22 April 2019
RSS Facebook Twitter   

සොඳුර නුඹ ලිහිණියක -මනොෂ් සඳරුවන්

loniliness-1406890

"අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින
සිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්ද ...?"

දයාබර හේමා,

ඔන්න ඔයාට පොරොන්දු වුන විදියටම ඔයාට ලියුමක් ලියනවා. හේමා මං අද හවස දෙකහමාර විතර වෙද්දි මෙහෙට ආවා. කෙලින්ම මං ඉස්කෝලෙට ආවේ. බොහොම පුංචි ඉස්කෝලයක් හේමා. මං විදුහල්පති තුමාව මුණගැහුනා. ඉස්කෝලෙ වරදක්නම් නෑ. හරිම අහිංසක ළමයි ඉන්න ඉස්කෝලයක්. දෙකට ඉස්කෝලෙ ඇරලා, ඒත් මං යනකොටත් ළමයි කිහිප දෙනෙක් හිටියා. ඉස්කෝලෙන් කිලෝමීටර් දෙකක් විතර ඈති පරණ ගුරු නිවාසයක් තියෙනවා. ගෙයක් හොයාගන්නකල් මට ඒකෙ ඉන්න පුලුවන්. ඒක ටිකක් ජරාවාසවෙලා. ඒත් මාව එතනට එක්ක ආපු ළමයි තුන්දෙනා මට උදවු කලා මෙතන අස්පස්කරගන්න. හවස් වෙනකල් වැඩකලා. දැන් නම් ඉවරයි. ළඟ ළිඳකින් නාගත්තා. අදට මං පාන් රාත්තලක් ගත්ත කඩෙන් පරිප්පු හොද්දකුත් එක්ක. ඒත් හෙට ඉඳන් උයන්න පටන්ගන්න ඕනි.

ඒක නෙවෙයි හේමා. අද මට ඔයා නැති අඩුව වෙන කවරදාකවත් නැතිතරම් දැනෙනවා. වෙනදට මං ගෙදරට එනකොට ඔයා ආදරෙන් මං ළඟට එනව දුවගෙන. ඔයාගෙ මූණ දකිනකොට හිතේ මොන කරදරේකින් ආවත්, ඇඟට මොන මහන්සියක් දැනුනත් ඒ හැමදේම අතුරුදන්වෙලා යනවා. ඔයා මට ආදරෙන් හදල ගෙනත් දෙන තේ කෝප්පෙ මාව ආයෙත් පණගහල ගන්නවා. ඒත් අද.. ඔයා මගෙන් කොච්චරනම් ඈතකද.

ඊයෙ රෑ ඔයාට මං මොන පණ්ඩිතකම් දෙඩුවත් දැන් මටත් හිතෙනවා අපිට මේ එකපාරටම මොකද්ද උනේ කියලා. තාමත් මේ ට්රාන්සර් එක මට හීනයක් වගේ. ඇත්තටම අපිට මේ මොකද්ද උනේ හේමා?

හේමට මතකද මං දවසක් සක්වා ලිහිණියන්ගෙ කතාව කියල දුන්නා. මං අර කිව්වෙ, සක්වා ලිහිණි කියන කුරුල්ලො හැම වෙලේම කිරිල්ලියි කුරුල්ලයි ඉන්නෙ එකට, ඒත් ඒ දවල්ට විතරයි. මොකද්දෝ අවාසනාවන්ත හේතුවකට උන් දෙන්නට රෑට වෙන් වෙන්න වෙනවලු. ඒකත් මහ පුදුම වෙන්වීමක්, පහුවදා එළිවෙනකල් දෙන්නට එකම ගාඟක දෙපැත්තටවෙලා මූණෙන් මූණ බලාගෙන හඬන්න වෙනවලු, හඳත් එක්ක උදාවෙන රාත්රිය ගෙවිල ගිහිල්ලා ආයෙත් ඉරත් එක්ක පහුවදාට අලුත් දවසක් උදාවෙනකල් උන් දෙන්නට මේ විදියට වෙන්වෙලා අඬන්න වෙනවා. මතකද, ඒ කතාව දවසක් මං ඔයාට කිව්වා.


