22 April 2019
RSS Facebook Twitter   

සියාමා පළමුවන කොටස - අප හමු වුනෙමු

starsමහාචාර්ය වරයාගේ දේශනය පළමු කොටස හමාර වූ පසු මම දේශනා ශාලාව ඇතුළත තිබෙන දොරින්ම තාරකා භෞතික විද්‍යා පීඨයේ දේශකයන්ගේ කාමරයට ඇතුළු වුනෙමි. මා පසුපස තවත් සිසුන්ද ඇතුළු වුනි. දේශනය කල මහාචාර්ය එමර්සන් සිසුවකු සමග කතා බහ කරමින් සිටි අතර තවත් ආචාර්ය වරු කීප පොළක්ම විය. ශාස්ත්‍රපති උපාධිය කරන සිසුන්ට හා පීඑච්ඩී කරන සිසුන්ට මේ විශාල කාමරයේ හිඳගෙන කියවීමට හෝ අභ්‍යාස කිරීමට, වතුර ඩිකැන්ටරයෙන් පානය සඳහා වතුර ගැනීමට, කෝපි හෝ තේ කෝප්පයක් බීමට හැකි විය. බොහෝ සිසුන් තමන්ට පිළිතුරු සැපයීමට අමාරු ප්‍රශ්න මෙහි සිට සාකච්චා කළහ.
තේ කෝප්පයක් මැෂින් එකට මුදල් දමා ගත් මම එය බීමට ජනේලය අසලට ගියෙමි. කවුදෝ මා දෙස බලා සිටින්නාක් මෙන් දැනුන හෙයින් එදෙස බැලීමි. මට ඇගේ නෙත් ගැටුනේ එවිටය. සුරූපි ආසියානු කාන්තාවක් වූ ඇයට සිනාවකින් සංග්‍රහ කල මම අසල තිබු මාසිකව පළවන භෞතික විද්‍යා සංගමයේ භෞතික විද්‍යා සඟරාව පෙරලුවෙමි. එවිට මද සිනාවක් නගමින් ඇය මා අසලට පැමිණ සිට ගත්තාය.
"ඔයා බංග්ලා දේශ සම්භවයක් තියෙන අයෙක්ද?"
"නැහැ මම ශ්‍රී ලංකාවෙන් ආ කෙනෙක්, හැබැයි හුඟක් අය අහනවා තමා බංග්ලාද කියල. ඒ කියන්නේ ඔයා බංග්ලාදේශ් ද? මේ හරියේ ගොඩක් ඔයාලගේ අය ඉන්නවා" මම පැවසුවෙමි. විශ්ව විද්‍යාලය පිහිටි නැගෙනහිර ලන්ඩනයේ බංගලාදේශ වාසින් දශක කිහිපයක සිට මුල් බැස ගෙන ඇති නිසා බොහෝ බංගලා දේශ සම්භවයක් ඇති පවුල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටිනු දුටිමි.
"ඔව් ඔයා හරි. ඔයා උපාධිය පටන් ගත්තේ ගිය අවුරුද්දේද? අමාරුද"
"ඔව්, සෑහෙන්න අමාරුයි. ආසාවට කළාට. මම ගණිතය මේ තරමට ගැඹුරට කලේ අවුරුදු 15කට විතර කලින් "
"ඉතින් මතක් වෙනවද? මම අවුරුදු දෙකකට කලින් මැත්ස් වලින් පළමු උපාධිය ඉවර කළේ. මට දැන්මම මතක නැහැ." ඇය කීවාය.
"මම නම් කලේ විවෘත විශ්ව විද්‍යාලයේ BSc වලට තියෙන ගණිත පාඨමාලා අන්තර් ජාලයෙන් බා ගැනීම. ඒවා කෙරුවාම හොඳ මතකයක් ආව, අනික මගේ මැත්ස් ඒ දවස් වල හොඳයි. " යයි මම පිළිතුරු දුනිමි.
"එහෙනම් මට ඔයාගේ උදව් ගන්න පුළුවන් " ඈ ඇසක් පුංචි කරමින් පිළිතුරු දුන්නාය. මුස්ලිම් බංග්ලාදේශ යුවතියක් ලෙස ඇගේ කෙලින් කතා විලාශය හා පැකිලීමකින් තොරව මා කරා පැමිණ කතා කිරීම ගැන පුදුම වුනු මා,
"කිසිම ප්‍රශ්නයක් නැහැ " කියා ඈ සමග දේශනයේ ඉතිරි කොටස සඳහා ශාලාව තුලට ගියෙමි.

ඒ අපේ පළමු හමුවීමයි.

ඉන්පසු නැවත මා දේශන වලට ගියේ බ්‍රහස්පතින්දා දවසකයි. දේශනයට පමාවී පැමිණි ඈ මා ලඟින් අසුන් ගනිමින් සුන්දර සිනාවක් පෑවාය. එදිනද අපි විවේක කාලයේ කතා කළෙමු. ඇය එංගලන්තයට පැමිණ අවුරුදු ගණනක් බවත් මෙම විශ්ව විද්‍යාලයේම ප්‍රථම ගෞරව උපාධිය ගණිත අංශයෙන් ලබාගෙන ඇති බවත් දැන ගතිමි. එදින තිබු දේශන දෙකම අවසන් වීමෙන් පසු අප දෙදෙනා එකට එලියට පිවිසුනෙමු.
"ඔයා කොහෙන්ද යන්නේ " මා ඇසුවෙමි.
"මට 102 බස් එක ගන්න ඕනේ බෙත්නල් ග්‍රීන් යන්න. ඔයා? "
"මම කාරෙකේ ආවේ. මට කෝච්චිය මිස් වුණා . මම පාක් කලේ එහා පැත්තේ. ඔයාට ඕනේ නම් ලිෆ්ට් එකක් දෙන්නම්. මම සාමාන්‍යයෙන් එන්නේ උමං දුම්රියේ" යි පැවසුවෙමි .
"ඒක හොඳයි අපට එතකොට එකට යන්න පුළුවන් එතනට එනකන්. මම බස් එකේම යන්නම්" පැවසූ ඇය මා සමග විශ්ව විද්‍යාලයේ ගේට්ටුවෙන් එලියට පිය මැන්නාය.
"මෙයා මොකාට එන්න හදනවද " මට සිතුනි.

එළියේදී අප දෙදෙනා එකට පාර පනින විටත් ඇවිදින විටත් ඇගේ කිසියම් නොඉවසිලි ගතියක් හෝ ඉක්මනින් මිනිසුන්ට නොපෙනී සැඟවී සිටින්නට යත්න දරන ගතියක් මට පෙනිණි. මුස්ලිම් යුවතියක් නිසා යයි සිතුනද ඇය පැමිණ කතා කල ආකාරය අනුව එසේ සිතීමටද නොහැකිය. පාර මාරු වී මද දුරක් ගිය පසු මා කාරය නවතා සිටි පාර ආසන්නයට පැමිණ ඇයට සමු දුනිමි. විටින් විට පිටු පස, මග දෙපස බලමින් පැමිණි ඈ එක වරම වේගයෙන් මෙන් පිය මැන්නා ය. ඇය ඇවිද ගිය වේගය මට පුදුම එලවන සුළු විය. කිසිවකු ඇය ලුහු බඳින්නාක් මෙනි.

ඊළඟ සති කිහිපයේද ද ඇය මගේ ලඟින් හිඳ ගත් අතර අප දෙදෙනා එකට තේ බිමටත් දේශනා අවසානයේ එකට පිටවීමත් කළෙමු. මෙසේ සති කීපයක් ගෙවී ගිය අතර අප හොඳ අඹ යහළුවන් බවට පත්වී සිටියෙමු. සුදු ජාතික ඇන්ඩ්රු එක් දිනෙක හිමින් සීරුවේ මගෙන් ඇසුවේ අප දෙදෙනා පෙම්වතුන් ද කියායි. මම නැතැයි පැවසුවෙමි.
"ඒකනේ මම දන්නවා උඹ බැඳලා කියල ".
ඔහු එය දන්නේ කෙසේදැයි සිතු මට, ඒ පිළිබඳව අප සමග ඉගෙන ගන්නා භෞතික විද්‍යා ගුරිවරියක වන කැරන් ට එය කිවූ බව මතකයට නැගිණි.
"ලස්සන කෙල්ල, මම අහන්නද ඩේට් එකකට " ඔහු ඇසීය.
"ඉතින් අහපන්, මගේ මොකෝ". මම මදක් අමනාපයෙන් මෙන් පිළිතුරු දුනිමි.

ඊළඟ දිනයේදී ඇය මා සමග කතා කලේ ටිකක් ගස්සා ගෙනය.
"ඔයා මගේ මහා භාරකාරයද ?
"ඇයි?"
"ඔයා ඇන්ඩ්රුට කීවද මාත් එකක් ඩේට් එකකට යන්න කියල, පිස්සුද?"
"මුගේ හොම්බට එක්ක දෙන්න ඕනේ. මු මගෙන් ඇහුව මම ඔයාගේ පෙම්වතාද කියල. මම නැහැ කිව්වම ඇහුවා ඔයත් එක්ක ඩේට් එකකට යන්නද කියල. මන් කිව්වා ඕන එකක් කර ගනින් මට මොකද කියල ".
ඇගේ මුහුණ එක් වරම අඳුරු වලා කුලකින් වැසුනාක් මෙන් කිසියම් ශෝකී ස්වභාවයක් ගත් බව දුටිමි.
"ඇත්තටම ඔයාට ගානක් නැත්ද ?"
මම මහත් ව්‍යාකූල භාවයකට පත් වුනෙමි.
"මට එයත් එක්ක ඩේට් එකකට යන්න ඕන නැහැ. මං එයාට කිව්වා." ඇය ශෝකී ස්වරයක් ආරුඪ කර ගනිමින් පැවසුවාය.
මම ඇයවද ඇදගෙන දේශනා ශාලා පිහිටි පීඨ ගොඩනැගිල්ලෙන් ඉවතට පැමිණියෙමි.
එම ගොඩනැගිල්ලෙන් පිටතට වන්නට දකුණු අත පැත්තෙන් ශිෂ්‍ය ආපන ශාලාවය. වම් අත පැත්තේ ඇත්තේ විශ්ව විද්‍යාලය තුල තිබෙන පබ් එක හෙවත් අවන්හලයි. එහි බියර් ආදිය එළියේ ඇති මිලට වඩා අඩු අතර , කෝපි තේ ආදී වෙනත් බිම වර්ගද විකුණති. එහි ඇති ලී බංකු වල වාඩි වී බොහෝ සිසුන් හා ගුරුවරුද සිසුන්ගේ යහළුවන් ද කෝපි හෝ බියර් බොමින් කතා කරමින් සිටීම සුලභ දැක්මකි.

