23 October 2017
RSS Facebook Twitter   

බයියන් සීනුවටත් බයයි

vibheeshana 1මහින්දගේ නව පංච මහා බලවේගය( කුඩු, එතනෝල්, කැසිනෝ, ගණිකා, කප්පම්) ට අයිති එවුන් එක්ක උන්ට කඩේ යන මැටි බයියෝ ටික මේ දවස්වල දේශපාලන තුන් බියකට හොඳටෝම සහලෝලා බය බිරාන්ත වී ඇත.
Read more...

උගත් පාඩම් හා ඉගෙන ගත යුතු පාඩම්

rotiyaසකල සිරින් පිරි සිරි ලංකාවේ හිටපු රජතුමා වෙත ලියන වග නම්,
 
මේ ලිපිය ලියන්නේ අම්බානෙක වැඩ අව් අස්සේය. වැඩ බල්ලට දමා බ්ලොගයේ කොටන්නේ ඊයේ පිට පිටම සිව්වෙනි වතාවටත් මගේ හිත කීරි ගැහි ගිය නිසාය
 
ඔබතුමා ප්‍රභාකරන් නමැති ත්‍රස්තවාදියා සමග සාම සාකච්චා කොට යුද්ධයට පිළියම් සොයන්නට ගොස්, සාකච්ඡා වලන් ත්‍රස්තවාදියා කට්ටි පැන්න කල, හොඳින් හෝ නරකින්
Read more...

සිංහල ජාතිවාදීන්ගේ NGO භීතිකාව

ngo ngoමහින්ද රාජපක්ෂ බලේට ගෙනාපු සිංහල ජාතිවාදියෝ හිතුවේ මහින්ද  LTTE සංවිධානය විනාශ කළ නිසාම කිසි දිනක චන්දයකින් පරදින්නේ නැති වෙයි කියාය. ඒ ජාතිවාදීන්ගේ මනසේ කාලයක් තිස්සේම පැලපදියම් වී ඇති ජාතිවාදී ඉතිහාස කතා හා බොරු පුරාජේරු වලට අනුවයි. නමුත් ජාතිවාදීන්ගේ සියළු බලාපොරොත්තු සුන්කර දමමින් ජනවාරි 8වනදා එලිවන විට ඔවුන්ගේ මහරජාට තේජාන්විත පදවියද අත්හැර දමා යන්නට විය. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට බහුතර ජනතා
Read more...

ආච්චිගෙ රෙද්ද

achchige reddaලියන්නට කප්පරකුත් ටිකක් පොදි බැඳ ගෙන ඉන්න මම, ඉවසගෙන හිටිය ඊළඟ බ්ලොග් එක ලියන්න.
 
අවසර ලැබුනෙ එහෙමනෙ? කතිකාවක් ගොඩ නැගෙනකම් බල්ං හිටියොත් මට ඉන්න වෙයි මෝල් ගහේ දළුලනකං නේ?
 
ඉතින් මම ලියන්න හිතපු දේවල් ටිකක් කියන්නද?
 
බ්ලොග් ලෝකෙ මට උදව් කරන අය ගැන .. මුණු පොතෙ මට උදව් කළ අය ගැන
Read more...

ගිනිගත් නගරය

14a borella rioters 1983 burningග්‍රාමසේවක එන විට හේමපාල හිටියේ බුලත් කොරටුවේ ය. උදයම බුලත් වැල්වලට සාත්තු කිරීම දිනචරියාවේ අංගයක් කරගෙන සිටි හේමපාල ග්‍රාමසේවකගේ හදිසි පැමිණීම අපේක්ෂා නොකළේය. ග්‍රාමසේවකගේ මුහුණේ ඇති බැරෑරුම්කම දුටු ඔහුගේ සිතට අසුබ සිතිවිලි ගලා ආවේය.
"ග්‍රාමසේවක මහත්තයා, මොකද උදේ පාන්දරම? "හේමපාල මුහුණින් වැගිරෙන දහඩිය ඇඟිලි දෙකෙන් සූරා දමමින් මේස් බැනියමේ පිස දමමින් ඇසීය.

"හේමපාලට කියන්න හදිසි පණිවිඩයක් තියෙනවා. කලබල වෙන්න එපා. "ග්‍රාමසේවක උපැස් යුගල අතට ගත්තේය. " මට පොලීසියේ රාළහාමි කෙනෙක් පණිවිඩය ගෙනාවේ. " ඔහු මොහොතක් නිහඬතාව රැක්කේය.

"පොලිසියේ රාළහාමි කෙනෙක් " හේමපාල ග්‍රාමසේවකගේ වචන ප්‍රතිරාවය කළේ පොලීසිය සමඟ තමාට ඇති ගනුදෙනුව කුමක්ද යන්න සිතා ගැනීමට නොහැකිවය.

"ඔව්, යාපනෙන් පොලිස් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. "

හේමපාලගේ අභ්‍යන්තරය බිඳ වැටුණාක් වැනි හැඟීමක් ඇතිවිය. ලොකු පුතා යාපනයට මාරුවී ගොස් මාස දෙකක් ගතවූවා පමණි.

"කොල්ලාට කරදරයක්වත් වෙලාද? " ඔහු තැවුණේය. "ඉතින් ග්‍රාමසේවක මහත්තයා කියන්නකෝ මොකක්ද පණිවිඩේ කියලා. "

"හේමපාලට මේක කොහොම කියන්නද මං දන්නේ නැහැ. හේමපාලගේ පුතා ඊයේ බිම් බෝම්බයකට අහුවෙලා අන්ත්‍රා වෙලා. පොලීසියෙන් මට පණිවිඩය කියන්න කිව්වා. "

අකුණු පහරක් වැදුණා වැනි හැඟීමක් හේමපාලට ඇති විය. ඔහු වාරු නැතිවාක් මෙන් බිම ඉඳගත්තේය. හමුදාවට ගිය ලොකු පුතා අන්තරා වෙලා. ඔහු අත්දෙක හිසේ ගසා ගත්තේය.

"මේක වෙන්න බැහැ. මේක වැරදීමක් " ඔහු තොල් මතුලේය. ගිය සුමානේ පුතා ලියුමක් එවලා තිබුණා.
එම ලියුමේ යාපනයේ සුලු සුලු කලබල තිබෙන බවත්, දැන් හමුදාව ප්‍රදේශය සන්සුන් කර පාළනය කරන බවත්, ලබන වාරයේ නිවාඩුවට ගෙදර එනවිට අනුරාධපුර වන්දනාවේ යාමට සූදානම්ව සිටින ලෙසටත් ලියා තිබුණි.

"මට හරිම කණගාටුයි හේමපාල, කොටි ඊයේ හමුදාවේ දහතුනක් මරා දාලා කියලයි ආරංචිය. මරණවල කටයුතු හමුදා ගෞරව සහිතව කොළඹ කනත්තේ කරනවලු. පවුලේ ඥාතීන්ට කොළඹ යන්න තමයි තියෙන්නේ. " ග්‍රාමසේවක දුක්මසු හඬින් කීවේය.

හේමපාල තවමත් වාඩිවී එකම ඉරියව්වෙන් සිටියේය. කොල්ලා මැරිලා. දැන් ගෑණි පොළොවේ පස් කයි. අනේ කොල්ලට වෙච්ච දේ. වල දාන්ඩ ඉස්සර කොල්ලගේ මුහුණ බලාගන්ඩ ලැබෙයිද? දහසකුත් සිතිවිලි ඔහුගේ සිතට ගලා ගෙන ආවේය.

"හේමපාල දැං යං මාත් එක්ක ගෙදර. පුතාගේ කෑම්ප් එකෙන් කට්ටිය දැන් එයි. කොළඹ යන්න ඇහැක් විදිය බලමු. " ග්‍රාමසේවක හේමපාල වත්තන් කර ගත්තේය.

*****

තවරාණි විදුලි කේතලය අතට ගත්තේ තේ කෝප්පයක් රාජේෂ්ට සාදා දීමටය. වාහනයේ බොනට්ටුව ඇර වැඩකිරීම නිසා රාජේෂ්ගේ අත් වල මජං තැවරී තිබේ. තේ කෝප්පය දීමට ප්‍රථම ඔහුට අත සෝදා ගැනීමට කිව යුතුයැයි ඇයට සිතුණි. සදීපන් හා සුදර්ශනී තව පැය කිහිපයකින් පාසල නිමවී ගෙදර එනු ඇත. සදීපන් ගෙදරට ගොඩ වැදෙන්නේ බත් පිඟාන අපේක්ෂාවෙනි. කෑමෙන් පසු ඔහු බැට් එක අතට ගනියි. අසල්වැසි යහළුවන් සමඟ ක්‍රීඩාවට යන ඔහු යලි ගෙදර එන්නේ සවස කරුවල වැටුණාට පසුවය. සුදර්ශනී කෙළින්ම ඇගේ කාමරයට යන්නීය. ඇඟපත සෝදා ගන්නා ඇය ගෙදරට අඳින ගවුමකට මාරුවී පොතක් කියවීමට පටන් ගනියි. ඇය වැඩිපුරම කියවන්නේ ජේම්ස් හැඩ්ලිචේස්ගේ පොත්ය. දිවා ආහාරය සඳහා ඇයට කිහිප වතාවක් කථාකළ යුතුය. අඬගසන සෑම අවස්ථාවකදීම ඇය කියන්නේ තව විනාඩි පහකින් එන බවය.

දුරකථනය නාද වූ බැවින් රාජේෂ් දුරකථනය අතට ගත්තේය. දුරකථනයේ මජං නොගෑවෙනු පිණිස ඔහු රිසීවරය අල්ලා ගත්තේ ඇඟිලිතුඩු වලිනි. ඒ අතරතුර වාරයේ ඩ්‍රයිවර් ගේට්ටුව ඇරියේ වෑන් රථය ගරාජයට දැමීමටය. සිල්වා සාප්පුවේ සිට මෙතරම් කලින් ආවේ මන්දැයි තවරා‚ සිතුවාය. වෑන් රථය ගරාජයට දැමූ සිල්වා රාජේෂ් එනතෙක් ගෙයි දොරකඩට වී සිටියේය.

සිල්වාගේ බුලත්කෑම තවරාණිට අල්ලන්නේ නැත. ඒ නිසා තවරා‚ සිටින විට සිල්වා බුලත් නොකයි. එහෙත් රාජේෂ් සමඟ වාහනයේ යන විට සිල්වා බුලත් කනවා පමණක් නොව වරින් වර කවුළුවෙන් හිස එළියට දමා කෙළ ගසයි.

"කාගෙන්ද කෝල් එක? " තවරාණි ඇහුවේ කුතුහළයෙනි. එහෙත් රාජේෂ් පිළිතුරු නුදුන්නේය.

"ඔයාට පුළුවන්ද කාර් එකේ ගිහිල්ලා ළමයි දෙන්නව අරගෙන එන්න. මම සිල්වා එක්ක සාප්පුවට දුවලා එන්නං. " රාජේෂ් කීවේ කලබලයෙනි.

"ඇයි, ඉස්කෝලේ ඇරෙන්න තව වේලාව තියනවනේ, " තවරාණි මෙහිදී ඇසුවාය.

"කමක් නැහැ, ළමයි දෙන්නව ගේන්න. යාපනයේ කලබලලු. මෙහෙත් කලබල තියෙයිද දන්නේ නැහැ. හදිස්සියක් උනොත් සාප්පුවට කෝල් එකක් දෙන්න. මම යන්න ඉස්සර මිසිස් දේවරාජාට කියලා යන්නං" මෙසේ පවසා රාජේෂ් දෑත් සෝදා ගෙන සිල්වාට කථාකළේය. තවරාණිගේ සිතට දැණුනේ කරදර සහිත බවකි. මේ මොන කරදරද? ඇය සිතුවාය. සිත නිස්කලංකයේ තබා ගැනීමට අවකාශ නැති හැටි. ඇය ළමුන් දෙදෙනා ගෙන ඒම පිණිස සූදානම් වූවාය.

"පාර්වතීට කියන්න දොර වහගෙන ඉන්න කියලා. කාටවත් දොර අරින්න එපා කියන්න. " රාජේෂ් කඩිනමින් කීවේය. වෑන් එක පණ ගැන්වූ සිල්වා විටක් කටේ දමා ගෙන රථය ගරාජයෙන් එළියට ගත්තේය. වෑන්රථය ගේට්ටුවෙන් එළියට ගත් වහාම ගේට්ටුව වැසූ රාජේෂ් අල්ලපු ගෙදර මිසිස් දේවරාජාගේ නිවසේ සීණුව නාද කළේය.

******

හේමපාල කොළඹ කනත්තට පැමිණෙන විට හොඳටම හවස් වී තිබුණි. වැළපෙන බිරිඳ හා බාල දියණිය දකින විට ඔහුගේ හදවත කඩා වැටී නෙතග කඳුළින් පිරේ. එහෙත් සිත ධෛර්යවත් කරගත් ඔහු වික්‍රමරත්න රාළහාමි සමඟ කනත්තේ ප්‍රධාන දොරටුවෙන් පියමැන්නේය. විශ්‍රාමික පොළිස් කොස්තාපල්වරයෙකු වූ වික්‍රමරත්න රාළහාමි ඔවුන් සමග කොළඹ පැමිණීම හේමපාලට මහත් උපකාරයක් වූ බව සැබෑය. සිත කම්පනයට පත්වී ඇති නිසා ඔහු කථා කළේ අඩුවෙනි.

