22 April 2019
RSS Facebook Twitter   

මගේ සුදු තාත්තා

oma1
අද මගේ තාත්තගේ උපන්දිනේ .තාත්තගේ එක ෆොටෝ එකක්වත් මන් ලග නැහැ,,එයාගේ හැඩ හුරුකම විතරයි මගේ මතකයේ ඇදිලා තියෙන්නේ,,අර්ජුන් රාම්පාල් අපේ තාත්ත වගේ ,,ඒකයි එයාගේ ෆොටෝ දැම්මේ ඈ ..ජිවිතේ පලවෙනි වතාවට සහ අවසාන වතාවට එයා ගැන දිර්ගව ලියන්න හිතුවා..


.අපි හැමෝගෙම ජිවිතේ තියෙනවා අතීත මතකයන් වල මුල්ම මතකය ,,,පුද්ගලයා අනුව ඒ කාලය වෙනස් වෙනවා ඇති , මගේ දැන් වයස විසිගානක් , මගේ පරණම සහ මුල්ම මතක ඇති අතීතය මතක තියෙන්නේ අවුරුදු 4 කාලේ ඉදන්, මොන්ටිසෝරි පටන් ගත් කාලය ඉන් එහා මොකුත් මන් දන්නේ නැහැ...
මන් මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කලේ මගේ තාත්තට..මන් මේක ලියන්න හිතුවේ මගේ තාත්තා වෙනුවෙන් නෙමේ. මේක අහම්බෙන් හරි කියවන ඔයා වෙනුවෙන් ,,, මන් ඉපදෙනකොට තාත්තට 23 යි .මට තාත්තගේ පළවෙනි මතකය තියෙන්නේ එයාට 27 වගේ වෙද්දී. එයා හෙන පට්ට හැන්ඩි( මාව දැක්කම හිතාගන්න පුළුවන්නේ නේ ) අම්මා තාත්තා සතුටින් හිටියා. ඒත් තාත්තට 27 කාලේදී අපේ අම්මා මැදපෙරදිග ගියා පසුව දැනගත්ත විදියට තාත්තගේ අකමැත්තෙන් ,,අත්තම්මගේ පෙළබවිමෙන් තමයි.,, ඊට පස්සේ මගේ තාත්තා මාව බලන් හිටියා අම්මා ලියුම් එවුවා අත්තම්මා ඒවා තාත්තාට දුන්නේ නැහැ. පස්සේ ලොකු ලොකු ප්‍රශ්න ඇති වුණා, දැන් වගේ ස්කයිප් , ටෙලිෆෝන් තිබ්බානම් මන් මේ කතාව අද ලියන්නේ වෙන විදියකට,,,
මනුස්සයෙක්ගේ ජිවිතේ ,,ඉදිරිය සාර්ථකත්වය ,බිදවැටීම තමන්ට තනිව පාලනය කරන්න බැහැ දේශපාලනය,තාක්ෂණය,සමාජ කතිකාව වගේ දේවල් සෘජුවම බලපානවා නේද කියලා හිතුනා.

අම්මා ඉන්න කාලේ වැඩට ගිහින් ආපු වෙලේ ඉදන් ගෙදර හිටපු තාත්තා දැන් එහෙම නැහැ.. ඔයා හිතයි එයා එන්න පරක්කු වුණා කියලා එහෙම නෙමේ. එයා ඇවිත් මාවත් අන්දගෙන යනවා යාලුවන්ගේ ගෙවල් වල.."තාත්තේ අම්මා බලන්න ඕනේ " කිවුවහම එයාපෝර්ට් එකේ තියෙන්නේ ෆමිලියන් කියලා තැනක් එතනට එක්ක යනවා,, එතනට වෙලා ප්ලේන් බලන් ඉදලා කඩේකින් හොදට කාලා එනවා, ඒ දවස් වල මන් හෙන මහතයි(ෆොටෝ වලින් දන්නේ),,ඔහොම කාලයක් යද්දී මේ විදියට එයා යොමු වුණා සුදුවට යාළුවො නිසා, හැබැයි අද වෙනකල් මගේ තාත්තා අරක්කු,සිගරැට් ,බුලත්විට කන්නේ නැහැ..මට ඕවා තේරෙන්නේ නැහැ , අලියා ඔරේන්ජ් ක්‍රෂ් බෝතලයයි චොක්ලට් බිස්කට් 250 කකා මන් ඉදගෙන ඉන්නවා.
ආත්තම්මා එක්ක රණ්ඩු වෙලා මගේ තාත්තයි මමයි ඒ වත්තේම කාඩ්බෝඩ් වලින් ගෙයක් හදලා එකේ වහලට පොල් අතුයි ,ඉටිකොළයි දාලා ඒකෙ පදිංචි උණා,


අම්මට තාත්තා ලියුම් ලිවුවා වෙන ඇඩ්රස් එකකට අම්මා ලියුම් එවලා තිබ්බා පස්සේ,, තාත්තගේ ජොබ් එක නැතිඋනා ඔය අතර..එයා ට්‍රැක්ටර් ඩ්‍රයිවර් කෙනෙක් ඒ දවස් වල,, මට මතකයි එයා අලුත් තැන ජොබ් එකට ගියාම කරන්න තිබ්බේ පාළු වෙච්ච කුබුරුවල වලවල් කපලා ඒවලින් මැටි අරන් ගඩොල් පෝරණු කරන අයට ගිහින් බාන්න.. තාත්තා ගොඩක් ඇගේ හයිය තිබ්බ කෙනෙක්,, (අර්ජුන රාම්පාල් වගේ ඇග ) එයා තනියම ගල්කටුවයි සවලයි පාවිච්චි කරලා දවසට පස් ට්‍රැක්ටර් කීපයක් පුරෝලා ගෙනියනවා,, මාත් මොන්ටිසෝරි ගිහින් ආවට පස්සේ එයා අවුවේ පස් කපන තැනට වෙලා ඉදගෙන ඉන්නවා..
ලෝකේ තියන හැම ප්‍රශ්නෙම අහනවා,, තාත්තාගෙන් එයා හැමේකටම මට උත්තර කියා දුන්නා .සමහර ඒවා බොරු කියලා මන් ටිකක් ලොකු වෙද්දී දැනගත්තා,,
"මන් දවසක් ඇහුවා ඇයි තාත්තේ වහිද්දි ගොරවන්නේ වලාකුළු අස්සෙන් එන සද්දේ මොකක්ද එහෙම වෙන්නේ ඇයි " "පුතේ එහෙම වෙන්නේ මේ ලෝකේ උස්සගෙන ඉන්නේ යෝධයෙක් එයා අපේ ලෝකේ එයාගේ ඇගිලි උඩ තියන් ඉන්නේ එයා හිරිවැටෙද්දී ඇගිළි මාරු කරනවා", "තව එයා එහෙමෙහෙ යද්දී එතකොට තමයි එහෙම වෙන්නේ කියලා" අකුණු කියන්නේ අහස උඩතියන ලෝකේ යුද්ද තියෙන වෙලාවට කිවුවා'.
එයාට දාඩියා දාලා කළු වෙලා,,මට හොදට මතකයි පිටේ ලුණු වගේ මිදිලා තිබ්බා ,,ඒවා ඇගිල්ලෙන් අරන් මන් කටේ ගාලා කියනවා 'අම්මෝ අද ගොඩක් ලුණු සසයි කියලා".
කාළය ගෙවුනා දවල්ට ආත්තම්මා එක්ක හවසට තාත්තා එක්ක,එයා සූදුවට ඇබ්බැහි වුණා,, ඒ වගේම අවුරුදු 28 ක විවාහක පිරිමියෙක් බිරිද නැතුව,, ඉන්ටර්නෙට්,ටෙලිෆෝන් වලින් කිසිම සම්බන්ධයක් නැතුව පුංචි දරුවෙක් එක්ක තනියම ඉන්න එක,,මට අවුරුදු 19 ක් විතර වුනාට පස්සේ මන් මගේ තාත්තගේ තරුණ ජිවිතේ ගැන දුක් වුණා ගොඩක්.. ඔය අතර එයා මාත් එක්ක නිතර නිතර යාළුවෙක්ගේ ගෙදර වැඩිපුර ගියා,, එහෙ හිටියා හොද ලස්සන අක්කා කෙනෙක්, ඒ මාමගේ නංගි.. එයා මට හෙන ආදරෙයි.

මන් පොඩියි ඒකාලේ කන්න බොන්න දෙන ,සෙල්ලම් කරන ,හුරතල් කරන ඕන කෙනෙක් මගේ ලෝකේ හොදම හොද මිනිස්සු.දැන් වගේ "අම්මෝ හෙන මීටරේ ඈ මෙයා නම්" , 'අපෝ ගොම් පාට්" ඕවා තේරෙන්නැහැ,,(දැන් ඉන්න ළමයිට නම් තේරෙනවා මන් හිතන්නේ,,අම්මලා ඇන්මම්,,, අනම් මනම් කිරිපිටි එහෙම බොන හින්දා ) ඔය අතර අම්මා අවා, තාත්තා ගැන ආච්චිඅම්මා ඔක්කොම අම්මට ලියුම් වලින් බොරුත් එක්ක ලියලා යවලා ,හොදට දැනුවත් කරලා තිබුණේ මන් හිතන්නේ.. අම්මා ආපු දවස් ගැන මට එච්චර මතකයක් නැහැ ,,

