26 June 2017
RSS Facebook Twitter   

ඇයි අපි කළුද ?......ඔබේ වටිනා චන්දය නිවැරදිව පාවිච්චි කරන්න

z496ගේට්ටුවට කව්දෝ ගසනවා ඇසුනෙන්, ඒ දෙසට ඇදුනු ඔහුට හිතේ යම් චකිතයක් විය . කාලයකට ඉහත මෙසේම ගේට්ටුවට ගසා ඇතුළුවූ නෝන්ජල් තරුණයෙකුට වූ හදිය ඔහු සිත තවම කම්පනය කළේය ...

මමත් ඒ වුනු දෙයට වග කියන්න ඕනෑ වරෙක ඔහු හිත කීවේය .. නමුත් සන්ධානේ ලේකම් තුමා මෙන්, " වග වෙන්නම්... ඒත් වග කියන්න ඕනේ නෑ " කියා ඒ හැඟීම ටිකක් තුනී කර ගත්තේය . අතීතය ගැන සිතා වැඩක් නැත , දැන් ඔහු ඒ රස්සාවට තිත තියා අවසන්ය ..

මේවා ගැන හිතමින් නොදැනීම ගේට්ටුව ළඟටම විත්ය .. ගේට්ටුවෙන් එපිට කවුරුත් පෙනෙන්නට නැත . "හොල්මනක් වත් ද ?... " සිතේ ඇතිවූ සිතිවිල්ල එසැනින් "පිස්සු මනස්ගාත ...." කියා බැහැර කළේය .

"කව්ද ගෙදර " එහා පැත්තෙන් කටහඬක් ඇසේ ....

ඔහු ගේට්ටුව විවර කළේය .. අඩි 4 කට නොවැඩි උසැති , දැකුම් කලු පැහැති හාදයෙක් , දත් ඇන්දම පෙන්වා සිනාසෙමින් සිටිනෙන්ය ..

"ඔව් ????"

"මේ අර පෝස්ටර් අඳින ..."

"ඔව් ඔව් එන්න ඇතුලට "
තරුණයා ඔහු පසුපසින්ම ගොස් වැඩ කාමරයට ඇතුළු විය . කාමරයේ බිත්ති පුරා එක එක දේශපාලන පක්ෂ වලින් ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ පෝස්ටරය . ඔහු දිගු හුස්මක් ගත්තේය

"හම්මේ දැනෙන දේශපාලන සුවඳ "

" නෑ නෑ මම හිතන්නේ අර පාප්ප බාල්දිය පල් වෙලා, දැන් මොකද මේ ..පෝස්ටරයක් ඇඳ ගන්නද ?

"අනේ ඔව් මම මේ සැරේ ඉල්ලනවා . ඉතින් පෝස්ටරයක් ඇඳ ගන්න ඕනේ . කට්ටිය කිව්වා හිතට වදින එකක් ඇඳ ගන්න නම් මෙහෙටම එන්න කියලා ."

"හරි හරි ඉතින් මොන වගේ එකක්ද හිතේ තියෙන්නේ "

"හිතන් ආවේ නම් අප්පච්චි එක්ක කියලා ඔය මොකක් හරි එකක් තමා "

අයියෝ එක නම් හරියන්නේ දැන් අප්පච්චි එක්ක නැගිටපු තැන ඉඳන් , මුණ හෝදලා, දත් මැදලා ..නිදියන කම් ම ඔක්කොම එක එක්කෙනා පෝස්ටර් වල ගහලා . ඉතුරු වෙලා තියෙන්නේ ටොයිලට් යන එකයි , තව එකකුයි විතරයි ..

ඒකත් එහෙමද , එහෙනම් යහ පාලන මොකක් හරි එකක් ...?

ඒකත් ටිකක් කේස් , යහපාලනයේ නියමුවෝ , කොන්දොස්තරලත් හැම තැනම . එහෙම නෙමෙයි අලුත් විදියට මොකක් හරි කරමු

එහෙනම් දුප්පතාගේ හිතවතා ?

ගැහුවා

එහෙනම් නිකන් මොකෙක් හරි හොඳ සතෙක් එක්ක නිකන් , පළාතේ සිංහයා , හස්ති රාජයා , පිවිතුරු හංසයා ..

