16 October 2018
RSS Facebook Twitter   

ධර්මසිරි පාරාදීසය සොයමින් සරයි

Darmasiri

කලාව යනු කුමක්ද යන්න නිර්වචනය කරන ටෝල්ස්ටෝයිගේ මතය සම්පිණ්ඩනය කොට පහත පරිදි දැක්විය හැකිය. කලාව වූ කලී කලාකරුවා විසින් සිතාමතාම කරනු ලබන මානව ක්‍රියාවලියක් මිස ඉබේ පහළවන්නක් නොවේ. කලාකරුවා විසින් වින්දනය කර ගනු ලැබූ වේදයිතයන් ඒ අයුරින්ම අන්‍යයන් (එනම් පාඨක ප්‍රේක්ෂක ආදීන්) තුළ දැනවීම කලාවේ කාර්යයකි. කලාව මඟින් ජනිත කෙරෙන වේදයිතයෙහි අන්‍යයන් ආස්වාදනය කිරීමේ ශක්තිය තිබුව මනාය. කලාව වූ කලී එකම වේදයිතයක් මඟින් මිනිසුන් සුසංයෝග කෙරෙන මාධ්‍යයකි.

අවසාන වශයෙන් කලාව මිනිසාගේ පැවැත්ම සහ අභිවෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය මාධ්‍යයකි. ලොව සියලු පරම්පරාවන්ට ඥානය සන්නිවේදනය කරන්නා වූ සියලු විද්‍යාවන්ගේ රැජිණ කලාව යනුවෙනුයි ලියනාඩෝ ඩාවින්සි පවසන්නේ. කලාව පිළිබඳ ඉහත නිර්වචන හෝ ලොව විසූ දාර්ශනිකයන්, ශ්‍රේෂ්ඨ කලාකරුවන් විසින් අර්ථ නිරූපණය කොට ඇති පරිදි අවසාන වශයෙන් කලාව හා ජනතාව අතර අත්‍යන්තයෙන්ම බැඳුණු සම්බන්ධයකින් වියුක්ත වූ කලාවක් ලොව පැවතිය නොහැක්කේය.

මේ පසුබිම මත හිඳිමින්, අපගේ ජනසමාජයේ පුළුල් හරස්කඩක් තම ලේඛන මාධ්‍යයෙන් හා සිනමා මාධ්‍යයෙන් ප්‍රකාශ කළ කලාකරුවන් දෙදෙනෙකු පිළිබඳවත් වෙසෙසින්ම සිනමාව තම ප්‍රකාශන මාධ්‍යය ලෙස තෝරාගෙන සිටින සිනමාකරුවකු ගේ විශිෂ්ට නිර්මාණයක් පිළිබඳවත් කෙටි සටහනක් හෝ ලියා තැබිය යුතු යයි මට සි‍තුනේ, ධර්මසිරි බණ්ඩාරනායක සිනමාවේදියා විසින් මිථ්‍යාමතික අතීතයේ සිට බණ්ඩාරනායක ඝාතනයේ යථාර්ථය දක්වා ඉතිහාසයෙන් බිඳක් ගෙන හැර පෑ පාරාදීසය සොයා නම් වූ වාර්තාමය චිත්‍රපටයේ සිංහල පිටපත නැරැඹීමෙන් පසුය.

