිකක් දුර උනත් ඉස්කෝලෙට, මං ටවුන් එක කිට්ටුවෙන් ගෙයක් බලන්නම්. එහෙම නැතුව ඔයාල දෙන්නට මෙහේ ඇවිත් ඉන්න අමාරුයි. එතකල් ටිකක් ඉවසන්න හේමා.

දැන් නම් හුන්ගාක් නිදිමතයි. ඔයා දැන් සමහර විට නිදිත් ඇති දෝණිව තුරුල්කරන්, ඔයාල දෙන්නගේ උනුහුම මට දැනෙනවා වගෙයි. මොනාකරන්නද, ලොබකමින් මතක් කරනවා හැර. හෙට උදේම ඉස්කෝලෙට යන්නත් ඕනි, මට ගණන් පංතියකුයි, විද්යාව පන්තියකුයි දෙකක්ම ලැබෙයි වගේ. හෙට තමයි ඒ දේවල් පිලිවෙලක් කරගන්න වෙන්නේ.

ඔයාල දෙන්නට ඕනි හැම වියදමක්ම ම්න් එවනවා. ඒ නිසා හොඳින් ඉන්න හේමා. ටික කාලෙකින් මං ඔයාලව කොහොම හරි එක්ක එන්නම්. එතකල් මාසෙකට වතාවක් මං ගෙදර එන්නම්. හැම සතියෙම එන්න ගියොත් එතනත් ලොකු වියදමක්නේ.

එහෙනම් මං දැන් නවතින්නම්. හොඳින් පරිස්සමින් ඉන්න. අපේ දුවට මේ කිසිම දෙයක් දැනෙන්න තරම් තේරුමක් නෑ, ඒත් එයාට මං නැති අඩුව දැනෙන්න දෙන්නපා හේමා. එයාව ආදරෙන් බලාගන්න. මගෙ කෙලි පැටික්කිට මං ගොඩක්ම ආදරේ බව කියන්න. එයාවයි අම්මිවයි ඉක්මනට තාත්ති ළඟට ගන්න බව කියන්න. එයාට තේරෙන්නෙ නැතිවෙයි. ඒත් එයාට එහෙම කියන්න. මට ඔයාල දෙන්නව හැම මොහොතකම මතක්වෙනවා. දෙන්නට බුදු සරණයි.

මීට,
ඔයාගෙ ආදරණීය රත්නේ.

සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින

අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින
සිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්ද
සඳට ‍දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය

කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියාදෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක


ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ

ගණදස කපග

 

 

 

 

 

 

 

 

 

 

https://www.youtube.com/watch?v=48sFOoUluYk

-මනොෂ් සඳරුවන්

http://masandumal.blogspot.co.uk/2015/02/blog-post.html

රතු දුඹුරු හිතදැඩි බසය -යසෝධා සම්මානි ප්‍රේමරත්න

 

red-volkswagenරතු දුඹුරු කලබල බසය
යාන්තම් උඩ පැන පැන
ගොරව ගොරවා ගාටන


'ස්‍රාස්' හඬකින් පෙරට විසිවී නවතින
ගිලගත්තු සිරුරක් දෙකක් වමාරන
ජනෙල් වීදුරු හෙමින් දිගටම වෙවුලන
කාස ඇංජිම මගදිගට කැහැ කැහැ යන


ඉතා කම්මැලි හෝන් හඬකින්
නිදිකිරන ඇස් ඇහැරන
මග බලන මල් මුහුණු පෙලකට
මහත සැර දුම් ගුලි පිඹින


රතු දුඹුරු කලබල බසය
කැස්සකුත් එක්ක හුස්මක් ඇද
'අනේ මට ඇති ලෙඩක් නෑ' කියන
බෙහෙත් පෙති කොට්ටෙ යට හංගන


හිස බමනකොට නතර කර මග කෙලවර
උස කෙට්ටු මිටි මහත
සිරුරු සේරම පාර මැදටම අත හරින
පැනඩෝල් පෙති දෙකක් විගහට ගිලින
'හාං දැං හරි යං!' කියාගෙන
ආයෙමත් ගාටන ගමන අරඹන.

බස්සි (Yash)

යසෝධා සම්මානි ප්‍රේමරත්න 

--http://bassigenawathana.blogspot.co.uk/2015/02/blog-post.html

 

පිහිතලය විනිවිද දිවූ උනුහුමක මතකය . . !

