27 March 2017
RSS Facebook Twitter   

පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මහින්ද - මෛත්‍රී හමුවීමේ ප්‍රතිඵලයක් ලෙස!

 

mahinda-maithri exclusiveඅද (26) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ ඊයේ රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව මේ වන විට අනාවරණය වෙමින් පවතී. ඊයේ රාත්‍රියේ එවැනි හමුවීමක් කථානායක නිල නිවසේදී සිදු නොවූ බව අද ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ප්‍රකාශ කරන්නට යෙදුණි. එය සත්‍යක් වේ. මන්ද යත් මහින්ද - මෛත්‍රීපාල හමුව සිදුවී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බෑණා වන (සොයුරියගේ පුත්‍රයා) හිමාල් හෙට්ටිආරච්චිට අයත් මිරිහාන ගල්වල පාරේ නිවසේදීය.

 

මෙම මහින්ද - මෛත්‍රී හමුව සංවිධානය කරන ලද්දේ අමාත්‍ය රාජිත සේනාරත්න හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසිනි. පසුගිය සතියේ කොළඹ ඩර්ඩන්ස් රෝහලේ හත්වන මහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි බැසිල් රාජපක්ෂ බැලීම සඳහා රාජිත සේනාරත්න ගොස් සිදුකළ සතර කන් මන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුව සිදුවී තිබේ. එම සාකච්ඡාව සඳහා අවසාන මොහොතේ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා ලසන්ත අලගියවන්නද සහභාගි වී ඇත.

ඊයේ රාත්‍රියේ පැවති මෛත්‍රී - මහින්ද හමුවේදී තීරණය වී ඇත්තේ පොදු අපේක්ෂක ලැයිස්තුවකින් (Common List) මහ මැතිවරණයට තරඟ කිරීමටය. ඒ අනුව සියළුම මහින්දවාදීන්ට නාම යෝජනා ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකග වී තිබේ. මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන සියලු දෙනාටමද එසේ නාම යෝජනා ලැබෙනු ඇත. ඒ අනුව සජින් වාස් ගුණවර්ධන ලබන සතියේ ඇප පිට නිදහස් වනු ඇත.

විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ ‘මහින්ද කියන්නෙ හොඳයි නරකයි දෙකම තියෙන නායකයෙක්. එයාගෙ තියෙන නරක නිසා අපි එයාගෙ හොඳ අමතක කරන්න හොඳ නෑ' යනුවෙන් පැවසුවේ යම්කිසි ක්‍රමෝපායික මාර්ගයක් වශයෙනි.

පසුගියදා ජනාධිපතිවරයා හමුවී ඇති ජාතික හෙල උරුමයේ නායකයන් ඔහුට පෙන්වා දී ඇත්තේ රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ අනාගතයේ එක්වීමේ සම්භාවිතාවක් ඇති බැවින් ඒ සඳහා ඇති සියළුම මාර්ග අහුරා දැමීම නුවණට හුරු බවයි. ජාතික හෙල උරුමයේ දේශපාලන අවවාදය ජනාධිපතිවරයා හොඳින් හිතට ගෙන ඇති බව ඊයේ රාත්‍රියේ රහස් හමුවීමෙන් ඉතා හොඳින් තහවුරු වන බව දේශපාලන විචාරක මතයයි.

 

 

 

අති විශේෂ