22 April 2019
RSS Facebook Twitter   

තණ්හා ආශා

thanitharuva

 

කාස්ටකේට ඉර අව්ව..

ඉස්කෝලේ ඇරිලා වෙලේ පාරෙන් ආවේ අම්මාගෙන් කයි බත් කටක් කවෝගෙනම යන්න.බැත නැවිලා, හංසයොත් නැවිලා..රටාවට කපාගෙන කපාගෙන යන ගොයම් බරෙන් මිදුණම කෙතකට වුණත් නිස්කාංසුවක් ඇති නේද?

"ආ..මොකෝ පුතේ?" කොරටුවේ ගෙදර නැන්දා කාටත් කරුණාවයි.මම හිනාවෙලා කර දික් කරකර හෙව්වේ අම්මව..

"උඹ අම්මවද හොයන්නේ? අම්මා ගෙදර ගියා පුතේ..හිටිං ඒකිගේ කයි බත් පංගුව ඔතලා දෙන්න" නැන්දා දඩිබිඩියේ අනික් පැත්තේ නියරට ගොඩ උණා..

"ඇයි නැන්දේ අම්මා..හදිස්සියේම..ගෙදර?" මට අහේතුක බයක් දැනුණා.ගොයම් කැපිල්ලෙන් ලැබෙන වී මල්ල ගැන අම්මා හිටියේ සෑහෙන්න බලාපොරොත්තු පුරවන්..එහෙම එකේ ආ පයින් ගෙදර ගියේ..

"හදිස්සියක්ම නෙවෙයි කොලුවෝ..උඹලගේ ගහේ තව වැල වරක හැදෙන්න ඉඩ තියෙනවායි කියන්නේ" කොහොමත් බෝක්කු කටක් තිබ්බ හාමිනා නැන්දගේ කතාවට අනික් නැවිච්ච හංසයෝ සමහරක් නැවිලාමත් අනික් උන් ඉද්ද ගැහුවා හේ කෙලින් වෙලත් කැකිරි පලන්න තියාගත්ත හැටියට නම් මට හිතුණෙම උන්දැගේ බොල්ලෑව බඩට යන්න අනින්න..!

"මොනවද බං මේ කිරි සප්පයන්ට කියන නොසණ්ඩාල කතා..ආ පුතේ අරන් පලයන් මේක..අම්මට කියපන් ගොයම් කැපිල්ලට නාවට කමක් නෑ වී ඩිංගක් එවන්න ඇහැකියි කියලා" කොරටුවේ ගෙදර නැන්දා අන්තිමට ටික කිව්වේ නම් හඬ හොඳටම බාල කරලා..උන්දැ එහෙමයි..

*******************************
අපේ පවුලේ දරුවෝ 7යි..8 වෙනියෙකුත් එන ලකුණු පහළ වෙලා තිබ්බත් අම්මා නෙවෙයි කම්මැලිකමට තැක් ගැහිලා හිටියේ..තාත්තා කළේ වඩුවැඩ..ඒත් ඒ කරුමාන්තේ වුණත් එහෙමට උගත්තේ අයියා විතරයි..අපි හැමෝම ඇහැක් හැටියකට ඉස්කෝලේ යවන්නයි උන්දැලා දෙන්නම මහන්සි වුණේ..අයියාට වුණත් තාත්තා කිව්වේ ලී කුඩු නාගෙන දුක් නොවිඳ ඉගෙන ගං කියලා..ඒත් අයියා අන්තිමට නැවතුණේ අභ්‍යාසේ ඩිප්ලෝමාවකට ගිහිල්ලයි..ඒ අතරේ පොඩි පොඩි ජොබ් කරලා රැකුණත් උන්දැට අපට එවන්න තරම් යමක් තිබ්බේ නෑ..

ඒ අස්සේ ලොකු අක්කා ඉස්කෝල ගමනත් නතර කරලා හිතුවක්කාරේට කසාදයක් කරගත්තා..මද්දු අක්කට කෑලි මහන තැනක වැඩක් ලැබුණේ පූරුවේ වාසනාවකට වගේ..මායි අනික් එව්වෝයි තියෙන දෙයක් කාල ලැබුණු දෙයක් ඇඳගෙන ඉස්කෝලේ ගියා..

*************************************
"අද විල්බට් එනවැයි කිව්වනේ හවහට" තාත්තා ගෙට ගොඩ උණේම කළු සුරුට්ටුවක් කටේ කොණක එල්ලන් සතුටු හිනාවකින්..නිකං ලැබුණොත් බිව්වොත් මිසක්ක උන්දැට ඕවට වියදං දරන්න ඇහැක්කමක් තිබ්බේ නැති බව දන්න නිසා අපිට දැනුණේ විල්බට් මාමා එන්නේ සතුටක් අරන් කියලමයි...

************************************
"මේ හිච්චි එකා කොහොමෙයි බං ඔහොම දුකක් විඳින්නේ? අනෙක දැන් මං නැති උණත් ගෙදරට ඉන්න හයියක් ඇති එකම පිරිමි සතා මූ වෙච්චිකොට...අනේ මන්දා.."

විල්බට් මාමා ඇවිත් උන්නේ මාව කොළඹ කඩේක අත් උදව්වට එක්ක යන්න අහන්නයි..උන්දැ හිටියේ කොළඹ බංගලාවක වත්ත බලාගන්න..ඒ අතරේ කඩේ යන බෝයියා වැඩේත් කොරනවලු.උන්දැ නිතරෝම යන තොග කඩේක වැඩට තමයි ඔය මාව පංගාර්තුකරන්න හදනවයි කියන්නේ..කෑම්බීම්, ඉඳුම් හිටුමුත් දීලා පඩියකුත් දෙනවයි කියන නිසා මම නම් උන්නේ එක පයින්..ඒත් අම්මගෙයි තාත්තාගෙයි වැඩි මනාපයක් නැති හන්දා මැද්දට පැනලා කතා කොරන එකත් හරි මදි..

********************************
සෑහෙන්න වෙහෙසකින් පස්සෙයි විල්බට් මාමාට මාව කොළඹ එක්ක එන්න ඇහැක් වුණේ..උන්දැ මාව මුදලාලිට භාරදීලා ගියේ හොඳින් බලගන්න බවට හතර අතේ පොරොන්දු කරවාගෙනයි..

"බයවෙන්න එපා විල්බට් උන්නැහේ මම කොලුවව බලාගන්නම්..අනික මහ දුරක්යැ ඔහෙත් නිතර එන යන තැන නේ"

"පුතේ එහෙනං මුදලාලි මහත්තයා කියන විදියකට හොඳින් ඉන්න එකයි එහෙනම්."

එදා ඉඳන් ඉතින් මගේ ජීවිතේ ගෙවුණේ හාල්, අල, ළුෑණු, සීනි, පිටි, පොල්තෙල් එක්කම තමා..තොගයි කිව්වට සිල්ලර වෙළඳාමත් හරිහරියට කෙරුණ නිසා හොඳ ලාබෙකුත් ලැබුණා..සේවකයන්ට ඉන්න කඩේ පිටිපස්සේ සිමෙන්තියෙන් තැනූ පොඩි සාලාවකුයි නාන ලොකු ටැංකියකුයි කක්කුස්සි 2කුයිත් තිබුණා..කෑම්බීම් නම් මහ සිරියාවකට නැතත් යන්තම් බඩ පුරවන්න ඒ මට නම් වැඩිත්තෙක්ක ඇති වුණා..

ඉහඳ පණුවෙක්ට උපන්නේ කුණුකන්දක වුණත් එතැන මිස කොහේ සැපක් වෙයිද?මටත් එහෙමයි.ආ දා ඉඳන් මම හිතෙන් ගණන් හැදුවේ පඩි සල්ලි ටිකක් එක්කහු කොරන් ගෙදර දුවන දවස ගැන..ඒත් තාම මම මෙහේ ටැම්පරි..පුහුණුව අන්තිමේ තමා ඉතින් නිවාඩුවක් හරි ඉල්ලාගන්න වෙන්නේ..ඒකත් විල්බට් මාමා නම් කීවේ හය මාසක්වත් යනකල් නිවාඩු ගැන කතා නොකර හිටහන් කියලා...

උගුරු ඇටේ පැන්නට මොකෝ තාම ඇඟ නිකං බට පතුරක් වාගේ..ඒ වුණාට ගම ඉන්න කාලේට වඩා නම් පොඩි ඉලන්දාරි පාටක් ඇවිත් තියෙන බව රැවුල් ගස් මතුවෙච්චි මූණ දිහා බැලුවම පේනවා..තාම ලාවට රෝම මෝදුවෙන පැතලි පපුවේ සබන් පිරුණු ඇඟිලි ගෙනියන එක සනීපයක්..විශේෂයෙන්ම මුළු දවසක් තිස්සේ පිටි,සීනි, ලුණු, කරවල ගෝනි අස්සේ තැක් ගැහි ගැහි හිටියට පස්සේ..

"මොකෝ බං උඹ නාන්නේ නැත?" මුදලාලිගේ හඬට මම උඩ විසික් නොවිච්චි ටික විතරයි..! සබන් පෙණ ඇඟේම මිදිලා..එච්චර බර කල්පනාවක් දිගේ මම ගමේම ගොහිල්ලා වගේ..

"න්නෑ..මේ..නානවා මුදලාලි.."

"හ්ම්ම්..උඹ නාලා ගිහින් බතීගෙන් කෑම අරන් වරෙන්..මට වෙනම කරවල කෑලි කීපෙකුත් බැදන් වරෙන්"

මුදලාලි මා දිහා බැල්මක් හෙලලා වතුර බාල්දියකුත් ඇන්න කකුස්සියට රිංගා ගත්ත අවසරෙන් මම දඩිබිඩියේ වතුර බාල්දි 10ක් විතර ඇඟට හලාගත්තා..බතී අක්කා මට කොහොමත් කරුණාවයි..මුළු දවස තිස්සෙම දුම් ගැහි ගැහි උයන හින්දමද කොහෙද උන්දැ ඇන්දේ රතු පාට අත් නැති කර ගැඹුරු හැට්ටෙකුයි, මල් රෙද්දකුයි..කෑම ගේන්න යන අනික් එව්වෝ නම් ඇවිත් රහ කරකර කිව්වේ බතී අක්කාගේ කෑම දිවට රහ තරම්මයි කර පළල් හැට්ටේ ඇහැට රහ කියලා..ඉලන්දාරිකමට මාත් හොරැහින් බැලුවට මොකෝ ඕවා ප්‍රසිද්ධියේ කියන්න ඇහැක් කතා ය?ඒ හින්දම මම ගොළුවා බීරා වගේ උන්නට මොකෝ ඉතින් දැන් මුදලාලි බත් ගේන්නයි කිව්වම දියේ දැම්ම ඉබ්බා වගේ තමා..

**********************************************'
මුදලාලිගේ ලෑලි කාමරේ සමහරක් තැන්වලින් බේරිච්ච එළිය තීරු මිදුලට වැටිලා රටාවට..හොඳටම බිස්නස් සරු දවසට හවසට බැදපු කරවල කෑල්ලක් එක්ක පොඩි අඩියක් ගහන එක මිනිහගේ පුරුද්ද බව මේ ටික දවසට මම දැනගෙන හිටි හන්දා බැදපු කරවල කෑලි පාර්සලේ බත් එකට උඩින් තියන් ආවේ ඉස්සෙල්ලම උවමනාව ඒක හන්දා...

ඇතුළ පේන තීරුවක් දොර ලඟම තිබුණත් නොසණ්ඩාලකමට ඒකෙන් එබෙන්නෙ නැතුව දොරට තට්ටුවක් දැම්මා..

"කවුද?"

"මුදලාලි, මම..බත් ගෙනාවා.."

"ආ..උඹද වරෙන් ඇතුළට.." නිකං වහලා තිබ්බ දොර තල්ලු කරන් ඇතුලට ගියහම තියෙන්නේ තැඹිලි පාට ඉටි කොළයක් එලුව පොඩි මේසෙකුයි, වැල් පුටුවකුයි, පැත්තකින් මුදලාලිගේ ඇඳයි..මේසෙ උඩ කාලේ වීදුරුවකුයි, මුදලාලිගේ අරක්කු බෝතලෙයි, බීඩි දෙකකුයි ඇරුණම තියෙන්නේ පැත්තක් කළු ගැහෙන තරමට ඉදිච්චි කෙසෙල් ඇවරියකින් ඉතිරි බාගෙකුයි..මම කෑම පිඟාන මේසේ උඩින් තියලා කරවල පාර්සලේ බෝතලේ ලඟින් තිබ්බා..

"මොකෝ බතී කිව්වේ..?"

"ම්ම්..මොකුත් නෑ මුදලාලි.."

"මොකෝ උඹ නිකං බිරන්තට්ටු වෙලා වගේ..?" මුදලාලි ඇඳන් උන්නු අවපාට ගැහිච්ච කහ තුවාය පිටින් ඇඳ උඩ වාඩිවෙන ගමන් මගේ ඉහේ හිටං දෙපතුලට යනකං බැලුවේ හරියට බතී අක්කාගෙන් මට අතවරයක් උණු ගාණටයි..උන්දැ කීප දවසක් බත් ටික අතට දුන්නේ අතින් නොවෙයි පපුවෙන් බව නම් ඇත්තයි..ඒත් ඉතින් ඒක මට බිරන්තට්ටු වෙන්න තරම් දෙයක් නොවෙයි නේ, සන්තෝසෙට කාරණාවක් මිසක්ක..

"නෑ මුදලාලි.."

"හ්ම්ම්..ඔන්න ඔය වීදුරුවට ටිකක් වක් කරල දියන්"

මම වීදුරුව මුදලාලි අතට දීලා යන්න හැරුණා..

"ඔහොම හිටිං පොඩ්ඩක්..මට තියෙනව උඹෙන් කාරණාවක් දැනගන්න.."

"කා..කාරණාවක්..?" මගේ ඇඟ සීතල වෙලා ගියා වගේ..හොරකමක් ගැනවත් සැකක් ඇතිවෙලාද? දෙයි හාමුදුරුවන් පල්ලා එහෙම දෙයක් නම් මම කොරලා නෑ..ගෙදරින් එළියට බහිද්දිත් තාත්තා කිව්වේ පුතේ දෙන දෙයක් මිස නුදුන් දෙයකට නම් අතවත් තියනවා නෙවෙයි ඔන්න කියලා..

"මොකද උඹ ඒ ගමන මහසෝනා දැක්කා වගේ..? වාඩිවෙයන් මෙතනින්.."

මම නිස්සද්දවම වාඩිවුණා..වෙළඳාමටම හුරුවුණු මුදලාලිගේ රතු හීනි ඇස් මාව පරීක්ෂා කොරන හැටි බිම බලන් හිටියත් මට දැනුණේ හරියට මේ දැන් මම මිනියක් මැරුවා හේ..

"හ්ම්ම්.." මගේ දිහාට දික් වෙච්චි වීදුරුවවත් අතට නොගෙන මම මුදලාලි දිහා බැලුවේ අසරණ විදියට..කවදාවත් බීලා නෑ මුදලාලි, මට එපා..ඒක කිව්වේ හිතෙන්..

"මොකද්ද බං...කීයද උඹේ වයස..?"

"දා..දාසයයි.."

"හ්ම්ම්..අපූරු වයසක් නෙව..බීපන් යෝධයෝ මේක.."

ඒ කිව්ව ගොරෝසු තාලෙටම මට වීදුරුව අතට ගැනුණා..ප්ලේන්ටියක් වගේ කියලා හිතා උන්න ටික උගුර පුච්චන් යද්දි මුදලාලි මහ හයියෙන් හිනැහුණා, හරියට අනේ යකෝ කියන්නා වගේ..

උගුර පිච්චුණේ කී සැරේද කියලා නම් මතකක් නැතුවම ගියා..මට අන්තිම වතාවේ පෙනුණා මුදලාලිගේ රතු ඇස් මගේ මූණට පාත්වෙද්දිම අනෙක් අතෙන් අර කහ තුවාය වැල් පුටුවට විසිවෙනවා...

