25 April 2017
RSS Facebook Twitter   

ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව හෙවත් ‘ආදරණීය වික්ටෝරියා’

victoriaනවකතාවක නැත්නම් ප‍්‍රබන්ධ කෘතියක වැදගත්ම දේ තමයි, යම් අච්චුවක දමා යමක් ඉදිරිපත් කරනවා වෙනුවට, එය කියවන පාඨකයාට යම් යම් දේ සිතන්නට, යම් යම් දොරටු හා මානයන් ඒ ප‍්‍රබන්ධය තුළින් විවර කරදීම ෟ මෙන්න මේ කාරණය ඉතා සියුම් ලෙස හෙළි පෙහෙළි කරන කෘතියක් ලෙස ලෙස මම මොහාන් රාජ් මඩවලගේ ‘ආදරණීය වික්ටෝරියා’ නවකතාව හඳුන්වා දෙන්න කැමතියි.

මේ නවකතාව අවසන් වන තැනින් මම මේ හැඳින්වීම ආරම්භ කරන්නම්. මේ නවකතාවේ ප‍්‍රධාන චරිතය වන අන්දිරිස්ගේ ගෙදර සෙලීනා නම් සුරතල් බැල්ලක් ඉන්නවා. ඒ වගේම මේ ගෙදර උදාරත්වය සහ ප්‍රෞඩත්වය පිණිස රැුගෙන ආ ලූවී නැමැති අශ්වයෙක් ඉන්නවා. මේ සෙලීනා කියන බැල්ලට සහ ලූවී නැමැති අශ්වයාට දාව උපදිනවා අමුතු සතෙක්. නවකතාකරුවා එය සඳහන් කරන්නේ මෙහෙමයි.

‘ඌ අමුතුම අමුතු සත්ත්වයෙක් විය. උගේ පහළට කඩා හැලූණු කන් දෙක බලූ කන් දෙකක් වුවත් පිට දිගේ දෙපැත්තට විහිදුණු කේශර තනිකරම අශ්ව කේශර විය. උගේ ළැම පෙදෙස සහතික ලෙසම බල්ලෙකුගේ පරිදිය. එහෙත් කකුල්වල තිබුණේ අශ්ව කුරය. ඌ උගේ මව මරා උපන් බව ඇත්තය. එහෙත් මව මරා උපන් පළියට ඌ මරා දැමීමට පව්කාර වැඩකි. උගේ උත්පත්ති දෝෂයට උගේ දෙමාපියන් වරදකරුවන් වනවා මිස ඌ එයට පළි නැත.’ (284 පිටුව)

මෙතැන උත්පත්ති දෝෂයක් තියෙනවා. මොකද්ද මේ උත්පත්ති දෝෂය. ඒ උත්පත්ති දෝෂය පැහැදිලි කරගැනීමට මම මේ නවකතාවේ අවසාන ෙඡ්දය උපුටා දක්වන්නම්.

‘කෙසේ හෝ මේ දවසේම රාත‍්‍රියේ තවත් අහඹු සිද්ධියක් සිද්ධ වී තිබුණේය. එනම් කොළඹ මහමුදලි, සොලමන් බණ්ඩාරනායකගේ බිරිඳ ඬේසි ඔබේසේකර පිරිමි දරුවෙකු ප‍්‍රසූත කළාය. සර් ජෝසප් වෙස්ට් රිජ්වේ ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයාගේ අතිශයින්ම විශ්වාසවන්ත, කුළුපග සේවකයෙකු වූ මහමුදලි බණ්ඩාරනායක සිය කුළුදුල් පිරිමි දරුවාට සිය නමේ සොලමන් ඩයස් යන කොටසත් ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරයාගේ වෙස්ට් රිජ්වේ යන කොටසක් එකට එක්කොට සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නමින් නම් තැබුවේ ඊට දින කිහිපයකට පසුවය.’ (285 පිටුව)

මෙන්න මේක තමයි උත්පත්ති දෝෂය. මේ උත්පත්ති දෝෂය ඇතිවීමේ පසුබිම තමයි මේ නවකතාව පුරා තියෙන්නේ. මේ නවකතාව පටන්ගන්නේ 1867 අපේ‍්‍රල් 26 වෙනිදා ප‍්‍රථම වතාවට මහනුවරට දුම්රියක් ළඟාවෙන සිද්ධියෙන්. නවකතාව අවසන් වෙන්නේ 1899 ජනවාරි 08 වෙනිදා එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායකගේ උපත සිදුවන තැනින්. මේ අපේ රටේ ඉතා තීරණාත්මක අවුරුදු 32 ක කාලපරිච්ෙඡ්දයක්.