මම කෝපි දෙකකුත් මිලදී ගෙන ඇය සමග අහල පහල කවුරුත් නැති කෙළවරේම බංකුවක වාඩි වුනෙමි.
"මම විවාහකයෙක්" ඇය දෙස එක එල්ලේ බලමින් පැවසුවෙමි.
"මම ඇහුවයැ " ඇය ද එක එල්ලේම පිළිතුරු දුන්නාය.
කීමට දෙයක් නොමැතිව මම මොහොතක් ඇය දෙස බලා සිටියෙමි.
"මට කැරන් කිව්වා " ඇය සෙමෙන් තෙපළාය.
මා විවාහක සිසුවකු බව ඇය දැන සිට ඇත.
"ඔයාගේ නම සියාමා නේද " මම ඇසුවෙමි.
මාස දෙකහමාරක් මුළුල්ලේ එකට හිඳගෙන දේශනා වල සිටියත්, එකට පිටව ගියත්, තේ බිබී , දේශනා වලදී ලැබුණු ගණිතමය ගැටළු ආදිය එක්ව විසඳුවත් ඇගේ නම හෝ මම නොවිසීමි. ඇයද මා පිලිබඳ පුද්ගලික කිසිම දෙයක් නොඇසූ බවද මට සිහි විනි.
"ඔව්. ඔයා දන්නවනේ ඒක නේද?"
"නැහැ මං හිතුවා ඒක වෙන්න ඇති කියල. ඔයා කෝස් වර්ක් එකක් භාර දෙනකොට නම ලියල තිබ්බ "
"ඔයාගේ නම ..."
"මට ප්‍රියාන් කියන්න "
"නමුත් ඔයාගේ නම වෙන එකක් නේද "
"නැහැ ඒ මම කෙටියෙන් භාවිතා කරන නම. මේ රටේ නම් හරි කෙටියි නේ. ඔයාට ප්‍රියාන් උච්චාරණය කරන්න පුළුවන් නේ."
"ඔව්. ප්‍රියාන්. මං ඒ නමට ආසයි . ගීතවත් ගතියක් තිබෙනවා."
මා නැවතත් ඇගේ පියකරු මුහුණත්, උරහිස උඩින් දමා තිබු කෙස් කළඹත් දෙස බැලීමි.
"මම ලස්සනද " මගේ හිත කියෙව්වාක් මෙන් ඈ ඇසුවාය.
"හරිම" කෙටි පිළිතුරක් දුනිමි.
ඇය සිහින් සිනාවක්‌ පෑවාය. එහි මුදු ගතියට මගේ සිත වෙලෙවි වී ගියේය.
"ඔයාට ආදරවන්තයෙක් ඉන්නවද" මා ඇසුවෙමි.
"BSc එක කරන කොට යහළු වෙලා හිටිය ඇඩම් එක්ක. කළු අප්‍රිකානු කොල්ලෙක්. හොඳ කොල්ලා "
"ඉතිං මොකද වුනේ "
"අවුරුදු දෙකක් විතර එයා එක්ක හිටිය. ඒ ගොල්ලන්ගේ ගෙදරත් ගියා"
"ඊට පස්සේ "
"අපෝ එයාලගේ පවුලේ කට්ටිය ප්‍රශ්න පන්සීයක් විතර අහන්න ගත්ත. මගේ ගැන, අම්ම තාත්තා ගැන. ඒක එතැනින්ම ඉවරයි."
"ඒ කියන්නේ ඔයා කොල්ලව හැලුවා. දරුණු ප්‍රාණයක් නේ ඔයා."
"මම දරුණුයි කියනවා නම් කොල්ලෙක් ඩම්ප් කළාට, ඔයා දරුණුයි කියන වචනේ තේරුම දන්නේ නැහැ " ඈ අමනාප වූ සෙයකින් පැවසුවාය.
"නෑ, නෑ මම විහිළුවට කිව්වේ. " කියුවෙමි.
"අද මට අදේවවාදීන්ගේ සංගමේ රැස්වීමකටත් යන්න තියෙනවා. ඔයා එනවද? " ඈ මගෙන් ඇසුවාය.
"ඒ කියන්නේ ඔයා මුස්ලිම් නෙමේ. කොහොමද අදේවවාදීන් එක්ක එකතු වුනේ. මම බුද්ධාගමේ. මම දෙවියන් අදහන්නේ නම් නැහැ. බුද්ධාගමේ කොහොමත් මැවුම්කාර දෙවියෙක් නැහැ. නමුත් මම ඔය මිලිටන්ට් සංගම් වලට බැඳෙන්න අකමැතියි. ඒ ගොල්ල හරියට මුස්ලිම් අයට හෙම රණ්ඩුවට කතා කරනවා වගේ බනින්නේ. අර හයිඩ් පාක් එකේ හෙම යන වාද මම දැකල තිබෙනවා. ඒ ගොල්ලයි , මුස්ලිම් අයයි, කතෝලික අයයි. " මම කියාගෙන ගියෙමි.
"ඔයාට තේරෙන්නේ නැහැ ප්‍රියාන්" ඇය කිවාය.
"මොකද මට තේරෙන්නේ නැත්තේ. මගේ ෆේස් බුක් එකේ හෙම නොයෙකුත් ආගම් වල අය ඉන්නවා. ඒ ගොල්ලන්ගේ හිත රිදෙයි කියල මම අදේවවාදී ඒවා මුකුත් දාන්නෙ නැහැ. මම රිචර්ඩ් ඩොව්කින්ස් ට හෙම කැමැති බව ඇත්ත. නමුත් ඩොව්කින්ස් වලියටමයි යන්නේ. බුද්ධාගමේ අයත් බොහොමයක් අය දෙවි වරු අදහනවා. හින්දු අය එහෙම. මම අදහන්නේ නැහැ. නමුත් මම මුකුත් කියන්න යන්නෙත් නැහැ. නිකන් රණ්ඩු කර ගන්නේ මොකටද? ඒ ගොල්ල ඕන එකක් අදහ ගත්ත දෙන්." මා නැවත ඇය හා වාද කරන්නට වීමි.
"ඔයා දන්නවද ඔයා මුස්ලිම් නෙමේ නම් ඔයා මිථ්‍යා දෘෂ්‍කයෙක් (infidel) හැටියට සලකනවා කියල. "
"ඔව් මම අහල තියෙනවා. "
"එතකොට ඒ මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ ගැහැණු උදවිය තමන්ගේ වහලියන් හැටියට ගත හැකියි කියලත්, ඔවුන්ව ලිංගික වශයෙන් යොදා ගැනීමටත් අවසරයි කියලත් අහල තියෙනවද? "
"නැහැනේ. මන් එහෙම එකක් දන්නේ නැහැ "
"මාව අදේවවාදී සංගමයට අරන් ගියේ ඇනා. අපේ බැච් එකේ හිටියේ. අපි දෙන්න කතා කරනවා නිතරම. ඇඩම් ගෙන් පස්සේ මම ඇනා එක්ක යාළු වුනා. " ඈ එක් වරම පැවසුවාය.

"මොකක්, ඔයා සම රිසිද ද්වි -ලිංගික ද (bi-sexual)? " මම විමතියෙන් මෙන් සිනහ වෙමින් විචාළෙමි.
"මම එහෙම ලේබල් එකක් ගැන කල්පනා කලේ නැහැ. ඒක ස්වභාවිකව වගේ සිද්ධ වුන දෙයක්. අපි දෙන්න හුඟක් ලං වුණා. මම එයාගේ කාමරයට ගියා. සමහර වෙලාවට හිටිය එකට. එකට ට්‍රිප් ගියා. අපි දෙන්නම තාරකා බලන්න ආසයි . වරු ගණන් ග්‍රිනිච් වල ග්‍රහලෝකාගාරේ තියෙන තණ පිට්ටනියේ, සවුත්-එන්ඩ්-ඔන්-සී වල වෙරළේ තාරකා පිරිණු රෑ වල ඉඳන් හිටිය. මොකද? අපේ බංගලා එවුන්ට වගේ ඔයාටත් නලියන ලෙඩක් හැදෙනවද ඒක කිව්වම" ඇය සැරෙන් මෙන් ඇසුවාය.

"අපොයි නැහැ. අර දේශන වල අපි ඉන්න බංකු වලම කෙලවරේ සාමාන්‍යයෙන් ඉඳ ගන්න ඒමි සම රිසි ගැහැණු ළමයෙක්. එයාගේ පෙම්වතිය කොරීන් ඉඳ හිට එනවා අපිත් එක්ක පබ් යන්නත්. දෙන්නම හරි හොඳයි. මගේ යාලුවෝ. එහෙම ප්‍රශ්නයක් නැහැ මට. කෝ දැන් ඇනා?".
" ඇනා BSc එක ඉවර වුණාම බෙල්ජියම් ගියා. එයාගේ අම්ම ප්‍රංශ, තාත්තා ජර්මන්. ඉන්නේ බෙල්ජියම් වල. එයාට එහෙ පෙම්වතියක් ඉන්නවා. අපි තවම ඊමේල් වලින් කතා කරනවා. අපි හොඳ යාළුවෝ. හැබැයි මොකද ඔයා නිකං සමච්චලේට වගේ හිනා වුනේ. " නොසන්සුන් ස්වරයෙන් සියාමා නැවත විචාලාය.

"සමච්චලේටම නෙමේ සියාමා. දැන් බලන්න. විශ්වාස කරන්න අමාරු කතාවක් ඔයා කියන්නේ. ඔයා මුස්ලිම් යුවතියක්. බංග්ලා දේශ් කියන ටිකක් තද අන්තවාදීන් සිටින රටකින් ඇවිත් ඉන්නේ. මට මුස්ලිම් යාලුවෝ ගොඩක් ඉන්නවා. තුර්කි අය තමා ඒ අයගෙන් ගොඩක්ම විවෘත කට්ටිය. වැඩිය ආගම ඔලුව උඩ තියා ගන්නේ නැති. තුර්කි අයට නම් හැම වර්ගයෙම යාලුවෝ ඉන්නවා. බංගලා අය එහෙම කරනවා අඩුයි. ඔයා මා ගාවට ඇවිත් කතා කරාම මට හිතුන ඔයා බොරු සබකෝලය නැති කෙල්ලක් කියල. හැබයි ඊට පස්සේ ඔයා කියනවා ඔයාට කළු අප්‍රිකන් පෙම්වතෙක් හිටියලු. මං දන්නා දෙමල යුවතියකට කළු පෙම්වතෙක් හිටිය. ඔවුන්ගේ ගෙදරින් හැමදාම ප්‍රශ්න. කොච්චර එංගලන්තේ හිටියත් ඒ දෙමළ අම්මයි තාත්තයි කළු කොල්ලට විරුද්ධයි. ජාතිය පිලිබඳ ප්‍රශ්නය. මට ඇත්තටම හිනා. මොකද ඔවුන් ලංකාවේදී මහ ජාතියේ සිංහලයන් ඔවුන්ට එරෙහිව ජාතිවාදීව කටයුතු කරනවා යැයි කියමින් මෙහිදී කළු පිරිමියෙකුට එරෙහිව තමන් විසින්ම එසේ හැසිරීම නිසා".

"ඉතින් මොකක්ද මට තියෙන සම්බන්ධය " ඇයට තරහ ගොසිනි.

"සියාමා, ඒ දෙමළ ක්‍රිස්තියානි අය හැසිරෙන්නේ එහෙම නම් ඔයාගේ දෙමව්පියන් කොහොම හැසිරෙනවා ඇත්ද? අනික ඔයා කියනවා ඔය සමරිසි සම්බන්ධයකුත් තිබුන කියල. එහෙම එකක් තිබුන නම් ඔයාගේ දෙමව්පියෝ කොහොම සලකයිද ඔයාට? ඔයාගේ ඔය වගේ වගේ නිදහස් හැසිරීම සම්ප්‍රදායික ඔවුන් මුස්ලිම් දෙමව්පියන් යුවලක් නම් ඒ දිහා බලන්නේ කොහොමද? "
"විශ්වාස කරන්නා අමාරු කතා තව කොච්චර තියෙනවද ? මගේ දෙමාපියෝ කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා ඇති. නැත්නම් කොහේ හරි ඉපදිලා ඇති ඔයාගේ ආගමට අනුව " ඇය සෙමෙන් කීවාය.
"අහ් ..සමාවෙන්න සියාමා. ඔයාට එච්චර වයසක් නැති නිසා මට හිතුනේ නැහැ එහෙම දෙයක්"
ඇගේ රවුම් පියකරු නෙත් කඳුලින් බර වුනු මට පෙනිණි. මා වාද කරමින් කලේ අනවශ්‍ය වැඩක් යයි සිතුනි.
"මට සමා වෙන්න දෙමව්පියන් සිහි කළාට " ඇගේ අතක සුලැඟිල්ල අල්ලා ගනිමින් පැවසීමි. ඇය අත වනමින් නැහැ කියන්නාක් මෙන් සංඥාවක් කලාය. ඇය හැඟීම් සමුදායක් තෙරපා ගනිමින් සිටින බවක් මට වැටහුණි.
නැත. එය දෝරෙ ගලා උතුරා ගියේය.