හතර වටින් එළිය වැටිලා ඇහැරෙද්දි වැල් පුටුවේ අවපාට කහ තුවාය උඩ මගේ කොටු කලිසමත් බැනියමත් ඔහේ වැටිලා තිබුණා..

-තනි තරුව

ඉතිරිය කියවන්න 

 

මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

 

gandhi-writing-letterලිඛිත සන්නිවේදනය හා පුවත්පත් කලාව යොදා ගැනීම ප‍්‍රගුණ කළ සැටිත් අප ගිය සතියේ කතා කළා.

මුළුමනින්ම ආචාරධර්මීය රාමුවක් තුළ සිය සඟරා පවත්වා ගෙන යන්නටත්, සැම විටම ආචාරශීලී බස් වහරකින් දේශපාලනික හා සමාජයීය ප‍්‍රශ්න ගැන විග‍්‍රහයන් හා සංවාද කිරීමටත් ඔහු වග බලා ගත්තා.

පත්‍ර කලාව ඉතා වැදගත් හා උතුම් සමාජ කාරියක් ලෙස ඔහු සැළකුවා. වරෙක ඔහු කීවේ: “බයිබලය, කෝරානය, භගවත් ගීතාව වැනි සාමයික ග‍්‍රන්ථ තරම්ම ජන සමාජයට වැදගත් තැනක් අපේ කාලයේ පුවත්පත් ලබා ගනිමින් සිටිනවා. මේ වැදගත්කම හා ගාම්භීර බව රැක ගත යුතුයි. හොඳ පත‍්‍රකලාවේදියකු සිය පාඨකයන් බිය නොවද්දා, නොරවටා ඒ වෙනුවට ඔවුන්ට තොරතුරු හා විග‍්‍රහයන් ලබා දෙමින් හරි දේ සඳහා පෙනී සිටිය යුතුයි.’’

ඉතිරිය කියවන්න

නාලක ගුණවර්ධන

 

 

සිල්වියාගේ තාත්තා

retired-couple320සිල්වියාගේ තාත්තා අඩි හයයි අඟල් දෙකක් උසය. උපන් රට ඇමෙරිකාවය. කලකට පෙර මා ජීවිකාව සපයාගත් ව්‍යාපෘතියේ නිල නොලත් ජාත්‍යන්තර නියෝජිතයා වුනේ ඔහුය. ආචාර්ය උපාධියක්ද සමග අවුරුදු හතලිහක සේවා පළපුරුද්දක් තිබුනාට ඔහුට කවුරුත් කතා කලේ නම කියලාය. අපේ සංවිධාන යාන්ත්‍රණයේ ඉහළ පේලියේම සිටි බලගතු පරිසර සේවා ආරක්ෂක කළමනාකරුවා වු ඔහු රාජකාරියට අදාළ පුද්ගලයා ලඟට ගොස් පසෙකින් වාඩි වී රාජකාරී ගනුදෙනුව අවසන් කරයි. මේ සරල මිනිස් සබඳතාව හැරුණු කොට කිසි විටක පුද්ගලික වතගොත කතා කලේ නැත. හැසිරීම දරදඬු විය. යාන්ත්‍රික විය.

ඔහුට දරු පවුලක් සිටින බව යන්තමට හෝ අපට මතක් වුනේ ඔහු සීරියස් පිට සතිපතා රැස්වීමේදී කළ විහිලු දෙකක් නිසාය. වරක් ඔහු සියල්ලන්ට නිහඬ කර විශේෂ නිවේදනයක් කියන්නට තිබෙනවා යැයි කීවේය. මේ නිවේදන බොහෝ විට මාර්ග වසා තැබීම්. අලුතින් පැනවූ නීති අණ පනත් හෝ අවදානම්, අනතුරු ඇඟවීම් වැනි දේ විය.
'මෙයයි විශේෂ නිවේදනය අද උදේ පහයි විසි තුනට මම සීයා කෙනෙක් බවට පත් වුනා'
මුලින්ම මේ කියන්නේ මොකක්දැයි අදහා ගන්නට බැරිව සිටි පිරිස ඉන්පසු මහා හඬින් අත්පොලසන් දෙන්නට විය

ඊට හරියටම අවුරුද්දකට පසු ඒ විදිහටම ඔහු දෙවන විහිළුවත් කළේය.

'මෙන්න විශේෂ නිවේදනයක් ඊයේ හවස හතයි පහළොවට මම දෙවන වරටත් සීයා කෙනක් බවට පත් වුනා' .

මේ සිද්දි දෙක හැරෙන්නට කිසිදා කිසි විටක පවුලේ සබඳතා හා ප්‍රශ්න ඔහු අප සමග බෙදා ගත්තේ නැත. නිවාඩුවට ගෙදර ගොස් එන කාගෙන්වත් ඔහු (බොහෝ දෙනෙක් පුරුද්දට කරන්නාක් මෙන්) අඹු දරුවන් සුවෙන් සිටීදැයි නිවාඩුව විනොදජනකදයි කියා ඇහුවෙත් නැත.

අර්ධ රොබෝවෙක් හා රූලට වැඩ කරන ඉහළ මුලෑදෑනියෙක් වූ සිල්වියාගේ තාත්තා එතෙක් සිය සගයින් අතර අටුවන් බස්සවා තිබු සිය ප්‍රතිරූපය වෙනස් කර ගත්තේ මුර්තිගේ තාත්තා සම්බන්ධ සිද්දීයේදීය.

මුර්තිගේ තාත්තා ව්‍යාපෘතියේ වැඩ මගක් කෙරීගෙන යද්දී කොහේදෝ හෝ සිට ප්‍රදුර්භුත වූ සුරා සුදුවෙන් තොර තවත් එක් පොතේගුරු නිලධාරියෙකි. තත්ත්ව පාලන ඉංජිනේරුවෙකු වූ ඔහු සිල්වියාගේ තාත්තා හා සම වයස් වූවෙකි.

ඔහුද විෂයය කරුණු හැර වෙනත් දෙයක් කතා කරේ නැති තරම්ය. සමාගමෙන් සුදානම් කර දුන් හෝටල් කාමරයක නතර වී කාර්යාල බසයෙන් රස්සාවට ආ ඔහුගේ හැසිරීමේ පොඩි වෙනසක් නිරීක්ෂණය කරන්නට එක්තරා දිනකදී පුළුවන් විය.

මේ විශේෂ දවසේදී කා සමගවත් කතා බහක් නොකර වහනයෙන් බැසගොස් කන්තෝරු කාමරයට වැදී දොර වසා ගත්තේය . තේ ගෙනෙන ළමයා තට්ටු කරද්දීවත් ඔහු දොර ඇරියේ නැති තැන අත්සන් කර ගැනීමට ඇති ලියුම් මිටියක්ද සමග අනවසරයෙන්ම ඔහුගේ කාමරයේ දොර අරගෙන ඇතුළු වූ කන්තෝරු ලිපිකරු එහිදී දුටු දසුනින් භීතියෙන් හා විශ්මයෙන් ගල් ගැසී ගියේය.

හත් දෙයියනේ! අලුත් මහත්තයා කන්තෝරු මේසයට කකුල් දෙක තබා ගෙන මේසය උඩ තිබු නැපෝලියන් බ්‍රැන්ඩි බෝතලයෙන් තුන් කාලක්ම සප්පායම් වී දොඹ ගෙඩි දෙකක් සේ වූ ඇස් දෙකින් ඔරවාගෙන පුටුවේ වැනෙමින් සිටියේය.

තරු පහේ හොටලවලදී හා විශේෂ බලපත්‍ර හිමි කිහිප දෙනෙකුට පමණක් මත්පැන් බොන්නට පුළුවන් මේ රටේදී කන්තෝරුවේදී හෝ ප්‍රසිද්ධ තැනකදී මත්පැන් බී අසුවුවහොත් හිරේ ලැගීමට හෝ රටින්ම පිටුවහල් වීමට සිදු වේ.

එහෙව් තත්ත්වයක් නිසා තැතිගෙන සිටි ලිපිකරුවා තක්බීර් වී බලා සිටිද්දී ඔහුව තමන් ලඟට කිට්ටු කරගත් මුර්තිලා තාත්තා අහිංසක ලිපිකරුවා ළඟ තිබූ ලියුම් මිටිය අතට ගත්තේය. ඉන් පසු වියරුවෙන් සිනා සෙමින් කාමරය පුරා කොළ ටික විසුරුවා හළේය.

'යනවා එලියට'. ගුගුරා කියමින් ලිපිකරුව එලවා දැම්මේය. වැනි වැනී විත් දොර වසා ගත්තේය.

මේ බිහිසුණු ආරංචිය ඇසුරු සැණින් මෙන් කන්තෝරුව පුරා පැතිරෙද්දී ඔහුට කතා කොට පිළිවෙලක් කරන්නට ගිය හැමෝම එලවා දමන ලදී. ඒ අතරේ කවුදෝ හීන් සැරේ ගොස් ඔහුගේ මේසය උඩ තිබු බෝතලය උස්සාගේනවිත් කුණු බඳුනට දමා තිබුනේ ඉහල නිලධාරියෙකුට අසුවන්නට පෙරය.

සිල්වියාලා තත්තා වැඩේට එන්ටර් වෙන්නේ මේ අතරවාරයේදීය. මුර්තිලා තාත්තාට දැන්නම් වැඩ වරදින බව පැහැදිලි විය. එක්කෝ රස්සාවෙන් එලවා දමන්නට හෝ ඉස්පිටිතාලයට ගෙනගොස් දමන්නට හෝ ගෙන යන්නාක් මෙන් බේබද්දාවත් වත්තන් කරගෙන සිය රථයට නංවා ගත් සිල්වියාලා තාත්තා ඔහු ආපසු හෝටල් කාමරයට ඇරලවා මොකුත් නුණා සේ ආපසු ආවේය.

නිවාඩුවකින් පසු මුර්තිලා තාත්තා වැඩට ආවේය. මුර්තිලා තාත්තාට රාජකාරීමය හෝ නීත්‍යානුකුල ගැටළුවක් නොවෙන පරිදි ප්‍රශ්නය විසඳා දමා තිබුනේ ප්‍රශ්න දෙකකට පිලිතුරු ලබා නොදෙමින්මය.
එදා මුර්තිලා තාත්තා කන්තෝරුවේදී බිව්වේ ඇයි? . රූලට වැඩ කරන .සිල්වියාලාගේ තාත්තා ඒ ප්‍රශ්නය ලිස්සා ඇරියේ ඇයි?

කනින් කොනින් ආරංචි වුනේ මුර්තිගේ තාත්තා එසේ බීමත්ව හැසිරුනේ සිය එකම පුත්‍රයා පිළිකා රෝගයකින් පෙළෙන බව හඳුනා ගත් ආරංචිය ලද දවසේ බවත් එය දැනගත් පසු සිල්වියාගේ තාත්තාගේ හිතද හෝස් ගා උණු වී ගිය බවත්ය.

...........ඉතිරිය කියවන්න

 

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය -ආවෝ ගියෝ සමග පැමිණි තරුණිය.

 

Somaඇය ගැන අප සිත්තුළ තිබු ප්‍රතිරූපය වුයේ රෙද්ද හැට්ටය හැඳි ගැමි කාන්තාව හෝ ඔසරිය හැඳි වලව්වක ළමාතැනියකගේ රූපයයි.නමුත් දැන් රථයෙන් බසින්නේ ඩෙනිම් ජීන්ස් එකක් සහ බ්ලවුසයක් හැඳි කාන්තාවකි.සැබෑ ජීවිතය මෙසේ යැයි අපේ සිත් පිළිගන්නේ මදක් ප්‍රමාද වෙලාය.සෝමලතා සුබසිංහ මහත්මිය සමග එවකට ඇගේ ශිෂ්‍යයෙක් වුද පසුකාලීනව ඇගේ ලොකු බෑනා වන්නට නියමිතව සිටියාවුද චන්දන අලුත්ගේ(පසුව ආචාර්ය චන්දන අලුත්ගේ) සහ වික්‍රම සෙනෙවිරත්නද විය.පසුපස ඉදිරි අසුනේ සිට බිමට බැස්සේ අඩි හතක් පමණ උසැති කෙට්ටු විදේශිකයෙකි. සෝවියට් සංගමයේ ඈත පෙරදිග හෝ මධ්‍යම ආසියානු රටක වැසියෙක් වූ ඔහු බොහෝ සුහදශීලී තරුණයෙක් වූ අතර චිත්‍රපට කලාව පිලිබඳ උපාධිධාරියෙක් විය.අවෝ උගෝ නම්වූ ඔහුට අප සමග මිතුරුවූ පසු  ආවෝ ගියෝ යනුවෙන් ඇමතුවෙමු.
 
වෑන් රථයේ පසුපස අසුනේ සිට අවසානයට බිමට බැස්සේ දෙවඟනක් බඳු රුපශ්‍රීයෙන් යුත් නවයොවුන් වියේ වූ රූමත් විදේශික යුවතියකි.ඇත්දළ පැහැති ඇගේ වතට ගෙල තෙක් කෙටිවූ රන්වන් කෙස් කළඹෙන් වැටුනේ අමුතු ආලෝකයකි.නිල් පැහැති දෙනෙත් කාන්තියෙන් දිලිසෙමින් තිබිණි.කෙටි ස්කර්ට් එකක් සහ වර්ණවත් බ්ලවුසයක් හැඳ සිටි ඇය උසින් අඩි හයකට මඳක් අඩුය.අපි ඉහළට ගත් හුස්ම පහළට හෙලන්නට අමතකව අහසින් බට සුරංගනාවක් බඳුවූ මේ රූමතිය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමු.
 
ලස්සන කෙල්ල නේදැ'යි සෝමලතා සුබසිංහ මහත්මිය ඇස් ඉඟිමරමින් කීවේ කෙල්ල දෙස වශීවී බලාසිටි අපට ඔලොක්කුවටත් එක්කය.මෙයා රුසියාවෙ,ලංකාවෙ නාට්‍ය ගැන පර්යේෂණයක් කරනවා.මේ දවස්වල අපිත් එක්ක ඉන්නෙ' යි ඇය වැඩිදුරටත් පැවසුවාය.ඇය එම තරුණියගේ නමද කියූ මුත් දැන් මට අමතකය.සිහි එළවාගත් අපි ඔවුන් සියලුදෙනාම ආදරයෙන් පිළිගෙන ගෙතුළට කැඳවාගෙන ගියෙමු.'කෝ බෙනට් නැද්දැ'යි අසමින් වාඩිගත් ඇය තමන් අලුතින් නාට්‍යයක් කරන්නට පටන්ගත් බවත් විශේෂය වන්නේ මෙවර නාට්‍යය පුහුණුකරවන්නේ ගොළු බිහිරි ළමුන්ට වීම බවත් කීවාය.  පටන්ගනිද්දී කරන්නට පුළුවන් වේවිදැයි සැකයක් තිබුනද ඉතා ඉක්මනින් ඒ සැකය නැතිවූ බවද ඇය පැවසුවේ දැඩි උද්යෝගයකිනි.'මෙහෙම වැඩක් කරන්නත් පුළුවන් වුනානං මීට පස්සෙ දර කෑලි එක්ක වුනත් නාට්‍යයක් කරන්න පුළුවනි කියල මට හරිම ආත්ම විශ්වාසයක් ඇතිවුණා 'යි ඇය කීවාය.
 
