20 February 2018
RSS Facebook Twitter   

අපි දැන් නිදහස්- ඒ නිදහස එක පවුලකට කොල්ලකෑමට ඉඩ දිය යුතු නැත

raja family 27තවත් මැතිවරණයක් ගැන අදහස් දැක්වීමට ලැබීම සතුටකි. වැඩියත්ම එය සතුටක් වන්නේ, පසුගිය වසර ගණනාව තිස්සේ ‘විරුද්ධ පාක්ෂිකයා’ යන නමින් මා ලියූ කොලම, දැන් ‘පාක්ෂිකයා’ නමින් ලිවීමට හැකි වීම නිසා ය. එම වෙනස ඇති කෙරුණේ ජනවාරි 8 වැනි දා ඇති වූ වෙනසත් සමගයි. එදා මේ රටේ ජනතාව, ‘‘දැන් නම් ඇති’’ යැයි මහින්ද රාජපක්ෂ සහ පවුලට කීහ. ඒ සමගම, ඔවුහූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කොට, ඒකාධිපතියෙකු පලවා හැරියහ.

අගෝස්තු 17 වැනි දාට ඔවුන්ට තවත් අවස්ථාවක් ලැබී තිබේ. මට පෙනෙන විදිහට, ඔවුන් ඉදිරියේ ඇති තේරීම සරළ ය. පහසු ය. එය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. මහින්ද රාජපක්ෂට එරෙහිව රනිල් වික‍්‍රමසිංහ පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. ‘මහින්ද සමග නැගිටිමු’ යන සටන් පාඨයට එරෙහිව ‘යහපාලනය’ යන සටන් පාඨය ගැන ප‍්‍රශ්නයක් නොවේ. ඊළඟ අගමැතිවරයා වන්නේ කවුරුන්ද යන්න ගැන ප‍්‍රශ්නයක්ද නොවේ.

එය වනාහී, මේ රටේ පුරවැසියන්ට නිදහස් පුරවැසියන් වශයෙන් ජීවත් වීමට අවශ්‍යද යන්න සහ තම ජීවිතයේ සෑම අංගයක්ම- තම අධ්‍යාපනය, රැුකීරක්ෂාදිය, තමන් ගමන් කරන මහාමාර්ග, තමන් නරඹන රූපවාහිනී වැඩසටහන්, තමන් ගනුදෙනු කරන බැංකු, තමන් ප‍්‍රතිකාර ගන්නා රෝහල්, තමන් යනෙන ගුවන් ගමන්, තමන් වින්දනයක් ලබන ක‍්‍රිකට් තරග, තමන් ආරක්ෂා කිරීමට සිටින අධිකරණය ආදිය ගැන තීන්දු ගත යුත්තේ එක පවුලක් විසින්ද නැද්ද යන්න අතර ඇති ප‍්‍රශ්නයකි.

වර්තමාන විපක්ෂය සහ එය විසින් පත්කරගෙන ඇති එහි නායක මහින්ද රාජපක්ෂ, පසුගිය මාස හයක කාලයක් තිස්සේ අපේ ආණ්ඩුව විසින් කිසිවක් කර නැතැයිද, සංවර්ධන වැඩ කටයුතු ඇනහිටවා ඇතැයිද මැසිවිලි නගති. දැන් අප සියල්ලන්ම මෙය ඇත්තක්දැයි අපෙන්ම විමසා බැලිය යුතුය.

ඇත්තෙන්ම අප කිසිවක් කර නැත්ද?
රූපවාහිනී ප‍්‍රවෘත්ති බලන්න. විපක්ෂයට නිසි අවස්ථාවක් ලැබේද? අධිකරණය දී ඇති තීන්දු දෙස බලන්න. එයින් සමහරක් ආණ්ඩුවට විරුද්ධව දී තිබේද? එසේ වීම නිසා, වර්තමාන අගවිනිසුරුවරයාව දෝෂාභියෝගයට ලක්කොට තිබේද?

විරෝධය පෑමට මිනිසුන්ට නිදහසක් තිබේද?
අගමැතිවරයාගේ විශාල ප‍්‍රමාණයේ දැන්වීම් පුවරු සෑම පාරක් ගානේම අද දකින්ට තිබේද? විදුලිය විසන්ධි කිරීමකින් තොරව, ප‍්‍රමාණවත් සජීවී මාධ්‍ය ආවරණයක්ද සහිතව, නීතිමය අවසරයද ඇතුව, ‘මහින්ද සමග නැගිටීමේ’ විපක්ෂ ව්‍යාපාරයට නිදහසේ කටයුතු කිරීමට අද හැකියාව ලැබී තිබේද?
 
