25 April 2017
RSS Facebook Twitter   

‘අනාගතයට සහතිකයක්‘ වූ ‘ටයිටනික් කණ්ඩායමේ‘ අවසන් මහ බොරුව

mr surpriseමීට වසර එකසිය තුනකට පෙර උතුරු අත්ලාන්තික් සාගරයේදී අනතුරට ලක්ව ක්‍රමයෙන් මහ මුහුදේ ගිලී ගිය ටයිටනික් නෞකාව යළි සිහිගන්වන මොහොතක් දැන් අපට උදා වී ඇත. ඒ පසුගිය ජනවාරි 8 වෙනිදා අනතුරට ලක්වූ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ රෙජීමය නම් වූ ‘ටයිටනික් නෞකාව‘ ද වර්තමානයේ දිනෙන් දින ගිලෙමින් ලබන අගෝස්තු 17 වෙනිදා සහමුලින්ම මූදුබත් වී එහි අවසානය සටහන් වන බවට දින නියම වී තිබීමය.

එදා ටයිටනික් නෞකාව අයිස් පරයක හැපී අනතුරට පත් මොහොතේ පටන් පැය කිහිපයක් ඇතුළත තමන්ට අත්වන ඉරණම පිළිබඳව කිසිදු සැකයක් නැතිව දැන සිටි දහසකට අධික වූ මගීන් පිරිස මෙන් මෙදා ‘ටයිටනික් සන්ධානයේ‘ බොහෝ පිරිසක්ද අගෝස්තු 17 වෙනිදා තමන්ට අත්වන ‘ඉරණම‘ පිළිබඳව සහසුද්දෙන්ම දන්නා බව ඔවුන්ගේ වත්මන් හැසිරීම අනුව පෙනී යන්නේය. එදා ටයිටනික් නැව සම්පූර්ණයෙන්ම ගිලී යාමට පෙර ජීවිතාරක්ෂක බෝට්ටුවලින් කිසියම් පිරිසක් බේරා ගැනීමට හැකිවූ අවස්ථාවද සිහිගන්වමින් මෙදා එම ‘ටයිටනික් සන්ධානයේ‘ බොහෝ පිරිසක්ද දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණු රැස්වීම්වලදී එජාපයට බැඳීමට වැල නොකැඩී පැමිණෙමින් සිටින ආකාරයද දැකගත හැකිය.

කෙසේ වුවද ‘දියේ ගිලෙන මිනිසාට පිදුරු ගහත් ගහක්‘ යැයි කියා ඇති පරිදි මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස මේ දිනවල තම සියලු වෙර යොදා ඇත්තේ එවැනි ‘පිදුරු ගස්‘ සෙවීම සඳහාය. ඒ සඳහා මාස කීපයක් තිස්සේ අඛණ්ඩව වෙහෙසෙමින් දරන ලද උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී ඇති තත්ත්වය යටතේ යළිත් වරක් සුපුරුදු ‘බොරුවම‘ ඒ සඳහා යොදා ගැනීමට ඔවුන් තීන්දු කර ඇති බව ඉතා පැහැදිලිය. මේ දිනවල ඔවුන්ගේ මැතිවරණ රැස්වීම්වල කියන තරමක් කියන්නේ බොරුය. මාධ්‍ය සාකච්ඡාවල කියන්නේද බොරුය. මාධ්‍ය නිවේදනවල ලියන්නේද බොරුය. මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ වේදිකාවල කට අරින සැණින් බොරු දහසක් පිටවන්නේය. ඔවුන් ‘බොරුව‘ පාවිච්චි කරන්නේද කිසිදු විනයකින් තොරවය. ප්‍රධාන ආහාරයටද, අතුරු පසටද, කටගැස්මටද එකම බොරුව නැවත නැවතත් පාවිච්චි කිරීමට කිසිදු හිරිකිතයක් ඔවුන්ට නැත. එහෙත් ස්වභාවයෙන්ම ‘බොරුවට‘ ආයුෂ අඩු බව දන්නා ඔවුන් තම අවසන් මොහොතට දින 20ක් තිබියදී ‘අවසන් මහ බොරුව‘ ද රට හමුවේ තබා ඇත. එය බැලූ බැල්මටම පෙනීයන්නේ කාලාන්තරයක් පුරාම ඔවුන්ට පිහිට වූ ‘බොරුව‘ පවා ඔවුන් විසින්ම ‘සමූහ දූෂණය‘ට ලක් කොට එමගින් ලබන අවසන් ‘සුරතාන්තය‘ ලෙසය.

