27 March 2017
RSS Facebook Twitter   

වට වංදනාව නොහොත් Circle Pilgrimage

wataආයිත් බස්සෙක නවත්තන්නෙ දවාලට කන්න කියල. අතරමග තියෙන පංසලක් හොයාගෙන පංසල් මිදුලෙං බස්සෙක ගාල්කරල බාප්ප යනව පංසලේ හාමුදුරුවො මුනගැහෙන්න. පංසල් වත්තෙ ඉඳං දවල් කෑම ගන්න අවසර ඉල්ලන්න. කොයි පංසලේවත් ඒකට එපා තියන්නෑ.
හතලිහක් විතර ඉන්න බස්සෙහෙක එකා රුපියල් පහ ගානෙ පිං කැටේට දැම්මත් කීයක්ද පිංවත්නි. දෙසීයක්
 
බිමට බැස්ස ගමං කොටසක් අතපය හිරි ඇරල වටේ පිටේ ඇවිදිනව. තව කොටසත් පන කඩාගෙන වැසිකිලි හොයං යනව. ඒ ඔක්කොම අතරෙ බඩගින්න ඉවසං ඉන්න බැරි අය පෙරටුව අනික් අය කන්න පටං ගන්නව. ඉතිං රෝංදෙ ගිය අය එනකොට කට්ටියෙං සමහරක් කාල ඉවරයි. ආච්චම්මත් පුංචියි, අක්කයි, අයියයි එක්ක “කක්කුස්සියක්“ හොයාගෙන ගිය හිංද මට ඒ අය එනකං ඉන්න වෙනව. මගෙ බත්මුල තියෙන්නෙත් ආච්චම්මගෙ බෑක්කෙකේ. මං එතකං බස්සෙකේ පිට පැත්තෙ දූවිලි වැදිල අඳුරුවෙලා තියෙන තහඩුවෙ මගෙ නම ලියනව. ඊට යටිං ‘අනේ මාව හෝදන්න‘ කියලත් ලියනව. බස්සෙක වටේ යනව.
 
“එන්න අපේ පංගු ඔලිං කන්න පුලුවං“
 
සමහර අය නයාට අඳුකොල පෙන්නන්න හදනව.
 
“බෑ… පස්සෙ කංනං ආච්චම්ම එක්ක“
 
ආච්චම්මට සෙනෙහෙවංත මුනුබුරු වන මං කියනව. ඔය අතරෙ එකාට එකා පේලියට ඉඟටියෙං බදාගෙන එහෙට මෙහෙට විසිවෙවී එන පුංචම්මත්, අයියත්, අක්කත් ඒ පිටිපස්සෙං වට පිට බල බලා කියෝ කියෝ එන ආච්චම්මත් මං දකිනව. අපේ පුංචම්මත්, අයියත්, අක්කත් නිතරම එකළඟ ඉන්නකොට තුරුල්වෙලාමයි ඉන්නෙ. ඒගොල්ලං ගිය ආත්මෙ කුරුල්ලොද කොහෙද. දැනුත් ඒ අය එන්නෙ මැද්දෙ ඉන්න එකා දෙපැත්තට අත්දෙක දාල දෙපැත්තෙ දෙන්නව තුරුල් කරං සහ දෙපැත්තෙ දෙන්න මැද එකාව තුරුල් කරං. ඉතිං සමහර වෙලාවට තුංදෙනාගෙ ගමං වේගෙ වෙනස් වීමෙං කකුල පැටලිල වැටෙන්නත් යනව. ඒ කාංඩෙ එද්දි පලමුව බත්ක කාපු අය බත්කොලත් අතේ උංඩි කරගෙන බස්සෙකෙං බිමට බැහැල වතුර බොනව.
 
“උඹ රෙ** වත් හු** කරන්නවත් යන්නැද්ද? ආයි මග තැං නෑ… බොට මගදි කලිසමේ **නොත් ඕං අපි එහෙම නෑ. ආනාදිකම නැතුව ගිහිං වරෙං ආං අර මුල්ලකටවත්“
 
බඩපනුවො පිනුංගහන ඒ මනරම් අවස්තාවෙ ආච්චම්ම මරු කියෝනව. ඒ අතරෙ මං බෑක්කෙකෙං බත් මුල් දෙක එලියටත් අරං ඉවරයි.
 
