26 June 2017
RSS Facebook Twitter   

ජනාධිපති මෛත‍්‍රීට අභියෝගයක් වන අගමැතිවරයකු රටට අවශ්‍ය ද? - හරිම් පීරිස්

maithripala sirisena 08 01මහ මැතිවරණ ව්‍යාපාරය එන්න එන්න ම උණුසුම් වෙයි. නාම යෝජනා භාර දුන් ආරම්භයේ දී ම, දැඩි අභියෝගයකට ලක් වූ එක්සත් ජනතා නිදහස් සංධාන මැතිවරණ ව්‍යාපාරය කෙමෙන් හිස ඔසවන්නට තැත් කරනු පෙනේ. මැතිවරණ කොමසාරිස් වරයා සහ පොලිස් පති වරයා විසින් ඉතා ප‍්‍රබල ලෙස මෙතෙක් ක‍්‍රියාත්මත කරන ලද මැතිවරණ නීති. රීති. රෙකුලාසි ආදිය නිසා, සුපුරුදු බැනර්ස්, පෝස්ටර්ස්. කටවුට්ස් ආදිය දක්නට නො ලැබෙන හෙයින්, මෙතෙක් කල් රාජ්‍ය අනුග‍්‍රහයේ ශක්තියෙන් මැතිවරණ ව්‍යාපාර පවත්වා ගත් සංධානයේ මෙවර සමස්ත ඡුන්ද ව්‍යාපාරයේ ම එතරම් කැපී පෙනීමක් දක්නට නො ලැබේ.

ඡුන්ද සටන සැබැවින් ම ආරම්භ වූ.පශ්චාත් නාම යෝජනා කාලය තුළ දේශපාලන පොර පිටියේ අතිශයින් ම අවධානයට භාජනය වූ වැදගත් ම දේශපාලන සංසිද්ධිය නම්, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ජාතිය අමතා කළ ඓතිහාසික කථාව යි. එම කථාවේ දී (අ) තමා මැතිවරණයේ දී නිර්පාක්ෂික වන බව ප‍්‍රකාශ කිරිමත්, (ආ) පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහිි තමන් තුළ පවත්නා දේශපාලනික හා ප‍්‍රතිපත්තිමය විරෝධතාව ජන විඥානයට කා වැද්දීමත්, (ඇ) ජනාධිපති සිරිසේන මහතා ජනාධිපතිවරණයේ දී පාදක කර ගත් ජනපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට ස්වකීය කැපවීම තව දුරටත් සනාථ කිරීමත් පුන පුනා සිදු කළ අතර, එම ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවීම සඳහා තමන්ට සහාය ලබා දෙන ලෙසත්, එ් සඳහා හවුල්කරුවන් විය හැකි පිරිසක් සහිත රජයක් තෝරා පත් කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. ජනාධිපති සිරිසේන මහතා ගේ එම ප‍්‍රකාශයෙන් නිතැතින් ම ජනිත වන ප‍්‍රශ්නය නම්, එම අභියෝගයට එක්සත් ජනතා නිදහස් සංධානය දක්වන ප‍්‍රතිචාරය කුමක් ද යන්න යි.

බෙදී ගිය සංධානයක්
එම අභියෝගයට මේ දක්වා එක්සත් ජනතා නිදහස් සංධානය දක්වා ඇති ප‍්‍රතිචාරය නම්, එන්න එන්න ම සංකීර්ණ වෙමින් සංධානය තුළ පවත්නා අභ්‍යන්තර ආකූල ව්‍යාකූලතාව යි. තමන්ගේ ම පක්ෂයේ නායකයා සහ සංධාන නායකයා ද වන. ජනප‍්‍රිය ඡන්දයකින් තෝරා පත් කර ගනු ලැබූ ජනාධිපති වරයා අභියෝගයට ලක් කිරීම හා ජනාධිපති ප‍්‍රකාශයෙන් කළ අභියෝගය මග හරිමින් වෙනත් අදාළ නොවන දේවල් උකහා දැක්වීම අතර, ශ‍්‍රීලනිප සහ සංධාන නායකයෝ සිර වී සිටිති. ජනාධිපති සිරිසේන මහතා විසින් ශ‍්‍රීලනිප හා සංධානය තුළ පමණක් නොව, රට තුළ ද සමස්ත ජනතාවට ම ත් සු-පැහැදිළි පණිවිඩයක් ලබා දෙමින්, අග‍්‍රාමාත්‍ය ධුරාපේක්ෂකයකු වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා නුසුදුස්සකු ය යි ද, විශ්වාස කළ නොහැක්කකු ය යි ද, පිළිගත නො හැක්කකු ය යි ද තදින් ම ප‍්‍රකාශ කර තිබිය දී ත්, ශ‍්‍රීලනිප සෙසු නායක කාරකාදීන් සහ සංධානයේ සිව් දෙනාගේ කල්ලිය විසින් මැතිවරණ වේදිකාවේ සිට පරාජිත ජනාධිපති හා කුරුණෑගල දිස්ත‍්‍රික් ඡුන්දාපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ අගමැති අපේක්ෂකයා ලෙස හුවා දක්වනු ලැබේ.