ප්‍රථමයෙන් සෙමින් සෙමින් හැඬීම පටන් ගත් ඇය ඉන්පසු ඉකි ගසමින් හඬන්නට පටන් ගත්තාය. අසල බංකුවක සිටි යුවතියන් දෙදෙනෙකු නුරුස්නා බැලුම් හෙළුහ. ඔවුන් සමහරවිට මගේ වරදක් නිසා ඇය හඬනවා යයි උපකල්පනය කරන්නට ඇත. ඒ ලඟම සිටි සිසු යුවලක්ද අප දෙස බලනු දුටිමි.
"සියා, අපි දිහා කට්ටිය බලනවා. මට තේරෙනවා. මම සොරි කිව්වනේ. අනේ අඬන්න එපා. අපි නැගිටලා පොඩ්ඩක් ඇවිදිමු."
සියාමා කලේ ඇගේ මුදු දෑත් වලින් මගේ අත් තරයේ අල්ලා ගැනීමයි. එසේ කරමින් මගේ දෑත මත හිස තබාගත් ඈ සිහින් හඬින් ඉකි බින්දාය. ඇගේ උරහිස් උඩට පහලට සෙලවෙන යුරු මම නිහඬව බලා සිටියෙමි. මා දෙස නුරුස්නා ලෙස බලු යුවතියන් දෙදෙනා එවර බලන්නේ අනුකම්පා සහගත බැල්මකින් බව මට පෙනිණි. එක යුවතියක් "යූ ඕකේ " යයි දැනෙන ලෙස මුවෙන් ඇඟවීමක් කලාය. මම එසේ යයි හිස වනමින් සංඥා කලෙමි.
එක්වරම නැගී සිටි සියාමා "අපි යමු කීවාය". මම ඇය දෙසට ගොස් ඇගේ බඳ වටා අත යවා මා දෙසට ලං කර ගතිමි. එය බලා පොරොත්තු වූවාක් මෙන් ඈ මගේ උරහිසට හිස තබාගෙන හේත්තු වී ගෙන ඉවතට පිය මනිමින්,
"මට දේශන වලට යන්න බැහැ."යි සෙමින් කනට කොඳුලාය.
"ඔයාව ගෙදර ඇරලන්නද" මම ඇසුවෙමි.
"එපා. මම පුස්තකාලෙට යනවා. ඔයා දේශන වලට යන්න. දැන් පරක්කුත් වෙලා. අනික මරේ කැමති නැහැ පරක්කු වෙලා එනවට. ඒක අමාරු විෂයනේ "
මහාචාර්ය කා..... මරේ යනු නාසාහි කැසිනි නැමති සෙනසුරු ග්‍රහයා බලා ගිය යානයේ මෙහෙයුම් මණ්ඩලයේ සිටි තාරකා විද්‍යඥයෙකි. සෞර ග්‍රහ මණ්ඩලය හා සුර්යයා ගැන ඉගැන්වීම කල ඔහු තරමක් තද ගති ඇත්තෙකි. පමාවී එන විට ඔහුගේ ඇහි බැම ඉහල යයි.
"ප්‍රශ්නයක් නැහැ. ඔයා අඬපු විධිහට මට ඔයාව දාල යන්න හිතෙන්නේ නැහැ. "
අපි දෙදෙනා අලුතින් ගොඩ නැගූ පුස්තකාලයට පිවිසුනෙමු. ශිෂ්‍යයන් විභාග කාලයේ පාඩම් කිරීමට යොදා ගන්නා කුටියක් වැනි දෙපැත්තම වැසුන කියුබිකල් එකක ඇය හිඳ ගත්තාය.
"ඔයා ඉවර වෙලා එන්න. ඔයා මතක් කරපු හින්දම නෙමේ මට ඇඬුනේ. මම හැමදාම අඬන කෙනෙක්. ඉගෙන ගන්න වෙලාව ඇරුනහම"
ඇය ඉන්පසු තාරකා ගැන ලියු පොතක් පෙරලා ගත්තාය.
ඇගේ හිස සෙමෙන් පිරිමැද මම එතනින් නික්මුනෙමි.

මින් පසු මට ලියන්නට වෙන්නේ ඉදිරි මාස හත අට මුළුල්ලේ ඈ කිවූ ඇගේ ජිවිත කතාවේ දුක්මුසුම කොටස්ය. අප හමුවූ තැන් ගැන සුන්දර මතකයන් නොවේ. ඒවා දුක්බර මතකයන් පමණි.

..............................
(මේ පළමු කොටසයි. මෙය ප්‍රබන්ධයකි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.)


http://kolambagamaya.blogspot.co.uk/2015/06/blog-post_25.html

දෙවන කොටස

නෙළුම් යායෙන් තලවකැළේට අති සාර්ථක ගමනක්

DNP 0291
ගියෙමු දුටුවෙමු ජයගතිමු කියා ලියන්නත් පුළුවන්. නමුත් ක්‍රිකට් තරඟයෙන් අපේ බ්ලොග් කට්ටිය දිනුවද කියල නම් දන්නේ නැහැ. ජය ගත්ත කියල දැනුනේ මේ බ්ලොගයේ උඩ තියෙන පින්තුරය දිහා බැලුවම. පොඩි එවුන් ටික පොත දිහා අසාවෙන් බලන හැටි දැක්කම. අපේ කලාහිත බ්ලොගය ලියන කල්‍යාණ මිත්‍ර හෙවත් බ්ලොග් සංසදයේ ලේකම් සුමිත් කලණ සිරි අර පුන්චි කාලේ අපි කියවපු කතා වල හොඳ යෝධයා වගේ පොඩි එවුන් ටික වට කරගෙන කතා කරන හැටි දැක්කම සෑහෙන සතුටක් දැනුන.
ඉතින් මේ ගමනට එකතු වෙච්ච බ්ලොග් සංසදයේ බ්ලොගාල තමයි මේ.

DNP 9970

කටුස්සා (දිමුතු සොම්නස්) , රූපේ (කවින්ද රූපස්සර ) , සම්පත් සුදසිංහ , සත්සර විමුක්ති , ඇනෝපීලිස් (ප්‍රසන්න මුදුන්කොටුව ), මලිත මධුශාන්, රන්දුනු යසරංග, සහන් පද්මසංඛ , කලාහිත (සුමිත් කළණසිරි), උපුල් නිශාන්ත, හිමාෂි කරුණාරත්න, නිශාන්ත ප්‍රියදර්ශන. දුමින්ද අලහකෝන් (දුමියා), ජෙරමි (ඇමරිකාව), බෙන් (ප්‍රංශය), දයා නෙත්තසිංහ (සත්හඬ පත්තරේ), ප්‍රබෂිනී අක්කා ඉතින් මේ ඔක්කොටම බොහොම ස්තුතියි මේ වගේ ගමනකට සම්බන්ධ වුනාට. 

ලංකා ඩේලි එකේ හිමාශි කරුණාරත්න තමා ගොඩක් බර ඇද්දේ මේ ගමන සංවිධානය කරන්න උපුල් නිශාන්ත එක්ක. බස් එක සංවිධානය කරන්න, ගෙනියන තෑගි ගන්න, මුදල් පරිත්‍යාග එකතු කරන්න වගේ වැඩ ගොඩක් මේ දෙන්න කලා. ඒ වගේම සුමිත් කලනසිරිත් සැහෙන්න උදව් කලා කට්ට්ටිය එකතු කරගන්න. එදා දවසේ බ්ලොග් සංසදය නියෝජනය කරලා කතා පවත්වන්න. ඔය හැමෝටම (මට නම් අමතක වුණා නම් සමාවෙන්න ) හුඟක් ස්තුතියි.

ඉවාන් පව්ලුෂා බ්ලොගයේ ප්‍රගීත් අනුරාධ සහ බිත්තිය බ්ලොගයේ පැතුම් හේරත් අපට ලොකු මුදල් පරිත්‍යාග දෙකක් කළා තෑගි ගන්න. ඉතින් ඒකට ට මැච් වෙන්න මමත් මුදලක් දැම්ම. වැඩිපුරම බර ඇද්දේ මුදල් පැත්තෙන් සහ රිමෝට් එකෙන් වැඩේ මෙහෙයවමින් චන්දිම විතානාරච්චි ලංකානිව්ස්වෙබ් එකේ ප්‍රධාන කර්තෘ. ඉතින් අපි හැමෝටමත් ස්තුති කරගමු.

ඒ වගේම ස්තුතියි නෙලුම් යාය සහෝදර දෙමළ වෙබ් අඩවියේ සංස්කාරක පලනි ට මෙන්ම අඩයාලම් එකේ කට්ටියට. ක්‍රිකට් ගහන්න ආව තලවකැලේ දරු දැරියන්ට, බලන්න ආව ජනතාවට . මේ හැමෝටම ස්තුතියි.
සංවිධානය කරපු පලනි ඇතුළු සංවිධායක මඩුල්ලට ලොකුම ස්තුතිය. ඉතාමත් ටික කාලෙකින් මෙවැනි දෙයක් සංවිධානය කලාට.


දැන් තමා තියෙන්නේ අමාරු හරිය. බ්ලොග් ලියන්න. ඒවා පරිවර්තන කරන්න. දෙමළට සහ සිංහලට. පරිගණක මධ්‍යස්ථානයක් හදන්න. අපට උදව් කරන්න අමෙරිකාවෙන්, එංගලන්තෙන්, කැනඩාවෙන් ජර්මනියෙන් හෙම කෝල් එනවා කියල දැන ගන්න ලැබුන. දැන් ඒ උදව් ලැබෙන්න ඕන වෙලාව.

අපේ බ්ලොග් සම්මාන උළෙල ලබන අවුරුද්දෙත් පැවැත්වෙනවා. ඒවගේම මේ තලවකැලේ ගමනත් ඒ වගේම කරනවා ආයි.

ඊට අමතරව බ්ලොග් සන්සදෙන් තව වැඩ රාශියක් හිතා ගෙන ඉන්නවා කරන්න. අපි ඉන්නේ වෙබ් අවකාශේ වර්චුවල් ලෝකෙක තමා. නමුත් සැබෑ ජීවිතය තියෙන්නේ මේ මහා පොළොවේ. අපි බ්ලොග් වල ලියන්නේ මහා පොළොවේ ජීවිතය ගැන. ඒ ජිවිතය ලස්සන කර ගන්න, සතුටෙන් හිනාවෙන්න සහ අනිත් අයටත් එහෙමම සතුටු වෙන්න උදව් දෙන්න තමා අපි උත්සාහ කරන්නේ.

DNP 0004

නැවතත් ඔබ සැමට ස්තුතියි.

- නෙලුම් යාය

 

 

 

 

 

 

DNP 0361

DNP 0034

DNP 0354

කුරුණෑගල වැසියන්ට කළ අපහාසය හෙලා දකිමු

jarapassaපසුගිය ජනවාරි 8 දා මේ රටේ ජනතාව ලක්ෂ 62ක් මහින්ද රාජපක්ෂට විරුද්ධව චන්දය පාවිච්චි කරලා ඔහුව ගෙදර යැව්වේ ඔහුගෙයි, ඔහුගේ පවුලේ උදවියගෙයි, ඔහු වටා එකතු වෙලා සිටි දුෂිත මැර කල්ලියෙයි ක්‍රියාවන් අනුමත නොකළ නිසා. ඔවුන්ගේ හොරකම්, සංවර්ධනයේ නාමයෙන් කරපු නාස්තිය හා දූෂණය, විරුද්ධවාදින් මර්ධනය කළ අන්ත පැසීස්ට්වාදි ක්‍රම වලට විරුද්ධ වුන නිසා.

ඔහුට පක්ෂව ලැබුණ චන්ද ලක්ෂ 58 බහුතරයක් නොවෙයි නම් සෑහෙන ප්‍රමාණයක් අල්ලසින්, රාජ්‍ය බලය අයුතු ලෙස යෙදවීමෙන් හා ඔවුන් සතුව තිබුණු මාධ්‍ය ඒකාධිකාරය භාවිතා කරලා රවටා ගත්තු චන්ද. ඒ වගේම ජාතිවාදය ආගම්වාදය අවුස්සලා හරවාගත්ත චන්ද.

මහින්ද දිනුවා නම් තමන්ට ඉන්න වෙන්නේ අඩි හයක් යට වල පල්ලේ බව කියන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්දට නාම යෝජනා දෙන එක වෙනම කතා කළ යුතුයි.

මෙවන් වූ මහින්ද රාජපක්ෂව නැවත පාර්ලිමේන්තු යවන්න චන්දෙ දෙන්න නම් එක්කො ඒ චන්දේ දෙන අය පිස්සෝ වෙන්න ඕනෑ. එහෙම නැත්නම් අමුම අමු පල් මෝඩයෝ වෙන්න ඕනෑ.

දැන් මහින්ද තමන්ගේ ගම් ප්‍රදේශය, බලකො‍ටුව, අත ඇරලා ඇවිත් කුරුණෑගලින් චන්දේ ඉල්ලනවා.
මහින්ද චන්දේ ඉල්ලන්න දිස්ත්‍රික්ක හතරක් , හම්බන්තොට, රත්නපුර, ගම්පහ හා කුරුණෑගල ගැන සලකා බලමින් ඉන්නවා කියලා පසුගිය දිනවල වාර්තා වුනා.

දැන් පේන්න තියෙන විදියට , මහින්ද ගණන් බලලා තියෙනවා තමන් වගේ පැසිස්ට් පන්නයේ පාලකයෙකුටත් චන්දේ දෙන්න තරම් මෝඩයෝ වැඩිම පිරිසක් ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ බව.
හිටපු පරාජිත ජනාධිපතීවරයා තමන්ට කරපු මේ අපහාසේ ගැන කුරුණෑගල වැසියන්ගේ ප්‍රතිචාරය මොනවගේ එකක් වෙයිද ?

