26 June 2017
RSS Facebook Twitter   

ක‍්‍රීඩාව වෙනස් කරන්න

chenge the gameශ‍්‍රී ලංකාවේ දේශපාලන ක‍්‍රමයේ හරය මූලික වශයෙන් මෙහෙයැවෙන්නේ පරායත්ත අනුග‍්‍රාහක ක‍්‍රමයක් මතයි. 1931 දී සර්වජන ඡුන්ද බලය ලද දා පටන් මහජනතාව කටයුතු කොට ඇත්තේ, තම ආසනවල හෝ දිස්ත‍්‍රික්කවල සිටින දේශපාලඥයන්ගෙන් අතමාරු අනුග‍්‍රහ ලබන මිනිසුන් වශයෙනි. අසවල් දේශපාලඥයාට ඔවුන් සිය ඡුන්දය පාවිච්චි කරන්නේ, සමහර විට රැකියාවක් අපේක්ෂාවෙන් විය හැකිය.
නැත්නම්, දරුවාව හොඳ පාසලකට දමා ගැනීම සඳහා විය හැකිය. එසේත් නැතහොත්, රජයේ යම් කොන්ත‍්‍රාත්තුවක් අපේක්ෂාවෙන් විය හැකිය. 
 
වසර 80 කට වැඩි කාලයක් තිස්සේ මැතිවරණ දේශපාලනයකට හුරුපුරුදු උගත් ජනතාවක් වශයෙන්, මේ තත්වය තුළ, අප එක දිගටම කර ඇත්තේ, අප තෝරා ගන්නා නියෝජිතයන්ගේ ප‍්‍රමිතිය අප විසින්ම බාල්දු කර ගැනීමකි. මේ ක‍්‍රමය තුළ, ජයග‍්‍රාහකයන්ට අවස්ථාව පෑදෙන මුත් රටට සහ සමාජයට දීර්ඝ කාලීනව විඳීමට සිදුවන විනාශය අසීමිත ය. එසේම, ඉච්ඡාභංගය ඇති කරවන සුළු ය. 
 
හැම අලූත් පාර්ලිමේන්තුවකටම, කලින් තිබුණු පාර්ලිමේන්තුවේ සිටියාට වඩා නරක චරිත තේරී පත්ව තිබේ. එහි රජ කරන්නේ, දේශපාලනික පාරාජිකයන්, කොල්ලකරුවන්, තක්කඩින්, වංචනිකයන් ය. ඔවුන් කරන්නේ, වසර හයක් තිස්සේ අනීතික ලෙස හරිහම්බ කර ගැනීමයි. විටෙක ඔවුහූ, පාර්ලිමේන්තුව තුළ තමන් සතු ඡුන්දය හෝ තමන්ගේ ආසනය වැඩිම මිලකට අලෙවි කර ගනී. පසුගිය පාර්ලිමේන්තුවේ සිටි මන්ත‍්‍රීවරුන්ගෙන් 140 දෙනෙකු අ.පො.ස. උසස් පෙළ අසමත්ව සිටි බවත්, තවත් 90 ක් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් සමත්ව නොසිටි බවත් දැනගන්ට ලැබීම මහත් ආන්දෝලනයක් ඇති කෙළේය. 
 
රටේ පවතින ඉතා පහළ ශ්‍රේණියේ රැකියාවක් සඳහා වුවත් අ.පො.ස. සාමාන්‍ය පෙළ සුදුසුකම් ඇත්දැයි බලයි. එහෙත් ආණ්ඩුකරණය ගැන, මහජන ප‍්‍රතිපත්ති ගැන, ව්‍යවස්ථාව සහ නීති සම්පාදනය ගැන වැදගත් තීරණ ගැනීමට සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ඒ අවම සුදුසුකමවත් නැතැයි කීම, විශ්ව විද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනයක් ඇති සහ ජනගහනයෙන් සියයට 90 කට අධික පිරිසක් සාක්ෂරතාවයෙන් යුක්ත බව කියන රටකට කර ඇති විශාල මදිපුංචි කමකි. 
 
මේ අභාග්‍ය සම්පන්න තත්වයෙන් සමාජයක් වශයෙන් ගොඩ ඒමට කාලය පැමිණ තිබේ. මීට වඩා යහපත් තත්වයක් අප ඉල්ලා සිටිය යුතුව තිබේ. දශක ගණනාවකට පසු, ප‍්‍රථම වතාවට පසුගිය ජනවාරි 8 වැනි දා, ඒ පැරණි යාප්පු අනුග‍්‍රාහක ක‍්‍රමයට එරෙහිව මේ රටේ බහුතරයක් ජනතාව ඡුන්දය පාවිච්චි කළහ. දේශපාලනික දේහය රෝගී කළ පාලනයට එරෙහිව ඡුන්දය පාවිච්චි කරමින්, නව සාරධර්ම සඳහා වන, යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය සඳහා වන, මූලික අයිතීන් සඳහා වන පාලනයක් උදෙසා ඔවුහූ ඡුන්දය පාවිච්චි කළහ.
 