නාට්‍යයේ පුහුණුවීම් කරන ආකාරය සහ නාට්‍ය දර්ශනයක් යූ මැටික් වලින් වීඩියෝ කරවා ගැනීම ඇයගේ අභිප්‍රාය විය.ඇයගේ කැමරා ශිල්පියාවූ අවෝ උගෝ හෙවත් ආවෝ ගියෝ කැමරා උපකරණ පරීක්ෂා කරමින් සිටි අතර සෝමලතා මහත්මිය ඇයගේ අලුත් නාට්‍යය ගැන නොනවත්වා කතාකළාය.ඒ කරුණු දෙක ගැනම කිසි  උනන්දුවක් නොදැක්වූ අපි ගෙදරට පැමිණි රූමත් තරුණිය කෙරෙහි බොහෝ උනන්දු  වූවද එදිනට පසු නැවත ඒ තරුණිය දැකගැනීමේ වාසනාව නොලදිමු. එහෙත් අප මිත්‍ර ආවෝ ගියෝ පමණක් නිතරම බෙන් එකට ආවේ ගියේ කැමරා උපකරණ ගෙනයාමට සහ ආපසු ගෙනැවිත් දීමටය.
 
මට නැවතත් සෝමලතා සුබසිංහ මහත්මියව  හමුවන්නේ ඊට අවුරුදු දහයකට හෝ එකොළහකට පමණ පසුව චෙන්නායි නුවරදීය.ඒ වනවිට මගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් ඇතිවී තිබිණි.තැන තැන රස්තියාදු ජීවිතය අතහැර පිළිවෙලක් වී සිටි මම ඒ වනවිට විප්‍රවාසය අරඹා තිබුනෙමි. විප්‍රවාසයේ ප්‍රථම නැවතුම් පොළ වූ චෙන්නායි නුවරට පැමිණ අවුරුදු කීපයක් ගතවන විට සෝමලතා සුබසිංහ මහත්මිය සිය නාට්‍ය කණ්ඩායමත් සමග එහි පැමිණියේ එනුවර සිය නාට්‍යවල දර්ශන කීපයක් වේදිකාගත කිරීම සඳහාය.ඇය රැගෙන විත් තිබුණේ තොප්පි වෙළෙන්දා සහ විකෘති යන නාට්‍ය ද්විත්වයය.අපි තුන්දෙනා නාට්‍ය ද්වයම නරඹා සතුටු වූයෙමු.නිල්මිණි සිගේරා සහ චාන්දනී සෙනෙවිරත්න කලක් රඟපෑ විකෘති නාට්‍යයේ ප්‍රධාන චරිතය එවකට රඟන ලද්දේ නදී කම්මැල්ලවීර විසිනි.ඇය ප්‍රකට ලේඛකයෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ජයතිලක කම්මැල්ලවීරයන්ගේ දියණියයි.මගේ මතකය නිවැරදි නම් නදී පසුකලෙක කසුන් කල්හාර සමග විවාපත් වුවාය.කෞශල්‍යා ප්‍රනාන්දු සහ ප්‍රසන්නජිත් අබේසුරියද කණ්ඩායමේ සිටි බව මට මතකය.නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් සංවිධානය කර තිබු රාත්‍රී සාදයකදී මම පිංතුර ගත්තෙමි.ඊට පසුදින චෙන්නායිහි සමාජ සංවිධානයක් විසින් ඔවුන්ට හරසර දැක්වීම පිණිස තවත් සාදයක් සංවිධානය කර තිබිණි.එම සාදයට මට ආරාධනාවක් නොතිබූ බැවින් ගෙදරට වී සිටියෙමි. හවස්වරුවේ සෝමලතා සුබසිංහ මහත්මිය මට කතාකලාය.ඇය කීවේ සමරු සටහන් වශයෙන් මෙම සාදයේ පිංතුර ටිකක් ගැනීම අත්‍යවශ්‍ය බව හා යන වියදමක් ඇය විසින් දරන බවත් මේ හදිසියට ඡායාරුප ශිල්පියෙක් සොයාගැනීමට නොහැකි නිසා සාදය ඡායාරුපගත කරදෙන ලෙසත්ය.පිංතුර ගැනීමේ හෝ වියදමේ ප්‍රශ්නයක් නැති වුනත් ආරාධනයක් නොමැතිව එම සාදයට සහභාගී වන්නට මට නොහැකි බව ඇයට කීවෙමි.හවස් වෙද්දි ආරාධනා පත්‍රයක්ද සමග සාදයට යන්නට වාහනයක්  ගෙදරට එවන්නට ඇය විසින් කටයුතු සලසා තිබුණි.ඒ සෝමලතා සුබසිංහ මහත්මියගේ හැටිය.සාදයේදී ඇය සහ නාට්‍ය කණ්ඩායම ගීත ගයමින් සතුටුවන ආකාරය මම ඡායාරුපගත කරදුනිමි.

මෙය පසුගියදා ජීවන රඟමඬලෙන් සදහටම සමුගත් සෝමලතා සුබසිංහ මහත්මිය පිලිබඳ කෙටි මතක සටහනකි.ක්ෂේත්‍රයේ මගේ අත්දැකීම් ලියන විට ඇය ගැනද මතක මා සතුව පවතින බව පෙනුන හෙයින් මෙම සටහන තැබුවෙමි.එදායින් පසු ඇය නැවතත් මට මුණගැසුනේ නැත.මා ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටියානම් සමහරවිට මේ මතකයන් මීට වඩා වැඩිවන්නට ඉඩ තිබුණි. නමුත් විවාහයෙන් පසු මා ක්ෂේත්‍රයට සම්බන්ධවීම ගැන බිරිඳගේ කිසිම මනාපයක් නොවීය.'ඔයාට කරන්න රස්සාවක් තියෙනවනෙ ඕවට යන්නෙ මොකටද,රස්සාවක් නැත්නං තව කමක් නෑ' ආදී වශයෙන් ඇය තම අකමැත්ත පළකලාය. බිරිඳගේ අකමැත්ත හේතුවෙන්  විවාහයෙන් පසු ලංකාවේ ගතකළ අවුරුදු දෙක තුන ඇතුළත කිසිම නිෂ්පාදනයකට සම්බන්ධ වීමට හැකිවුයේ නැත. ඊට පසුකාලීනව ජීවිතයෙන් වැඩිහරිය විප්‍රවාසව ගතවුන බැවින් අදාළ ප්‍රශ්නය නැවත පැන නැගුනේද නැත. ඉදිරියටද ක්ෂේත්‍රයට සම්බන්ධ වනු ඇතැයි නොසිතෙන්නේ වර්තමානයේ කෙරෙන නිෂ්පාදන සිදුවන්නේ අප කර පුරුදු දැක පුරුදු ක්‍රමයට නොව අමුතුම ක්‍රමයකට බැවින් අප යල් පැන ගිය භාණ්ඩ වීමට ඉඩ ඇති බැවිනි.

 

සංවේදනා

Sad-Girl-Sleepingසුලෝචනා කම්බි දැල අතරින් බලාගෙන හිටියා. කොච්චර වෙලාවක් එකම විදිහට එහෙම බලාගෙන හිටියද කියන්නේ සුලෝචනා දැනගෙන හිටියෙත් නෑ. ලස්සනට මැද්දෙන් බෙදපු බෙල්ල ගාවට දික් වෙච්චි කොන්ඩේ උලුවස්සෙන් ඈතට පේන්නේ නැතිව යනකං බලාගෙන හිටියා.

“එයාගේ නම නිසල්”

ගිය සතියේ දවසක පන්ති ඔක්කොම එකතු වෙලා කරපු ක්‍රීඩා උත්සවේ වෙලාවේ හරිම අමාරුවෙන් නම හොයා ගත්තේ. අනිත් ළමයි ඔක්කොම සෙල්ලම් කරත් නිසල් සෙල්ලම් කළේ නෑ. හිනා වේවි පැත්තකට වෙලා බලාගෙන හිටියා විතරයි. හැබැයි ඇස් වලින් හිනා වෙන ඒ අපූරු මූණ දිහා බලන්නේ නැතිව ඉන්න සුලෝචනාට බැරි උනා. හැංගිච්චි අහිංසකකමක් ඒ ඇස් වල තිබ්බා.

එදා සුලෝචනා නිසල් දිහා බලලා හිනා උනා. හැබැයි නිසල් දැක්කේ නෑ වගේ අහක බලාගෙන හිටියේ. “අපෝ ඒ කොල්ලගේ ගණන්!” උඩු හිත එහෙම කිව්වට යටි හිත හැම වෙලේම ඒ ඇස් මතක් කළා.

හැම අවුරුද්දේම ඉස්කෝලේ විවිධ ප්‍රසංගය දවස කියන්නේ සුලෝචනා ආසම දවසක්. “ඔයා හරි ලස්සනට නටනවා. බලාගෙන ඉන්න ආසයි.” ඉස්කෝලේ ළමයි විතරක් නෙවෙයි. ටිචර්ලත් සුලෝචනා ලඟට ඇවිත් කියනවා අහන්න ඈ ආස උනා. උඩරට නැට්ටුකාරියක් විදිහට දිලිහෙන ඇඳුම් ඇඳලා ඉණ ලඟට වැටෙන බර කොන්ඩේ ඉහළට කරලා ගැට ගහගෙන පාහින්පතෙන් වහගෙන ස්ටේජ් එක උඩට යන්න සුලෝචනා හැම වෙලේම ආස උනා.

“නටද්දී ඉස්සරහ විතරක් බලලා මදි!!!” නැටුම් ටීචර් රිහසල් කරද්දී කෑ ගහද්දි සුලොචනාට ලජ්ජා හිතුනා. හොරෙන්ම කම්බි දැලට එහා පැත්තේ නිසල්ලෑ පන්තිය දිහා බලනවා ටීචර් දැකලාවත්ද...

ඉන්ටවල් එකේ අත හෝදන්න ටැප් එක ලඟට ගියත් සුලෝචනා බැලුවේ නිසල් ඉන්නවද කියලා. ඒ වෙද්දීත් එයා අත හෝදගෙන යන්න ගිහිං. තව යාලුවෙක්ගෙ කරට අත දාගෙන කැරළි ගැහිච්චි ඒ කොන්ඩේ ආපහු පන්තිය ඇතුළට යනවා සුලෝචනා දැක්කා.

ගඟ ඉහත්තාවට වැස්ස දවසට වෙලේ කඩාඩුව කඩාගෙන මහා හයිකාරයෙක් වගේ පහළ ඇළ වෙල ඇතුලට කඩා වදින්නා වගේ සුලොචනාගේ හිතට කිදා බැහැපු ඒ අපූරු හැඟීම තවත් හංගගෙන තියාගන්න ඒ අහිංසක හිතට ඕනේ උනේ නෑ.

පහුවදාම සුලෝචනා ලස්සන රවුම් අකුරෙන් සුවඳ කොළේක එයා ලෝකේ දැනගෙන හිටපු ලස්සනම වචන තුන ඇන්දා...

“මං ඔයාට ආදරෙයි”

ඉන්ටවල් එක ඉවර වෙන්න බෙල් එක වදින්න ඔන්න මෙන්න තියලා සුලෝචනා ඒ අපූරු සුවඳ කොළේ නිසල් අතට ගුලි කළා.

“මොකද්ද මේ...?”

නිසල් කොළේ දිහාවත් සුලොචනාගේ මූන දිහාවත් බලන්නේ නැතිව ඈත බලාගෙන ඇහුවා.

සුලෝචනා දන්න විදිහට අත් පය කරකවා කරකවා කොළේ තියෙන දේ එයාට පුළුවන් භාෂාවෙන් කියන්න බැලුවා.

“මට කියවන්න ඇස් පේන්නේ නෑනේ. ඔයාට මේක මට කියවන්න පුලුවන්ද..” නිසල් හරි අහිංසක විදිහට ඇහුවා.

“උපතින්ම ගොළු වෙච්චි සුලෝචනාගේ මුවින් හීනි ඉකිබිඳුමක් හුළඟට එකතු උනා.

-http://naadiyaonline.blogspot.co.uk/2015/06/sanvedhana.html

අසාමාන්‍ය රංගධරයෝ කිසිදා මියනොයති. ඔවුහු සැඳෑ අඳුරට මුසුව සැඟව යනු පමණි. They never die, just fade away into twilight.

toniඡායා සහ ටාසන්...කෑගල්ල නගරයෙ ඒ කාලෙ තිබ්බෙ චිත්‍රපට ශාලා දෙකයි. ඒ කාලෙ කියන්නෙ 1976 අවුරුද්දෙ. නගරය මැද ලංගම බස් නැවතුම්පළ ලඟම එකිනෙකට යාර 400 වගෙ දුරින් තිබුනු ඒ ෆිල්ම් හෝල් දෙකේ ගාල තිබ්බ පාටත් මට තාම මතකයි. ඡායා හෝල් එකේ ගාල තිබ්බෙ රෝස පාට..ටාසන් එකේ අළුපාට. 

 
පෞද්ගලික බස් රථවලට ඒ කාලෙ අවසර තිබ්බෙ වන්දනාගමන්, අධ්‍යාපන චාරිකා, මළගෙවල් ට්‍රිප් වගෙ එව්ව යන්ට විතරයි. පෞද්ගලික බස් වලට පොදු මගී ප්‍රවාහණයට අවසර ලබාදුන්නු ජේ.ආර්. ගෙ යූ.ඇන්.පී. ආණ්ඩුව බලයට පත්වෙන්නෙ තව අවුරුද්දකට වගෙ පස්සෙ. ටාසන් පෞද්ගලික බස් රථ සමාගම ඒ කාලෙ කෑගල්ලෙ විතරක් නෙවෙයි මධ්‍යම පළාතෙත් කුරුණෑගල පැත්තෙත් ප්‍රසිද්ධයි. ටාසන් හෝල් එකයි බස් කොම්පැණියයි දෙකම එකම සමාගමේ. ඒ නිසා බොහොමයක් දවස්වල අපි 9.30 චිත්‍රපට දර්ශණය බලල එළියට එනකොට හෝල් එක ඉස්සරහ මිදුලෙ ටාසන් බස් දෙක තුනක් ගාල් කරල තිබ්බ. 
අද වෙනකොට නම් ටාසන් හෝල් එක ඉස්සරහ එහෙම ඉඩ පහසුවක් නෑ. අවුරුදු හත අටකට උඩදි දවසක් බස් එකේ කොළඹ යද්දි මම දැක්ක ටාසන් හෝල් එක ඉස්සරහ තිබ්බ ඒ බිම් කොටසෙ කඩ සාප්පු සංකීර්ණයක් ඉදිකරල තියනව.ආ...තව එකක්...ඡායා හෝල් එක පැත්තකිනුත් මිලානෝ කියල තවත් ෆිල්ම් හෝල් එකක් පස්සෙ කාලෙක හදල තියනව.
 
 
අප්පච්චිට උසස්වීමකුත් එක්ක ස්ථාන මාරුවක් ලැබුන හින්ද අපේ පවුලෙ අනික් අය මාව කෑගල්ලෙ නවත්තල 1975 අවුරුද්දෙ අන්තිමේ ගියා අනුරාධපුරේට. ඊලඟ අවුරුද්දෙ අන්තිමට ජා.පො.අ.ස. විභාගෙ ලියන්ට නියමිතව තිබුන නිසා මට කෑගල්ලෙම නවතින්ට වුනා.එහෙම වෙන්ට හේතුව ප්‍රාග් වෘත්තිය 2 විෂයට මම කරපු මෝටර් යාන්ත්‍රික විද්‍යාව විෂයය උගන්වන ඉස්කෝලයක් අනුරාධපුරේ තිබුනෙ නෑ.
අවුරුදු හතරක් උගන්වන විෂයයක් අන්තිම අවුරුද්දෙදි වෙනස්කරල වෙනම විෂයක් විභාගෙකට කරන්ට බැරිනිසාම මම එකේ පන්තියෙ ඉඳලම මගෙ හොඳම යාලුවගෙ ගෙදර අවුරුද්දකට නැවතුනා.කෑගල්ලෙ පොලීසිය පහුකරල නුවර පාර අයිනෙම බොහොම සේසයක් දුර එයාලගෙ ගෙවල් තිබ්බෙ. ඒ හරියට කියන්නෙ මීපිටිය.ඒ කිට්ටුවම තිබ්බ පොලිස් නිල නිවාසවල ඒ දවස්වල හිටිය නැඟීඑන තරුණ වාදකයෙක්. රූකාන්ත ගුණතිලක.
 