අම්මා ඇවිත් අපේ කාර්ඩ් බෝඩ් ගේ වෙනුවට ටිකක් හොද එකක් හැදුවා,, ඒත් ගෙයි ඔක්කොම ඉවර කරගන්න නම් අම්මා ආයෙමත් රට යන්න ඕනේ කියන අදහස ආයේ ආවා. ඔහොම දෙවැනි පාරත් අකමැත්තෙන් එයා ගියා.. අම්මා ගියාට පස්සේ මායි තාත්තයි ආයේ තනියම,, එයා වෙනද වගේ මන් ඉස්කෝලෙන් ආවට පස්සේ එක්කන් යනවා වැඩ කරන තැනට.සිද්දි දහස් ගානක් ඔලුවේ තියෙනවා ඒත් අත්‍යාවශ්‍යම දේවල් විතරක් ලියන්නේ මේක ගොඩාක් දික් වෙන නිසා,,,
මෙදාපාරත් අම්මා ආවේ අවුරුදු 3 කින්,, මට 8 ක් වගේ එයා එද්දී..
තාත්තා අලුතෙන් වැඩ කරන තැන දුරයි ටිකක් ඉස්කෝලේ නිමාඩු දවසට තමයි එක්කන් යන්නේ වැඩකරන තැනට,, එතන හරියට ගෙම්බෝ හිටියා මගේ වැඩේම ගෙම්බෝ අල්ලලා උන්ව බෙල්ලට පොඩි ලනු ,රෙදි පටි දාලා සෙල්ලම් කරන එක ,, හෙන ලොකු වුන් හිටියේ,,
මගේ තාත්තා මාව පුදුම විදියට පරිස්සම් කළා, කිසි කෙනෙක් එක්ක සෙල්ලම් කරන්න යැවුවේ නැහැ,,ඒත් මන් පව් කියලා හිතුනම යවලා එනකල් බලන් හිටියා දුරින් ,,
ඉස්සර එයා පැයක්,දෙකක් හරි එයාගේ ෆුට් සයිකල් එක උඩට වෙලා ඔහේ ඉදන් ඉන්නවා ,, කොච්චර දේවල් කල්පනා කරන්න ඇද්ද,,
ඔය කාලසීමාව වෙද්දී අර අක්කා අපේ තාත්තට අදරේ කළා මන් හිතන්නේ,, අපේ තාත්තත් එහෙමයි,, ලස්සනට ඇන්දා.. අර අක්කලාගේ දිහා යනවා නිතර.,, ඒත් මට වෙනද වගේම ආදරේ කළා,,එයා බයිසිකලේ හැමදාම හෝදනවා ,,පිහිනවා ,, මගේ ඇදුම් සේරම හෝදන්නේ එයා,,උදේට අන්දලා කැම කවලා ඉස්කෝලේ ඇරලලා වැඩට යනවා, උදේ 6 .30 ඉදන් මන් තනියම ඉස්කෝලේ කවුරුත් නැහැ..මොනා කරන්නද ඔහේ ඉන්නවා . දවල්ට ආත්තම්මා තමා ගෙනියන්නේ,, එයත් මට ගොඩක් ආදරේ කළා,,ඊට වඩා එයාගේ හිතේ සහ මුහුණේ තිබ්බා "ෂික් මේ ළමයෙක් ඉන්නවනේ නැත්තම් අපේ එකීව ඕකෙන් අයින් කරලා කියන හැගීම""
රෑට ගෙදර ඇවිත් තාත්තා උයනවා ,,මන් මේසේ උඩට වෙලා බිස්කට් කකා ලෝකේ තියන හැම ප්‍රශ්නෙම අහනවා ,,ඇත්තමයි මගේ තාත්තා එච්චර ඉස්කෝලේ ගිය උගත් කෙනෙක් නෙමේ 6 ට ගිහින් තිබ්බේ ,,ඒත් එයාට ඉංග්රීසි කියවන්න ලියන්න පුළුවන් හොදට,, මන් අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්නත් පුළුවන් ,, මන් ළමයි එක්ක රණ්ඩු වෙලා තියනවා නිතර තාත්තා නිසා.මන් හැමෝටම මගේ තාත්තා තමයි හොදම ,හැමදේම දන්නා කෙනා කිවුවා ,,මට ගොඩක් අය අපහස කළා..ඒකට හේතුව මන් නිසා පවුලට අපලයි කියලා අපේ නෑදෑයෝ අතර තිබ්බ කතාව වෙන්න ඇති..


කාළය ගෙවුණා වේගෙන් හෝ හෙමින් නෙමේ දැන් ඔරලෝසුවේ කටු කැරකෙන ස්පීඩ් එකටම..අම්මා ලංකාවට ආවා ආයේ අම්මා තාත්තා එකගෙදර
හොදින් හිටියා ,, ඒත් වටෙන් පිටෙන් අරවා මේවා ආරංචි වුණා,
අන්තිමට රණ්ඩු වෙවී හිටපු තාත්තා අපිව දාලා ගියා. මාව බලන්න අම්මට හොරෙන් ඉස්කෝලේ ලගට ආවා. තාත්තා අර අක්කත් එක්ක යාලු වෙලාලු ඒකලු අම්මා රණ්ඩු වෙන්න හේතුව. දැන් මන් අම්මා එක්ක, අම්මත් මට පණ වගේ ආදරෙයි,,
පස්සේ අම්මා මන් වෙනුවෙන් කියලා ආයේ තාත්තා එක්කගෙන ආවා ඔය අතර ගහ මරාගැනිලි ,රණ්ඩු අතර අම්මෝ ජිවිතේ තිත්තම උනා ඈ..පස්සේ අම්මට මල්ලි හමුබුනා ඒත් අපේ අම්මා නිතර රණ්ඩු වුණා..මේ අවුරුදු කීපය මගේ අම්මා ,තාත්තා වගේම මමත් ගොඩක් විදෙවුවා,, එයාලා කොච්චර හොදින් ඉන්න හැදුවත් විවිදාකාර ආරංචි , සැක සංකා අපේ පවුල වසාගෙන හිටියේ,,මල්ලි හම්බුනා.. තාත්තා සුදුවට ඇබ්බැහිවීම සහ එයාගේ අනිත් අනියම් සම්බන්ධය තමයි දැන් අපේ පවුලේ තිබ්බ ලොකුම ප්‍රශ්නය...

අම්මගේ සහෝදර ,සහෝදරියන් පරපුරම අම්මගේ පැත්තේ මගේ තාත්තා තනි වුණා.ආපහු මල්ලිට මාස 10 ක් වෙද්දී එයා කොහේ හරි ගියා,ඊට පස්සේ එයා අර අක්කලාගේ ගෙදර ආව ගිය බව සහ ලොරියක වැඩ කරන බව ආරංචි වුණා,, මට 11 ක් වගේ වයස,,පස්සේ මාවයි මල්ලිවයි ආත්තම්මා බලාගන්නම් කියලා අම්මා ගේ සම්පුර්ණම හදන්න හිතන් ආපහු රට ගියා අවුරුදු 2 කට,, තාත්තා ඉස්කෝලේ ලගට ඇවිත් මාව බලලා යනවා ,සෙනසුරාදට මාව රවුමක් එක්ක යනවා,ඒ අතර දවසක් තාත්තා මට කාටවත් කියන්න එපා කියලා ටිකක් දුර දිහාක එක්ක ගියා,එහෙ අර අක්කා හිටියා අපේ මල්ලිට වඩා ටිකක බාල මන් වගේම හැඩහුරුකම් තියන පුංචි ළමයෙක් වඩාගෙන.. පොඩි වුනත් මන් හිතුවා මේ අපේ තාත්තගේ බබෙක් තමයි කියලා,, මන් තාත්තට කොච්චර ආදරේ කලත් අර ළමය ගැන ආදරයක් දැනුණේ නැහැ,, එදායින් පස්සේ තාත්තාව තරමක මන් ඈත් කළා මන් හිතන්නේ ,ඒත් කාටවත් කිවේ නැහැ ..


කාළය ගෙවුණා,අම්මා ආවා. එයා ඇවිත් නඩු දැම්මා අනිත් මිනිස්සුන්ගේ පෙළබවිම මත. ඒත් එයාලා නඩුව අයින් කලාද කොහෙද ,,ආයේ තාත්තා ගෙදර ආවා,, ඒත් අර ළමයා ගැන ,හැමෝම දන්නවා..අයෙමත් රණ්ඩු.. පස්සේ තාත්තා පොරොන්දු වුණා ,අර සම්බන්දෙ නවත්වනවා ,,හැබැයි දරුවට වියදම් දෙනවා කියලා,,නමුත් අපේ අම්මා දවසගානේ තාත්තාව රිද්දුව,, මගේ අම්මව නෑදැයෝ රිද්දුවා,, කාලයන් නිශ්චිතව මතක නැහැ මට නමුත් මන් O / L කරන කාලෙත් රණ්ඩු ,,අර ළමයා ඉස්කෝලේ යනවා.. ඒ ළමයට එහෙන් තාත්තා කෙනෙක් නැහැ,, අපේ අම්මාලා ඒ වෙද්දී තරමක් පෝසත්තු,, නෑදෑයන්ට අවනම්බු වෙනවා මේ වගේ නොයෙකුත් ප්‍රශ්න ,, මගේ අම්මයි ,තාත්තයි පුදුමාකරා ජිවිතයක් ගෙවුවේ,, මේ හැමදේම තේරුණත් නොතේරුණ ගානට මන් හිටියේ...
40 පාරක් විතර තාත්තා ගියා ආයේ අම්මා එක්ක ආවා... ඔහොම තමයි කාලේ ගෙවුනේ,,,,
දැන් මේ කතාව ලිවුවා ඇති ,, වර්ථමානයේ මට කියනන් අවැසි දේ මේකයි . මේවා ඔබේ මානයන්ට තර්කයන්ට එකග නොවෙන්න පුළුවන් ,,

කිසිම පිරිමියෙක් කසාද බැදලා ආර්ථික ප්‍රශ්න එද්දී තමන්ගේ බිරිදව පිටරටකට යවන්න හෝ යන්න දගලුවට යන්න දෙන්න එපා..
කිසිම බිරිදක් තමන්ගේ ස්වාමිපුරුෂයව තනිකරලා පිටරට යන්න එපා. කසාද බදින්න කලින් තමන්ගේ ජිවිතේ තනියම ගන්න තීරණ අරන් ඉවර කරන්න ..රට යන්න ඕනේනම් යන්න,,
කසාද බැන්දට පස්සේ අම්මා තාත්තාව අත්හරින්න එපා ,ඒත් තීරණ ගද්දි තමන්ගේ අලුත් පවුල් ජිවිතේ තීරණ වලට ඒ අයව ගාව ගන්න එපා,,
තමන්ගේ ස්වාමිපුරුෂයාට ගරු කරන්න ,,එහෙම කරන්න තරම් සුදුසු නැති මිනිහෙක්නම් එයාව බදින්න එපා ...
කටින් කියන වචන වලින් පිරිමියෙක් ලංකරගන්න බැහැ ,, ගැහැනුන් නම්‍යශීලි විය යුතුයි.. එසේ වූ තැන පිරිමියා වැරදි නොකරයි,,

තව දෙයක් කියන්න බැරි වුණා, අන්තිමට මට 21 වෙද්දී මන් කොහොමහරි අම්මව කැමති කරවගත්තා තාත්තට නිදහස දෙන්න,,අම්මා දික්කසාදය නොදුන්නේ ,,තාත්තාව වෙන කෙනෙක්ට දීලා පරාජය බාරගන්න බැරිකමට සහ තාත්තට රිද්දන්න ,,ඒත් ඒකෙන් වුනේ මගේ ආදර අම්මා ,තාත්තා මගේ මල්ලි මන් ඇතුළු මුළු පවුලම මොක්කුද වගේ ඔහේ හුස්ම ගැනීම විතරයි. ඒ වගේම තාත්තගේ ලෙයින් උපන් අනිත් දරුවා ඇතුළු පවුල දුක් වීම පමණයි.. දැන් මගේ තාත්තා අලුත් ජිවිතයක් ගෙවනවා,,මන් දැක්කේ නැහැ අවුරුදු 3 කින්.නමුත් එයා දැන් සතුටින් ඉන්නවා. මගේ අම්මා ආගමට දහමට ලැදිව ඒ පැත්තෙන් යම් සතුටක් ලබනවා.
මගේ ආදර තාත්තා එයාගේ තරුණ ජිවිතේ තමන්ගේ බිරිද එක්ක සතුටින් ඉන්න ඕනේ කාලේ අහිමිවෙච්ච කෙනෙක්. මගේ අම්මත් එහෙමයි.අතීතයේ දවසක පවුලේ යහපත සතුට ගැන හිතලා ගත්ත එක තීරණයක් නිසා ජිවිත කීයක් දුකට පත් වුනාද.. මරණය දක්වාම ඔවුන්ගේ ජිවිත වැරදිලා ඉවරයි.
අද එයාගේ උපන් දිනේ..කතා කරන්න විදියක් නැහැ නමුත්,එයාගේ ජිවිතේ මරණය දක්වා මන් එයාව බලාගන්නවා. මේකේ අගමුල ඔයාට තේරුම් ගියාද දන්නේ නැහැ.සමාජයේ දහස් ගණන් මිනිස්සු ඉන්නවා මේ වගේ වෙච්ච,, මට මගේ යාලුවන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ කසාදය කියන බැදීම ආදරෙන් පරිස්සම් කරගන්න කියලා,,,සුබම සුබ උපන්දිනයක් මගේ සුදු තාත්තට

