22 April 2019
RSS Facebook Twitter   

ලංකාව - ලක්‌ශාන්ත අතුකෝරල

sl map 'ලංකාව' කියන විට
නෙත් කෙවෙනි තෙමී යන
ළය හුස්‌ම සිර කරන
ඇඟ මවිල් කෙළින් වන
දේශානුරාගයෙන්
පිරි ඔබේ හදවතට
මම මගේ හිස නමමි

වන්නි පැලකින් පැමිණ - පුබුදුවාගෙන නැණැස
හඹා එන නළල පටි - ඩොලර මිටි නුදුටු ලෙස
මගේ සේවය මගේ ලංකාවටයි කියන
මඳ වැටුප වුව මහා බරක්‌ යෑයි පහදවන
ඔබේ හද බස මගේ නෙත් කෙවෙනි තෙමාලයි

නිදොස්‌ බැව් කියන මෙන් වැරදි කළ කිළුට්‌ටන්
අණ කරත - බල කරත කිපුණු මැති ඇමැත්තන්
ලංකාව නමින් මා නිසි කිsරිය කරම් යෑයි
මළත් කිසි අයුත්තක්‌ අතේ ගා නොගම් යෑයි
අභීතව නීති පොත් අනු දකින
ඔබේ පිළිවෙත් මගේ ළය හුස්‌ම සිර කරයි

අන් තැනෙක පල් හොරුන් පොදු නිදන් බිඳින විට
ලංකාව සූර සූරා කකා වැඩෙන විට
කකියනා ළය මසින් - ලෙයින් ඉපදී මිදී
පත් අතර දිලුම් දෙන - සබා තුළ ගිගුම් දෙන
ඔබේ වදනින් මගේ ඇඟ මවිල් කෙළින් වෙයි
දේශානුරාගයෙන්
ලංකාභිමානයෙන්
පිරි ඔබේ හදවතට
මම මගේ හිස නමමි'

උපුටා ගැනීම - දිවයින වටමඬල

 

 

සයිබර් පවුර