2015 මහ මැතිවරණය සඳහා ‘අනාගතයට සහතිකයක්‘ යනුවෙන් ඔවුන් තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය. එය කුකුළ් කොටුව බාරගත් නරියා දෙන සහතිකය හෝ පේර ගහ බාරගත් ලේනා දෙන සහතිකයට සමාන බව අමුතුවෙන් කිවයුතු නැත. ඔවුන්ගේ එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමටත් පෙර පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පත මගින් මා ඒ පිළිබඳව කිසියම් විවරණයක් ඉදිරිපත් කළේය. එහි දී මා ප්‍රධාන කොටම ප්‍රශ්න කළේ ඔවුන්ගේ පූර්ව ප්‍රතිඥාවන්ට අදාළ පශ්චාත් භාවිතය කෙබඳුද යන්න ඔවුන් විසින්ම පුන පුනා ඔප්පු කර තිබියදීත් මේ තරම් අද්භූත වූත් බොළඳ වූත් සුරංගනා කතාවක් තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස ඉදිරිපත් කිරීමට තරම් තමන් තුළ බිඳකුදු හෝ ලැජ්ජාවක් ඉතිරිව නැද්ද යන්නය. ඊට ප්‍රතිචාරයක් ලෙස ඔවුන් සිදුකර ඇත්තේ එම ප්‍රතිපත්ති ‘ප්‍රලාපයේ‘ පිටකවරයට තවත් වැකියක් අලුතෙන් එක් කිරීම හා පසුගිය ‘මෛත්‍රී ප්‍රකාශන දෙක‘ එළිපිට කොපි කරමින් සංක්ෂිප්ත ලියවිල්ලක්ද ඊට එකතු කිරීමය. එහෙත් මීට පෙර ලොකු පොඩි ඕනෑම මැතිවරණ ප්‍රකාශනයක මෙන්ම ඒ සඳහා රට පුරා බෙදාහරින මහන මැෂින්, අත් ඔර්ලෝසු, බිත්ති ඔර්ලෝසු, සිල් රෙදි ඇතුළු සියලු බඩු භාණ්ඩවලද ඇතුළත් කරන්නා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ සාටක පින්තූරය මෙවර එහි නැත. එපමණක් නොව එය එළි දැක්වීමට පෙර ශ්‍රිලනිප/එජනිස සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එහි පිටපතක් පිළිගැන්වුවද ඔහුගේ ඡායාරූපයක් හෝ එහි යොදා නැත. රට පුරා පැවැත්වෙන කිසිදු රැස්වීමක වේදිකාවක සැරසිල්ලක හෝ පත්‍රිකාවක මෛත්‍රී ඡායාරූපය නැත. ඒ සියල්ල වසාගැනීම සඳහා එහි ප්‍රධාන තේමාවට අමතරව ‘අනාගතයට සහතිකයක්‘ යනුවෙන් ලොකු අකුරින් දක්වා ඇත. ඒ සියලු සටකපටකම් සහිතව සිංහල භාෂාවේ පොහොසත් කමද යොදා ගනිමින් තමන්ගේ කලු පැහැති අතීතය යටපත් කිරීමට මෙවර ඔවුන් කොතෙක් උත්සාහ කළද ඔවුන් සිතනවාට වඩා බුද්ධිමත් වූ මේ රටේ ජනතාව එතරම් පහසුවෙන් මෙවර නම් මුලා කළ නොහැකි බව ඔවුන් වටහා ගත යුතුය.

