23 November 2017
RSS Facebook Twitter   

විමුක්ති ගීයේ ධවල භීෂණය

vimukthi geeyaඒ දිනවල පනාපුත්‍රගේ එකම ප්‍රාර්ථනාව වී තිබුණේ විමුක්ති ගී කණ්ඩායමට එකතු වීමයි. මගේ පළමු වර්ෂයේදී මා ඒ තරම් උසස් ආරාධනාවක් නොලද ද විමුක්ති ගී පසුබිමේ සංවිධායක නඩයේ ශ්‍රම දායකත්වයට පනාපුත්‍රලා කැප වී සිටියේය. විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වූ විමුක්ති ගී ප්‍රසංග බොහොමයක් වෙනුවෙන් මම දහදිය වගුරා ඇත්තෙමි.

මේ කටයුතු සඳහා අප මෙහෙය වූ පළමු පෙළ දේශපාලන නායකයන් කිහිප පෙළක්ම සිටියද මගේ මතක ගැබේ ගැඹුරින් සටහන් වී ඇත්තේ ලයනල් බෝපගේ සහෝදරයාගේ රුව පමණි. විමුක්ති ගී ප්‍රසංගයේ මූලික වගකීම එතුමන් දරා සිටියේය. මහින්ද පතිරණ, වාස් තිලකරත්න බඳු සෙසු නායකයන්ගේ රළු පරළු මෙහෙයවීම් හඬ මධ්‍යයේ බෝපගේ සහෝදරයා කතා කළ මුදු මොලොක් හඬ අපට සහෝදරාත්මක සංවේදනා ඇති කළේය.

විමුක්ති ගී පුහුණුවීම්වලදී මා මුල්ලකට වී බලා සිට ඇත. රාම ක්‍රිෂ්ණා ශාලාවේ පැවැති එක් පුහුණුවීමක් සඳහා ගුණදාස කපුගේ සහෝදරයා එතැයි කියූ නිසා පනාපුත්‍ර ඉමහත් ආශාවෙන් සවස් වනතුරුම රැඳී සිටියේය. එහෙත් එදා කපුගේ සහෝදරයා නොපැමිණි වග පමණක් මගේ මතකයේ සටහන් වී තිබේ. සෙසු නායකයන් රතු සහ කළු වැනි වර්ණ සහිත කමිස ඇඳ සිටි අතර මා දුටු හැම තැනකම බෝපගේ සහෝදරයා සුදු අත්කොට කමිසයක් ඇඳ සිටියා මතක තිබේ.
ඒ දිනවල අපේ පරමාදර්ශී පෞරුෂය බවට පත්වී තිබූ රෝහණ විජේවීර සහෝදරයාගේ, උපතිස්ස ගමනායක සහෝදරයාගේ හා ලයනල් බෝපගේ සහෝදරයාගේ රූප අතර වාස් තිලකරත්න සහෝදරයාගේ රූපයද තිබුණි. ච්ගුවේරා හිතෙන් පමණක් දැක තිබූ අපි වාස් තිලකරත්න සහෝදරයාගේ ච්ෙ පෙනුමෙන් සෑහීමකට පත් වී සිටියෙමු. ච්ෙ ගුවේරාගේ තොප්පිය, රැවුළ, ‍පොකැට් සහිත කමිසය, රළු කලිසම සහ ‍ලේස් සපත්තු කුට්ටම පමණක් නොව ච්ෙ ගුවේරා බොලීවියාව පුරා ධාවනය කරවූ රළු මෝටර් සයිකලයට සමාන යකා මාර්ක් යතුරු පැදියක්ද තිලකරත්න සහෝදරයා සතු වී තිබුණි.