 
මගෙ යාලුවට තිබ්බ පෙර-යොවුන් වියේ ආකර්ෂණයක් (A Pre-teenage Crush ) එක්තරා රූමත් යොවුන් නිළියක් කෙරෙහි. ඈ නීටා ප්‍රනාන්දු.
76 අවුරුද්දෙ මැද භාගයෙ විතර නීටා රඟපෑ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වුනා. විජය ධර්මශ්‍රී ගේ පළමු අධ්‍යක්ෂණය..චිත්‍රපටය දුහුළු මලක්...
දුහුළු මලක් චිත්‍රපට ටෝනි කලේ ප්‍රධාන චරිතය නෙවෙයි.අනියම් පෙමක පටලැවෙන තරුණ කාන්තාවකගේ සැමියාගේ භූමිකාව....ඒ භූමිකාව ඔහු කොපමණ අපූරුවට ඉදිරිපත් කලාද කියතොත් ප්‍රධාන චරිත රඟපෑ නීටා සහ රවීන්ද්‍රගේ නම් මට අද මතකයට නඟාගත නොහැකි වුවත් ටෝනි රඟපෑ චරිතයේ නම මට අදත් මතකයි..සුරවීර...නීටා ඔහුට කතා කරන්නෙ සුරේ කියල." අනේ ඇයි සුරේ මේ? ඇයි ඔයා මේ විදිහට හැසිරෙන්නෙ? " නීටා ටෝනිගෙන් එහෙම අහන්නෙ නීටාගේ අනියම් පෙම පිළිබඳව ටෝනිට යම් සැකයක් මතුවුනු දා රාත්‍රියෙහිදී........
දුහුළු මලක් චිත්‍රපටය ගැන කිවයුතු අනෙක් වැදගත්ම කාරණය එහි අඩංගුවුනු අපූරු ගීත. 
 
රන්කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි, 
පෙම් රැහැණින් බැඳ සිතුම් වසඟකල ආදරයයි, 
 
බොඳ මීදුම් කඳුරැල්ලේ, සුරංගනා රජ දහනේ, 
ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා හෙටත් වාසනාවන්….
අවුරුදු හතළිහකට ආසන්න කාලයක් ගිහිල්ලත් තවමත් ඉඳහිටලා ඉබේටම වගෙ මගෙ මුවින් මිමිණෙන ගීත දෙකක්. ඒ සුප්‍රසිද්ධ ගීත දෙකට අමතරව දුහුළු මලක් එකේ තිබ්බ තවත් එතරම් ප්‍රසිද්ධ නොවුනු අපූරු ගීතයක්. මිල්ටන් මල්ලවාරච්චි නම්වූ ගායකයා කිව්වෙ..
 
රෝමය ලෙසේ...අතීතයේ...
ගිණි ඇවිලේ ගිණි ඇවිලේ යෞවන සිත් නගරේ..
වෙණවයා සැනසෙමූ..නීරෝ...වගෙඅපී..
වෙණ වයා සැනසෙමූ..නීරෝ...වගෙ අපී..
ඒ අවුරුද්දෙම දුහුළු මලක් එකට පස්සෙ තිරගතවුනා මංගලා චිත්‍රපටය.. ඒ කාලෙ ආණ්ඩු කරපු සමගි පෙරමුණු රජයෙ වෙළඳ ඇමති පදවිය දරපු ටී.බී. ඉලංගරත්න මහත්මයගෙ නවකතාවක් ඇසුරින් කරපු නිර්මාණයක්. ඒ කාලෙ ඉලංහරත්න මහත්මයගෙ පොත්වලින් චිත්‍රපට ගහන රැල්ලක් තිබ්බා. මංගලා, තිලක හා තිලකා, නෑදෑයෝ,සසර, ළසඳා, ඉලංගරත්න මහත්මයගෙ ඔය ඔක්කොම පොත්වලින් චිත්‍රපට ගැහැව්ව. දැන් අර රූපවාහිනියෙ ලොක්කා වෙලා ඉන්න මනුස්සයා මිනිහගෙ අර දෙකයි පණහෙ චිත්‍රපට ඔක්කොම රූපවාහිනියෙ පෙන්නනව වගේ....හෙහ්,හෙහ්, 
මංගලා ෆිල්ම් එකෙත් ප්‍රධාන චරිතය රඟපෑවෙ නීටා....මම අර කලින් කිව්වෙ මගෙ යාලුවා.....මිනිහගෙ ක්‍රෂ් එක මේ වනකොට අසාධ්‍යය තත්ත්වයට ඇවිල්ලයි තිබ්බෙ. මිනිහ කොහොමහරි අපේ පංතියෙ හිටපු යාලුවෙක්ගෙ මාර්ගයෙන් ( ඒ යාලුවගෙ අයිය කෙනෙක් වැඩකලා ඡායා හෝල් එකේ කැන්ටිමේ ) මංගලා ෆිල්ම් එකේ අඩි 3 x අඩි 2 වගෙ පෝස්ටර් එකක් හොයාගෙන මිනිහගෙ ඇඳ ඉහත්තාවෙ බිත්තියෙ අලව ගත්ත. 
හැමදාම රෑට නිදාගන්ට ගිහිල්ල මනුස්සය ඇඳේ දහරමණ්ඩිය ගොතාගෙන නීටගෙ පෝස්ටරේ දිහා බලා ඉන්නව එක විනාඩි දහයක් පාළහක් තරම. මට නේද? විකාරද අමරදේව....
අනික ඔය චිත්‍රකතා සහ චිත්‍රකතා පොත් නැඟල යන කාලෙ. ලන්දේසි හටන ( 1-8 දක්වා කොටස් අටක් තිබ්බා ) පහන් තරුව, සඳ කුමරිය, බිලි පූජාව, ඒ කාලෙ ප්‍රසිද්ධ වෙච්චි චිත්‍රකතා පොත්, ලන්දේසි හටන සහ පහන් තරුව ඇන්දෙ සුසිල් ප්‍රේමරත්න.
 
 
රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළදිදී විදුලිය පබා...
රන් රසේ එක් වන ලෙසේ වෙණ නාද නූ පා තබ තබා...
කම් පසේ දෙන සර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා...
මම් කෙසේ පවසම් එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා..."
 
ගුත්තිල කාව්‍යයෙ සඳහන් වෙන සුරඟන රැඟුම් ගැන කියවෙන ඒ ගීතය ගැයුවෙ සුසිල් ප්‍රේමරත්න සහ ලතා වල්පොල.රූපවාහිනියෙ ඒ කාලෙ මාසෙකට වතාවක් ප්‍රචාරය වෙච්චි වෙච්චි නන්දන වින්දන වැඩ සටහනේ සුසිල් ප්‍රේමරත්න චිත්‍ර ඵලකයක් ඉස්සරහ ඉඳගෙන රූ රැසේ අඳිනා ලෙසේ ගීතය ගායනා කරන දර්ශනය මට කිසිදාක අන්මතක වෙන එකක් නෑ. ගීතය ගයන අතරේ ඔහු තම පින්සල් තුඩඟින් ඵලකය මත නර්තනයේ යෙදෙන දෙවඟනන්ගේ රූ සිරි මැවූ අයුරු විස්මය ජනකයි. ඔහු ගීතය ගායනය කරලා අවසාන වන විට චිත්‍ර ඵලකය මත ගුත්තිලයන්ගේ වෙණ නද අනුව පා තබමින් නර්තනයේ යෙදෙන දෙවඟනන් නිරූපණය වී අවසන්. කලාවේ නෛසර්ගික හැකියාව කියන්නෙ අන්න ඒක.
දයා රාජපක්ෂ..ඒ තවත් එදවස අපේ හද බැඳගත් චිත්‍ර ශිල්පියෙක්. ඔහුගේ හුලවාලි චිත්‍රකතාව පදනම් කරගෙන නිපදවුනු හුලවාලි චිත්‍රපටයේ ටෝනි නිරූපණය කලේ දුහුළු මලක් චිත්‍රපටයේ ඔහු නිරූපණය කල චරිතයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ චරිතයයි. දුහුළු මලක් හි ඔහු තම බිරිඳගේ අනියම් සබඳකම හේතුකොටගෙන වේදනා විඳිනා ස්වාමියා වන විට හුලවාලිහි ඔහු රොඩී රැහේ නායක ධාරාගේ අඹුව වූ සුබා හා පෙමින් වෙලී ඈ හා පළායන බිබිලේ ඇත්තෝ නම් වෙළෙන්දාගේ භූමිකාව නිරූපණය කලා.
පෙම්බර මධූ...ඒ ටෝනි රඟපෑ තවත් චිත්‍රපටයක්. පෙම්බර මධූ එක් අතකින් සුවිශේෂී චිත්‍රපටයක්. ඒ වනාහී අවසානයක් දෙකක් සහිත ප්‍රථම සිංහල චිත්‍රපටයයි. දවසක් හැර දවසක් සේ පෙම්බර මධූ ප්‍රදර්ශනය කෙරෙන සිනමා ශාලාවල ඒ අවසානයන් දෙක නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබුනා.
1979 වසරේ විතර වගෙ මට මතක ...සරසවිය පත්තරේ අනුග්‍රහයෙන් " එදා මෙදාතුර සිංහල සිනමාවේ මංසලකුණු සනිටුහන් කල සිතුවම් පට " යන මැයෙන් 
චිත්‍ර
පට උළෙලක් කොළඹ රීගල් සිනමාහලේ පැවත්වුනා. ඒ චිත්‍රපට උළෙලේදී ගම් පෙරළියේ බලදාස සහ පරසතුමල් හි බොනී මහත්තයාගේ වතුපිටි පාලනය කරන සුපවයිසර් වරයා මට හමුවුනා. ඒ චරිත දෙකම විශිෂ්ට අයුරින් නිරූපණය කලේ ටෝනි.


 
බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ 
දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ 
මා ආදරය දුටුබව නොම හැඟුණාවේ 
මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ 
 
පරසතුමල් 
චිත්‍ර
පටය අවසාන වෙන්නෙ ගාමිණී ෆොන්සේකාගේ හඬින්ම ගැයෙන ඒ ශෝකීරාවය සවන් විනිවිද යද්දි.
හන්තානේ කතාව චිත්‍රපටය මම නැරඹුවෙ බොහොම පස්සෙ කාලෙක රූපවාහිනියෙ ප්‍රදර්ශනය කරද්දි. ටෝනි, විජය සහ ස්වර්ණා සමඟ හන්තානේ කතාවෙත් ප්‍රධාන චරිතයක් රඟපෑවා.
ටෝනිගේ කුසලතා පරාසය රඟපෑමට විතරක් සීමා වුනේ නෑ. 
චිත්‍රපට තිරනාටක රචනය - කොටි වලිගය, අවරගිර, තරණය, දුවට මවක මිස, කෙළිමඬල හා පවුරු වළලු
වේදිකා රංගනය - බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල්, රන්තෝඩු, වැනිසියේ වෙළෙන්දා, හරිම බඩු හයක්, අවි, ගිම්හානේ රැයක දුටු සිහිනයක්
වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය - දොළොස්වැනි රාත්‍රිය, ජුලියස් සීසර් 
එතරම් ප්‍රසිද්ධ නොවූවද ඔහු නවකථා රචකයකුද විය -ආදරණීය අයිරා, ජෝගි හමාරයි, මට කවුරුවත් ආදරේ නෑ හා හැමදාම ඔබ මගේ 
අතිවිශිෂ්ඨ රංග ප්‍රතිභාවකට උරුමකම් කීවද තම සහජ හැකියාවෙන් උපයාගත් මහජන ප්‍රසාදය, සිවිල් බලය ඔහු කිසිදා ගණිකා වෘත්තියෙහි නොයෙදීය. ඔහු කිසිදිනෙක කිසිවකුගේ සට්ටඹියකු නොවීය. බොහෝ කළාකරුවන් දේශපාලන වේදිකාවට ගොඩනැඟි 2005 වසරේදී පවා ඔහු කිසිදු පුද්ගලයෙකුට මනාපය ප්‍රකාශ කරන ලෙස අපගෙන් ඉල්ලා නොසිටියේය. ඒ ටෝනිගේ අධීනත්වයයි. ඒ ඔහුගේ පෞරුෂත්වයයි. 
 
ඔබට සුබ ගමන් අනුපමේය රංගධරයාණනි!!!
 
Image - Sunday Observer

http://ranrandil.blogspot.co.uk/2015/06/326-they-never-die-just-fade-away-into.html

ට්‍රිස්ටන් ද කුඥ්ඥ දිවයිනේ ඇනකික් සාමුහික සමාජය

 

tristanකලකට පෙර විවීධ වෙනස් දූපත් ගැන කරගෙන ගිය සාමාන්‍ය දැනීම ප්‍රශ්න අතරින් එකක්.

ලොකු රටක යටතේ පාලනය වන මෙම දූපතේ ජනාවාස පටන් ගන්නේ යුරෝපා සම්භවය ඇති ජාතින් කීපයකින් ආපු මිනිසුන් සුළු පිරිසක්. මෙම හේතුව නිසා ඇති වූ ජෙනටික් බොට්ල් නෙක් එක පැහැදිලිව පෙනෙන්නේ දූපතෙ සියගානක ජනගහනයෙන් බාගෙකට එක්තරා රෝග තත්වයක් තියෙන නිසයි.

ධනවාදී රටක යටතේ පාලනය වුනාට මෙහි තියෙන්නේ සමාජවාදයට හුරු පාලනයක්. දේපොළ සියල්ල පොදුයි. අතිරික්ත ඉපයීම වලට සීමා දානවා. කෙනෙක් වැඩිය උපයන්න ගියොත් ඒවා අනිත් අයට ලැබෙන්න සලසනවා.

මෙයාලගේ භාෂාව ප්‍රධාන භාෂාවක ව්‍යුත්පන්න භාෂාවක්. හරියට සිංහලයෙන්ම ව්‍යුත්පන්න වූ වැදී බස වගේ. මේක ගැන කට්ටිය අධ්‍යනය කරනවා.

මීට ටික කලකට පෙර මේ දූපත වලට ඉහල අහසේ ඉතාම බලගතු රටක් මහා භයානක පර්යේෂණයක් කළා. සුද්දෝ හිටියට සුද්දන්ගේ රටක කොටසක් වුනාට මේ දූපතේ මිනිස්සු ගැන තඹේක මායිමක් කලේ නැහැ. කොටින්ම වසර ගානක් යනකම් ඔවුන් දන්නෙවත් නැහැ. පරීක්ෂණය සිතු ලෙසම හරි ගියා. පොඩි හරි වැරදීමක් වුනානම් ඔවුන් සමූලඝාතනය වෙන්න ඉඩ තිබ්බා. පුදුමය නම් ඔවුන්ව පාලනය කරන රට පවා මෙය දැන සිට ඔවුන්ගෙන් සැඟවීමයි.

සැහෙන කියවන්න වටින දූපත් සමූහයක්. මෙම දුපත් සමූහය කිසියම් භූගෝල විද්‍යාත්මක වාර්තාවකට හිමිකම් කියනවා.

1. මෙම දූපත් සමූහයට කියන නම කුමක්ද?

2. ඔවුන් අයිති ලොකු රට කුමක්ද?

3. ඔවුන් දරන ලෝක වාර්තාව කුමක්ද?

4. ජෙනටික් බොට්ල් නෙක් පෙන්නන රෝගාබාධය කුමක්ද?

5. ඔවුන් ගැන කිසිම අවධානයක් නැතුව පරීක්ෂණයක් කලේ කවුද?

6. ඒ පරීක්ෂණයේ නම කුමක්ද? කලේ මොකද්ද? බලා පොරොත්තුව වුනේ මොකද්ද?