ඔවුන් රාජපක්ෂලගේ අනුමානය ඇත්ත කරයිද? එහෙම නැත්නම් තමන්ට කරපු මේ අපහාසෙ නිසා ඔහුට හොඳ පාඩමක් උගන්වයිද?

සටහන- මට මතක් වෙන්නේ පහුගිය පලාත් සභා චන්දේ දී දයාසිරි ජයසේකර ගත්ත මනාප ගොඩ/

-http://bitternight.blogspot.co.uk/2015/07/blog-post_11.html

බුද්ධිමතුන් හොයන මෝඩයින්.

041පහුගිය ඉරිදා මරදානේ ඉස්ටේසමේ ඉන්නකොට ත් හොඳට ඉඩ තියෙන කොච්චියටත් නවත්තලා තියෙද්දී නගින්නේ නැතිව ඒක අද්දන කොට ෆුට් බෝඩ් එකේ පහලම එකට එක කකුලක් තියන් හෙන පොරවල් වගේ යන වාහෙලා දහ පාලොස් දෙනෙක්ම දකින්න විභීෂණ ට පුළුවන් විය. හැමදාම ඔය වගේ එවුන්ව ඕන අතරම දැකල තිබ්බත් එදා අපේ මහජනතාව ගැන එයාලගේ බුද්ධිමත් කම ගැන මොකක්දෝ අමුතු අදහසක් විභීෂණ හිස මත කඩා පාත් විය.
ෆුට් බෝඩ් යාම කෝච්චියේ වගේම බස් එකෙත් බොහොම අනතුරුදායක බව හැමෝම දන්නා කාරනාවක් වුනත් අපේ සමහරු ඕවාල ට ගොඩ වුනාම හොයාගෙන ගිහින් පල පදියම් වෙන්නේ ෆුට් බෝඩ් වලය.

බස් ෆුට් බෝඩ් ගමනට වඩා කොච්චි ෆුට් බෝඩ් ගමන හැතැප්ම ගානකින් නිවන් දොරට කිට්ටුය.

වැටුනොත් නිවන් දකින්නේ පාටිෂන් වෙලාය.හොඳම උදාහරණය අර ෆුට් බෝඩ් එක කඩන වැටිලා කෝච්චියට යටවෙලා කකුල් එහෙම වෙන්වෙලා කෙඳිරි ගාන කොල්ලගේ වීඩියෝ එකය


අපේ සමහරක් හරියට පාර පනින්නද දන්නේ නැත. කහ ඉරි පාරේ ඇඳලා තියෙන්නේ මිනිස්සුන්ට ෆුල් සේෆ් එකේ පාර පනින්න වුනත් , ඒවා බල්ලන්ට, හරකුන්ට පාවිච්චි කරන්න දීලා කහ ඉරි ඇස පනාපිට පෙන්න තියෙද්දී ඒවා මග ඇරලා වෙන්ඩ පොරවල් පාර පනින්නේ උනුත් අර "බුද්ධිමත් " ජනතාවගේ කොටහක් හින්දය. සමහ බල්ලෝ ත් හොඳට වෙලාව අරගෙන දෙපැත්ත බලලා කහ ඉර දිගේ පාර පනිනවා විභීෂණ මේ දෑස් දෙකටම දකින කොට අපේ එවුන්ගේ මොළ ගෙඩි ඇත්තටම ප්ලේස් වෙලා තියෙන තැන් ගැන ඇතිවෙන්නේ ඇති මහත් සැකයක් ය


හෙල්මට් තියෙන්නේ ඔලුවේ දාගෙන යන්නය. හෙල්මට් ඔලුවේ දාන් යන්නේ ඉසටයිල් එකට නොව ඇක්සිඩන්ට් එකක් හැප්පුනොතින් ඔලුව බේරා ගන්න ය. එත් අපේ උගත් "බුද්ධිමත් " සමහරක් කොල්ලෝ කෙල්ලෝ ඔලුවට ඩිසයින් කරලා තියෙන හෙල්මට් එක අතේ එල්ලන් බයික් වල යනව එනවා ඕන තරම් දැකල ඇත.ඒ සමහරවිට බයික් බැලන්ස් කරන්නට ද වෙන්න පුළුවන.


ඔය සේරම කාරනා අදාළ වෙන්නේ ගමනක් යනකොට තමුන්ගේ ආරක්ෂාවට. අර පර්සනල් ප්රෝටෙක්ෂන් ( Personal Protection) කියලා සිංහලෙන් කියන්නේ , අන්න එකටය. තමුන්ගේ ආරක්ෂාව සලසා ගන්න ඕන කරන්නේ තමුන් විසින්ම ය. එතකොට ඒ දේ කරන්න , ඒ ගැන හිතන්න බුද්ධියක් තියෙන්න ඕනය. බුද්ධිය නැත්නම් ඔය කිසි රෙද්දකින් වැඩක් නැත.

උදාහරණ වලින් පස්සේ විභීෂණ බහින්නේ සුපුරුදු පොලිටිකල් කාරනාවට ය.

8 වෙනිදා චන්දෙන් පස්සේ හැමෝම බලං හිටියේ අර විල මැද මඩ බංගලාවේ පිස්සෝ රෑන විසුරෝලා දාල හරි හමන් අලුත් බංගලාවක් හදා ගන්න ටය. තිබ්බ බංගලාවේ කොලිටි එක ගැන මාර රිපෝර්ට් එකක් දැන් රටේ ජනතාවගේ අතේය.
කොහොම වුනත් ඒ හදන අලුත් බංගලාවට උගත් බුද්ධිමත් එවුන්ව පත් කරලා යවන්න කියලා දැන් දැන් ලොකු ගෝසාවක් හැම පැත්තෙන්ම ඇහෙන බව කියන්නට අවශ්‍යය.

හොරුන්ට , තක්කඩින්ට නොමිනේෂන් දෙන්න එපා කියලා මාර්තු 12 කියල අලුත් මෙව්වා එකක් අස්සන් දස ලක්ෂේකුත් එකතු කරනවා ඊයේ පෙරේදා අපි නිවුස් ඩ්රාමා වලින්ද දැක්කේය.ඔය අස්සන් දසලක්ශේ මුලින්ම වගේ අස්සන් කරලා තියෙන්නේ අපේ මිස්ටර් ප්‍රසිඩ්න්ට්, මිස්ටර් ප්‍රයිම් මිනිස්ටර්, ඔපසිෂන් ලීඩර් වගේ ලොකු ලොකු පොරවල් ය. එයාලගේ අස්සන් වල වලංගු භාවය දැන් දැන් ටිකින් ටික එළිවෙන්න පටන් අරන් බව එයාලම දීපු නොමිනේෂන් ගැන ඇහෙන පෙන නිවුස් වලින් ඔප්පුවෙගෙන එන කාරනාවක්ය.


හිටපු රජ්ජුරුවන්ගේ කුස්සියේ ඉඳුල් කාකා ඉඳලා හීන්සීරුවේ ගෙදර මහලේකම් උන්නැහේ එක්ක එකතුවෙලා රජ්ජුරුවන්ව පරද්දන ගේම ගහපු අපේ දන්ත වයිද්දිය උන්නැහැගේ පුත්‍ර රත්නය ( අර අරයා නොවෙයි ඈ...ඒ පොඩි එකා. මේ කියන්නේ ලොක්ක ගැන ) ත් ඊයේ පෙරේද මාර සෙනගක් ඉස්සරහා දේශනාවක් තියල බෙරිහන් දුන්නේ හොරුන්ට නොමිනේෂන් දුන්නොත් හිරිකොතයි ඩාලි පාරයි වටකරන්නටය .අද වෙනකොට එළිවෙලා තියෙන නොමිනේෂන් නිවුස් ඇත්ත නම් සහ ඒ කොලු පොඩ්ඩා කියූ දේ කරන එකෙක්නම් සුවර් ඒකටම මේ වෙලාවේ ඌ වැටලීම් කරන්න යන්න බස් වලට සෙනග එකතු කරනවා විය යුතුමය. ඔව්ව ඉතින් අපි වෙනම කතා කරනවානම් වඩා අගනේය.

මේ ඇඹිටිල්ලන් කොල්ලගේ කොලු කතා අපි ගානකට ගන්න එච්චර ඕන නැතත් බුද්ධිමත් නියෝජනයක් තියෙන අලුත් බංගලාවක් වෙනුවෙන් වෙනදාට වඩා ලොකු සද්දෙකින් හැමෝම සද්දේ දානවා වගේ ඇහෙන්න පෙන්න දැනෙන්න ඇත.

මොන දෙයක් වෙලා හරි පිස්සෝ නැති බංගලාවක් හැදෙනවා නම් එක අපි හැමෝගෙම පිනක්ය.එත් ඉතින් ඔය හීනේ සැබෑ වෙයිද කියල සාධාරණ සැකයක් විභීෂණ ට නැගෙන්නේ අපේ "බුද්ධිමත්" චන්ද දායකයා කරන " අති බුද්ද්ධිමත් " වැඩ කිඩ දිහා බලං ඉන්නකොටය.

අනිත් චැනල් වල දැක්කේ නැති වුනාට අපේ සදාදරණීය ත්‍රිකොනේ චැනල් එකේනම් ඔය කාරනේට වෙනම සේග්මන්ට් එහෙකුත් දාලය . එකේදී වොයිස් කට දෙන ගමරාළලා, බණ්ඩා ලා හැමෝම මාර ප්‍රජාතන්ත්‍රවාදී එවුන්ය. හැමෝම හොරුන්ව එක හෙලා ප්‍රතික්ෂේප කරන්නේය.

බුද්ධිමත් එවුන් බංගලාවට යවන්න කියලා ඉල්ලන නායකයොයි කාරකයෝයි ආදීනුයි සහ උන් කියන විදියට ටීවී වලට වොයිස් කට් දෙන අපූරු ජනතාවයි , බුකියේ පෝස්ටර් අලෝන දේශප්‍රේමී ජනතාවයි දිහා බලපුවාම අපිට හිතාගන්න තියෙන එකම දේ සුද්දගේ කාලේ ඉඳන් බුක්ති වින්දායි කියන අර මහලොකු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදේ මහත්තුරු වගේ බුක්ති වින්දා වුනාට එකේ එක අකුරක්, කලඳක් තිතක් බැරිනම් කොමාවක්වත් මේ ගොන් හැත්ත තාම හරියට ඉගෙන ගෙන නැති බවය. වෙන මොන අහවල් රෙද්දක්ද?

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන නමේ ම තියෙන්නේ තමුන්ගේ නියෝජිතයෙක් හරහා මහජනතාව රටේ පාලනයට හවුල් වීමය. ඕක තේරුම් ගන්න්න පොලිටික් පන්ති යාමේ කිසිම කිසි උවමනාවක් නැත.
එතකොට නියෝජිතයින් පත් වෙන්න ඕනා මහජනතාව අතරින් ය. මහා මැතිවරණ , පලාබබා, ප්‍රා බබා වගේ එක එක බබා වරණ පවත්වන්නේ ඒ වගේ " නියෝජිතයෝ" පත් කරන්න ය.

තමුන්ගේ නියෝජිතයා විදියට තමුන්ගේ එකෙක්, තමුන්ට හිතවත් එකෙක් පත්කරන එක තම තමුන්ගේ යුතුකම සහ වගකීමය.

වගකීම යුතුකම තේරුම් ගත්තත් නැතත් හැමදාම වුනෙත්, අද වෙන්නෙත් හෙට වෙන්නෙත් ඔය දේමය. පත්වෙන එකා හොරෙක්නම් ඌව පත් කරලා තියෙන්නෙත් හොරුන්මය. කුඩු සප්ලයර් කෙනෙක් නම් ඌව පත් කරලා තියෙන්නේ කුඩ්ඩන් ය.
හැමදාම වෙන්නේ තමුන් වගේම , තමුන්ගේ ජාතියේම, තමුන් කරන වැඩ සේරමත් කරන තමුන්ගේම එකෙක් පත්වෙලා ගිය එකය.නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදේ හැටි එහෙමය.