--http://omageheena.blogspot.co.il/2013/07/blog-post_31.html

සංහිඳියාව සහ බඩාගෙ ආදර කතාව

halapa1අපේ ගමට අල්ලපු වැටේ රෙදි මෝල හැදුවට පස්සෙ රටේ නොඑක් පළාත් වලින් විවිධාකාර පුද්ගලයො රෙදි මෝලේ වැඩට එන්න ගත්තා.එහෙම උනේ රටේ හැම පළාතකින්ම සාධාරණ ආකාරයට රෙදි මෝලේ වැඩට බඳවාගත්ත නිසා නොවෙයි.සිද්ද වෙන්නෙ අදාළ කාලය තුල පේෂකර්ම ඇමති සහ නියෝජ්‍ය ඇමති වශයෙන් පත්වෙන අයගෙ ඡන්ද කොට්ඨාශ වලින් රෙදි මෝලේ වැඩට කට්ටිය ගන්න එකයි.ඇමති නියෝජ්‍ය ඇමති වෙනස් වෙනකොට වැඩට ගන්න පළාත වෙනස් වෙනවා.උදාහරණයක් හැටියට පේෂකර්ම ඇමති වෙන්නෙ මයියංගනේ මන්ත්‍රී වෙච්ච කැප්ටන් සෙනෙවිරත්න නං මයියංගනේ බිබිලෙ හසලක ආදී පළාත්වලින් කට්ටිය මෝලට පුරවනවා.ඊට පස්සෙ පේෂකර්ම ඇමතිකම කටානෙ මන්ත්‍රී විජේපාල මැන්ඩිස් ට ගියාම මීගමුව හලාවත වෙන්නප්පුව වගේ පැතිවලින් මෝලට සෙනග දානවා.ඔය වගේ ගාල්ල මාතර අම්බලන්ගොඩ වගේම නුවර ගම්පොල පැත්තෙන්ද ඈත රූණේ මුල්කිරිගල වීරකැටිය පැත්තෙන්ද විවිධාකාරයට සිංහල බාසාව වහරන විවිධාකාර ගති පැවතුම් සිරිත් විරිත් ඇති විවිධ පුද්ගලයන් එක කාමරේ නැවතී ඉඳගෙන එක බත්පත කමින් ලොක්කයියගේ කසිප්පු බෝතලේ එකට ගහගෙන එකට රෙදිමෝලේ වැඩකළා.

එහෙම බැලුවම සංහිඳියාව කියන වචනය අහලවත් තිබුනෙ නැති කාලෙක අපට අපේ ගමේම ඇතිවෙලා තිබුන අපූරු සංහිඳියාව ඒ කාලෙම අත්දකින්නට ලැබුණා.වැඩ ඇරිල ගෙදර ආපු හැන්දෑවක ගාල්ලෙ තිලක් අයියයි මයියංගනේ ආරියි බිබිලෙ රසාකුයි නුවර ගුරුගෙයි අම්බලන්ගොඩ මායාදුන්නෙයි හලාවත ෂෙල්ටනුයි එකතුවෙලා අපේ මිදුලෙ චෙරි ගහ යට බරපතල සාකච්ඡාවක්.මොකද්ද කියල ඔලුව දාල බලපුවම බෝතලයක් ගහන්න ගාන හොයාගන්නෙ කොහොමද කියල අහස පොළොව ගැටලන්න තර්ක විතර්ක කරනවා.එකෙක් ළඟවත් සතපහ අතේ නෑ.

ඕයි පඩියට සල්ලි දෙනකං ලොක්කයියගෙන් බෝතලයක් ඉල්ලල දෙනවකො...

අන්තිමට දුස්රා පන්දුව එල්ල වෙන්නෙ මට,ඒ කාලෙ හොර පොට් දෙකක් තිබුණා එකක් අපේ ගෙවල් ලඟම ලොක්කයියගෙ, අනික එහා ගොඩේ වතුරවලේ ඇඩ්ඩිංගෙ.අපි කොල්ලො කට්ටිය ගෙවල්වලට නෝන්ඩි වෙන නිසා ලොක්කයියගෙ පොට් එකට යන්නෙ නෑ ටිකක් දුර උනත් ඇඩ්ඩිංගෙ ගෙදරට යනවා.අනික අපේ අතමිට හිඟනිසා යන්නෙත් කවුරුහරි අනුග්‍රාහකයෙක් ලැබුණොත් පමණයි.මේ ගමනට බොහෝ වෙලාවට අනුග්‍රාහකත්වය දරන්නෙ බඩ මුණේ.රෙදිමෝලෙ වැඩකරපු බඩ මුණයගෙ අතමිට සරුයි ඒ කාලෙ කසාද බැඳල හිටියෙත් නැති නිසා පවුල් බරකුත් නෑ.අපි හත්අටදෙනෙක් මුණයත් එක්ක ගිහිං ඇඩ්ඩිං අයියගෙන් බෝතලයක් දෙකක් අරං බොනවා.බයිට් එකට ඇඩ්ඩිං අයියගෙ පවුල කීරමිං කරෝල කූරි දෙතුන් දෙනෙක් ලිපට අල්ලල පුස්සල දෙනවා.කොච්චි කරලක් ළූණු ගෙඩියක් එක්ක පුස්සපු කරෝල කූරියෙක් හපනකොට මාර රහයි.අවුරුදු තිහකට තිස්පහකට පස්සෙ බඩ මුණය මට ගිය අවුරුද්දෙ හම්බ උනා.

ඒ කියන්නෙ මුණය පූගොඩ පැත්තට බින්න බැස්සට පස්සෙ මට මුණ ගැහිලම නෑ.අන්තිමට දැක්කෙ මුණයගේ මඟුල් ගෙදරදි ඕං.මුණය අපේ ගමේ රෙදි මෝලෙ ඉඳල ප්‍රමෝෂන් එකකුත් එක්ක පූගොඩ රෙදි මෝලට මාරු කරපු නිසා ඌ පූගොඩ පැත්තට සැට් වුනත් එක්ක අපේ බඩ බැඳගෙන තිබුන ආස්සරේ ටික ටික අඩුවුනා.ගිය අවුරුද්දෙ මුල මම ලංකාවට ගියවෙලේ දවසක් දා හවස්වරුවේ අපේ ගේ ඉස්සරහින් බොහොම හිමිහිට ත්‍රී වීල් එකක් යනවා.ඒකෙ හිටපු කෙනා කොක් කරක් වගේ බෙල්ල දික් කරගෙන අපේ ගෙවල් පැත්ත බලමින් එනවා.මම ටක් ගාල මුණයව අඳුනගෙන ඉස්තෝප්පුවට ගිහිං බලං හිටිය. ඒ ගමන මිනිහ අපේ ගේට්ටුව ඉස්සරහ ත්‍රී වීල් එක නවත්තල මගෙ නම කියල මේ ඒ ගෙදරද කියල ඇහුවා.ඇයි මාව අඳුනගන්න බැරිද? එන්න එන්න කියපුවම පොර මාව අඳුනගෙන බැහැල ගෙට ආවා.

ඉතිං අපි දෙන්න ඒ හැන්දෑවෙ පැය ගාණක් පරණ තොරතුරු විස්තර කතා කරමින් හිටියා.මුණේට දුවලම දෙන්නෙක් ඉන්නව දෙන්නම දැන් රස්සාවල් කරනවා එක්කෙනෙක්ගෙ මගුලත් ලඟයි කියල කිව්වා.රෙදි මෝල වැහුවට පස්සෙ මුණේට කොළඹ මහත්තයෙක් ළඟ රස්සාව හම්බවෙලා තියෙනව.බොහොම වෙලා කතා කරමින් ඉඳල රෑ වෙන්න කළින් ගෙදර යන්න ඕනෑ කියල මුණේ අපෙන් සමුගෙන යන්න ගියා.ඒ වෙලාවෙ පුතා අපි දෙන්නගෙ පිංතූර වගේකුත් ගත්තා.

ඉතිං මම කියමින් හිටියෙ ඇඩ්ඩිං අයියගෙ ගෙදර මධු පානොත්සවය ගැන නොවැ.නිතර නිතර ගෙදර යනඑන බඩ මුණයත් එක්ක ඇඩ්ඩිං අයියගෙ පවුල බොහොම හිතවත් උනා.දරුවො දෙතුන් දෙනෙක් ලැබිල හිටියට මොකද ඇඩ්ඩිං අයියගෙ පවුල බොහොම හැඩකාර කාන්තාවක්. රතු සිහින් ඉඟත් පුළුල් උකුළත් රෙද්ද හැට්ටෙ ඇඳපුවම කැපී පෙනුනා.හැට්ටෙන් එළියට පනින්න බලන පිරිපුන් පියයුරු.අගින් උඩට වක්වුන සුමට නහයත් සිහින් රත් දෙතොලුත් මුහුණට එක්කලේ අමුතුම අලංකාරයක්.සිහින් දිගු දෑත් දෙපා ආදී පිරිපුන් නැමෙනසුලු අඟපසඟ සපිරි රූපශ්‍රීයෙන් යුත් මේ කාන්තාව බඩ මුණයට නං නේත්‍රාංජනයක්ම උනා.ඇයට ගමේ කොල්ලො කෙල්ලො කිව්වෙ රතු අක්ක කියලයි.බඩා වැඩිපුරම ඇඩ්ඩිං අයියලගෙ ගෙදර ගියෙ රතු අක්කත් එක්ක කදේ දාගෙන ඉන්න මිසක බොන්න තියෙන පෙරේතකමකට නෙවෙයි.රතු අක්කත් බඩාගෙ බලාපොරොත්තු කඩ කළේ නැහැ.බඩා වැඩිපුරම කළේ ඇයගේ ගතින් නට නටා කඩාහැලෙන රූසිරිය ඇසින් උරා බොමින් ඇසිපිය නොහෙලා ඇය දෙස බලා ඉඳීමයි.බඩාගෙ මේ හැසිරීම ඇයගෙත් ඇස නොගැටුනා නොවෙයි.

මොකද මල්ලියෙ ගිලින්න වගේ මයෙ දිහෑ බලං ඉන්නෙ?

බඩාගෙ හිත මන්මත් කරවන සුළු හිනාවක් පාමින් ඇය ඇහුවෙ සැරයක් දෙසැරයක් නොවෙයි.රතු අක්කට මුණයගේ තියෙන වැඩි ඇඟෑලුම්කම ඇඩ්ඩින් අයියට ඉව වැටුණොත් මූණය වැටෙන අමාරුව ගැන අපි කීප සැරයක්ම ඌට අනතුරු ඇඟෙව්වා.