“මොකදැ බොට ඔච්චර හදිස්සියක්. හිටහං අර ඩිමුටු පුටා ඉන්න වගේ කලබොල නැතුව. බොට ඔහෑටි බඩකිනිනං ගෙදර ඉන්න තිබ්බනෙ“
 
ගහන්න ඇහ්නං අම්ප මේ අම්මන්ඩිගෙ හොස්සෙ මේ බත්මුල. මට බඩකිනි උනහම යකා නගින විත්තිය උන්දැ දංනැද්ද මංද. මං සද්ද නැතුව බත්මුලත් අරං ටිකක් දුරිං තියෙන සීට්ටෙහෙකට ගිහිං දිගෑරගන්නව. නැත්නං මටත් ඒගොල්ලංගෙ ‘කුරුලු කෑම‘ කන්න වෙනව.
 
“මේ කිට්ටුවෙං හිටහං. ඔය අනුංගෙ සීට්ටොල බච්චිහිරෝල බැනුං අහන්නැතුව. ඇයි බොට අපි ඉන්න තැංඔල ඉන්න නාකද? අපේ ඇඟේ හොරිද?“
 
උංදැ ආයිමත් හිරිකිත ජාතියක් මතක් කරනව. මං සද්දෙ නැතුව කන්න පටං ගන්නව. මට මොකෝ උංදැ මොනව කිව්වත්. අයියත්, අක්කත් හිචි හිචි ගගා මොනවද කියල හිනාවෙනව මට ඇහෙනව. මට මොකද උං ඕනි එකක් කියපුවාවෙ. බත් කටවල් හතරක් විතර කද්දි ඒ කාංඩෙ ‘කුරුලු කෑම‘ පටං ඇරං කියල මං දකිනව. අනේ අප්පේ අරුං ආච්චම්මගෙ ලොඹු කටේ උලල කන හැටි. බත් කටවල් දෙකක් කටට දාගෙන ආච්චම්ම කියවිල්ල පටං ගන්නව.
 
මේ පංසලේ හරිහමං කක්කුසියක් නෑනෙ. හාමුදුරුගොල්ලංටවත් හරිහමං තැනක් නැතුවද කොහෙද? අර මංගිය එකේ කොයිකෙක්ද අලි **** දාල වතුර ගහං නැතුව ගිහිං. හිරිකිචේ බෑ“
 
ඉදකිං මුංදැ කියන හිරිකිත කතා. කන්න ගත්ත බත් කටත් පංගුවට දාල ඒක එහෙම්මම ගුලි කරගෙන මං බස්සෙකෙං බහිද්දි ආච්චම්මගෙ ගෝරනාඩුව ඇහෙනව.
 
“තෝ කන්නැද්ද ඕක. අපසාදෙ බච්ටික. ඔව්ව බොගෙ මහඑකා හම්බුකොරපුව නෙමෙයි. ඔය විදිහෙං අහක දාන්න. හිටපංකො බොට සෑටත් හුලං බිබී ඉන්න අරින්න“
 
මං ගනං ගනී ඕව. මං දැනටමත් ඩිපෝ එකේ ඩැයිබරල කීප දෙනෙක්ගෙ හොඳ යාලුවෙක්. ඒ අයට කියල මං දවසක ආච්චම්ම කොහෙ හරි ගමනක් යන්න බස්සෙකට නගින්න ඉන්නකොට උංදැට නගින්න නොදී බස්සෙක අද්දෝනොව. අනික අද උනත් උංදැව බස්සෙක පල්ලෙ දාන්න මට බැරිකමක් නෑ.
 
එයිං පස්සෙ ගෙවල් වලිං ගෙනා කෑම ඉවරයි. එදා ඉඳං රෑට, උදේට , දවල්ට තුං වේලම උයං කන්නෙ. ඒකත් වෙනම කෝස් එකක් කියල බාප්ප කියනව මම අහගෙන. මුලිංම කාපු අය ඔක්කොම ඉවර කරල තැංපත්ව ඉඳං යන්න හදිස්සි කරද්දි අපෙ ආච්චම්ම වතුර බොනව. කාල බීල සියල්ල සංසුං උනාම පිටත්වෙන්න කලින් නඩේ එක්කෙනෙක් එයාගෙ තොප්පිය අරං නඩේ අයගෙං සම්මාදං එකතු කරනව. කවුරුත් ආයිමත් ලේංසු ගැට ලිහමින්, පොකට් අරිමින්, මාරු සල්ලි නැත්තනම් අනික් අයගෙන් ණයට ගනිමින්, රුපියල් පහ, දහය දෙනව. බාප්පයි, තව කෙනෙකුයි ගිහිං ඒ සල්ලිටික පංසලේ හාමුදුරුවන්ට දීල වැඳල එනව. ඒක රජ්ජුරු කෙනෙක් හදපු පංසලක් නොවන හිංද ඒ පංසලට වඳින්නෙ නෑ. වංදනා ගමං ගියහම වඳින්නෙ ලොකු පංසල් විතරයි. ආයිමත් ගමන පටං ගන්නව. අඩු අය හෙවීම, ඒ අය හොයන්න යාම, හොයන්න ගිය අය හොයන්න යාම සහ අවසානයේදී බාප්පා විසින් “ඔක්කොම ඉන්නවද“ බැලීමත්, ආච්චම්මගේ “ඩිමුටුපුටා සහ ජුව“ හෙවීමත් මේ හැම අවස්ථාවකම සිදුවන බව මතක තබා ගන්න.
 
