19 August 2017
RSS Facebook Twitter   

ජීවිතේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමී

daya de alvis*ඔබ අතින් රචනා වූ රාම කුමරුනේ ගීතය මහත් ආන්දෝලනයකට තුඩුදුන් ගීතයක්. අපි එතැනින් කතාව පටන් ගනිමු.
 
මම ඉගෙන ගත්තේ මහනුවර අම්පිටියේ කාමල් හිල් කන්‍යාරාමයේ. එහිදී අපිට කියවන්න නියමවෙලා තිබුණේ ඉංගී්‍රසි පොත්පත් පමණයි. ඔය අතරේදී අපේ විදුහලට අලුතින් සිංහල ගුරුවරියක් පත්වෙලා ආවා. එතුමිය තමයි අපේ විද්‍යාලයේ පුස්තකාලයට සිංහල පොත් ගත්තේ.
එතකන් ඉංගී්‍රසි පොත් පමණක් පරිහරණය කරපු අපිට මේක ලොකු ආස්වාදයක් වුණා. අපි සිංහල පොත් ගෙදර අරගෙන ගිහින් කියෙව්වා. මම කියවපු එම සිංහල පොත් අතරේ ඉතා කුඩා ළිහිණි පොතක් තිබුණා. මට දැන් ඒ පොතේ නම මතක නැහැ. ඒ පොතේ රාම – රාවණා කතාව තිබුණා. හැබැයි ඒ කතාව මම එතෙක් දැනගෙන හිටිය රාම – සීතා කතන්දරය නෙවේ. එයට වෙනස් කතාවක් ඒකෙ තිබුණා. ඒ කතාවට අනුව සීතාව නැවැත රාම භාරත දේශයට රැගෙන ගියායින් පස්සේ රාවණ ගැන ඇය සිහි කරනවා. එපමණක් නොවේ. රාවණගේ රූපය ඇන්ද බුලත් කොළයක් ඇයගේ කොට්ටය යට ඇය තබාගෙන සිටිනවා. මෙයින් පෙනී යන්නේ රාවණ පිළිබඳ මතකය ඇයට ආස්වාදයක් වූ බවයි.ඒ වගේම රාවණට ඇය ගරු කළ බවයි. ඇත්තටම ඒක එහෙම වෙන්න ඕන කියල මමත් හිතනවා. මොකද සීතාගෙ පතිවත රැකගෙන ඉන්න පුළුවන් වුණේ රාවණ රජුගේ සහයෝගයෙන්. සීතාට විතරක් තනියෙන් පතිවත ආරක්ෂා කරගන්න බැහැනේ. මේ හේතුව නිසා වෙන්න ඇති ඇය රාවණගේ රූපය සහිත බුලත් කොළයක් තමන්ගේ කොට්ටය යට තියාගෙන හිටියේ මේ කාරණය මගේ හිත තදින් පැහැරගත්ත. රාවණ රජු සැබෑ ආදරවන්තයෙක් බව මට හැඟුණා. මොකද සැබෑ ආදරවන්තයෙක් කියන්නේ තමන්ගේ ප්‍රියම්බිකාව අනාථ කරල පැත්තකට දාන කෙනෙක් නෙවෙයිනේ. රාවණ රජුට ඕනකමක් තිබුණ නම් එය කරන්න බැරි කමක් තිබුණෙත් නැහැ.එහෙත් සීතාව නැවත රාම රැගෙන යනතුරු රාවණ ඇයගේ පතිවත ආරක්ෂා කළා. මේ සිද්ධිය තමයි මට මේ ගීතය ලියන්න මූලික වුණේ. එය ගීතයක් බවට පත්වීම පිටුපසද එක්තරා සිදුවීමක් තියෙනවා. අපට හිටපු ඉතාම දක්ෂ ගීත රචකයෙක් තමයි කේ. ඩී. කේ. ධර්මවර්ධන. ඔහු ඒ දවස්වල මාත් සමඟ එකට ගුවන් විදුලියේ වැඩ කළේ. ඔහු වින්සන්ට් ප්‍රේමසිරි ගායකයාණන්ට ගීතයක් රචනා කරනවා රාම – සීතා සිද්ධිය පදනම් කරගෙන.
 
“සීතාවනි ඔබ හැඩරුව ඇති බව -දිවිහිමියෙන් පතිදම් සුරකින බව” යනුවෙන් තමයි එම ගීතය ආරම්භ වෙන්නේ. ඔය ගීතය ප්‍රචාරය වනවිට මට නැවැත මං අර කියවපු රාම – සීතා කතන්දරය සිහිවෙනවා. ඒ පිළිබඳ මම එවකට අපිත් සමඟ සේවයේ යෙදුණු දයා තෙන්නකෝන්ට පැවැසුවා. දයා තෙන්නකෝන් යමක් දිහා අලුතින් බලන්න පුළුවන් කෙනෙක්. ඔහු මට කිව්ව කේ. ඩී. කේ. ගෙ ගීතයට පිළිතුරක් ලෙස එය ලියන්න කියලා. මම ඒ පදවැල ලියල මාලනි බුලත්සිංහලට දුන්නා. එච්. එම්. ජයවර්ධන සංගීතවත් කළා. ඉන්පසු එය ගුවන් විදුලිය හරහා ප්‍රචාරය වෙනකොට අපේ රටේ පිළිගත් කලාකාරියන් රාශියක් එම ගීතය හරහා රාම – සීතා කතාව විකෘති කර ඇති බවත් සීතා පිළිබඳ වැරැදි චිත්‍රයක් මවා ඇති බවත් ප්‍රකාශ කොට එම ගීතය ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස එවක ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වූ රිජ්වේ තිලකරත්න මහතාගෙන් ඉල්ලා සිටියා. මේ ආන්දෝලනය දිගින් දිගටම යනකොට එතුමාට මේ සම්බන්ධ පියවරක් නොගෙන සිටීමට බැරිවුණා. ඒ නිසා දවසක් මටත් කතා කරල එතුමාගේ කාමරේට මේ ගීතය ඉතා සුපරික්ෂාකාරීව ශ්‍රවණය කළා. ගීතය අහල ඉවර වුණාට පස්සේ එතුමා ඒ ගීතය ගැන හරියට සතුටු වුණා. එතුමා කිව්ව එහි කිසිදු වරදක් නැහැ කියලා. ඒ වගේම සාම්ප්‍රදායික කතාවට මගේ අතින් වෙලා තියෙන නව අර්ථකථනයටද එතුමා පැහැදුණා. ඒ නිසා නිල වශයෙන් එම ගීතය තහනමකට ලක් වුණේ නැහැ. නමුත් විරෝධකරුවන්ගේ දැඩි විරෝධය නිසා නොනිල වශයෙන් එම ගීතය ස්වයං වාරණයකට ලක්වුණා වගෙයි. ඒ නිසා මෙම ගීතය වැඩිය ප්‍රචාරය වුණේ නැහැ. ඔබ වැනි කිහිපදෙනකු හැරුණු විට මෙවැනි ගීතයක් මාලිනි බුලත්සිංහල ගායනා කරනවා කියාවත් එම ගීතය මගේ රචනයක් බව වත් දන්නේ නැහැ.
 
