27 March 2017
RSS Facebook Twitter   

රට නැවත අනීතික ලොවක් කරා ගෙනයාමට අවශ්‍ය කාටද ?

wasimරග්බි ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට කරන ලද චෝදනා සම්බන්ධයෙන් නැවත විවෘත නඩු විභාගයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ පසුගිය 27 ඉල්ලා සිටියේය.
Caltex Observer Touchdown Rugby quiz මගින් 2009  වසරේ ජනප්‍රියම රග්බි ක්‍රීඩකයා ලෙස නම්කළ, දක්ෂ රග්බි ක්‍රීඩකයෙකු වූ වසීම් තජුඩීන්ගේ මළසිරුර 2012 වසරේ මැයි 16 වැනි දින පොලීසිය විසින් සොයා ගත්තේය.
 
මීට කලින් පොලීසිය විසින් අධිකරණයට වාර්තා කළේ තජුඩීන්ගේ මරණය මහමගදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් පිලිස්සීම මත සිදුවූ මරණයක් බවටයි. එසේ වාර්තා කොට ඇත්තේ ඉහළ දේශපාලන බලපෑම් මත බව මේ වනවිට අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මේ වනවිට ඔහුගේ මරණය මිනීමැරීමක් බවට තර්කයක් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් එවකට සිටි දේශපාලන අධිකාරියට චෝදනා එල්ල වී තිබේ. මේ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අදාල රිය අනතුර සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ පරීක්ෂණ කටයුතු සිදුකළ ආකාරය සම්බන්ධයෙන් නැවතත් පරීක්ෂා කිරීමට කටයුතු කරමින් සිටී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ මෙම මරණය රිය අනතුර හේතුවෙන් සිදු නොවූවක් බවයි. එසේම එම රිය අනතුර කලින් නිර්මාණය කළ එකක් බව රහස් පොලීසිය නිගමනය කර තිබේ. 
 
මේ වනවිට වාර්තා වී ඇති කරුණුවලට අනුව මෙම මරණයයේ සැකකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නම් කියවේ. නවතම වාර්තාවලට අනුව ජනාධිපති ආරක්ෂක අංශයේ නිළධාරීන් ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයන් පිරිසකටද මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවීමට නියමිතය. 
 
මෙවැනි අපරාධ පසුගිය රාජපක්ෂ පාලන සමයේ සාමාන්‍ය සිදුවීම් දක්වා වර්ධනය විය. විශේෂයෙන් මාධ්‍යවේදීන් ඇතුළු පැවති රජයට එරෙහි මතවාද සමාජගත කරන සිවිල් පුරවැසියන් ඝාතනය කිරීම, පැහැරගෙන යාම ආදී ක්‍රියාවන් පිළිබඳව දිගින් දිගටම වාර්තා වූ අතර වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත් රජයේ ප්‍රධානීන්ගේ සහ ඔවන්ගේ පවුල්වල අවශ්‍යතා වෙනුවෙන් හා මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් භාවිතා කිරීම ආදිය පිළිබඳවද නිරන්තරයෙන් වාර්තා විය. මේ වනවිටද හිටපු ජනාධිපතිවරයාගේ සොයුරු, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ ඥාතීන් මෙන්ම එවකට රජයේ ප්‍රබලයන්ට එරෙහිව පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතී.
 
මෙම ක්‍රියාවලියට සෘජුව වගකිවයුතු හිටපු ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායම් නායකයා ලෙස ඉදිරිපත්ව ඇති අතර ඔහු මේ වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධාන අගමැති අපේක්ෂකයා ලෙස නොනිල වශයෙන් පත්ව සිටී. එසේම පසුගිය සමයේ සිදුකළ විවිධ දූෂණ, වංචා, අල්ලස් ආදී සිද්ධීන් සම්බන්දයෙන් චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් ඔහුගේ පසුපසින් සිටී. මොවුන්ගේ අරමුණ වන්නේ කෙසේ හෝ ජනතාව රවටා ඔවුන්ගේ ඡන්දයෙන් බලයට පත්වීමයි. ඒ වෙන කිසිවක් වෙනුවෙන් නොව ඔවුන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට සිදුවන පරීක්ෂණ නවත්වා නැවතත් පෙර සිදුකළාක් මෙන් ඔවුන්ට රිසි පරිදි බලය භාවිතා කිරීමටයි. 
 
අගෝස්තු 17 මැතිවරණයේදී මුඛ්‍ය අරමුණු වියයුත්තේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා වීම, සියලුම රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය ඇතිකිරීම, සියලු ජනයාට අධිකරණ ක්‍රියවාලීන්හිදී යුක්තිය ඉටුවීම ආදියයි. රට වෙලාගෙන තිබූ අනීතික, වංචනික, දූෂිත පාලනය නැවත වතාවක් හිස එසවීමේ අවදානමක් මතුව ඇති හෙයින් එම තත්ත්වය ඉස්මතුවීමට ඉඩ නොදීම මැතිවරණයේ මුඛ්‍ය අරමුණක් වියයුතුය. 
 
රට මේ වනවිට යම් මට්ටමකට යුක්තිය ඉටුවන, නීතිගරුක තත්ත්වයකට පමුණුවා තිබේ. එහෙත් නැවතත් පසුගිය රාජපක්ෂ රෙජීමයේ හොල්මන් හිස ඔසවමින් තිබේ. එම හොල්මන්වලට හිස එසවීමට අවස්ථාවක් නොදී මේ වනවිට අත්පත් කරගෙන තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ස්ථාවර කරගන්නා මාවතක ගමන්කිරීම මේ මොහොතේ මෙරට පුරවැසියන්ගේ ප්‍රමුඛ වගකීමයි.

 

 

විශේෂාංග