---------------------------------

ට්‍රිස්ටන් දූපත් [හෙවත් ට්‍රිස්ටන් ද කුඥ්ඥ දූපත් - මෙය සොයාගත් කෙනාගේ නමයි] ජනාවාස වන්නේ ඇමරිකාවෙන් හා යුරෝපෙන් ආ පිරිසකගෙන්. මුල් ජනාවාස කරුවන් කීපයක් මියයන අතර දැනට ඉන්න මුළු ජනගහනය පැවතෙන්නේ මිනිසුන් හා ගැහැනුන් ඔක්කොම 11 දෙනෙක් ගෙන්. ඒ පිටස්තරයන්ට ඉඩම් ගන්න මාර අමාරු ලෙස සම්මුතියක් තියෙන නිසා. මින් තිදෙනෙක් ඇදුම රෝගීන් නිසා දැනට දූපතේ පවුල් අසූවක 297 න් බාගෙකට වඩා ඇදුම රෝගීන්. මේක ජෙනටික් බොට්ල් නෙක් වලට නියම උදාහරණයක්.

ඒ කාලෙම මෙය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙනවා. ඉන් පස්සේ බ්‍රිතාන්‍ය ශාන්ත හෙලේනා දූපත් පාලනයේ කොටසක් ලෙස නම් කරනවා. දකුණු අත්ලාන්තික් හි පිහිටි මෙම ජනාවාසයට ආසන්නම ජනාවාසය ශාන්ත හෙලේනා කිමි 2430 ක්. ඊට පස්සේ දකුණු අප්‍රිකාව හා දකුණු ඇමරිකාව. ඇක්සෙස් දකුණු අප්‍රිකාවේ සිට නැවේ දින දහයක්. වෙන යා හැකි විදිහක් නැහැ. ගුවනින් යන්න බැහැ [හෙලිකොප්ටර් හැර]

මේ ලෝකයේ වෙනත් ජනාවාසයකට දුරින්ම පිහිටි ජනාවාසයයි. ඒ වාර්තාව ඊස්ටර් දූපත් වලට දාන වැරැදී දත්තයක් ප්‍රචලිතව තියෙනවා. එහෙත් ඔවුන්ට මීට වඩා ළඟ ජනාවාස තියෙනවා.

ඉතිරිය බලන්න http://nelumyaya.com/?p=3184

 

පොදු අපේක්ෂකයා

maythri
මැතිඳ !!!!
අමතකව ඇති හැඩ ය..
දැන් ඔබට,
පොදු අරමුණක් උදෙසා
පොදු ජන අප විසින්
සිහසුන වෙත ඔසවා තැබූ
පොදු අපේක්ෂකයා බව
ඔබ අපේ........

නිල් කොල රතු ලොවක
කෙණෙහිලිකම් වින්ද
නිදහස් නිවහල්
දේදුනු පැහැ ලොවක
සිහිනය පොදි බැන්ද
පොදු ජනතාව අපි...

වියරු ඒකාධිපති
රෙජීම පයට පෑගී
තැලී පොඩිවී මරණාසන්න
එකොළොස්වෙනි පැයේ දී
බොහෝ වැර වෑයමෙන්
පණ ගලවා ගෙන
එල්ලෙන්න අත්වැලක්
සෙවූ සමයක
පිදුරු ගහක් වීද ඔබ....

දෙව්දත්, ආලවක
කේවට්ට පරපුරක
උරුමය රකින්නට
පාවා දෙනු කෙලෙස ඔබ
සුවහසක් සිහින
අප සැම පොදි බැන්ද
යහපත් රටක් ගැන

පැහැපත් හෙටක් ගැන...

.........

මේ දිනවල මගේ හිතේ පෙරළි කරන සිතුවිලිම තවත් බොහෝ සිත්වල පැන නැඟී ඇති බව පැහැදිලිය..

පැරාගේ අඩවිෙය් පළ වූ මේ ලිපිය බලන්න..

මෙවර රාවෙය් පළ වී අැති ගාමිණි වියන්ගොඩ ගේ ලිපිය බලන්න.

වඩා යහපත් දේශයක් ගැන අපේ අරමුුණු පාවා නොදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සියලුම පක්ෂ විපක්ෂ දේශපාලඥයන් වෙත බල කළ යුතු මොහොතකි මේ...

-http://tharurasi.blogspot.co.uk/2015/06/blog-post_19.html

විසදෘශ | Unparalleled

bassi1නිර්මලා කෑලි හතරෙන් මහතට ගොතාපු කොණ්ඩ කරල් දෙක බෙල්ල පිටිපස්සට දාල හැඩ බැලුවා. ආයෙමත් අත් දෙක කරකවලා කෙහෙ කැරලි අවුල් නොවෙන්න සීරුවට කොණ්ඩා කරල් දෙක අරන් පපුව උඩින් පහළට වැටෙන විදියට දමාගෙන පැත්තට හැරිලා බැලුවා. නළලට වැටෙන අකීකරු කෙහෙමුදුවක් කීකරු කරපු කොණ්ඩ කටුව හෙමින් ඇදලා ගලවලා දැම්මේ කුඩා කෙහෙමුදුවක් දෙකක් හුළඟේ යනකොට ලස්සන බව ඇයට ඇහිලා තිබුන නිසා. ආයෙමත් ඈ දකුණු කොණ්ඩා කරල මද ගැස්සීමක් සහිතව පිට මැදට තල්ලු කලේ ගණන් අච්චු පොතේ තිවුනු අසමමිතික රූප, සමමිතික රූපවලට වඩා ලස්සන බව හදිසියේම මතක් වුන නිසයි.
 
 
“තේ බොන්න වරෙල්ලා ළමයිනේ…!” මද විඩාපත් ගතියක් තිබුනත් අම්මගෙ කටහඬේ ආදරේ උතුරනවා. මල්ලි කලබලේට කුස්සියට  දුවගෙන ගියේ සාලෙ තිවුන ප්ලාස්ටික් පුටු දෙකේම හැප්පීගෙන. මැටි කහ පාට පුටු හතර ගෙදර ගෙනාපු දවසෙම තාත්තා මහ උජාරුවෙන් එයින් එකක් නිර්මලාගෙ කාමරෙනුත්, අනික මල්ලිගෙ කාමරෙනුත් ගෙනිහින් තිබ්බෙ “ඔන්න දැන් මයෙ කෙල්ල අඹ ලෑලි බංකුවෙ ඉඳන් පාඩම් කරපු කාලෙ අහවරයි.” කියමින්.
 
 
“අනේ මන්දන්නෙ නෑ මේ කොලුවට තියෙන හදිස්සිය. තාත්ත නැහිල නැහිලා ගෙනත් දෙන බඩු මූට්ටු ටික පෙරළලා කඩාදාපං පුලුවන්නම්.” අම්ම කිව්වේ බොරු තරහවක් මවාගෙන. සුදු ගවොමේ රැළි ටික නොඉහිරෙන්න අත් දෙකෙන්ම තද කරලා ඉනේ හිට පහළට දෙවරක් පිරිමැදගත්තු නිර්මලා කුස්සියෙ දොරෙන් ඇතුළු උනේ පැත්තට හැරිලා. සමහරවිට බිත්තිවල තියෙන දැලි පාට සුදු ගවුමේ ගෑවෙන්න පුලුවනි.
 
 
මේසෙ උඩ බෙලෙක් කෝප්ප දෙකක තේ කහට පුරවල තිබුන. ඊට ටිකක් එහායින් නිර්මලාට ගිය අවුරුද්දෙ සාහිත්‍ය උත්සවේදි තෑගි ලැබුනු නිල් පාට පෝසිලේන් මග් එක. මග් එක සීරුවට අතට ගන්නකොටම මල්ලි ඇවිත් දඩස් ගාල හිස් බෙලෙක් කෝප්පෙ මේසෙ උඩට අතෑරලා පිටි අල්ලෙන් කිරි රැවුල පිහදාල හිනා වුනා.
 
 
“දාංගලේ විතරක්! තව පොඩ්ඩෙන් සුදුගවුමෙත්තෙක්ක කිරි ඉහෙනව.” නිර්මලා මූණ හපුටු කරගෙන මල්ලිට එරෙව්වා.
 
 
*************
 
 
 
 “ආන්න බස්සෙක එනව. පරෙස්සමින් ගෙහින් එන්න මයෙ අම්ම.” සිරිදාස නිර්මලාගෙ හිස අතගාලා පිටට තට්ටුවක් දැම්මා. ප්‍රති ආචාරයක් නොලැබෙන බව දැන දැනම බස් එකට අත වැනුවා. ළමයි දෙන්නට හොඳින් උගන්නලා තැනකට ගන්න හීනෙ සිරිදාසගේ පපුව පුරාම මුල් ඇදලා තිබුන. නිර්මලා ඒ හයක් එක්ක සාමාන්‍ය පෙල පාස් වෙච්ච එකෙන් ඒ හීනෙ මල් පොකුරක්ම පිපුන නිසා සිරිදාස උන්නේ බොහොම ආඩම්බරෙන්.
 
 
“උඹත් අක්ක වගේ විබහගෙ පාස් උනොත් ටවුමෙ ඉස්කෝලෙට ගිහුන් ලොකු මහත්තේක් උනෑකි. අපේ කොම්පැණියට අලුතෙන් ලොකු මහත්තයෙක් ආව පොඩි එකෝ, හිනාවෙනකොට උඹේ මූණ වගේම කම්බුල් පිම්බෙනව.” පොඩි පුතාගේ කුඩා අත්ල වැරෙන් අල්ලාගෙන, ඉස්කෝලෙ පාරට හැරෙන අතරෙ සිරිදාස කියවන්නට උනා.
 
 
ළමයි දෙන්නව ඉස්කෝලවලට ඇරලවලා ආපහු දුවන ගමනින් බස්ටෑන්ඩ් එකට එනකොට සිරිදාසට කොළඹ බස් එකේ එල්ලෙන්න වෙලාව හරි.
 
 
 
 
*************
 
 
“අනේයිය! මටනං බෑ.” නිර්මලා කට උල් කරගත්තා.
 
 
කසුන් නළල රැළි කලා. යටැසින් බලාගෙන ඉන්නකොට ඒ මූණ මහ නපුරු පාටයි. නිර්මලා බිම බලාගෙන උල් සපත්තුවෙන් පොළව හාරන්න වුනා. සිහින් පස් කැටිතිවලින් සුදු සපත්තුවල දුඹුරු පැහැ කුඩා පැල්ලමක් දෙකක් තැවරුනා.
 
 
“මොනාද හලෝ, මම දැන් සතියක් තිස්සෙ චාටර් වෙනවා. අනික, ඔයාමනෙ එදා කීවෙ මේ ටවුම එපා වෙලා කියල.”
 
 
“හරි ඉතින් මම කියල ආවෙ අද හවස ඉකෝන් පංති කියල.” නිර්මලා සපත්තු දෙකත් එක්ක හීනියට හිනා වෙමින් යටැසින් බැලුවා.
 
 
“මොට්ට මෝඩි. ආව මෙතන මට බොරු කියන්න.” කසුන් නිර්මලාගෙ කන්පෙත්ත මිරිකන්න අඩියක් ඉස්සරහට පනිනකොටමයි උදේ පන්සිල් ගන්න රැස්වීමට බෙල් එක වැදුනෙ.
 
 
 
*************
 
 
“තමුසෙ අද සෑහෙන්න පරක්කුයි නෙව සිරිදාස.” කලමනාකාර තැන මූණ අකුලගත්ත. “අපේ කට්ටියව යවලත් ඉවරයි.”
 
 
සිරිදාස බෙල්ල වම් පැත්තට ඇල කරලා බයාදු ඇස් දෙක බිමට හරවගත්තා. වරක් දෙවරක් ඔලුව කැසුව. “බස් පරක්කුයි සර්” ඇහෙන නෑහෙන හඬින් කිව්වා.
 
 
“උදේට ටිකක් කලින් එනව අයිසේ, මොනවද තමුසෙට ඔච්චරටම තියෙන වැඩ රාජකාරි?”
 
 
“ළමයින්ව ඉස්කෝලෙට ඇරලන්. . . . .”
 
 
“අයිසේ උන්ට තනියම බස්වල ගමන පුරුදු කරනවා. ලමයි කියන ජාතිය මල්පෙති වගේ උස්මහත් කරන්න යන්න එපා ඕයි. මම තමුසෙට දවසකුත් කිව්ව මතකද? උන්ට පොඩ්ඩක් පොලවෙ පය ගහල ජීවත් වෙන්න ඉඩ අරිනවා.”
 
 
සිරිදාස මුකුත්ම නොකියා මේසෙ කෙලවටක තිබුනු ඇපල් හැඩැති වීදුරු බරණිය දිහා බලාගෙන උන්නා. ඒ ඇතුලෙ පුරවාපු ලා රෝස පාට දියරයක වෛවර්ණ සරුව පිත්තල කෑලි ඒ මේ අත පාවෙනවා.
 
 
‘මේ මිනිහගෙ ඉරිසියාව. එකත් එකටම පුතන්ඩියා විබහගෙ පේල් ඇති.’ සිරිදාස තනියම කල්පනා කලා.
 
 
“තමුසෙ පරක්කු නිසා මම රිසර්ච් ඉන්ස්ටිටියුට් එක සුද්ද කරන වැඩේට පියසේනව යැව්වා. අද ඉතින් තමුසෙට තමයි පියසේනගේ තැනට යන්න වෙන්නෙ.”
 
 
“අනේ සර් ඔපිස් වල මුකුත් වැඩ නැද්ද?”
 
 
“පිස්සුද අයිසේ, තමුසෙට සෙනග ඉන්න තැන්වලට යන්නත් බෑ. උදේ පාන්දරින් එන්නත් බෑ. තමුසෙ හිතුවෙ හැමෝම කියන කියන විදියට වැඩකරන්න දෙන්න මේක මොන්ටිසෝරියක් කියලද!”
 
 
“ගමේ කවුරුවත්, බැරිවෙලාවත්” සිරිදාස බෙල්ල පිටුපස කහමින් තාවර වුනා.
 
 
“යනව යනව ඕයි. තවත් මෙතන කාලෙ කන්නෙ නැතුව. තමුසෙට මම බුරුල දෙනව වැඩියි. හා, හා අදට යනවකො. හෙට උදෙන්ම එනව. හෙට ඉඳන් පරණ තැනටම යවන්නම්.”
 
 
 
*************
 
 
 
“මේ ෆිල්ම් එක ඇවිත් දැන් අවුරුදු තුනකටත් වැඩියිනෙ අනේ.” නිර්මලා තොඳොල් වෙවී ඇහුවා. “මට මතකයි මේක ගමේ හෝල් එකේ පෙන්නුව අපි නමයෙ පන්තියෙ ඉන්න කාලෙ.”
 
 
“ෆිල්ම් එක මොකක් උනාම මොකෝ. මම නම් ආවෙ ෆිල්ම් බලන්න නෙවි.” කසුන් නිර්මලාගේ නිකටින් අල්ලලා තමා දෙසට ඇදගනිමින් කිවුවා. නුහුරු සීතලක් දැනෙන්න උන නිසා ඈ තවත් තදින් කසුන්ගේ පපුවට තුරුලු උනා. කොල පාට ටයි පටිය පොත් බෑග් එක ගාව බිම වැටිල තිබුනා.
 
 
සුදු ගවුමේ බුරුලට අල්ලාපු බොත්තමක් ගැලවිලා බිම වැටෙන සද්දෙ නිර්මලාට ඇහුනෙ නෑ. තිරය මත එක එක ගෑනු මිනිස්සු නොතේරෙන භාෂාවකින් මොනවාදෝ කියනව කරනවා ඈට හීනෙන් වගේ වරින් වර ඇසී නෑසී ගියා විතරයි.
 
 
 
 
*************
 
 
“අපේ කෙල්ල මේ ලඟදි ගායනා තරඟෙකිනුත් පළවෙනියා උනා ඔන්න.” සිරිදාස ගොඩනැගිල්ලේ පිටුපසට වෙන්න ඇනතියාගෙන හතරවැනි වතාවටත් කියවනකොට අනුර වෙනසක් නොපෙන්වාම අහගෙන උන්නා.
 