මම මේ බයිසිකලය දෙස කෑදරයෙන් බලා සිටියෙමි. මීට පෙර මෙබඳුම ට්‍රෑම් වර්ගයේ මෝටර් බයිසිකලයකින් ‍පොඩි වී කුඹුර ගම දෙවනත් කරමින් පැදගියේ අපේ වින්සප්පු බාප්පාය. ඒ දිනවල මම ච්ෙ ගුවේරා ගැන අසා තිබුණේ ත්‍රස්තවාදියෙකු ලෙස පමණි. 1971 කැරැල්ලෙන් පසුව අපට පේර කැ‍ලේ හැංගිමුත්තං සෙල්ලම නවත්වන්නට වූයේ ඒ කැ‍ලේ ච්ෙගුරාකාරයෝ ඉන්න බවට අම්මාට සැල්පි අක්කා දී තිබූ ඔත්තුවක් නිසාය. ච්ෙගුරාකාරයෝ හෙවත් ත්‍රස්තවාදීන්ගේ මූල කතාව බොලීවියාවේ අර්නෙස්ටෝ ච්ෙ ගුවේරාගෙන් ආරම්භ වන බව අපට මුල්වරට කියා දුන්නේ 1978 දී රාගම ටියුෂන් මඩුවේදී සමාජවාදයේ මුල් පාඩම කියා දුන් පියසිරි කුලරත්න සහෝදරයා විය යුතුය. එනිසා ‍පොඩි වී කුඹුර දෙවනත් කරගෙන යකා මාර්ක් ට්‍රෑම්ප් බයිසිකලයේ මරහඬ තලාගෙන යන වින්සප්පු බාප්පා මා දුටුවේ අසුපිට නැගී ඇරිසෝනාව තරණය කරන කව්බෝයි ක්ලින්ට් ඊස්ට්වුඩ් වගේ මිස ච්ෙගුවේරා වගේ නොවෙයි.

වාස් තිලකරත්න සහෝදරයාගේ ච්ෙ ගුවේරා බයිසිකලය මගේ මතක ගැබට රිංගූ තවත් සිදුවීමක් තිබේ. ඒ 1982 දී මේ රටේ මහත් ආන්දෝලනයක් ඇතිකරමින් පැවැත්වූ කළගෙඩි ලාම්පු ජනමත විචාරණයයි. රට පුරා දේශපාලන භීෂණය සමෛන් හිස ඔසවමින් තිබුණේය. අන්ධකාරයට බයවන දේශීය මානසිකත්වය ක්‍රමයෙන් බෝ වෙමින් පැවතුණි. හැම දේශපාලන මූණකම සැකය, කුතුහලය තැවරී තිබුණේය.

වචනයක පිල්ලක්, රේඵයක් ඇද නොකොට, සෘජුව සහ පිරිසිදුව, චතුර බවකින් සිංහල භාෂාවෙන් දේශපාලන කතා පැවැත්වූ කථිකයෙකුට මා එදත් මෙදත් දැක ඇත්තේ රෝහණ විජේවීර සහෝදරයා පමණි. ජගත්ගේ බයිසිකලයේ යා හැකි දුරක පැවැත්වූ හැම රැස්වීමකටම අප ඉතා උනන්දුවෙන් සහභාගි වූයේ විජේවීර සහෝදරයාගේ කථිකත්වය නරඹන්නටයි. එතුමන්ගේ දේශපාලන කතාවල හඬක් පමණක් නොව රූපයක්ද තිබූ බව මම කල්පනා කෙරුවෙමි. කතාව පුරා මුළු ශරීරයෙන්ම ඇති කරන විශාල සලිතයකින්, ග්‍රාහකයා තමා වෙත රඳවා තබන්නට එතුමෝ සමත් වෙති. ඒ ගැස්සිල්‍ලේදී ගෙල තෙක් වැවුණු දිගු ඝන කොණ්ඩය මුහුණට නොවැටී තිබෙන්නේ හිසේ පැළඳ ඇති රතු පැහැති තොප්පිය නිසාය. මුහුණේ තිබූ තද කාල වර්ණ චවියත් ඝන කැරලි සහිත රැවුළත් වෙන්කොට හඳුනා ගත හැකි වූයේ කථනයේදී විදුලි කොටන්නා සේ පෙනුණු සුදු දත් දෙපෙළ නිසාය.