*ඔබගේ ගීත කිහිපයක්ම පිළිතුරු ගීත. ඒ වගේම එකම පුද්ගලයකු විසින් මුල් ගීතයත් එයට පිළිතුරු ගීතයත් රචනා වී ඇත්තේ ඔබ අතින් බවයි මගේ අදහස.
 
ඔබේ අදහස සමහර විට හරි ඇති. නමුත් මට ඒ ගැන එතරම් අවබෝධයක් නැහැ. ඔබ අදහස් කරන්නේ “සහසක් පැතුමන් ඉපදී මියගොස්” ගීතය හා “සහසක් පැතුමන් නැත මා පැතුවේ” ගීතය ගැන වෙන්න ඕන. මල්කාන්ති නන්දසිරිගේ පළමුවැනි සරල ගී වැඩසටහන සඳහා ගීතයක් ලියල දෙන ලෙස ඇය මගෙන් ඉල්ලා සිටියා. ඒ නිසා ඇයට මම “සහසක් පැතුමන්” ගීතය ලියලා දුන්නා. එම ගීතය ඉතාම ජනප්‍රිය වුණා. ඉන්පසු ඇය මගෙන් ඉල්ලා සිටියා එවැනි ගීතයක් සනත් නන්දසිරිගේ සරල ගී වැඩසටහනටද ලියල දෙන්න කියලා. මොකක්ද ලියන්නේ කියල හිත හිතා ඉන්නකොට මට හිතුණා මල්කාන්තිගේ ගීතයට පිළිතුරු ගීතයක් ලියවුණොත් හොඳයි කියලා. ඒ අනුව තමයි සනත් නන්දසිරි ගයන “සහසක් පැතුමන් නැත මා පැතුවේ” ගීතය ලියවුණේ. ඒ ගීතයත් ඉතාම ජනප්‍රිය වුණා. මේ ගීත අද පවා ඉඳහිට හෝ ඇහෙනකොට ඉතා රසවත් අතීතයකට මගේ හිත දිව යනවා.
 
*ඒ රසවත් අතීතයේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස “අකලට වට මහ වරුසාවක් සේ” ගීතය හැඳින්විය හැකියි නේද?
 
ඔව්. නිරංජලා සරෝජිනී ගයන ඔය ගීතය මටත්, නිරංජලාටත්, නන්දා මාලනීටත් ඉතා වටිනවා. මොකද ඔය ගීතයේ සම්පූර්ණ බරම දරාගෙන තියෙන්නේ කාන්තාවන් තුන් දෙනෙක්. එහෙත් එය එසේ වේ යැයි මම දැනගෙන හිටියේ නැහැ. මම ගීතය ලියල නිරංජලාට දුන්න. ඇය එය සංගීතවත් කරන්න නන්දා මාලනීට දීල. අවසානයේ ඉතා වටින ගීතයක් බිහිවුණා. අද පවා නිරංජලාගේ ගීත ගොන්න අතරේ “අකලට වට” ගීතය සන්ධිස්ථානයක් කියල බොහෝ දෙනා කියනවා.නිරංජලා සරෝජිනී ගයන “ළා සඳ එළියේ නාපෙති හැලිලා” ගීතය මෙන්ම අමරා රණතුංග ගයන “සපුමල් සුවඳක් සේ සීතල රෑ යාමේ” වැනි ගීත හරහා සියුම් මල් සුවඳක් ගලා යන බව මට හැඟෙනවා.ඔබගේ ප්‍රකාශය ගැන මට සතුටුයි. ගීතය කියන්නේ ඉතා සියුම් කලා මාධ්‍යයක්. එය ඉතා සුන්දර දෙයක්. ගීතය කියන්නේ හදවත සියුම් ලෙස ස්පර්ශ කරන රසභාවයන් මත බිහිවන දෙයක් මිස ගොරහැඩි ශබ්ද මත බිහිවන්නක් නොවේ. මගේ ගීත සාහිත්‍යය පුරාම දිවයන්නේ මා හා පරිසරය අතර තියෙන සබඳතාවයි. පරිසරයයි මගේ ජීවිතයයි කියන්නේ එකක් මිස දෙකක් නෙවේ. කුඩා කාලේ මම චිත්‍ර අඳින්න බොහෝම දක්ෂයි. මං ඇඳපු හැම චිත්‍රයකම වගේ තිබුණේ ගහ, කොළ, ඉර, හඳ වගේ සොබාදහම සම්බන්ධ වස්තූන්. එයින් මිදෙන්න මට අද බැහැ. ඒ නිසා මගේ ගීත බොහොමයක පාරිසරික විචිත්‍රත්වය සැඟවිලා තියෙනවා. සොබාදහම ඇසුරෙහි යම් නිර්මාණයක් කරනකොට එය මගේ හදවතට දැනෙනවා වැඩියි. මං හිතන්නේ ශ්‍රාවකයන්ටත් එහෙමයි. මොකද අපි හැම දෙනාම සොබා දහමේ දායාද. ඒ නිසා වෙන්න ඇති ඉහත ගීත දෙක හරහා සියුම් මල් සුවඳක් දැනෙන්නේ. ඉහත ගීත දෙකට අමතරව මා නීලා වික්‍රමසිංහට රචනා කරන ලද “හිරුට අයිති බව හිරු පවසනවා” ගීතයද රොහාන් ශාන්ත බුලේගොඩට රචනා කරන ලද “සඳක් නම් බැස යන්න තිබුණා” ගීතයද අබේවර්ධන බාලසූරිය හා ඉන්ද්‍රානි බෝගොඩ ගයන “නොතැවෙන් සූරිය කාන්තා – නොහඬන් සූරියකාන්තා ගීතයද මාලිනී බුලත්සිංහල ගයන “පිනි බිඳු විසිරෙන සීතල හිමිදිරියේ” ගීතයද මා හා සොබා දහම අතර පවතින සබඳතාවන්හි ප්‍රතිඵලයි.
 