‘අනිත් මහින්ද’ හෙවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය, මැතිවරණ නිති උල්ලංඝනය කරන අයවළුන්ට එරෙහිව තදින් සිටින්නේ නැත්ද?
මේ හැරුණු විට තවත් වෙනස්කම්ද තිබේ. සරත් ෆොන්සේකා හිරකාරයෙකුගේ ජම්පරයේ සිට ෆීල්ඞ් මාෂල්වරයෙකුගේ නිල ඇඳුමක හිමිකරුවෙකු වී ඇති අතර ඔහු වෙනුවෙන් පාරක්ද නම් කර තිබේ. ශිරානී බණ්ඩාරනායකව නැවත අගවිනිසුරුවරිය වශයෙන් පත්කෙරුනු අතර ඇය පසුව දා සිට ගෞරවාන්විතව විශ‍්‍රාම ගියාය. මහින්ද රාජපක්ෂව තුන්වැනි වරටත් රජ කෙනෙකු කිරීමට කැසකැවූ පාර්ලිමේන්තුවේ සිටින ඔහුගේ හෙංචයියන්ගේ දහසක් බාධක මධ්‍යයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට හැකි විය.
 
මේ නිසා, (ප‍්‍රංශ විප්ලවයේදී මෙන්* කිසිවෙකුව ගිලටීනයට දැක්කුවේ නැතත්, (මාරි අන්තුවානෙත් බිසව සේ* ශිරන්ති රාජපක්ෂ නෝනා ‘‘පාන් නැත්නම් කේක් කාපල්ලා’’ යැයි අපට නොකීවත්, ජනවාරි 8 වැනි දා ජයග‍්‍රහණය වූ කලී, ඇත්තෙන්ම විප්ලවයකි. දැන් අපට ඇත්තේ, එදා අප අත්පත් කරගත් ඒ ජයග‍්‍රහණයන් ආරක්ෂා කරගන්නේද, නැතහොත් එම නිදහස අපෙන් එදා උදුරා ගත් එම පුද්ගලයාටම බන්දේසියක තබා නැවත භාර දෙන්නේද යන්න තීරණය කිරීමටයි.
 
දැන්, මාව වරදවා තේරුම් නොගන්න. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ දේශපාලනික නායකත්වය දුන්නේය. ඒ ජයග‍්‍රහණය මත පදනම් වෙමින් ඔහු 2010 ජනාධිපතිවරණය ඉතා ඉහළින් ජයගත්තේය. එහෙත් ඒ හේතුවෙන්, ‘රට බේරා ගත් නායකයා’ වශයෙන් විරුදාවලී ලත් පමණින්, ඔහුට සහ ඔහුගේ පවුලට, රට සහ රටේ සම්පත් කොල්ලකෑමටත්, බලය සහ වරප‍්‍රසාද අපහරණය කිරීමටත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ජනතාවගෙන් අහිමි කිරීමටත් බලයක් ලැබෙන්නේ නැත. එකී ‘රට බේරාගත් නායකයා’ යන විරුදාවලිය පවා, පසුගිය දා අකුරැුස්සේ ඇති වූ සිදුවීමෙන් පසුව දැන් ප‍්‍රශ්න කිරීමකට ලක්කෙරේ. එදා ඔහු තමන්ගේම පාක්ෂිකයෙකුට පහර දීමට ගියේය. ඒ චෝදනාව ඔහු ප‍්‍රතික්ෂේප කළද, ඔහුගේම පැහැදිළි කිරීමට අනුව, ඔහු අර පාක්ෂිකයාගෙන් තමන්ගේ ඇඟිල්ල බේරා ගැනීමට ගොස් ඇත. ඒ අනුව දැන් ඔහු ‘ඇඟිල්ල බේරාගත් නායකයා’ යන විරුදාවලියටත් සුදුසු ය.

මේ මැතිවරණය දෙස බලද්දී, මෙය ඇත්තෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක්ද, නැත්නම් ජනාධිපතිවරණයක්ද යන කුකුස කෙනෙකු තුළ මතු වෙයි. මන්ද යත්, එය පෙනෙන්නේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයෙකු වීමට දඟලන මැතිවරණයක් සේ ය. කලින් තිබුණේ, රාජපක්ෂට සාමාන්‍ය අපේක්ෂකයෙකු වශයෙන් නාම යෝජනා ලැබේද යන කුකුසයි. එහෙත් දැන් වන විට සමස්ත මැතිවරණය ඉස්මත්තේම සිටින්නේ ඔහුමයි. වෙන කිසි අපේක්ෂකයෙකු ගැන අපට අසන්ට ලැබෙන්නේ නැති ගානයි. රාජපක්ෂගේ සෙවනැල්ල යට ඔවුන් සියල්ලන් කුරුමිට්ටන් වී ඇති ගානයි. ඔහුගේ පක්ෂය මැතිවරණයෙන් ජයගත්තත්, ඔහුව අගමැති වශයෙන් පත්නොකරන්නේය යන ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය අප සළකා බැලිය යුත්තේ ඒ සන්දර්භය තුළ ය.