අගෝස්තු මාසයේ අලූත් මැතිවරණයක් පැමිණීමට නියමිතව ඇති පරිසරයක් තුළ, ඡුන්දය පාවිච්චි කිරීමට මත්තෙන් ඒ ගැන සිතා බැලීමට ජනතාව මෙහෙයවන වෑයමක් පුරවැසි ව්‍යාපාර විසින් ගෙන තිබේ. ජාතිවාදයට හා ගජමිතුරුවාදයට එරෙහිවත්, දූෂණයට එරෙහිවත්, උගත් නියෝජිතයන් වෙනුවෙනුත් ඡුන්දය පාවිච්චි කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ ව්‍යායාමයන්, සමාජ මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ සේම ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ක්ෂේත‍්‍ර තුළත් අපට දකින්ට ලැබේ. මේ ව්‍යාපාරයට නායකත්වය දෙනු ලබන්නේ, ලංකාවේ දේශපාලන ක‍්‍රමය සහ ජනතා විඥානය තුළ ගුණාත්මක වෙනසක් අපේක්ෂා කරන සිවිල් සමාජ ක‍්‍රියාධරයන් සහ බුද්ධිමතුන් විසිනි. ඒ වනාහී, ජනතා සිවිල් විඥානයක් බිහිවීමේ යහපත් පෙරමග සළකුණකි. සමහර විට මේ සාධනීය පිබිදීම සිදුවන්ට ඇත්තේ, 2010 දී පත්කර ගත් පාර්ලිමේන්තුව ඒ තරමටම කුණු වී තිබුණු නිසා විය හැකිය.
 
කුඩු ජාවාරම්කරුවන්, ස්ත‍්‍රී දූෂකයන් සහ මිනීමරුවන්ව පාර්ලිමේන්තුවෙන් පිටමං කර තබා ගැනීමේ සිවිල් පුරවැසි බලපෑමක් වෙන කවරදාටත් වඩා අද මතුවෙමින් තිබේ. වහලූන් සේ නිවට අනුගාමිකත්වය දක්වන්නන් කරන  ඕනෑම ජඩකමක් ඉවසා සිටින නායකයන් කෙරෙහිද ජනතා අප‍්‍රසාදය පළවෙමින් තිබේ. දැන්වත් සිහිබුද්ධිය ඉල්ලා සිටින මේ ජනතා මතයට කන්දීමක් ලැබේදැයි ලබන අගෝස්තු 18 වැනි දාට අපට බලාගත හැකිය.
 
මේ අතර, ඉතා කුණු වී තිබෙන ඇතැම් චරිත ඔවුන්ගේ ආසනවල ඉහළම ජනප‍්‍රියත්වයක් උසුළන බවත් අමතක නොකළ යුතුය. එවැනි චරිත තමන් වෙනුවෙන් ජනතා කැමැත්ත දිනාගන්නා සැටි දනී. ඒ සඳහා වැය කළ හැකි අතිවිශාල මුදල් කන්දරාවක් ඔවුන් සතුව තිබේ. මේ තත්වය තුළ, බිම් මට්ටමේදී ආණ්ඩුක‍්‍රම ප‍්‍රශ්න ගැන හෝ ජාතික ප‍්‍රශ්න ගැන කතා කිරීම නිෂ්ඵල බවට ඇතැම්හු තර්ක කරති. එහිදී වඩාත් සාර්ථක වන්නේ ආර්ථික සහන සඳහා දොරටු විවර කෙරෙන අපේක්ෂාවන් බව ඔවුන්ගේ අදහසයි. එහෙත් එම චින්තනය වනාහී, අවුරුදු 80 ක් තිස්සේ මේ සර්කස් එක දැක පුරුදු ජනතාවට කරන අවමානයකි. 
 
   ලාංකීය දේශපාලනික සමාජය සාමූහිකව වැඩිවියට පත්වෙමින් සිටින සෙයක් පෙනෙන්ට තිබේ. අගෝස්තු 17 වැනි දා පත්කර ගන්නා නව පාර්ලිමේන්තුව තුළ අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුහුකුරා ගිය වැඩිහිටි භාවය ප‍්‍රදර්ශනය කෙරෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. දේශපාලඥයන්ට දොස් කීම ඉතා පහසු ය. ඔවුන් දුන් පොරොන්දු කඩ කිරීම ගැන ඔවුන්ට බැණඅඬගැසීම ඉතා පහසු ය. එහෙත් ඒ තත්වය වෙනස් කර ගැනීමේ සෑම බලයක්ම ලබන අගෝස්තු 17 වැනි දාට ලැබෙන්නේ ජනතාවටමයි. එබැවින් බුද්ධිමත්ව ඡුන්දය පාවිච්චි කරන්න. අපට නිදහසක් උදා විය හැක්කේ එවිට පමණි.
 
2015 ජුලි 27 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Change the Game නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.

 

 

විශේෂාංග