කඳුළු සලන පාරාදීසය වික්ටර් අයිවන් නම් මාධ්‍යවේදියාගේ රූපාකාරයෙන් කළ ප්‍රතිනිර්මාණයක් සේ (Pictorial re – creation) සේ හැඳින්වීමට කැමැත්තෙමි. 2006 දී ප්‍රකාශයට පත් වූ මේ කෘතියෙහි ශ්‍රී ලංකාවේ ඉතිහාසයට හා එහි මෑත කාලීන විකාශය දක්වා අදාළ කළු සුදු ඡායාරූප හාරසියයක් පමණ ඇතුළත් ය. විජයාවතරණය, මහින්දාගමනය සිට 1959 බණ්ඩාරනායක ඝාතනය තෙක් අප රට තුළ සිදු වූ සමාජයීය, දේශපාලනික, ආගමික, ආර්ථික වෙනස්වීම්, ප්‍රධාන ජාතීන් අතර වූ සංහිඳියාව බිඳ වැටී ජාතිවාදී, වර්ගවාදී ගැටුම බිහිවී වර්ධනය වීම, පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතීන්ගේ ආක්‍රමණ හා නිදහස ලබාගැනීම තෙක් මෙරට දේශපාලන, ආර්ථික සංසිද්ධීන් හා පශ්චාද් නිදහස් ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය හා රට තුළ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් වාර්තා කළා වූ ඡායාරූපාවලිය තුළින් වික්ටර් අයිවන් මාධ්‍යවේදියා විසින් කැන්වසයක අඳින ලද මහා චිත්‍රය ධර්මසිරි බණ්ඩාරනායක සිනමාවේදියා විසින් අපූරු සිනමාරූපාවලියකට පරිවර්තනය කරගනිමින් කැමරාවට හසුකොටගෙන ප්‍රේක්ෂකයනට පිරිනමන්නේ වාර්තා චිත්‍රපටයක් යයි කීවද, එය දෙහෝරාවකුත් අඩක් පමණ දිවෙන වෘත්තාන්ත චිත්‍රපටයක් ලෙසින් ප්‍රේක්ෂක ග්‍රහණය රඳවා තබාගන්නා නිර්මාණයක් ලෙසිනි. නිශ්චල ඡායාරූපාවලියක්, ඓතිහාසික කාලවකවානු සිද්ධි, අනුපිළිවෙළ නොබි‍ඳෙන ලෙස ද, ඉතිහාසය පිළිබඳ දැනුවත් ප්‍රේක්ෂක සමූහයාගේ විශ්වාසනීයත්වය නොබිඳෙන අයුරින් ද රූගත කිරීම හා අධ්‍යක්ෂණය කිරීම අතිශයින් දුෂ්කර කටයුත්තකි. අභියෝගයකි. තිරරචනයේ ඇතැම් තැනක අඩු ලුහුඬුකම් දැනුණ ද, සමස්ත නිර්මාණයේ කලාත්මක ඒකාග්‍රතාවයට හානි නොවන ලෙසින් අධ්‍යක්ෂණය කොට තිබීම මඟින් ධර්මසිරි බණ්ඩාරනායක නම් වූ අධ්‍යක්ෂවරයාගේ සිනමා කාර්යයේ ප්‍රතිභාව මොනවට පෙන්වයි. වගුරට නරනිඳුගේ රාජ පරම්පරාවේ ප්‍රභවය පිළිබඳ චිත්‍රය ඔස්සේ මෙරට දේශපාලන, ආගමික, ආර්ථික හා සමාජයීය විකාශය පෙළගස්වා ඇති ආකාරය ප්‍රශස්තය.