ජනාධිපති සිරිසේන මහතා ගේ අගමැතිවරයා ?
වර්තමාන ශ‍්‍රී ලංකා මැතිවරණයේ පසුබිම තුළ, පොදුවේ ගත් කළ සිදු විය නොහැකි, එහෙත් ඇතැමුන් සිදු විය හැකි ය යි සිතන පරිදි, ජනාධිපති සිරිසේන මහතාට අභියෝග කරන අගමැති වරයකු වශයෙන් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ලැබ ඇත. එය එසේ වුව හොත්, නිරායාසයෙන් ම මතුවන ප‍්‍රශ්නය නම්, ජනරජයේ බහුතර ඡුන්ද දායක රැල්ලක් විසින් ජනප‍්‍රියතාව ඔස්සේ නොබෝදා තෝරා පත් කර ගන්නා ලද ජනාධිපති වරයාට අභියෝග කරන අගමැතිවරයකු හෝ රජයක් අවංක ව ම අපේ රටට හා ජනතාවට අවශ්‍ය වන්නේ ද හා ගැලපෙන්නේ ද යන්න යි. ජනවාරි ජනපතිවරණයේ දී ජනතාවට පොරොන්දු වූ ර්‍ණසිරිසේන ජනාධිපතිවරයා” නැතහොත් ර්‍ණමෛත‍්‍රී යුගය” මෙන් ම, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ එදා ලත් අයෝමය ජයග‍්‍රහනයත් යන දෙක ම, මෛත‍්‍රීපාල සිරිසේන නම් වන දේශපාලනඥයාට හෝ ඔහුගේ පෞද්ගලික දේශපාලනයට වඩා බෙහෝ සෙයිින් උත්තම වෙයි. තවත් වචන වලින් කිවහොත්, එය රාජපක්ෂ පරිපාලනයේ ප‍්‍රතිපත්ති හා රාජ්‍ය තන්ත‍්‍රය සාකල්‍යයෙන් ම ප‍්‍රතික්ෂේප කිරීමකි.

මීට පෙර ශ‍්‍රී ලංකාවේ පැවැති කිසිදු මැතිවරණයකදී වත්, පවත්නා පාලනය හා රාජ්‍ය තන්ත‍්‍රයක්, එවන් අතිශය දැවැන්ත වූ ජනතා විරෝධයක් පිළිබිඔු කෙරෙමින්, ඓතිහාසික හා අනපේක්ෂීත ලෙස පරාජයට පත් කරනු නො ලැබිණී. රාජපක්ෂ පාලනය කෙරෙහි පැවැතියා වූ විිවේචන හා දෝෂ දර්ශන අතිශය කර්කශ වූ අතර, එ් සෑම එකක් ම ඉලක්ක වූයේ රාජපක්ෂ පවුල වෙත ය. එ් අනුව, ජනවාරියේ දී රාජපක්ෂවරු පරාජය කරනු ලැබුවේ සැබෑ වෙනසක් සඳහා වූ ජන මතය විසිනි. ජනපතිවරණයේ දී, මහින්ද රාජපක්ෂ හා ඔහුගේ සහචර කණ්ඩායම් විසින් මෛත‍්‍රීපාල සිරිසේන වෙත එල්ල නොකරන ලද චෝදනාවක්, අපහාසයක්, උපහාසයක් නැත. රාජපක්ෂ කෙරෙහි ජනතාවගෙන් එවැනි දෑ එල්ල නො වූයේ කව්රුත් දන්නා විවිධ හේතු සාධක නිසා හා එවැන්නකට නිදහසක් නො තිබූ නිසා ය. එසේ ශ‍්‍රීලනිප හා සංධානය සිදු කළ අප‍්‍රමාණ වූ වැරැදි වලට වන්දියක් වශයෙන් ජනවාරි ජයග‍්‍රහනයෙන් පසු මෛත‍්‍රීට සංධානයේ නායකත්වය පිරිනැමීමට තීරණය වූවා විය නො හැකි ද?