*ඔබගේ ගීත රචනා අතර “මට මතකයි ඔබ පිපිලා උන්නා” ගීතය වෙනස්ම ආකෘතියක බිහිවන්නක්.
 
මේ ගීතය ලියැවෙන්නේ වෙළෙඳ සේවයේ සරල ගී වැඩසටහනක් වෙනුවෙන්. වෙළෙඳ සේවයේ සරල ගීතවල ස්වදේශීය සේවයේ සරල ගීතවලට වඩා යම් සරල ගතියක් තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ගීතය ලියැවෙන්නේ. මේ ගීතය ලියන්නේ හෙක්ටර් සිල්වා හා පුණ්‍යා කත්‍රිආරච්චි වෙනුවෙන්. තනුව නිර්මාණය කරන්නෙත් හෙක්ටර් සිල්වා. මේ ගීතයේ පවා තියෙන්නෙ සොබාදහම හා මා අතර පවතින සම්බන්ධය.දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට” ගීතය ඔබටත් පුණ්‍යා කත්‍රිආරච්චිටත් ගෙන දුන් ආලෝකය ඉතා විශාලයි.ඔය ගීතය මා අතින් ලියැවෙන්නේ ක්‍ෂණයකින්. පුණ්‍යා මගෙන් ගීතයක් ඉල්ලුව. එය මම භාරගත්තාට කවදාවත් ලියවුණේ නැහැ. පුණ්‍යගේ සරල ගී වැඩසටහන කරන්න තියෙන අන්තිම දවස්වල ඇය මගෙන් ඒ පිළිබඳ විමසීමක් කළා. මට කරන්න දෙයක් නැතිව ගියා. මම භාරගත්ත වැඩේ කොහොම හරි කරන්න ඕන නිසා මම ඇස්දෙක වහගෙන ටිකක් වෙලා ඉඳලා ඒ පිළිබඳ සිතුවිල්ලක් ගොඩනඟා ගන්න හැදුවට එය නියමාකාර ලෙස ගොනු වුණේ නැහැ. ඉන්පසු යළිත් ඇස්දෙක වහලා අත ඔළුවට තියන් කල්පනා කර කර ඉඳල ඇස් දෙක අරිනකොටම “දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට” කියන පදවැල ක්‍ෂණයකින් මගේ හිතට ආවා. ඒ මත ඉතුරු පද පේළි ටික ක්‍ෂණයෙන් ලියවුණා. ගුණදාස කපුගේ විසින් නිර්මාණය කරන ලද තනුවද පුණ්‍යාගේ හැඟුම්බර ගායනයද මගේ පදවැලට ලොකු සාධාරණයක් ඉෂ්ට කළා.ඉන්ද්‍රානි බෝගොඩ ගයන “පෙම්කළ වරදට මට වධ දෙන්නේ” ගීතය මෙන්ම “මා හිස පිරිමැද නැවැත නොඑන්නට ඔබ වෙන්වී ගියදා” ගීතය තුළ ප්‍රේමයෙහි විවිධ පැතිකඩ ඔබ සාර්ථකව ගෙත්තම් කරනවා.”පෙම්කළ වරදට” ගීතය මගේ හිතවතෙක් මට පැවැසූ සිද්ධියක් පිළිබඳ රචනා වූවක් එය සත්‍ය සිද්ධියක්. නමුත් කෙසේ හෝ අවසානයේ ඒ ප්‍රේමය ජය ගන්නවා. ඔවුන්ගේ දරුවන් දැන් උසස් අධ්‍යාපනය සඳහා රටිනුත් පිටව ගිහින්. ඇයට තමන්ගේ සහෝදරයන්ට කටින් කියන්න බැරිදේ ගීතයෙන් සන්නිවේදනය වුණා. ඒ ගීතය නිසා ඔවුන්ගේ ප්‍රේමය ජයගත්ත කියන්න අමාරුයි. නමුත් එයත් යම් තරමක දුරකට හෝ ආධාර වෙන්න ඇති. ඔය ගීතය රචනා කළාට පසු එය මෙතරම් ජනප්‍රිය ගීතයක් වේයැයි මම හිතුවේ නැහැ. නමුත් නොසිතූ විදියට එය ජනප්‍රිය වුණා. තවමත් නිරතුරුවම වගෙ වාදනය වන ගීතයක් තමයි එම ගීතය. ඒ ගීතයටත් අකැමැති කිසි කෙනෙක් නැහැ. ඉන්ද්‍රානි බෝගොඩගේ ගීත ගැන මතකය තුළ මේ ගීතය කිසි දිනෙක කාටවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි “මා හිස පිරිමැද” ගීතය. එය ඉතාම හැඟුම්බර ගීතයක්. එම ගීතය ඉන්ද්‍රානි බෝගොඩගේ ජනප්‍රිය ගීත ගොන්න අතරෙහි සැඟවී ඇති ගීතයක්. මේ ගීත දෙකෙහිම සාර්ථකත්වයට ඉන්ද්‍රානි බෝගොඩගේ රසවත් ගායනයත් චන්ද්‍රදාස බෝගොඩගේ සංගීත රචනයත් එකහෙළා දායක වුණා. ඉන්ද්‍රානි බෝගොඩගේ හඬ කිසි කෙනකුට අනුකරණය කරන්න පුළුවන් හඬක් නොවේ. ඒ නිසා ඇයගේ ගීත රසවත්ව ගයන්න පුළුවන් ඇයටම පමණයි. මේ ගීත දෙකත් එයට හොඳ උදාහරණ දෙකක්.
 