 
“මෙතෙන්ට එන එවුන්ට සල්ලි වැඩිවෙලාද කොහෙද! දැක දැකම ඇස් කන් පියාගෙන ඇති අම්මල අප්පලත්.” සිරිදාස තමන්ටම කොඳුරගත්තා.
 
 
“යමන් සුද්ධයක් දාල එන්න. බැල් එක වැදුනා.” අනුර බිත්ති කණ්ඩිය උඩින් ටකස් ගාල බිමට පනින අතරේ සිරිදාස තුනටියට අත තියාගෙන හෙමින් කෙලින් වුනා.
 
 
 
*************
 
“එනවකෝ ඉක්මනට ටැග් ගැහෙන්නෙ නැතුව.” කසුන් නොයිවසිලිමත් ‘චක්’ හඬක් නැගුවා.
 
 
“පොඩ්ඩක් ඉන්න අනේ. හැම එකටම හදිස්සියනෙ ඉතින් මෙයාට. මෙහෙම යතෑකිද බස්සෙකේ?” නිර්මලා කොණ්ඩේ අවුල් හරිමින් ටයි පටිය ගැටගහගත්තා.
 
 
“දැන්වත් ඉවරද හැඩවෙලා.”
 
 
“හරි හරි යමු ඉතින්.” නිර්මලා කුඩා ලෑලි කුටියෙන් පිටත කොරිඩෝවට පය තිබ්බා.
 
 
කොස්සකුත්, කසල බඳුනත් අතින් ගත්තු සිරිදාස එතැන එහෙමම ගල් ගැහිලා බලාගෙන උන්නා.  කසුන්ගේ පයේ හැපී ඉදිරියට විසිවුනු සුදු පැහැති බොත්තමක් සිරිදාසගේ දෙපා ලඟ නතර වී කැරකි කැරකී තිබුනා.
 
 
 
 
 
 

නිදහස?

kaadhal Movieකොළඹින් වැලිමඩ බලා රාත්‍රී 10 ට පිටත් වන අර්ධ සුඛෝපබෝගී බස් රථයේ ක්‍රියාත්මක වෙමින් තිබූ රේඩියෝවේ හඬ බසය තුළ හීන් හඬින් ඇසෙයි.  නිමල් බස් රථයේ පිටුපස ආසනයේ වම් කොනකට වී තරමක කල්පනාවක ගිලී සිටියේය.බස් රථයේ ආසන සියල්ලකම වාගේ එකා දෙන්නා ඉඳගෙන සිටියි. අයෙකු කෙටි නින්දකට වැටී සිටියි. තවකෙකු ජංගම දුරකථනය කනේ ගසාගෙන මල් යායක තනිවී ඇත. තව කීප දෙනෙකු කෙටි ආහාරයක් ගනිමින් පසු වෙයි. මේ සියල්ල මැද්දේ නිමල් තමන්ගේ බර කල්පනාවෙන් එපිට මෙපිට පනිමින් බසය ගමන් ආරම්භ කරනතුරු වෙලාව බලමින් සිටියි. බසය තුළ සියුම් කසුකුසු කිහිපයකි. කතාබහ සියල්ල අපැහැදිළි නමුත් සිංහල සහ දමිළ ලෙස භාෂාවේ වෙනස පැහැදිලිව හඳුනා ගැනීමට ඔහුට හැකි විය. වැලිමඩ බලා පිටත්වන බසයක් බැවින් වතු ආශ්‍රිතව වාසය කරන දමිළ මිනිසුන් සහ ගැහැණුන් කිහිපදෙනෙක්ම බසයේ සිටින බව නිමල්ට පෙනුණි.
 
මේ කාලය අතරතුර බසයට ගොඩවූ වෙළෙන්දන් කිහිප දෙනෙකු විවිධාකාර දේවල් අලෙවි කිරීමේ කටයුතු වල යෙදී සිටියහ. බසය පිටත් වීමට තවත් විනාඩි දහයක් පමණ ඇත. බසයට ගොඩවූයේ තරුණ යුවළකි. දෙදෙනාටම එකට ඉඳගෙන යෑමට අසුනක් පිරික්සමින් බසයේ ඉදිරිපස සිට පිටුපස බලා වෙළෙන්දන් අතරින් තමා දෙසට එන තරුණ යුවල දෙස නිමල් තරමක උනන්දුවෙන් බලා සිටියේය. ඔවුන් දෙදෙනා පෙනුමෙන් වතු දමිළ බව නිමල්ට අවබෝධ විය. සෑම අසුනකම එක පුද්ගලයෙකු හෝ වාඩිවී සිටි බැවින් ඔවුන් දෙදෙනාට එකට ඉඳගැනීමට ආසනයක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව ඔවුන්ගේ මුහුණුවල ස්වභාවයෙන්ම නිමල්ට අවබෝධ විය. සෙමෙන් තමා අසුන් ගෙන සිටි අවසාන ආසනය වෙත පැමිණි යුවළ මදක් ආසනයේ දෙකොන පිරික්සන්නට විය. ආසනයේ එක් පැත්තකට වන්නට තරුණයන් තිදෙනෙක් අසුන්ගෙන සිටියි. අනෙක් පසින් ඉඳගෙන සිටින්නේ නිමල්ය. නිමල් මේ වන විට බසයෙන් ඉවත බලාගෙන සිටියි. තරුණ යුවළගේ බලාපොරොත්තු කඩවුණු ස්වභාවයකි. දමිළ තරුණිය තම පෙම්වතාට නිමල් දෙස බලමින් මොනවදෝ රහසින් මෙන් කොඳුරන හැටි නිමල්ට ඡායාවක් ලෙස පෙනෙයි.
 
"එයාට මෙහෙට වෙලා අපිට අයිනෙ ඉඳගන්න සීට් එක ඉල්ලගන්නකෝ" වැනි දෙයක් පවසන බව දමිළ බසින් තම පෙම්වතාට තොන්දොල් වෙමින් කතා කරන ආකාරයෙන් නිමල්ට දැනෙන්නට විය. නිමල් බසයේ ජනෙල් කවුළුවෙන් එපිට බලාගෙනම හිඳියි. තම පෙම්වතියගේ ඉල්ලීමට සවන් දුන්නත් එය ඉටුකිරීමට තරුණයා මැලි වන බවක් නිමල්ට වැටහිණි. තමන් සිංහල තරුණයෙකු වූ නිසා, සිංහලයන් යනු තමන්ගේ සතුරන් ලෙස සමහරවිට ඔහු තවමත් විශ්වාස කරනවාද, නැතිනම් සිංහලයන්ට ඇති බියමුසු හැඟීමක් නිසා එසේ කරනවාද යන්න නිමල්ගේ හිතේ දෙගිඩියාවකි. නිමල් හට කිසිවක් නොපැවසූ මේ පෙම්වතා අවසානයේදී තම පෙම්වතියට යමක් දමිළ බසින් පැවසීය.
 
"එයා සීට් එක දෙන එකක් නෑ. පේන්නැද්ද හිනාවක් නැතුව රවාගෙන අහක බලන් ඉන්න හැටි. වෙන කරන්න දෙයක් නෑ, අපි මේ සීට් එකේම මැදින් ඉඳන් යමු." වැනි දෙයක් පවසන්නට ඇතැයි එම කතා විලාසය අනුව නිමල්ට වැටහිණි. තම පෙම්වතාගේ ඇඟට බර වී ආදර වදන් තෙපුලමින් බසයේ ගමන් කිරීමේ අහිංසක බලාපොරොත්තුව පන්හිඳකින් ලියූ මුතු අකුරු පෙළකට දිය බිඳක් ඉසුනාක් මෙන් බොඳ වී යන්නට ඇතැයි නිමල්ගේ සිතට දැනෙන්නට විය. එයින් තම සිත තරමක් උණුවුවත් ඒ බවක් මුහුණේ එකඳු ඉරියව්වකින් වත් නොපෙන්වීමට නිමල් වග බලා ගත්තේය. තරුණිය තමන්ගේ ළඟිනුත්, තරුණයා අනිත් තරුණයන් තිදෙනාගේ පසිනුත් අසුන් ගත්තත්, තරුණිය ඇයගේ එක නූල් පටක්වත් තමන්ගේ ඇඟේ නොගෑවෙන සේ අසුන් ගෙන සිටින බව නිමල්ට දැනුණු නිසා නිමල් තරුණියගේ මුහුණ දෙස හැඟීමකින් තොරව බැල්මක් හෙළීය. ඇය නිමලුත් ඇයත් අතර මද හිඩැසක් තබා ගෙන තම පෙම්වතාට තුරුල් වී සිටියේ තමාව ගිලගැනීමට පැමිණි රාක්ෂයෙකුගෙන් බේරීමට මෙනි. නිමල්ගේ හිතට නැවතත් ඒ කුමක් නිසාද යන දෙගිඩියාව පැන නැගෙන්නට විය.
 
නියමිත වෙලාවට බසය පිටත් වුනි. තවමත් තරුණ යුවළ ඉඳගත් ආකාරයටම එකිනෙකාට වඩාත් සමීපව සිටියි. තමා හා තරුණිය අතර ඇති පරතරය එලෙසම තබා ගැනීමට නිමල් වග බලා ගත්තේය. බසය වේගයෙන් ඉදිරියට යයි. ඉඳ හිට හිටිවනම බ්‍රේක් පාරවල් ගසන විට බසයේ සිටින උන් තමාගේ ඉදිරි අසුන් සිප ගන්නට විය. අවසන් ආසනයේ මැදට වන්නට සිටි තරුණ යුවලට සිප ගැනීමට ඔවුන් ඉදිරියේ අසුනක් නොමැත. ඉදිරියට ව්සිවී බිම සිප ගැනීමට නම් කිසිම බාධාවක් නැත. සිප ගන්නට උවමනාම නම් සිටින්නේ තම ආදරණිය පෙම්වතා සහ පෙම්වතිය පමණි. මේ බව අවබෝධ කරගත් පෙම්වතා තමාගේ දකුණු පසින් ඇති ආසනයේ ඇති යකඩ බටය තදින් අල්ලාගෙන අනිත් අතින් තම පෙම්වතිය තදින් අල්ලා ගත්තේය. නිමල් තමාගේ ජංගම දුරකතනයෙන් ගීතයක් අසමින් කවුළුවට එපිටින් වේගයෙන් පසු කරන අන්දකාර දර්ශන දෙස බලාගෙන සිටියි.
 
කාලය කෙමෙන් ගත වෙද්දී බසයේ රියදුරු එක වරම ගැසූ බ්‍රේක් පහර නිසා නිමල්ගේ දකුණු උරහිසට එකවරම බර ගතියක් දැනෙන්නට විය. නින්දේ සිටි පෙම්වතාගෙ අතින් ගිලිහුණු තරුණිය නිමල්ගේ උරයේ බරවී සිටී. නිමලුත් තරුණියත් අතර ආසනයේ තිබූ හිස් අවකාශය සොයා ගැනීමටවත් නොමැත. ඇය බර නින්දකට වැටී ඇති නිසා අවදි නොවන්නට හේතුව වන්නට ඇතැයි නිමල්ට සිතුනේ ඇය තමාගේ උරයට බර වී සිටි අසමමිතික ස්වභාවය නිසාය. පෙම්වතාද බර නින්දක පසුවෙයි. තරුණිය නින්දෙන් අවදිකර තමාගේ ඇඟෙන් ඉවත් වන ලෙස පැවසීමට අවශ්‍ය උවත් එසේ කිරීමට හිත නොදුන්නේ කිමදැයි නිමල්ට තේරුම් ගැනීමට නොහැකි විය. එසේ ටික වෙලාවක් සිටින විට තරුණියගේ උකුල මත තිබූ බෑගය ලිස්සා බිමට පතිත විය. නමුත් තරුණිය අවදි නොවිණි. නිමල් සෙමෙන් තමන්ගේ වම් අතින් ඇයගේ ඇඟට තට්ටුවක් දමා ඇයව නින්දෙන් අවදි කරනු ලැබීය. අවදි වුනු සැණින් නිමල්ගේ ඇඟෙන් මිදුණු ඈ "Sorry" යනුවෙන් දමිළ ඌරුවට පැවසුවේ ලැජ්ජාවෙන් හිනාවකින් මුහුණ සරසා ගන්නා අතරතුරදීය. බිම වැටුණු බෑගය නිමල් විසින් ඇයට රැගෙන දුන් අතර "Thank you" කියමින් එය ගන්නා විට ඇයගේ පෙම්වතාද නින්දෙන් අවදි වි සිටියේය.
 
මේ වන විට බසය නිමල්ගේ බස් නැවතුම් පොළට තරමක් ආසන්න වෙමින් ඉදිරියට ඇදෙන්නට විය. රාත්‍රියට අර්ධ සුඛෝපබෝගී දුරගමන් සේවා යන බස් රථ සාමාන්‍ය බස් රථ වලට වඩා වැඩි වේගයකින් ධාවනය වන නිසා අඩු කාලයකින් අවශ්‍ය නගර කරා ළඟා වීමේ හැකියාවක් ඇත. දැන් වෙලාව රාත්‍රී 12 ට ආසන්න වෙමින් පවතී. බස් රථයේ ගමන් ගන්නා මගීන් කිහිප දෙනෙක් හැර අනෙක් සියළු දෙනාම තද නින්දේ පසු වූහ. රියදුරු විසින් බස්රථයේ ඇතුළත විදුළි පහන් නිවා දමා රාත්‍රී කාලයේ දල්වන මද එළියක් සහිත විදුලි පහන් දෙකක් පමණක් දැල්වූ හෙයින් රථය තුළ අඳුරු ස්වභාවයක් පැවතුනි. තරුණ යුවළත් නිමලුත් අවදියෙනි. නිමල් නැවතත් ගීත වලට සවන් දෙමින් කවුළුවෙන් පිටතට දෑස් යොමා සිටියි. තරුණ යුවළ මද අඳුරේ පෙම් සුව විඳීමට සැරසුනත් තමන් අසල සිටින සිංහල තරුණයා බලාවිදෝ යැයි සැකයෙන් එකිනෙකාගේ මුහුණ බලමින් පසු වන බව නිමල්හට තේරුම් ගිය අතර යුවළ ඒ සමග තමන් දිහාද කිහිප විටක් බලමින් පසුවන බව ඔහුට වැටහිණි.
 
සමාජයේ පෙම්වතුන්ට නිදහසේ පෙම්සුව විඳීමට අවසරයක් නැත්තේ තමන් ජීවත් වන සමාජයේ මිනිසුන් ඒ දෙස බලන්නේ පුදුමයකින් සහ වැරදි ඇසකින් නිසා යැයි නිමල් කල්පනා කළ අතර එහිම එක අවස්ථාවකට තමන්ට එහා පැත්තේ සිටින දමිළ යුවලටද මුහුණදීමට සිදු වී ඇති බව ඔහු තේරුම් ගත්තේය. දමිළ සමාජයේ සහ සිංහල සමාජයේ පෙම්සුව විඳින පෙම්වතුන් දෙස බලන්නේ එකම කෝණයකින් යැයි වරෙක ඔහුට සිතුණත් දමිළ සමාජයේ ඒ සඳහා ඇති නිදහස ඊට වඩා ඇහිරී ඇති බව ඔහුට තේරුම් ගියේ ඔවුන්ගේ ආගමික විශ්වාස සහ උග්‍ර කුල භේදය නිසා බැවිනි. තවත් මෙම තරුණ යුවළට බාධාවක් නොවී මේ කෙටි කාලයට හෝ නිදහසේ ඔවුන්ගේ පෙම්සුව බුක්ති විඳීමට ඉඩදිය යුතු යැයි තීරණය කළ නිමල්, තමා අසුන්ගෙන සිටි තැනින් නැගිට බස් රථයේ ඉදිරිපස දොර වෙත පිය නගන්නට විය. ඒ සමගම තරුණ යුවළ නිමල් අසුන් ගෙන සිටි පිටු පස ආසනයේ වම් කොනට ඇදෙන්නට විය.