අපේ ඊළඟ ගමනාංතය කතරගම. රෑට නවතින්නෙ එහෙ. කෑමෙං පස්සෙ කටට ටිකක් පණ ආපු හිංද ආයෙත් කට්ටිය සිංදුව පටං ගන්නව.
 
ඉස්සං මගුරං ලොකුවැලි ගොව්වං
මේදැං අල්ලපු මා..ලූ…
ලාබයි ගන්නකො යාලු..
ආ….. අ..අ …..ආ…….
ආ….. අ..අ …..ආ…….
 
අලපොතු මාලුව ඇගලේ වඩවයි
මමනෑ කියන්නෙ බේ ගල්
 
කේබල් කරකර ඉන්නෙ ඇයි තව ඔතාල දෙන්නද මේබල්
සිංලිංදු නයිවැල එහාගෙ දර මැගියක්කටමේ දැං වික්කේ
සතදහයක්කඩු කරලා දෙන්නං ගන්නවාද මැගියක්කේ…
 
සිලිංදු නයිවැල කියන කොටසනං මට ටිකක් හිතට හරි නෑ. සිනිදු උනත් නැති උනත් නයි, ගැරඬි ආදී උරගයො මට හිරිම හිරිකිතයි. පස්සෙ කාලෙක ඒක සිනිදු නයි වැලක් නොව සිලිං තුනයි වැල බව මං දැනගන්නව.
 
ඔය විදිහට හැංදැ වෙනකොට අපි කතරගමට එනව. ඒ ගමං මගදි උයන කලමනා ගන්නත් තැං කීපෙක නවතිනව. හාල් මිටියෙ පටං හැම දේම ගන්නව. ඔය අතරෙ ආයිමත් කලු කවරවල පුරෝපුවත් ගේනව. ඒ එක්කොමත් අරගෙන ඇඳිරි වැටෙද්දි අපි නවාතැං ගන්න “විස්රාම සාලාවට“ එනව. වංදනා ගමනක් ගියහම නවතින්නෙ විස්රාම සාලා නැත්නං පංසල් වල. ඒක හරිම අපූරු අද්දැකීමක්.
 
කතරගම ‘සීටීබියෙකේ‘ විස්රාම සාලාව කලිංම ටැලිපෝං එකෙං කියල වෙංකරල තියෙන හිංද ගානක් නැති වගත්, නැහ්නං විස්රාම සාලා හොයනෙක පනයන වැඩක් බවත් කට්ටිය කතාවෙනව.
 
විස්රාම සාලාවෙ ඉස්සරහම රතු පාට ගාපු කොංක්‍රිට් බෝඩ්ඩෙකක් තියෙනව.
 
“ලංකා ගමනා ගමන මණ්ඩලය කතරගම විශ්‍රාම ශාලාව“
 
ඒක ඉස්කෝලයක් වගේ විසාල ගොඩනැගිල්ලි කීපයක් මිදුලෙ අඹගස් වවල එව්ව වටේට අඩියක් විතර උසට බැම්මකුත් බැඳල. බස්සෙක නවත්තපු ගමං බාප්ප බස්සෙකෙං බැහැල ගොඩනැගිල්ල ඇතුලට යනව. පැයගානක් ඉඳගෙන පැතලි වුන පස්සවල් උස්සගෙන අපිත් නැකිටිනව. නිදං හිටපු අය ඇහැරෙනව. අනික් අය හිරි අරිනව. වටපිට බලනව.
 
