23 November 2017
RSS Facebook Twitter   

‘මම මේ රටට කෙරූ අපරාධය, දස දහස් ගණනකට රැකියා සපයා, රාජ්‍ය භාන්ඩාගාරයට බදු ගෙවීමද?'

balck july 25අප්‍රසන්න කළු ජූලිය!
දෙල්කඳ හන්දිය - 03

මහා කළු වලාවකින් වැසීගිය 1983 ජූලි මාසය පිලිබඳව නැවත මතක් කරදීමට සිදුවීමත් මහා අභාග්‍යයක් නොවේදැයි සිතේ. ඒ පරිච්ඡේදය එතරම්ම අමිහිරිය. මේ අවධියේ දෙල්කඳ හංදියට නුදුරින් විජේරාම හංදියේ පිහිටා තිබූ අප මාමා කෙනෙකුට අයත් මහා විශාල නිවස අප මිතුරන්ගේ නවාතැන් පොළ විය. මාමා ඇතුළු පවුලේ අය පදිංචිව සිටියේ දියතලාවේ බැවින්, ඒ නිවස අප මිතුරන්ගේ ගුබ්බෑයම වූවා කීවොත් නිවැරදිය. මේ නිවස සහ එහි ගුබ්බෑයම් ගතවූ අපේ කට්ටිය ගැන මම අවුල් වෙන්නට පෙර කතාව තුල ලියා ඇත්තෙමි.

 

1983 ජුලී විසිතුන්වැනිදා උදය වරුවේ මම විජේරාම හංදියෙන් 112 මහරගම සිට කොටුව දක්වා ධාවනය වෙන ලංගමට අයත් ඩබල් ඩෙකර් බසයට ගොඩවුනේ රැකියාව සඳහා ඔබරෝයි හෝටලයට යෑමේ උවමනාවටය. බස් රථයේ උඩ තට්ටුවේ අසුන් ගත් මට, නුගේගොඩ පසුවනවාත් සමගම දක්නට ලැබුනේ කළු දුමාරයකි. අවට නොසන්සුන්ය. බසය දිගටම ධාවනය වේ. උඩ තට්ටුවේ සිටි සමහරක් මහතුන් ජනෙල්වලින් හිස එලියට දමා පර දෙමළුන් මරාපියව් යනුවෙන් මොර දෙන්නට විය. මොහොතකින් මට වැටහී ගියේ ඒ කෑගසන්නේ මහත්වරුන් නොව ජාතිවාදයෙන් හිස පුපුරවාගත් අමනයින් රැලක් බවය. ඒ මා දුටු අවාසනාවන්ත යුගයේ පලමු දසුන් පෙළය. අප බඩගින්නට කුස පුරවා ගත් නුගේගොඩ අශෝකා සයිවර් කඩය ගිනි ගනී. දෙල්කඳ හංදියේ ඇල අසල බිම එලාගත් ගෝනි පඩංගුවේ වාඩිවී සපත්තු මැසූ සිවා නම්වූ ඒ තඩි උස මහත මිනිසාත්, ඒ අවට පදිංචිව සිටි නිවැසියන්ගේ වැසිකිලි වලවල් ඉතිරී යන කාලයට ඒවා ගොඩ දමා නැවත අපේ එවුන්ට බඩ සුද්ධ කරගන්නට කක්කුස්සිය විවර කෙරූ තංගම්මාත්, ඇයගේ ස්වාමියා වූ සක්කිලි රාජා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ රාජන් නම් වයෝවෘද්ධ මිනිසාත් වල පල්ලට යවා තිබූ බව මම පසුව දැණ ගතිමි.

සක්කිලියන් කවුදැයි වටහා ගැනීමට මේ නිදසුන ප්‍රමානවත් යැයි මම සිතමි. ඉතාමත් අව්‍යාජ මිනිසෙක්වූ මගේ තාත්තා හැම මාසයකම  පඩි දවසට, දෙල්කඳ හංදියෙන් බැස, අරක්කු බෝතලයක් සිවාට සහ සක්කිලි රාජාට මිලදී ගෙන දෙන බවත් මම දැන් සිටියෙමි. එය ඔවුන් නැවත විකුනා දමා, අඩු වියදමින් කසිප්පු ගහනා බවත් අපේ තාත්තා මට කියා තිබුනි. තාත්තා ඔවුන් සමග ඉඳ හිට හෝ අඩියක් ගසන්නේ අපේ වැසිකිලි වල ශුද්ධ කිරීමට ඔවුන් පැමිණි දිනයටය. අපේ ආච්චි තාත්තාට බැන වැදුනේ සක්කිලියන් එක්ක එකට බොනවා යැයි කියමිනි. ඔවුන් මරා දැමූ බව දැණගත් පසු අපේ ආච්චි හඬා වැටුනු බවත්, පසු කාලයක ඔවුන් සිහිකර දානයක් දුන් බවත් මම අසා ඇත්තෙමි.