ඔය වැඩේ නං එච්චර සුබ නෑ මුණේ.ඇඩ්ඩිං දෙකටම නැති සතෙක් වගේ මිනිහා,ඉනේ තියෙන පිහියෙන් උඹේ බඩ කොස්ගෙඩිය හාරනව වගේ හාරල දාවි...

ගෑනු ඕනනං රතු අක්ක විතරද ඉන්නෙ වෙන කෙනෙක් හොයාගන්න බැරුවයැ...

අපි මොන ආකාරයට අනතුරු ඇඟෙව්වත් වැඩේ අතඇරල දාන්න මුණය කැමති උනේ නෑ.ඒ විතරක් නෙවෙයි රතු අක්කත් එක්ක යහන්ගත වෙන්නට බඩාගෙ හිතේ තියෙන නොසංසිඳෙන ආසාව ඌ අපේ මූණටම කියල දැම්මා.

මට රතු අක්කමයි ඕනෑ,වෙන ගෑනු එපා...

බඩ මුණයගෙ හිතේ ඇතිකරගෙන තිබුන දැඩි අධිෂ්ඨානය ඌ කියපු වචන වලින් අපට තේරුණා.දිගින් දිගටම මුණයට විරුද්ධකම් පාන්න ගියොත් අපිවත් මුණේගෙ හතුරො ගානට වැටෙයි.මොන වැරැද්ද උනත් උන් දෙගොල්ලම තම තමන්නෙ මිනිස්සු.අපි පිට එව්වො,ඌට පුළුවන් දෙයක් ඌ කරගනී. ඒ නිසා මෙතැනදී අපි අයින් වෙලා බලාගෙන ඉම්මු කියල අපි කතිකා කරගත්තා.යාළුකං දිගටම පවත්වාගෙන යන්නට තිබුන එකම ක්‍රමය ඒකයි.

ඔය විදියට මුණය තමන්ගෙ ක්‍රියා කලාපය සුපුරුදු ආකාරයට කරගෙන ගියා.මේ ජෝඩුව ඉඩ තිබුන හැමවෙලාවකම කයිය ගහගෙන හිටියා.එහෙම ඉඩ හසරක් නැති වෙලාවට ඇස්වලින් කතාකරගත්තා.මේ දෙපොළගේ වැඩ කටයුතු ගැන හොයා බලන්න වෙලාවක් ඇඩ්ඩිං අයියට තිබුනෙ නෑ.ඔහුගෙ අරක්කු වෙළඳාම සරුවට කෙරුණා.අරක්කු තොග වෙලාවට සපයා ගන්නත් ඒ තොග පොලිසියට අහු නොවී සුරක්ෂිතව හංගල තියාගන්නත් තොග වෙළෙන්දන් එක්ක පොලිසිය එක්ක ගනුදෙනු කරන්නටත් ආදී කටයුතු රාශියක කරවටක් එරිල හිටපු ඇඩ්ඩිං අයියා ගෙදර දොර එදිනෙදා වැඩ, සිල්ලරට අරක්කු වෙළඳාම ආදී කටයුතු සම්පූර්ණයෙන්ම රතු අක්කට බාරදී තිබුණා.දවසකට සෙනග පණහක් සීයක් බොන්නට එන ගෙදර බඩ මුණේත් ඒ අය අතර කෙනෙක් ලෙස ඔහු දකින්නට ඇති.අරක්කු ව්‍යාපාරයෙන් අතට සල්ලි ගලන්නට පටන් ගත්තට පස්සෙ ව්‍යාපාරය වැඩි දියුණු කරගන්නට තව තව හම්බ කරන්නට වෙහෙසුනා මිසක බිරිඳ දරුවො ගැන සොයා බලන්නට වෙලාවක් ඔහුට තිබුනෙ නෑ.ඔහුගේ මේ ක්‍රියා පිළිවෙල බඩ මුණයටත් රතු අක්කටත් ආශීර්වාදයක්ම උනා.ඉඳල හිටලා මුණයව හම්බ වෙන වෙලාවට අපි රතු අක්ක ගැන උගෙන් අහනවා.

දැන් උඹේ වැඩේ කොහොමද ?

තාම නං මොකුත් උනේ නෑ යනව එනව විතරයි...

ඔහොම හිටියොත් නාකි වෙනකං යන්න එන්න විතරයි වෙන්නෙ.එහෙම නෙවෙයි වෙලාවක වචනයක් දාල බලපං...

බෑනෙ අහන්න ගට නෑ ,බැනල එළවගත්තොත් එහෙම කියල බයයි...

යකෝ ගට ගන්න තියෙන්නෙත් රතු අක්කගෙන්ම තමා,කාලක් ගහල බලපංකො එතකොට ගට එයි...

එහෙම නෙවෙයි වෙලාවක අපි කට්ටියම යමු.යාළුවො ඔක්කොම ඉද්දි මගෙ හිතටත් හොඳයිනෙ...

ඒ ගමන මූ හදන්නෙ අපි ඔක්කොටොම කෙළවන්න,හා හා යමංකො. කල් ඇර ඇර ඉන්නෙ නැතුව හෙටම යමු,හැබැයි අපි බෝතලයක් ගහගෙන එළියෙ ඉන්නව උඹ ඕනෑ මඟුලක් කතා කරගනිං...

කතාවුන විදියටම පහුවදා රාත්තිරියෙ අපි කට්ටිය බඩාත් එක්ක ඇඩ්ඩිං අයියගෙ පොට් එකට ගියා.ගිහිං කියාපු විදියට මුණය ගේ ඇතුළේ ඉද්දි අපි බෝතලේකුත් අරගෙන එළියට ආවා.ඇඩ්ඩිං අයියගෙ ගේ තියෙන්නෙ වලක. ඊට උඩින් පාර, පාර කඩාගෙන යනවට හදල තිබ්බ සිමෙන්ති බැම්ම උඩ වාඩිවුන අපි බෝතලේ හිස්කරන්න ගත්තා.රාත්‍රියේ සීතල පරදමින් අපේ හිත් ටික ටික උණුසුම් වෙමින් තිබුණා.මිතුරු කතාබහ සිනා මැදින් ගලා යමින් තිබියදී එදා අපිත් එක්ක ගිහිං හිටපු ඩෙනිස් උගුර කට තෙමාගෙන සිංදුවක් පටන් ගත්තා.

රුසිරු දසුනක් නෙතට යාවී මිහිරි හැඟුමකි උපන්නේ...

ඩෙනිස්ට තිබුනෙ දෝංකාර දෙන ගීතවත් කටහඬක්.ගීතයක් ඔහුගෙ මුවින් පිටවෙන්න කරුණු කාරනා ගණනාවක් සම්පූර්ණ වෙන්න ඕනෑ.එහෙම නැතුව කවුරු කොහොම කිව්වත් ඩෙනිස් සිංදුවක් කියන්නෙ නෑ ඒ නිසාම කවුරුත් කිසිම සද්දයක් නැතුව නිහඬ රාත්‍රිය විනිවිදගෙන රැව්දෙන ඩෙනිස්ගෙ මිහිරි හඬ අහගෙන හිටියා...

ළහිරු පුරහඳ පතන්නේ නෑ උවන සිරියා දකින්නේ...
පවුරු වැටකොටු තිබේ වටකොට කෙලෙස ළංවී ඉඳින්නේ...

ඩෙනිස් දෑස පියාගෙන ගීතවත් වෙද්දී ගේ ඇතුලෙ රතු අක්කත් එක්ක නෙත් හී සැර හුවමාරු කරගනිමින් ඉන්න මුණයගෙ හදවත ළා දල්ලක් වගේ ගැහෙන්න ගත්තා.ළඟ තිබ්බ වීදුරුව අතට අරං එකපාරටම උගුරට හලාගත්තෙ ඒකයි.මේක දැකපු රතු අක්ක මුණ නරක් කර ගත්තා.

ඇයි මල්ලියෙ ඔය ගිනිවතුර බොන්නෙ...

දුවගෙන ආපු රතු අක්ක එහෙම ඇහුවෙ බඩාගෙ අතකිනුත් අල්ලාගෙන,රතු අක්ක බඩාගෙ ළඟ හිටගත්තම බෝනික්කෙක් වගේ.බඩා උසයි මහතයි කොණ්ඩෙ පොලිස් කට් කපල.හැම තිස්සෙම කාකි කොට කලිසමයි සුදු ෂර්ට් එකයි ඇඳල බඩත් ඉස්සරහට දාගෙන ඉන්නකොට පොලිස් කාරයෙක් කියල නොදන්න අය රැවටෙනවා.සැරයක් මරු වැඩක් උනා.අපි කොල්ලො කාලෙ ඔය කොටි කලබල පටන් ගන්න හෙම ඉස්සර සමුපකාර සමිතියෙ බස් එක කතාකරගෙන නැගෙනහිර පළාතේ ට්‍රිප් එකක් ගියා.

අම්පාර කන්තලේ වාලච්චේන මඩකලපුව ත්‍රිකුණාමලේ වගේ පළාත්වල රවුමක් ගහල ආපහු ආව ඒ ගමනෙ පළවෙනි දවසෙ රෑ අපි කන්තලේ පන්සලක නැවතුනා.රෑට උයල තියල එහෙම හීනියට කර්තව්‍යයක් කරගෙන එන්න කියල කට්ටියක් ටවුම පැත්තට ගියා.ඒ අය ආපහු ඇවිත් ගිය තැන්වල අයුරු අපට කිව්වා.අපි කට්ටිය එක්ක බඩ මුණයත් ගියා.බඩු තියනව කියපු තැනට ගිහිං වාඩිවෙලා බෝතලයක් දෙන්න කියල ඉල්ලුවට දුන්නෙ නෑ.

බඩු නෑ මහත්තයො...

ඔන්න ඔහොම කිව්වා,බලපුවම පොලිස්කාරයෙක් කියල බඩාට රැවටිලා.මොන ආකාරයකට වත් දුන්නෙම නෑනෙ.මොනව කරන්නද මුණයගෙ මව්ගුණ ගායනා කරමින් ආපහු ඇවිත් අමුවෙන්ම රෑට කාල නිදාගත්තා.ඊට පස්සෙ නං ගමන ඉවර වෙනකං හොර පොට් එකකට තියා වයින් ස්ටෝස් එකකටවත් මුණයට යන්න දුන්නෙ නෑ.අන්තිම දවසෙ ත්‍රිකුණාමලේට හැතැප්මක් ඇති නැති ගානට තියෙද්දී බස් එක කැඩුනා.හදාගන්න ලැබුනෙම නෑ.අපි නඩේ පයින්ම ත්‍රිකුණාමලේට ඇවිත් විශ්‍රාම ශාලාවකට ගිහිං පිටිපස්සෙ තිබ්බ ලස්සන කලපුවෙ පැය ගාණක් නාල ගොඩ ඇවිත් දවල්ට කාල එහෙම රෑ වෙනකල් ඉඳල රෑ කෝච්චියෙ ගෙදර ආවා.මේ ළඟදී අපි ට්‍රින්කෝ ගිය වෙලේ එදා අපි හිටපු විශ්‍රාම ශාලාවත් නාපු කලපුවත් හොයාගෙන ගියා ඒක පැත්ත පලාතකටවත් යන්න දැන් බෑ හමුදා කෑම්ප් එකක්.