පූර්ව හා පශ්චාද් නිදහස් ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය, අධ්‍යාපනය, ආර්ථිකය මෙහෙයවූ පරම්පරා උඩරට, පහතරට භේදය, ආගමික හා ජාතික ගැටුම් හා විෂමතා වර්ධනය වීම, ඉංග්‍රීසි පාලකයන්ගේ මැදිහත් වීම ආදී අනුමාතෘකා ‍රැසක් ඔස්සේ විකාශය කරනු ලබන මූලික සිද්ධි දාමය තුළ අන්තර් සම්බන්ධතාවය රැකෙන’යුරින් අධ්‍යක්ෂණය වී තිබීම නිසා වාර්තා චිත්‍රපටයක් නැරඹීමෙන් ඔබ්බට ගිය අත්දැකීමක් විඳගැනීමට ප්‍රේක්ෂකයනට අවස්ථාව සැලසේ. මෙරට ආර්ථිකයේ මර්මස්ථාන භාරව සිටි පහතරැටියන් අරක්කු රේන්දය සමඟ උඩරටට සංක්‍රමණය වී සමාජගතවීම මෙම නව ධනපති පංතිය මෙරට විශිෂ්ට දානපතියන්ගේ භූමිකා තුළට පිවිස බෞද්ධ අධ්‍යාපන ආයතන පිහිටුවීමෙහිලා මුල් වී ක්‍රියා කළ ආකාරය උත්ප්‍රාසාත්මකව ඉදිරිපත් කිරීමට තිරරචකයාත්, අධ්‍යක්ෂවරයාත් සමත් වෙයි. අරක්කු රේන්දයේ කළමනාකාරීත්වය දරමින් අමද්‍යප ව්‍යාපාරයේ සෙන්පතියෙකු ලෙස කටයුතු කළ ඇතැම් පුද්ගල චරිත පිළිබඳ තොරතුරු දැනගන්නා ප්‍රේක්ෂකයා ඔවුන්ගේ ඊනියා සිංහල බෞද්ධකම පිළිබඳ දානපතිත්වය පිළිබඳ යටි සිතින් සිනාසෙයි. මුද්‍රිත ග්‍රන්ථයකින් කියවා ලබාගත නොහැකි ආකාරයේ අගනා තොරතුරු සම්භාරයක් දුලබ, ඓතිහාසික ඡායාරූප මඟින් ද ඒවාට වඩාත්ම උචිතතම කථනය ඔස්සේ ද ගොඩනැංවීමට ධර්මසිරි තම මාධ්‍ය භාවිතයේ දැනුම හා පරිචය මනාව උපයෝගී කර ගනී. එවකට පැවැති රජයට මුහුණපාන්නට සිදු වූ වෘත්තීය සමිති විරෝධතා වැඩ කරන ජනතාවගේ පිබිදීම පිටුපස සිටි මෙරට වාමාංශික දේශපාලන ව්‍යාපාර හා නායකකාරකාදීන්ගේ දේශපාලන දර්ශනය පාර්ලිමේන්තු මැතිවරණ කෙරෙහි කරනු ලැබූ බලපෑම ඔස්සේ අගමැතිවරයෙකුගේ ඉල්ලා අස්වීම මහ මැතිවරණයකදී පංච මහා බලවේගය සංවිධාන කොට බලමුළුගන්වා, බලයේ සිටි බලගතු ධනවාදී නැඹුරුවකින් යුත් ප්‍රධාන දේශපාලන පක්ෂයේ බලය පාර්ලිමේන්තුව තුළ නොවැදගත් සාධකයක් බවට පත්කිරීමේ සිදුවීම් පෙළ මනා සංවිධානයකින් කුළුගන්වා අවසානයේ 1956 දී මෙරට දේශපාලනයේ සිදු වූ ඓතිහාසික වෙනස්වීම, පොදුජන ජයග්‍රහණය පිටුපස හුන් බලවේග ඉතා කෙටි කලකින් තමන් විසින් බලයට පත් කරනු ලැබූ රජයට හා අගමැතිතුමාට තර්ජනයක් වන ලෙස හැසිරීම අද දවසේ මෙරට දේශපාලනය තුළ සිදුවෙමින් පවත්නා තත්ත්වයන්හි පූර්වගාමී ස්වභාවය පෙන්නුම් කරන බවයි ප්‍රේක්ෂකයන්ට හැ‍ඟෙන්නේ.

පාරාදීසය සොයා ධර්මසිරි බණ්ඩාරනායක සරන මේ ගම‍නේ දී ප්‍රේක්ෂක අපි ද ඔහු සමඟ එක්වන්නෙමු. බණ්ඩාරනායක අගමැතිතුමාගේ සිරුර වෙඩි උණ්ඩයකින් නිසල වූ අවස්ථාවෙහි සමීප රූපයකින් වාර්තාවේ කූටප්‍රාප්ත අවස්ථාව සටහන් කරනු ලබන ධර්මසිරි විසින් පවසනු ලබන්නේ මෙය අවසානයක් නොව ආරම්භයක් පමණක් බවයි. එදින ඝාතනයෙන් ඇරඹුණු අප රටෙහි වර්තමාන ඉතිහාසය වාර්තා චිත්‍රපටයකට නගන්නෙකුට, පාරාදීසයක් නම් සොයා යන්නට නොලැබෙන බව අපි දනිමු. පාරාදීසය යනු හුදු අතීතයට එක්වූ විශේෂණයක්ම නොවන්නේදැයි අපට කල්පනා වේ. ධර්මසිරිගේ මේ චාරිකාව රූප මාධ්‍යයෙන් පවසන්නට ඔහුට තිරරචනයෙන් දායක වූ ගාමිණී වියන්ගොඩ, සංගීතය නිර්මාණය කළ හර්ෂ මාකලන්ද නිෂ්පාදනය කළ සහජීවන මධ්‍යස්ථානයත් ඉදිරිපත් කරනු ලැබූ ත්‍රිකෝණ සංස්කෘතික පදනමත්, ඉටුකොට ඇත්තේ අමිල කාර්යභාරයකි. පාරාදීසයක් ලෙස හැඳින්වූ වර්තමාන ශ්‍රී ලංකාව තවමත් වෙළාගෙන ඇති ජාතිවාදී අඳුරු සෙවණැලි කවදා කෙසේ මැකී යාවිදැයි යන සිහිනය පමණි අද අපට ඉතිරිව ඇත්තේ.

බුද්ධදාස ගලප්පත්ති | Dinamina

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

සිව් මංසල