අද, අපි දෙන්නත් ඒ සක්වා ලිහිණියෝ වගේ වෙලා නේද හේමා. අපිත් අපෙන් වෙන්වෙලා. අපිට අපි ළඟම ඉන්නා පුලුවන් කම තිබුනත් එහෙම කරගන්න බැරි විදියට අපිට ඈතට වෙලා හූල්ලන්න වෙලා. එදා සාහිත්යයෙනම් මේ කුරුලු ජෝඩුවට මේ අපරාදෙ කලේ රාත්රියට ලෝකෙට ආරාදනා කරපු හඳ. හඳ තමයි රාත්රිය ගෙනත් ලිහිණින්ව වෙන්කලේ. ඒත් අපිව වෙන්කරපු වරදට අපිට බෑ හඳට දොස් කියන්න. අපි වෙනුවෙන් හඳ මොනා කරන්නද. වැරදිකාරයෝ හඳ තරම් සෞම්ය නෑ. අපි දෙන්නගේ තටු කපල අපි මෙහෙම අසරණ කලේ කවුද, මොන හේතුවකටද.

මේ ගෙවෙන්නෙ අපේ ජීවිතවල දුශ්කරම කාල පරිච්ඡේදය. හරිම කටුක කාලයක් අපිට. ඒත් මේ විරහ වේදනාවන්, මේ කරදර, තානිකම දරාගෙන අපිට ඉන්න වෙනවා. ඒ අපේ ජීවිත වලට අපි ආදරේ කරන නිසා. අපි හිත් හදාගමු, මේ හැම දෙයක්ම තාවකාලික දේවල් කියලා. හේමා, මං මුලිනුත් කිව්ව වගේ හිතුව තරම් ලේසි නෑ මට ඔයාගෙනුයි දුවගෙනුයි මෙහෙම ඈත්වෙලා ඉන්න එක. ඒක හරිම, හරිම අමාරු දෙයක්, හැම තත්පරේම මට මතක්වෙන්නෙ ඔයාල දෙන්නා. සමහර විට මේ අපි අපෙන් වෙන්වෙලා ගෙවන මුල්ම දවස වෙන්නැති, ටික දවසක් යනකල් මේකට හුරුවෙන්න අමාරුවෙයි. මේ අඩුව මටත් වඩා ඔයාට දැනෙන බව මං දන්නවා.

ඉතින් හේමා, දූ මොකද කියන්නේ? තාත්ති ගැන අහනවද, එයාට තවම තේරුමක් නැති නිසා ඉඳී ඔහොම. ඒත් තාත්ති ගෙදර එන්නෙ නෑ කියල දැනුනනම ගොඩක් දුක හිතෙයි. අපි එයා වෙනුවෙන්ම ඒ කටුකබව දරාගමු. මොකද, අපිට මේ වෙච්ච දේ එයාගෙ ජීවිතේ කවදාවත් එයාට වෙන්න දෙන්න හොඳ නෑ. ඒ වෙනුවෙන් අපි එයාට මීට වඩා හොඳ අනාගතයක් හදල දෙන්න ඕනි. අපේ තටු කපල දාල අපිව මෙහෙම හිරකලත් අපේ දරුවන්ට සීමා මායිම් නැතිව පියාඹන්න ලෝකයක් හදල දෙමු. නිදහසේ පියාඹන විදිය අපි එයාලට කියල දෙමු.

මං කලිනුත් කිව්ව වගේ මෙහේ මොනතරම් දුෂ්කර උනත් හිත හොඳ මිනිස්සුන්ගෙන් නම් අඩුවක් නෑ වගේ හේමා. ඒ මිනිස්සුන්ගෙ අව්යාජ හිනාවම ඇති. කොල්ලො තුන්දෙනා තමන් වෙනුවෙන් ආව සර් කියල මං වෙනුවෙන් පුදුම මහන්සියක් උනේ හවස්වරුවම. නිදාගන්න පුලුවන් විදියට හාදාගත්තත් ස්ථිර පදිංචියටනම් මේක සුදුසු නෑ හේමා. පායන කාලෙ නිසා හොඳයි, වහලෙන් අහසෙ තරුත් පේනවා, වැහි කාලෙක එහෙමනම් ඉන්න බෑ. දොර ජනෙල් පවා සේරම අබලන්. ඒ නිසා වැහිකාලෙ එන්න කලින් ඉක්මනට කුලී ගෙයක් හරි බෝඩිං කාමරය්ක් හරි හොයාගන්නම ඕනි.