ආපහු ඇඩ්ඩිං අයියලගෙ ගෙදරට ආවොත් මේ වෙලාවෙ බඩා සහ රතු අක්ක යුවළ මිහිරි පෙම් වදන් හුවමාරු කරගන්නවා.දාපු ෂොට් එකේ පවර් එකට බඩාට ගට්ස් ඇවිත් රතු අක්කගෙ කණට කරලා තමන්ගෙ දුක කිව්වා.

මම ගිනිවතුර බිව්වෙ ඔයා නිසා...

රතු අක්ක ඇස්ගෙඩි දෙක උඩ තියාගත්තා.

ඇයි දෙයියනේ මම ඔයාට මොනා කළාටද?

ආපුදා ඉඳලම මගෙ හිතේ හිටියෙ ඔයයි,නමුත් ඔයා බනී කියල මට කිසි දෙයක් කියාගන්න බැරුව හිටියා...

බිම බලාගෙන හිටපු රතු අක්කගෙ නිකටෙන් අල්ලල මුහුණ උඩට උස්සපු බඩා හැඟීම්බරව කිව්වා,බඩා දාපු ෂොට් එකේ පිහිටෙන් දැන් දැන් හොඳට වචන කියවෙනවා.

ඇයි මල්ලියෙ එහෙම කියන්නෙ?ඔයා වචනයක් කිව්ව නං මං බෑ කියනවද?

රතු අක්ක අහක බලාගෙන කිව්වා.රතු අක්කගෙ වචන බඩාට ඇහුනෙ වෙනත් ලෝකෙකින් පාවෙලා ඇවිත් කණට ඇතුල්උනා වගෙයි.බඩාගෙ හිතේ සතුට බුබුළු දමමින් නටන්නට පටන් ගත්තා.පාරෙ සිමෙන්ති බැම්ම උඩ හිටපු උන් ටික දෙවෙනි බෝතලෙත් බොනවා .ඩෙනිස් තව ගීතයක් කියන්න පටන් ගන්නව බඩාට ඇහුණා.

හද පතුලේ හසරැල්ල කඳුලැල්ල කැළඹිල්ල මා නම් ඔබේ

රතු අක්කා බඩාගෙ ඇඟේ වෙලිල හිටියෙ ගේ ඉස්සරහ අඹ ගහේ වෙලිල තිබුන මල් පිරුන මල් වැල වගෙයි.සතුටින් ඉපිලෙමින් හිටපු බඩාට වට පිටේ සිද්දවෙන කිසි දෙයක් ගැන ගනිච්චියක් තිබුනෙ නෑ.බඩා තමන්නෙ හිතේ දෝර ගලමින් තිබුන දුක ඔක්කොම රතු අක්කගෙ කණට කරල කියල දැම්මේ එක හුස්මටමයි.

ඉතිං මගෙ වැරද්දක්ද?ඔයානෙ ඔක්කොම හිතේ තියාගෙන දුක්විඳල තියෙන්නෙ...

එදා මේ දෙන්න සමුගනිද්දී හඳත් අහසෙ බැසගෙන යමින් තිබුණා.දෙන්න කතිකා කරගත්ත විදියටම බඩා ඊළඟ සතියෙ දවසක මහ රාත්තිරියෙ ඇවිත් රතු අක්කගෙ කුස්සියෙ දොරට තට්ටු කළා.චීත්තෙකුත් පොරවාන දොර ඇරපු රතු අක්කව බඩාට පෙනුනෙ සුදුපාට වීනස් ප්‍රතිමාවක් වගෙයි.කුප්පි ලාම්පුවේ එළියෙන් බඩාව ගෙට ගත්ත රතු අක්ක එතනම කුස්සියෙ තිබුන බංකුවක බඩාව වාඩි කෙරෙව්වා.

බඩාගෙයි රතු අක්කගෙයි ආදර කතාව ඉවරවෙන්න තව ගොඩක් ලියන්න තියෙනවා.දැනටමත් සෑහෙන්න ලියපු නිසා අදට ඇති ඇති කියල හිතෙනවා෴

--http://helapakade.blogspot.co.uk/2015/02/blog-post_22.html

කැබිනට් රැස්වීම සහ සල්ලි හෙවිල්ල......

Johnඑදා කැබිනට් මීටින් එක වෙනදට වැඩිය ටිකක් ඇදිල ගියා. දවස් සීයෙන් බාගෙකට කිට්ටු වෙන්න ගෙවිල ගිහිල්ල තියන නිසා වෙන්නැති කවුරුත් තම තමන්ගෙ යෝජනා චෝදනා කතා කලා. කාගෙ කාගෙත් කතාබහ අවසන් වෙන්න යද්දි ටිකක් නිහඬව හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහත්තය කතා කරන්න ගත්ත. කතාව පටන් ගත්ත විදියට නං ටිකක් බරපතල කාරණාවක් බව පේන්න තිබුන.

"සර්, මම මේ කියන්න ගියේ වැඩිකරපු පන්දාහ ගෙවන්නෙ කොහොමද කියල! මහින්ද මහත්තය දීපු තුන්දාහ දෙන්නත් ඕන, අපේ පන්දාහ දෙන්නත් ඕන.... ඒත් ඉතිං සල්ලි තමයි....." රවී ඔලුව කහ කහ කියන්න ගත්ත.

"ඇයි ඔයා කිව්වෙ සල්ලි හොයාගන්න හැටි දන්නව කියල! දැං අපෙන් සල්ලි ඉල්ලන්නෙ ඇයි?" විහිළුවට වගේ අගමැතිතුමා කිව්ව.

"කිව්ව නං තමයි සර්.... ඒත් ඉතිං පනස් දාහවල් බෙද බෙද යන කට්ටියට වගේ සල්ලි දෙන්න කට්ටිය අපිට නෑනේ...."

"අපිට නං සල්ලි දෙන්න කට්ටිය ඉන්නව.... " සජිත් ඇමතිතුමා මොකක්දෝ කියාගෙන එද්දිම අගමැතිතුමා එයාව නිස්සද්ද කලා.

"හරි දැං කොහොමද මේ සල්ලි ටික හොයාගන්නෙ?"

"සර් අපි ගනිමු විදේශ ණයක්" රාජිත ඇමතිතුමා කිව්ව.

"හා හා හැම එකම ණයට අරගන්න ලෑස්ති වෙන්න එපා කලිං කට්ටිය වගේ...." අගමැතිතුමා කියපු එක ජනාධිපතිතුමාටත් වැදුන කියල තේරුනේ කිව්වට පස්සෙ. කොහොමටත් එතුමාට තේරුම් යනකොට ටිකක් පරක්කුයි නෙව.

"ඉතිං ඔය සල්ලි ටික ගන්න විදියක් කල්පනා කරන්නකො හිටං" නිස්සද්දව හිටිය ජනාධිපතිතුමත් හඬ අවධිකලා.

"අපි ගහමු බද්දක්! ජීඑස් ටැක්ස් හරි මොකක් හරි නමක් දාමු!" එහෙම කිව්වෙ ජෝසප් මයිකල් ඇමතිතුමා.

"ඒක හරියන්නෑ ජෝසප්.... එහෙම උනොත් මිනිස්සු කලකිරෙනව" අගමැතිතුමා කිව්ව.

"ක්‍රමයක් ඕන්නං කියන්නං......" මේ අතරෙ නිස්සද්දව හිටපු චම්පික ඇමතිතුමා කිව්ව. කවුරුත් එයාගෙ පැත්තට හැරුන.

"හැබැයි ඉතිං මේකට කවුරුත් කැමති වෙයිද දන්නෑ....."

"ඇයි, අර ඔයා පොතේ කිව්ව හොරුංගෙ ගිණුම්වල තියන සල්ලි ගන්නද?" රවී ඇහුව.

"නෑ නෑ.... මේක ඊට ලේසියි.... උසාවි යන්න වෙන ප්‍රශ්නයක් නෙවේ...."

"එහෙනං දේශප්‍රේමී බද්දක් ගේන්නද? ඔය ආරක්ෂක බදු වගේ?" අගමැතිතුමා ඇහුව.

"නෑ නෑ.... එච්චරත් අමාරු නෑ...."

"තටමන්නෙ නැතුව කියන්නකො චම්පික" අන්තිමට ජනාධිපතිතුමත් කිව්ව.

"සර්, මේකට අපේ ජෝන් ඇමතිතුමාගෙ සහය ඕන...."

"ඇයි? එකක් යන්තං යට ගියා.... ආයෙත් මාව කන්නද හදන්නෙ? අනේ මාව නං ගාවගන්න එපා ඕවට. අඩුගානෙ ඡන්දෙන් පස්සෙ"

"නෑ නෑ ඇමතිතුමා.... මේක බඩට වදින කේස් එකක් නෙවේ.... ඔබතුමාගෙ අමාත්‍යාංශෙ සහයෝගය විතරයි ඕන...."

"හෑ.... පාප් වහන්සෙ දීපු සල්ලි ටිකත් මෙයාට දුන්න තව මොනවද ඉල්ලන්නෙ?"

"නෑ නෑ.... ක්‍රිස්තියානි කටයුතු එක නෙවේ මට ඕන මහජන සාමය"

"ඒකෙං මොකක් කරන්න? මට නං මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ හලෝ! මොකද්ද ඕන කියනවකො ප්‍රෙෂර් හදන්නෙ නැතුව"

"මට ඕන ඔබතුමාගෙ පොලිසිය" චම්පික ඇමතිතුමා හීන් හඬින් කිව්ව. කට්ටිය මීයට පිම්බ වගේ නිස්සද්දයි.

"ඒ මොකටද?"

"ඔයාලගෙ අනුර සේනානායකට කියල, ගස්සල, විකුණල දෙන්නකො තව සීඩී ටිකක්.... ඔය ගාන හොයාගන්න බැරිය ලේසියෙම්ම.... එයාට තව කිරිල්ලියො නැතෑ.... "

-http://raj1st.blogspot.co.uk/2015/02/blog-post_23.html

"පස්සේ කිරීම" නොහොත් - "Ass" Charya

buttරූප පෙට්ටියේ, මහසෝනයි මෝහිණියි හැමිනෙන වෙලාවට විකාශනය වෙන, දේශපාළන බඩකඩුත්තුවලට එන ආන්ඩුවේ මැති අමතිවරු සබන් නැතුව නාගෙන යන්නේ, පසුගිය ආන්ඩුවේ හොරුන් වංචාකරයන්ට එදිරිව ගන්න වැඩ වලට වෙන්නේ මොකක්ද සත්තරනේ... කියලා ඇහුවාමය. එයාලා කටපාඩම් කරගෙන විත් දෙසා වදාරන උත්තර ටිකක් ඒ කාළේ ඉඳන්ම අම්මට සිරි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේම අඩංගු කර තියෙනවාය.

ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11 වන පරිච්ඡේදය ව්‍යවස්ථාදායකය යටතේ සඳහන් උප වගන්තියක් වන "කාර්ය පටිපාටිය හා බලතල" යටතේ සඳහන් "පානිය හා මොත්තේ.." යන කොටසේ ඇතුලත් වගන්ති කිහිපයක් ජහ මනයාගේ හිත සුව පිණිස පහතින් උපුටා දක්වමි.

XI වැනි පරිච්ඡේදය
ව්‍යවස්ථාදායකය
කාර්ය පටිපාටිය සහ බලතල
පානිය හා මොත්තේ උප ලේඛනය

"එහෙම එකක් නම් මමත් මාධ්‍ය වලින් දැක්කා..."
"ඔයාලා කියන්නේ එයාලා කරා කියලා අපිටත් එහෙම කරන්න කියලද.."
"එහෙම චෝදනා තිබුන පලියට ඉල්ලා අස්වෙන්නවත් අස්කරන්නවත් ඕන නෑ.."
"සාක්කි තියෙනවා නම් අපිට ලබාදෙන්න, අපි තදින්ම ක්‍රියාත්මක වෙනවා.."
"එහෙම චෝදනා නගන එක වැරදියි.."
"පොලීසියයි, අධිකරණයයි තියෙන්නේ ඒකට.."
"අපිට හැමදේම කරන්න බෑ. ජනතාවටත් වගකීමක් තියෙනවා.."
"බය වෙන්න එපා, පස්සෙ කරන්නම්.."

මෙහි අවසානයට සඳහන් "පස්සේ කිරීම" හා හොරු ඇල්ලීම සම්බන්ධයෙන් ආන්ඩුවට හිතවත්, අළුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කරන, ජනාධිපති උපසේන, ජයම්පති වික්‍රමරත්නයන් හා සමඟ, ගරු මාතලන් විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාව පහත පළ කර සිටිමි..

මාතලන් - ආයුබෝවන් සුබ අනාගතයක් මහත්මයා..!!!
ජයම්පතී - සුබ අනාගතේ ඉවරයි මෙයා, දැන් තියෙන්නේ යහ පාළණය...
මාතලන් - අම්මපා මට අමත උනානේ හිටං. අපි කෙලිනම මාතෘකාවට එමු...දැන් කොහොමද අළුත් ව්‍යවස්ථාව ඒක දින 100 කට කලින් ගේනවද..?
ජයම්පතී - මාතේ..., මේවා කාටවත් කියන්න එපා... ව්‍යවස්ථාව නෙමෙයි, මම බයවෙලා ඉන්නේ මගේ උපසේන කමටත් එයිට කලින් කෙලවෙයි කියලා
මාතලන් - හුකා.. තත්වය ඒ තරම් දරුණුද..?
ජයම්පතී - දැන් තියෙන තත්වේ අනුව..., ව්‍යවස්ථාව වෙනස් කරලත් බෑ... නොකරත් බෑ...
මාතලන් - අර ශුකාණු කෑ රිලවා වගේ නේද උපදේශක තුමා...?
ජයම්පතී - එයිට හපන් මාතේ...
මාතලන් - මම හිතන්නේ ඔය හොරුයි කියලා කියන උන් අල්ලලා..., චෝදනාව මතම ඇතුලට යවන ව්‍යවස්ථා සංසෝධනයක් ගේන්න බැරිද 18 වගේ දවසෙන් සම්මත කරන්න...?
ජයම්පතී - ගේන්න නම් පුළුවන්..., ඒත් සම්මත වෙයිද...?
මාතලන් - ඒ මොකෝ...?
ජයම්පතී - වැඩි හරියක් ඉන්නේ, එහෙම උන් නේ මාතේ...
මාතලන් - ඒකත් ඇත්ත නේන්නම් හිටං... දැන් ඔය ව්‍යවස්ථාව කවදද ගෙන්නේ..? ඒ වැඩේ කවදද කරන්නේ..?
ජයම්පතී - පස්සෙ කරනවා...
මාතලන් - එතකොට 18 අයින් කරලා 17 ගේන් එකවත්..?
ජයම්පතී - පස්සෙ කරනවා...
මාතලන් - අර රයිට් ටු ඉන්පෝමේසොන් පනතද මක්කද එක...?
ජයම්පතී - පස්සෙ කරනවා..
මාතලන් - අවුලක් නෑ..., අර පොලොන්නරුවේ අවුසද හාමිහේ පනත...?
ජයම්පතී - පස්සෙ කරනවා... ඒක රාජිත කරයි...
මාතලන් - ෂෝක්... අර ඔඩ්ඩි මස්සිනාගේ ඔඩ්ට් පනත...
ජයම්පතී - පස්සෙ කරනවා අප්පා
මාතලන් - නියමයි.. එතකොට අර පාවෙන අවි ගබඩා තියාගෙන හිටපු ., ඔස්ට්‍රේලියාවට සයිලම් සීකර්ස් යවපු ලොක්කා ප්‍රශ්ණ කරන එක..
ජයම්පතී - පස්සෙ කරනවා..
මාතලන් - ෂුවර්ද...?
ජයම්පතී - ඔව් ඔව්.... පස්සෙ කරනවා...
මාතලන් - කොළොන්නාවේ සත්තරන් සුදු පුතා ඇතුලට දාන එක...? පව් අර හිරුනිකා කෙල්ල දැන් අමු හෙළුවෙන් යන්නේ, මොකෝ රෙද්දක් ඇඳලා පාරේ යන්න බෑ කියලා.. එස් බී ත් එක්කම ගියා නම් බලා ගන්නත් තිබුනා..
ජයම්පතී - පස්සෙ කරනවා අනේ
මාතලන් - හුකා... කාගෙද...? සොරි සොරි... මටත් පිස්සූ... එතකොට අර මල්ටි බැරල් ට්‍රිලියනයර් ගිලපු සජින් කොලු පැටියා ඇතුලට...
ජයම්පතී - පස්සෙ කරනවා මාතේ..., පස්සෙ කරනවා...
මාතලන් - එතකොට අර කළුතර රත්තරන්, නාවලපිටියේ මදාවියා ඇතුල...
ජයම්පතී - පස්සෙ කරනවා..., පස්සෙ කරනවා...
මාතලන් - ඇත්තෙයි.. එතකොට ඔය ආයේ දෙමල්ලුන්ගේ ලේ ඉල්ලන ලේ මාපිල් ජඩමාද්දිය වේදියෝයි, සංඝයොයි, ආචාර්යවරුයි, අරුන්ටයි මුන්ටයි මොකුත්ම කරන්නේ...
ජයම්පතී - ඒයාලට රනිල් ඔය කරන්නේ..
මාතලන් - අපරාදේ..., එකත් පස්සේම කරා නම් තමයි ආතල් එක.. රනිලුත් කැමතියිනේ ඒකට.. අපරාදේ කළබල උනේ...
ජයම්පතී - ඕනම නම්..., ඉතින් ඒ විදියට කරන්නම්..
මාතලන් - එතකොට..., ඒ ඇරුනම, හදිසියේ අද හෙට මුකුත් කරන්නේ නැද්ද...?
ජයම්පතී - කරනවා.. කරනවා....
මාතලන් - ඒ මොකක්ද ඒ...?
ජයම්පතී - අපි ජාතික ආන්ඩුවක් හදනවා..
මාතලන් - මම හිතන්නේ නෑ ඒ වැඩේ හරියයි කියලා...
ජයම්පතී - ඒ මොකෝ..?
මාතලන් - හිටපු හොරුන්ටත් ඇමතිකම් 25ක්ම ඕනෙලු.. ඒකට, දැන් හොරා කන්න ආපු සෙට් එක කැමති නෑ.. කොහොමත් ඔය එක ගෙයි කන වැඩේ අදට ගැලපෙන්නේ නෑ..
ජයම්පතී - නෑ නෑ එක කොහොම හරි කරන්න ඕන.. නැත්නම් ඉතින් අපිත් නෑ නේ...
මාතලන් - එක නම් සහතික ඇත්ත ලොක්කා..එතකොට අනිත් ඔක්කෝම කරන්නෙ පස්සෙද..?
ජයම්පතී - ඔව් ඔව්... කලබල වෙන්න එපා... අපි පස්සෙ කරනවා... එතකන් බලාගෙන ඉන්න..
මාතලන් - බලාගෙන ඉන්න නම් පුළුවන්..., ඒත් ඉතින් පස්සෙ කරන කොට බලාගෙන ඉන්න එක තමයි දුක.. අපිට තනි ඇහැට ඇඬෙයි අප්පා..
ජයම්පතී - අර මොකෝ අප්පා ඒ..?
මාතලන් - නෑ ඉතින් ඔහේලා පස්සෙ කර කර ඉන්න අතරේ..., මැදමුලනේ මහ රජ්ජුරුවෝ, ලේ මාපිලොත් එක්ක එක්කහු වෙලා..., ඔහේලගේ පස්සෙ කරන කොට...., කොහොමද අප්පා ඇහක් කනක් ඇරගෙන බලාගෙන ඉන්නේ.. එහෙම කරලා නවතිනවා නම් ඒත් දුකක් නෑ... ඊට පස්සේ අපිටත් ඒකම කරනවනේ... ඇඬෙන්නේ නැද්ද ඕයි මේව්වට...?

 

--http://maathalan.blogspot.co.uk/2015/02/ass-charya_25.html

සිවුරෙන් වසාගත් මනුස්සකම නොහොත් පාත්තරයට දමාගත් ලැජ්ජාව.

galabadayaමෙම ලිපිය 2015 පෙබරවාරි මස ලන්කාදීප පත්තරයේ කොළඹ ගන්ගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර හිමියන් හා සම්බන්ධ "අපට හරිගිය/වැරදුණු තැන්" නමින් පළවූ ලිපිය කියවූ පසු ඇතිවූ හැඟීම් ප්‍රකාශයකි.එහි මාතෘකාව වූවේ "කැලේදී මරාදමන් අලි පන්සලට දීමේ වරද මොකක්ද?" යනුවෙනි.ඇත්තය.කැලේදී මරා දමනවානම් උන් කොහේ හෝ සැපෙන් සතුටින් වසනවානම් එය මෙලොව වසන කිසිඳු පුද්ගලයකුට ප්‍රශ්නයක් වීමට හේතුවක් නැත.නමුදු මෙම මතය සමාජගත කරන්නේනම් ගණිකාවකට තමාගේ වෘත්තිය සාධාරණය කිරීම සදහා "ස්වාමියා නොසලකන හෙයින් වෙන එවුන් එක්ක නිදිවැදීමේ වරද කුමක්ද?"යි ඇසුවහොත් එය ඉවසා වදාරීමටද මේ සමාජය සූදානම්විය යුතුය."කන්න නැතිනිසා හොරකම් කලා.ඒකේ වැරද්ද මොකද්ද?"යි කියා සොරෙක් ප්‍රශ්න කලහොත් ඔහු නිදහස් කිරීමට සමාජය සූදානමින් සිටිය යුතුය.අනික කැලයකදී මරාදමන්නේ අලි පමණක්නම් මේ ප්‍රශ්නය සාධාරන වේ.එහෙත් කැලයේදී මරා දමන වල් ඌරන් ඇතිකිරීමට කිසිදු පූජ්‍ය ස්ථානයක් බාරගන්නේ නැත.කැලයේදී හෝ වෙනත් ස්ථාන වලදී මරාදමන නිසා සර්පයන් ඇතිකිරීමට කිසිම කෙනෙකුන් සූදානම් වන්නේ නැත.කවුරු කෙසේ කිවුවත් කැලේ සතුන් විසිය යුත්තේ කැලයේ මිස මිනිස් වාසයක නොවේය.කැලයේදී උන්ව මරනවානම් විසදුම විය යුත්තේ එය එසේ සිදුවීමට බලපාන හේතු අවමකර උන්ගේ වනගත දිවිය සුරක්ශිත කිරීම මිස පන්සල්වලට ගාල්කිරීම'යැයි කිසිවකු සිතනවානම් ඔහු කෙතරම් සමාජයේ පිළිගත් පුද්ගලයකු වූවත් ඔහුගේ මානසිකතත්වය පිළිබඳව ඇතිවන්නේ දුකක් පමණී.