‘අනාගතයට සහතිකයක්‘ දීමට පෙර ඔවුන් විසින් අඩුම තරමින් ‘අතීතය ගැන පාපෝච්චාරණයක්‘ කළ යුතුව ඇත. එසේ නැත්නම් තවමත් ඔප්පු කරගත නොහැකි වූ බවක් පවසමින් තමන්ට එරෙහිව ඇති බරපතළ මූල්‍ය අපරාධ චෝදනා පිළිබඳව කටමැත දෙඩවීම වෙනුවට නිල වාර්තා අනුව තමන් විසින් ගෙවිය යුතු ණය කන්දරාවෙන් එකක් හෝ පියවිය යුතුය. උදාහරණයක් ලෙස පසුගිය ජනාධිපතිවරණය සඳහා තමන්ගේ රැස්වීම්වලට බස්රථවලින් සෙනඟ ප්‍රවාහනය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 1425ක් ලංකා ගමනාගමන මණ්ඩලයට ඔවුන් ගෙවිය යුතු බව අද මුළු රටම දන්නවාය.එපමණක් නොව ඔවුන්ද එය පිළිගන්නවාය. එහෙයින් ‘අනාගතයට සහතිකයක්‘ දීමට පෙර යටත් පිරිසෙයින් එම මුදල හෝ ගෙවා තමන් ඉදිරියටවත් නිවැරදි වීමට ඇති සූදානම පෙන්විය යුතුය. ජනාධිපතිවරණ ප්‍රචාරක දැන්වීම් වෙනුවෙන් රූපවාහිනී සංස්ථාවට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 1760ක මුදල ගෙවා නිරවුල් කළ යුතුය. ඔවුන්ට එරෙහිව ඇති බරපතළ දූෂණ චෝදනාවලට අමතරව ඔවුන්ද පිළිගන්නා එකී ණය කන්දරාවෙන් පුංචි කොටසක් හෝ නිරවුල් කිරීමට පියවර ගත්තේ නම් අඩුම තරමින් ඔවුන්ට සවන්දීම සඳහා හෝ හිත හදාගත හැකිය. එහෙත් ඒ කිසිවකට ඔවුන් සූදානම් නැත.

සාමාන්‍යයෙන් ඕනෑම දේශපාලන පක්ෂයක් සුවිශේෂ පරාජයක් ලද කල්හි යළි තම දේශපාලන කටයුතු ආරම්භ කරන්නේ තමන් ලද පරාජය ගැන ස්වයං විවේචනයක්ද සමඟය. තමන්ට වැරදුනු තැන් හඳුනාගනිමින් එය ඉතා නිහතමානීව ප්‍රසිද්ධියේ පිළිගනිමින් අනාගතය නිවැරදිව යළි සැලසුම් කිරීම සිරිතය. එහෙත් මොවුන් අද හැසිරෙන්නේ එවැනි පරාජයක් තමන්ට හිමි ‍නොවූ ගානටය. ‘අනාගතයට සහතිකයක්‘නමැති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පළමු පිටුවේ සඳහන් හැඳින්වීම අවසානයේ පොළොව පැලෙන තරමේ මහා බොරුවක් එහි විශේෂ පාඨයක් ලෙස ඇතුළත් කර ඇත. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ ‘අපි කියන දේ කරමු. කරන දේ කියමු‘ යනුවෙනි. ඊයේ ඉපදුන දරුවකු හැරෙන්නට එම පාඨය කියවූ ඕනෑම අයකු එම ප්‍රකාශනය කියවීම එතැනින්ම නතර කරනවාය. ඒ ඔවුන්ගේ ඉතිහාසය විසින් ඔවුන්ටම එරෙහිව රැස්කරන ලද සාක්ෂි සමූහයක් මේ රටේ ජනතාවගේ සෑම හදවතක් තුළම තැන්පත් වී ඇති නිසාය. එහෙයින් ඔවුන් එම පාඨය ඇතුළත් කළ යුතුව තිබුණේ එම ප්‍රකාශනයෙහි පළමු පිටුවේ නොව අවසාන පිටුවේය.