“එහෙනං බහිමු බිමට. බඩු මුට්ටු මොනවත් තියන්නෙපා බස්සෙකේ. ඒ ඔක්කොම ගන්න. නැත්නං නැතිවෙයි“
 
ආපහු ආපු බාප්ප කියද්දි අපි රාක්කවල, සීට් යට, තියෙන බෑක් පෙට්ටි ආදියත් අයිනෙ කොකුවල, සීට් පොලුවල එල්ලල තියෙන වතුර බෝතල් හා සොපිං කවරත් අරං බහින්න පටං ගන්නව.
 
“අයියෙ මේං මේ බෑක්කෙක අරං දෙන්නකො“
 
“කෝ දියං ඔය පෙට්ටිය මං අරගන්න“
 
“ආ පුතාගෙ අනික් සෙරෙප්පුව මගෙ සීට්ටෙක යට තිබුනෙ“
 
“මේ ටික තියල එන්නං බඩු ටික බාගන්න“
 
හැමෝම කාට කාටත් සහයෝගෙං උදව් කරනව.
 
“සුරංග… සුරංග…. මේ බෑක්කෙක ගං බිමට“
 
“හා.. කලබල නැතුව ඉන්න නැංදෙ මං අරං දෙන්නං. හීංසැරේ බයිමු“
 
මට පැවරෙන වැඩෙත් ලඟ හිටපු කෙනෙක් කරල දෙන්න හදනව.
 
“චූටී.. ඔය ළමයි දෙංන අල්ලගනිං හයියෙං. නැහ්නං බැහැල එහෙමෙහෙ දුවයි. කොයි දීපංකරේ කියල හොයන්නද නැතිඋනොත්“
 
ආච්චම්ම අයියවයි, අක්කවයි මොංටිසෝරි යන එවුං ගාන්ට සලකල කතා කරනව. උංදැ හිතං ඉන්නව ඇත්තෙ අයියයි අක්කයි බලං ඉන්නෙ ‘බිමට බැහැපු ගමං කොහෙට හරි දුවල අතරමං වෙන්නං‘ කියල හිතාගෙනයි කියල.
 
“ඒ ලමයි කොහෙ යන්නද නැංදෙ. ඒ ගොල්ලං ලොකුනෙ. අනික දැනුං තේරුං තියෙනවනෙ“
 
අපෙ ආච්චම්මගෙ හැටි නොදන්න කෙනෙක් උංදැ කෙරෙහි පතල කරුණාවෙං කියනව.
 
“අනෙ කෑනෙගහ හිටිං. කොයිකෙක්වක් මේ ලමයි දෙන්න අරං ගියොත් එහෙම මොකද උඹ එනවෑ හොයන්න. අනික හොඳට ඉගෙනගංන පුලුවං ලමයි.“
 
ඉගෙන ගන්න පුලුවං කියල උංගෙ පිටේ ගහල තියෙනව වගේ ආච්චම්මගෙ කතාව. ආච්චම්මගෙ සැර කෙරිල්ලට වටේ හිටපු හතරපස් දෙනෙක්ටම හිනා යනව. සමහරු කුටු කුටු ගාල කතාවෙලා ආයි හිනාවෙනව.
 
“අනේ අම්මෙ කෑනොගහ ඉන්න අම්මෙ. මං ලමයි දෙන්න බලාගන්නං. ආයි මොකවත් කියන්නෙපා අම්මෙ“
 
පුංචම්ම ආච්චම්මට නොවඳිනා වැඳුං වැඳල ආච්චම්මව ඇදං විගහට බිමට බහිනව.
 
“අනෙ කෑනොගහ හිටිං චූටියෙ. ඌ නං කියයි කොයියන්නද කියල. මේ.. මෙහෙට වරෙල්ල උඹල දෙන්නම“
 
ආච්චම්ම අයියවයි අක්කවයි ඇදල ගන්නව ලඟට.
 
“අර මිනිහ එහෙම කතා කොලාට එහෙම කොහෙවක් යන්නෙපා. හොඳද?. ඌ මහ එක ජාතියක මිනිහෙක් මට පේන්නෙ. ඇහුනද? තේරුනද බොලට? ආයි කරෝල වාඩියකට ගිහිං දැම්මොත් එහෙම උඹල එන්න නෙමෙයි ගෙදර. ඒක හිංද කියන එක අහල දඟ කරන්නැතුව ඉන්න ඕනි තේරුනාද? ඈ? දෙන්නටම කියන්නෙ“
 
ආච්චම්ම උං දෙන්න “හා“ හෝ “ඔව්“ කියනකංම හොල්ලනව. ආච්චම්ම කියාපු හරිය නඩෙං බාගෙකට ඇහෙද්දි බාප්පගෙ සායම හේදිල ගිහිං පොලවට උරා ගන්නව. අක්කයි, අයියයි, පුංචම්මයි හතර අතට ඇඹරෙනව. හැමදා නියං එකදා වැහි වලාවේ.
 