විජේවීර සහෝදරයා සහභාගි වන තොටළඟ රැස්වීමට මාත්, ජගතුත් මාරුවෙන් මාරුවට බයිසිකලය පැද්දේ දෙමටගොඩින්, ඔරුගොඩවත්තෙන්, පාලම යටින් ගොස් තොටළඟට මතුවන කෙටි පාරකින්ය. මහ සෙනඟක් පැමිණ ඇති බව දන්නා නිසාත් අපට වේදිකාව පිටුපසට යාමට අවසර තිබූ නිසාත් වේලපහින් ගිය අප බයිසිකලය වේදිකාව පිටුපස නවතා 262 රාගම බස් නවත්වන තොටළඟ මහ පාරේ බලා සිටියේ විජේවීර සහෝදරයාගේ කළු පැහැති ෆෝඩ් ‍ලේසර් වර්ගයේ රථය පැමිණ එතැන නවත්වන බව සංවිධානයෙන් දැනගත් නිසාය. එතැන ලංකා සාදු පිරිවරාගත් කොළඹ විශ්වවිද්‍යාලයේ පිරිසද සිටියේය. විජේවීර සහෝදරයා එනතෙක් අපේ අවධානය දිනාගෙන සිටියේ නවතා තිබූ මෝටර් බයිසිකලයේම ඉඳ සිටි අපේ චේ හෙවත් වාස් තිලකරත්න සහෝදරයාය. මහින්ද පතිරණ සහෝදරයාද ඒ අසල සිටි රූපය මම මතක ගැබෙන් ගෙන යළි යළිත් නරඹන්නේ මේ කිසිවෙක් වත් අද වන විට ජීවතුන් අතර නැති නිසාය. සියල්ලන්ම ඝාතනය වී හෝ අතුරුදන් වී හෝ ඇත.

විජේවීර සහෝදරයාගේ වාහනය විත් නියමිත ස්ථානයේ නවතන විටත් සියලුම සංවිධායකයන්ගේ සිත් තුළ භීතිය කුතුහලය දැල්වී ගියේ ඒ වන විටත් ආණ්ඩුවේ භීෂණය ආරම්භ වී තිබූ නිසාය. වාහනයෙන් බැසි සැණින් ක්‍රියාත්මක වන පක්ෂයේ සහෝදරයෝ නායකයා වට කොට ආරක්ෂක වළල්ල සදති. එහෙත් කිසිදු කලබලයක වගක් නැති සැහැල්ලු මුහුණින් යුතු සිනාවෙන් වාහනයෙන් බසින නායක සහෝදරයා මෙහෙ ගැටලුවක් නෑනේ කියා අසමින් වේදිකාව දෙසට පියවර තැබිය. එවිට හට ගන්නා ජයඝෝෂාවේ පනාපුත්‍රගේ හඬ ඉහළින්ම තිබූ බවට දැන් සොයා ගත හැකි එකම ජීවී සාක්ෂිය ජගත් චන්ද්‍රසිරි පමණකැයි මට සිතේ. සෙසු බොහෝ දෙනා රාජ්‍ය භීෂණයේ එල්ලයන් බවට පත්වී තිබුණි.

මේ රාජ්‍ය භීෂණයට විමුක්ති ගී ප්‍රසංගයේදී අපූරු නමක් යොදා තිබුණි. ඒ වචනය නිවේදනය වූයේ ඉතා ගාම්භීර හඬකින් බව මා අද සතුටු සිතින් ලියන්නේ එතුමා තවමත් අපේ කලා ලෝකයේ ජය කෙහෙලි නංවමින් ඒ හඬ පවත්වන නිසාය. මා කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙකුව සිටියදී නැරඹූ විමුක්ති ගී ප්‍රසංගයේ පූරකවරයා වූයේ එදා ගැඹුරු හඬකින් යුතු කඩවසම් තරුණයෙකු වූ බුද්ධදාස විතානාරච්චි සහෝදරයාය.