කනත්තේ බොහෝ පිරිසක් රැස්වී සිටියහ. මියගිය සෙබළුන්ගේ ඥාතීන්ගේ අදෝනා හඬ ඇසෙත්ම හේමපාලගේ නෙත්වල කඳුළු රඳවා ගැනීමට ඔහුට නොහැකි විය. ලේන්සුවෙන් කඳුළු පිසදා ගත් ඔහු වටපිට බැලීය. "හේමපාල, තවම මිනී ගෙනල්ලා නැහැ" වික්‍රමරත්න රාළහාමි කීවේය.

මියගිය සොල්දාදුවන් හමුදා ගෞරව සහිතව මිහිදන් කිරීමට වලවල් කපා තිබුණ නමුත් තවමත් එක මිනී පෙට්ටියක්වත් ගෙනවිත් නැත. හමුදා නිළ ඇඳුම් ඇඳගත් භට පිරිස් සීරුවෙන් සිටියහ. ඒ අතර පොලිස් නිළධාරීන් සෙනග පාලනය කළහ. ෆයිල් කවරයක් අතින්ගත් හමුදා නිළධාරියෙක් මියගිය සෙබළුන්ගේ ඥාතීන්ට පෝරම කොළ වගයක් බෙදීය. ඒ අතරවාරයේ වික්‍රමරත්න රාළහාමි වෝකි ටෝකි යන්ත්‍රයක් අතැතිව සිටි පොලිස් නිළධාරියෙකුට කථාකළේ වැඩිමනත් තොරතුරු දැනගැනීම පිණිසය.

මිනී පෙට්ටි තවමත් ගෙන නොඒම පිළිබඳව රැස් කකා සිටි පිරිස නොසන්සුන් ස්වරයෙන් කතාකළහ. ඒ අතර ජාතික ඇදුමක් ඇඳගත් අයෙක් මැතිඇමතිවරු මෙම ස්ථානයට පැමිණීමට නියමිතව සිටියත් ඔවුන් කිසිවෙකු නොපැමිණීමට තීරණය කොට ඇති බව හඬ නගා පැවසීය. එවිට සෙනග අතරින් එකකු කෑගසා යමක් කීය.

"හේමපාල මිනී ගේන තීරණය වෙනස් කරලා, අපිට රේමන්ඩ් එකට එන්නලු. එතනින් පුතාගේ මිනිය දෙයි. ගමට ගෙනියන්න. මෙතන කලබලයක් යන හැඩයි. අපි රේමන්ඩ් එකට යමු. " වික්‍රමරත්න රාළහාමි හේමපාල අමතා කීය.

සෙනග අතරින් ඉදිරියට ආ කෙනෙක් උස් හඬින් කතා කළේය. ඝෝෂාව නිසා ඔහු කියූ දේ හේමපාලට ඇසුණේ අසම්පූර්ණවය.

"පර බල්ලෝ, මුං සිංහල කොල්ලෝ කොටින්ට බිලි දීලා අපට කොල්ලන්ගේ මිනීවත් පෙන්නන්නේ නැහැල්ලු, අපිට කමක් නෑ, මිනී විකෘති කරලා තිබ්බත් අපිට අපේ කොල්ලන්ගේ ඇඟිල්ලක් හරි බලාගන්ඩ ඕනෑ. "

ඔහුගේ කථාවේ කොටසක් සවනට වැටීම නිසා හේමපාලගේ හිත කීරිවැටී ගියේය. "මොනවා මුං පුතාගේ මිනිය විකෘති කරලද", ඔහු මහත්සේ තැවුණේය. අවසන් වතාවට පුතාගේ රත්තරන් මුහුණ දැකීමට තිබූ අවස්ථාවත් නැති කරපු හැඩයි. ඔහු කම්පිතව සිතුවේය.

හේමපාලගේ අත අල්ලාගත් වික්‍රමරත්න රාළහාමි සෙනග ඈත් මෑත් කරමින් කනත්තෙන් ඉවතට ඒමට උත්සාහ කළේය. ඔවුන් පසුපස හේමපාලගේ බිරිඳ හා දියණියද සිහිනෙන් ඇවිදින්නාක් මෙන් ආවෝය.

පර්වතයක් මෙන් උසැති, බඩ මහත, පොලිස් නිළධාරියෙකු සෙනග සන්සුන් කිරීමට උත්සාහ කළේ තම තර්ජනාත්මක ස්වරය හා නිළ ඇඳුමේ අධිකාරී බලය පෙන්වමිනි. "අඩෝ, අපි මූව වලට දාමු, " පිරිසක් පසුපස සිට කෑගැසූහ. ඒ සමගම ගල්මුල් ප්‍රහාරයක් ඇරඹූහ.

පිස්තෝලයක් අතින් ගත් චීවරධාරියෙක් ඉදිරියට ඉදිරියට පැමිණියේය. ඔහු සෙනගට විධාන දෙන්නාක් මෙන් කථාවක් කළේය. "උඹලා සිංහ ලෙයක් ඇති, සිංහ සිතක් ඇති සිංහලයෝ. අපේ කොල්ලන් දහතුන්දෙනෙක් යාපනයේ මරා දාලා. උන්ගේ ඇස් පවා උගුල්ලලා. උඹලා තව මොනවද නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ. ආණ්ඩුවට කොටි මර්ධනය කරන්න බැරි නම් අපි හරි දෙමළ කොටි විනාශ කරමු"

කනත්තේ කලබලය තීව්‍ර වෙමින් පැවතිණි. වික්‍රමරත්න රාළහාමි හේමපාල සමඟ රේමන්ඩ් මල් ශාලාවට පැමිණියේය.

*****

රෑ අටද පසුවූ නමුදු රාජේෂ් තවම නිවසට නොපැමිණීම තවරාණි ගේ සිතට බිය උපදවයි. දුරකථනය නාද වූ සෑම අවස්ථාවකම ඇය රිසීවරය අතට ගත්තේ රාජේෂ්ගේ කටහඬ ඇසීමේ අපේක්ෂාවෙනි. අවසන් වරට දුරකතනයෙන් කථාකළේ ජෙයප්‍රකාශ් ය.

කොළඹ කලබල ඇතිවී ඇති බවත්, දෙමළ ජාතීන්ට පහර දෙන බවත් ඔහු කීවේ සැලෙන හඬිනි. හැකි ඉක්මනට රක්ෂිත ස්ථානයකට යන ලෙස ඔහු උපදෙස් දුන්නේය. තැතිගත් ළමුන් දෙදෙනා නිදන කාමරයේ ඇඳයට රිංගූහ. සේවිකාව දොර අසල බිම වාඩි වී සිටිමින් බියෙන් ඉකි ගැසුවාය.

සාප්පුවේ දුරකථනය එක දිගට නාද වෙනවා මිසක කිසිවකු පිළිතුරු දෙන්නේ නැත. හදිසියේ දොරට යමෙකු තට්ටු කළේය. විදුලි පහන් නිවා කුඩා මේස ලාම්පුව පමණක් දල්වා තිබූ නිසා නිවසේ කිසිවකු නොසිටින බව ඇඟවීමට තවරාණිට අවශ්‍ය වූවාය. දොරට ගසන හඬ ඇසීමෙන් ළමුන් දෙදෙනා ගැහෙමින් ඇඳ යට ගුලිවී සිටියෝය. සේවිකාව බියෙන් ලතෝනි දුන්නාය. සේවිකාවගේ කෑගැසීම තවරාණිට බියක් මෙන්ම කෝපයක්ද ගෙන දුන්නේය.

"පාර්වතී කටවහපං" ඇය තර්ජනාත්මක ස්වරයෙන් පහත් හඬින් සේවිකාට අණ දුන්නාය. දොරට ගැසීම නැවතුනේ නැත. "තවරාණි, තවරාණි, දොර අරින්න, මම මිසිස් දේවරාජා" එළියෙන් ඇසුණේ ගෑණු කටහඬකි. මිසිස් දේවරාජාගේ කටහඬ ඇසීම නිසා තවරාණිගේ බිය තාවකාලිකව පහ වූවාය. ඇය විදුලි පහන දල්වා දොර ඇරියාය.

"ආරංචිද? කොළඹ කලබල, මෙහේ ඉන්න එපා, යමු අපේ ගෙදර. " මිසිස් දේවරාජා තවරාණිට කීවාය. "අනේ මිසිස් දේවරාජා, මම කොහොමද ගේ දාල එන්නේ. තාම රාජේෂ් ආවෙත් නැහැ. " තවරාණිට ඇඬුම් ආවාය.

"රාජේෂ් එයි, අද රෑ මෙතන ඉන්න එක හොඳ නැහැ. රස්තියාදුකාරයෝ ගෙවල් මංකොල්ල කනවලු, යං අපේ ගෙදර, ඉක්මණට බඩු පැක්කර ගන්න. "

තවරාණි විශාල සූට්කේස් එකකට තම ස්වර්නාභරණ, ලියකියවිලි, මුදල් හා ඇඳුම් දමාගත්තේ කඩිනමිනි. "පාර්වතී ඉක්මනට ළමයින්ගේ ඇඳුම් ගනිං. "ඇය සේවිකාවට විධාන කළාය. තැතිගෙන සිටි ළමයි හා පැටවුන් සේ තවරාණි අසල දැවටුණාය.

"රෑට කාලවත් නැතිව ඇති නේද? මම ඉක්මනට මොනවා හරි හදන්නම්, ඉක්මන් කරලා යමු. දොර ජනෙල් හොඳට වහන්න. " මිසිස් දේවරාජාද දොරගුඟ පරීක්ෂා කිරීමට උදව් වූවාය.

******

සාප්පුවේ තිබුණු වටිනා භාණ්ඩ පෑලියගොඩ තම සිංහල මිතුරාගේ ගරාජයට ගෙන ගිය රාජේෂ් රියදුරා සමග බඩු බෑවේය. බඩු සියල්ල බා අවසන් කරන විට රෑ අට ද පසු වී තිබුණි. රාත්‍රියේ ගමන අවදානම් නිසා අද රාත්‍රියේ තමාගේ නිවසේ නැවතී හෙට යන ලෙස මිතුරා අයාචනා කළද තවරාණි හා ළමුන් දෙදෙනා තනිවම සිටින නිසා වහාම ගෙදර යායුතු බව රාජේෂ් තීරණය කළේය.

සිල්වා රියදුරු සුක්කානමේ සිටීම රාජේෂ්ගේ සිතට සහනයකි. සිල්වා වෑන් රථය පැදවූයේ විට සපමිනි. මරදාන දක්වා ඔවුන් කිසිදු ගැටළුවකට මුහුණ නොදී පැමිණියහ. තැනින් තැන පොළිස් නිළධාරීන් සිටියද කිසිවෙකු වාහනය නැවැත්වූයේ නැත.

වෑන් රථය බොරැල්ල මංසන්ධියට හරවන විට විශාල සෙනගක් පාරපුරා සිටීම නිසා සිල්වා වාහනයේ වේගය අඩු කළේය. පාර දෙපස ගිනිගන්නා වාහන කිහිපයකි. බීමතින් කඩු පොලු ගත් දාමරිකයන් සටන් පාඨ කියමින් වෑන් රථයට කිට්ටු වූහ.

සිල්වා වාහනය යළි හරවා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුණු නමුත්, පාර අයිනේ නවතා තිබූ බස්රථය නිසා ඔහුට ඒ සඳහා ඉඩක් නොවීය. ඒ අතරවාරයේ මැරයෝ වෑන ්රථය වට කළහ.

"තමුසෙලා කවුද? සිංහලද? දෙමළද? " කණ්ඩායමේ නායකයා යැයි සිතිය හැකි අයෙකු ප්‍රශ්න කෙළේය. ඔහුගේ අතේ රටබීම බෝතලයකි. ඔහු වතුර බොන්නාක් මෙන් බෝතලයේ තිබූ මත් පැන් කටේ හලා ගත්තේය. යකඩ පොලු, කඩු අතින් ගත් දාමරිකයන් වාහනයේ වටිනා යමක් තිබේද කියා කර පොවා බැලුවෝය.

