20 February 2018
RSS Facebook Twitter   

චෙම්මනි වැළලුවේ කාගේ වුවමනාවට ද?

 

chemmani 11996 වර්ෂයේ සැප්තැම්බර් මස 07 දින චුන්දිකුලි උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි, 18 හැවිරිදි ක්‍රිෂාන්ති කුමාරස්වාමි සිසුවිය කයිතඩි හමුදා මුරපොලේ දී අතුරුදන් වීම සම්බන්ධයෙන් පසුව කළ පරීක්ෂණ අනුව ඇයව සාමුහික දූෂණයට ලක් කොට ඝාතනය කරන ලදැයි හෙළිවිය. ඒ අනුව එවකට ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස් නිලධාරීන් මෙන්ම සොල්දාදුවෙකු ද එහි විත්තිකරුවන් විය. කෙසේ නමුත් අවසානයේ සමස්ත වරද සොල්දාදුවා මත බැරවී ඔහු දූෂකයා මෙන්ම ඝාතකයා දඬුවමට ලක් කරන ලදී. එකී සොල්දාදුවා නමින් සෝමරත්න රාජපක්ෂය. අදද ඔහු සිර මැදිරයක කල්ගෙවනුයේ උසස් නිලධාරීන් විසින් ඔහුව පාවා දීම නිසා යැයි ඔහු පවසයි.

 

මෙම සිද්ධියෙන් අනතුරුව චෙම්මනි ප්‍රදේශයේ සමූහ මිනීවලක් සම්බන්යෙන්ද තොරතුරු අනාවරණය විය. චෙම්මනි සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු දඬුවම් නොලද අතර එකී නඩුව ද ඉතිහාසයේ කුණුබක්කියට ගියේ කාගේ වරදින්දැයි මේ පිළිබඳ නැවත විමසීමක් සිදු කළ යුතු යැයි ලියුම්කරුට හැඟිණි. එක්තරා අයුරකින් චෙම්මනි සමූහ මිනී වල සම්බන්ධයෙන් කිසිදු වරදකරුවකු නොවීම ද ජාත්‍යන්තර ප්‍රජාවට ලංකාවේ මානව හිමිකම් ගැන කරුණු විමසීමට තවත් එක් හේතුවක් වූ බව කිව යුතුය.

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය 1997 දී සඳහන් කළ අකාරයට 1996-1997 කාලය තුළ යාපනයේ පමණක් සිවිල් වැසියන 600ක් පමණ අතුරුදහන් වී ඇති බවත් වාර්තා කරයි. ඒ ආරක්ෂක හමුදා විසින් ඔවුන්ව අත්අඩංගුවට ගත් පසුව එම ජනතාව අතුරුදහන් බව ද සඳහන් වේ.

ජනවාරි 1998 දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව මෙම අතුරුදන් කිරීම් සොයා බැලීමට යාපනයේ වැඩ කටයුතු ආරම්භ කළ අතර අද වන විටත් කිසිවෙකු වගකිව යුතු ලෙස හඳුනාගෙන නැත.

කෙසේ නමුත් අනාවරණය වී ඇති තොරතුරු අනුව කුමාරස්වාමි සිසුවියගේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ සෝමරත්න රාජපක්ෂ හෙළි කළ තොරතුරු අනුව ඔහු මීනී මැරීමක් හෝ දූෂණයක් සිදු කර නැති බවත් ඔහු සිදුකළේ ඉහළ නිලධාරීන්ගේ අණ පිළිපැදි බවත් පවසා ඇත. ඒ අනුව ඔහු විසින් මිනී පිච්චීම සහ රත්තරන් බඩු කිහිපයක් ළඟ තබාගන්නා ලදි. තවද එම ප්‍රදේශයේ ස්ත්‍රී දූෂණ හා මිනීමැරුම් ගණනාවක් සිදුකරන ලද්දේ යාපනයේ අරාලි ප්‍රදේශයේ හමුදා කඳවුර භාර නිලධාරියා ලෙස කටයුතු කරනු ලැබූ නිල අංක 61834 කපිතාන් සී.ජේ.ටී.කේ. ලලිත් හේවා සහ නිල අංක 62188 කපිතාන් ටී.ඩී. සසික පෙරේරා, නිල අංක 62421 කපිතාන් සචින්ද්‍ර විජේසිරිවර්ධන මෙන්ම නිල අංක 63088 ලුතිනන් ඒ. යටගම විසින් බවද සෝමරත්න වැඩිදුරටත් අනාවරණය කරන ලදී.