ඔහු හැරුණු විට අනිත් අපේක්ෂකයන් ගැන කතා කරන්නේ නම්, ඇත්තෙන්ම වැදගත් කණ්ඩායමක් තරග බිමට ගෙනාවේ නම්, එක්සත් ජාතික පක්ෂයට බරපතල අභියෝගයකට මුහුණදෙන්නට සිදුවිය හැකිව තිබුණි. එහෙත් වාසනාවකට මෙන්, රාජපක්ෂ වහලූන් දෙන්නෙකු වන, (විභාග දෙපාර්තමේන්තුවේ ප‍්‍රශ්න පත්තර කල් තියා පැන්නූ සිද්ධියේ සිටි* සුසිල් පේ‍්‍රමජයන්ත සහ (හිටපු අගවිනිසුරු ශිරානී බණ්ඩාරනාකව නීති විරෝධී දෝෂාභියෝගයෙන් පන්නා ගැනීමේ සටනේ පෙරමුණ ගත්* අනුර ප‍්‍රියදර්ශන යාපා හරහා ඔවුන්ගේ පැත්තෙන් අද මැතිවරණයට ඉදිරිපත් කොට ඇත්තේ, චරිතය කෙලසා ගත්, පරණ හොර නඩයමයි. එම තත්වය තුළ, මෙම මැතිවරණයෙන් අත්විය හැකි ඉරණම ගැන කල් තියා කීමට සුමනදාස අබේගුණවර්ධන කෙනෙකු අවශ්‍ය නැත.

දැන්, මේ කියන විපක්ෂය ඇත්තෙන්ම රටට ඉදිරිපත් කරන්නේ කුමක්ද? පරණ දෙයමද? මැතිවරණයට තව සති හතරක්වත් නැතත්, ඒ ගැන අපි කිසිවක් නොදනිමු. ජනතා විමුක්ති පෙරමුණ බදාදා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදැක්වුයේය. බ‍්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදැක්වුයේය. එසේ තිබියදී, එක්සත් ජනතා නිදහස් සන්ධානය නැවත බලය ඩැහැගැනීම සඳහා රටට විකුණන්නේ කුමක්දැයි තවමත් තීරණය කොට නැත. සමහර විට, එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ මුල් පිටුවේ පළ කරන්නේ, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පින්තූරයද, නැත්නම් මහින්ද රාජපක්ෂගේ පින්තූරයදැයි තීරණය කිරීමට නොහැකිව සිටිනවා විය හැකිය. නැතහොත්, ප‍්‍රධාන සිරස්තලය තීරණය කරගත නොහැකිව සිටිනවා විය හැකිය. මන්ද යත්, පරණ ‘මහින්ද චින්තනය’ නැවත රටට ඉදිරිපත් කළ නොහැකි නිසා ය. මේ නිසා, අද අපේ පැත්තෙන් තීරණයක් ගත යුතුව තිබේ. එනම්, පැරණි පවුල්වාදයට අප ආපසු යා යුතුද, නැත්නම්, අපේ දේශපාලන සංස්කෘතිය වෙනස් කෙරෙන සාමකාමී, කාර්යක්ෂම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආණ්ඩුවක් ඇති කරගන්නේද යන්නයි.
 
ඇත්ත වශයෙන්ම, ඊට පිළිතුරක්, ‘මහින්ද සමග නැගිටිමු’ යනු තේමාව තුළම, නොදැනුවත්ව හෝ අන්තර්ගත තිබේ: පසුගිය පස් වසරක කාලය තුළ සදාතනිකව පාලන බලයේ රැඳී සිටීමේ සිහිනය දකිමින් සිටි මහින්ද රාජපක්ෂ තමා අවට සිදුවන්නේ කුමක්දැයි නොදැන මහා නින්දක ගැලී සිටියේය. දැන්, ඔහුට හෝ ඔහු සමග හෝ නැවත නැගිටීමට, මේ රටේ ජනතාව ඉඩ නොදෙනු ඇත.                 

2015 ජුලි 26 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ ‘පාක්ෂිකයා’ නැමැති තීරුලිපිය යටතේ පළවූ‘‘We Are Free Now: We Don't Want One Family to Rob Our Freedom’’ යන ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි         

 

 

විශේෂාංග