20 February 2018
RSS Facebook Twitter   

ඕස්ට්‍රේලියන් මිනිස් ජාවාරමේ මහ මොලකරු හෙන්දාවිතාරණ!

 

kapila hendawitharanaමේ දිනවල ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන් සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩු දී සිටින මිනිස් ජවාරමට (Human smuggling)  ශ්‍රී ලංකා නාවික හමුදාව සම්පූර්ණයෙන්ම වගකිව යුතු අතර ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලදී හෙලිදරව් වෙමින් පවතින්නේ මෙම මහා මිනිස් ජාවාරම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම මත හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් කපිල හෙන්දාවිතාරණගේ මෙහෙයවීමෙන් සිදුවූවක් බවයි. එය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් මෙහෙයවා ඇත්තේ සාගරික බුද්ධි අංශ මාණ්ඩලික නිලධාරී ලුතිනන් කොමදෝරු කේ.සී. වෙලගෙදර විසිනි. මෙම ලුතිනන් කොමදෝරු කේ.සී. වෙලගෙදර නැමැත්තා මේ වන විට රටින් පැන යාම සඳහා සැලසුම් කරමින් සිටී. ඔහුගේ බිරිඳ හා දරුවන් දෙදෙනාට සහ ඔහුට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහාකොමසාරිස් කාර්යාලය විසින් ඕස්ට්‍රේලියාවේ පදිංචි වීම සඳහා නේවාසික වීසා නිකුත් කොට ඇති බව වාර්තා වේ.

 

මාලු බෝට්ටු මගින් මිනිසුන් ඕස්ට්‍රේලියාවට පැටවීම 2012 සහ 2013 වසරවලදී බහුලව සිදුවී ඇති අතර එම කාලවකවානුව තුල ශ්‍රී ලංකාවේ යාපනය, මන්නාරම, හලාවත, මීගමුව, වත්තල, ගාල්ල, හම්බන්තොට හා ත්‍රිකුණාමලය ප්‍රදේශවලින් බෝට්ටු 120ක් පමන ඕස්ට්‍රේලියාව බලා යවා ඇත. මෙසේ යැවෙන එක් බෝට්ටුවක මිනිසුන් 100 ත් 150ත් අතර ප්‍රමාණයක් යවා ඇති අතර වැඩිපුරම යවා තිබෙන්නේ ද්‍රවිඩ ජාතිකයන්ය. මෙසේ යැවුණු එක් අයෙකුගෙන් ඒ සඳහා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් අයකොට ඇත.

මෙම බෝට්ටුවල රියදුරන් ලෙස යොදවා ගෙන ඇත්තේ නාවික හමුදාවට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගන්නා සිවිල් පුද්ගලයන්ය. මෙසේ සිදු කෙරුණු මෙම ජාවාරම සඳහා  හමුදා බුද්ධි අංශ ප්‍රධානී ආරක්ෂක අමාත්‍යංශ උපදේශක මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ සමග වත්මන් නාවික හමුදාපති එවක මෙහෙයුම් අධ්‍යක්ෂකව සිටි ජයන්ත පෙරේරාද නාවුක හමුදා බුද්ධි අධ්‍යක්ෂක නිශාන්ත උළුගේතැන්න, නාවික නියෝජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ප්‍රසන්න හේවගේ යන අයගේ අනුදැනුම මත ඉහත කී ලුතිනන් කොමදෝරු කේ.සී වෙලගෙදර විසින් ක්‍රියාත්මක කොට තිබේ. මෙමගින් ඔවුන් උපයාගන්නා මුදල දළ වශයෙන් කෝටි දහතුන හමාරකට අධික බව හෙලිදරව් වී ඇත.

මේ පිළිබඳව නොදන්නා නාවික හමුදාවේ කණ්ඩායම් මෙම බෝට්ටු සාගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඕස්ට්‍රේලියාව බලා යැවුණු බෝට්ටු 120 න් 63 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. වත්තල උස්වැටකෙයියාව කඳවුරේ ලුතිනන් ජයකොඩි 2012 ජූනි මස අග මීගමුවෙන් ගිය බෝට්ටු 5 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර 2012 ජූලි 01 වෙනිදා ඔහුව එම කඳවුරෙන් නුවරට මාරුකර යවා ඇත. නාවික හමුදාවේ මෙම  මිනිස් ජාවාරම් කණ්ඩායම කෙතරම් බලවත්ද යත් බෝට්ටු අත්අඩංගුවට ගන්නා ඕනෑම නිලධාරියෙක් දින කීපයක් තුලදී මුහුදක් නැති ප්‍රදේශවලට මාරු කිරීමට ඉහත කී කණ්ඩායම සමත් වී තිබේ. මේ තත්වය පිළිබඳව එවක සිටි නාවික හමුදාපතිවරුන් හොඳින් දැන සිටි අතර ඔවුන් එය වැලැක්වීම සඳහා කටයුතු නොකලේ මෙම මිනිස් ජාවාරම සඳහා කපිල හෙන්දාවිතාරණගේ හා ගෝඨාභය රාජපක්ෂගේ සම්බන්ධතාවය හේතුවෙනි. එවක නැගෙනහිර ප්‍රදේශය භාර නාවික හමුදාවේ ආඥාපතිව සිටි රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවා මෙම මිනිස් ජාවාරම ගැන දැන අහක බලාගෙන සිටියේ  ඊට එරෙහිව පියවර ගැනීමෙන් ඊළඟට නාවික හමුදාපති වීමේ අවස්ථාව අහිමිවේය යන බියෙනි.

මෙම සම්පූර්ණ මිනිස් ජාවාරම පිළිබඳව ඉතා විශාල විස්තර සංඛ්‍යාවක් අප වෙත මේ වන විට ලැබී ඇති අතර එහි පූර්වාපර සන්ධි ගලපා ගැනීමට කල් ගතවන හෙයින් ඉහතින් සඳහන් කරන ලද්දේ ඉතා කෙටි සටහනකි. එකී සම්පූර්ණ වාර්තාව සකස් කර ගත් සැණින් ප්‍රසිද්ධ කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. මෙම සිද්ධියේ ඕස්ට්‍රේලියානු භූමිකාව පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමෙන් අනතුරුව හෙලි දරව් කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

 

 

 

අති විශේෂ