chemmani 2
චෙම්මනි සමූහ මිනිවල සම්බන්ධයෙන් මූලික වරදකරුවන් එකී නිලධාරීන් බව සෝමරත්න පැවසීමත් සමග හමුදාව මෙන්ම රජය ද එම නිලධාරින් නොසලකා හැරීමට එවකට කටයුතු කරන ලදී. ඒ අනුව රජයේ සාක්ෂිකරු වශයෙන් සෝමරත්න යොදා ගෙන නඩු අංක B 28/99 දරණ අංක යටතේ නඩුවක් ගොනුකරන ලදී. ඒ අනුව රජයේ සාක්ෂිකරු වන සෝමරත්න රාජපක්ෂගේ ප්‍රකාශ මත 2000 මාර්තු 13 වන දින යාපනය උසාවියේ දී  B 28/99 අංක දරණ බී වාර්තාවට අනුව නිලධාරීන් සිව්දෙනා සිරගත කරන ලදී. එසේම ඔවුන් සතු විදෙස් ගමන් බලපත් පවා උසාවි සතු කරන ලදී. කෙසේ නමුත් ඔවුන් පුද්ගලික නීති සහාය ලබාගනිමින් නඩු අංක H.C.B.A.29/2000 යටතේ 2000 ජූලි මස 06 වැනි දින ඇප මත නිදහස් වෙයි. ඔවුන්ට පුද්ගලික නීති සහාය ලබා දෙනුයේ එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ සහකාර අධිනීනීඥයකු ලෙස කටයුතු කළ පීටර් මොහාන් මෛත්‍රී පීරිස් විසිනි.

ඉන් අනතුරුවද මෙම නඩුව වාර කිහිපයක් පැවතියද මොහාන් පීරීස් ඉහළ නිලයන්ට පත්වූ වහාම චෙම්මනි නඩුව අහක ගියේ කෙසේදැයි කිසිවකු නොදනී. එසේම උසාවිය භාරයේ තිබූ සැකකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ද නැවත ඔවුන්ට හිමිව ඇත. මේ සඳහා සැකකරුවන් විසින් සැලකිය යුතු විශාල මුදල් ප්‍රමාණයක් නීති සහායකයාට ලබා දී ඇති බව වාර්තා වේ.

චෙම්මනි සමූහ මිනී නඩුවට මොකද වුණේ?

chemmani 3

අද වන විට මෙම නඩුවේ සැකකරුවන් වූ හමුදා නිලධාරීන් ඉතා සුවසේ නිදහස් සුවයෙන් පසුවන අතර රජයේ සාක්ෂිකරු වූ සෝමරත්න රාජපක්ෂ සිරගතව කල් ගෙවයි. මෙහි ඇති තවත් වැදගත් කාරණාවක් වනුයේ ඕනෑම ආයතනයක චර්යා ධර්මයන්ට අනුව මිනීමරු සැකකරුවෙකුට කිසිදු උසස් වීමකට යා නොහැකි වුවද මෙකී හමුදා නිලධාරීන්ට උසස් වීම් ලබා දීමයි.  

එවකට කපිතාන් නිලයේ සිටි ලලිත් හේවා අද ජ්‍යෙෂ්ඨ ලුතිනන් කර්නල්වරයෙකු ලෙස පානදුර හමුදා නිවාඩු නිකේතනයක් භාරව කටයුතු කරයි. එසේම කපිතාන් සසික පෙරේරා අද ජ්‍යෙෂ්ඨ ලුතිනන් කර්නල්වරයෙකු ලෙස මන්නාරම හමුදා කඳවුර භාර නිලධාරියා වන අතර කපිතාන් සචින්ද්‍ර විජේසිරිවර්ධන අද කණිෂ්ඨ ලුතිනන් කර්නල්වරයෙකු ලෙස මුලතිව් හමුදා කඳවුර භාර නිලධාරියා ලෙස කටයුතු කරයි. ලුතිනන් යටගම මේ වන විට හමුදා රාජකාරියෙන් විශ්‍රාම ගොස් සිටී.

මෑතක දී අනාවරණය වූ තවත් කරුණු කිහිපයක් මෙසේය. පසුගිය රාජපක්ෂ පාලනය යටතේ සිදුවූ අතිබිහිසුණු සිදුවීමක් වූ වැලිකඩ සිරකරුවන් මරා දැමීමේ සිද්ධියේදී චෙම්මනි සිදුවීම අනාවරණය කළ සෝමරත්න රාජපක්ෂ ද මරණයට නියම සිටි තවත් එක් සිරකරුවෙකි. කෙසේ නමුත් සෝමරත්න, කවදා හෝ තමන් සිරමැදිරිය තුළ දී මරණයට පත්කරනු ඇතැයි විමසිල්ලෙන් පසුවීම නිසා ම දිවි ගලවා ගැනීමට ඔහු සමත් විය.

මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් සැකකාර හමුදා නිලධාරීන් දැඩිසේ වෙහෙසව කටයුතු කළ බව ද එවකට ආරක්ෂක ලේකම්ගේ සුවච ගොලයන් ලෙස මොවුන් ක්‍රියා කළ බවද තොරතුරු රැසක් අනාවරණය විය.

කෙසේ නමුත් අදවන විටත් චෙම්මනි ඛේදවාචකය වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය අසමත්ව ඇති බව කිවයුතුය. ඒ වෙනුවෙන් සාධාරණයක් ඉටුකිරීමට යහපාලන රජයට වගකීමක් ඇති බවද පෙන්වා දෙමු.

 

 

 

අති විශේෂ