 

mother
පිළිකා අවදානමක් නිසා වයස්ගත මවගේ පියයුරක් ඉවත් කලයුතු බව වෛද්‍යවරයාගෙන් දැන ගත් මැදිවියේ දරුවෝ විස්සෝපයෙන්. - ලංකාදීප පුවතක් -

උනුහුමට තුරුල් වී පපුවට
සීරුවට කිරි උරා බිව්
තනයක් අයින් කරනවායි ඇසූ විට
කඳුලක් නොහෙලා ඉන්න ඇහකිද
මහමෙරක තරමට ආදරේ විඳපු
වයසට ගියපු උනත් දරුවන්ට

හැමෝටම හොඳ ටික බෙදා
වළඳේ අන්තිම දන්කුඩ ටිකෙත්
හොඳ ටික පිඟානකට හෙලා
වළඳේම කටක් දෙකටක් කා
බඩ පිරුනු බවක් අපිට පෙන්නා
හිනා වී අත හෝදපු . . . අම්මා

අනෙකා නොකල දේවලට
දොස් කියන එක දමා පසුවට
හැකි පමනටත් වඩා තව ටිකක්
කන් කෙඳිරියක් නැතුවම
දරුවන්ට සහෝදර සහෝදරියන්ට
යුතුකම් ඉටු කරන . . . අම්මා

කියන්න ඕනෑ වුනු දේ
පොල්ලෙන් ගැසූ සේ
කොන්ද කෙලින් තියාගෙන
මූනටදම දමා ගසා
හිතේ කහටක් නැතුව
ඒ ගමන්ම හිනා වෙන . . . අම්මා

වයසට ගියත් දරුවන්ට
දැනෙනවා දුක පපුවට
උනුහුමට තුරුලු වී
කිරි උරා බිව් තනයක්
අයින් කරවායි ඇසූ විට . . .

--http://dukaa.blogspot.co.uk/2015/02/blog-post.html

 

නිදහස සහ Independence

independenceනිදහස සහ Independence

කළු ටේල් කෝට් හැඳි
තලෙළු මිනිසුන්
ටොප් හැට් ගලවා අතට ගෙන
හිස නවා ආචාර කොට
නියම ජැන්ටල්මෑන්ස්ලා සේ
ඉල්ලුහ
"මාස්ටර් සර්
අනේ අපිටත් දෙන්න ඉන්ඩිපෙන්ඩන්ස් "

සුද්දා
ඇසුවේය
ෂුවර් දැයි
පුලුවන්ද උහුලන්න
එහි බර
ඔල්ලුකු ස්වරයෙන්ම
අධිරාජ්‍යවාදයේ සුපුරුදු

"එහෙම නෙමෙයි කොල්ලෝ
දැනට
ගනින් මේ නිදහස
හරිම සැහැල්ලුයි
හිතේ විතරයි
තියෙනවාද කියලා දැනෙන්නේ නෑ
මේ බලන්
මෙන්න මේ ධජයත්
නග්ගන්න උජාරුවෙන්
හුස්මක් ඇද , පපු කුහරේ පිරෙන්නට
ඒ දිගට කියන්නට
මේ ගීය "

තැන්ක්යූ වෙරි මච් ය සර්
ඉන්ඩිපෙන්ඩස්ම නොවුනත්
ඒ වගේ වගේය දැන්
හුටා
එතකොට මේ විලංගු
වළලුකර බැඳ තබන
බර යකඩ දම්වැලින්
සුද්දාට අමතක වෙලා
එක ගලවලා යන්න
කමක් නෑ පහුවෙලා
ගලවන්නහැ ඔහේ

හතලිස් අටේ නවසිය
බිනර මහේ දිනෙක
තලෙළු මහත්මයෙක්
හිටගෙන සීරුවට
ඔසවුයේය කොඩිය
කුඹ ගස මුදුනටම
බෝ කොළ හතර මැද
සිංහයා ඉන්න
පොපිලින්
ඉම්පොර්ටඩ් රෙද්දේ
කළු කලිසමට යටින්
කකුල් දෙකටම ඇන්ද
දැනුනි ඔහුට බර
දෙපා විලංගුවේ
හුටා
සුද්දාට අමතක වෙලා
එක ගලවලා යන්න
කමක් නෑ
පහුවෙලා
ගලවන්නහැ ඔහේ