මාතු පාදං පීතු පාදං අමත පදං

atamaපෝප් .....පෝප් ..පොං .......පෝං

බාප්පට මොටෝ සයිකලේ හොන්එක, ෂා මරු කුකුල් මස් කන්ඩත් පුලුවන්, ජුජුස් හිටන් ගෙනත් ඇති.

‘‘ ලොක්කෝ කෝ උඔලැ තාත්ත ‘‘

‘‘ තාත්ත නිදි ‘‘

‘‘කෝ කතා කරහං , මේ යකා මොකද බුදි , දවල්ම ගහලද ‘‘

‘‘ තාත්තේ මේං බාප්පල ආවෝ....‘‘

‘‘ වැඩක් නැ උපාලි මල්ලියේ කියල , බිස්නස් යනව කියල ඊයේ ගිහින් අද ආවා . අර පඩි බාගේ මෙච්චරක් හම්බෙනව කියල දන්න හන්ද ඒක යන්තං බේරෙනව , වෙන නං ඉතින් බඩු මල්ල උස්සගන ගිහිං හම්බෙන දෙයක් නැ ‘‘
‘‘ මේ ලොකු නංගි ...උඹල ජුජුස් ගෙනාවේ නැද්ද ‘‘

‘‘ ජුජුස් නැ ..ටිපි ටිප් ගෙනාව ‘‘
‘‘ ටිපි ටිප් ‘‘
‘‘ ඔව් ටිපි ටිප් අපේ තාත්ත වැඩට ගිහින් එනකොට හැමදාම ගේනව .... තමුසෙල කාල නැද්ද ‘‘

‘‘ ඉතින් දෙනවකෝ ‘‘

‘‘ අර මල්ලෙ ඇති බිස්කට් ටින් එකත් එක්ක‘‘
‘‘ සීතා පුංචීඊඊඊ....‘‘

‘‘අනේ ලොකු පුතේ .....ගොඩ දවසකින් මගේ කොල්ලව බලන්ඩත් ආවේ නැ ... මේ බාප්ප එක්ක එන්නේ නැ නේ පුතේ මාව . එයා එනව නේද මෙහේ තාත්ත එක්ක , නංගිල දෙන්නයි මායි ගෙදර ‘‘

‘‘ පුංචිඊඊඊඊ ‘‘
‘‘ ඉන්ඩ පුතේ ටිපි ටිප් තියනව ‘‘

‘‘ ජුජුස්වගේද ‘‘

‘‘ නැ මේ තියෙන්නේ ‘‘
‘‘ හැඇහඇැහැැ ....ඹ්ක මට ඕනේ ඒ ඒ ඒ ඒ‘‘

‘‘ ආ මේක සුදු පුතාට ‘‘
‘‘ මොනවද පුංචි මේක ඇතුලේ ‘‘
‘‘ කෝ දෙන්ඩ කඩල දෙන්ඩ ‘‘
‘‘ නිකං හුළං වගේ ‘‘
‘‘ හුළං තමා රස විතරයි ‘‘
‘‘ මොනවැයින්ද පුංචි මෙව්වා හදන්නේ ...රසම රසයි ‘‘

‘‘ පිටිවලින් වෙන්ඩ ඇති රස වෙන්ඩ තව මොනව හරි ඇති ‘‘

‘‘ සීතා අර කුකුලව දෙනවකේ ලොකු අක්කට හදන්ඩ ‘‘

‘‘ ලොකු අක්ක ඒක හදනව ‘‘

තැබීලි පාට , එතකොට මේක කුකුල් පැටියෙක්ද , තාර පැටියෙක්ද , කටට දැම්මහම නිකම්ම දියවෙනව , සැර රසයි ලුණු රසයි , අප්පෝ ජුජුස් මොන ජරාවක්ද , බාප්ප එනකොට අායෙත් මෙව්වා ගේයිද දන්නැ . .....එහෙම නැති උනොත් ....ආයේ නොගෙනාවත් මොකැ ...මං ලොකු වෙලා රස්සාවක් කරල කන්නේ මෙව්වාමයි

‘‘ ලොකු අයියේ අපි සෙල්ලං කරමු ‘‘

‘‘ එහෙනං ගුටි පන්දු ගහමු ‘‘

‘‘ ඒ මොකක්ද ඒ ‘‘

‘‘ බෝලෙන් තමුසෙගේ පිට පැලෙන්ඩ ගහනව තමුසේ මට ගහනව ‘‘

‘‘ අපෝ මටනං බැ රිදෙන සෙල්ලං කරන්ඩ ‘‘

‘‘ ඉතින් බෝලේ අහුලල තමුසෙ අපිටත් ගහනවනේ . සෙල්ලම කරමු කෙල්ලො කොල්ලෝ ‘‘
‘‘ අපෝ අපේ නංගිට තාම ඔව්වා බැ ‘‘

‘‘ ඉතින් අපේ සුදුවටත් බැ ‘‘

‘‘ එයා ඉතින් මගේ වයසෙනේ ...ඒක හරියන්නේ නැ ..අපි හංගන හොයනක සෙල්ලම කරමු ‘‘

‘‘ අපෝ ඔය මෝඩ සෙල්ලං අපි නං දන්නැ ‘‘
‘‘ දැන් අපි තුන් දෙනාගෙං එක්කෙනෙක් මොනවහරි හංගනව , අනිත් දෙන්නා හොයනව , හොයාගන්න එක්කෙනයි හංගපු එක්කෙනයි ඉතුරු වෙනව , බැරි වෙච්ච එක්කෙනා ඉතුරු වෙනව , එයා තමයි ඊලගට හොයන්නේ ‘‘

‘‘ දැන් එතකොට ලංවෙන කොට ගිනි ගිනි කියලත් කියනවද ‘‘

‘‘ ඔව් ඈත් වෙනකොට ඇල් ඇල් කියලත් කියනව ‘‘

‘‘ ඉතින් ඕයි ඔක ඇල් ගිනි සෙල්ලමනේ ‘‘

‘‘ එව්වා අපි දන්නැ ...හාද ..බෑද ‘‘

‘‘ එහෙනං හා ‘‘

‘‘ මොකක්ද දැං හංගන්නේ ‘‘

‘‘ මගේ ටෙනිස්බෝලෙයි නලාවයි පිස්තෝලෙයි හංගමු ‘‘

‘‘ අපෝ ඕන්නැ ..ඔව්වට මොනවහරි උනහම අම්මට කියල මාව අල්ලයි ...අනික මොකටද තුනක් , එකක් තිබ්බහම මදැ හංගන්ඩ ‘‘

‘‘කමක් නැ ලොකු අයියේ ..අපි තුන් දෙනයි නේ දැන් සෙල්ලමට ඉන්නේ අඩුවෙන්ම හොයාගන්න එක්කෙනා කැචර් කරමු ‘‘

‘‘ මගෙනෙ සෙල්ලංබඩු මමයි ඉස්සෙල්ලම හංගන්නේ ‘‘

‘‘ හා හා හංගගන්නව ඉතින් ‘‘

‘‘ මං හංගන්නේ ගේ ඇතුලේ , දෙන්නම එලියට යන්ඩ ඉතින් ‘‘

‘‘ හැබැයි ඔන්න ඇල් ගිනි හරියට කියන්ඩ ඕන හරිද ‘‘

‘‘ මේ ..ඔය කෙල්ලවත් අල්ලගන නැටුවට කමක්කැ .....ගේ අස්සේ බෙරිහං දෙන්නේ නැ හරිද ...මෙතන කනක් ඇහෙන්ඩ නැතිවෙන්ඩ ‘‘

......................හැච හැච හැච හැච තමා සෙල්ලමක් කරන්ඩත් නැ ........

‘‘ මොනවද උඹ මුනු මුනු ගාන්නේ ‘‘

‘‘ ..නැං..නැනැ ...තාත්තේ නැ... ‘‘

‘‘ මොනවද නැත්තේ .......මං මොනවහරි කියුවහම එකට එක කියන්ඩ ඇවිත් කනපාලාගන්ඩ එපා ‘‘

‘‘ හං...මං මොකවත් කියුවෙත් නැ ......බොරුවට මට තමා හැම වෙලේම බනින්නේ ......හඅ...හඅ..‘‘

‘‘ නිකං හිටහං සුසිල් අයියේ උන්ට ඕන එකක් කරගන්ඩ දීලා ‘‘

‘‘ නැ ඔයා දන්නැ උපාලි මල්ලි ටිකක් බුදියගන්ඩ හැදුවේ දෙකෙ ඉදන් බලහං දැන් පහත් පහු ..සැරින් සැරේ අර පොඩි එකාවත් අවුස්ස අවුස්ස බෙරිහං දෙනව ‘‘

‘‘ ඉතින් මමයැ ...සුදුනේ හැම වෙලේම මට වද දෙන්නේ .. ගොං බූරුව කරන වැරදි වලට මට තමා බනින්නේ ....දවස් කීයක් මට චුටි මිටියෙන් ගැහුවද ...ගුටිකාලත් මං තමා වැරදි ...එයාගේ වැරදි පේන්නේ නැ ‘‘

‘‘කවුද බූරුව ...හිටපං වංජුලය මං චූටි මිටිය ඇරගන එන්නං ‘‘

‘‘ ඔය ..ඔය පේනවනේ ...පුංචි ....මූ හැමදාම මට මිටියෙන් ගහනව , ඒක විසික් කරන්ඩ දෙන්නෙත් නැ ..වටිනව කියල , මුගෙන් ගුටි කන්ඩත් ඕන , මේ දෙන්නගෙන් ගුටි කන්ඩත් ඕන ‘‘

‘‘ උඹ මොකද ලොක්කෝ ගිරිය පුප්පන්නේ තාත්තට ‘‘

‘‘ හී ..හී බාප්පත් බනිනව ඇ..ඇ මට තමා හැමෝම බනින්නේ ‘‘

‘‘ මගේ පුතා ඔය බාප්ප කියන ඒවා ගනන් ගන්ඩ එපා ...හා හා සුදුත් ගිහින් නංගි එක්ක සෙල්ලං කරන්ඩ.........ඔයත් නිකං ඉන්ඩකෝ උපාලි පොඩි උන්ව අවුසන්නේ නැතුව ‘‘

‘‘ නැ මං කියන්නේ .. අපි අපේ දරුවෝ හොදට හදාගන්ඩ ඕන ... නැද්ද මං කියන්නේ සුසිල් අයියේ ......ඔන්න තව එකක් දාගනින් සුසිල් අයියේ .....කුකුල ඉදෙනකොට බැරියැ .... ඊයේ බැලැක් ඇන්ඩ් වයිට් දෙකක් හම්බුනා .....එකක් අද දවල් වෙනකොට ඉවරයි ....අද මෙහේ එන්ඩම කියල තියාගත්ත මේක ‘‘

‘‘ මාත් දවාලේ එන ගමන් නිට්ටඹුවෙන් ටිකක් අරගන ඇවිත් නිදාගන්ඩ හැදුවේ ‘‘

‘‘ සීතා බලනවකෝ අරක හරිද කියල ‘‘

‘‘ ටිකක් ඉන්ඩ උපාලි තාම තැම්බෙනව .....ඇ සුසිල් අයියේ අපේ කුස්සියේ දෙතුන් දාහකට උයන විදිහ දැක්කනං මෙයාල දුහනව ‘‘

..............අදනං බාප්ප මස් කන්නැතුව බොන්ඩද කොහෙද හදන්නේ ..අපිට හොදට කෑවහැකි නැත්තං වෙනද බොන ගමං ඔක්කොම ටික කාල , බත් කන්ඩ මේසෙට තියන ටිකත් කාල ... තව ලොකු අක්කේ මස් ඉවරද කියල අහන එකනේ .............. අම්ම හංගල තියන කෑල්ල තමයි ඉතිං අපිට....

‘‘ රයිටෝ ඔන්න හැංගුවෝ ‘‘

‘‘ දෙන්නම එකතැන හොයල වැඩක් නැ ලොකු නංගි තමුසෙ ඔය පැත්තේ හොයනව ‘‘

‘‘ ඉතින් සුදු අයියේ ගිනි නං ගිනි කියනවකෝ ‘‘

‘‘ අප්පෝ ඇල්ම ඇල් අයිස් වගේ ‘‘

‘‘ ඉතින් එහෙනං ඇල් කියලවත් කියහංකෝ ‘‘

‘‘ අපෝ මට බැ ඇල් ගිනි ඇල් ගිනි ගාන්ඩ හැම වෙලාවෙම ...ගිනි වෙලාවට ගිනි කියල විතරක් කියනව ‘‘

‘‘ අප්පෝ අයියේ එහෙම බැ හලෝ ‘‘

‘‘ මාත් ඒකනේ කියන්නේ මූත් එක්ක බැ කියල . මට බැ මං යනව‘‘

‘‘ මොනවද පුතේ ඔය බලන පත්තර‘‘

‘‘ ලොකු අක්කගේ පරන විදුසර පත්තර පුංචි , ටල්ලම්මලැ දිහා ගියහම ඉල්ලං ආවා ‘‘

‘‘ මේවැ තියන ඒවා තේරෙනවද ‘‘

‘‘ ඹව් ‘‘

‘‘ අනේ ලොකු අයියේ එනවකො හලෝ සෙල්ලං කරන්ඩ ‘‘

‘‘ මට බැ ඔය පැනි සුදුවත් එක්ක සෙල්ලං කරන්ඩ ‘‘

‘‘ අනේ එනවකෝ ‘‘

‘‘මට බැ මං පත්තරේ බලනව‘‘

‘‘දැං මෙහෙමනේ සුසිල් අයියේ අපි දේසපාලනේ කරනකොට දෙපැත්තම හොදට තියාගන්ඩ ඕන , ..මේ ලගදි පේමදාස හම්බෙන්ඩත් ගියා අපි , ....ලබන පාර ඉල්ලන්ඩ ටිකට් එක දෙන්නං කියලත් කියුවා . ......මං බැ කියුව බං ............මොකද ඒ පැත්ත එහෙමයි කියල මට මැතිනිගාවට අනුරගාවට යන්ඩ බැරිද .............මහිපාලල , ආතාඋදල , ෆාරුක්ල එක්කත් අඩියක් ගහල ඉන්න මට ඔය ඕන තැනකට රිංගත හැකි ......අපේ ජයන්ත අයියා අනාගත්තේ ඔතන තමා ‘‘

‘‘ ඉතින් මගේ රස්සාව හදා දියංකෝ ‘‘

‘‘ ටිකක් හිටහංකෝ ...මං මේ කොමසාරිස් ලගටම යන්ඩ පොටක් පාද පාද ඉන්නේ ‘‘

............අනේ අපේ තාත්තත් මෙයාගේ පංපෝරි නොදන්නව වගේ අහන හැටි ..........

‘‘ ඉස්සරනං මගේ හිතවතා දැන්නං මතකත් නැතුව ඇති ...එව්වයෙන් කමක් නැ ඇමතිතුමාට කියල කෝල් එකක් දම්මල ගියානං හරි .... කොහෙද ඉතින් උඹලත් දාගන්නේ ගිහිං කතාකරන්ඩ පුලුවන් ලෙඩයැ . .....ලොකු මහත්තුරුන්ට ගහන්ඩ ගියහම ඒ මිනිස්සු ගන්නෙත් ඒ පැත්තනේ සුසිල් අයියේ ‘‘

‘‘ ඉදපංකෝ උපාලි මල්ලියේ මං ඕකුන් ඔක්කොගෙම අම්මලට හමන්නල ගන්ඩ ‘‘

‘‘සීතා තව මස් ටිකක් අරගන එනවකෝ ‘‘

‘‘ ඕන්න මෙච්චරයි තියෙන්නේ ...අනිත් ටික බත් කන්ඩ ‘‘

‘‘ බත්නං බඩ පැලෙනකං කන්ඩ බැරුවැ ලොකු අක්කගේ පොල් සම්බෝලෙත් එක්ක ‘‘

.............හරි වැඩේ අදත් සම්බෝලයි බතුයි තමා ............