ලන්කාවේ වාසයකරන වන අලියකුට දිනකට කිලෝ 150ක් පමන ආහාර අවශ්‍ය වේ.මෙම අහාර ප්‍රමාණය ලබා ගැනීම උදෙසා ඔවුන් දිනකට කිලෝමීටර 30ක පමණ දුරක් ගමනේ යෙදෙයි.රන්චු වශයෙන් හැසිරෙන මෙම සතුන් වසරේ එක් එක් කාලසීමාවන්හීදී වනාන්තර හරහා සන්ක්‍රමණය වේ.දැනට ලන්කාවේ අලි-මිනිස් ගැටුමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වනාන්තර ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩුවීම හා අලිමන්කඩවල් ජනාවාස වීම යන හේතූන්ය.වැඩිවන ජනගහනය හේතුකොටගන රටක පවතින වනාන්තර ප්‍රමානය අඩුවීම මෙරට පමනක් නොව ලෝකයේ බොහෝ රටවලට ඇතිවී ඇති දැවෙන ප්‍රශ්නයකි.එහෙත් එය එසේයැයි කියා වනාන්තර වල වෙසෙන සතුන් කොහාට හෝ ගාල්කිරීම අතිසාරයට අමුඩ ගැසීමකි.දීර්ගකාලයක් මුළුල්ලේ තිබූ අලින්ගේ සන්ක්‍රමන මාර්ග,අලි මන්ක්ඩවල් මිනිස් ක්‍රියාකාරකම් නිසා අවහිරවීම අලින් ගම්වැදීමට ප්‍රධාන හේතුව වී ඇත.අලින්ට වඩා මිනිස් ජීවිත වටිනාබව අවිවාධිතය.එහෙත් එසේයැයි කියා වන ජීවිත විනාශකිරීම කොතරම් සාධාරනදැයි විමසීම තමන්ගේ මානසික මට්ටම අනූව සිතිය යුක්තකි.අප කලයුත්තේ මෙතෙක්කල් කලාක් මෙන් මෙම ප්‍රශ්නෙට පැලස්තර විසඳුම් යෙදීම නොව මිනිසුන්ට මෙන්ම සතුන්ට සාධාරන වූ විසදුමක් කරා යාමය.අවම වශයෙන් දැනට අවහිර වී ඇති අලිමන්කඩවල් නැවත මෙම සතුන් උදෙසා විවෘත කිරීම මගින් මෙම ප්‍රශ්නයෙන් 50%ක් පමන විසදාගත හැක.තම ගොවිතැන් පාළු කිරීම නිසා මෙම සතුන් තම පරම සතුරන් ලෙස සලකා ක්‍රියාකරන අහින්සක ගම්වාසීන්ගේ ආකල්ප වෙනස්කර එම සතුන් හා සම්බන්ධ පාරිසරික සන්චාරක කර්මාන්ත ස්ථාපනය කිරීම වෙනි ක්‍රියාමාර්ග තුලින්ද මෙම ප්‍රශ්නයට සහන ලබාගත හැක.මෙම ප්‍රශ්නය විසදීම උදෙසා ගනුලබන ක්‍රියාමාර්ග උදෙසා තම හැකියාව පරිදී උදවුකිරීම මෙම රටේ සියළු පුරවැසියන්ගේද යුතුකමකි.ඒ එමගින් තම සහෝදර ජනතාවගේ ජීවිත මෙන්ම අනාගත පරපුරේ උරුමයක්වූ වනජීවිතද සුරකෙන බැවිනි.

මෙම ලිපියේ මුග්ධ ස්වරූපය පෙන්නුම් කෙරෙන තැනකි:

"වනාන්තරයේ සිටින අලි ඇතුන් යන්න එන්න තැන් නැතිව බොන්න වතුර නැතුව ගම්වැදී හේන් පාළුකර ගේ දොර කඩනවානම් ඊට විසදුම උන් එතනින් වෙන ගමකට පන්නා දැමීමහෝ වෙඩිතබා මරා දැමීම නොවේ.
ඒ සතුන්ට කන්න බොන්න දී කරුණාවෙන් ඇතිදැඩි කලහැකි තැනකට භාරදීමයි.එවිට ඒ සතුන්ටද ආරක්ශාව හිමි වේ.ඒ සතුන්ට ආධාරකොට ජාති ආගම් භේදයක් නැතිව කාටත් බලන්නට පෙරහැරක් කිරීමටද භාග්‍ය උදාවේ".

මෙම අදහස ගල්බොඩ තෙරණුවන්ගේද,නැතිනම් ලියුම්කරුගේද යන්න පැහැදිලි නොමැතිවූවත් එම තෙරණුවන්ගේ ඡායාරූප යොදාගන උන්වහන්සේගේ අදහස් ප්‍රකාශකිරීමක් ලෙස ඒත්තු යන පරිදී ලියා ඇතිනිසා ,අනාත අලි යොදා පෙරහැර පැවත්වීම මගින් තෙරණුවන් තමාගේ කීර්තිය හා මඩිය තරකරගැනීමේ උත්සහයක යෙදෙනවා'යි කියා කිසිවකුට නිගමනය කලහැක.මේ ලෙසම ක්‍රියාකල තවත් එක් ශාන්තුවරියෙකි,තෙරේසා මව්තුමිය.ඉන්දියාවේ සිදුවූ රසායනික අනතුරක් වූ බෝපාල් සිද්ධියේදී තෙරේසා මවුතුමිය ප්‍රමුඛ එතුමියගේ අනිකුත් සහෝදර කන්‍යා සොයුරියන් පිස්සුවෙන් මෙන් මව්පියන් අහිමි ළමුන් තමන් විසින් පාළනය කරනා අනාතනිවාස සදහා එකතුකරගත්තෝය.මෙම අනතුර පිළිබඳ විමසූ වාර්ථාකරුවකුට තෙරේසා මවුතුමිය පවසා තිබුනේ මෙම අනතුර දේව ආශිර්වාදයක් බවත් මෙනිසා දේවියන් කෙරේහි භක්තිවන්තවූ නව පිරිසක් බිහිකරගත හැකි බවත්ය.මෙම ලිපියේ සදහන් ඉහත කරුණ නිසා ගල්බොඩ තෙරණුවන් සිදුකරනු ලබන්නේද තෙරේසා මව්තුමිය මෙන්ම අනාතයන් විකුනමින් පෙරහැර මාර්කට් කිරීමක් බවට කිසිවකුට චෝදනා කලහැක.එලෙස චෝදනා ලැබුවහොත් එය එම තෙරණුවන්ට පෞද්ගලිකව එල්ලවන්නාක් නොව සමස්ථ බුදු දහමටම එල්ලවන්නාක් නිසා එයට නිසි පිළිතුරු සැපයීමද එම තෙරණුවන්ගේ යුතුකමකි.

පසුගිය කාලයේදී ගන්ගාරාමයේ කුඩා ඉඩකඩක බැඳසිටි අලිපැටවුකට ඇත්ගොවුවා විසින් පහර දෙනුලබන දර්ශන ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලය හරහා හුවමාරු විය.ඒ පිළිබඳව දායකසභාවේ පිළිතුරවුවේ මේවා ප්‍රසිද්ධියේ නොව තමන්ට පෞද්ගලිකව දැන්වුවානම් මේ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගනුලබන බවය.මොන අමන ප්‍රකාශයක්ද?.තමන් සතුව සිටිනා කුඩා අලිපැටවකුගේ ආරක්ශාව බලාගත නොහැකි තෙරණුවක් විසින් කැලේ අලි මරාදමන හෙයින් පන්සලට බාරදෙන ලෙස පැවසීමම විහිළුවක් නොවේද?කැලයේ සිටියදී නිදහසේ ඇවිදිමින් දිවි ගතකරනා සතකු අල්ලාගනවිත් මිනිසෙකුට පවා සිටිය නොහැකි තරමට අවුවට රත්වෙන ටකරන් මඩුවක බැඳදමා උගේ ජීවිතයේ වසර 60-70ක් ගතකිරීමට සැලස්වීම බුදුධහමේ නාමයෙන් සාධාරනය කරගැනීමට උත්සහ දැරීම මිනිස්කම අගයන සමාජයකට කෙතරම් ගැලපෙනවාද යන්න විමසා බැලීමට තරමටවත් තේරුම්ගත නොහැකිනම් හොඳම දේ නිශ්ෂබ්දව සිටිමය.ඒ මෙවනි ප්‍රකාශනිසා අභියෝගයට ලක්වන්නේ සමස්ථ බුදුදහමම නිසාය.අභියෝගයට ලක්වන්නේ "සියළු සත්වයෝ දඬුමට බිය වෙති"යි නම්වූ බුදු වදනම නිසාය.

එක් පසකින් දළදා මාළිගාවට අගෞරවවේ'යැයි කියා දස දහස්ගනන් මහජනයා පීඩාවට පත්කරමින් පාරවල් වසාගන කිසිඳු ආකාරයකින් පිළිගත නොහැකි හේතු පවසනා මහානායක හිමිවරුන්ය.අනික් පසින් අලි අල්ලා හීලෑකිරීම සාධාරණීකරණය කරනා රටම පිළිගත් තෙරණුවෝය.ඕනෑමකෙනෙකුන්ට තමන්ගේ පෞද්ගලිකමතය ඉදිරිපත්කිරීමට කිසිඳු බාධාවක් නැත.එහෙත් බෞද්ධ නායකයන් වශයෙන් පෙනීසිටිමින් කරනා මෙවනි ප්‍රකාශ නිසා හෑල්ලුවන්නේ,නින්දා විඳින්නේ රටේ සමස්ත බෞද්ධ ජනතාවමය."මේකද උඹලගේ මහාලොකු කරුණාව" යි කියා අන්‍යාගමිකයකු විමසුවිට බෞද්ධයකු වශයෙන් ඔහු ඉදිරියේ නිරුත්තර වීමට සිදුවේනම් එයටත් වඩා අවාසනාවක් බෞද්ධයකුට තවත් තිබේද?ගහට වැලට පවා ආදරය කිරීමට කියාදුන් මහා කාරුණිකයානන්ගේ අනුගාමිකයන් වශයෙන් ඔබවහන්සේලා මීටවඩා වගකීමෙන් ක්‍රියාකල යුතුබව තේරුන්ගත නොහැකි තරමට මානසික බෙලහීනතාවයට පත්වී ඇතැයි මම නොසිතමි.එහෙයින් සමස්ත බෞද්ධ සමාජයේම ගෞරවය උදෙසා මීට වඩා වගකීමෙන් අදහස් දක්වන ලෙස ඔබ වහන්සේලාගෙන් බැගෑපත්ව ඉල්ලාසිටිමි.