හැට පැන්න නිදහසට
හූමිටි තියන්නට
ලය පුරා සිත් පුරා
ඒ ගීය ගයන්නට
හිටගද්දී සීරුවට
මටද දැනේ යමක්
වළලුකර තදකරන
සුදු සරම පරිස්සමට
බැලු කළ උස්සා
හුටා විලංගුව
සුද්දාට අමතක වූ
ගලවලා යන්න
කමක් නෑ ඔන්නොහෙ
තිබුනාවේ
පහුවෙලා
ගලවන්නහැ ඔහේ

--http://pinchpoints.blogspot.co.uk/2015/02/independence.html

රුදුරු සොඳුරු රාත්‍රිය -දයාසේන ගුණසිංහ

full-moon-sleepඅඳුර හළ පහන් සිළු නිවී ගිනිමැල ඇවිල

රුදුරු සැඩ තාපයෙන් දවයි පළඟැටි සිහින

සඳවතින් හිනැහුණ ද මේ කුරිරු රාත්‍රිය

නොගයන්න උන්මාද උද්දාමයේ ගීත


ගිම්හාන අහසෙහි මාරුත රළින් ඇමදෙන

වලා දුහුලක්‌ විලස සුසිනිඳු මුව පහස

හමන යටි සුළඟෙහි සැඟව දඩයම් සොයන

රැකිසියකි මේ රාත්‍රිය මරුගෙන් වරම් ලද


යහන වෙත දිගුවන ඇගෙ සරාගී බැල්ම

කැඳවයි නැවත අයදියි සලා ඇසිපිය සෙමර

පසිඳුරන් උමතුවෙන් වයන යක්‌ බෙර හඬට

සත්සියක්‌ පිරිවර ගිය මඟ පා නඟන්නට


සුන්දරත්වය විරාජිත දෙවොල අබියස

පඬිවරුනි ඇදුරනි හඬවනා තේවාව

රන්ලිය මල් විසුළ තිර හතින් මුවා කළ

දුටුවහුද රාත්‍රිය ඇයු මුව අගාදය


මතක බණ විසිර යයි ගම් දනව් මත පාව

අකාලේ වියෝ වූ පුතුන්ගේ සුවඳ ගෙන

ඇසේ මව් විලාපය බඹතලය තෙක්‌ දිවෙන

හදවතින් හිනැහුණ ද මේ කුරිරු රාත්‍රිය


'රන් තැටියක කඳුළු', 'නොවඳිමි සිදුහත', 'දොරමඩලාව' වැනි අපූර්ව පද්‍ය සංග්‍රහ රැසක්‌ පළ කරන ලද අද අප අතර නොමැති විශිෂ්ට කවියකු වන දයාසේන ගුණසිංහ කවියාගේ දොරමඩලාව (1991) පද්‍ය සංග්‍රහයට ඇතුළත් වූ නිර්මාණයකි රුදුරු සොඳුරු රාත්‍රිය. කවියා දකින රාත්‍රිය කෙබඳුද? රාත්‍රියේ සුන්දරත්වය ඉතා සූර ලෙස කලාත්මක කවි බසකින් නිර්මාණය කරනු ලබන කවියා එහි යටි පෙළින් අරුත් ගැන්වෙන බියජනක, රුදුරු සිදුවීම්දාමය කෙරෙහි සංවේදී පාඨක මනස අවදි කරනු ලබන බව පසක්‌ වේ. කවියේ අන්තර්ගතය, උපයුක්‌ත භාෂාවෙහි ජීවගුණය රමණීයත්වය, සංකල්ප රූප, කවියාගේ පරිකල්පනයේ විශද වන අපූර්වත්වය, මේ නිර්මාණය අපගේ සිත් ගැනීමට මුල් වූ කාරණා සේ දක්‌වමි. වරෙක කවියාට කුරිරු රාත්‍රියක උන්මාද උද්දාමයේ ගීත ඇසේ. ඒ ගී නොගයන්නැයි ඔහු ඉල්ලයි. අඳුර මැකූ පහන්සිළු නිවී යද්දී ගිනිමැල ඇවිලේ. ඉන් නැගෙන සැඩ තාපයෙන් පළඟැටි සිහින දැවෙයි. කුරිරු රාත්‍රියේ හදවතින් සිනාසීමට උන්මාද වූ උද්දාම ගී නොගයන්නයි කවියා පවසයි.