"අපි සිංහල, " සිල්වා තතනමින් පිළිතුරු දුන්නේය. "මහත්තයව ගෙදර බස්සවන්න යනවා. "

"ආ මෙයාද මහත්තයා, මහත්තයා සිංහලද? " එක් මැරයෙක් ප්‍රශ්න කළේය. රාජේෂ් කිසිදු පිළිතුරක් නොදී බිම බලා ගත්තේය. "ඒයි මහත්තයා, තමුසෙ සිංහල ද? කියනවා බලන්න මල් පූජා කරන ගාථාව. "

රාජේෂ් නළලින් වැගිරෙන දාඩිය කමීස අතේ පිසදා ගත්තේය. සිල්වා ගොත ගසමින් කතාකළේය.
"මේ මහත්තයා සිංහල, අපිට යන්න දෙන්න. "

"අඩෝ නාකියා, උඹ දෙමලුන්ට . . . . . . . . . දෙනවා නේද? මූ දෙමලෙක්. පේන්නේ නැද්ද මූණ බැලුවම. " මැරයා තම අත තිබූ මුගුරෙන් වෑන් රථයේ වින්ඩ්ස්ක්‍රීන් එකට ගැසුවේය. එම පහරින් වීදුරු කෑලි සිල්වාගේ හා රාජේෂ්ගේ ඇඟ පුරාම වීදුරු වැස්සක් සේ වැටුණේය.

"ඒයි, මහත්තයා බැහැපං, නැත්තං වාහනේ ඇතුළට දාලා ගිනි තියනවා, "මැරයෝ මෙසේ කියමින් වෑන්රියේ දොර ඇර රාජේෂ්ව බිමට ඇද දැම්මෝය."අනේ අපේ මහත්තයට ගහන්න එපා. " සිල්වා දෑත් එක් කොට වැන්දේය."අඩෝ නාකියා බැහැපන් උඹත් මැරුම් නොකා, " මැර නායකයා සිල්වාගේ බෙල්ලෙන් අල්ලා බිමට දැම්මේය. අනතුරුව සුනඛයෙකුට පා පහරක් දෙන්නාක් මෙන් සිල්වාගේ පශ්චාත් ප්‍රදේශයට පා පහරක් එල්ල කළේය.

මේ අතර මැර පිරිස වටවී රාජේෂ්ට පොලු වලින් පහර දුන්නේය. ලේ වලින් ඔහුගේ මුහුණ තෙත් විය. පහරවල් වලකාලීමට මෙන් ඔහු දුබල වූ දෑත් වලින් මුහුණ ආවරණය කර ගත්තේය. බිම වැතිරී සිටි සිල්වා රාජේෂ් දෙසට බඩගෑමට උත්සාහ කළේය. සෙනග වට වී සිටි නිසා ඔහු රාජේෂ් දුටුවේ නැත. මෝල් ගස් මෙන් ඉහළ යන පොලු ඔහු දිටීය. රාජේෂ්ගේ ශරීරයට ඒවා වැදෙන විට නැගෙන හඬ පමණක් ඔහුට ඇසුණේය. "අනේ අපේ මහත්තයා"සිල්වා තාර පොලවේ හිස ඇන ගත්තේය.

******

පසු දින දහවල් වනතෙක් රාජේෂ් පිළිබඳ තොරතුරක් නැති නිසා තවරාණි සිටියේ ඇඬූ කඳුළිනි. ළමයි දෙදෙනා ද මව සමග වරින්වර ඇඬූහ. ඔවුන් සැනසීමට උත්සුක වූ මිසිස් දේවරාජා රාජේෂ් ඇඟරි නීතිය නිසා කොහේ හෝ කොටු වී නිරුපද්‍රිතව ඇති බව පැවසුවේ තම සිතේ වූ සැකයට ද වංචා කරමිනි.

"නෝනා, නෝනා, මෙහාට මිනිස්සු කට්ටියක් එනවා, " පාර්වතී මුර ගෑවාය.

මිසිස් දේවරාජා තවරාණි හා ළමුන් තම නිදන කාමරයට යවා දොරවසා කවුළුවෙන් කරපොවා බැලුවාය. මිනිසුන් සියයක් පමණ ඇයගේ මිදුලේ රැස් වී සිටිති. එක් මැදි වියේ පුද්ගලයෙකු දොරට තදින් තට්ටු කෙළේය. ගැඹුරු හුස්මක් ගත් මිසිස් දේවරාජා දොර ඇරියේ බිය නොපෙන්වමිනි.

"මොකද ඔහේලා මෙහේ කරන්නේ. " ඇය උස්හඬින් ඇසුවාය. "නෝනා, ගෙදර හංගගෙන ඉන්න දෙමෙල්ලු එළියට දාන්න. " මැදිවියේ පුද්ගලයා ගොරෝසු හඬින් කීවේය. ඔහුගේ අතේ විශාල කඩුවකි. ඔහුගේ මුහුණේ ඇති කැපුම් කැළල නිසා ඔහුගේ මුහුණ තවත් බිහිසුණුව පෙණිනි.

"මෙහේ ඇති දෙමලෙක් නැහැ, කරුණාකරලා යන්න. මම නැත්නම් පොලීසියට යනවා. "

"නෝනා ඕන මළදානයකට යන්ඩ, ගෙදර හංගාගෙන ඉන්න දෙමෙල්ලු ටික එළියට දැම්මේ නැත්නම් අපි මේ ගෙදරත් ගිනි තියනවා. " ඔහු පෙට්ට්‍රල් බූලියක් අතට ගත්තේය.

රැස්ව සිටි පිරිස උද්දාමයෙන් ප්‍රීති ඝෝෂා කළහ. අසල්වැසියන්ද වට වී සිටියද කිසිම අයෙකු වචනයක්වත් කීවේ නැත. එහෙත් සෙනග පීරාගෙන මහළු භික්ෂුවක් හැරමිටි ගසමින් පැමිණියේය. භික්ෂුව දැකීමෙන් දේවරාජා මහත්මියට පළමුවෙන්ම පුදුමයක්ද, දෙවනුව සහනයක්ද දැනිනි. හන්දියේ පන්සලේ අසනීප ගතියෙන් සිටින ජිනාලංකාර හාමුදුරුවෝ මෙතෙන්ට වැඩියෙ කොහොමද ඇය සිතුවාය.

මහළු භික්ෂුව ඉදිරියට පැමිණ සෙනගට කථා කළේ දුබල හඬකිනි.

"උඹලා, මේ කරන්ට යන තිරිසන් වැඩේ මොකක්ද? කොටි ඉන්නේ යාපනේ, උඹලා මෙහේ ඉන්න අහිංසක දෙමළ මිනිස්සු මරණ එකේ තේරුමක් තියෙනවද? "

"මෙහේ ඉන්න දෙමෙල්ලු තමයි හාමුදුරුවනේ, කොටින්ට සල්ලි යවන්නේ. "සෙනග අතර සිටි හැඩි දැඩි තරුණයකු කීවේය.

භික්ෂුව ඔහු දෙස මොහොතක් බලා සිටියේය.

"සල්ලි යවනව ඔහේ දැක්කද? දැක්ක නම් ගිනි තියපං. " භික්ෂුව ඔහුට ඉඩ දෙන නියායෙන් පසෙකට විය. සෙනග නිහඬව සිටියා මිස කිසිවක් කීවේ නැත.

"උඹලා ඔය විඳින්නේ දදයක් කසලා ඇතිවෙන සහනය. ඒත් මතක තියා ගනිල්ලා මේවාට තව අවුරුදු ගණන් යනකං උඹලාට විඳවන්න වෙන බව. උඹලාට විතරක් නොවෙයි, උඹලගේ දරුවන්ටත්, අහක ඉන්න අපටත් විඳවන්න වෙයි. "

රැස්ව සිටි පිරිස හින් සීරුවේ ක්‍රමක්‍රමයෙන් විසිර ගියහ.

*****

තම පුතාගේ හත් දවසේ දානයෙන් පසු හේමපාල කොළඹ යුධ හමුදා මූලස්ථානයට පැමිණියේ පුතාගේ හිඟ වැටුප් හා දීමනා ලබාගත හැක්කේ කෙසේද යන්න දැනගැනීමටය.

මුළු නගරයම යකුන් නැටූ පිටියක් මෙන් විනාශ වී ගොසිනි. තැනින් තැන ගිනිගත් කඩසාප්පුය.

දින ගණනක් රෝහලේ නේවාසිකව නතරවී ප්‍රතිකාර ගැනීමෙන් පසු ටිකට් කපනලද සිල්වා අසීරුවෙන් තම හාම්පුතාගේ නිවසට පැමිණියේ ඔහුගේ දරු පවුල හමුවීමේ අපේක්ෂාවෙනි. දොර ජනෙල් වසා නිවසද පාළුවට ගොසින් තිබූ බැවින් සිල්වා අසල්වැසි නිවසට ගොස් මොවුන් පිලිබඳ තොරතුරු විමසීය.

"සිල්වා මොකද වුණේ? " හිසේ ප්ලාස්ටර් හා තවමත් අත එල්ලාගෙන සිටින රාජේෂ්ගේ රියදුරා දුටු දේවරාජා මහත්මිය ඇසුවාය. "නෝන, අහස පොළව නුහුලන අපරාධයක් වුණේ. මගේ ඇස් ඉස්සරහ රාජේෂ් මහත්තයට ගහල මැරුවා. උන් මටත් ගැහැව්වා. මම අමාරුවෙන් බඩගාගෙන මරදාන පැත්තට යනකොට පොලිස් ජීප් එකක් මාව ඉස්පිරිතාලයට ගිහින් දැම්මා. සුමානයක් විතර ඉස්පිරිතාලේ ඉඳලා අදයි ටිකට් කැපුවේ. කෝ තවරාණි නෝනයි, ළමයින් දෙන්නයි? "

දේවරාජා මහත්මිය සුසුමක් හෙලුවාය. "රාජේෂ් මහත්තයාගේ මරණය ගැන තවරාණි නෝනා දැන ගත්තේ පොලීසියෙන් ඇවිල්ලා කිව්වමයි. උන් වෑන් එකත් පුච්චලා. පෙරේදා නෝනා ළමයි දෙන්නා සමඟ යාපනේ ගියා. ලබන මාසයේ කැනඩාවට යනවලු. ලංකාවේ ඉන්න එකක් නැහැ. "

මහළු රියදුරා තම දෑස් පියා ගත්තේය. "හරි අපරාදයක් නේද වුණේ ? හොඳ ලස්සනට හිටපු පවුලක් මොහොතකින් විනාශ කරලා දැම්මා මේ අමනුස්සයෝ. මේවා බලන්න අපිත් ජීවත් උනානේ. " ඔහු දෙනෙතින් වැගිරෙන කඳුළු පිසදමා ගත්තේය. "මම යන්නං නෝනා, රෑ වෙන්න කලින් ගමේ යන්න ඕනෑ. "

රියදුරා පිටත් වීමෙන් පසු දේවරාජා මහත්මිය පාර අද්දරට ගියාය. ඈත මාර්ගයේ ගින්නෙන් විනාශ වූ ගෙවල් හා කඩසාප්පු ඇයගේ නෙතට ලක්විය."හරියට මහා ගිනිකන්දක් පිපුරුණා වගේ" ඇය දිග හුස්මක් ගනිමින් තොල් මැතුරුවාය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

-http://transyl2014.blogspot.co.uk/2015/07/blog-post_23.html

1983 ජූලියක් සිරි ලකට නැවත නොම වේවා.