*නිර්මලා රණතුංග ගයන “මහා මෙරක් සේ ඔබ ගැන සිතුවෙමි”, “මගේ හිත ගැන ඔබ පමණි දන්නේ” යන ගීත තුළ ප්‍රේමවන්තියකගේ හදවත ඔබ හඳුනා ගන්නවා.
 
ඔය ගීත තුළ තිබෙන අදහස් කාන්තාවක්, පෙම්වතියක් වශයෙන් අප හැම දෙනාටම පොදුයි. එවැනි සිතුවිලි ජීවිතයේ කොයි මොහොතක හෝ අපට දැනෙනවා. සමහර විට ඒ වෙනකොට අපි ප්‍රමාදවෙලා වැඩියි. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. අපිට ප්‍රායෝගිකව කරගන්න බැරි බොහෝ දේ පිළිබඳ අපි සංවාද කරන්නේ හිත සමඟ හදවත සමඟ පමණයි අපිට බොහෝ වෙලාවට ගනුදෙනු කරන්න වෙන්නේ. ඒ නිසා ඒ බොහෝ දේ අපේ හදවත ඇසුරෙහි බිහිවෙලා, වර්ධනය වෙලා, නැතිවෙලා යනවා. එවැනි සිතුවිලි සමුදායක් හරහා තමයි එම ගීත මා අතින් ලියැවුණේ. ඉන්ද්‍රානි සේනාරත්නගේ “තනිවුණ සිතුවිලි ගිනි ඇවිළි – සුසුම් ගොඩක දැවෙනා දිනයේ” ගීතයද මා අතින් ලියැවුණේ එවැනි පසුබිමක. නන්දාපතිරණ ගයන “යළි උපදින්නම් අලුත් කෙනකු වී” ගීතයද තවත් එවැනි ගීතයකි. රූපා ඉන්දුමතී ගයන “මගේ පුතු හරි හපනා” ගීතයද මවකගේ සිතුවිලි දාමයන් හරහා මා අතින් ලියැවුණ තවත් ජනප්‍රිය ගීතයක්.
 
*ඔබගේ අතිශය ජනප්‍රිය රචනා බොහෝ විට ගායනා කරන්නේ ගායිකාවන්. එයට හේතුව කුමක්ද?
 
මගේ පළමු ගීතය රචනා වන්නේ ගායිකාවකට නොවේ. ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගායකයා හට “කඳුළු අතරට සිනහ රැලිවෙමි” ගීතය මම ඔහුට ලියලා දෙනකොට මට ගීත ලියන්න පුළුවන් බව දැනගෙන හිටියේ නැහැ. ඔහුගේ දැඩි ඉල්ලීමට තමයි මම එය ලිව්වේ. කිහිප සැරයක්ම ඔහුගේ ඉල්ලීම මම ප්‍රතික්ෂේප කරද්දීත් ඔහු දිගටම මාව උනන්දු කෙරුවා. ඒ නිසා මම ඔහුව ඉතා කෘතවේදීව මතක් කරනවා. මේ ගීතයේ තනුවත් මිල්ටන් පෙරේරාගෙමයි. ඔහු තමන් ගයන ගීත දෙකකට පමණයි තනු නිර්මාණය කරල තියෙන්නේ. ඉන් එක් ගීතයක් තමයි “කඳුළු අතරට” ගීතය. ඒ ගීතයත් බොහෝ ශ්‍රාවක පිරිස් ආදරයෙන් වැලඳ ගත්තා. එයට අමතරව වික්ටර් රත්නායක, අබේවර්ධන බාලසූරිය, රෝහණ බෝගොඩ, බන්ධුල විජේවීර වැනි ගායක පරපුරකට මා ගීත ලියා තිබෙනවා. ප්‍රියා සූරියසේන ගයන “ආපසු එනවා මගෙ හිත ඉබිගමනේ” ගීතයද සිසිර සේනාරත්න ගයන “අහසේ අෑතට පාවී යනවා – සරුංගලේ” ගීතයද ගායකයන් ගැයූ ජනප්‍රිය ගීත අතර දකින්න පුළුවන්.රෝහණ බෝගොඩ විසින් ගයන “නෙතින් නෙත බලාලා” ගීතය ඔබ රචනා කරන්නේ ස්ටැන්ලි පීරිස්ගේ තනුවට.තනුවට මම ගීතයක් ලියූ පළමු අවස්ථාව එයයි. ඒ සම්බන්ධව තවත් කතාවක් තියෙනවා. රෝහණ බෝගොඩ ඔය තනුව පළමුව දීල තියෙන්නේ ප්‍රේම්ට (ප්‍රේමකීර්ති ද අල්විස්) ඔහු එම තනුවට රෝහණ බෝගොඩට ගීතයක් රචනා කරල දීල තියෙනවා. නමුත් බෝගොඩට අවශ්‍ය වෙලා තියෙනවා එම පද පෙළෙහි යම් තැනක සුළු සංශෝධනයක් කරගන්න. නමුත් ඒකට ප්‍රේම් කැමැතිවෙලා නැහැ. ඔහු කිව්වලු ලියල තියෙන විදියටම කියන්න ඕන කියලා. ඉන්පසු බෝගොඩ කිව්වලු එහෙනම් මම වෙන කෙනකුට කියල අලුතින් ලියව ගන්නම් කියලා. ප්‍රේම් ඒකට හා කිව්වලු. ඒ කිසිදෙයක් මට කියන්නේ නැතිව රෝහණ බෝගොඩ මට තනුව දීල පදපෙළ ලියල දෙන්න කිව්ව. මං එතකොට තනුවකට ගී පද ලියල තිබුණේ නැහැ. කොහොම හරි මගේ අතින් ලියවුණු පදපෙළ රෝහණ ගායනා කළා. එය අතිශය ජනප්‍රිය වුණා. ඉන් පස්සේ තමයි ප්‍රේම් දැනගත්තෙත් ඒක රචනා කළේ මම කියල. හැබැයි ප්‍රේම් මුලින් ගීතයක් ලියපු බව දන්නවනම් මම කවදාවත්ම ඒ ගීතය ලියන්නේ නැහැ.
 