උයා පිහාගන්න ලිග්ගල් දෙකතුනක් සහිත මඩුවක්, වැසිකිලි කීපයක් සහ වතුර ටැප්පෙකක් යන මූලික පහසුකම් සහිත විසාල සාලාවක් විශ්‍රාම ශාලාව නමින් හැඳින්වෙනව. ඒ සාලාව ඉස්කෝලවල පංති කාමර වගේ කෑලි කීපෙකට බෙදල තියෙනව. ඇඳං, මේස, පුටු ආදී කිසිම බඩු බාන්ඩෙයක් නැතුව සිමෙන්ති පොලව සහ එලිය දෙන්න බලුප් කීපයක් ඇරුනම වෙන කිසිම දෙයක් ඒකෙ නෑ. නිදාගැනීම, බඩු බාන්ඩ තැංපත් කිරීම ආදිය සඳහා බිමට ඉටි රෙද්දක් එලා ගත්තම හොඳටම ඇති. කොට්ට වෙනුවට ඇඳුං කීපයක් නවල තියාගන්නත් පුලුවං, නැත්තං බෑක්කෙක් තියාගන්නත් පුලුවං.
 
බඩු භාණ්ඩ තැංපත් කලායිං පස්සෙ කට්ටිය කාන්ඩ කීපෙකට බෙදිල වරිං වර ගිහිං “මූන අතපය“ හෝදගෙන එනව. හැමෝම එකපාර ගියොත් බඩු මුට්ටු පරිස්සං කරගන්න බැරි හිංදයි එහෙම කොටසිං කොටස යන්නෙ.
 
ඒ අතරෙ බාප්ප ඇතුලු කීප දෙනෙක් බස් එකේ තියෙන උයන පිහන කලමනා, විසාල සාස්පාං, තාච්චි ආදිය අරං ඇවිත් උයන මඩුවෙං තියනව. තව දෙන්නෙක් බස් එකේ වහලෙං අවශ්‍ය දරමිටි ප්‍රමාණෙ බානව. සේරම බඩු ගෙනාවට පස්සෙ ලොකු සාස්පානකට වතුර එකක් පුරවල ලිපෙං තියනව. ඒ වතුර එක රත් උනහම නාගෙන, මූන හෝදගෙන හෝ කරෙං පාත නාගෙන එන කාටත් පුලුවං තේ බොන්න. ඒක තම තමං හදාගන්න ඕනි. උනුවතුර විතරයි දෙන්නෙ.
 
ඔය අතරෙම දෙන්නෙක් පොල් ගානව. තව දෙන්නෙක් හාල් ගරනව. තව කෙනෙක් අල ගෝනියක් දිගෑරගෙන ගෙඩියෙං ගෙඩිය පෙරං ගානව. තවත් අය වෙන වෙන වැඩ. ඒ අතරෙ ‘නාගෙන‘ එන අය එතන තියෙන වැඩ බාර අරං වැඩ කරන අයව නාන්න යවනව.
 
“ඔය අල ගෝනිය මට දීල ගිහිං නාගෙන වරෙං“
 
“හා උඹ පලෙයං මං පොල් ගාන්නං“
 
“මෙතියෙස් අයියෙ, මං නාගෙන එනකං මේ සාස්පානට වතුර එකක් තියහං බත්තුයන්න“
 
“අතුල උඹ සාලාවෙං හිටහං කට්ටිය නාගෙන එනකං. එතන බඩු මුට්ටු තියෙනවනෙ“
 
ඒ කවුරු ගියත් බාප්පත් තව දෙන්නෙකුත් එතන ඉතුරු වෙනව. ඒ අය නාන්නෙ කන්නෙ බොන්නෙ ඔක්කොම අන්තිමට.
 
බස්සෙකෙං බැස්ස වෙලේ පටං අක්කවයි අයියවයි ආච්චම්මගේ අත්තඩංගුවට පත්වෙනව. තමුං නැතුව මේ ළමයි දෙන්න ආංබං කරන්න අමාරු බව අනික් අයට පෙන්නන්න ආච්චම්ම කටයුතු කරනව.
 