-http://katusuhadawatha.blogspot.co.uk/2015/02/blog-post_23.html

හොර පයින්ඩ හොයන්න යන්තර තැනූ ඇලන් ටියුරින්

alanturing boy
සමහර පිරිමි ඉන්නවා ගෑනුන්ට වැඩිය කැමැත්තක් නැහැ. ඒ අය කැමති පිරිමින්ටම විතරයි. ඒ ජාතියේ මිනිස්සු ජීව විද්‍යාත්මකවත් සමාජීය හේතු නිසාත් ඇතිවෙන්න පුලුවනි. ඒ වගේ අයව හඳුන්වන්න පොදු මහ සමාජය පොන්නයා, පොන්සියා, කොලුකාරයා, ලොල්ලා ආදී අවඥාසහගත වචන භාවිතා කරනවා. මේ ආකාරයේ වචන වල පැහැදිලි තේරුම කුමක් වුවත් ඒ වචන වලින් ඒ පිරිස හඳුන්වන්නෙ ඔවුන්ට යම් ගරුත්වයක් දෙන්න නෙමෙයි.එයාලගේ ඒ තියෙන තමුන්ගේ ජාතියේ අයට තියෙන කැමැත්ත කියන දේ පහලට දාන්න. මේ ජාතියෙ පිරිමි පිරිමින්ටමත්, ගෑනු ගෑනුන්ටමත් කැමැත්තක් දැක්වීම සිංහලෙන් සමරිසි කියලා හදුන්වන්න පුලුවනි. සමජාතියේ උන්ට රිසි වූ කියන තේරුම ඇති වචනයක් වෙන්න ඇති ඒක.


විසිවන සියවසේ හිටපු අති ප්‍රබල චරිතයක් මේ කියන සමරිසි වීම කියන චෝදනාව නිසා නීතිය ඉදිරියේ වැරදිකාරයෙක් වෙනවා. ඒ චරිතය අයිති වුනේ එංගලන්තයට. එවකට මහා බ්‍රිතාන්‍ය නීති අනුවත් සමාජයේ මතිමතාන්තර අනුවත් සමලිංගිකත්වය හෙවත් පිරිමින්ටම ආසා කරන පිරිමින්ව දැක්කේ මානසික විකෘතියක් සහ වරදක් විදියට. ඒ විදියට හංවඩු ගැහුන ඒ මහා විද්‍යාඥයාට ඇතිවුන අවමානය දරාගන්නට නොහැකිවීම, ඔහු සමාජයෙන් කොන්වීම, එය මානසික රෝගයකැයි සලකා ව්‍යාජ ඔසු ගන්නට සිදුවීම ආදී කරුණු නිසා අකාලයේ සිය දිවි නසාගන්නවා. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 43ක්.
මේ මහා විද්‍යාඥයා තමයි ඇලන් ටියුරින්. ඇලන් ටියුරින් නිසා සිද්ද වෙච්චි ලොකුම දේ තමයි අඩු කාලයකින් දෙවන ලෝක යුද්ධය මිත්‍රපාක්ෂිකයින් ජයග්‍රහනය කිරීම. ඇලන් ටියුරින්ගේ සොයාගැනීම නිසා දෙවන ලෝක යුද්ධය වසර දෙකකින් සහ ජීවිත ලක්ෂ ගනනිකින් අඩුවුනා.
විශාල භූමි ප්‍රෙද්ශයක් පුරා පැතිර ඇති යුද්ධයකදී පණිවුඩ හුවමාරුව වැදගත් සාධකයක් වෙනවා යුද්ධ කරන පාර්ශව වලට. දෙවන ලෝක යුද්දයේ ප්‍රධාන සතුරු පාර්ශවය වූ ජර්මනිය එනිග්මා කියන යන්ත්‍රය භාවිතා කරනවා සිය රහස් පණිවුඩ යවන්න. ඒ මැෂිමෙන් බිලියන ගානක එකිනෙකට වෙනස් කේත ඇතිකරලා ඒ හරහා පණිවුඩ හුවමාරු කරන්න පුලුවන්. මේක ඇවිල්ලා ක්‍රිප්ටෝග්‍රැෆි කියලා හදුන්වනවා. උදාහරණ විදියට අපි ලියන සෑම වාක්‍යයකම වචනයකම අකුරු දෙකක් මාරු කරලා ලිව්වොත් ඒක ලේසියෙන් කියෝ ගන්න බැරි වෙනවා නේ. ආන්නඑ ් වගේ එකිනෙකට වෙනස් විදි ක්‍රම මිලියන ගානකින් පනිවුඩ හුවමාරු කරගන්න ක්‍රමයක් තමයි එනිග්මා මැෂින් වලින් ජර්මනිය සතුව තිබුනෙ.
මේ එනිග්මා මැෂින් වලින් යන පණිවුඩ කියවන්න ක්‍රමයක් මිත්‍ර පාක්ෂික හමුදාවන්ට තිබුනේ නැහැ. නමුත් ඇලන් ටියුරින් විසින් කරන ලද හැදෑරීම් වලින් ඔහුට හැකිවෙනවා නව මැෂිමක් හදන්න මේ ජර්මන් රහස් කේත වලින් පණිවුඩ වෙන් කරගන්න. මෙ මැෂිම ඉලෙක්ට්‍රොනික සහ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පාදක කරගත්ත මහ සද්දන්ත යන්ත්‍රයක්. මේ සද්දන්ත යන්ත්‍රය හදන්න ඇලන් ටියුරින්ට පවුන් ලක්ෂ ගානක් වියදම් වෙනවා. කොහොම හරි අමාරුවෙන් එවකට හමුදා පාලනය කැමති කරවාගෙන මේ ඇලන්මේ මැෂිම හදනවා.. මේකෙ නම බොම්බ්.

මේ මැෂිම එවකට පැවති පරිගනක යන්ත්‍රවලට වඩා දියුනු එකක්. පරිඝනක විද්‍යාව හා සම්බන්ධ ඉතිහාසයේ එක්තරා කඩඉමක් විදියට ඇලන් ටියුරින්ගේ මේ මැෂිම සැලකෙනවා. ඇලන් ටියුරින් කියන්නෙ පරිගණක වේදය කියන න්‍යායාත්මක පරිඝනක පිලිබද දර්ශනයක් තිබුන අයෙක්. ඒ සම්බන්ධව ඔහු එවකට වැදගත් නිබන්ධන කිහිපයක්ම පල කරලා තියෙනවා.

ඇලන් ටියුරින් හැදුව බොම්බේ කියන මැෂිම නිසා වුන සේවය සුලුපටු නැහැ. ඔහු හදපු මැෂිම නිසා එංගලන්තය ඇතුළු මිත්‍රපාක්ෂිකයින්ට ජර්මන් නාසි හමුදාවන්ගේ පණිවුඩ කියවාගන්න හැකියාව ලැබෙනවා. ඒ තුලින් යුද්ධයට ලැබුන පිටුබලය විශාලයි. ජර්මානුන්ගේ නාවික හමුදාව මහා බ්‍රිතාන්‍යටත් අනෙක් රටවලටත් විශාල බලපෑමක් සිද්ද කලා. මේ ඇලන් ටියුරින් හැදුව විශාල මැසිමත් ඔහුගේ කන්ඩායමත් නිසා ජර්මනියේ නාවික බලය කෙමෙන් කෙමෙන් අඩුකරන්න හැකියාව ලැබුනා.

දෙවන ලෝක යුද්ධය ජර්මනිය පැත්තෙන් අසාර්ථක වෙන්න එක හේතුවක් විදියට ජර්මනිය විසින් සෝවියට් රුසියාව ආක්‍රමණය කිරීම දැක්වෙනවා. සෝවියට් රුසියාව ආක්‍රමණය කිරීමට විශාල හේතුවක් විදියට සෝවියට් රුසියාව සතුව තිබුන ආහාර සංචිත හේතුවුනා කියලා මතයක් තියෙනවා. ඒ වගේම බොහෝවිට මහා බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍රපාක්ෂික හමුදාවන්ගේ ප්‍රතිප්‍රහාර යුරෝපය තුල වර්ධනය වීමත් ඒකට හේතුවෙන්නට ඇති.

ඇලන් ටියුරින් කියන මහා විද්‍යාඥයා සමරිසි අයෙක් වූ නිසා නොයෙකුත් ගැහැට වලට මුහුන දෙනවා. ඇලන් ටියුරින් කියන්නෙ ජීව විද්‍යාවේ ගණිතමය පැත්ත වගේ ම වැදගත් න්‍යායාත්මක තොරතුරු ගනනාවක් සම්බ්නධ උනන්දුවක් තිබුන අයෙක්. ඒ වගේම එවකට එංගලන්තය නියෝජනය කල ඔලිම්පික් කන්ඩායමේ මැරතන් කන්ඩාමය නියෝජනය කරන්න හැකියාව තිබුන මැරතන් ක්‍රීඩකයෙක් විදියටත් ඇලන් ටියුරින් දැක්වෙනවා.

සිය ජීවිත කාලය තුල ලෝකෙට නොමැකෙන මතකයන් ඉතිරි කරපු විවාදාපන්න වගේම බොහෝ කාලයක් වැලලී තිබුන චරිතයක් තමයි ඇලන් ටියුරින්. ඇලන් ටියුරින්ගේ ජීවිත කතාව අලලා නිමවුන සිනමාපටියක් තියෙනවා. ඒක තමයි ඉමිටේෂන් ගේම්.
The Imitation Game

ඉමිටේෂන් ගේම් ඇලන් ටියුරින්ගේ කතාව සාර්ථකව ඉදිරිපත් කරලා තියෙනවා කියලා තමයි බොහෝ තැන්වල සඳහන් වුනේ.

ඇලන් ටියුරින් ගැන අකාලයේ මියගිය පරිගණක විද්‍යාවේ පියා කියලා ලිපියක් රාවයේ තියෙනවා. ඒකෙ බොහොම තොරතුරු ඇතුලත් වෙනවා. පරිගණකය හොයාගත්තෙ කවුද කියලා ඇහුවොත් අපේ මනසට එන නම් අතර ඇලන් ටියුරින් නැහැ. නමුත් ඇලන් ටියුරින් කියන්නෙ පරිගණකය කියනදේ එදා සිට අද දක්වා ආපු ගමනේ විශාල සන්ධිස්ථානයක්. මම හිතන විදියට පරිගණක යන්ත්‍රය මුලින්ම වඩාත් වැදගත් වැඩකට, මහා පරිමාණ වැඩකට යොදාගන්න ඇත්තෙ ඇලන් ටියුරින් වෙන්න ඕනි.

 

--http://ansathudinapotha.blogspot.co.uk/2015/02/blog-post_20.html

 

 

නෙළුම් යාය සහෘද සමුහය