මෙහෙට කරන්ට් එහෙමත් නෑ, මේ ලියන්නෙත් හවස කඩෙන් ගෙනාපු භූමිතෙල් ලාම්පුවේ එළියෙන්. මදුරුවෝ කපුටො වගේ. ඇඟේ හැප්පුනාම අපිත් වීසිවෙන සයිස්. මදුරු කොයිල් එහෙම නැතුව හිටියොත් උන් අපිව උස්සගෙනත් යයි. ඒකයි මං ඔයාලව එක්ක එන්න අකැමතිම උනේ මේ ගමනට. ඒත් හේමා මට ඔයාල දෙන්න නැතුව ඉන්න අමාරුයි. ඒ නිසා මං ඉක්මනටම හොඳ ගෙයක් හොයාගන්නම් කුලියට. හැමදේම හරියකට පිළිවෙලක් උනාම මං ඔයාල දෙන්නවත් මෙහෙට එක්ක ගන්නම්. දූ තාම පොඩියිනේ. එයා ඉස්කෝලෙ යන කාලෙ වෙනකොට සමහර විට අපිට ආයෙමත් ගමට මාරුවක් හදාගන්න බැටිවෙන එකක් නෑ. ඒක ඒ කාලෙට බලමු. ටිකක් දුර උනත් ඉස්කෝලෙට, මං ටවුන් එක කිට්ටුවෙන් ගෙයක් බලන්නම්. එහෙම නැතුව ඔයාල දෙන්නට මෙහේ ඇවිත් ඉන්න අමාරුයි. එතකල් ටිකක් ඉවසන්න හේමා.

දැන් නම් හුන්ගාක් නිදිමතයි. ඔයා දැන් සමහර විට නිදිත් ඇති දෝණිව තුරුල්කරන්, ඔයාල දෙන්නගේ උනුහුම මට දැනෙනවා වගෙයි. මොනාකරන්නද, ලොබකමින් මතක් කරනවා හැර. හෙට උදේම ඉස්කෝලෙට යන්නත් ඕනි, මට ගණන් පංතියකුයි, විද්යාව පන්තියකුයි දෙකක්ම ලැබෙයි වගේ. හෙට තමයි ඒ දේවල් පිලිවෙලක් කරගන්න වෙන්නේ.

ඔයාල දෙන්නට ඕනි හැම වියදමක්ම ම්න් එවනවා. ඒ නිසා හොඳින් ඉන්න හේමා. ටික කාලෙකින් මං ඔයාලව කොහොම හරි එක්ක එන්නම්. එතකල් මාසෙකට වතාවක් මං ගෙදර එන්නම්. හැම සතියෙම එන්න ගියොත් එතනත් ලොකු වියදමක්නේ.

එහෙනම් මං දැන් නවතින්නම්. හොඳින් පරිස්සමින් ඉන්න. අපේ දුවට මේ කිසිම දෙයක් දැනෙන්න තරම් තේරුමක් නෑ, ඒත් එයාට මං නැති අඩුව දැනෙන්න දෙන්නපා හේමා. එයාව ආදරෙන් බලාගන්න. මගෙ කෙලි පැටික්කිට මං ගොඩක්ම ආදරේ බව කියන්න. එයාවයි අම්මිවයි ඉක්මනට තාත්ති ළඟට ගන්න බව කියන්න. එයාට තේරෙන්නෙ නැතිවෙයි. ඒත් එයාට එහෙම කියන්න. මට ඔයාල දෙන්නව හැම මොහොතකම මතක්වෙනවා. දෙන්නට බුදු සරණයි.

මීට,
ඔයාගෙ ආදරණීය රත්නේ.

සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි කැඩුනු තටු පිරි මදින

අහිංසක අප දෙදෙනෙ තටු කඩා මේ ලෙසින
සිදීගිය ගඟ දෑල හැර දැ‍මූවේ කව්ද
සඳට ‍දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය

කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියාදෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක


ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ

ගණදස කපග

 

 

 

 

 

 

 

 

 

 

https://www.youtube.com/watch?v=48sFOoUluYk

-මනොෂ් සඳරුවන්

http://masandumal.blogspot.co.uk/2015/02/blog-post.html

 

 

සයිබර් පවුර