එහෙනම් ඉතින් බුද්ධිමතුන් උගතුන් පාර්ලිමේන්තු යැවෙන්න නම් උන් ව සිලෙක්ට් වෙන මහජනතාවත් ඒ වගේ උගත් බුද්ධිමත් ප්‍රජාවක් වෙන්න ඕන කියන එක අමුතුවන් මෙතන කෙටිය යුතු එකක් නොවේය. තමුන්ගේ චන්දෙන් තමුන් අතරින් තමුන් වෙනුවෙන් පත්වෙන එකා උගතෙක් බුද්ධිමතෙක් වෙන්නේ ඒ විදියට තමුනුත් උගතෙක් බුද්ධිමතෙක් වුනොත් විතරමය.

උගත් බුද්ධිමත් එවුන් පාර්ලිමේන්තු යවන්න කියන මහජනතාව ගේ උගත්කම කෙසේවෙතත් බුද්ධිමත් කම කොහොමද කියන එක කලින් කියපු රෝඩ් සයිඩ් එග්සාම්පල් වලින් හොඳහැටි පැහැදිලි වන්නේය.
මෙහෙ එවුන් අඩුම ගානේ තමුන්ගේ ආරක්ෂාව ගැන වත් පඩයක් තරම් වත් මායිම් කරන්නේ නැත.
එකෙන් පැහැදිලි විදියටම දැනෙන්නේ මෙහෙ මිනිස්සු බුධිමත් නැති බවය.

එත් ප්‍රශ්නේ ඇතිවෙන්නේ මෙ "බුද්ධිමත්" මහජනතාව ඇයි බුද්ධිමතුන්වම පාර්ලිමේන්තු වයන්න අමුතුවෙන් දඟලන්නේ කියලාය. හැමදාම හැම චන්දෙකින් ම වුනේ ඔය මුලින් කියපු " අපි වගේම අපේ එකෙක් "අපි වෙනුවෙන් පත් වී යාම ය. දියුණු මිනිස්සු යවන්න ඕන නම් උද්ගෝෂණ කර කර ඉඳලා න් කාලේ කන්නේ නැතිව මිනිස්සුන්ව දියුණු කරන්නතමුන්ට කරන්න පුළුවන් දේ කල යුතුය.

අර කවදත් කියනවා වගේ හැම තිස්සෙම රටකට ලැබෙන්නේ ඒ කාලෙට ඕන කරන නායකයින්මය. කවුරු කිවා වුනත් ඒ තියරිය නම් ඇත්තම ඇත්තය. මේ මෝඩ මහජනතාවට හැමදාම ලැබුනේ තමුන්ගේමෝඩකමින් ප්‍රයෝජන අරගෙන තමුන්ටත් ඉඳලා හිටලා මස් කට්ටක් දෙකක් ( ආණ්ඩුවේ රස්සාවක්, සහනාධාරයක් වගේ...) දෙන, කොටින්ම කිව්වොත් තමුන්ව හූරගෙන කන ආණ්ඩුය. ඔව්ව ඉතින් ඉඩේ පහල වෙඋනා නොව අර මහජනතාව විසින්ම පත් කොරාපු එව්වය.සන්තොසය සම විලිලජ්ජාව දැන්වත් මහජනතාවට දැනෙනවානම් එකත්ලොකු දෙයක් ය.

බුද්ධිමත් නියෝජිතයෝ හදන්න නම් සමාජය බුද්ධිමත් විය යුතුය. එහෙම නොවෙන තාක් කල් කවුරු කොහොම කා ගැහුවත් සිද්ද වෙන්නේ .මෝඩයින් වෙනුවෙන් මෝඩයින් නියෝජිතයෝ වෙන එක මය.

හොරුන්ට නොමිනේෂන් දෙන්න එපාය කියල බෙරිහන් දෙනවට වඩා හොරුන්ට තමුන්ගේ චන්දෙ නොදී හිටිය නම් වැඩේ අහවරය.

එහෙනම් අදට ඇති වගේ..

ගොහින් එන්නං ok????

-http://vibheeshana2.blogspot.co.uk/2015/07/blog-post_10.html

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය හය - අල්ලපු ගෙදර කෙල්ල සයිකල් සවාරිය සහ ඊලාම් දේශයේ නැගිටීම.

Sri Lanka 022අල්ලපු ගෙදර කෙල්ල ගැන ලියන්නට කලින් අක්කා කෙල්ල ගැන ලිවිය යුතු වුවද ලියවෙන්නේ අල්ලපු ගෙදර කෙල්ල ගැනය.ඡන්ද කාලයක් ළඟ එන නිසා විය හැකිය.ඒද ඡන්ද කාලයකි.නමුත් අද මෙන් නොව රට ගිනිගනිමින් තිබුන කලෙක පැවැත්වුණු ඡන්දයකි.දේශප්‍රේමීන් රට ගිනි තියන්නට පටන්ගෙන තිබුන අතර ආණ්ඩුව එයට ප්‍රතිචාර දක්වන්නට විය.දෙගොල්ලොම තරඟෙට මෙන් මිනී මරන්නට පටන් ගෙන තිබුණි.89 ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයගත් පසු පැවැත්වූ මහ මැතිවරණයට දේශපාලන පක්ෂ සුදානම් වුයේ තරග කරන අපේක්ෂකයන්ට දේශප්‍රේමීන් විසින් මරණ වරෙන්තුව ලබාදී තිබියදීය.අල්ලපු ගෙදර උදවියට මගෙන් වැඩක් කරගන්නට සිදුවුයේ මේ ඡන්ද කාලයේදීය.ඒ කතාව මෙහෙමය.කතාව කියන්නට පෙර අල්ලපු ගෙදර කෙල්ලට නමක් දිය යුතුය.ඇයට නමක් දෙන එක හරිම පහසුය.ඒ අපි ඇයව හැඳින්වූ නම තිබෙන නිසාය.අල්ලපු ගෙදර කෙල්ල එකල වැඩකළේ රාජගිරිය ටෂ්මා ස්ටුඩියෝවේය.ඒ නිසා අපි ඇයට ටෂ්මා කීවෙමු.පසුව එය තවත් කෙටිවී ටෂ් විය.ස්ටුඩියෝව තවම තිබෙනවාදැයි නොදනිමි.ටෂ්ගේ පියාවූ අල්ලපු ගෙදර අංකල් දරුණු යූ ඇන් පී කාරයෙකි.යූ ඇන් පී ලැයිස්තුවේ අපේක්ෂකයන් බොහෝ දෙනෙක් ඒ පළාතේ කැන්වසින් යන්නට ටෂ්ගේ තාත්තා හමුවෙන්නට එති.දවසක් මම වැඩ ඇරී ගෙදර එනවිට ටෂ්ගේ ගෙදර හරි කලබලයකි.යූ ඇන් පී ඡන්ද අපේක්ෂකයන් කීප දෙනෙක් ටෂ්ලගේ ගෙදරට ඇවිත්ය.ඔවුන අතර ජෙරාඩ් සන්තියාගුද සිටියා මට මතක ඇත්තේ ඔහු කතාවක් කළ නිසාය.ටෂ්ලාගේ මිදුලේ පකිස් පෙට්ටියක් උඩ නැගී ජෙරාඩ් සන්තියාගු කිව්වේ දැන් පාර්ලිමේන්තුවේ ප්‍රේමදාස මහතා නොමැති බැවින් ඒ අඩුව පුරවන්නට ඔහුව පාර්ලිමේන්තුවට යවන්න කියාය.මෙවැනි පුද්ගලයන්ගේ ගොන් කතා අපට මහත් විනෝදයක් විය.ඌ මිදුලේ තප්පුලද්දී ටෂ් වැටෙන් එහා පැත්තේ සිට මගෙත් එක්ක ඇස්වලින් කතා කරමින් සිටියාය.

දැන් ඇතිවී තිබෙන තත්ත්වය තාත්තාට කොහෙත්ම හොඳ නැති බවත් කරන දේශපාලනයක් ප්‍රවේශමෙන් නොකළොත් දේශප්‍රේමීන් නොවැරදීම ප්‍රතිචාර දක්වන බවත් මම දවසක් ටෂ්ට කීවෙමි.කිව්වාසේම ඊළඟ සතියේ ටොපිය ලැබුණි.දේශපාලනයෙන්ද යූ ඇන් පියේ තනතුරු වලින්ද වහාම ඉවත් නොවුනහොත් දේශද්‍රෝහියාගේ ඔලුවට වෙඩි තබා මරා දමන බවට දැනුම්දී තිබු ලිපියක් ටෂ්ලගේ ගෙදරට දමාගොස් තිබුණි.දේශද්‍රෝහියා වූ ටෂ්ලගේ තාත්තා ඒ ලිපිය ගණනකට නොගෙන හවස්අතේ අරක්කු බොන්නට හොරපොලට ගිය අතර ටෂ්ගේ අම්මා ටෂ්ද සමග බයේ වෙවුලමින් ලිපියද රැගෙන මා හමුවන්නට ආවේ කුමක් කරන්නද යන්න සිතාගත නොහැකිවය.ඔවුන් දෙදෙනා අස්වැසු මම දැන්වීමක් ලිව්වෙමි.වහාම ක්‍රියාත්මක වන පරිදි ටෂ්ලගේ පියා යූ ඇන් පියෙන් සහ දේශපාලනයෙන් ඉවත්වන බව එම දැන්වීමේ සඳහන් විය.මගේ අකුරු හකුරු වගේ නිසා අකුරු ලස්සනට ලියන කෙනෙකුට කියා ඒ දැන්වීමෙන් කොපි දෙකක් ලියාගෙන එන්නට කියා ඒ දෙදෙනා පිටත්කර යැව්වෙමි.තවත් ටික වෙලාවකට පසු කාටදෝ කියා කළු මාකර් පෑනකින් ලියවාගත් දැන්වීම් දෙකක් අතැතිව ටෂ් මා ඉදිරිපිට පෙනී සිටියාය.අපි දෙන්නා කළුවරේම පාරට ගොස් ටෂ්ලගේ ගේ ඉස්සරහ මල් වැටේ දෙපැත්තේ පාරට පෙනෙන්නට දැන්වීම් දෙක එල්ලුවෙමු.දැන්වීම් දෙක එල්ලා තාත්තා කරන දේශපාලනයක් එළිපිට නොකර සිටින තාක් කල් මරණ තර්ජනයක් නැති බව ටෂ්ට කීවෙමි.

මම ස්ථිරවම එලෙස කිව්වේ මීට පෙරද මා මේ ආකාරයේම කුණු කොන්ත්‍රාත්තුවක් නොමිලයේම සාර්ථකව කරදී තිබු බැවිනි.ඒ අපේ ගමේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවෙකුටය.ඔහුටද මේ විදියටම මරණ තර්ජනය සහිත ලියුම ලබුනවිට දැන්වීම් ලියා ඇලෙව්වේ මමය.ඊට පසුව ඔහුට දේශප්‍රේමීන්ගෙන් කිසිම කරදරයක් සිදුවුනේ නැත.එතෙක් වෙලා හිතේ කැකෑරෙමින් තිබු මරණ බය පහව ගිය ටෂ් පාරටවී බොහෝ සැහැල්ලුවෙන් මා සමග කතා කරමින් සිටියාය.ඇය මගේ විස්තර විමසුවාය.රජයේ රස්සාවකුත් කරන මා බෙන් එකේ නැවතී සිටින්නේ ඇයිදැයි ඇයට දැනගන්නට උවමනා වී තිබිණි.කෙල්ලන්ගේ කුතුහලය එහෙමය.කෙල්ලන්ගේ මේ නොසන්සිඳෙන කුතුහලය තම වාසියට කළමනාකරණය කරගත් සිරා වැනි උන් හකුරු මඩුවේ නාඹර ගැටිස්සියන් සියල්ලටම එකිනෙකාට හොරෙන් ලෝඩ් බාගත්තේ කෙල්ලන්ගේ ලිංගික කුතුහලයට පිංසිද්ද වන්නටය.කුතුහලය සංසිඳුවා ගැනීමෙන් තමන්ට නම් සතපහකට වැඩක් නැති බවත් ලැබෙන්නේ පුක පුරා ටිංකිරි පමණක් බවත් කෙල්ලන් තේරුම් ගන්නා විට පෙරහැර ගොස් හමාරය.ඔවුන්ගේ මේ කුතුහලය සාමාන්‍ය අවස්ථාවලදී පමණක් නොව මරණයක් වැනි ඛේදජනක අවස්ථාවන්හි පවා එකසේ බලපවත්වන බව මගේම අත්දැකීමක් ඇසුරෙන් පැහැදිලි කරන්නට පුළුවන.

ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාර ප්‍රධාන කාර්යාලයේ මාත් සමග වැඩකළ දීපිකාගේ අක්කා කෙනෙක් මියගොස් ඇතිබව මට දැනගන්නට ලැබිණ.එවකට මා එම කාර්යාලයෙන් මාරුවී ගොස් සිටියෙමි.දීපිකාගේ අක්කාට කලක් තිස්සේ හිසේ අමාරුවක් තිබුණ බවද එයට දිගටම බෙහෙත් බීපු බවද මම දැන සිටියෙමි.කොච්චර බේත් බිව්වත් සුව නොවන අසනීපය ගැන සිත කළකිරී සිටි ඇය දවසක් කුප්පියේ තිබු බේත් පෙති සියල්ලම ගිල දමා ජීවිතය නැතිකර ගත්තාය.මම මළගෙදර යන්නට සුදානම්වී සිටින විට බිරිඳ කුමක් හෝ වැඩකට හදිසියේම මා හමුවන්නට කාර්යාලයට ආවාය.එවකට ඇය බිරිඳ නොව වෙන්ඩ බිරිඳය.මට හදිසියේ මළගෙදරක යන්නට සිදුවී ඇති බවත් කැමතිනම් ඇයටත් මා සමග යන්නට හැකි බවත් කී විට ඇය වචනයක් වත් නොකියා මා පස්සෙන් වැටුණාය.අපි නුගේගොඩට ගොස් දුම්රියපොළ පටුමගේ තිබු දීපිකාගේ ගෙදර හෙවත් මළගෙදරට ගොඩවුනෙමු.අප දුටු මතින්ම දීපිකා කෑ මොර දෙමින් හඬන්නට ගත්තාය.ඇය බිරිඳව කලින් දැක නොතිබූ අතර දුටු ප්‍රථම අවස්ථාව එදින විය.මොනම විදියකින්වත් ඇගේ හැඬීම නතරකරන්නට නොහැකිවිය.දීපිකා පොළොවේ හැපෙමින් අඬයි අපි බලා සිටියෙමු.කඳුළු පෙරා හඬමින්ම ඇය මගෙන් ඇසුවේ මේ කවුද කියාය.මේ සිද්ධිය මතක් කරමින් පසුව අපි හොඳට සිනාසුනෙමු. දීපිකා, අක්කා කෙල්ලගේ සපෝටර්ය.සපෝට් කරන අතරේම සපෝටර් මා සමගද පොඩි පළහිලව්වක් ඇතිකර ගත් නමුත් එය දවසක් අක්කා කෙල්ලට අතේ කෝට් විය.එය වෙනම කිවයුතු රසවත් කතාවකි.

දවසක්දා උදේ නැගිට බලනවිට පාරේ බස් ධාවනය නොවේ.එදා දේශප්‍රේමීන්ගේ ඇඳිරි නීතිය ක්‍රියාත්මකවූ දිනයක් විය.ගෙදර සිටි අනික් සියලු දෙනාම ෂූටිං ගොසිනි.ටිකක් වෙලා ඉන්න විට මට මහා කම්මැලිකමක් දැනෙන්නට විය.ඇඳ පැළඳගෙන පයින්වත් කාර්යාලයට යන්නට හදනවිට රුවන්ගේ චැලිය තිබුණි.චැලියේ නැග පිටත්වුනෙමි.පැලවත්තෙන් පාර්ලිමේන්තු පාරට හරවා ටික දුරක් යනවිට කුඩයක් ඉහලා ගත් කෙල්ලක් ඉදිරියෙන් යනු දුටුවෙමි.කිට්ටුකර බලනවිට ටෂ්ය.ටෂ්වත් චැලියට නග්ගවාගෙන ගොස් රාජගිරියෙන් ඇය බස්සවා මම කාර්යාලයට ගියෙමි.මේ සිද්ධියෙන් පසුව ටෂ් මට බොහෝ හිතවත් වුවාය.ඇය සැහැල්ලු ගති පැවතුම් ඇති කෙල්ලක් බව මා සිතුවද මගේ නිගමනය වැරදි බව පසුව වටහා ගත්තෙමි.ඒ වනවිට මා ඇය සමග ටිකක් දුර ගොසින්ය.එහෙත් ආපසු හැරෙන්නට බැරි තරමට දුරක් නොවේ.අපි දෙන්නා කිසිසේත්ම ගැලපෙන යුවළක් නොවන බවත් තව දුරටත් ඉදිරියට ගියහොත් දෙදෙනාටම උරුමවන්නේ දුක පමණක් බවත් මා ඇයට සාධක සහිතව පෙන්වා දුන්නත් ඇය කීවේ ආපසු හැරෙන්නට දැන් ප්‍රමාද වැඩි බවය.අහළ පහළ සියලු දෙනාම පාහේ අපේ පලහිලව්ව දන්නා බවත් ඔවුන්ට මුහුණ දෙන්නට නොහැකි බවත් ඇය වැඩිදුරටත් කීවාය.

අපේ රටේ බොහෝ දෙනෙක් වැරදි සහකාරයා හෝ සහකාරියව විවාහ කරගෙන ජීවිත කාලයම සිතින් දුක් විඳිමින් ජීවත් වෙති.ඇසුවිට 'දැන් ඉතිං මොනවා කරන්නද'හෝ 'බැඳගත්ත බෙරේ ගහන්න එපායැ' යනුවෙන් උත්තර දෙති.ඔවුන් පණ පිටින් අපායේ වැටුනවුන් ලෙස හෝ ජීවිතාන්තය තෙක් හිරේ වැටුණු අය ලෙස හෝ දුක්ම වලඳමින් ජීවිතය ගතකරති.නමුත් යුරෝපයේ හෝ බටහිර රටවල නම් විවාහවී කොතෙක් කල් ගියද නොගැලපෙන බව දකී නම් මොහොතක හෝ පමාවක් නොමැතිව වෙන්වෙති.තරහවීම් හෝ ගහමරාගැනීම් නැත.දික්කසාදයෙන් පසුවද සුහදව ඇසුරු කරති.මට එක් සිද්ධියක් සිහිපත්වේ.මා බ්‍රසල්ස් නුවර ජීවත්වන සමයේ කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ බොහෝ බලවත්ව තිබුන අතර ජාත්‍යන්තර කොටි ජාලය ඊටත් වඩා බලවත් විය.

එක් සති අන්තයක ද්‍රවිඩ නැගිටීම යනුවෙන් මුළු යුරෝපයේම සිටින කොටි සහ කොටි හිතවාදීන් මුළුදෙන මහා රැස්වීමක් බ්‍රසල්ස් නුවර පවත්වන්නට නියමිත විය.කෙසේ හෝ මෙම රැස්වීම ලංකාවට වාර්තා කළ යුතු විය.පිංතුර ගැනීම මට පැවරුණි.කොටි රැස්වීමේ පිංතුර ගැනීමට යාම මරුකටට රිංගීමකි.වැරදිලාවත් අහුවුනොත් බ්‍රසල්ස්හිදී හෝ ලංකාවේදී වෙඩි තබා මරාදැමීම ෂුවර්ය.මට තනියට යන්නට එඩුවාට කතාකළෙමි.ඌ මුලින් කැමති වුවද බිරිඳගේ බැනවැදීම් නිසා පසුව එන්නට අදිමදි කළේය.දැන් යන්න වෙන්නෙත් තනියමය.මගේ හිතවතෙක් වූ බෙල්ජියම් ජාතික ආධුනික ඡායාරුප ශිල්පියෙකුට නිකමට මෙන් කතා කලවිට ඔහු එන්නට කැමති විය.ඇත්තටම ඔහුට මෙය තවත් රැස්වීමක් මිසක මෙහි ඇති බැරෑරුම් කම ඔහු නොදනී.කෙසේ හෝ නියමිත දිනයේ අපි දෙදෙනා රැස්වීම් භූමියට රිංගා ගැනීමට සමත් වුනෙමු.රැස්වීම් භූමියට ඇතුල්වෙන තැනම සාම සාකච්ඡාවලට වාඩිවී සිටි ප්‍රභාකරන්ගේ විශාල පිංතුරයක් විය.අපි එතනින් පටන් ගත්තෙමු.ඊලාම් සිතියම සහිත විශාල වේදිකාවක නැගසිටි මෘදංග සහ නලා වාදකයෝ ඊලාම් ගීත වාදනය කරති.ප්‍රධාන අමුත්තා ලෙස විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙන් ආනයනය කොට තිබුණේ කොටි හිතවාදියෙකුවූ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාය.ඔහු කොටි රූපවාහිනියට සාකච්ඡාවක් ලබාදෙමින් සිටි අතර මා එයද පිංතුරයට ගත්තෙමි.රැස්වීමේ ලුමිනස් ඉරි සහිත තැඹිලි පාට ජැකට් ඇඳගත් කොටි ආරක්ෂකයෝ විමසිල්ලෙන් සිටින්නේ චරපුරුෂයන් රැස්වීමට අතුල්වෙනවාදැයි බලන්නටය. අවුරුදු දොළහකට පමණ පෙර ගන්නා ලද පිංතුර සහිත සීඩී තැටිය මා මෙය ලියන අතර මතකය අලුත් කර ගැනීම සඳහා නැවත බැලුවෙමි.බොහෝ පිංතුර බොඳවී ඇත්තේ පිංතුර ගන්නා විට පණ බයටම අත වෙව්ලීම නිසා විය හැකිය.කෙසේ හෝ පිංතුර හැට හැත්තෑවක් ගන්නට අප දෙදෙනාට හැකිවිය.ඉන් දෙකක් අද පළකරමි.

දිගින් දිගටම ලියන්නට ගියහොත් ඉවරයක් නැත.තව කොටසක් නැවත ලියන බව කරුණාවෙන් සලකන්න෴

-http://helapakade.blogspot.co.uk/2015/07/6.html

මංමුලා සෙවනැලි “- පලවන කොටස

art lady zps05439ac3දොරින් අඩක් ඇරියාම එන්නේ

සිහිල් සුළං ආයුබෝන් කියාමෙන්......

.

එසේ ලීවේ කවුරුන් දැයි මට සිහියට ‍නොනැඟේ.නමුත් ඔහුත් මා වැන්නෙකු වන්නට ඇති.අළු පාට ලෝකයක් මා ඉදිරියේ විය.තව මොහොතකින් අසේල පැමිනෙනු ඇත.ඔහු මගේ අම්මාගේ දරුවෙකි.ඔහු නැතිනම් අම්මාගෙන් හිස් වූ මේ විසල් ලෝක‍යේ මා තනි වනු ඇත. අතීතය වර්තමානය එකිනෙක පැටලී ඇත.අප්පච්චි ළඟින්ම අම්මාද මිහිදන්ව ඇත.තමඋණුසුම් මතකය තුලින් මෙන් නොව සැබෑවටම ඈ ඔහු හා එක් වී ඇත.මට මතක ඇති කාලයක පටන්ම අප්පච්චි බිතු සිතුවමක්ව හුන්නේය.එක් මූසල හැන්දෑවක සුදු අයියාගේ රූපයද එතැන තැන්පත් වූයේ ආචාර වෙඩි මුර සමගිනි.මහමෙරුව සේ අම්මා සියල්ල දරා ගත්තීය.පිළිකා මාරයා ඇගේ ජීවිතය අඟලෙන් අඟල ගිල ගනිද්දී ඈ ඊට එරෙහිව සටන් නොකලාය.ජීවිතයට මුහුණ දීමට තරම් මා ශක්තිමත් බව ඈ දැන සිටියාය.

“පුතේ මගේ දරුවට මං නැති කාලෙක ඉන්නේ ඔයාලා තමයි“. ඈ නිතර අසේලටත් ඔහුගේ අයියලාටත් කීවාය.

“අනේ ටීචර් අපේ නංගී ගැන අපි බලන්නේ නැද්ද?“ඔවූහු කීහ.

ඔවුන් අපේ කවුදැයි මට කිසිසේත් වටහා ගත ‍නොහැකි විය.අම්මාගේ ඥාතීන් ඈ හැර දැමුමේ ඇගේ විවාහයේදීය.අප්පච්චිගේ මව  සුදු මම්මා ට හා අප්පච්චිගේ අයියා ලොකු අප්පච්චිට අපේ මුලු හත්මුතු පරම්පරාවම සීමා විය.අනතුරුව නාමල් කමල් සහ අසේල අපේ ජීවිතයට සම්බන්ධ වූයේ මගේ අයියාගේ මරණයේදීය.අම්මා තුෂ්නිම්භූතව සිටිද්දී,මා හඬා වැටෙද්දී මගේම අයියාගේ අවසන් ගමනට අවැසි දේ සම්පාදනය වූයේ ඔවුන් අතිනි.