විමුක්ති ගී ප්‍රසංගය පුරා කථනය වූ රාජ්‍ය භීෂණය බුද්ධි සහෝදරයා කීවේ ධවල භීෂණය කියාය. විමුක්ති ගී පිටපත රචනා කළ ලයනල් බෝපගේ සහෝදරයා එය ධවල   භීෂණය ලෙස හැඳින්වීම ඒ දිනවලද මගේ සිත ප්‍රීණනය කළේය. ධවල යන වචනයේ ඇති කෝෂාර්ථය ශ්වේත හෙවත් සුදු යන්න වුවත් එහි ඇති දිලිසෙන හෝ දිස්නේ ගහන, බැබළෙන යන අර්ථ නිසා රාජ්‍ය යන වනිය එහි අන්තර්ගත වෙයි. එඩඪබඥ ඩ්ධභඵඥ යන ඉංග්‍රීසි යෙදුම සුදු මැදුර කියා අර්ථ ගත්තාට එය නිවැරදිව පරිවර්තනය වී ඇත්තේ ධවල මන්දිරය කියාය. රජුගේ හස්තියා ධවල හස්තියාය. රජයෙන් ඉදිරිපත් කළ පත්‍රිකාව ධවල පත්‍රිකාවය. එලෙසින්ම රජය විසින් ඇති කරන භීෂණය ධවල  භීෂණයය. පනාපුත්‍රගේ සිතේ මේ යෙදුම බුද්ධිගේ ප්‍රාණවාචී ගැඹුරු හඩින්ම සටහන් වී තිබුණේය.

1996 වසරේදී  ධර්මසිරි බණ්ඩාරනායක අලුත් ටෙලි නාට්‍යයක රඟපෑම සඳහා පනාපුත්‍ර තෝරාගෙන තිබුණි. එය ප්‍රංශ ජාතික ෂෝන් ‍පෝල් සාතේ‍ර් විසින් රචිත ර්ඥද එඪබඩධභබ ඉඩචඤධඹඵ” නම් ඉංග්‍රීසි නාට්‍යය කේ.සී. ලියනගේ විසින් සිංහලයට පරිවර්තනය කරනු ලදුව ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූවකි.          අපි මාස හයක පමණ කාලයක් පුහුණුවීම් කරගෙන ගියෙමු.

සාංදෘෂ්ටිකවාදී නාට්‍ය නිර්මාණයක් වූ එය දේශපාලන මනෝ විද්‍යාවේ නිම් වළලු පළල් කරන ගැඹුරු කලාත්මක භාවිතාවක් බවට පත් කරන්නට ධර්මසිරි විවිධ අත්හදා බැලීම් අප හරහා පවත්වයි. ඒ දිනවල නාට්‍යයට සිංහලෙන් නමක් නියම වී නොතිබුණි. පිටපත පරිවර්තනය කළ කේ.සී. ලියනගේ මහතා ඒ වගකීමද ධර්මසිරි වෙතම පවරා තිබුණේය. එතුමෝ හෙන්ඩ්‍රි නම් වෛද්‍ය ශිෂ්‍යයාගේ චරිතය රඟපෑ පනාපුත්‍ර සමගද මේ සාකච්ඡාව පැවැත්වූහ.

දිනක් එතුමන් මගෙන් ඇසුවේ විභීෂණ කී විට අධිකතර භීෂණය වැනි අර්ථයක් එන්නේද කියාය. මම කරුණු පැහැදිලි කරමින් වි උපසර්ගය විරුද්ධාර්ථයේ යෙදෙන බවත් එහෙත් විභීෂණ කී විට භීෂණයෙන් තොර යන අර්ථයට වඩා විභීෂණ දේව අදහස මෙහි ගැබ් විය හැකි බවත් කීවෙමි. ධර්මසිරි වහාම ඒ අදහස අතහැරියේය. එතුමන් මට කීවේ භීෂණ යන වචනය මේ නාට්‍යයට තබාගත යුතු බවය. එයට ගැළපෙන තවත් වචනයක් ධර්මසිරි සොයමින් සිටියේය.