එදා කළ දේ ම වැඩියෙන් කරන්නට යළිත් දැන් දෙන පොරොන්දුව
කුරුණෑගල දිස්ත‍්‍රික් ඡන්දාපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ඝෝෂාකාරී සහචරයන් ගේ කථාවලට සවන් දෙන විට, ඔවුන් ගේ චින්තනයන්හි හා ප‍්‍රතිපත්තීන් හි අලූත් කිසිවක් ම කියැවෙන්නේ නැත. අවුරුදු ගණනාවක් පුරා අප අසා පුරුදු පැරණි පුරසාරම්, කෑ ගසා කී එක ම උද්‍යොග පාඨ, එක ම දේ වෙනත් විධියකට හරවා දෙන පොරොන්දු මිස අදට ගැලපෙන, නූතන පරපුරට ගැලපෙන නවතම සංකල්ප ඉඩෝරයකට අසුවූවාක් මෙන් ගිලිහී ගොසිනි. ජනතාවට ඇති ලොකු ම ප‍්‍රශ්නය නම්, පසුගිය දශකයකටත් වැඩි කාල පරාසයක් තුළ, මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ගෝල බාලයින් කළ කී දේ මේ සා විශාල ප‍්‍රමාණයක් පැහැදිළි ව අනාවරණය වී තිබිය දී ත්, එම පාලන කාලය තුළ ඔවුන් අතින් රටට හා ජනතාවට වැරදි සිදු ව ඇති බව නො පිළිගැනීම ය.

අත්තනෝමතික පවුල් බලය හා කල්ලි වාදය, සොරකම් හා දූෂණ, ඥාතිමිත‍්‍ර සංග‍්‍රහය, ස්වාධීන රාජ්‍ය ආයතන සූරා කෑම, නීති විරෝධී ව්‍යාපෘති, ටෙන්ඩර් ක‍්‍රමය නොසලකා හැරීම, රාජ්‍ය වාහන සොරකම් කිරීම, අවි ආයුධ රැගත් නාවුක යාත‍්‍රා නීති විරෝධී ව පවත්වා ගැනීම ආදී තව තවත් දීර්ඝ ලේඛනයක් රාජපක්ෂ පාලනය ගැන ඉදිරිපත් කළ හැකි ය. මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම ර්‍ණඅපි නැවත පිබිදී මුළ සිට පටන් ගන්නෙමු” යනුවෙන් රටට කියා පානුයේ, ඒ කළ කී දේ ම නැවත මුළ සිට පටන් ගෙන දිගට ම කරගෙන යන්නට ය. සංධාන ප‍්‍රකාශනය කියවා ඔවුන් ගේ හිතවතුන් පවා වික්ෂිප්ත ව ඇත්තේ මේ නිසා ය.

මිලියන 5.8 ඡන්ද බලය දිගටම පවතිතැයි යන මිථ්‍යාව
ජනවාරි යේ පරාජයෙන් පසු බෑ සංධානය දැන් උදම් වී ඇත්තේ, එදා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගේ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණට වාසිදායක වූ උතුරු- නැගෙනහිර දෙ පළාතෙන් බැහැර දිස්ත‍්‍රික්කවලින් මහින්ද රාජපක්ෂ මහතාට වැඩි වාසියක් ලැබුණු නිසා ය. ඒ අනුව, සංධානය සාධක දෙකක් කෙරෙහි විශ්වාසය තබා ඇත. එළැෙඔන මහ මැතිවරණයේ දී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ කැඞී බිඳී යනු ඇතැයි ද, එසේ වූ කල්හි, තව දුරටත් සංධානය නො කැඞී නො බිඳී පවතින්නේ නම්, මහ මැතිවරණයේ දීත් මිලියන 5.8 ඡන්ද බලය තමනට ලැබෙන බව සංධානයේ විශ්වාස කරයි. සැබැවින් ම එම තර්කය අනුව, මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ද ඔහු ලබා ගත් මිලියන 6.2 ඡුන්ද බලය හිමි විය යුතු ය. එවිට ජය ලබන්නේ කව්රුන් ද?