ඔබරෝයි හෝටලයට ඇතුල්වීමට අප බසයෙන් ගොඩ බසින්නේ, අරලිය ගහ මන්දිරය ඉදිරිපිට තිබූ බස් නැවතුමෙන්ය. 1983 ජූලි විසිතුන්වැනිදා හෝටලයට ගොඩවූ මා නැවත ගෙදර පැමිනියේ තව සති දෙකකින් හෝ තුනකින් බව මට මතකය. මේ අවාසනාවන්ත කළු ජූලිය සම්බන්ධව ඔබ බොහෝ දේ කියවා ඇතයි මම සිතමි. ඒ කතා සියල්ල ඇතුලේ ඔබ නොකියවූ එක් කතාවක් ඇත. එය තවත් පැතිකඩක් යැයි මම විශ්වාස කරමි. ඒ නම් සති දෙක තුනකට පමණ කාලයක්, ඉතා දුශ්කර කාල පරිච්ඡේදයක් ගත කරමින්, සේවාදායකයාට අති මහත් සේවයක් කල, කොළඹ තරු පහේ හෝටල් සේවක සේවිකාවන්ගේ කතාවයි. එය ලියා තැබිය යුතුය. මන්ද යත් ඒ ගැන නිසි ඇගයීමක් නොවූ නිසාවෙන්ය. ඒ කතා රසවත්ය. එලෙසින්ම ඉතා කණගාටුදායකය. ඒ සේවය වෙනුවෙන්, අපේ සේවා ස්ථානය පිරිනැමූ වටිනා සහතිකයක් අදටත් මා සතුව තිබේ. නමුත් මට ලියා තැබීමට අවශ්‍ය කතා පෙළක් ඇත.  එය සෙමින් ලියා තබන්නෙමි.

සක්කිලි රාජාගේ සිට, කේ. වෙන්කට්, මුත්තුසාමි මාස්ටර්, රොක්සාමි මාස්ටර් වැනි නිර්ව්‍යාජ කලාකරුවන් දක්වා, අනේකුත් වධ බන්ධනයන්ට ලක්වූ පුරවැසියන් ප්‍රමාණය අති මහත්ය. අති මහත් මුදල් සම්බාරයක් හිමිව තිබු සුපිරි ද්‍රවිඩ ජාතික ධනපතියන්ට ඒ තරමට පීඩා විඳින්නට සිදු නොවූයේ, ඔවුන් හැකි ඉක්මනින්ම තරු පහේ හෝටල්වල ලැඟුම් ගත් නිසාවෙනි. කොපමන මුදල් තිබුනත්, කොතරම් පහසුකම් තිබුනත්, ඔවුන්ගේ හැසිරීම් රටාවන් සහ ඔවුන් සමග දොඩමළු වීමේදි මා දුටු, ඔවුන්ගේ කළකිරීම නම් ඉතා දුක්බරය. එදා සිටි සුපිරි ව්‍යාපරිකයෙකුවූ ඥාණම් මුදලාලි වැනි අයද ඔය ගොන්නේ විය. මම ඉතිරිය පසුවට ලියමි.

මගේ කතාව අකුරු කරන්නට වෙන්නේ එක් එක් තැනින් ගොඩවී නිසා මට ඇත්තේ පසුතැවිල්ලකි. ඉපදුනදා සිට මේ දක්වා ආ ගමන  හිතේ තියෙනා පරිදිම ලියන්නට උවමනාවූවත් මම ඒ කතාව කොටස් පනහකට වඩා ලියා තබා නිහඬ වූවෙමි. අද ලියන්නේ අතර මැදි අවස්තාවක් වූවත්, ඒ තුල ගැබ්ව ඇත්තේ මගේ කතාවය. මා හා බද්ධවූ මගේ රටේ කතාවය.

කළු ජූලියේ විකෘතිමත්ම දිනයවූ විසිතුන්වෙනිදා රාත්‍රිය වන විට, අපේ  ඔබරෝයි හෝටලයේ කාමර එකක් නෑර පිරි ගියේ දේශිය ලැඟුම ගන්නා අමුත්තන්ගෙනි. සිදුවන්නේ කුමක්දැයි වටහා ගැනීමට කාලයක් නැත. අප කාර්ය බහුල සේවයකයන් යැයි කිව යුතු නොවේ. විදේශීය සංචාරකයින්ට මෙය මහා අමුත්තක් විය. නමුත් ඒ සිදුවෙමින් පැවති අවිචාර සිදුවීම් වහ වහා දැණගැනීමට ,අද මෙන් එදා පහසුකම් නොවීය.  කාමර පන්සීයකට ආසන්නවූ (මගේ මතකය නිවැරදිනම්) ඔබරෝයි හෝටලයේ නැවත ලැඟුම් ගැනීමට ඉඩකඩ නැත.