කෙසේ වුවද මෙකී ප්‍රතිපත්ති ප්‍රකාශය හුදෙක් නිකම්ම නිකම් සුරංගනා කතාවක් යැයි බැහැර කරනවා වෙනුවට එහි විශ්වාසවන්ත භාවය උරගා බැලීමේ අවස්ථාවක්ද එම විශේෂ පාඨය මගින් ඔවුන් උදාකර දී ඇත.‘අනාගතයට සහතිකයක්‘ පිළිබඳ එකී උරගා බැලීම සඳහා ජැක්සන් ඇන්තනී මහතා තම ‘අකාල සන්ධ්‍යා‘ ටෙලි නාට්‍යයේ තමන්ට අවශ්‍ය වූ විට අනාගතයට යනවාක් මෙන් අපටද අනාගතයට යා නොහැකිය. අංජනම් එළි ආශ්‍ර‍යෙන්ද එවැන්නක් කළ නොහැකිය. ජනවාරි 8 වෙනිදාට පෙර එවැනි අවශ්‍යතාවයක් වූයේ නම් යටත් පිරිසෙයින් රාජකීය දෛවඥයා සොයා යා හැකිව තිබුණි. එවැනි කිසිවක් දැන් කළ නොහැකිය. එහෙත් ගැටළුවක් නැත. ඒ සඳහා වඩාත්ම විශ්වාසවන්ත මාර්ගය ඔවුන් විසින්ම ‘අනාගතයට සහතිකයක්‘ හි පළමු පිටුවේ ඇතුළත් කර ඇත. ඒ මා මුලින් කී “අපි කියන දේ කරමු. කරන දේ කියමු“ යන යෙදුමය. ඒ අනුව අප සොයා බැලිය යුත්තේ මීට පෙර ඔවුන් විසින් ලබාදුන් පොරොන්දු ඉටුකර තිබේද යන්න පමණි. ඊට පිළිතුර ‘ඔව්‘ නම් මෙම සහතිකයද වලංගුය. එසේ නැත්නම් අවලංගුය. එහෙයින් දැන් අපි අතීත ප්‍රකාශන විමසා බලමු.
මීට පෙර ඔවුන් ඉදිරිපත් කළ ආසන්නතම පොරොන්දු පත්‍රය වන්නේ 2015 ජනාධිපතිවරණය සඳහා වූ ‘මහින්ද චින්තන - ලොව දිනන මඟ‘ ය. එය එළි දැක්වූයේ 2014 දෙසැම්බර් 23 වන දිනය. එහෙත් එදිනට පෙර දිනය දක්වාම ඒ පිළිබඳව සියලු මාධ්‍ය වාර්තා කළේ ‘මහින්ද චින්තන - තුන් කල් දැක්ම‘ යනුවෙන් ඔවුන් තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමට නියමිත බවය. එයින් පෙනී යන්නේ අවසන් මොහොතේ ‘තුන්කල් දැක්ම‘ අතහැර ‘ලොව දිනන මඟ‘ තෝරා ගැනීමට ඔවුන් තීරණය කළ බවය. කෙසේ හෝ තුන්කල් දැක්ම පසෙක ලා ලොව දිනන මඟ තෝරාගත් ඔවුන්ට අවසානයේ ලෝකය තබා රට දිනා ගැනීමටවත් නොහැකි විය. මේ වන විට රට දිනීමද පසුවට තබා කුරුණෑගල දිස්ත්‍රික්කය හෝ දිනාගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ බවට පත්ව ඇත. එම නිසා මහා වෙහෙසක් දරා උත්පාදනය කළ එකී ‘මහින්ද චින්තන - ලොව දිනන මඟ‘ එහි කන්‍යා භාවයද එසේම තිබියදී කිසිදු භාවිතයකින් තොරව අළුයම ලූ කෙළ පිඩක් මෙන් අත්හැර දැමීමට ඔවුන් විසින්ම තීරණය කර ඇත.