මා මුලින්ම සිතුවේ ඒ අයියාගේ මිතුරන් බවය.කමල් අයියා සේවය කලේ අයියාගේම සේනාංකයේ ය.

නමුත් අම්මාත් ඔවුනුත් අතර දෙබස් අයියාගේ  උපතටත් පෙර අතීතයට ඇදී යද්දී මම ඒ උපකල්පනය අත් හලෙමි.ඉතා ඈත දුෂ්කර ගමක හැදී වැඩුනු ඔවුන් තිරසර ලෙස අපේ ජීවිතයට සම්බන්ධ වූයේ අපේ ආරක්ෂකයන් බවට පත් වෙමිනි.එක් සොයුරෙක් අහිමිව ගොස් තිදෙනෙකු හිමි විය.මගේ අවසන් නිගමනය වූයේ ඔවුන් අම්මාගේ පෙර විවාහයේ දරුවන් විය හැකි බවයි.

“තාමත් අඬනවද නංගා.....“

“ම්හ්.....

හේ මා මුදුව වැළඳ ගත්තේය.

“මට ඔයා ළඟින් ඉඳන් ඔයා බලා ගන්න ඕන...“

“ඉතින් ඔයා මෙහේ නවතින්න එන්නකෝ...සිරියම්ම ගියාම මං ගෙදර තනියෙන්....“

“ඒක තමයි.දැන් එයා නවත්තගෙන ඉන්නේ කටේ බලෙන්..“

“ඒක තමයි.එයා යන්න කලින් මං මෙහේ එන්න ඕන.

“හෙටම ඔයාගේ බඩු මුට්ටු බෝඩිමෙන් ‍ගේමු..“

“ඔහුගේ මුහුණ රතු වී අනතුරුව සුදුමැලි විය.වැරදි යමක් කියවීදැයි සැකයෙන් මම තොල හපා ගතිමි.“

“පිස්සි එහෙම කොල්ලෙකුයි කෙල්ලෙකුයි එක ගෙදර ඉන්න ගියොත් රට්ටු ලස්සන පද හදයි......“

“අයියටයි නංගිටයි එක ගෙදර ඉන්න බැරි මොකෝ....මම මුරන්ඩු වීමී.“

“මම ඔයාගේ අයියා නෙමෙයි..හේ රළු හඬින් කීය....“

“මගෙම නොවුනට මොකෝ ..අපි එක අම්මගෙ දරුවෝ....“

ඔහු මා දෙස බැළුවේ උඩ ගිය ඇස් වලිනි.“නෑ මොකක්...

මා දෙස කට බලියා මොහොතක් බලා සිටි ඔහු අනතුරුව මහ හඬින් සිනාසෙන්නට විය.

“මොකක්ද විහිළුව....“මම නුරුස්සනා ස්වරයෙන් කීමි.

“අම්මා කිව්වේ අපි කවුරු කියලද?..“

“එයාගේ දරුවෝ කීවේ....“මගේ නැග එන කෝපය අම්මා කෙරෙහිද යොමු විය.

මම හිතුවේ එයාගේ කලින් කසාදේ ළමයි කියලා....

“පිස්සුද“ ඔහු ක්ෂණිකව කීය“.

එහෙම නෑ“...

එහෙත් ඔහු කවරෙක් දැයි පැහැදිලි කලේද නැත.

“මම ඔයාගේ අම්මට පොරොන්දු වුනා හොඳ මහත්තයෙක් වගේ ඔයා බලාගන්නව කියලා..“.
“මහත්තයා.....“

“ඔවු ඔයා කසාද බඳින්න..“

“මොකක් මම ???????????“

“ඔ   ඔ..ඔයා මට කැමති නැද්ද?“

“මම එහෙම දෙයක් ගැන හිතුවෙවත් නෑ.ඔයා මගේ අයියානේ“

“ඔයා ඒක හිතනකල් මෙහේ නවත්තන්න කෙනෙක් මම එක්ක එන්නම්.එයාගේ නම රන් මැණිකා“එපමණක්ම කී ඔහු වේගයෙන් පිටවී ගියේය.

අපේ ජීවිත සමඟ ඇති සම්බන්ධය කුමක්දැයි ඇසීමට මට වුවමනා විය.ඔහු මට ආදරය කළේ ඇයි දැයි ඇසීමට මට වුවමනා විය.නමුත් මා ගොළුව බිහිරිව හුන් තැනම නොසැලී සිටියෙමි.

ඔහු මගේ ජීවිතයෙන් නික්මී ගියේද?බිතු සිතුවම්ව සිටි අප්පච්චිටත් මගේම අයියාටත් වඩා මට සමීපව සිටියේ ඔවුන් නොවේද?අමිල වස්තුවක් මට අහිමි වූ බව මට හැඟිනි.

ඔවුන් මගේ ජීවිතයෙන් ඉවත්ව යාම මගේ දකුණත කපා දැමුවා වැනි වේදනාවක් විය.නමුත් මගේ සිහිනයේ වූ ආදරය ප්‍රකාශකිරීම මෙය නොවීය.ඔහු ඉතා උස ,ගුප්ත නිල් වන් දෑසක් හිමි කඩවසම් හාදයෙක් විය යුතුය.මම සුදු පැහැ දිගු ගවුමක් හැඳ ලැජ්ජාශීලී රැජිනක් මෙන් දිස් විය යුතු අතර ඔහුගේ යෝජනාවත් සමඟ රතු වී ගොස් කෝළ සිනා පෑ යුතුව සිටියෙමි.අප සිටිය යුත්තේ උස් තුරු වලින් වට වූ ජලාශයක් අද්දරය.ලා තණ පලසක් මතය.

නමුත් යථාර්ථය වූයේ කුමක්ද?අපිළි‍වෙල මගේම කාමරයේ,මා නිදන ඇඳුමින් කබ කඩමින් සිටියදී,මගේම අයියා යැයි සිතා සිටි තැනැත්තා විසින් විවාහ යෝජනාවක් ගෙන ඒමය.

මගේ සිහිනය බිඳ වැටීම නිසා මට රිදිනි.මා ඔහු රිදවූයේ එබැවිනි.

රණ් මැණිකා නිහඬ ඇවතුම් පැවතුම් ඇති අතිශය අවබෝධයකින් යුත්ගැහැණියක් වූවා කිහිප අයුරකින්ම අම්මාට සමානකම් පෑවාය.මමනිසඟයෙන්ම ඈට ආකර්ශනය වී ගියෙමි.තවමත් අසේළ මට දුරින්විය.ඔහුගෙන් ඇමතුමක් පවා නොවීය.අයියලා දෙදෙනානම් ඉඳ හිට ආවත්අසේල තරම්  ඔවුන් කිසි දින මට මිතුරන් සේ සමීප වූවන් නොවේ.ඔවුන්හුදෙක් ආදර්ශමත් අනුග්‍රහශීලී අයියලා පමණක්ම විය.නමුත් ඔහු මට සෑමකෙනෙක්ම විය.අවශ්‍ය විට මට ඕනාම කෙනෙක් වීමට ඔහු සූදානම්වසිටියේය.හුදෙකලා මා වැඩි වැඩියෙන් පොත් වලට ඇදීගියේ මෙබඳු තත්වයක්යටතේය.අම්මාගේ පුස්තකාලය මට කෙම් බිමක් විය.එහි ප්‍රසිද්ධකතෘවරුන්ගේ පමණක් නොව අප්‍රකට කතුවරුන් දෙදෙනෙකුගේ මෙතෙක්නොපළ පොත් රැසක්ද ඒ අතර විය.කැළුම්  දිසානායක හා මේඛලා සිරිවර්ධනවූ ඒ දෙදෙනා මගේම අම්මාත් අප්පච්චීත් වූහ.මෙතෙක්ම හුදෙක්ඡායාරූපයක් පමණක්ම වූ අප්පච්චී,ඔහුගේත් අම්මාගේත් දින පොත්  වලින් මට  සමීප විය.මරණයෙන් වත් දුරස් නොවූ ඔවුන්ගේ ආදර‍යේ සුවඳ තවමත්ජීවමානව එහි රැඳී තිබුණි.ඔවුන් ජීවිතය උදෙසා කරන ලද අප්‍රමාණ කැපකිරීම්එහි පිටු වර්ණවත් කළේය.සිය කෙටි ජීවිත කාලය මුළුල්ලේම නොකල ලෙසතමන් කවුරුන් දැයි ඒ සටහන් මඟින් ඔවුන් මට  කියා දෙමින් සිටියි. දුරටත්මම අනාථ දරුවෙක් නොවෙමි .මේ පිටු අතර රැඳෙමින් ඔවුන් මා සමඟමජීවත් වනු ඇත.ඔවුන්ගේ මතකය දුර ඈත තිබෙන මතකයක්,යාන්තමින්වැටෙන ආශිර්වාදයක් මෙන් මා වෙත රැඳෙමින් හුදෙකළාවෙන් මා රැක ගනුඇත

http://wkwijeratna.blogspot.co.uk/2015/04/01_29.html

මෛත්‍රීපාලගේ අත අත් නො හැරිය යුතු ය

my3 thumb103මේ මොහොතේ සිවිල් සමාජය, පුරවැසි සංවිධාන හා මාධ්‍ය හැසිරෙන්නේ ඔවුන්ගේ අංක එකේ සතුරා මෛත්‍රීපාල යයි සිතා ය.

මෛත්‍රීපාල මහින්ද ඇතුළු හොර නඩයට නාම යෝජනා දීම හේතුවෙන් එදා මහින්ද පරදා මෛත්‍රීපාල ජනාධිපති කිරීම වෙනුවෙන් අභියෝග භාර ගත් බලවේගයේ දැඩි වෛරයට භාජනය වී තිබේ.

අප නැවත මතක් කර ගත යුතු කාරණයක් වන්නේ ජනවාරි 08දා අප පැරදවූයේ පුද්ගලයකු පමණක් නොව ක්‍රමයක් ද බවයි.

මහින්දගේ ක්‍රමය නීලා වික්‍රමසිංහගේ වචනවලින් කියනවා නම් ‘මරලා හෝ බලය ගත යුතු' ක්‍රමයකි. අප මෛත්‍රීපාල පත් කළේ ද ඒ ක්‍රමය අලුත් මුහුණුවරකින් පවත්වාගෙන යනු පිණිස ද?

මෛත්‍රීපාල කර ගැසූ ශ්‍රීලනිපය යනු ඔහු පැරදවීමට කටයුතු කළ, ප්‍රතිගාමිත්වයට වැඩි බලයක් තිබෙන පක්ෂයකි. මෛත්‍රීපාල සභාපතිත්වයට පත් වූ පසු මහින්ද රාජපක්ෂ නැවතත් වේගයෙන් නැගී සිටි අතර අවසානයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේත්, ශ්‍රීලනිපයේත් බලය අත්පත් කර ගැනීමට ද සමත් වූයේ ය.

දූෂණ විමර්ශන හරි හැටි කෙරුණා නම් මහින්ද වළක්වන්නට තිබුණු බව ඇතැමෙක් කියති. එහෙත්, සමස්තයක් ලෙස ම දූෂණයේ ගිලුණු සමාජයක එය පහසු කාර්යයක් වූයේ නැත. තිස්ස අත්තනායකට අල්ලස් දීම සම්බන්ධයෙන් මහින්දගෙන් කටඋත්තරයක් ගන්නට ගිය විට ඔහුගේ ගෝලබාලයෝ පාර්ලිමේන්තුව තුළ බලෙන් පදිංචි වූ හ.

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ගල් ගසා මරනවා යයි කී ඩී.වී. උපුල් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වූ හැටි බලන්න. සිදු වුණේ පොලිසිය බය වීම නො වේ ද?

ශ්‍රේෂ්ඨාධිකරණය පවා දුන් අසාමාන්‍ය තීන්දුවලින් මහින්ද ක්‍රමය තවමත් මේ රටේ කෙතරම් බලසම්පන්න ද යන කරුණ ඔප්පු විය.

මෛත්‍රීපාල කටයුතු කළ ආකාරය තුළ තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී හා අතිශය මෘදු භාවිතාවකි. ඔහුගෙන් ජනතාව මීට වඩා දැඩිකමක් බලාපොරොත්තු වූ හ.

එහෙත් සිවිල් සමාජ සංවිධාන දැන් කියන දේ තුළ තිබෙන්නේ ඔහු මහින්ද වැනි ම ඒකාධිපතියකු ලෙස කටයුතු කිරීම වැරදි බව ද?