මේ රටේ ජීවත්වන ඔබ, අප, හැමෝම ඉන්නේ එක්තරා ඛේදවාචකයක ෟ මොකක්ද මේ ඛේදවාචකය. මම ඉතා කෙටියෙන් එය සඳහන් කරන්නම්.

අපේ රටේ ජනගහනයෙන් සියට දශම පහක් කුඩු පාවිච්චි කරනවා. ඒ කියන්නේ ලක්ෂයක් පුරවැසියෝ කුඩු පාවිච්චි කරනවා. මේ රටේ ගෙවල් තියෙන්නේ ලක්ෂ 50 යි. ඒ කියන්නේ ගෙවල් පනහකින් එක ගෙදරක කුඩු කාරයෙක් ඉන්නවා.

ඊළඟට අපේ රටේ මිනිස්සුන්ගෙන් සියට දශම පහක් සිරගත වෙලා ඉන්නවා. ඒ කියන්නේ ගෙවල් පහනකින් එක ගෙදරක හිරකාරයෙක් ඉන්නවා.

ඊළඟට අපේ රටේ සියදිවි නසා ගැනීම වර්ෂයකට 5200 ක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දවසකට 14 දෙනෙක් සියදිවි නසාගෙන මිය යනවා. මේවා ඛේදවාචක නෙවෙයිද?

මේ වගේ බොහෝ සංඛ්‍යාලේඛන අපට ඉදිරිපත් කළ හැකියි. මෙන්න මේ ඛේදවාචකයන්හි සුලමුල අපට හොයාගන්න පුළුවන් ‘ආදරණීය වික්ටෝරියා’ පොතෙන් පැහැදිලි කරන උත්පත්ති දෝෂය හඳුනාගැනීමෙන් ! ඒ නිසා තමයි මේ නවකතාව අපේ රටේ සාහිත්‍ය තුළ තීරණාත්මක නවකතාවක් වෙන්නේ.

‘ආදරණීය වික්ටෝරියා’ තුළින් හෙළිදරව් කරන මේ උත්පත්ති දෝෂය කියන්නේ එහි සඳහන් වෙන බණ්ඩාරනායක උත්පත්තිය පමණක් නෙමෙයි. එයට පසුබිම් වූ කතාව 1867 සිට 1899 දක්වා අවුරුදු 32 ක කාලපරිච්ෙඡ්දය තුළින් ඉතා සියුම් ලෙස මෙහි ඉදිරිපත් කර තිබෙනවා.

1796 බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ රටට ඇවිත් 1815 මාර්තු 02 වෙනිදා කන්ද උඩරට ගිවිසුම අත්සන් කරලා මේ රට මුළුමනින්ම යටත් කරගන්නවා. ඊට පස්සේ පරණ රාජාණ්ඩු වැඩවසම් ක‍්‍රමය වෙනුවට ඔවුන් මේ රටට ධනපති ක‍්‍රමය හඳුන්වා දෙනවා. නමුත් එය සමාජය තුළින් පැන නැගුණක් නොවේ. එය බි‍්‍රතාන්‍ය පාලකයන්, තමන්ගේ නිදහස් වෙළෙඳපොළ ව්‍යාප්ත කිරීම සඳහා ගත් උපාය මාර්ගයක්. මෙය හඳුන්වා දෙන්නේ 1829 කෝල්බෲක් කැමරන් ප‍්‍රතිසංස්කරණ කොමිසම මගින්. එය හඳුන්වා දෙන්න කලින් අපේ රටේ තිබුණේ රාජකාරී ක‍්‍රමයක්. ඉඩමට ශ‍්‍රමිකයා ගැට ගසා තිබුණා. නමුත් කෝල්බෲක් කැමරන් ප‍්‍රතිසංස්කරණ හරහා නිදහස් ශ‍්‍රමිකයන් නිර්මාණය කරනවා. විෂම පළාත් පහකට රට බෙදණු ලබනවා. එසේම එකම අයබදු පද්ධතියක් සහ එකම නීති පද්ධතියක් ගොඩ නගනවා.