blackjulyමෙලොවට දරුවෙක් උපදින විට ප්‍රථමයෙන් දෙමාපිය රැකවරණය ලබයි. ජේසු බිලිඳා සහ සිදුහත් කුමරා යන දෙදෙනාම ඉපදුනේ එළිමහනේ අනපේක්‍ෂිත ස්ථාන දෙකකය. ඔවුන් දෙදෙනා ලද දෙමාපිය රැකවරණය සහ ආදරය නොවන්නට සාමයේ පණිවිඩ ලොවට නොලැබෙන්න ඉඩ තිබුණි. එසේ වැඩෙන දරුවෙක් තාරුණ්‍යයට එළබෙන විට රටක ව්‍යවස්ථාවෙන් හා ඉන් ව්‍යුත්පන්න වන නීති රාමුවෙන් රැකවරණය ලබය්. එසේ නීති රාමුවෙන් රැකවරණය ලබා පෝෂණය වන තාරුණ්‍යය රටක ඉදිරි ගමන ශක්තිමත් කරයි. නමුත් මානව සම්භවයේ සමහර තැන් වල එම නීති රාමුවේ රක්ෂණය අභිබවා ගෝත්‍රික හැගීම් නැගී සිට ඉතා ඛේද ජනක ලේ වැගිරීම් සිදු කර ඇත.
1983 මෙවැනි දිනක රටේ නායකයා වුයේ ධර්මිෂ්ට සමාජයක් බිහි කිරීමට ආ ජේ. ආර්. ජයවර්ධනය. ඔහුට 1983 ජුලි මස අද දවසේ කොලබ ඇවිලුණු ජාතිවාදී ගිනිදැල් නිවාලීමට අඩු තරමේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට සතියක් ගත විය. කොළඹ ගිණි ගෙන අලු වෙන අයුරු ඔහු බලා සිටියේය. අද දින දක්වා කිසිදු අපරාද කාරයෙක් නීතියේ රැහැනට ගෙන නැත. එත් සමග වේලුපිල්ලේ ප්‍රභාකරන් උතුරෙන් දියත් කරෙත් ජාති වාදය හා ද්වේශයය්. ලෝබ, ද්වේශ, මෝහ, යන මේ තුන් ගින්නම වැඩෙන්නේ නාභි දෙකක් හෝ වැඩි ගනනක් වටාය. උතුරින් එක නාභියකුත්, දකුණෙන් තව නාභියකුත් මුල් කරගෙන සහ-පෝෂණය වී වැඩුන ගින්න වසර 30 ක් සිරි ලක මානවයා දවාලුය.
අපි පනාගොඩ කඳවුරේ සමහර තාක්ෂණ හමුවීම් පාන්දර දෙකට පමණ හමාර කොට නිදි මරගාතෙ ගෙදර යනකොට මෙවන් ගින්නක් අපේ දරුවන්ට නොලැබේවා කියල සැමදා පැතුවෙමු. උදේ සතරට විතර ගෝටගේ ගෙදර සමහර හමුවීම් වලට ගිහින් පාන්දර සරසවියට ගියේ අපි මත යැපෙන සිසුන්ට මෙවන් දුකක් නොලැබේවා කියන ප්‍රර්තනවෙනි. නමුත් අපේ යම් කරුමෙකට සිරි ලක මානවයාට යුධය හා ගැටුම යන දෙක වෙන් කර හඳුනාගත නොහැකි විය. ඔවුන්ගෙන් බොහොමයක් යුද්දයේ අවසන ගැටුමේ නාභි වල නිරෝධ වීම යයි සිතුවෝය. එසේ සිතා දැනටත් දැවෙන උතුරේ නාභිය පෙන්නා දේශපාලනය යහමින් කරගෙන ගියේ දකුණේ නාභියක් නැතය් අවධාරණය කරගෙනය්.
අද දින නැවතී සිතන දිනයයි. ගැටුමේ නාභි සියල්ලේ නිරෝධයට එක් ප්‍රධාන සාධකයක් වනුයේ සියලු පුරවැසියන් හට ව්‍යවස්ථාවෙන් අවංකවම රක්ෂණයක් ලබා දිමය්. එයට නීතියේ අධිපත්‍යය, පුරවැසි භාවය හා ජනතා පරමාධිපත්‍යය යන පරම අයිතීන් වෙනුවෙන් ජනතාව පෙළ ගැසේවා. ඒ අතර සිදුවූ අතපසු වීම් ගැන එකිනෙකා අවංකව විමසා බැලීමට ජනතාවට දිරිය ලැබේවා. 1983 ජූලියක් සිරි ලකට නැවත නොම වේවා.

ආචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර

අබයාරාමයේ විත්ති - අහෝ දුකකි, බේදයකි..අප්පච්චිට අවසානයේ වැලේ වැල් නැතිවූ වගයි.

cartoon of the dayඅපේ ගරුකටයුතු අප්පච්චිට අන්තිමට වැලේ වැල් නැතිවිය.තණ්හාය ජායතී ශෝකෝ, තණ්හාය ජායතී භයං යන දෙපදයට බල තණ්හාය ජායතී ගෞරවං දෙකේ කොළං කියා තුන්වන පදයක් ද එකතු කළ යුතු කාලය එළඹ ඇත. අධික බල තණ්හාව නිසා ආත්ම ගෞරවය දෙකේ කොළයට වැටේ. අප්පච්චිට මේ සිදුවී ඇති නස්පැත්තිය ඊට කදිම උදාහරණයකි.
 
මට ජනාධිපති තුමා එක්ක අගමැති හැටියට සහයෝගයෙන් වැඩ කරන්නට පුළුවන් වරෙක  එතුමා පැවසුවේ තම කපටි හිනාවෙන් මුව සරසාගෙනය. එතුමාට ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ ගැටළුවක් ඇතිවිය නොහැක. එසේ ගැටළුවක් ඇතිවිය යුත්තේ ජනාධිපතිතුමාටය. 
 
ජනාධිපතිවරණයේදී එතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකා ගිනිතබා පුළුස්සා දැම්මවූවා මිස මෛත්‍රීපාල සිරිසේන මහතා එවැන්නක් කලේ නැත.එතුමාගේ මැරවර ගෝල බාලයින් ලවා වෙඩි තබා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවකු ඝාතනය කරවූවා මිස මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ එවැන්නක් කරවූයේ නැත. ඒ මනුෂ්‍ය ඝාතන චෝදනාවට ලක්ව අත් අඩංගුවේ පසුවන මැර දේසපාලුවාගේ සුවදුක් බැලීමට එතුමා කීප විටක් බන්ධනාගාරටය ගියා පමණක් නොව මෙවර මහ මැතිවරණය උදෙසා ඔහුට නාම යෝජනා ලබාදීමටද කටයුතු කොට ඇත.
 
ජනාධිපතිවරණය දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට යද්දී එතුමා මෛත්‍රීපාල සිරිසේන මහතාමෙන් වෙස් ගැන්වූ කෝණංගියකු කැටුව ගියා මිස මෛත්‍රීපාල සිරිසේන මහතා එතුමා මෙන් වෙස් ගැන්වූවකු තමන් සමඟ කැටුව ගියේ නැත. එසේ හෙයින් උදෑසන හිරු එළිය මෙන් පහැදිලිව පෙනෙන්නට ඇත්තේ එතුමාට ජනාධිපතිතුමා සමඟ කටයුතු කිරීමේ කිසිදු ගැටළුවක් නොමැති වුවද ජනාධිපතිතුමාට නම් එතුමා සමඟ කටයුතු කිරීමේ බරපතල ගැටළුවක් පවතින බවයි.
 
අප්පච්චි හිරවූ උගුල ලේසි පහසු නැත.හුදු අහම්බයකින් හෝ නිදහස් සන්ධානය බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගත්තද එතුමා අගමැති පදවියට පත්නොකරන බවට ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලිව පැවසුවේය. සන්ධානයේ එතුමාට වඩා ඒ සඳහා සුදුස්සන් සිටින බව ද ජනාධිපතිතුමාගේ කරුණු පැහැදිලි කිරීමෙහිදී සඳහන් විය. 
 
එබැවින් උපරිම වශයෙන් එතුමාට බලාපොරොත්තුවිය හැක්කේ කුරුණෑගල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිය පමණි. අනතුරුව ඉදිරි වසර හය තුල විමධ්‍යගත අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වෙන්වන මුදලින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව්, අමුණු ප්‍රතිසංස්කරණය කරමින් පාලම්, බෝක්කු සාදවමින් කල් ගත කිරීමට එතුමාට සිදුවේ. අහෝ ජාතිය බේරාගත් මහා වීරයාණන්ට සිදුවූ අපහාසයක තරම! අනේ සකෝ බලලෝ...හෙහ්,හෙහ්,
 
එවන් අපහාසයක් එතුමාට විඳීමට සිදුවීම වැළැක්වීමට නම් කුරුණෑගල සන්ධාන පාක්ෂිකයින් කල යුත්තේ එතුමා පරාජය කිරීමයි. රට ජාතිය බේරාගත් මහා වීරයාණන්ට කළගුණ දක්වනු වස් මේ අවස්ථාවේ ඔවුනට කල හැකි එපමණකි.
 
නොවඳිනා වැදුම් වැඳ අඬා දොඩා නාමයෝජනා ලබාගෙන අනතුරුව කෙසේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිය ලබාගතහොත් එතුමාට අවම වශයෙන් ඉන්නට හිටින්නට නිලනිවසක් හෝ ලැබීම මහත් ප්‍රීතියට කරුණකි. ජනාධිපති පදවියෙන් පලවාහැරි ඉක්බිති සුදුසු නිල නිවසක් නොලැබීම නිසා තම සාටක, ජාතික බැනියං ආදී ඇඳුම් පැලඳුම් පවා පරණ කන්ටේනර් පෙට්ටි කීපයක පටවාගෙන තැනින් තැනට ගිය එතුමා මෙතෙක් තාවකාලිකව ලැගුම් ගෙන සිටිනුයේ අභයාරාමයේ බණ මඩුවේය. 
 
එබැවින් පසුගිය නවම් පෝයදින සිට මෙතෙක් අභයාරාමයෙහි පසළොස්වක දිනට පැවැත්වෙන ධර්ම දේශනාවන් අවලංගු වීම හේතුකොටගෙන එහි දායක දායිකාවන් පසුවනුයේ බලවත් කණස්සල්ලකිනි. එතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියක් ලැබීම හේතුකොටගෙන අවම වශයෙන් අභයාරාමයෙහි දායක පිරිසට හෝ සහනයක් සැලසෙන්නේ නම් ඒ ද මැනවි.
 
අට වසරේ පමණ මා හා එකට අකුරුකල සැම්සන් නම්වූ මහා හිතුවක්කාරයකු විය. ගුරුවරුන්ගේ අණ තඹ දොයිතුවකට මායිම් නොකල හෙතෙම අප පංතිභාර ගුරුතුමාවූ ජයසිංහ මහතාගෙන් තැළුම් නොකෑවේ එහෙමත් දිනයකදීය. " උඹ නම් හදන්ට බෑ සැම්සන් .....උඹට තියෙන්නෙ ආයෙම හෝඩියෙ පංතියට ගිහිල්ල එතන ඉඳල නියම විදිහට ඉගෙන ගෙන එන්ට " එක් දිනෙක සැම්සන්ගේ කුමන හෝ මැරෑටි වැඩක් හේතුකොටගෙන අන්තයටම කලකිරුනු ජයසිංහ මහතා ඉතා දුක්බරව පවසනු මට අද මෙන් මතකය. 
 
දෛවයේ සරදමකට මෙන් එදා කිසිලෙසකින් යහමඟ යැවිය නොහැකි මැරෑටියකුවූ සැම්සන්හට ජයසිංහ මහතා යෝජනා කල ප්‍රතිකර්මය අද එතුමා ද ස්වේච්ඡාවෙන්ම පිළිපැදීමට එකඟ වී ඇත. දශකයකට ආසන්න කාලයක් ජනාධිපති පදවිය දැරූවකු යලි පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියකට ඉල්ලුම් කරන්නේ තමන්ට ජනාධිපති පදවිය දරද්දී ඉගෙන ගත නොහැකිවූ යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳව යලි මුල සිටම හැදෑරීමට විනා අන් කවරක් උදෙසාද? කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස වසර හයක් ගතකිරීමෙන් හෝ එතුමාට යම් ගුණ ධර්මයක් ඉගෙනගත හැකිවේ නම් මන්ත්‍රී පදවිය වෙනුවෙන් වසර හයක් එතුමාට වැටුප් වශයෙන් ගෙවන මහජන මුදල් අපතේ නොගිය සේ සලකා සතුටු විය හැක.
 
ජනාධිපතිතුමාගේ ප්‍රකාශය පිළිබඳ බොහෝ විවේචන එල්ල වෙමින් පවතී. ඔහුගේ ප්‍රකාශය පක්ෂයට හානියක් බව බොහෝ දෙනෙකුගේ මතයයි. ඔවුන්ට බොහෝ පහසුවෙන් අමතක වන වැදගත් කාරණයක් ඇත. එනම් රටක රාජ්‍ය නායකයා රටේ අනාගතයට බලපාන වැදගත් අවස්ථාවන්හිදී පක්ෂ දේශපාලනයට ඔබ්බෙන් නැඟීසිටියයුතු බවය. 
 
රට, පක්ෂය, පවුල යන අනුපිළිවෙල නොව පසුගිය දශකය තුල මෙරට ක්‍රියාත්මක වූයේ තමා, පවුල, නෑදෑයින්, හිත මිතුරන්, පක්ෂය, රට යන අනුපිළිවෙලට වැදගත්කම අවරෝහණය වන මහින්ද චින්තන වැඩ පිළිවෙල බැවින් බහුතරයක් එලෙස සිතීම පිළිබඳව පුදුමයට පත්විය යුතුද නැත. කොතරම් හෝ වැරදි ප්‍රතිපත්තියක් දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වන විට ඒ නිවැරදි ක්‍රියා පිළිවෙල බවට මතයක් ජන විඥානය තුල ඇටුවම් බැස ගනී. එවන් පත්තියම් වූ වැරදි මතයක් එක්වරම සැණෙකින් ඉවත්කිරීම ඉතා අපහසුය. 
 
රාජ්‍ය නායකයා යනු දේශපාලකයකු වුවද රාජ්‍ය නායකයකු පටු දේශපාලනය අභිබවා නැඟී සිට පක්ෂයට පෙර රට යන සංකල්පය අනුව කටයුතු කලයුතු අවස්ථා එලඹේ. මේ එවැනි අවස්ථාවකි. ජනාධිපතිතුමා කටයුතු කොට ඇත්තේ එපරිද්දෙනි.
 