'හදවතින් හිනැහුනද මේ කුරිරු රාත්‍රිය' යන කාෙව්‍යාක්‌තිය පාඨක සිත් ගනී. කුරිරු රාත්‍රියක උද්දාමයේ උන්මාද ගී සොඳුරු රාත්‍රියකට කිසිසේත් නොගැළපෙන බව කවියෙන් කියෑවේ. සොඳුරු රාත්‍රියක්‌ රුදුරු කුරිරු රාත්‍රියක්‌ බවට පත්වන අවස්‌ථා රැසක්‌ කවියාගේ පරිකල්පනය මගින් අපූර්ව අත්දැකීමක්‌ බවට පත්කොට තිබෙනු පාඨක අපි දකිමු. ගිම්හාන ආකාසයෙහි මාරුත රළින් ඇමදෙන වලා දුහුලක්‌ සේ මුව පහස සුසිනිඳු මුත් යටි සුළඟට සැගැවී දඩයම් සොයන මේ රාත්‍රිය මරුගෙන් වරම් ලද රාස්‌සියකි. ඇගේ සරා ගී බැල්මෙන් ඇසිපිය සෙමෙර සලමින් අයදින්නීය, කැඳවන්නීය යහන වෙතට. යක්‌ බෙර හඬින් පසිඳුරන් උමතු වී කථකයාට ඇරැයුම් කරන්නේ සත්සියයක්‌ පිරිවර පා නගා ගිය, රැකිසියගේ යහන වෙතටද? සරාගී බැල්ම දිගු වන්නේ යහන වෙතයි. ඇසිපිය සැලෙන්නේ සෙමෙර ලෙසයි. මතුපිටින් දකින දසුන් සියල්ල සුන්දර නොවේද? වලා දුහුලක්‌ බඳු සුසිනිඳු මුව පහස, යහන වෙත දිගුවන සරාගී බැල්ම, සෙමෙර සලන්නාක්‌ බඳු සැලෙන ඇසිපිය, රාත්‍රියේ සොඳුරු අවස්‌ථාවකට ඇරැයුම් කරනු ලබන ඇමතුම්ය. එහෙත් ඒ ඇමතුම්වලින් රැවැටී, පසිඳුරන් උමතුවෙන් ගිය හොත් අත්වන්නේ කෙබඳු ඉරණමක්‌ද? සොඳුරු රාත්‍රිය රුදුරු කුරිරු රාත්‍රියක්‌ බවට පත්වන්නේ එවිටය.

රාත්‍රියේ කුරිරු බව කවියා නිරූපණය කරන්නේ අර්ථ වනියෙන් අනූන වදන් මාලාවක්‌ භාවිත කරමිනි. රාත්‍රිය මරුගෙන් වරම් ලද රැකිසියකැයි කී කල්හි පාඨක සිත්හි එක්‌වර සිත බියගන්වන ස්‌ත්‍රියකගේ රුව මැවෙයි. සත්සියයක්‌ පිරිවර ගිය පසු හමුවූ ස්‌ත්‍රිය පිළිබඳ අප අසා ඇත. මේ ස්‌ත්‍රියත් එබඳුම ස්‌ත්‍රියක්‌ද? ස්‌ත්‍රියක්‌ හා යහන් ගත වීමට අවස්‌ථාව සැලසෙන රාත්‍රියක සුන්දරත්වය අත්විඳීමට මැලිවන්නෝ කවරහුද? එහෙත් එහි කෙළවර අත්දකිනු ලබන්නේ රුදුරු බියකරු මොහොතක අත්දැකීමක්‌ නම් එහි කිනම් සුන්දරත්වයක්‌ වේද? පසිඳුරන් උමතුවෙන් වසන්නේ යක්‌ බෙරයි. එම යක්‌ බෙර හඬට වශී වී ඉතිහාස පුවතෙහි සත්සියයක්‌ පිරිවර ගිය මග පා නැගුව හොත් අත්වන්නේ කෙබඳු ඉරණමක්‌ද? කවියාගේ සංකල්පනාවෙහි අපූර්වත්වය අපට මැනවින් ග්‍රහණය කර ගැනීමට සමත් වන අයුරින් තම සංකල්පනාව, ප්‍රබල ජීවන අත්දැකීමක්‌ බවට ගොඩනගා ඇති ආකාරය ප්‍රශස්‌ත කවියකුගේ ගුණරුව ප්‍රකට කරයි. රුදුරු සොඳුරු රාත්‍රිය කෙළවර කවියා දකින්නේ කෙසේද? ඒ මොහොත පාඨක අප වෙත කවියා විසින් සමීප කරනු ලබන්නේ කෙසේද? ඒ සඳහා ඔහු විසින් තෝරා ගනු ලබන්නේ කිනම් මොහොතක්‌ද? ඒ මොහොත හෝ අවස්‌ථාවට පාඨක සහභාගිත්වයක්‌ සහිත සහානුභූතියක්‌ බවට පත් කළ හැකි වන්නේ නම් එමගින් ප්‍රකට වන්නේද අපූර්ව වස්‌තු නිර්මාණයෙහි කවියාගේ ප්‍රතිභාවයි. සොඳුරු රාත්‍රියක්‌ වීමට නම් ස්‌ත්‍රියක හා සම්භෝගයක්‌, ආදරය, ප්‍රේමය ආශ්‍රිත මොහොතක්‌ම විය යුතුද? ඊට හාත්පසින්ම වෙනස්‌ වූ එහෙත් වඩාත් හෘද සංවේදී වූ මොහොතක්‌ වෙත කවියා අප රැගෙන යන ආකාරයෙහි විනිවිද පෙනෙන ජීවිත පරිඥනය විමසීම වටී.