‘‘ අනේ ලොකු අයියේ එකපාරකට එනවකෝ සෙල්ලං කරන්ඩ , ඔයා හංගන්ඩ අපි හොයන්නං ‘‘

‘‘ හරි එහෙනං දෙන්න ගේ ඇතුලට වෙලා ඉන්නවල , මං එලියේ හංගන්නං ‘‘

‘‘ හැබැයි ලයිටි එලිය වැටෙන හරියේ හරිද , අපිට බැ ඈත කරුවලේ හොයන්ඩ ‘‘

‘‘හරි හරි එහෙනං ඔහොම ඉන්නවල ...හොරෙන් බලන්නැ හරිද ‘‘

............කොහෙද මේක හංගන්නේ ......හරි දෙන්නං වැඩේ වලස් ඇදිරිය වැට අස්සේ තුන් පොලක හැංගුවහම හොයයි මුං ඇටේ.......

‘‘ හරිදෝ ...ඔන්න අපි එනවෝ ‘‘

‘‘ ලොක්කිට ඇල් ඇල් , සුද්දට ගිනි ගිනි ‘‘

‘‘ ලොක්කිට ඇල් ඇල් , සුද්දට ගිනි ගිනි ‘‘

‘‘ ලොක්කිට ඇල් ඇල් , සුද්දට ගිනි ගිනි ‘‘

‘‘ ලොක්කිට ඇල් ඇල් , සුද්දට ගිනි ගිනි ‘‘

‘‘ හරි හරි එහෙනං මෙහේ තමා ‘‘

‘‘ ලොක්කිටත් ඇල් සුද්දටත් ඇල් ‘‘

‘‘ ලොක්කිටත් ඇල් සුද්දටත් ඇල් ‘‘

‘‘ ලොක්කිටත් ඇල් සුද්දටත් ඇල් ‘‘

‘‘ මේ අයියේ තමුසෙ බොරු නේද ඔය කියන්නේ ...වෙන තැනක හංගල ...අපිට බැ අපිට බැ ‘‘

‘‘ පිස්සුද ඕයි ..එහෙනං හම්බුනහම බලනව , හොයාගන්ඩ බැරි උනාට මං පලිද ‘‘

‘‘ ලොකු දුවේ තුන්දෙනාම එන්ඩ බත් කන්ඩ ..හොදටම රැ උනා දැං අච්චි අම්ම පන්සල් ගිහින් ඇවිල්ලත් ඇති ‘‘

‘‘ අපි තව ටිකක් සෙල්ලං කරල එනේ ‘‘

‘‘ මේ උඹල දෙන්න බත් කන්ඩ එනවද ..ගුටි කනවද ‘‘

‘‘ හා අම්මේ ‘‘

‘‘ ලොකු අයියේ අපි ටක්ගාල කාල ඇවිත් යන්ඩ කලින් ආයෙත් හොයමු ‘‘

‘‘ අම්මේ වෙන මස් නැද්ද ‘‘

‘‘ වෙන නැ ඔච්චරයි ‘‘

‘‘ එහෙනං මල්ලිටයි නංගිටයි දෙකක් දීලා තියෙන් ‘‘

‘‘ වෙන නැ ඔච්චරයි ..හොදි ටිකක් දෙන්නං ‘‘

‘‘ අම්මෝ එපා දැවිල්ලයි ‘‘

‘‘ එහෙනං කටපියාන කාහං ‘‘

‘‘ ලොකු අක්කේ ඔන්න ඔය වතුර ටිකක් දියං ...සම්බෝලෙනං මරු ‘‘

‘‘ උම්බලකඩ ටිකක්වත් තිබුන්නැ උපාලි මල්ලියේ ‘‘

‘‘ සුසිල් අයියේ මට බිස්ටල් එකක් දියන්කෝ ගොල්ලිප් ඉවරයි ‘‘

‘‘‘ දැං අපි ඉක්මනට යං නේ ‘‘

‘‘ නැතුව ඉන්ඩ යැ ‘‘

‘‘ එහෙනං යං ලොකු දුවේ සෙරෙප්පු දෙක දාගන එන්ඩ .., මං නංගිගේ බැක්එක ලැස්ති කරන් එන්නං ‘‘

...................................................................................

‘‘ අපේ නැන්දලැ ගෙදර ගහේ රඹුටං හැදිලා , එහෙට ගිහින් කඩාගන යමුද ‘‘

‘‘ බැ බං හවසට යමං , එතකොට ගෙදර ගිහින් මල්ලිටත් දුන්න හැකි ‘‘

‘‘ එහෙනං හැබැයි ඉස්කෝලෙට ගිහිං උඹ කාටවත් කියන්ඩ එපා ‘‘

................................................................................

‘‘ ඔය ඇති යකෝ බැහැපං . පොත්බෑක් දෙකම පිරිල ‘‘

‘‘ හිටහං බං සාක්කු දෙකත් පුරව ගන්නකං ‘‘

‘‘ නැන්ද ටිකක් කඩාගන්ඩ කියුවේ ඔය ඇති බැහැපං ‘‘

‘‘හරි හරි හිටහං .........අඩෝ බලුවැඩ කරන්ඩ එපා උඹ හොද ගෙඩි උඹේ බෑක් එකට දාල අමු එව්වයි පොඩි එව්වයි මගේ එකට දැම්මනේ ‘‘

‘‘ ඉතින් හොදම ඒවා උඹත් සාක්කුවට එබුවේ ‘‘

............................................................................

‘‘ සුදුවෝ ...අම්මේ .....මේන්න බලන්ඩ මං රඹුටං ගොඩාරියක් ගෙනාවෝ ‘‘

‘‘ රඹුටන් ..වරෙ වරෙන් රඹුටං දෙන්නං බොට ‘‘

‘‘ මොකද අනේ බොරුවට කෑගන්නේ ‘‘

‘‘ බොරුවට ......කොහෙද උඹ මල්ලිගේ සෙල්ලං බඩු හැංගුවේ ‘‘

‘‘ පිස්සුද මං හැංගුවේ නැ ‘‘

‘‘ මේ පොල්ල කැඩෙනකං ගහනව කියපං ඇත්ත ‘‘

‘‘ උඹ තමයි මගේ සෙල්ලං බඩු ගත්තේ , ඇරගන හංගන්ඩ ඇත්තේ ‘‘

‘‘ පිස්සුද බූරුවෝ ........හං ..හං .....මට හම්බෙන රඹුටං ගෙඩියත් මං තනියම කන්නේ නැතුව ..උඹට අරං එනව ...උඹ අම්මව උසිගන්නනවා මට ගහන්ඩ ‘‘

‘‘ උසිගන්නන්ඩ මං බැල්ලියෙක්ද බොල ‘‘

......චටාස් ...පටාස්...

‘‘ මේ ඉස්කෝලේ ගිහින් පරක්කු උනාට ‘‘

...වපාස් ...පටාස් ...දක් ...දොක්....චිටිස් චක් ...

‘‘ අනේ අම්මේ එපා .....අනේ ..එපා ..එපා ....ආආආ..අතේ ඇගිලි වලට වැදුනේ ..අනේ අම්මේ එපා ..ඇගිලි කැඩුනද ..කොහෙද ...‘‘

‘‘ ඇගිලි නෙමෙයි මම අද කඩනව තොගේ බෙල්ල ......දුහන්ඩ එපා .....දුහල අල්ල ගත්තොත් මරණවා ‘‘

‘‘ ඇත්ත කියපිය ..සෙල්ලං බඩු දීලා ..රඹුටන් ගත්ත නේද ‘‘

‘‘ පිස්සුද අනේ නැ ...චමින්ද එක්ක නැන්දලැ ගෙදර ගිහින් කැඩුවේ ‘‘

‘‘ උඹට මෙහේ මං නොදන්න නැන්දලත් ඉන්නවද ‘‘

.......දඩින් දිඩිං .......

‘‘ අයියෝ අම්මේ ...ගහන්ඩ එපෝ ඔලුවට වැදුනේ ඔලුව පැලුනද කොහෙදෝ ...අනේ අම්මේ එපා ..අනේ ..අම්මේ ..එපා ...එපා ‘‘

‘‘ ඔලුව පැලුන .......කඩනව අඩු අද මම තොගේ , ගිහින් දුන්නා නේද තෝ කාට හරි පොඩි එකාගේ සෙල්ලං බඩු ....මහමිනිහ ඔව්වා ගේන්නේ කඩවල් වලට දාල ගන්න පනං හතරෙකන් තොපිට කන්ඩ දෙන්ඩ නේද ‘‘

දඩාං...බඩාං...දිඩිං ..ඩිං....

‘‘ අනේ එපා අම්මේ එපා ..අම්මේ අනේ මං මැරෙයි ......අනේ ගහන්ඩ එපා අම්මේ ....අයියෝ මට බැ , කකුල් පන නැ ...මං මැරෙයි .....‘‘

‘‘ නැගිටපිය ...නැගිටපිය ....බොරුවට වැටෙන්නේ නැතුව .....ගෙයින් එලියට ඇහෙන්ඩ කෑගහන්නේ නැ ‘‘

චටාස් පටස් ....වටාස්...

‘‘ අනේ නැගිටින්නං ගහන්ඩ ...එපා ...කෑගහන්නෙත් නැ ..අනේ අම්මේ ගහන්ඩ එපා ‘‘

‘‘ තෝ තවත් නැ කිය කිය බොරු කියන්නේ උඹ අම්මව රවට්ටන්ඩද .. පිලිගනින් තෝ මල්ලිගේ සෙල්ලං බඩු විකුනුවා නේද ‘‘

චාස් චටපටාස් ..තොක් තක් ....

‘‘ අනේ සුදුවෝ මං සෙල්ලං බඩු ගක්තේ නැ අම්මට කියහං මට ගහන්ඩ එපා කියල ‘‘

‘‘ හොද වැඩේ තොට වංජුලය ..හොද වැඩේ , මගේ පිස්තෝලෙයි , නලාව , බෝලෙයි හොරකං කරල ‘‘

‘‘ අවසාන වතාවටයි කියන්නේ ......ඇත්ත කියපං සෙල්ලං බඩු ටිකට මොකද කලේ , ඒටික විකුනල රබුටං කාල තව අපිවත් රවට්ටන්ඩ අරගනත් ආවා නේද ‘‘

.......දඩින් දිඩිං ......දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්...චාස් චටපටාස් ..තොක් තක් ....දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්..........දඩින් දිඩිං ......දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්...චාස් චටපටාස් ..තොක් තක් ....දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්..

‘‘ අනේ අම්මේ ගහන්ඩ එපා ඔව් ඔව් ...මං සෙල්ලං බඩු විකුනුවා , ඒවායෙන් රබුටං අරගන ...කෑවා .. ගෙදරත් අරගන ආවා ‘‘
‘‘ ඇයි තෝ කලින් ඔය ටික නොකියුවේ ‘‘

දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්..........දඩින් දිඩිං ......දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස්....තොක් ...තොකොක්
‘‘ පොල්ල කැඩුන හන්දා තෝ බේරුනා කියල හිතාගං , නැත්තං අද මරල හංගනව ‘‘

‘‘ ඉහි ...ඉහි ...ඇඇ...ඇ..ඇඅ..ඇ.....ඇඇ..ඇඇ...කැක්..කැක්

...............................................................................

...............අනේ දෙයියනේ මං වගේ පව්කාරයෙක් ..........ඔලුවත් පැලිලා , ඇග හැම තැනම රිදෙනව ... .....
තාත්ත බොස්ටල් එකේ කොල්ලෙක්ටවත් ගහල නැතුව ඇති අම්ම මට ගහපු තරං , ඇගිලි රිදෙන නිසා නොලියුව එකට ටීචත් මට ගැහුවා...අම්ම ගහල ඇගලි නමන්ඩ බැ , ඒක හන්ද ලියන්ඩ බැ කියන්ඩද .............අර මුසලය හන්ද තමා මේ ඔක්කෝම , ඔකා ඉපදුනත් හරි හැමදාම මං ගුටි කනව , අපරාදේ පොඩිකාලේ නිව්මෝනියාව හැදිච්ච වෙලාවේ අනුරාදපුරේ ඉස්පිරිතාලෙදි ..ඒකව මැරෙන්ඩ තිබුනේ ......

අර තියෙන්නේ නියගලා මල් ගොන්නක්ම .අල ටික ගලවං ගිහින් කන්ඩයි තියෙන්නේ , එත් බැ පත්තරේ කොච්චර තියනවද නියගලා අල කාල බේරිච්ච උන් ගැන , මාත් නොමලොත් ...අරුන් ටික මාව නොමරා මරයි , ...වහ ටිකක් කාල මැරෙන්ඩත් නැති හැටියක් .
...එතකොට සෙල්ලං බඩු වලට මොකද උනේ .... අරූ හංගල ඇති කොහේ හරි , එහෙම කරල මට ගස්සවන්ඩ ඕන හන්ද අම්මට කියන්ඩ ඇති , මං අරගන කියල................ඉතින් පෙරෙයිද රෑත් තිබුනනේ සෙල්ලං කරන කොට ..............

....දෙයියනේ ..මං අන්තිමට හංගපු පාර අරුන් දෙන්නට හොයාගන්ඩ බැරි උනානේ . වලස්ඇදිරිය වැට අස්සෙන් එලියට ඇරගන දෙන්ඩ ඕන අම්මට , වෙච්ච දේ කියල හොදවැයින් දෙකක් කියන්ඩ ඕන දුං විසිවෙන්ඩ , ....ආයේ දෙකක් නැ අදනං අම්මට ඇඩෙනව ...බාගදා පහක් දහයක් මිට මොලවන්ඩත් බැරි නැ , ගල් බනිසක් , වංඩු ආප්පයක් කාහං කියල ....

...........................................................................

‘‘ අම්මේ අම්මේ එදා සෙල්ලං කරනකොට මල්ලිගේ සෙල්ලං බඩු හංගපු තැන මතක් උනේඔඔඔඔ ‘‘

‘‘ මොකද බං බෙරිහං දෙන්නේ ‘‘

‘‘ ආ තාත්තේ........කෝ අම්ම කොහෙද ගියේ ...ඊයේ මං කියන එක පිලිගන්නේ නැතුව මාව මරාගන කන්ඩ හැදුවා , පෙරෙයිදා ලොකු නංගිත් එක්ක ඇල් ගිනි සෙල්ලම කරනකොට සෙල්ලං බඩු ටික වලස් ඇදිරිය වැට අස්සේ හැංගුවට ඒ දෙන්නට හොයාගන්ඩ බැරි උනා , මට ඒක ඊයේ මතක් උනානං නිකං ගුටි කන්ඩ වෙන්නේ නැ , මට දැන් මේ එන ගමං මගදි මතක් උනේ , මේ තියෙන්නේ පිස්තෝලෙයි , නලාවයි , බෝලෙයි තුනම‘‘

‘‘ ආ ..ඇත්තද ...තෝ කාවද බොල ඔය රවට්ටන්ඩ හදන්නේ , තොගේ ලුනු ගොරක මදි මාව තම්බන්ඩ ...වල් පරය ඊයේ වික්ක එකාගෙන් ආයෙත් ඉල්ලගන ඇවිත් ... වැට අස්සට දාල මාව අන්දන්ඩ නේද හැදුවේ , මං අද තෝ මරල තමයි පස්ස බලන්නේ ‘‘

‘‘ අනේ තාත්තේ පයින් ගහන්ඩ එපෝ ......බේරගන්ඩ කවුරුවත් නැද්දෝ .......අපේ තාත්ත මාව මරනවෝ

-http://atampahura.blogspot.co.uk/2015/06/blog-post_15.html

 

 

නෙළුම් යාය සහෘද සමුහය