මහින්ද රාජපක්ෂ නම්වූ පාරාජිකාවූ දූෂිත දේශපාලනඥයාගේ බලපෑමෙන් මිදී නව දේශපාලන සංස්කෘතියක් කරා ගමන් කිරීමට , නව මුහුණුවරකින් ජනතාව ඉදිරියට පැමිණීමට තිබූ මහඟු අවස්ථාවක් මහින්දගේ පාලනය යටතේ නොයෙක් අයථා ක්‍රියාමාර්ගයන් මඟින් ධනය උපයාගත් ඔහු මෙන්ම අන්ත දූෂිත බත් බැලයින් රොත්ත විසින් ප්‍රතික්ෂේප කොට ඇත. අපේ හොරා අපට හොඳා යනුවෙන් යටි ගිරියෙන් කෑගසමින් ඔවුහු මහින්ද වටා රැස්ව සිටිති. නිල මැස්සන් රොද බඳින්නේ කුමක් වටාදැයි යන්න අමුතුවෙන් යලි යලිත් පැවසිය යුතු නැත.
 
සන්ධානයට අවශ්‍ය වන්නේ එසේ දූෂිතයින් හා උරෙනුර ගැටී තව දුරටත් ගමන් කිරීම නම් ඊට අප බාධා කල යුතු නැත. ජනවාරි අට වන දින අනපේක්ෂිතව මහ පොළව මත ඇද වැටුනු මහින්දට යලි නැඟිටීමට කිසිසේත් ඉඩ නොදීමට වග බලා ගැනීම යුක්තිය සහ සාධාරණත්වය අගයන අප සැමගේ යුතුකම වන්නේය.එය ශ්‍රී ලංකාවේ මෙන්ම මතු පරපුරේ අභිවෘද්ධිය ද පතන සියල්ලනගේ දැඩි අධිෂ්ඨානය විය යුත්තේය.

ඒ කාලෙ මේ කාලේ සහ ඉදිරි කාලේ....

chicken"ඔන්න එක ගොවිපලක හිටිය කුකුලෙක් කාලයක් තිස්සේ ගනන් බලල තිබුනලු උදේ නවය වෙද්දි තමුන්ගෙ උදේ කෑම එක ලැබෙනව කියල. මේක කුකුලා කාලයක් තිස්සෙ තමුන්ගෙ අත්දැකීම් වලින් ගොඩනඟාගත්ත උපකල්පනයක්. නමුත් එක දවසක් උදේ නවය වෙද්දි කුකුල හිටියෙ පෝරණුවක් අැතුලෙලු"

මේ ලියන්නෙ දුකා දාපු මේ ලිපිය කියෙව්වම මට හිතුන දෙයක්.
ජවිපෙට ඡන්දෙ දෙන්න කියල ඉල්ලන්න දුකා පෙන්නන එක හේතුවක් තමයි 88-89 කාලෙ සිදුවුන ඝාතන මතක් කිරීම. මේක හුඟ දෙනෙක් කරන දෙයක්. දුකා ඡන්දෙ දෙන්න කියන ජවිපෙටත් මේ චෝදනාව ඒ විදියටම අදාල බව ඡන්දෙ කාලෙ ඇලවෙන පෝස්ටර් වලින්, ශෙයා වෙන බැනර් වලින් වගේම මිනිස්සුන්ගෙ කතා වලිනුත් තේරුම් ගන්න පුළුවන්. යූඇන්පිය ජවිපෙට ගහන්නත් ජවිපෙ යූඇන්පියට ගහන්නත් 88-89 ‍සිද්ධි මතක් කරනව. අනිත් පැත්තට මේ දෙගොල්ලටම බැටේ දෙන්න ශ්‍රීලනිපයත් මේව ප්‍රයෝජනයට ගන්නව. කොහොමත් හබන් කුකුල්ලු තමයි වැඩිපුර වාසි ගන්නෙ.

88-89 කාලය අමතක වෙන්න තරම් බබ්බු වැඩිහිටියන් අතර ඉන්නව කියල සහ ඒ කාලෙ තිබුන තත්වය අවබෝධ කරගන්න බැරි තරමට සාක්ෂරතාවය දුර්වල පසු පරම්පරාවක් ඉන්නව කියල මම නං හිතන්නෙ නෑ. කොටින්ම මේව අපි හොඳට දන්න කියන කාරණා. බටලන්දෙදි රනිල් කලා යයි කියන දේවලුත්, ඒ කාලෙ මහින්ද රාජපක්ෂ සහ එජාප/ශ්‍රීලනිප වල ඉන්න සමහරු කල කී දේවලුත් නොදන්න අයට වැඩිය දන්න අය වැඩියි. ඕව ආයෙ වහෙං ඔරෝ කියන්නවත් හංගන්නවත් දේවල් නෙවේ.

හැබැයි එකක්, අතීතයේ සිදුවුන දේවල් ඒ ආකාරයෙන්ම සිදුවේයයි සිතීම තරම් මුලාවක් තවත් නෑ. නමුත් හුඟ දෙනෙක් කැමතියි අතීතය දිහා බලාගෙන අනාගතය පුරෝකතනය කරන්න. අන්න එතන තමයි මට අවුල් තැන.

අපි හොඳින් දන්න කියන කාරණා දෙක තුනක් අ‍රගෙන බලමු ඔය දේවල් ඒ විදියටම සිදුවෙනවද කියල.
මම අහල තියන හොඳම ජාතියෙ මිත්‍යාවක් තමයි 'සමානුපාතික ඡන්ද ක්‍රමය පැමිණියාට පසු (මැතිවරණ) පාදඩකරණය ආරම්භවූ බවත් ක්‍රමය වෙනස් කිරීමෙන් ආයෙත් පැරණි තත්වයට යන්න පුළුවන්' බවත්. පාදඩකරණයේ ආරම්භය සමානුපාතික ක්‍රමය වෙන්න පුළුවන්, නමුත් ආයෙත් කොට්ඨාස ක්‍රමයට ගියා කියල 77 නවත්තපු තැනට යන්න බෑ. එහෙම කරන්න නං කාල යන්ත්‍රයක නැඟිල යන්න වෙනව.

ජවිපෙට එජාපයට එල්ල වන භීෂණ චෝදනාවත් ඒ වගේ. එජාප ආණ්ඩුව කාලෙ තරුණ කැරැල්ලක් ඇතිවෙලා ඒක දරුණු විදියට මර්ධනය වීමේ ප්‍රතිපලය තමයි අපි ඒ කාලෙ දැක්කෙ. එහෙම උනා කියල ආයෙත් එජාප රජයක් ආවොත් ඒ විදියටම කටයුතු සිදුවේදැයි කියන්න හැකියාවක් නෑ.

තව එකක් බලමු. මෛත්‍රීපාල ශ්‍රීලනිපයේ මහලේකම් තනතුරෙන් අයින් වෙලා ජනාධිපතිවරණයට එද්දි ප්‍රති පාර්ශවය කියපු කතාවක් තමයි 'ශ්‍රීලනිපයෙන් මහ ලේකම්ලා මෙච්චර ප්‍රමාණයක් ගිහිං තියනව. ඒ අයට අත්වුන ඉරණම මේකයි' වගේ කතා. බැලුවම ඒ කතන්දර ඇත්ත. ශ්‍රීලනිපයෙන් ගිය ලේකම්ලා ගොඩගිහිං නෑ එකෙක්වත්. නමුත් මෛත්‍රීපාල ඒ රටාව මකාදමන්න සමත්වුනා.

මහින්ද රාජපක්ෂගෙ නායකත්වය යටතේ යුද්ධය අවසන් කරන්න කලින් කියවුන කත‍ාවක් තමයි 'ගරිල්ලා සටන්කරුවන් යුධමය වශයෙන් පරාජය කල රටක් නෑ' කියන එක. නමුත් 2009දි ඉතිහාසය වෙනස් වෙච්ච හැටි දකින්න අපට පුළුවන් වුනා.

මේ වගේ උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්. වැඩේ තියෙන්නෙ අතීතයෙන් අනාගතය ඔය විදියට සරළව ගොඩනඟන්න බැරිවීම. හේතුව තමයි අතීතයත් වර්තමානයත් අතරතියන ආර්ථික-සමාජ-සංස්කෘතික වෙනස්කම්.

පහුගිය දවසක මේ වගේම රටාවක් දැක්ක T20 ලෝක කුසලාන ගැන. 2009 අවුරුද්දෙ ඉඳල බැලුවම එන්නෙ මෙහෙමයි,

2009 තරග තිබුනෙ එංගලන්නෙදි, ශූරතාවය දිනුවෙ පාකිස්තානය,
2010 තරග තිබුනෙ කොදෙව් වල, ශූරතාවය දිනුවෙ එංගලන්තය,
2012 තරග තිබුනෙ ලංකාවෙ, ශූරයො උනේ කොදෙව්වො,
2014 තරග තිබුනෙ බංගලිදේසෙ, ශුරයො ලංකාව,

එතකොට මේ රටාව අනුව කලින් වතාවෙ තරග පවත්වපු රට තමයි ඊලඟ වතාවෙ දිනන්නෙ. ඒ කියන්නෙ 2016දි ඉන්දියාවෙදි ශූරයො වෙන්නෙ බංගලියොද?

ප.ලි: සමහර විට(මම යූඇන්පී කාරයෙක් කියල) වැරදි වැටහීම් ඇතිවිය හැකි බැවින් මේකත් කියන්න ඕන. මෙදා මගේ ඡන්දයත් ජවිපෙට දෙන්නයි වැඩි ඉඩක් තියෙන්නෙ. එජාපයට නොදී ජවිපෙට දෙන්න හේතුව එජාපය පැත්තෙන් පහුගිය (දින සීයද එකසිය හැටද) කාලෙ සිිදුවුන වැරදි මිසක් 88-89 වැරදි නිසා නං නෙවේ. ජවිපෙට දෙන්නෙත් ඒ කාලෙ කෝන්තර නිසා නෙවේ.

-http://raj1st.blogspot.co.uk/2015/07/blog-post_20.html

සියාමා ගේ කතාවට පසු වදනක්

dreamstimeඕස්ට්‍රේලියාවේ ජිවත් වන මගේ මිතුරෙකු වන ජ.......... මට ඊමේල් පණිවුඩයක් ඒවා තිබුණි. ඔහු සියාමා ගේ කතාව අන්තර්ජාලයේ දැක කියවූ බවත් එය ළගන්නා සුළු කතාවක් බවත් ඔහු එහි සඳහන් කර ඇත. එසේම  එවැන්නක් මුලින් ලීවේ නැත්තේ ඇයිදැයි විමසා තිබුණි.  මට කියන්නට ඇත්තේ හැම දෙයටම වෙලාවක් ඇති බවත් ඒ වේලාව එළඹුණේ මේ දිනවල දී බවත්ය.

ජමාත් - අල්  - ඉස්ලාමි බංග්ලාදේශ අන්තවාදී පක්ෂයේ නායකයාට 2013 දී බංගලා දේශ රජය මගින් පිහිටුවන ලද අධිකරණය මගින්, ඔහු කරන ලද සාමුහික ඝාතන  ස්ත්‍රී  දුෂණ ආදියට වරදකරු කර මරණිය දණ්ඩනය පනවන ලදී. අන්තවාදය මැඩ  පැවැත්වීමට බංග්ලාදේශ රජය ප්‍රශංසනීය උත්සාහයක් දරයි. අන්තවාදීන් නිසා විනාශ වුනු පවුල් හා ජිවිත බොහෝය. බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුද දිවි දුන් බංගලා දේශයේ අපේ සහෝදර සහෝදරියන් අන්තවාදයට එරෙහිව තීරණාත්මක සටනක් ගෙන යති. බංග්ලාදේශයේ මුස්ලිම් අන්තවාදය එම  රටේ සාමකාමි ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වේ. එසේම එය එහි වෙසෙන බෞද්ධ සුළුතරයට එරෙහිවද ක්‍රියාත්මක වේ.

අනිකුත් රටවල මෙය එසේමය. වෙනස් වන්නේ ලේබලය පමණි. බුරුමයේ බෞද්ධ අන්තවාදය එහි වෙසෙන රෝහින්ගියා මුස්ලිම් වරුන්ට එරෙහිව  ක්‍රියාත්මක වේ. ඉන්දියාවේ හින්දු අන්තවාදය මුස්ලිම් ජන කොටස් මෙන්ම අනිකුත් ප්‍රාන්තවල සුළු ජන කොටස් වලට එරෙහිව ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ බෞද්ධ අන්තවාදය අලුත්ගම වැනි සිද්ධීන් වලදී මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක විය. දෙමළ බහුතරය වෙසෙන උතුරේ දෙමළ අන්තවාදය මුස්ලිම් වරුන් හා සිංහලයන්ට විරුද්ධව ක්‍රියාත්මක විය. එංගලන්තයේ, ජර්මනියේ හා විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපිය රටවල නාසි ලේබලය යටතේ අන්තවාදය ක්‍රියාත්මක වේ. ඇමෙරිකාවේ අන්තවාදය කෙනෙකුගේ ශරීර වර්ණයට එරෙහිව ක්‍රියාත්මක වන බව පෙනේ.

ලොව පුරා සමාජ ජාලා භාවිතා කරන්නවුන්, බ්ලොග් කරුවන්, සමාජ සංවිධාන මේවාට එරෙහිව සටන් කරති. මුළු ලෝකයේම මේ සටන් එක්විය යුතුය. සාධාරණ සමාජයක ජිවිත අයිතිය ඇතුව හිංසනයන්ට ලක් නොවී  ජිවත් වීමට සෑම වැසියෙකුටම අයිතියක් ඇත්තේය.