"මතක බණ විසිර යයි ගම්දනව් මත පාව

අකාලේ වියෝවූ දූ පුතුන් සුවඳ ගෙන

ඇසේ මව් විලාපය බඹතලය තෙක්‌ දිවෙන

සඳවතින් හිනැහුණාද මේ කුරිරු රාත්‍රිය"

කවියා තම නිර්මාණය අවසන සඳහා ගොඩනගන මොහොත කිසිසේත්ම සුන්දර හෝ චමත්කාරජනක අවස්‌ථාවක්‌ බවට පත් කොට නොමැත. තම නිර්මාණයේ ඒකමිතිය තුළ කවියා විසින් වියන ලද සොඳුරු රාත්‍රියක්‌ යටින් දිවෙන රුදුරු හෝ කුරිරු රාත්‍රියක බියකරු අවස්‌ථා තුළ සැඟවුණ භයංකර තත්ත්වයෙන් මිදී Rජුවම රුදුරු රාත්‍රියේ බිහිසුණු අත්දැකීමට කවියා පාඨකයන් සහභාගි කර ගනියි. පෙර කී අවස්‌ථා හෝ වර්ණනා සියල්ලටම වඩා විශ්වසනීයත්වය, ප්‍රධාන කොට ගත් මොහොතක්‌ යයි හැඟේ. ගම්දනව් මත පාවී විසිර යන්නේ මතක බණය. මතක බණ අසුබ හෝ දුක්‌මුසු සිදුවීමක්‌ හා බැඳුණකි. එහි සොඳුරු බවක්‌ නැත. මේ මතක බණ ගම් දනව් මත පාවී විසිරී යන්නේ අකාලේ වියෝ වූ දූ පුතුන්ගේ සුවඳ ද රැගෙනයි. දූ පුතුන් අකාලේ මියගොස්‌ ඇත්තේ කෙසේද? අකල්හි ගම් දනව් තුළ පැතිර ගිය, අනපේක්‍ෂිත රෝග පීඩාවක්‌ හේතු කොට ගෙනද? හදිසි ස්‌වභාවික ආපදාවකින් ද මේ දූ පුතුන් අකල්හි වියෝ වී ඇත්තේ ඔවුන්ගේ සුවඳ ඔවුන් අහිමි වූ මවුවරුනට පමණක්‌ නොව සංවේදී පාඨකයනට ද දැනේ. තම දූ පුතුන් අකාලයේ වියෝ වීම දරාගත නොහී මවුවරුන් නගන විලාපය බඹතලය තෙක්‌ දිවෙන බවයි කවියා පවසන්නේ. ඒ හැඬුම් හඬෙහි දැවටුණු ශෝකය වාවා ගත නොහැකි වූ දරු සෙනෙහස පාඨක අපට නොදැනේද? නිසැක ලෙසම මේ දූ පුතුන් මවුවරුන්ගෙන් උදුරාගෙන හෝ පැහැර ගෙන ගිය පිරිස්‌ විය යුතුය. ඉදින් බඹතලය තෙක්‌ දිවෙන විලාප හඬ නගන මවුවරුන්ගෙන් දරුවන් උදුරා ගත්තේ කවුරුන් විසින්ද? ඔවුන් කුමන වරදක්‌ කළ බැවින්ද ඔවුනට ඔවුනගේ දරුවන් අහිමි කරන ලද්දේ? සාධාරණ සමාජයක්‌ වෙනුවෙන් සටන් කළ නිසාද? අවනීතියට අසාධාරණයට කුරිරු පාලනයකට එරෙහිව හඬ නැගූ හෝ අවි අතට ගත් නිසාද?