*අතීතය පිළිබඳ පසු විපරමකදී ඔබට ඔබ ගැන හිතෙන්නේ කුමක්ද?
 
මා ලියපු ගීත බස් රථයක හෝ වෙනත් ස්ථානයකදී වාදනය වෙනව ඇහෙනකොට මට වචනයෙන් විස්තර කරන්න බැරි තරම් මොකක්දෝ අමුතු හැඟීමක් දැනෙනවා. අපෙනුත් යමක් ගීත ක්‍ෂේත්‍රයට වගේම සමාජයටද සිදුවුණා නේද? කියන හැඟීම ඇති වෙනවා. මගේ ජීවිතේ තේමාව තමයි කඳුළු අතරට සිනා රැල්ලක් වන අතරම කෙනකුගේ විඩාවට සෙවණක් වීම. එදත් අපි අපේ නිර්මාණ හරහා අනවශ්‍ය ලෙස ඉස්මතු වීමට උත්සාහ කළේ නැහැ. අදත් එහෙම නැහැ. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අපි වැඩකරන කාලේ අපේ සහෝදර සහෝදරියන් රැසක් නිර්මාණකරණයට එළැඹුණා. ඒ හැම දෙනා අතරෙම තිබුණේ බොහොම සුහද හිතවත්කමක්. එක්කෙනෙක් පරයා තව කෙනෙක් නැඟෙන්න උත්සාහ කළේ නැහැ. ඒ වගේම තමයි නිවේදිකාවන්, නිෂ්පාදිකාවන් වශයෙන් අපි ගීතවලට දුන් හැඳින්වීම් ඒ ගීත ජනතාව අතර ජනප්‍රිය වෙන්න අනිවාර්යයෙන්ම උදවු වුණා. අද වගේ එක ගීතයක් ඉවරවෙනකොට කිසිදු හැඳින්වීමක් නැතිව තව ගීතයක් ප්‍රචාරය කළේ නැහැ. එවැනි හැඳින්වීමක් නොමැති නිසා ගීත ඇහෙනවා මිසක් රසවින්දනයට මිනිස්සු යොමු වෙන්නේ නැහැ. ඒ කාලෙ අපි ගීතවලට දුන් හැඳින්වීම් ගීත වගේම වටිනාකමින් යුක්ත වුණා. එහෙම බලනකොට අපේ අතීතය ඉතා රසවත්. වැදගත්. ඒ ආත්මතෘප්තිය හදවතින් තුරුලු කරගෙන අනාගතය දිහා බලා ඉන්නවා.
 
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
01.මහා මෙරක් ලෙස
 
මහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ…
මහා සයුර ලෙස මා හිතුවේ
පෙණ බුබුලක් සේ ඔබ දුටු දේ
විසල් දෙරණ ලෙස මා දුටු දේ
පිනි කඳුළක් මෙනි ඔබ හිතුවේ…
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ…
සඳ මඬලක් සේ මා දුටු දේ
ගිනි පුපුරක් මෙනි ඔබ දුටුවේ
ජීවිතය ම ලෙස මා පැතු දේ
එක් මොහොතක් විය ඔබ හමුවේ…
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ…
 
ගීත සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : වික්ටර් රත්නායක
ගායනය :නිර්මලා රණතුංග
 
02.යළි උපදින්නම්
 
යළි උපදින්නම් අලුත් කෙනෙකු වී
නැවුම් ලොවක නව හිරු සඳු සෙවනේ
ඔබේ සෙනෙහසේ සුවය ලබා
සුවය ලබා…
අමතක කර දා පසුකළ මංපෙත
මා සිත සැනසේ පවන් රොදක් වී
ඔබේ දයාබර නෙතු කැල්මේ
නෙතු කැල්මේ…
යළි උපතක් දුන් සෙනෙහේ නාමෙන්
දෙපා සිඹින්නම් මෙලෙසින් මතු දා
දෙවියෙකි ඔබ මේ මහපොළොවේ
මහ පොළොවේ…
 
ගීත සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : නන්දා පතිරණ
 
03.නෙතින් නෙත බලාලා
 
නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු මියේ වී අපේ ඒ කතා…
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා
ඈත් බව දැනී ලා ඔබේ හා මගේ
දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ….
මහා සාගරේ සේ තිබුණත් හිතේ
කුමට හිමි වුණා දෝ නොහිමි ආදරේ……
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා…
පතන්නට පවා මා වරම් අහිමි වූ
හැඟීමක් රිදුම් දේ හෙට ට උරුම වූ…
දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතූ
මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ…
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස්
ගායනය : රෝහණ බෝගොඩ
 