ඕනෑම බ්ලොග් ලිපියක හෝ කලාත්මක ආකෘතියක පිළිඹිබු වන්නේ අපේ සිතුම් පැතුම් මෙන්ම අපේ හෝ වෙනත් අයෙකුගේ අත් දැකීම්ය. සමහර විට ඒවා මුළු මනින්ම මනඃකල්පිත ප්‍රබන්ධ විය හැක. සමහරවිට සත්‍ය අත් දැකීම්  විය හැක. නමුත් ඒවා ලියන්නේ, ගයන්නේ, රඟන්නේ හෝ ප්‍රතිමාවක නිරූපණය  කරන්නේ ජිවත් වන ලෝකය පදනම් කරගෙනය. අපට එයට වියුක්තව යා  නොහැක. අප වෙනත් ග්‍රහලෝක ගැන විද්‍යාත්මක ප්‍රබන්ධයක් ලීවද එයට පාදක වන්නේද අපේ ලෝකයේ දැක්මම පමණි.

අන්තවාදය හැරුණු කොට මිනිස් අයිතිවාසිකම් සූරා කන කොටස් කීපයක් වෙති. මෙහිදී මම ශ්‍රමය සූරා කෑම පිලිබඳ කතිකාව උවමනාවෙන් මග හරිමි. ඒ ගැන මේ බ්ලොගයේ ඉහත ලිපි වල කතා කර තිබේ. මිනිසෙකුට හෝ ගැහැනියකට හෝ ළමයෙකුට තම උවමනාව පරිදි නිදහසේ ජිවත් වීමට, නිදහසේ ඉගෙනීමට, රැකියාවක් කිරීමට, සෙල්ලම් කිරීමට, සැන්දෑ සාදයක විනෝද වීමට හෝ උද්‍යානයක ගමන් කිරීමට ඉඩක් නොදෙන කොටස් ද අප අතර සිටිති. මේ අයද මිනිස් අයිතිවාසිකම් උදුරා ගන්නා ගොඩට දැමිය

යුතුය.

මිට දශකයකට පමණ ඉහතදී මම හෝටලයක තාවකාලිකව කළමණාකරුවෙකු ලෙස කටයුතු කෙළෙමි.  මේ හොටෙල් සංකීරණයක් හිමි කාන්තාවක් යටතේය. ඉන් එකකට ලංකාවේ  සිට රැකියාව කිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් පැමිණියේය. ඔහු තමාව හැඳින් වුයේ මහාචාර්ය වරයෙකු ලෙසයි. ඔහුට තිබුනේ වසා  දමා ඇති හෝටලය බලා ගැනීමටයි. (caretaker) ඔහුගේ සැබටිකල් ලීව් එක බවත් අවුරුද්දක් පමණ වැඩ කිරීමට හැකි බවත් ඒ කාලයට ලංකා රජයෙන්ද ගෙවන බවත් ඔහු මහත් ප්‍රීතියෙන් අපට කිවේය.  "මට පඩි දෙකක් හම්බ වෙනවා. මම ආවේ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ කෝර්ස් එකක්  කරන්න හදාගෙන. " ලෙසද අපට පැවසූ ඔහු තව දුරටත් කීවේ එය යහළුවෙකුගේ උදව්වෙන් සාදා ගත් බවත්  කෝර්ස් එක බොරුවක් කර ෂේප්  කර ගත හැකි බවත්ය. ලන්ඩන් විශ්ව විද්‍යාල වල එසේ කල හැකිදැයි මට කුකුසක්ද ඇති විය.

මට නැවතීමට කාමරයක් දී තිබුනේ මේ හෝටලයේ හෙයින් ඔහු හමුවීමට යාමට නිතර සිදු වුනි. පසුව මම කාමරය වෙනස් කර ගත්තෙමි. මට සැමන් ටින් එකක් කඩා ළුනූ කපා කෑලි මිරිස් සමග බැද උයන හැටි ඉගැන්වූයේ ඔහුය.  ඒ නිසා මම බොහෝ විට එහි යන විට සැමන් ටින් එකක්  රැගෙන යමි. මොහු පසුව මගේ යහලුවෙකුට පවසා තිබුනේ අජිත්ව අන්දලා හැමදාම දවස් ගාණක් සැමන් ගෙන්න ගෙන කෑවා යනුවෙනි. සැමන් ටින් එකක් එංගලන්තයේ මිල අධික නැත. නමුත් ඔහු මුදල් එකතු කරන්නේ එලෙස බවත් ඉතාම ලෝභයකු  බවත් මගේ මිතුරා පසුව පැවසිය. ඔහු එය කිවූ විධිහට මට

තවමත් සිනා පහල වෙයි. "මචන් පවුමක් ගූ ගොඩක වැටිලා තිබුනත් මූ දිවෙන් ගනියි". එයට හේතුව සේ මා පසුව දැන ගත්තේ මේ මිතුරා ගෙන් පවුම දෙක ණයට ගෙන කවදාවත් නැවත නොදීපු නිසාය.

මොහු ගැන මා කවදාවත් ලියන්නට හිතුවේ නැත. නමුත් ලියන්නට සිත් වුනේ මේ නිසයි. මා පසුගියදා ලංකාවට ගිය වේලේ සෝවියට් දේශයේ සිටි කල දැන හඳුනා ගෙන සිටි මිතුරකු වන පසන් කොඩිකාර සහෝදරයාගේ මළගමට ගියෙමි. එයට සහභාගී වූවන් අතර පසුව සිදුවූ සිදුවීමක් අන්තර්ජාලයේ පිළිරැව් දෙයි. මා  සියාමා ගේ කතාව ලීවේ ඒ නිසාම නොවේ. සියාමා ගේ කතාව එයට එතරම් අදාළ  නැත. එය ලිවිමට වෙනත් හේතූන් කිහිපයක්ද බල පෑවේය. ඉන් එකක් සිත නිදහස් කර ගැනීම විය හැකියි.

නමුත් මේ දිනවල ඉහත කී "මහාචාර්ය" වරයා සම්බන්ධ සිදුවීම් ද මතක් වී මට මහත් අපුලක් දැනුනි. අවුරුදු 20 කට ඉහත වඩා නිදහස්කාමී  තරුණයෙකු වශයෙන් ඔහු කිවූ දෙය මම එතරම් තැකීමක් නොකෙළෙමි. නමුත් දැන් සිතෙන්නේ ඒ දින වලම ඔහුව හෙළිදරව් කළා නම් බොහෝ සිසුවියන් බේරා  ගැනීමට හැකිව තිබුණු බවයි.

මට ඒ දිනවල පියකරු රුසියානු පෙම්වතියක සිටි අතර ඔහු සහ ඇතැම් මිතුරන් ඇය ගැන අසන ප්‍රශ්න වලට මමද නොපැකිල පිළිතුරු දුනිමි. මා  එසේ කලේ මගේ තිබූ විවෘත භාවය නිසාද නැත්නම්  එයින් මා  සතුටක් ලැබීම නිසා දැයි නොදනිමි. නමුත් සමහර යහළුවන් ඊර්ෂ්‍යා කල බව නම් දනිමි. අපේ මිතුරන් කිහිප දෙනෙකුටද පෙම්වතියන් සිටි අතර මොහුට ඒ ගැන හීනමානයක් තිබෙන්නට ඇති බවට මොහුගේ ඇතැම් කතා වලින් හෙළිවිය. ඔහු තමන්ගේ විශ්ව විද්‍යාල ක්‍රියාකාරකම් ගැන කියන්නට පටන් ගත්තේ මින් පසුව යයි සිතමි.

ඔහු විසින් අපට පැවසූ බොහෝ ජුගුප්සාජනක දේ අතර සිසුවියනට ඔහු ලකුණු දෙන ක්‍රම පිළිබඳව පැවසීමයි. පියයුරු බැලීමට ඉඩ දීම සහ සම්භාහනය කිරීමට ඉඩ දීම විභාගය ගොඩ දා ගැනීමටය. ලකුණු හැටකට වැඩියෙන් දා ගැනීමට අවශ්‍ය නම් ඇතුලේ ........කැපීමට ඉඩ දිය යුතුය. මෙය මට තේරුනේ නැත. ලංකාවේ විවාහ වීමට කන්‍යා භාවය තිබීම අවශ්‍යම නිසා තරුණියන් එවැනි දෙයකට අකැමැති වන බවත්  ඔහු බොරු කියන බවත්  මම කීවෙමි. ඔහු ඉන්පසු වත්ත පහල වෙලේ ....නම් කවිය ගායනා  කල විට ඔහු කියන්නේ කුමක්ද යන්න අපට තේරුණි. අප සියල්ලෝම සිනාසුන බව නම් සහතිකය. ඔහු එතනින් නැවතුනේ නැත. ඔහු විසින් ක්ලාස් එකක් අරන් දීමට ශිෂ්‍යාවක රැගෙන තානායම් වලට ගිය හැටිත්,  විභාග අවසන් වුනු පසු නොයෙකුත් තැන් වල ලකුණු  බැලීමට එන්න යයි කියා සමහර සිසුවියන්ට ට මුඛ ....කිරීමට බල කල හැටිත් ඔහු අපට අනාවරණය කළේය. මේවා බලහත්කාරකම් නොවේ දැයි ප්‍රශ්න කල විට ඔහු කිවේ සමහර සිසුවියන් කැමැත්තෙන්ම එන බවත් සමහර අයට පෙම්වතුන් පවා සිටින බවත්ය. වැඩි හරිය තමන්ට භය බවයි.

එම තරුණියන් පොලිසියට යන්නේ නැත්දැයි අප ප්‍රශ්න කල විට "පොලිසියට කවුද යකෝ බය " යයි ඔහු ගෝරනාඩු කළේය. ඔහු කීවේ තමන් හිටපු ජනපති ප්‍රේමදාසගේ ගජයකු බවයි. ජනපතිට ලෝක දේශපාලනය ගැන පාඩම් කියා දී ලිපි ලියා  දී ඇත්තේ මොහුලු. මේවා ඇත්ත දැයි මම නොදනිමි. ඉන්පසු පැවති රජයේ ඔහු එතරම් භූමිකාවක් රඟ නොපෑවද සිංහල අන්තවාදයට පක්ෂව ඔහුගේ ලිපි මම පුවත් පත් වල දුටුවෙමි. සිංහල ශිෂ්‍යාවන්ට හිර හැර කරන මොහු සිංහල ජාතිය බේරා ගන්නට පත්තර වලට ලිපි ලියන හැටි දැක මම පුදුම වුනෙමි.  මේවා ලංකාවේ ප්‍රසිද්ධ සිහල ජාතික පුවත්පත්ය. හිටපු ජනාධිපති රාජපක්ෂ බලයට පත්වූ පසු ඒ මහතා ප්‍රසංශා කරමින් මොහු විසින් ලියු දාර  ලිපි සිංහල පුවත් පත් වල දුටිමි. පසු කලෙක රාජපක්ෂ ජනාධිපතිවරයා රැවට්ටුවේද මෙවැන්නන් විය හැකිය.

වරක් ඔහු ලන්ඩනයේ ම ජිවත් වන තවත් තැනැත්තෙකු  සමග හෝටල භෝජනාගාරයේ කතා කරමින් සිටියේය. අප ලඟින් ගිය විට ඔහු කීවේ ඔවුන් ලෝක දේශපාලනය ගැන වැදගත් ගැඹුරු සාකච්චාවක සිටින බවත් ඔවුනට බාධා නොකරන ලෙසත් ඔහු පසුව අපට කතා කිරීමට එන බවත්ය. එතනිං ඉවත්ව ගිය අපි බඩවල් බදාගෙන සිනාසුනෙමු.

නැවත හමුවූ විට ඔහු මට කියේ "අජිත් ලාට අපි කතා කරන ගැඹුරු දේවල් තේරෙන්නේ  නැහැනේ. ඒකයි මම අප ගාව ඉඳ ගන්න එපා කිවේ. මම විදෙස් කටයුතු පිලිබඳ , ලෝක දේශපාලනය ගැන විද්වතෙක්. ඔයාල අපි ඔය ජොලි ඒවා ගැන කතා කරමු. බඩු ගැන එහෙම." මට මදක් සිනා ගියද කිසිවක් නොකීවෙමි.

ඉන් පසු දවසක අපි ඔහුට ලන්ඩනයේ සෙක්ස් කඩ ගැන කීවෙමු. ඈන් සමර්ස් වැනි ලිංගික කටයුතු සඳහා අවශ්‍ය දේ විකුණන කඩ සෝහෝ වල බහුලය. මේවා භාවිතා කරන ආකාර  ගැන , ලිංගික තෘප්තිය තම සහකරු හෝ සහකාරිය සමග ලබා ගන්න ආකාරය (අන්තර්ජාලය ඒ දවස වල නැත) අපි ඔහුට පැහැදිලි කළෙමු. ඔහු ඉන්පසු ඒ ගැන පොතක්  ලියා ලංකාවේ පල කිරීමට සුදානම් විය. මේවා ලංකාවේ නැති බවත් මිනිසුන් ඉතාමත් කැමැත්තෙන් මිලදී  ගනු ඇති බවත් ඔහු අපට පැවසුවේය. ඔහු එවැන්නක් ලීවා  දැයි නොදනිමි. ඒ ඔහු ලන්ඩනයේ සැබටිකල් කාලයේ කල පර්යේෂණාත්මක ගවේෂනයයි.