සැන් ඇන්තනීස් සමූහ ව්‍යාපාරය හිමිව තිබූ, ද්‍රවිඩ ජාතික ව්‍යාපාරකියෙක්වූ ඥාණම් මහතා, සුදු වේස්ටිය හඳිනා, කෙසඟ සිරුරකට හිමිකම් කියන්නෙක් බව මම දැණගත්තේ , ඒ ජූලි විසි තුන්වෙනිදාය. ඔහුගේ පවුලේ අය පමනක් නොව, ඔවුන්ගේ ලඟම ඥාති උදවිය සඳහාද, හෝටලයේ කාමර දහයකට පහලොවකට අධික ප්‍රමානයක් වෙන්වී තිබුණි. තවත් බොහෝ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරික ප්‍රජාවද එහි ලැඟුම් ගති. ඔවුන් නිදාගත්තා නොව, ආරක්ෂාව ලබා ගත්තා පමණක් යැයි මට දැනේ.  

මුත්තුසාමි මාස්ටර්ලා, රොක්සාමි මාස්ටර්ලා වැල්ලවත්තේ, බම්බලපිටියේ හින්දු දේවස්ථානයන්හී අනාථයින් ලෙස ලැඟුම් ගද්දී, ඥානම්ලා, විවේකනාදන්ලා වැනි සුපිරි ධනවතුන් ඔබරෝයි හෝටලයට ගාල් වෙන්නේත් උපන් බිමේම අනාතයින් ලෙසය. ඒ සියල්ලන්ගේම මානසික පශ්චත්තාපය එකම දුක්ගැන්විල්ලක් මිස අන් කුමක්දැයි මම මගෙන්ම අසා ගන්නෙමි.

මේ සිදුවීම් මාලාව මෙසේ ඉක්මණින් සහ කෙටියෙන් ලියා අහවර කිරීමට නොහැකිවේ. ඥානම්ලා, සමාජ විග්‍රහයේදි ධනේශ්වර ප්‍රජාවේ මූලබීජයන් විය හැකිය. නමුත් ඔවුන් අපේ රටට එකතු කල මහා මූල්‍යමය එකතුවක්, සහ කළමනාකාරීත්ව දායකත්වයක් මෙන්ම, අනගි රැකියා සුරැකීමක්ද විය. ඒ වටහාගැනීම නැවත අධ්‍යයනය කලයුතුවේ.

රාජපක්ෂ රෙජීමය තව කාලයක් බලයේ සිටියා නම් අසූතුනට වඩා ඉතාම අභාග්‍ය සම්පන්න කාලයක් ඇතිවීමට තිබූ ඉඩකඩ බොහෝය. ඒ ගැන ලියන්නට ගිය හොත්, අද මට වැඩට යන්නට වෙන්නේ හෙලිකොප්ටරයික්න්ය. මා කියන්නේ පශ්චාත් යුධ සමය පිලිබඳවයි. ඒ බියකරු සමය අවසන් කිරීමට ඔබ සියළු දෙනා දුන් දායකත්වය අති මහත්ය. එය නැවත හැරවීමට ඉඩ නොදෙන්න.

1983 ජූලි මාසයේ විසි හතරවෙනිදා, ඥාණම් මුදලාලි මගෙන් ඇසූ එක් ප්‍රශ්නයක් ඇත. හෝටලයේ සිටි වේටර් කොලුවෙක් වූ මගෙන්, ඒ මහා ව්‍යාපාරිකයා  තෙත්වූ දැස්වලින් ඉකිගසා ඇසුවේ "  පුතා....මම මේ රටට කෙරූ අපරාධය, දස දහස් ගණනකට රැකියා සැපයීමත්, රාජ්‍ය භාන්ඩාගාරයට බදු ගෙවීමත්ද" යන්නයි. ( මේ අහන ප්‍රශ්ණය පිලිබඳව ආර්ථික විද්‍යාත්මකව හෝ සමාජ විද්‍යාත්මක විග්‍රහයන් එකතු කිරීම, පාඨක ඔබ සතු අයිතියක් යැයි මම සිතමි. මම අත්දැකීම් ලියනවා මිස, මහා අධ්‍යාපනයක් ලැබූ, ලබු ගෙඩියක් නොවන බවද ලියා තබමි ). ඔහු පමනක් නොව, ඔහු වැනි බොහෝමයක් අය එදා පශ්චතාපයට පසුවුනේ ඇයි දැයි යන්න විමසා බැලීම වටී.

ඒ කාල පරිච්ඡේදය ගැන, මගේ අත්දැකීම් පසුවට ලියන්නට වෙන්නේ මට කාලය මදි නිසාමය. පසුව ලියන්නෙම් යැයි කියා අත හැරිනු කතා රාශියකි. ඒ ගැන බොහෝ අය මට සුන්දර චෝදනාද ඉදිරිපත් කරති.  දෙන්න සමා...කකුල් නමා!!!

මෙවන් ගීත නැවත නැවතත් ප්‍රචාරය කල යුතු කාලය පැමින ඇත.

දෙල්කඳ හන්දිය - 02

 

 

විශේෂාංග