කුරිරු රාත්‍රිය සඳවතින් සිනාසුණ ද එහි සුන්දරත්වයක්‌ දකින්නට නොලැබේ. විසිර යන මතක බණ, අකාලේ වියෝ වූ පුතුන්ගේ සුවඳ ආකාස තලය වෙත දිව යන මවු විලාපය, මේ සියල්ල තුළ සැඟවුණු ව්‍යංගාර්ථ පවසන්නේ අතිශය දුක්‌ මුසු හෝ කුරිරු රාත්‍රියක ශේෂ වූ අත්දැකීම් බිඳක්‌ නොවේද? අප විසින් නිතර අත්විඳිනු ලබන සරල, සාමාන්‍ය සිදුවීමකින් ඔබ්බට ගිය, මින් පෙර අප අත්නොවිඳි ආකාරයේ අත්දැකීමකට අප සහභාගිකරවා ගැනීමට කවියා දැරූ උත්සාහය සාර්ථක කොටගත් බවයි අවසන අපට හැඟෙන්නේ.

බුද්ධදාස ගලප්පත්ති - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

-http://www.divaina.com/2015/02/05/sarasavi%203.html

කැරලි - රස්තියාදුකාර හුළඟකින් බිම වැටුන කවිපදයක්- යශෝධා සම්මානි ප්‍රේමරත්න

 

autumntree
හුදෙකලා සැරියක අතරමග
හරිම නිදහස් කොළඹ හුළඟක්
එක්වරම ආපස්සටම විත්
උයන් කොන කහ මාර ගහ වට
කැරකුණා වට අටක් දහයක්

'කෝ කොහිද ඔය මුවග පෙර රැඳුන හසරැල්ල
බෝ වෙවී නලරැල්ල හා ඇදෙන ගී ඇල්ල
මුළු ඇඟම වැහැරිලා කළුවෙලා හොඳටෝම
ඇත්තමයි නෙත් අදහ ගන්න බෑ මට තාම'

වෙවුල වෙවුලා කහ මාර ගහ
තුනී මල් පෙති දෙකක් හැලුවා
හොරෙන් වටපිට - බලා හෙමිහිට
කොඳුර කොඳුරා මෙහෙම කිවුවා


"මිතුර උඹ දන්නවද ඉස්සර
මමත් කහ පැහැ ඔටුනු බැන්දා
සමනලුන්, වන බිඟුන් රොද බැඳ
රේණු විසිරිය ගී පබන්දා
ගී නදින් මන්මත් වෙලා මම
සියක් මල් පෙති පෙලට රන්දා
ඉරේ පැහැ උඩු වියන වාගෙම
දිස්නෙ දෙන බුමුතුරුණු ඇන්දා


කහ පාට ඇතිරියේ කෙලවර
අමර - නයනා තුරුළු වෙන්නේ
පෙති නොබිඳි එක මලක් නයනා
කොණ්ඩ කරලක අමුණගන්නේ
හිනා අන්දර - පෙම් කතන්දර
ඇහෙන ගානේ හිත පිරෙන්නේ
අලුත් හුස්මක් වැටෙන ගානට
අලුත් පුසුඹක මල් පිපෙන්නේ


ඉරත් හැංගුන එක දවාලක
උයනෙ විහඟුන් බිඟුන් පන්නා
කාකි ඇඳගත් ටේප් පටියක්
මගේ උස දිග පළල මැන්නා
මහළු මැයි ගස් ළදරු තණපත්
බැකෝ ඩෝසර් බාහු පෙන්නා
විලාපයකට ඉඩක් නොතබා
ගෙල මුලින් උගුළුවා දැම්මා