ඔහුගේ බිරිඳ එනවාය කියා ඔහු අපට  හෝටලයට ඒම තහනම්  කළේය. ඒ ඇයි දැයි ඇසූ විට ඔහු කිවේ, මගේ බිරිඳ රන් තැඹිලි ගෙඩියක් වගේ ඇහැට කණට  පේන එකක් නිසා උඹල වගේ වල් කොල්ලන් වද්දා ගත නොහැකි බවය. අපි වල්  කොල්ලන් වූයේ කෙසේදැයි ඇසූ විට, කසාද නොබැඳ පිටරට ගැහැණුන්  සමග ජිවත් වන අප වල්  කොල්ලන් බවත් ඔහු කසාද බැඳී උගත් මහාචාර්යවරයෙක් බවත්ය.  සුන්දර ඔස්ට්‍රේලියානු  කෙල්ලක සමග යහළුවී උදේ හවා ඇය  සමග හාවෙකු මෙන් රති කෙලියේ යෙදුන මගේ තවත් මිතුරක් පැවසුවේ "මචන් කසාද බැඳලා අහිංසක එවුන්ට  බලහත්කාරකම් කරන මූට වඩා අපි වල්  වුනේ කොහොමද? අපි නීතියක් කඩනවද " කියායි.

මම ඔහුට කිවේ ශ්‍රී ලංකාවේ මෙන්ම අනිකුත් රටවලද  ගණිකා වෘත්තීය නීති ගත කිරීමෙන් මේ තත්වය සමනය කර ගත හැකි වේය කියායි. රජයට බදු වලින් ආදායමක්ද   ලැබෙන අතර කෙනෙකුට ලිංගික අසහනයෙන් ජිවත් වීමටද තවත් අයෙකුගේ නිදහස උදුරා ගැනීමටද අවශ්‍ය නැත. එම වෘත්තියේ යෙදෙන අය සමහර යුරෝපිය රටවල එය කැමැත්තෙන්ම කරන නිසා සූරා කෑමට  ඇති ඉඩකඩ අඩුය.  නිදහස් වෛශ්‍යාවක් කරා මුදල් දී යන පුද්ගලයා  බස් වල යන අසහනකාරයන් මෙන්ම තම තත්වය හා බලය අයුතු ලෙස ප්‍රයෝජන ගන්නා ඉහත කි එවුන්ට වඩා ශිෂ්ටාචාර අයෙක් බව මගේ හැඟීමයි.

දශකයක් හමාරක් ඇවෑමෙන් එක්තරා ජේෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් මා  ඇමතුවේය. "මචන් මතකද අර ප්‍රොෆෙක් ගැන උඹ කිව්වා. ලිංගික අපයෝජන කරල මාක්ස් දෙන. මේ ගෑණු  ළමයෙක් පොරට විරුද්ධව පැමිණිල්ලක් කරන්න යන්නේ. උඹට සාක්කි දෙන්න පුලුවන්ද ඌ කියපුව ගැන" සුදු වෑන්  බහුල ඒ සමයේ මම ඒ ඉල්ලීම කණගාටුවෙන් ප්‍රතික්ෂේප කලෙමි. මේකා අපට කිව්  කතා සත්‍ය බව මට පැහැදිලි විය.

සියාමා ගේ කතාවේ දෙවන කොටසේ බංග්ලාදේශ විශ්ව විද්‍යාලයක වන සත්‍ය සිදුවිමක යූටියුබ් වීඩියෝව පල කලෙමි. එය දුටු ඉහත කී  මාධ්‍යවේදියාම කීවේ  මෙවැනි කතාවෙකි.  ශ්‍රී ලංකාවේ සමහර සිසුවියන් තම කැමැත්තෙනුත් සමහරු බියෙනුත් තවමත් ඇතැම් මහාචාර්ය, උප කුලපති වරුන් ළඟට  යන බවයි. එක්තරා නමක් සඳහන් කරමින්ම ඔහු පැවසුවේ කාර්යාල පිරිසිඳු කරන්නා  එක්තරා ජන මාධ්‍ය වේදියෙකුට සිකුරාදා රැයක පිරිසිදු කිරීමට ගිය විට අහුලා ගත් ජංගි ටික පෙන්වූ බවයි. මම ඔහුගෙන් ඇසුවේ අන්තරේ කුමක් කරන්නේ ද යන්නයි. ඔහු කිවේ අන්තරේට ඕවා  ගැන කතා කිරීමට වඩා  වැදගත් වැඩ  රාජකාරි  හැමදාමත් තිබුන බවයි.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීම නැවත් වීමේ සිට ලංකාවේ සමජවාදී විප්ලවය සඳහා සූදානම් වීමත් පන්ති අරගලය කිරීමත් ඔවුන්ගේ මහා අභිප්‍රායන් අතර තිබුණි. සිසුන් ගැන තරමක් හෝ කතා කල දයා  පතිරණ අකාලයේ "ප්‍රතිගාමියෙක්" වී මියෑදුණි.

ඔහුගේ ප්‍රතිගාමී අනුගාමිකයන්ට මගේ නම් කිසිම සහයෝගයක් නැත.  නමුත් අන්තරේ ගැන මොනවා හෝ කිව්වොත් අපට මාක්ස්වාදී එපිස්ටමලොජිය උගන්වන්නට එන අය නම් බොහෝය.  ඒ කාලේ  ජවිපෙට අනුබද්ධ අන්තරය දැන් පෙරටුගාමී සමාජවාදීන්ට අනුබද්ධය. අන්තරේ මෙහෙයවූ බොහෝ අය  දිවි දුන් අතර සමහර අය  ඇමතිවරු මැතිවරු වුහ. සමහර අය  ජනාධිපති අපේක්ෂකයන්ද විය. ඔවුන්ගේ  පන්ති අරගලය හා පෞද්ගලික විද්‍යාල වලට එරෙහිව සිදු කරන අරගලය ගැන මගේ කහටක් නැත. ඒවායින් රජයේ බොහෝ ප්‍රතිගාමී දේවල් වැලකුණ බවද සැබෑය. එහෙත් කුමන හෝ හේතුවකින් තම ඇස්  ඉදිරිපිට සිදුවන අසාධාරණයන් හා බලය අයුතු ලෙස පාවිච්චි  කිරීම්  පිළිබඳව ඔවුන් නිහඬ බව මගේ හැඟීමයි. මා වැරදි නම් නිවැරදි කරන්න.  අරගල පටන් ගන්නේ තමන් සිටින තැන සිදුවන අසාධාරණයන්ට එරෙහි වීමෙන් මිස දේශපාලන  නායකයන්ගේ න්‍යාය පත්‍ර වලට නොවේ.

මම ස්ත්‍රී වාදියෙකු නම් නොවේ. නමුත් මගේ නිහඬවීමත් අපරාධයක් බව මට වැටහුනේ සියාමා ගේ කතාවට පාදක වූ සිද්ධීන් කිහිපයක් දැන ගැනීමෙන් අනතුරුවය.

 

සියාමා

පළමුවන කොටස.

දෙවන කොටස 

තුන්වන කොටස 

සිව්වන කොටස 

පස්වන කොටස 

සයවන කොටස

සත්වන කොටස 

අටවන කොටස

නමවන කොටස 

-http://kolambagamaya.blogspot.co.uk/2015/07/blog-post_21.html

සයිබර් සහෝදරත්වය පොළවට ගේද්දි අවුල් උනාද ?

ThalawakaleMainනෙළුම් යායෙන් තලවාකැලේට නෑගම් යන ගමන ගිහින් ආවාට පස්සෙත් තිබුණු බොහොමයක් රාජකාරි එක්ක ඒ ගැන සටහනක් තියන්න ඉඩක් ලැබුණේ නෑ. එහෙත් අපිත් එක්ක ඒ ගමනට එකතු වුණු කිහිප දෙනෙක් තම තන්ගේ අත්දැකීම් සහ කම්පනය අකුරු කරලා තිබුණා.
ඒ අයට බොහොම ස්තූතියි. මේ සටහන ලියවෙන්නෙ ගමනින් පස්සෙ මතු වෙච්චි ප්‍රශ්නෙකුත් එක්ක. සයිබර් සහෝදරත්වය මහපොළවට ගේන එක කොයිතරම් අමාරු වැඩක්ද කියලා මෑත කාලීන අත්දැකීම් කිහිපයක් ඇසුරෙන් ම පැහැදිලි වුණ නිසා මේ ගමන ආශ්‍රයෙන් ඒ ගැන යමක් ලියන්න හිතුවා.

නෙළුම්යාය දෙමළ භාෂාවෙන් පළ කෙරෙන වෙබ් අඩවිය, "තාමරි කුලම්" ජනගත කරන්න දෙමළා මතක් කළ සැණින් ජනප්‍රිය ප්‍රදේශය වෙන යාපනය හරි, අපට ළඟම ලේසිම වැල්ලවත්ත හරි තෝරානොගෙන වතුකරය අපි තෝරාගත්තෙ ඒ අය ගැන බොහෝ පිරිස් අතර තියෙන සංවේදීතාවය අඩු නිසා. තිස්වසරක යුද්ධයෙන් පීඩා විඳපු දෙමළා යම් පමණකින් හරි අඳුනන අය පවා සියවසකට අධික කාලයක් තිස්සෙ අඩු වැටුප්, අඩු පහසුකම්, සංස්කෘතික පසුගාමීත්වය වගෙම අධික ශීතල දේශගුණයෙනුත් පීඩා විඳින වතුකරයේ දෙමළා ව අඳුනනවා අඩුයි.

නැත්නම් අඳුනා ගැනීමේ වුවමනාවක් හෝ එයාලට නැහැ. අන්න ඒ අඩුව පිරවෙන එක පුංචි පියවරක් හැටියටයි සයිබර් සහෝදරත්වයත් අරගෙන තලවාකැලේට නෑගම් යන්න තීරණය වුණේ. මේක වෙබ් අඩවිය ජනගත කිරීමක් හෝ පාසැල් වලට ආධාර රැගෙන යාමක් විතරක් ම වෙන වැඩක් හැටියට සංවිධානය කරන වුවමනාවක් නෙවෙයි අපට තිබුණේ.

සංචාරක පිරිසක් හැටියට ගිහින් ඒ දරුවන්ගෙ තාරුකා එළි වගේ දිලිසෙන බලාපොරොත්තු සහගත ඇස් දිහා බලන් අනුකම්පා කරලා යමක් මිට මොළවලා එනවා වෙනුවට ඒ දෑස් වල තාරුකා එළි අතරින් ඒ අහිංසක ආත්මයන් එක්ක දවසකට හරි ආත්මීයව බැඳී ඉන්න, සියවසක් තිස්සෙ ඈත් කර තියපු, අපිටත් ළං වෙන්න අමතක වුණු සංස්කෘති දෙකක් අතර වෙනසක් එක දවසකට හරි එක්ව රසවිඳින්න,

මිනිස් දුක කියන දේ යුනිකෝඩ් අකුරු අතරින් සාහිත්‍යානුසාරීව මවලා අපිත් අඬලා තව එකෙක් අඬවනවා විතරක් වෙනුවට හැබෑවට ඒ මිනිස්සු විඳින දුක ඔවුනුත් එක්ක එක දවසකට හරි සහෝදරාත්මකව විඳගන්න ... මෙන්න මේ පියවර මතින් ගමනට එකතු වුණු කිහිප දෙනා එක්ක අකුරු විජ්ජා වලින් මවා පාන මානුශීයත්වයක් වෙනුවට හදවතට දැනෙන, හදවත රිද්දන, සීතල මැද්දෙන් හදවත උණුසුම් කෙරෙන ඇත්තම මහපොළවෙ සහෝදරත්වයක පුංචි බීජයක් හෝ පැළ කරන්නයි වුවමනා වුණේ.

කහට කෝප්පයට රතුපාට ගේන ඒ අපේම මිනිස්සුන්ගෙ ජීවිතවල හැබෑ අඳුර අතගාලා බලන්න එක රැයක් ලැයිමක ගත කරන වුවමනාව අපිට තිබුණා. එහෙත් දුර බැහැරින් ආව අපි වෙනුවෙන් ඒ අය තනි ගෙයක් ලෑස්ති කෙරුවා. ඒ කළෙත් ඒ ගෙදර උදවිය වෙනත් වෙනත් ගෙවල් වල නතර වෙලා. මිනිස්කමක එළිය තලවාකැලේ රෑ අඳුර කපාගෙන විහිදුනේ ඒ විදියට.