යථෝක්ත සාධක දෙකෙන් පළමුවැන්න නම්, ජනවාරි ජනපතිවරණයේ දී සංධානයට ඡන්දය ලබා දුන් මිලියන 5,8 ජනතාව නැවත වරක් මහ මැතිවරණයේ දී තමනට ඡන්දය දෙනු ඇතැයි යන අවිචාරවත් කල්පනය යි. අනෙක් අතට, ජනවාරියේ දී මහින්ද රාජපක්ෂ මහතාට ඡුන්දය ලබා නො දුන් අය අගෝස්තුවේ දී ඔහුට ඡන්දය ලබා දෙනු ඇතැයි අල්ප මාත‍්‍රයකින් හෝ සිතන්නට කවර හෝ හේතු සාධකයක් තිබේ ද? ඊට හාත් පසින් ම වෙනස් වෙමින්, , ජනවාරියේ දී මහින්ද රාජපක්ෂ මහතාට ඡුන්දය ලබා දුන් අය අගෝස්තුවේ දී ඔහුට ඡන්දය ලබා නො දීමට හේතු සාධක අප‍්‍රමාණ සංඛ්‍යාවක් කෙනෙකුට ගණනය කළ හැකි ය. ජනවාරියේ දී සංධානය විසින් ස්වකීය දේශපාලන හා මැතිවරණ ව්‍යාපාර සඳහා අධිකරණය හා නීතිය ද, රාජ්‍ය මාධ්‍ය සියල්ල ම ද පමණක් නොව, රාජ්‍ය දේපළ, සම්පත් හා මුදල් ද අති විශාල වශයෙන් භාවිත මෙන් ම අවභාවිත කරමින් ක‍්‍රියා කළ ආකාරය පිළිබඳ ව, එදාටත් වඩා සහතික වශයෙන් අද ඡන්ද දායකයෝ දැනුවත් ව සිටිති. එම අත්තනෝමතික ක‍්‍රියා කලාපය අද සංධානයට අහිමි වී ගොස් තිබේ. තවත් අතකින් බලන කල්හි, සංධානය අති මහත් සේ විශ්වාසය තබා සිටින අති විශාල ප‍්‍රමාණයක් වූ ග‍්‍රාමීය ඡන්ද දායකයින්ට සංධාන නායකයින් එදා කියා සිටියේ, ග‍්‍රාමීය ජනතාව වෙනුවෙන් වෙන් කර ඇති සමෘද්ධි අරමුදල් වලින් පටන් ගෙන පොහොර සහනාධාරය දක්වා වූ රජයේ අරමුදල්, මෛත‍්‍රී පාලනයක් යටතේ නොලැබී යන බව නමුත්, මහින්ද රජයේ මැති ඇමති වරුන් විසින් තමන් ගේ දේපළ ලෙස සලකා ජනපතිවරණයට එකී අරමුදල් කෝටි ප‍්‍රකෝටි වශයෙන් වැය කර ඇති ආකාරය ගැන එකී ග‍්‍රාමීය ඡන්ද දායකයින් ම දැන් මනා අවබෝධයකින් යුක්ත වන නිසා, ඔවුන් ගේ වටිනා ඡන්දය යළිත් වරක් සංධානයට ලැබේ ය යි කෙසේ නම් සිතන්න ද?