හොඳ සත්තුත් ඉවරයි මල්ලි , ඔක්කොම ඉන්නේ නිකන් නරි , ගල් ඉබ්බෝ , ගොළු බෙල්ලෝ, ඇටි කුකුලෝ වගේ එවුන් තමා

හරි එහෙනම් මාස්ටර්ම කියන්නකෝ

කොන්ඩේ පොඩ්ඩක් ඩයි කරලා ගත්තානම් , ඔය තාරුණ්‍යයේ මොකක් හරි කියලා ගහන්න තිබ්බා

ඒ වුනාට අයියේ , මට බඳින වයසේ ළමයි ඉන්නවා

ඒකට කාරියක් නෑ ...

එහෙම නෙමෙයි, නිකන් ඔබේ චන්දයට වැඩි වටිනාකමක් වගේ එකක්

මල්ලි කීයක් දෙනවද චන්දෙකට ?

ඒ කිව්වේ ?

ඔහොම ගහනවා නම් දෙන ගාණත් ගහන්න ඕනේ ... එක චන්දෙකට හැට හැත්තෑ දාහ වියදම් කරන කට්ටිය ඉන්නවා ... වැඩි වටිනාකමක් නම් ඊට වැඩියෙන් දෙන්න ඕනේ

අයියෝ , අපි මේ පලවෙනි සැරේට නේ ඉල්ලන්නේ , එහෙම වත්කමක් නෑ . මේ ළමයි දෙන්නා දීග දෙන්න විදයක් නැතුව දහ අතේ කල්පනා කර කර හිටියේ ... කොරියාවට වත් යන්න කියලා ඉන්න කොට එකෙක්නෙක් කිව්වේ , ඊට වඩා හොඳ වැඩක් තියෙනවා කියලා ...අවුරුද්දක් දෙකක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා කීයක් හරි එකතු කරන් කෙල්ලෝ දෙන්නට දැවැද්දට කීයක් හරි එකතු කර ගන්න මම මේ හදන්නේ ....

ඒකත් එහෙමද ?

අයියේ නිකන් "ප්‍රතිපත්ති ගරුක දේශපාලනය" වගේ එකක් ගහමුද

පිස්සුද ඕයි , මේවා ප්‍රසිද්ධ ස්ථාන වල ගහනවනේ , කුණුහරුප ගහන්න බෑ .....වෙන මොකක් හරි බලමු .... මේ තියෙන්නේ මගේ ඉතිරි වෙලා තියෙන කොන්සේප්ට්ස් ..කොහොමද මේවා..."සද්දේ විතරයි ගඳ නෑ " එහෙම නැත්නම් "මෙන්න හඬ දෙන්න ඉඩ "

ඒවා නිකන් ... වෙන එකක් බලමුද .. නිකන් නියම පොදු ජනතා නියෝජිතයෙක් වගේ දැනෙන්න එකක්

එහෙනම් " බජාර් එකේ කකුලක් " එහෙම නැත්නම් "බොක්කෙන්ම සේවයට "

හොඳයි .... ඒත් නිකන් ඇඟට දැනෙන්නේ නෑ වගේ

එහෙනම් .. ඔහේ ගේ ශරීර ලක්ෂණත් බලලා ... "උස නැති උනාට වැඩ කෝටියක් "

අයියේ ඔය එක එකා කතා කිව්වට , නඩු දැම්මට එකක් වත් ඔප්පු වෙලා නෑ

ඈ ?

අපි ඕනේ නම් මෙහෙම ගහමු ... "බී වාර්තා පමණි , අධි චෝදනා පත්‍ර කිසිත් නැති "

මම දැනන් හිටියේ නෑ තමුසේගේ එහෙම ලයින් එකක් තියෙනවා කියලා .. එහෙනම් අපි පෝස්ටරේ ගහන්න ඕනේ ඒ පැත්ත වැහෙන්න ...
එහෙමද ? එහෙනම් , "සත් ගුණවත්, සිල් වත් , ඕනේ නම් ග්‍රාමසේවකගෙන් අහන්න " නැත්නම් "වරදක් කලත් හිතකින් නොවේ "..?
පොඩ්ඩක් ඉන්නවා ඕයි විකාර කියවන්නේ නැතිව ... අපි ගහන්න ඕනේ නිකන් අහිංසක ආයාචනාවක් වගේ එකක්...මෙන්න මේවා බලනවා
" එතෙර වෙන්න සංසාරේ , දෙන්න මනාපයක් මේ වාරේ " නැත්නම් " සු... සු ... මේ ... මටත් එකක් "

හොඳයි ඒත් ...

මේ තියෙන්නේ ........තමුසෙට හරියටම ගැලපෙනවා ....

"ඇයි අපි කළුද ?".......අඩේ ඒක නම් මරේ මරු

http://pinchpoints.blogspot.co.uk/2015/07/blog-post_19.html

 

 

නෙළුම් යාය සහෘද සමුහය