මේ වෙනස සමාජයට  ඕන නිසා ඇතිවන වෙනසක් නෙමෙයි. බි‍්‍රතාන්‍ය පාලකයන් තමන්ගේ වෙළෙඳපොළ සඳහා බලෙන් ඇති කරන තත්ත්වයක්. නැතිනම් ඔවුන්ගේ  ඕනකමට, උඩින් අතහරින ලද උත්තරාරෝපිත සමාජීය වෙනසක්. මෙන්න මෙතන තමයි විකෘති සත්ත්වයා ඇතිවීමේ මූලාරම්භය. ඒ වගේම මේ තත්ත්වය නිසා තමයි මේ කඩා වැටිච්ච සමාජයේ හැම තැනකම බේබදුකම පැතිරෙන්න හේතුව!

මේ බේබදුකම රට පුරා අදහාගත නොහැකි ලෙස ව්‍යාප්ති වීමත් සමග අරක්කු රේන්දකරුවන් බිහිවෙනවා. ඒ එක්කම බේබදු පරම්පරාවක් ඇතිවෙනවා. මං දැක්ක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගත්තට පස්සේ, අපි පාරම්පරික අරක්කුකාරයෝ කියලා කියනවා. ඒ හින්ද මට සල්ලි කොහෙන්ද කියලා කවුරුත් අහන්න  ඕන නෑ කියලා කියනවා. එහෙම තමයි ඒ පරම්පරාවේ හැටි.

අරක්කු මේ විදිහට මේ රටේ පැතිරෙන්න තේ වගාවත්, දුම්රිය මාර්ග ව්‍යාප්තියත් ප‍්‍රධාන සාධක දෙකක් වෙනවා. ‘ආදරණීය වික්ටෝරියා’ නවකතාව අනුව 1867 අපේ‍්‍රල් 26 වෙනිදා මුල්ම දුම්රිය බලන්න නුවරට එන අන්දිරිස් සාමෙල් සමග පාන්දුරට ඇවිත් මුලින්ම වඩු බාස් කෙනෙක් වෙනවා. ඔහු අරක්කු පීප්ප හදන්න ගන්නවා. ඒවාට වට්ටම් දෙනවා. හරියට අද ජංගම දුරකතන ආයතන මොබයිල් සිම්වලට වට්ටම් දෙනවා වගේ. ඒ කියන්නේ ඔහුට තියුණු ඉවක් තියෙනවා මේ වෙළෙඳපොළ ආර්ථිකයට ඇතුළත් වෙන්නේ කොහොමද කියන එක ගැන ෟ අරක්කු පීප්ප හදල ඔහු නතර වෙනවද? නෑ... ඉන්පස්සේ ඔහු ඒ පීප්පවල දාන්න අරක්කු පෙරන්න පටන් ගන්නවා. ඊට පස්සේ පානදුර රේන්දය අතට අරගෙන අරක්කු රේන්දකාරයෙක් බවට පත් වෙනවා.

මේ ගොඩනැගෙන අලූත් ව්‍යාපාරික පන්තිය බිහිවෙන්නේ මේ අරක්කු රේන්දය මත ෟ ඒක සමාජීය ආර්ථික ප‍්‍රතිපලයක් නෙමෙයි. ඒක යැපෙමින් තිබුණු ආර්ථිකයක්. ඒ වගේම මේ පරම්පරාව නව ලෝකයක් හොයා ගන්න බැරිවුණු මංමුලා වුණු කණ්ඩායමක් ෟ