තිබුණු සීමිත සම්පත් අත්‍යාවශ්‍ය දේවල් වෙනුවෙන්ම විතරක් වැය කරන්න වෙලා තිබුණු තත්වයක උණත් අපි පිටින් තැනක නවාතැන් සූදානම් කරගෙන 'උත්සවය ලොකුවට ගත්තා නම්' වෙන්න තිබුණේ මූලික අරමුණට විරුද්ධ අපරාදයක් නෙවෙයිද ? ඒ මිනිස්කම, ඒ සහෝදරත්වය විඳින්න නෙවෙයිද අපිට ඕනි වුණේ ?

මොහොතට අදාලව සංවිධාන කටයුතු වල දුර්වල කම් නොතිබුණා නෙවෙයි. අපි පාසැල් තුනකට කතා කරලා ඒ අය ඉල්ලපු දේවලුයි අරගෙන ගියේ. එතන මහා ලොකු දෙයක් තිබුණෙ නැතිවග පිළිගන්නවා. ඒත් අපි ගියෙ තෑගි ගොඩාක් අරගෙන එක දවසකට ඒ දරුවන්ගෙ මූණු වල හිනාවක් මවන ගමනක් නෙවෙයි.

ආදරේ මහ ගොඩාක් අරගෙන වතුකරය තරම්ම උස එයාලගෙ ආදරෙත් එක්ක බෙදාගන්න බලාපොරොත්තුවෙන් ගිය ගමනක්. ඒ දරුවො අපි එනකල් ගොඩාක් වෙලා මඟ බලන් ඉඳලා තිබුණා. ඒගැන ඇත්තටම කණගාටුයි. ඒත් බිංදුවක් අඩුනොවෙන්න අපි ආදරේ බෙදාගත්තා කියලයි මට නම් හිතෙන්නෙ ... ඒ පැය කීපයට හදවත් කොයිතරම් නම් උණුසුම් වුණාද ?

වෙබ් අඩවිය ජනගත කරන වැඩේ අවුල් වුණේ තාක්ෂණික ප්‍රශ්නයක් නිසා. ඒත් ක්‍රිකට් තරඟාවලිය ඇතුළෙ භාෂා ප්‍රශ්න පැත්තක තියෙද්දි කොයි තරම් නම් සහෝදරත්වයක් සෙනෙහෙසක් ඇවිළුණාද ?

සයිබර් අවකාශයේ හැසිරෙන බොහෝ උදවිය ඉන්නෙ එතැනට අදාලව මවා ගත්තු යම් ප්‍රතිරූපයක් එක්ක. කෙටියෙම්ම කිව්වොත් එතැනදි හැමෝම වගෙ පොරවල්. මොකද ඒ කවුරු වුණත් එයාලගෙ අකුරු අස්සට කවන පොම්ප කරන මිනිස්කම් හැරුණාම ඇත්තටම හදවත් වල තියෙන මිනිස්කමේ ප්‍රමාණය වෙන කෙනෙක්ට මැණගන්න බැරි නිසා ඒ අවකාශය යුනිකෝඩ් අකුරු අතරෙ ඇකීලිස් වගෙ වීරයො මවනවා.

ඒත් අපෙ උවමනාව උනේ අන්න ඒ සයිබර් සඳළුතලාවෙන් බිමට ඇවිත් ඇත්ත පීඩිත මිනිස් ජීවිත වල තිත්ත රස එක දවසකට හරි විඳගන්න. මොකද මං හිතන තරමින් එදා ආපහු එද්දි අරගෙන ආපු හිතේ බර මේ සවේදී ලියන්නන් කවදාවත් බිමින් තියන එකක් නෑ ..

හෙටත් තලවාකැලේ වතුපාරවල් වල මල්පිපේවි. තේ දළු ඉරත් එක්ක හිනාවෙවී මිනිස් දාඩියෙන් පෝශණය වේවි, අර පුංචි දරුවො තරු ඇස් දල්වාගෙන අකුරු උගනීවි. අර තරුණ තරුණියන් අනාගතය ගැන තේ ෆැක්ටරියෙ වහළට උඩින් හීන මවාවි. අපිත් හදවතින් ඒ හැමතැනම ඉඳහිට හරි ගැවසේවි. මිනිස් සිතුවිල්ලකට වැඩි වේගෙන් 4G තාක්ෂණේට ඉගිලෙන්න බෑනෙ ..

http://hithuwakkaree.blogspot.co.uk/2015/07/blog-post_22.html

 

ඇයි අපි කළුද ?......ඔබේ වටිනා චන්දය නිවැරදිව පාවිච්චි කරන්න

z496ගේට්ටුවට කව්දෝ ගසනවා ඇසුනෙන්, ඒ දෙසට ඇදුනු ඔහුට හිතේ යම් චකිතයක් විය . කාලයකට ඉහත මෙසේම ගේට්ටුවට ගසා ඇතුළුවූ නෝන්ජල් තරුණයෙකුට වූ හදිය ඔහු සිත තවම කම්පනය කළේය ...

මමත් ඒ වුනු දෙයට වග කියන්න ඕනෑ වරෙක ඔහු හිත කීවේය .. නමුත් සන්ධානේ ලේකම් තුමා මෙන්, " වග වෙන්නම්... ඒත් වග කියන්න ඕනේ නෑ " කියා ඒ හැඟීම ටිකක් තුනී කර ගත්තේය . අතීතය ගැන සිතා වැඩක් නැත , දැන් ඔහු ඒ රස්සාවට තිත තියා අවසන්ය ..

මේවා ගැන හිතමින් නොදැනීම ගේට්ටුව ළඟටම විත්ය .. ගේට්ටුවෙන් එපිට කවුරුත් පෙනෙන්නට නැත . "හොල්මනක් වත් ද ?... " සිතේ ඇතිවූ සිතිවිල්ල එසැනින් "පිස්සු මනස්ගාත ...." කියා බැහැර කළේය .

"කව්ද ගෙදර " එහා පැත්තෙන් කටහඬක් ඇසේ ....

ඔහු ගේට්ටුව විවර කළේය .. අඩි 4 කට නොවැඩි උසැති , දැකුම් කලු පැහැති හාදයෙක් , දත් ඇන්දම පෙන්වා සිනාසෙමින් සිටිනෙන්ය ..

"ඔව් ????"

"මේ අර පෝස්ටර් අඳින ..."

"ඔව් ඔව් එන්න ඇතුලට "
තරුණයා ඔහු පසුපසින්ම ගොස් වැඩ කාමරයට ඇතුළු විය . කාමරයේ බිත්ති පුරා එක එක දේශපාලන පක්ෂ වලින් ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ පෝස්ටරය . ඔහු දිගු හුස්මක් ගත්තේය

"හම්මේ දැනෙන දේශපාලන සුවඳ "

" නෑ නෑ මම හිතන්නේ අර පාප්ප බාල්දිය පල් වෙලා, දැන් මොකද මේ ..පෝස්ටරයක් ඇඳ ගන්නද ?

"අනේ ඔව් මම මේ සැරේ ඉල්ලනවා . ඉතින් පෝස්ටරයක් ඇඳ ගන්න ඕනේ . කට්ටිය කිව්වා හිතට වදින එකක් ඇඳ ගන්න නම් මෙහෙටම එන්න කියලා ."

"හරි හරි ඉතින් මොන වගේ එකක්ද හිතේ තියෙන්නේ "

"හිතන් ආවේ නම් අප්පච්චි එක්ක කියලා ඔය මොකක් හරි එකක් තමා "

අයියෝ එක නම් හරියන්නේ දැන් අප්පච්චි එක්ක නැගිටපු තැන ඉඳන් , මුණ හෝදලා, දත් මැදලා ..නිදියන කම් ම ඔක්කොම එක එක්කෙනා පෝස්ටර් වල ගහලා . ඉතුරු වෙලා තියෙන්නේ ටොයිලට් යන එකයි , තව එකකුයි විතරයි ..

ඒකත් එහෙමද , එහෙනම් යහ පාලන මොකක් හරි එකක් ...?

ඒකත් ටිකක් කේස් , යහපාලනයේ නියමුවෝ , කොන්දොස්තරලත් හැම තැනම . එහෙම නෙමෙයි අලුත් විදියට මොකක් හරි කරමු

එහෙනම් දුප්පතාගේ හිතවතා ?

ගැහුවා

එහෙනම් නිකන් මොකෙක් හරි හොඳ සතෙක් එක්ක නිකන් , පළාතේ සිංහයා , හස්ති රාජයා , පිවිතුරු හංසයා ..

හොඳ සත්තුත් ඉවරයි මල්ලි , ඔක්කොම ඉන්නේ නිකන් නරි , ගල් ඉබ්බෝ , ගොළු බෙල්ලෝ, ඇටි කුකුලෝ වගේ එවුන් තමා

හරි එහෙනම් මාස්ටර්ම කියන්නකෝ

කොන්ඩේ පොඩ්ඩක් ඩයි කරලා ගත්තානම් , ඔය තාරුණ්‍යයේ මොකක් හරි කියලා ගහන්න තිබ්බා

ඒ වුනාට අයියේ , මට බඳින වයසේ ළමයි ඉන්නවා

ඒකට කාරියක් නෑ ...

එහෙම නෙමෙයි, නිකන් ඔබේ චන්දයට වැඩි වටිනාකමක් වගේ එකක්

මල්ලි කීයක් දෙනවද චන්දෙකට ?

ඒ කිව්වේ ?

ඔහොම ගහනවා නම් දෙන ගාණත් ගහන්න ඕනේ ... එක චන්දෙකට හැට හැත්තෑ දාහ වියදම් කරන කට්ටිය ඉන්නවා ... වැඩි වටිනාකමක් නම් ඊට වැඩියෙන් දෙන්න ඕනේ

අයියෝ , අපි මේ පලවෙනි සැරේට නේ ඉල්ලන්නේ , එහෙම වත්කමක් නෑ . මේ ළමයි දෙන්නා දීග දෙන්න විදයක් නැතුව දහ අතේ කල්පනා කර කර හිටියේ ... කොරියාවට වත් යන්න කියලා ඉන්න කොට එකෙක්නෙක් කිව්වේ , ඊට වඩා හොඳ වැඩක් තියෙනවා කියලා ...අවුරුද්දක් දෙකක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා කීයක් හරි එකතු කරන් කෙල්ලෝ දෙන්නට දැවැද්දට කීයක් හරි එකතු කර ගන්න මම මේ හදන්නේ ....

ඒකත් එහෙමද ?

අයියේ නිකන් "ප්‍රතිපත්ති ගරුක දේශපාලනය" වගේ එකක් ගහමුද

පිස්සුද ඕයි , මේවා ප්‍රසිද්ධ ස්ථාන වල ගහනවනේ , කුණුහරුප ගහන්න බෑ .....වෙන මොකක් හරි බලමු .... මේ තියෙන්නේ මගේ ඉතිරි වෙලා තියෙන කොන්සේප්ට්ස් ..කොහොමද මේවා..."සද්දේ විතරයි ගඳ නෑ " එහෙම නැත්නම් "මෙන්න හඬ දෙන්න ඉඩ "

ඒවා නිකන් ... වෙන එකක් බලමුද .. නිකන් නියම පොදු ජනතා නියෝජිතයෙක් වගේ දැනෙන්න එකක්

එහෙනම් " බජාර් එකේ කකුලක් " එහෙම නැත්නම් "බොක්කෙන්ම සේවයට "

හොඳයි .... ඒත් නිකන් ඇඟට දැනෙන්නේ නෑ වගේ

එහෙනම් .. ඔහේ ගේ ශරීර ලක්ෂණත් බලලා ... "උස නැති උනාට වැඩ කෝටියක් "

අයියේ ඔය එක එකා කතා කිව්වට , නඩු දැම්මට එකක් වත් ඔප්පු වෙලා නෑ

ඈ ?

අපි ඕනේ නම් මෙහෙම ගහමු ... "බී වාර්තා පමණි , අධි චෝදනා පත්‍ර කිසිත් නැති "

මම දැනන් හිටියේ නෑ තමුසේගේ එහෙම ලයින් එකක් තියෙනවා කියලා .. එහෙනම් අපි පෝස්ටරේ ගහන්න ඕනේ ඒ පැත්ත වැහෙන්න ...
එහෙමද ? එහෙනම් , "සත් ගුණවත්, සිල් වත් , ඕනේ නම් ග්‍රාමසේවකගෙන් අහන්න " නැත්නම් "වරදක් කලත් හිතකින් නොවේ "..?
පොඩ්ඩක් ඉන්නවා ඕයි විකාර කියවන්නේ නැතිව ... අපි ගහන්න ඕනේ නිකන් අහිංසක ආයාචනාවක් වගේ එකක්...මෙන්න මේවා බලනවා
" එතෙර වෙන්න සංසාරේ , දෙන්න මනාපයක් මේ වාරේ " නැත්නම් " සු... සු ... මේ ... මටත් එකක් "

හොඳයි ඒත් ...

මේ තියෙන්නේ ........තමුසෙට හරියටම ගැලපෙනවා ....

"ඇයි අපි කළුද ?".......අඩේ ඒක නම් මරේ මරු

http://pinchpoints.blogspot.co.uk/2015/07/blog-post_19.html

 

 

නෙළුම් යාය සහෘද සමුහය