මේ අනුව ඔවුන් ගේ අතීත කෙරුවාව පරීක්ෂා කිරීම සඳහා මී ළඟට අවධානය යොමු කළ යුත්තේ 2010 ජනාධිපතිවරණය සඳහා ඔවුන් ඉදිරිපත් කළ ‘මහින්ද චින්තන - ඉදිරි දැක්ම‘ වෙතය. පිටු 99කින් යුත් එම ප්‍රකාශනය අතිශය ආකර්ශණීය පොරොන්දු මාලාවකින් යුක්තය. ඒ ගැන මුලින්ම කිව යුත්තේ මෙවර ‘අනාගතයට සහතිකයක්‘ නිර්මාණය කිරීමේ කමිටුවේ සාමාජිකයින් කිසිවකුත් ඊට පෙර එම 2010 ප්‍රකාශනය යළි කියවා නැති බවය. වැරදීමකින් හෝ එය යළි කියවීමට එහි කිසිවකුට අවස්ථාව ලැබුණේ නම් ඔවුන් කෙසේවත් ‘අනාගතයට සහතිකයක්‘ ප්‍රකාශනය ඒ ආකාරයට ඉදිරිපත් කරන්නේ නැත. එහෙයින් රට වැසි සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ ‘අනාගතයට සහතිකයක්‘ සමඟ ‘මහින්ද චින්තන - ඉදිරි දැක්ම‘ද එකට කියවිය යුතු බවය. එක්සත් ජාතික පෙරමුණ විසින් හෝ එය යළි මුද්‍රණය කොට ජනතාව අතට පත් කරන්නේ නම් එය මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් කරනු ලබන මහා පුණ්‍ය කර්මයක්ද වන්නේය. මෙම ලිපිය මගින් උපුටා දැක්වීමට ඉඩකඩ තිබුණේ නම් ඔවුන්ගේ පොරොන්දු ඉටුකිරීමේ තරම පෙන්නුම් කිරීම සඳහා එකී පිටු අනූ නවයම එකක් නෑර මෙහි උපුටා දැක්වීමට මට සිදුවන බව විශේෂයෙන් කිව යුතුය. එහෙත් ඊට අවස්ථාව නොලැබෙන නිසා එහි සඳහන් පොරොන්දු කීපයක් පමණක් මෙහි සඳහන් කරමි.

රටට ‘සුභ අනාගතයක්‘ යනුවෙන් ආරම්භ වූ එම ප්‍රකාශනයේ පළමු පොරොන්දුව වූයේ ‘පංච බල කේන්ද්‍රයක් ඇසුරෙන් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම‘ ය. ඒ බව එහි නව වන පිටුවේ සඳහන් වන්නේ මෙසේය. “අප ඉදිරි මහ පිම්මේ ප්‍රමුඛ ඉලක්කයක් වන්නේ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් වැදගත් ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්කර ගැනීමයි. ඒ සඳහා අප රට යළිත් ආසියානු සේද මාවතේ මුතු ඇටය බවට පත්කරවන්නට මම අධිෂ්ටාන කරගෙන ඇත. අප රට එහි වි‍ශිෂ්ට භූගෝලීය පිහිටීම උපයෝගී කොටගෙන බටහිර හා නැගෙනහිර යා කරන නාවුක, ගුවන්, වාණිජ, වෙළඳ හා දැනුමේ කේන්ද්‍රයක් ලෙස දියුණු කිරීමට මම පියවර ගන්නෙමි“ (මහින්ද චින්තන - ඉදිරි දැක්ම -9 පිටුව) රටට පණ දීම සඳහා අලුතෙන්ම පටන් ගන්නා බව කියමින් යළිත් වරක් ඔබ අතට දී ඇති ‘අනාගතයට සහතිකයක්‘ නමැති පොරොන්දු පත්‍රය කියවීම මඳකට නවතා ඔබ ආපසු හැරී බලන්නේ නම් ඔවුන් විසින් කලින් දී ඇති එකී පළමු පොරොන්දුවට කුමක් සිදු වී ඇත්ද යන්න වටහා ගතහැකිය.ඒ අනුව ඉහත කී පංච බල කේන්ද්‍රය නිර්මාණය කොට ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම ඔවුන් විසින් අවසන් කර ඇත්ද නැතහොත් ඒ ගැන කිසිත් නොකියා එය ඉවතට විසිකර අලුත් පොරොන්දු මාලාවක් ලබා දෙමින් ‘කියන දේ කරන බවටත්, කරන දේ කියන බවටත්‘ කටමැත දොඩවමින් සිටින්නේ මේ රටේ ජනතාව පිළිබඳ කෙතරම් අවතක්සේරුවකින් යුක්තවද යන්න ඔබ විසින්ම තීරණය කළ යුතුය.