මේ මංමුලා වුණු බව ‘ආදරණීය වික්ටෝරියා’ නවකතාවේ අන්දිරිස්ගේ චරිතය තුළ කදිමට දක්නට ලැබෙනවා. ඒ වගේම මේ උත්පත්තියේ දූෂිත බව හා අනියම් බව ඔහුගේ චරිතය තුළ තිබෙනවා. ඒ නිසා තමයි, තමන් ‘අනියම් මිනිහෙක්’ කියලා ඔහුගේ හෘද සාක්‍ෂිය නිතරම ඔහුගෙන් ප‍්‍රශ්න කරන්නේ. ඒකෙන් බේරෙන්න ඔහු සාමෙල්ගේ බිරිඳ එංගල්තිනා තමන්ගේ හොර බිරිඳ කරගන්නවා. පස්සේ සාමෙල් මිය ගියාට පසු ඒ සම්බන්ධතාවය හරහා ඔහුගේ දේපළ අත්පත් කරගන්නවා. ඔහුට මේ දේපළ අයිතිද? නැහැ. මේ දේපළ තියා කිසිම සුජාතභාවයක් ඔහුට නැහැ. නමුත් මේ සුජාත භාවය ඇති කරගන්න ඔහු උත්සාහ කරනවා. ඒක කරන්නේ කොහොමද? සාමෙල්ට දාව එංගල්තිනාට උපන් ලීනාව කසාද බැඳීමෙන්.

අන්දිරිස් නියෝජනය කරන මේ සමාජ කණ්ඩායම අද වුණත් තමා වෙත නැති සුජාතභාවය හෝ කීර්තිනාමය අත්පත් කරගැනීම වෙනුවෙන්  ඕනෑම දෙයක් කරන්න සූදානම්! මේක පැහැදිලි හීනමානයක්. මේ නිසා තමයි සමහරු ලක්ෂ 05 ක සපත්තු දාන්නේ. ලක්ෂ 65 ක ඔරලෝසු බඳින්නේ.

ඒ වගේම මේ කණ්ඩායමට තියෙනවා, ආගම සමඟ ව්‍යාජ සම්බන්ධතාවයක් ෟ ඒ උත්පත්ති කතාවත් වික්ටෝරියා නවකතාව තුළ තියෙනවා. සුප‍්‍රසිද්ධ පානදුරාවාදයට වියදම් කරන්නෙ අරක්කු බිස්නස් කරපු ජෙරමියස් ඩයස් රේන්දරාළ. ඔහුගේ බිරිඳ සෙලෙස්තිනා ඩයස් කොළඹ විශාඛා විද්‍යාලය ආරම්භ කරන්න මූලික වෙනවා. මේක මොන තරම් ව්‍යාජයක්ද කියලා හිතල බලන්න. මේ ව්‍යාජ පරම්පරාවේ වර්තමාන මිනිස්සු තමයි, උදේට හිරකාරයෝ බලන්න හිරගෙදර ගිහින් හවසට බෝධි පූජා තියන්න පන්සල්වලට යන්නේ. ඒ නිසා පන්සල්වල තියෙන්නේ සැහැදැවතුන්ගේ නම් නෙමෙයි, සැදැහැවතුන් කියල සඳහන් කරපු නම්.

මෙන්න මේ කියන බෙලහීන විකෘති පන්තියේ උත්පත්ති දෝෂය, මොහාන් රාජ් මඩවල ‘ආදරණීය වික්ටෝරියා’ නවකතාව තුළ ඉතා හොඳින් පෙළ ගස්වා තිබෙනවා. එසේම ඒ උත්පත්ති දෝෂය අලූතින් දකින්නට අලූත් මානයක් ඔහු අපට විවර කර දී තිබෙනවා. අපේ ප‍්‍රබන්ධ කලාවේ කූටප‍්‍රාප්තියක් විදිහට මේ නවකතාව සැලකිය හැකි වන්නේ ඒ නිසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක
අනුර කුමාර දිසානායක
(‘ත‍්‍රිමාණ කියවීමක්’ විචාර සංග‍්‍රහය එළිදැක්වීමේදී කළ දේශනය ඇසුරිනි)

 

 

සිව් මංසල