එ පමණට ම වැදගත් දෙවන සාධකය නම්, ජාතික රජයකට පක්ෂපාතී මෙන් ම මෛත‍්‍රී යහපාලනයක් රුචි, මෙතෙක් සිය හෘදය සාක්ෂියට එරෙහි ව මහින්ද ප‍්‍රතිපත්තිවලට අත ඔසවා කැමැත්ත පළ කළ සංධානයේ එදා සිටි මැති ඇමති වරුන් සහ ‘නැවතත් මහින්ද රාජපක්ෂ ගෙනෙව්’ ය යි හ`ඩ නගන අය දැන් පැහැදිළි ව ම සංධානය තුළ දේශපාලනික ව පමණක් නොව පෞද්ගලික ව ද දෙ පිලක් බෙදී ඇති බව ජනතාවට රහසක් නොවීම යි. ප‍්‍රතිපත්තිමය හා ප‍්‍රයෝගික වශයෙන් ද ‘මෛත‍්‍රි යහපාලනයක්’ හා ‘මහින්ද රජයක්’ කෙසේ නම් එකට ගලපන්න ද? අහසට පොළොව මෙනි. මේ නිසා, දැනටමත් අවුල් සහගත තත්ත්වයක් දකින ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා, එක්කෝ එක්සත් ජාතික පෙරමුණට, නැතහොත් ජනතා විමුක්ති පෙරමුණට සිය ඡන්දය හා මනාප පළ කරනු නියත ය. නැතහොත්, ඡන්දය ප‍්‍රකාශ කිරීමට නොගොස් සිය නිවෙස් තුළ ම රැඳී සිටිනු ඇත.

තවත් සැලකිල්ලට ගත යුතු කරුණක් නම්, ජනවාරියේ විශිෂ්ට ජයක් අත් කර ගත් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ, දැනට ද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ‘යහපාලනයක් සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ‘ වශයෙන් නොකැඞී, නො බිඳී, එළැඹෙන මහ මැතිවරණයේ දී ද එක්ව හා සාමුහික ව ක‍්‍රියා කිරීම යි. ද්‍රවිඩ ජාතික සංධානය පමණක් තනිව ම තරග වැදී ඇති නමුත්, අවසානයේ දී ඔවුන් ගේ සහාය ද මෛත‍්‍රී යහපාලනය සඳහා ලැබෙන බැව් සහතික කරනු ලැබ ඇත. සංධානයට වැදී ඇති තවත් පහරක් නම්, මෙතෙක් ඔවුනට සහාය දැක් වූ ද්‍රවිඩ ඊපීඞීපී පක්ෂය ද තනි ව තරග වැදීම යි. තව ද, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ විසින් තමන් බලයට පත් වූ පසු ජාතික රජයක් පිහිටුවන බැව් ප‍්‍රකාශයට පත් කර තිබීම තුළින්, රට තුළ කාලාන්තරයක් පුරා පැවැති බලකාමිත්වය, අසාධාරණය හා අවනීතිය රජ කළ යුගය හමාර කොට, ජනතාවට යුක්තිය හා සාධාරණය අත්කරදෙන සැබෑ වෙනසක් භුක්ති විඳින්නට හැකි වන යහපාලන යුගයක් උදාවනු ඒකාන්ත ය. එහෙත්, තවමත් පැරණි සුපුරුදු කථාන්තර ම මිස අලූත් යමක් ජන සන්තානයට එකතු කරන්නට අපොහොසත් ව සිටින පරාජිත සංධානය, ඔරලෝසුව ආපසු හරවන්නට උත්සාහ කරයි. ඔවුන් පවසන්නේ, ජනවාරි 8වනදා මෙරට ඡන්ද දායකයින්ට වැරදීමක් සිදු වූ බව ය. වැරදී ඇත්තේ මිලියන 6.2ක් වූ බුද්ධිමත් ඡන්ද දායකයින්ට නොව, සංධානයේ නායක කාරකාදීන්ට ම බව ඔවුන්ට තවමත් තේරුම් ගොස් නැත. එම වරද නිවැරදි කර ගන්නට බුද්ධිය පාදා ගෙන උත්සාහ කරන බවක් ද පෙනෙන්නට නැත. එම තත්වය කබලෙන් ලිපට වැටී ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීට අභියෝග කරන මහින්ද රාජපක්ෂ පරාජිත ජනපති ගේ කඩා වැටී ඇති ප‍්‍රතිරූපය නමැති සිදුරු සහිත බැලූනය වටා එක් ව සංධානයේ ඇත්තන් සුළං පිඹිමින් සිටින නිසා ය.

 

 

විශේෂාංග