22 April 2019
RSS Facebook Twitter   

ගර්භාෂයක පාළුව - රසිකා ගුණවර්ධන

 

 rasika guna poem 2 හීනිම හුළඟකට වුව
අවදිවෙන නාටු මල් ගස
කවුළුවට සන්කොට
බිඳී කළු සුදු සිහින ලොව.

ලේ සිඳුණු සඳ පළුවක්
තාරුකා දෙක තුනක් හතරක්
වලාකුළකින් කොටසක්
පෙනේ කවුළුවක හැඩයට.

කලබලයෙන් එවන ලද
චෝදනා පතක් බඳු
විද්‍යුත් ලිපියකට
සිතින් බඳිනෙමි උත්තර.

"අන්තිම පින්තූරෙ
ඔයා ඩිංගක් මහතයි.
පුතා දැන් උස ගිහිං.
දූ නම් ඔයාමයි.

එයාගෙ එකකුත් එවන්න
දුක හිතෙන් නෑ දැන් මට
පපුව හිරවෙන එක
දැන් අඩුයි, මට  පුරුදුයි.

මං නැවතිලා හිටියට
ඔයා ගිය එක තමයි හොඳ
මට විඳ ගන්න පුළුවන්
ගර්භාෂයක බොල් හඬ.

මගෙ ළඟ තියේ තාමත්
ඔයා මට එව් කවියක්
තැපෑලෙදි පොඩි වුනත්
කුරුමිණි අකුරු රසවත්.

තවදුරටත් පලක් නැති වුව
කසාද සහතිකේ පිටපත්
දික්කසාද සහතිකේ එක්ක  
එකම කවරයක තවමත්. "

උසම කන්දක මුදුනකට වුව
ඔබ වෙසෙන දෙස නොපෙනෙයි
මහාද්වීපෙක වෙසෙන ඔබහට
දුපතක දුක නොදැනෙයි.


© JDS

 

 

 

සයිබර් පවුර