මේ තවත් උපුටා දැක්වීමකි. එහි සඳහන් වන්නේ ‘ඉසුරුබර පවුල‘ පිළිබඳවය. “ලෝකය රඳා පවතින්නේ අම්මාවරුන්ගේ හදවතින් ගලා එන සෙනෙහසිනි. දරුවන් නීරෝගී මනසින් සහ සමබර පෞරුෂයෙන් වැඩෙන්නේ ඒ සෙනෙහස තුළිනි. මගේ විශ්වාසය නම් අප කොතෙක් දේ දිනා ගත්තද මුල් කර ගත යුත්තේ අම්මා, තාත්තා සහ දරුවන්ගෙන් සැදුම්ලත් පවුල බවයි“ (20 පිටුව) එක් අතකින් එකී ප්‍රතිපත්තිය නම් ඔහු විසින් සියයට දහසකින් ආරක්ෂා කර ඇති බටව ඔබට තර්ක කළ හැකිය. ඒ ඔහු ස්වකීය රාජපක්ෂ පවුල වෙනුවෙන් කළ කී දෑ තක්සේරු කරන විටය. එහෙත් එම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඔහු ‘පවුල‘ යනුවෙන් අදහස් කළේ හුදෙක් තමන්ගේම පවුල පමණක් නොව මේ රටේ ලක්ෂ පණහ ඉක්ම වූ අන්ත දුගී දුප්පත් පවුල්ද ඇතුළු සියලු පවුල්ය. ඒ අර්ථ නිරූපණයට අනුව ඔහු එතැනද අසමත්ය.

ඒ අකාරයටම සමෘද්ධිලාභී පවුල්වලට අදාළව 19 පිටුවද, කාන්තා මූලික පවුල්වලට අදාළව 21 පිටුවද, මල් වැනි දරුවන් හා දෙටු පුරවැසියන්ට අදාළව 22හා 23 පිටුද, ආබාධිත ප්‍රජාවට අදාළව 24 හා 25 පිටුද ඒ ඒ පිරිස් විසින් යළි කියවිය යුතුය. මෙවර ඔවුන් අනාගතයට දෙන සහතිකය කොතෙක් දුරට වලංගු වන්නේ දැයි එවිට වෙන කිසිවකුගේ මඟ පෙන්වීමකින් තොරව තමන් විසින්ම තීරණය කළ හැකිය. මීට අමතරව රණවිරුවන්ට, ආරක්ෂක සේවාවන්ට, පොලිස් සේවයට, සිවිල් ආරක්ෂක බලකායට හා රාජ්‍ය සේවයට අදාළ ඔවුන්ගේ 2010 පොරොන්දු මාලාව සටහන් වන්නේ 25 සිට 33 දක්වා පිටුවලය. වර්තමානයේ රාජ්‍ය සේවක අවම වැටුප රුපියල් විසිපන් දහස දක්වා වැඩි කරන බවට දෙන පොරොන්දුවේ විශ්වසනීයත්වය තක්සේරු කිරීම සඳහාද ඔබ සැවොම එක්ව එකී පරිච්ඡේදය නැවත කියවිය යුතුය.