04.අකලට වට මහ වරුසාවක් සේ
 
අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයි දෝ යළි ආවේ…
පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
සතුටු කඳුළු නුවනග මිදුණා දෝ
අතීත ආදර නටබුන් අතරේ
මන්දිර මැව්වා දෝ…
සොවක් නැතේ නොසිතනු මැන සංකා
ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
සතුටයි කිරුළ අපේ…
හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
ඔබේ ඇරයුම පිළිගන්න හිතක් නෑ
විමසන වදනට පිළිතුරු දෙන්නම්
ළඟක දි ලබන දිනේ…
 
ගී සංකල්පනාව: දයා ද අල්විස්
තනුව සහ සංගීතය: නන්දා මාලිනී
ගායනය: නිරංජලා සරෝජිනී
 
05.සපු මල් සුවඳක් සේ
 
සපු මල් සුවඳක් සේ සීතල රෑ යාමේ
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවකු නෑ දුටුවේ…
සපු මල් සුවඳක් සේ …
හැන්දෑ වලාකුළේ අටවක හඳ මඬලේ
මේ හැම තැන ඔබ සැඟවී සිටියා
මා පමණයි දුටුවේ…
සපු මල් සුවඳක් සේ …
ලොව නිදි අඳුරු පැයේ සීපදයක් වැන්නේ
සවනත සනහා මා ළඟ උන්නා
රැය පමණයි දුටුවේ…
සපු මල් සුවඳක් සේ …
සපු මල් සුවඳක් සේ යළි නෑ හැර යන්නේ
මහමෙර ලෙස ඔබ නොසැලී සිටියා
ඇයි මුළු ලොව දුටුවේ…
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : දයාරත්න රණතුංග
ගායනය : අමරා රණතුංග
 
06.හිරු ට අයිති බව
 
හිරු ට අයිති බව හිරු පවසනවා
විල ට අයිති බව විල පවසනවා
බිඟු ට අයිති බව බිඟු පවසනවා
නුඹ කාට ද හිමි නෙළුම් මලේ…
හිරු ආවා ම ලු ඔබ පිබිදෙන්නේ
විල හින්දා ම ලු ජීවත් වන්නේ
බිඟු ට ලු මධු මී පුරවා දෙන්නේ
නෙළුමේ කාට ද සෙනෙහෙ පුදන්නේ…
හිරු ළඟ අහසේ රුවට පිපීයන්
විල් දිය තුළ සැඟැ වී සැනැහීයන්
ආදරයක් නැති මිනිසෙකු දෑතට
නෙළුමේ නුඹ හසුවන්න එපා…
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : නීලා වික්‍රමසිංහ
 
07.නොතැවෙන් සූරියකාන්තා
 
නොතැවෙන් සූරියකාන්තා
සූරියකාන්තා
නොහඬන් සූරියකාන්තා
සූරියකාන්තා…
සූරිය නාමෙන් නම ලදිමී
සූරිය වත මෙන් රුව ලදිමී
සූරිය පැහැයෙන් සළු ලදිමී
සූරිය කුමරුනි ඔබ පතමී…
නෙලුම් විලේ නැත ඔබෙ ලන්දූ
සුවඳ කුලේ නැත ඔබෙ ලන්දූ
කොපමණ තැවුනත් මල් ලන්දූ
මා නොවෙදෝ ඔබ දිනු ලන්දූ…
අහස පොළොව කෙදිනද හමුවන්නේ
මලකට හිමිකම් කෙලෙස පුදන්නේ
ලොව මෙහෙවර මගෙ උරුමය වන්නේ
මා එන පෙරමග බලා සිටින්නේ…
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : වික්ටර් රත්නායක
ගායනය : අබේවර්ධන බාලසූරිය සහ ඉන්ද්‍රානි බෝගොඩ
 
08.මගේ හිත ගැන
 
මගේ හිත ගැන ඔබ පමණි දන්නේ
ඔබේ හිත ගැන මා පමණි දන්නේ
මහා වරදක් වී ද මිනිසුන්නේ
කාට දෝ හිත් රිදුම් අපි දුන්නේ…
සදා කල් ඔබ අහස මෙනි මට
දරා ගමි දුක් මිහිමවුන් ලෙස
මහා මෙර මෙනි සොවින් නොසලිත
බලා උගනිමි හෙටත් එම ගුණ…
මගේ හිත ගැන ඔබ පමණි දන්නේ…
අතීතේ අප ලෙසින් සිටි අය
කලාතුරකින් හමු නොවෙද වෙන
එවන් හිත් දෙස බලමු දිනයෙක
අපේ හිත් දෙස බලන නෙත් ගෙන…
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : සනත් නන්දසිරි
ගායනය : නිර්මලා රණතුංග
 
09.සුසුමේ සුවඳක් වෙලා
 
සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා
වැරදී ලොවේ අප ආ නිසා
දෛවේ දුන්නෙ මේ වේදනා..
සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා…
නෑ වරම් ළංවී හිඳින්නට
ප්‍රාර්ථනා කෝ මෙදා
මේ මොහොත පමණී ලැබෙන්නේ
නාඬනූ ඒ නිසා…
මා නැති හෙට දා සුව දේ සැප වේ
නෑ මාගෙන් චෝදනා…
සුසුමේ සුවඳක් වෙලා
සිහිනේ නොපෙනී ගියා…
කාට දෝ දුන් වේදනා දෝ
ඈත සංසාරයේ
මා හඹාගෙන මේ ලෙස ආවේ
පාළු වී ජීවිතේ…
බෝ දුර එක් වී ආවට වෙන් වී
යා යුතුයි මේ ලෙසේ…
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස්
ගායනය : රෝහණ බෝගොඩ
 