බෝල්ෂෙවික් පක්ෂය රුසියාවේ බලය අත්පත් කර ගැනීමෙන් පසු සාර් පවුල මර්දනය කළ ආකාරය ආදර්ශයක් ලෙස ගන්නා තැනින් අපි වෙනස් විය යුතු නැද්ද?

අප මහින්ද රාජපක්ෂ හා ඔහුගේ දුෂ්ට ක්‍රමය පරාජය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව මිස ඒකාධිපතිවාදයෙන් නො වේ.

මෛත්‍රීපාල ශ්‍රීලනිපය තුළ අසාර්ථක වූ බව ඇත්තකි. එහෙත්, එපමණකින් ඔහු පිළිකෙව් කිරීම අපගේ දුර්වලකමකි.

අප විසින් පත් කරන ලද ජනාධිපතිවරයා රැක ගැනීම අපගේ වගකීමකි. රටට ගැලපෙන නායකයන් නැති සංදර්භයක් තුළ අප කළ යුතුව තිබෙන්නේ නායකයන් ගොඩනගා ගැනීමයි. පුරවැසියන් වන අප දේශපාලකයන්ට වඩා ඉදිරියෙන් සිටිය යුතු ය.

නායකයන් නිර්මානය වන්නේ පවත්නා සංදර්භයන් තුළයි. ඒ තත්වයන් නිර්මානය වන්නේ රටේ පවතින තත්වය අනුවයි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ වැනි ප්‍රතිගාමියකුට ඡන්දය දෙන්නට ලක්ෂ 58ක ජනතාවක් මේ රටේ සිටි බව අපි අමතක නො කළ යුතු ය.

දැන් අප කළ යුතුව තිබෙන්නේ මේ ප්‍රතිගාමිත්වය තීරණාත්මක ලෙස පරාජය කිරීම මිස මෛත්‍රීපාලට බැන අඬගැසීම නො වේ.

කණගාටුවෙන් වුවත් කිව යුතු කාරණාවක් ද තිබේ. එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රශ්නයේදී පුරවැසි බලයට වඩා පරිණත හා දේශපාලනික අන්දමින් ක්‍රියා කරයි.

මෙතැන් සිට ඔහු කළ යුත්තේ කුමක් ද යන්න ගැන සංවාදයක් ආරම්භ කළ යුතු ය.

ඔහු ශ්‍රීලනිප නායකත්වය අතහැර දමා පක්ෂය දූෂිතයන්ට ම භාර දී ස්වාධීන විය යුතු ද?

නැතිනම් ශ්‍රීලනිප නායකත්වයේ දිගට ම රැඳෙමින් දූෂිතයන් පරාජය කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින ව්‍යාපාරය තනිව හෝ ගෙන යා යුතු ද?

-http://www.w3lanka.com/2015/07/blog-post_11.html

බාප්පගෙ කතන්දර

bluefox නරියා ලබු ඇටේ හිටෙව්වෙ ලිප් බොක්කෙ. ඌ ඒකට වතුර දැම්මෙ නෑ. චූ කළා විතරයි. ඉතිං යූරියා ගතියටයි, ලිපේ තිබ්බ අළු වලටයි, ඒ ලබු ඇටේ හොඳ සරුවට වැවිලා මහ බර සාර වැලක් හැදුනා. නරියා ඒ ලබු වැල දිගේ උඩට නැගලා යෝධයෙක්ගෙ මාළිගාවකට ගියා. “එතන උගෙ ආච්චි හිටියා...!” (බාප්පගෙ කතාව අහගෙන ඉඳලා ඉඳලා බැරිම තැන පුංචි මැද්දට පැන්නා.)
(ඔන්න ඔහොමයි කලින් කතාව නතර උනේ...
අද එතැන් සිට.
කලින් කොටස් දැකපු නැති උදවියට ලිංක් එක පහළින්.)

1. කොටස 
2. කොටස

බාප්පත් නැවැත්තුවෙ නෑ කතාව. පුංචි‍ගෙ කමෙන්ට් එකෙන්ම ආයෙ පටං ගත්තා. ඒ මාළිගාවෙ උගෙ ආච්චි හිටියා. නරියා ඒ ආච්චිව එළවලා දාලා, ආච්චිගෙ ඇඳුම් ඇඳගෙන නිදන කාමරේට වෙලා හිටියා රතු හැට්ටකාරි එනකල්. ඒ වුනාට ආවෙ යෝධයා. නරියෙක් ගෑණු ඇඳුම් ඇඳගෙන ඉන්නවා දැකලා, ඌට පිස්සු කියලා හිතලා, යෝධයා ඌට ගහල එළෙව්වා. නරියා මාළිගාවෙන් එළියට දුවද්දි නිල් සායම් බාල්දියකට වැටුණා.
නරියගෙ මුළු ඇඟම නිල්පාට උනා. ඌ ඒපාර ආපහු කැළේට ගිහිං සත්තුන්ට කිව්වා මාව එව්වෙ විෂ්ණු දෙයියො කියලා. මේ කැළේ ඉන්න අහිංසක සත්තු මරාගෙන කන කොටියව එළවලා දාන්න මාව එව්වෙ කිව්වා. සත්තු ටික මේ නිල් නරියව තමන්ගෙ රජකමට පත් කර ගත්තා. නරියා කැළේ හැම වැදගත් වැඩකටම දාගත්තෙ නරි. සේනාපති කමට විතරක් වයසක පහේ කළවැද්දෙක්ව වළහෙක්ව දාගත්තා. මේ වළහා ගිහිං අර කොටියව මරළා දැම්මා.

ඒ ගමන නිල් නරියයි අනිත් නරියි කියන්න ගත්තා අන්න විෂ්ණු දෙයියො එවපු අපේ මහරජතුමා ගෙ නායකත්වයෙන් කොටියව මරලා දැම්මයි කියලා. දවසක් නිල් නරියා හොඳටම බීලා, තමන්ගෙ අතවැසි උෟරෙකුට තමන්ගෙ බල පරාක්‍රමය පෙන්නන්න හිතා ගත්තා. නරියයි ඌරයි යන පාරෙ හම්බවෙච්ච හැම එකාගෙන්ම අහන්න ගත්තා මේ කැළේ මහරජා කවුද කියලා. ඉස්සෙල්ලම හම්බුනේ කටහැකර උරුලෑවෙක්. උගෙන් නරියා ඇහුවා, "ඈ බොල... කවුද මේ කැළේ මහරජා?" "ඔබ තුමා, ඔබතුමා..."උරුලෑවා ‍පාරෙං ෂේප් උනා.
ඊළඟට හංසයෙකුයි අලියෙකුයි එකට හම්බුනා. නරියා උංගෙනුත් අර ප්‍රශ්නෙම ඇහුවා. "ඔබතුමා අපිට රජෙක්...!!!" කියන්න හංසයා කට අරිද්දිම, අලියා නරියව හොඬවැලෙන් උස්සලා වීසි කොළා. හංසයා ක‍ැළේ රජ උනා. අලියා මහ ඇමති උනා. කළවැද්දට නාකි වළහට වෙල්විදානෙ කම දුන්නා. නිල් නරියා ඇරෙන්න අනිත් නරි සෙට්එකටයි උරුලෑවටයි ඇමතිකම් උප ඇමතිකම් දුන්නා. රජකම බැරිනං මට ඇමතිකම හරි දියව්. ඒත් බැරි නං රජවාස‍ලේ සේවක කමක් හරි දියව් කිය කියා නිල් නරියා හූ කියන්න ගත්තා. කැළේ හිටිය අනිත් සත්තු ටිකට නරියන්ව කොච්චර එපා උනාද කියතොත්, උං නරි එකෙක් නොතියා කැළෙන් එළවලා දැම්මා.
ඔය අතරෙ මහඇමති අලිය හම්බවෙන්න අන්ධයො සෙට් එකක් ආවා. උං එක එකා අලියව අතගාලා බලලා අලියා මේ වගෙයි, නෑ අලියා මේ වගෙයි කියන්න ගත්තා. අලි කකුල් අතගාපු එකෙක් කිව්වා වංගෙඩියක් වගෙයි කියලා. අලියගෙ කණ අතගාලා තව‍ එකෙක් කිව්වා කුල්ලක් වගෙයි කියලා. තව එකෙක් උගෙ වලිගෙ අල්ලලා කිව්වා කොස්සක් වගෙයි කියලා. තව ත් අන්ධයෙක් උගෙ බඩ හරිය අල්ලලා කිව්වා බැරල් එකක් වගෙයි කියලා, අලියා හෙල්ලක් වගේනෙ, දළ දෙක අහුවෙච්ච අන්ධයෙක් කිව්වා. නෑ මූ ලොකු වතුර බටයක් වගෙයි කිව්වා තව එකෙක්, උගෙ හොඬවැල අල්ලගෙන.

blindmenandelephantඊටපස්සෙ ඔය අන්ධයො ටික කැඳහැලියක් උයන්න පටන් ගත්තා. ලොකු වතුර මුට්ටියක් ලිපේ තියලා, ඒකට එක එකා හාල් මිට ගානෙ දාන්න පොරොන්දු වුනා. මුට්ටිය හොඳට නටාගෙන එද්දි, අන්ධයො ටික හාල් දාන්න අතපත ගගා ගිහිං, මුට්ටියෙ හැප්පිලා මුට්ටිය පෙරළිලා බිඳුනා. අන්ධයො ටික උණු වතුරට හොඳටම පිච්චුනා.
ඔය අතරෙ රයිගමයා ගම්මිරිස් කොළ වගයක් කදක පුරවාගෙන වෙළඳාමෙ ගියා ගම්පොළ දිහාවට. ගම්පොළයා කිතුල් ඇට වගයක් කදක පුරවාගෙන රයිගම දිහාට වෙළඳාමෙ ගියා. ඉතිරි කොටස ළඟදීම...

-http://drackey.blogspot.co.uk/2015/07/3.html

ජවිපෙ උප සංස්කෘතිය හා සංස්කෘතික මිනිසා

kakkuttaපසුගියදා පැවැත්වුණු පුවත්පත් සාකච්ඡාවකදී ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ තමන් නායකත්වය දුන් පක්ෂය හඳුන්වා දී තිබුණේ කිසි දිනෙක බලය ගැනීමට ඉඩ නො දිය යුතු පක්ෂ දෙකෙන් එකක් ලෙසයි. ඔහුට අනුව අනෙක් පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි.
 
Read more...

මෛත්‍රීයි- ආර් ඒ සිරිසේනගෙයි ඩබොල් ගේම් එක Double game of the Double My3 and Dummy RA Sirisena

r a sirisenaමෛත්‍රීව හංගගෙන
ආර් ඒ සිරිසේන ටෙලිෆෝන්වලට උත්තර දෙන්න එවනවද ,
මීටිංවලට එවනවද මන්ද ;
මේ වෙන වැඩ වල හැටියට.!
අපි ඔක්කොම අන්ද මන්ද වික්ශිප්ත වී අඤ්ඤකොරොස් වී චකබ්ලාස් වී අබසරනවී ඇත.
හිටපු ජනපතිගේ ප්‍රචාරක මැෂිම හෝ හෝ ගාල වැඩ
දුන්නා
දුන්නා
හැන්දෑවට දෙනවා,
පලුවක් මහින්දට
හෙට දෙනවා,
දුන්නා දුන්නා,
අත නැත්නම් බුලත් කොලෙන්
Read more...

අඳුරු යුගයක ඇවිළෙන මතක…

anduru yugayaසමාව….!!!!!
සමාව ඉල්ලන්නෙ දැන්ද?
 
අනික ඉල්ලන්නත් කළින්මනෙ මම නම් සමාව දුන්නෙ… බයේ ගැහි ගැහී උන්නු කාලය, අනුන්ගෙ ගෙවල්වල නිදාගත්තු කාලය, කැලෑවල රෑ ගත කරපු කාලය මේ හැමදෙයක්ම අමතක කරල සමාව දුන්නෙ බොහොම ඉස්සරින්… එහෙම සමාව දීලා කුළුඳුල් ඡන්දෙත් දෙන්න හිතන් උන්නෙ උන්දැලටමනෙ. ඒ කුළුඳුල් කතිරෙ වයඹ මහා ඡන්ද මංකොල්ලෙට අහුවෙලා සුන්නත්දූලි වෙලා ගිය එක වෙනම කතාවක්…
 
Read more...

 

 

නෙළුම් යාය සහෘද සමුහය