“වංචාවෙන් දූෂණයෙන් තොර සමාජයක්“ යනුවෙන් මෙහි අත්‍යවශ්‍යයෙන්ම උපුටා දැක්විය යුතු කොටසක් එහි 46 හා 47 පිටුවල ඇත. එහි ප්‍රධාන වාක්‍ය කිහිපයක් පමණක් මෙහි සඳහන් කරමි. “කාලාන්තරයක් තිස්සේ සමාජය වෙලාගෙන පැවති වංචා, දූෂණ හා අක්‍රමිකතා මුළුමනින්ම මෙරටින් තුරන් කොට, සියලු අපරාධකාරිත්වයන් පාලනය කොට සාරධර්මවලින් පිරිපුන් රටක් ගොඩනැඟීම මාගේ ඒකායන අරමුණයි“ (මහින්ද චින්තන ඉදිරි දැක්ම - 46 පිටුව) මීට අදාළ අනිකුත් විස්තර එම පරිච්ඡේදය තුළ ඇතුළත් වන අතර අදින් වසර පහකට පෙර ඔවුන් ලබාදුන් මෙම ප්‍රතිඥාවත් එකී වසර පහට අදාළව ඔවුන්ගේ භාවිතයත් හොඳින් සංසන්දනය කර බැලීම ඔබට භාරය. වසර දෙකක් ඉතිරිව තිබියදී ඒ මහා රාජධානිය බිමටම සමතලා වූයේද එකී වැරදි භාවිතය නිසාය. වර්තමානයේ ඒ වෙනුවෙන්ම පිහිටුවා ඇති විශේෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත දිනෙන් දින තොරතුරු ගලා එන්නේද එම ප්‍රතිඥාවෙන් පසු ඔවුන් විසින් ක්‍රියාවට නංවන ලද අන්ත දූෂිත පාලනයට එරෙහිවය. අද ඔවුන් නෙළාගනිමින් සිටින්නේ එම වසර පහ තුළ ඔවුන් විසින්ම වපුරන ලද සිල්ලෙහි ‘අස්වැන්න‘ ය.
එසේම පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගන්නා අනුපාත ඡන්ද ක්‍රමය වෙනස් කරන බවටද විධායක ජනාධිපති ධූරය භාරකාර ධූරයක් බවට පත්කරන බවටද දෙන ලද පොරොන්දුවලට අදාළ විස්තර සඳහන් වන්නේ එහි 52 හා 53 පිටුවලය. තුනෙන් දෙකේ බලයක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය කරගැනීමෙන් පසුවද ඒ සියල්ල බැහැර කළ ඔවුන් වහා නීතිගත කළේ විධායක ජනාධිපති ධූරය තව තවත් ශක්තිමත් කරන්නා වූ අණපනත්ය. තවද “ක්ෂීර විප්ලවය හා කිරි ගොවියාට සවිය“ වශයෙන් එහි 83 හා 84 පිටුවල සඳහන් මන බඳනා පොරොන්දු සියල්ල මේ රටේ සියලු කිරි ගොවීන් විසින් අනිවාර්යෙන්ම කියවිය යුතු යැයි මම අදහස් කරමි. ඒ මක් නිසාද යත් පසුගිය කාල පරිච්ඡ්දය තුළ මහපාරේ දෝරෙ ගලා ගිය කිරි සාගරයක් මැද අතරමං වූ කිරි ගොවියන්ගේ ඉරණම එකී පොරොන්දු සමූහය සමඟ එක පෙළට තබා ඒ පිළිබඳ විනිශ්චය කිරීම වඩා සාධාරණ නිසාය.