10.රාම කුමරුනේ
 
රාම කුමරුනේ ඇත්ත කියන්නම්
ඔබ ළඟ නෑ මා පැතූ ආදරේ
රාවණ රජු මට සිහිවෙනවා
ලක් දෙරණේ සුව සිහිවෙනවා…
නම රළු වුවත් හදවත රළු නැහැ
ලැබුණා ඔබගෙන් සුවසහනේ
රාම කුමරුනේ ඇත්ත කියන්නම්
රාවණ ළඟ විය සැබෑ ආදරේ …..
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
ගායනය : මාලනි බුලත්සිංහල
තනුව සහ සංගීත නිර්මාණය : එච්. එම්. ජයවර්ධන
 
11. සවනට හුරු කළ
 
සවනට හුරු කළ රළු කිණිහිරි හඬ
මකා නැගෙයි පොඩි පුතුගෙ හිනා හඬ…
දුක සැප සම ලෙස එකට බෙදාගෙන
මට දිරි දෙන මගෙ ආදරියේ
මා පුතු මේ රළු කම්මල මැද්දෙන්
උගතෙකු කළ යුතු අනාගතේ…
සොඳුර ඔබට කිසි සැපතක් දෙන්නට
තව බැරි විය එය තවත් දුකකි මට
යකඩ ගොඩක් මැද මා දිවි ගෙව්වද
හඳුනන්නිය ඔබ මසිත මලක් බව
ඔබෙයි මගෙයි මගෙ පුතුගෙයි ජීවය
යකඩ ගොඩක් මතම යි රැඳුණේ
මා විඳිනා දුක වැටහෙනවා නම්
යකඩ ගොඩ ම උණුවෙයි ළඳුනේ…
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව, සංගීත නිර්මාණය සහ ගායනය : නිමල් ගුණසේකර
 
12.ආපසු එනවා
 
ආපසු එනවා මගෙ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා කාට කියම් දෝ
කෙලෙස කියන්න ද මං
අප සිත් හඬන තරම්…
ඔබ නැවතුන තැන මගෙ හිත ඔබෙ ළග
වෙනතක නැතේ ලැගුම්…
කවුරු දකින්න ද කෙලෙස කියන්න ද
අද මා හෙළන සුසුම්…
ඉහට වහල සේ තරු පිරි අහසේ
නිවහන වූ පොළව යි…
හමු වූ තැන්වල ගස් වැල් වැලපෙයි
නොහඬමු ඔබයි මමයි…
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : අර්නස්ට් සොයිසා
ගායනය : ප්‍රියා සූරියසේන
 
13.මා හිස පිරිමැද
 
මා හිස පිරිමැද නැවත නොඑන්නට
ඔබ වෙන් වී ගිය දා..
සටහන් නැත මැකිලා
ඒ නික්මන් ගමනේ……
මගෙ ජීවිතය ම ඔබෙන් සැදුණු බව
එදිනයි මට දැනුණේ..
එතරම් අසරණ වී
නෑ කිසි දින තනි වී…
කිසි ලෙසකින් හෝ වටහා දෙනු බෑ
සෙනෙහස දෙවි කමකී…
ඒ දෙවිකම හැඟුණේ
ඔබ යළි ආ දිනයේ…..
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : චන්ද්‍රදාස බෝගොඩ
ගායනය : ඉන්ද්‍රානි බෝගොඩ
 
14.එහෙත් මෙහෙත් නෑ
 
එහෙත් මෙහෙත් නෑ මුහුණ පෙනෙන්නේ
පාළුව යාළු වුණේ පැතූ වදන් නෑ
ළබැඳි සිනා නෑ කාලය ඉබි ගමනේ…
ටිකින් ටික ට අඩිපාර පළල් වී
රිය සලකුණු ඇඳුණා
ඊයේ නිවහන මහ මැදුරක් වී
අංගනය ද සැදුණා…
කහවණු හිනැහේ අද මතු මහලේ
මා හිත බිම් මහලේ
හිමියනි මා නෙත කඳුළු බලන්න ද
කහවණු නළවන්නේ…
බුමුතුරනක් කර යසි’සුරු අතුරා
හිත් මල එහි පර වී
පළිඟු විමන් තුළ දුක් සඟවන්න ද
සැදුණේ රන් කාසී…
 
ගීත සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ
ගායනය : නිර්මලා රණතුංග
 
15.විරහා දුකින් වෙළී
 
විරහා දුකින් වෙළී
ඔබගේ නුවන් පෙඟී
කළ කී කතා මැකී
මා පෙළා…
තහනම් සෙනේ බැඳී
දඬුවම් ලබා ඉමී
ගිය දේ ගියා වැනී
නොලැබිලා…
ඔබෙ රූ නෙතේ ඇඳී
කිසිදා නොයයි මැකී
අහිමී සෙනේ පතා
සැමදා බලා ඉමී…
සෙනෙහේ ලැගුම් සොයා
කොහෙදෝ ගියේ අපී
සසරේ පතා නැතී
ගමනේ මුළා වුණී…
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස්
ගායනය : ලතා වල්පොල සහ සරත් තිසේරා
 
16.පෙම් කළ වරදට
 
පෙම් කළ වරදට මට වද දෙන්නේ
පෙම් කළ හිතකින් නොවෙන නිසා
අයියන්ඩියෙ මට සමාව දෙනු මැන
ආදරයේ සුව දැනුණු දිනේ
ආදරයේ සුව දැනුණු දිනේ…
යන එන හමුවන මඟ අවුරාලා
ආදරයක් වැළකිය හැකි දෝ…
නොපෙනෙ ද ඔහුගේ දෙපතුල මා හිත
සැනහෙනු මේ රැකවල් බිඳ දා…
චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
අයියන්ඩියෙ ඔබෙ අණට හොරා…
ආදරයේ දුක ඔබට දැනේ වී
පෙම්වතියක මුණ ගැහුණු දිනේ…
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීතය : චන්ද්‍රදාස බෝගොඩ
ගායනය : ඉන්ද්‍රානි බෝගොඩ
 
