16 October 2018
RSS Facebook Twitter   

මිනීමරුවන්ට රැකවරණය සපයන පොලීසියේ බලවතා කවුද ?

ravirajපාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කරන ලද්දේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය  රාජපක්ෂගේ නියෝගය පරිදි නාවික හමුදාවේ සුදුවෑන් ඝාතක කල්ලිය වූ 'නේවි සම්පත්' ගේ කණ්ඩායම මගින් බව ඉතාම පැහැදිලිව සාක්ෂි සහිතව තහවුරු කර ගැනීමට රහස් පොලීසිය සමත්ව ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් 2006 නොවැම්බර් 10 වන දින නාරාහේන්පිටදී යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනෙකු විසින් වෙඩිතබා ඝාතනය කර තිබිණි.

එකී ඝාතනය සම්බන්ධයෙන් නව රජය බලයට පත්වීමෙන් පසු ඇරඹුණු පරීක්ෂණය අනුව නේවි සම්පත් නොහොත් හිටපු ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ ද, කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි ද මේ වනවිට රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටිති.

මෙම නිළධාරීන් සිදුකරන ප්‍රකාශ අනුව අදාල ඝාතන කොන්ත්‍රාත්තුව ඔවුන්වෙත ලබාදී ඇත්තේ එවක රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂකවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහිල් ඩූල් විසිනි. මෙකී මහිල් ඩූල් සෘජුවම ක්‍රියාත්මක වූයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේය.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකධූරයට අමතරව ඩූල් පසුගිය රජය යටතේ ක්‍රියාත්මක වූ ඝාතක කල්ලි වන නාවික හමුදාවේ සම්පත් මුණසිංහ කණ්ඩායම, පොලිස් විශේෂ කාර්ය බලකායේ කොඩිතුවක්කු කණ්ඩායම, ගුවන් හමුදාවේ නිශාන්ත ගජනායක කණ්ඩායම, යුද හමුදාවේ චානක පෙරේරාගේ කණ්ඩායම යන කණ්ඩායම් අතර සම්බන්ධීකරණ නිළධාරියා ලෙස කටයුතු කර තිබෙන බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

රවිරාජ් ඝාතනයට ඇති අවශ්‍යතාවය විමසීමේදී සම්පත් මුණසිංහ වෙත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහිල් ඩූල් ප්‍රකාශ කර ඇත්තේ 'එය සෙකට්‍රිගේ ඕඩරයක්' බවයි. ඒ අනුව අදාල කණ්ඩායමට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල් සෙනෙවි නැමැත්තා පැදවූ යතුරුපැදියේ පැමිණි නාවික හමුදාවේ සුළු නිළධාරියෙකු (Petty Officer) වන සෙනෙවිරත්න විසින් එකී ඝාතනය සිදුකර ඇත. එකී යතුරුපැදියේ අංකය ඔස්සේ හඹායාමෙන් මෙම තත්ත්වය වැඩිදුරටත් තහවුරු කරගැනීමට හැකි වී තිබේ. (මේ පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණ වාර්තාව නුදුරේදී බලාපොරොත්තු වන්න.)

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂකවරයාව සිටි මහිල් ඩූල් පසු කලෙක එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට මුදලට රාජ්‍ය බුද්ධි සේවයේ නිශ්කාෂන සහතික (clearing Certificate) නිකුත් කිරීමේ චෝදනාවට රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනුලැබ වැඩ තහනමට ලක්විය.
මේ දක්වා සිදුකෙරී ඇති පරීක්ෂණවලට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහිල් ඩූල් අත්අඩංගුවට ගතයුතු වුවත් එසේ වුවහොත් ගෝඨාභය රාජපක්ෂගේ නම හෙලිදරව් වීම සිදුවන බැවින එය වැලැක්වීම සඳහා 'අදෘශ්‍යමාන හස්තයක්' පොලිස් දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වනබව වාර්තා වේ. මේ පිළිබඳව සියලු තොරතුරු නුදුරේදීම හෙලි කිරීමට අප බලාපොරොත්තු වෙමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කරන ලද්දේ නේවි සම්පත් කල්ලිය විසින් බව මුල්වරට හෙලි කරන ලද්දේ මීට තෙවසරකට ඉහතදී ලංකා නිවුස් වෙබ් අඩවිය මගිනි. 

2012 ජුලි මස 17 වන දින අප විසින් පළ කළ එම පුවතේ සබැඳිය පහතින් පළ වේ.
http://sinhala.lankanewsweb.net/news/6718-2012-07-17-17-20-08

 

 

අති විශේෂ