අන්න අර කළුපාට දිලිහෙන
යකඩ කණු පේළියට සිටුවා
මගේ බඳවට තුරුළු වෙන්නට
තහනමක් මේ මෙතැන ලිවුවා
පුරුද්දට දින හතක් විතරම
මමත් කහ පාවාඩ එලුවා
සමනලුන්වත් එලව එලවා
ඉදලකින් පාවඩ ගැලෙව්වා


රතු පාට තීරුවේ හවසට
බයිසිකල් පදිනවා නයනා
අතින් අත පටලවා යුවලක්
කාර් ගනිනව උදේ ඇහුනා
සිංදු ඇමුණූ කොල්ලො රෑනක්
දෑස් තදකර දුවනු පෙනුනා
කඳුලු වායුව දුරට වැදිලා
මගේ ඇස් කෙලවරත් තෙමුණා


මගේ කුලගොත ලතින් නාමය
රාමු කර පළඳවා බෙල්ලේ
පාලු හුළඟක් වැදෙන ගානේ
බෙලෙක් කිරිකිරියකින් එල්ලේ
කාටවත් නොකියාපු රහසක්
අසන් නිදහස් පවන් රැල්ලේ
මගේ හද මියැදේවි අද හෙට
සුසුම් ඇඳ අවසාන දල්ලේ"


ඇහිපියන් පිහදැමූ නලරැළි
කැටිගැහී කම්පිතව සැලුනා
වියරු ඝන සුළි කැරකි කැරකී
යකඩ අත්වැල් කඩා දැම්මා
කඳුළු පෙති වන් ළපටි තුරු පත්
විසුල මහ ගස බඳද නම්මා
දෑත විදහා බදා වා සුලි
පෙරට දිග පිමි දෙකක් පැන්නා


කලබලම හෝරාව අවසන
සියල්ලම සන්සුන්ව තිබුනා
කැඩී විසිරුන උයන් වැට මත
කහ මාර ගහ නිදා උන්නා

--යශෝධා සම්මානි ප්‍රේමරත්න

--http://bassigenawathana.blogspot.co.uk/2015_01_01_archive.html

 

සෝර්බා නම් ග්‍රීකයා!!

zorba
සෝර්බා..
උඹ දන්නවං
මැරෙන්න ඉස්සර..
මම එනවා
උඹ හොයාගෙන...

මොකටවත් නෙමෙයි..
පවිත්‍ර සමාජය ඔද්දල් කරාට..
අශීලාචාර කතාවෙන්
පල් හෑලි අදහස් වලින්

ගෑනියෙක් එක්ක නිදාගෙන
බඩ පිරෙන කං වයින් බී
හොදින් කා හෑල්ලූ වී
ජීවිතේ ඒකමයි කිව් නිසා

පල්ලියේ දොරකඩම
ගෑනියෙක් මරණ කොට
ස්වර්ගයේ දොරටු ළග
සාතන්ලා කපන හැඩ

උඹම විතරයි හිටියේ
ගෑනි බේරගන්න
හැම පර බල්ලෙක්ම
දේව අණ උඩ නැගං
කපනවා..කොටනවා

උඹ කිව්ව එක දෙයක්
දැනෙනවා මට තවම
ජෝසප් වගේ එකෙක්
ඉන්නවා මං තුලත්

ඒ යකා හරි කැමතියි
වනචර වැඩ කරන්න
වමනේ යනකං බොන්න
පුළුටු මස් ගිලින්න

ඒත් ඒ මං නෙමෙයි..
මට ගොඩ එන්න බැරි වෙන්න
හංගගෙන ඉන්න ඌ
ජෝසප් කෙනෙක්මයි

සෝර්බා..
අන්තිමේ උඹත්
හැමෝගෙම පාරේ
දරුමල්ලෝ හදාගෙන
ගියා නෙව සංසාරේ..

අන්තිමේ මොකුත් නෑ
උඹත් නිකම්ම පුස් වෙඩිල්ලක්
උඹට වඩා වටිනවා
උඹගේ සන්තුරිය මට..

http://deshakaya.blogspot.co.uk/2014/11/blog-post.html

Cha ayya

 

 

 

සයිබර් පවුර