17.මට මතකයි
 
මට මතකයි ඔබ පිපිලා උන්නා
දුනුකේ ගසක සුදූ…
මට මතකයි ඔබ සොයලා ආවා
බඹරෝ සුවඳ මදූ…
වත්සුණු තවරා කවුළුව අතරින්
හිස පොවලා දවසක් දා
මතකයි අත වැනුවා…
අත්තල හඬවා මහ මඟ කුර ගා
ඔබ යද්දී දවසක් දා
මතකයි අත වැනුවා…
දිය සුළි නැගි ලා වෙරළට එද්දී
බෙලි කටුවේ සැඟවීලා
මුතු ඇටයක් තිබුණා…
සසරේ පෙර දා වරම් ලැබූ ලෙස
බෙල්ලෙකු වී සඟවා ලා
මම ඔබ රැක ගත්තා…
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය : හෙක්ටර් සිල්වා
ගායනය : හෙක්ටර් සිල්වා සහ පුණ්‍යා කත්‍රිආරච්චි
 
18.එක්ටැමින් බැඳි පාළු මැදුරේ
 
එක්ටැමින් බැඳි පාළු මැදුරේ
නිසල රෑ යාමේ
පවුරු මුර දා ආදරේ
සිර කර තැබූ වෙලේ
වැලපුණා ඔබ සඳුට දුක දී
උන්මාද චිත්‍රාවන් වගේ…
සියලු සම්පත් අහිමි වූ දා
සුවඳ ආදරයේ
හව්හරණ නැති කුරිරු ලොව මැද
විකල් වූ ලෙසිනේ
සරණ යැද ඔබ හඬා වැටුණා
පටාචාරාවන් වගේ…
මා නිසා ඔබ නැවත ඉපදී
පිනැති මා ළදුනේ
කඳුළ අවට ද සිනා ඇති බව
පසක් කර දිවියේ
සිනාසෙනවා රැජිණියක ලෙස
ලෝකය ම දිනුවා වගේ…
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීත නිර්මාණය: සෝමපාල රත්නායක
ගායනය : රෝහණ සිරිවර්ධන
 
19.පිනි බිඳු විසිරෙන සීතල හිමිදිරියේ
 
පිනි බිඳු විසිරෙන සීතල හිමිදිරියේ…
ජීවිතයට අරුණලු විහිදෙනවා
ප්‍රිය හිමියනී මගේ…
ප්‍රිය හිමියනී මගේ…
සඳ රැස් යහනේ ගෙවුණු රැයේ
මිහිලිය පිය හිමි පා සැනසී
මිහිඳුම් සළුවෙන් දෙනෙත වසනවා
නව හිරු පායා එනු දැකලා…
පෙම්බර හිමියනි ඒ සඳ යහනේ
අනන්ත මල් පිපිලා රහසේ
ඔබ පාමුල සෙනෙහසින් ගිලිහුණා
උදාර මල පරසතු උයනේ…
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීතය : එච්. එම්. ජයවර්ධන
ගායනය : මාලිනී බුලත්සිංහල
 
20.පියාපත් දෙන්න මට
 
පියාපත් දෙන්න මට ඉගිලෙන්න හිස් අහසෙ
පුබුදන්න දිගු නින්ද සෙමෙන් මුදු වදනකින්
ගඟක් සේ ඉඩ දෙන්න ගලන්නට ජීවිතේ
බලා ඉමි එනතුරා ඔබ මවෙත සෙනෙහසින්
පියාපත් දෙන්න මට…
දවස පුබුදන හිනා හෙට දිනේ ලැබේ දෝ
ගිම් නිවන පවන් පොද කඳු මතින් ඇදෙයි දෝ
සිනා පිරි සැඳෑවේ සුසුම් සුව දැනේ දෝ
අඳුරු තිර දෙපළු වී ඔබේ රුව පෙනේදෝ…
සතුට පිරි මතකයේ මිහිර ඉහිරුණු හිතේ
ඔබෙන් සැදි මගෙ ලොවට අතවනමි අද දිනේ
පුරා හඳ ඇති රැයක් ලෙස දැනෙයි ජීවිතේ
සුන්දරයි මගේ ලොව ළඟාවන මතු දිනේ…
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : යමුනා විනෝදිනී
 
21.කඳුළු අතරට සිනා රැළි වෙමි
 
කඳුළු අතරට සිනා රැළි වෙමි
විඩාවට සෙවණක් වෙමී
ජීවිතේ පොත පුරා ලියැවෙන
ආදරේ කවියක් වෙමී…
සුවඳ සුදු මල් හිනා වෙද්දී
කවුළු දොර ළඟ අතු කොනේ
ඒ මැදින් මම හොරෙන් අතුරමි
හදවතේ බැතිබර සෙනේ
සැඳෑවක ඔබ සඳැල්ලට වී
තනි ව ලතැවෙන වෙලාවේ
ගීයකට රස පද එවන්නම්
සඟවලා රන් වලාවේ…
බුදුන් පාමුල වැඳ වැටෙද්දී
බැතින් බර වී සැනහිලා
පිදූ මල් මැද සුවඳ දුම් මැද
පැතුම් පුරවමි හිනැහිලා
යහනකට වී අඳුර ඉවසා
රැය ගෙවී යද්දී ඉබේ
සඳ කැරැල්ලක් සමඟ පාවෙමි
කවුළුවෙන් කුටියට ඔබේ…
 
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව නිර්මාණය සහ ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා
 
————————————————————————–
 
ප.ලි
ඉහත සංවාදය උපුටා ගත්තේ “මව්බිම ” පුවත් පතින් .
වැරදි අඩුපාඩු පෙන්වා දෙන්න .මේ සම්බන්ධව තිය අත්දැකීම් බෙදාගන්න ..
ඉතා අමාරුවෙන් තෝරා ගත්තු ගීත කීපයක් පමණයි ..
 

 

 

නෙළුම් යාය සහෘද සමුහය