ස්ථානය තුම්මුල්ල හන්දියයි. අතීතයේ පනාපුත්‍රලා ‍පෝස්ටර් ඇලවූ තාප්පයක් අසලින් පුහුණුව ඉවර කළ අප නාට්‍ය කණ්ඩායම අධ්‍යක්ෂවරයා සමග ගමන් කරමින් සිටියෙමු. නාට්‍යයේ ඇති රාජ්‍ය භීෂණය පිළිබඳ ධර්මසිරි පැහැදිලි කරමින් ගියේය. මට විමුක්ති ගී ප්‍රසංගයේ බුද්ධදාස විතානාරච්චිගේ ගැඹුරු හඬ ස්මෘතියෙන් ඇසුණේය. මම ධර්මසිරිට ඒ මතකය පැහැදිලි කෙරුවෙමි. නිහඬව බිම බලාගෙන ගමන් කළ ධර්මසිරි බම්බලපිටියේ දී පනාපුත්‍රගෙන් වෙන් විය.

ඊළඟ දවසේ මා පුහුණුව සඳහා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උඩු මහ‍ලේ දේශන ශාලාව වෙත යන විට ධර්මසිරි කොළයක කුරුටු ගාමින් සිටි අකුරු පෙළක් මට පෙන්වීය. ධර්මසිරි බණ්ඩාරනායකට චිත්‍ර කලාව පිළිබඳ හොඳ හැකියාවක් තිබුණු බව මම දැන සිටියෙමි. හේ ඉතා අපූරුවට ඇඳ තිබුණේ ධවල භීෂණ යන අකුරු පෙළයි. එදා සිට නාට්‍යයට නමක් වැටුණේය. නමට හැඩයක් ලැබුණේය. අද පවා පාරේ යන මට ධවල භීෂණ ‍පෝස්ටර්වල නාට්‍යයේ නම දකින විට ඒ අකුරු මෝස්තරය ඇන්ඳේ ධර්මසිරි බණ්ඩාරනායක බව මතක් වෙයි.

ධවල භීෂණ නාට්‍යයේ නිරූපිත රාජ්‍ය භීෂණය ප්‍රංශයට පමණක් දුර්දාන්තයක් නොවූවේය. මගේ ඇස් පනාපිට මගේ මිත්‍රයෝ වෙඩි කා මැරී වැටුණහ. මිනිසුන් මැරි මැරී ප්‍රාණ නිරුද්ධ වෙන අයුර මම දෑසින් බලා සිට ඇත්තෙමි. ටයර් සෑයවල මිනී ගොඩවල් දර කොටන් සේ පිච්චී අඟුරු වී තිබෙනවා මම මගේ ඇස් දෙකින් බලා සිටියෙමි. ත්‍රීමා විතාරණ වෛද්‍ය ශිෂ්‍යයාගේ කන් දෙකට පරාල ඇණ ගසා මරා දමද්දී අපි ඊට විරුද්ධව පෙළපාළි ගියෙමු. එක කාමරේ, එක ඇඳේ, එකට බුදියාගත් දයා පතිරණ නම් ළෙන්ගතු මිත්‍රයා රැගෙන ගොස් වෙල් ඉස්මත්තක ගෙල කපා මරා දාද්දී අපි හූල්ල කමින් බලා සිටියෙමු. රෝහණ රත්නායක ගජ මිතුරා මගේ පය පාමුල වෙඩි කා ඇද වැටෙද්දී අපි උගුර ‍ලේ රහ වෙනතුරු සටන් පාඨ කීවෙමු. පනාපුත්‍රගේ මතක ගැබ රතු ‍ලේ පැහැයෙන් තෙත් වෙද්දී හාත්පසින් මුස්පේත්තුකම බෝ වෙන්න පටන් ගත්තේය. එපමණකි මම මගේ ශිෂ්‍ය ජීවිතය ගෙවා දැමුවෙමි.

පනාපුත්‍ර කුහුඹුපැණියා

උපුටා ගැනීම - http://www.lakbima.lk/

 

 

විශේෂාංග