“ඩිමුටුපුටේ, සුදු මහත්තෙයා, ජුවේ, හිමිං යං හිමිං.. වැටෙයි නැහ්නං ඔය ගල්ගෙඩිඔල පැටලිල“
 
උං දෙන්න ඇවිදින කොට ආච්චම්ම වේග සීමා දානව.
 
“දෙන්නත් එක්ක මෙන්න මෙහෙට වෙලා ඉඳහල්ල. ඔය කරුවලේ අහරෙ මෙහෙ යන්නැතුව“
 
ගමනාගමනය පාලනය කරනව.
 
“ඔය එක එකා දෙන එව්ව කන්නෙපා“
 
ආහාර පාලනය කරනව.
 
“ඔය එක එකා එක්ක කියොවන්නෙපා. ගෙදර සල්ලි තියෙනවද? තාත්තගෙ පොතේ සල්ලි තියෙනවද? අම්මගෙ රත්තරං බඩු කොහෙද? කියල චාටුවෙං අහගෙන අංතිමට ගෙට පැනල බෙලි මිරිකයි“
 
සංනිවේදනය පාලනය කරනව.
 
මේ ගමන මං ආච්චම්මගෙ කිසිදු සේවාවක් නොකරන හිංද උංදැට මං ගැන කිසිම ගානක් නෑ. අයියවයි අක්කවයි පාලනය කරන එකෙං උංදැ සංතෝසෙට පත්වෙනව.
 
“නෑ. මංමේ කිව්වෙ මේ ජූටයි පුටාටයි එක තැනකට වෙලා ඉන්න කියල. දැං කාලෙ කිසිමෙකෙක් විස්සාස නෑ“
 
ආච්චම්ම අහල හිටිය ගෑනු කෙනෙක්ට බලෙංම කියනව. ටික වෙලාවක් යනකොට අහල පහල හිටපු ගෑනු කීප දෙනෙක් බලෙංම අල්ලගෙන ආච්චම්ම කියවිල්ල පටං ගන්නව.
 
“අපෙ චූටිට මේ ලමයි දෙන්න පරිස්සං කරගන්න කිසියාම්ම කිසි තේරුමක් නෑ. දැංකාලෙ ළමයි පරිස්සං කිරිල්ල ලේසි නෑ. අනික මේ ලමයි දෙන්න රතෙං රතට ඉන්නකොට ඕනි එකෙට්ට ගිනියන්න හිතෙනව. ඉගෙනගන්න පුලුවං ලමයිනෙ. කවදහරි වයසට ගියහං කන්න හම්බුකොල්ල දෙන විත්තිය දන්න හිංද ඕනි කෙනෙක් චාටුවෙං ඇරං යන්න බලනව. නැද්ද මං අහන්නෙ?“
 
“එහෙනං.. ඔව් ඔව්“
 
එක් ශ්‍රාවිකාවක් කියනව.
 
“මං නං කිසිම ලමයෙක් ඔහොම ආලපාලුවට යන්න ඇරියෙ නෑ. ඔය අපේ චූටි උනත් හිතුවක්කාරෙට ජෝකපාල එක්ක පැනල ගියාට ඕකුංට මං පොඩි කාලෙ කිසියංම කිසි අඩුවක් දැක්කුවෙ නෑ. ඉස්කෝලෙට ඇරෙන්න ආයි කිසිම දිහාක තනියෙං ඇරියෙ නෑ. ඔය ඉස්කෝලෙ යද්දිනෙ ජෝකපාල එක්ක ලැහැත්ති වෙලා පැල්ල ගියෙ. නැහ්නං මුංගෙ මහ මිනිහනං කිසිම කැමැත්තක් තිවුන්නෑ ජෝකපාලට. ඒ දාස්සොල ටිකැට් කඩන එකනෙ කොලේ. චූටිත් තව ඩිංගක් එහාට ඉගෙන ගත්තනං ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්.“
 
ආච්චම්මගෙ කටෙං ගලා බහින ඕපදූප ගංගාවට අහුවෙලා බාප්පගෙ ඉතුරු සායං ඩිංගත් හේදිලා යද්දි පුංචම්මට ඔත්තුව දෙන්න හිතාගෙන මං එතනිං විගහට මාරු වෙනව.
 

 

 

නෙළුම් යාය සහෘද සමුහය