එහි අවසාන පිටු දෙකද කිසිසේත් මඟහැරිය නොහැකිය. “මිනිසුන් හැර යන රටක් වෙනුවට මිනිසුන් පැමිණෙන රටක්“ ගොඩනගන බවට එහි 98 හා 99 පිටුවල සඳහන් පොරොන්දුව පිළිබඳව පසුගිය වසර පහට අදාළව සිදු වූ සිදුවීම් මෙහි සඳහන් කළ නොහැකි තරමට අප්‍රසන්න හා ම්ලේචච්ඡ අත්දැකීම්වලින් ගහණය. බොහෝ පිරිසකට තම ජීවිතය රැකගැනීම වෙනුවෙන් පවා ඉතිරි වූ එකම විකල්පය වූයේ රට හැරයාමය. ජනවාරි 8 නිදහස යළි ලබාගැනීමෙන් පසුව වුවද යළි මෙරටට පැමිණීමට ඔවුන් දෙගිඩියාවෙන් පසුවන්නේ එකී පරාජිත අවතාර තවමත් හොල්මන් කරන නිසාය. ලබන අගෝස්තු 17න් පසු කිසිදු බියක් සැකක් නොමැතිව ඔවුන් සියලු දෙනා නැවතත් තම මාතෘ භූමිය වෙත ඉමහත් භක්තියෙන් යුක්තව ළඟාවනු ඇත.

මෙසේ ගෙවීගිය ආසන්නතම ඉතිහාසය තුළ ඔවුන්ගේ කෙරුවාව ඉතාමත් හොඳින් පැහැදිලිය. තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. එබැවින් මෙවර තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පළමු පිටුවේම ‘අපි කියන දේ කරමු. කරන දේ කියමු‘ යනුවෙන් දක්වා ඇත්තේ ඔවුන්ගේ අවසන් මහ ‍බොරුව බව දැන් ඔප්පු වී අවසානය. එය අවසන් මහ බොරුව වන්නේ මින් පසු ඔවුන් බොරු නොකියන නිසා නොව ලබන අගෝස්තු 17 වෙනිදා ඔවුන්ගේ අනාගත සිහින, ෆැන්ටසි සියල්ල බිඳ වැටී එම ‘ටයිටනික් දේශපාලන නෞකාව‘ සහමුලින්ම මූදු බත් වී අවසන් වන නිසාය.

ඒ අනුව පවුල් පිටින් කල්ලි පිටින් එකට එක්වී බදාගෙන අනුභව කිරීම හේතුවෙන් ප්‍රාණය නිරුද්ධ වී සිහිසුන්ව ඇද වැටී තිබූ තත්ත්වයක් යටතේ පසුගිය ජනවාරි 8 වෙනිදා යහපාලන සහෝදරත්වය විසින් මුදාගන්නා ලද ශ්‍රී ලංකාව නම් වූ අපගේ මාතෘ භූමිය යළි ප්‍රාණවත් කිරීම සඳහා එකී යහපාලන සහෝදරත්වය විසින් ‘රටට පණදී අලුතෙන්ම පටන්ගත්‘ බවද, එළඹෙන අගෝස්තු 17 වෙනිදා සිට සැවොම අපේක්ෂා කළ රටේත් ජාතියේත් ජනතාවගේත් අසිරිමත් ‘රන් යුගය‘ ආරම්භ කෙරෙන බවද දැනටමත් මේ රටේ අති බහුතරයක් වටහා ගෙන ඇති බැවින් එයම ඔවුන්ගේ ‘අනාගතයට සහතිකයක්‘ වශයෙන් තම හදවතේ සුරැකිව රඳවා තබා ගැනීමට ඔවුන් වග බලා ගත යුතුය.

krishantha

එ.ජා.ප. මාධ්‍ය අංශ ප්‍රධානී ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ විසිනි

 

 

විශේෂාංග