18 August 2018
RSS Facebook Twitter   

ක්‍රිකට්වල යථාවේ ලක්ෂ්‍යය, චයිනමන්

sl cricketඅවසාන රෝම කූපය දක්වාම(ගිණිය හැකි නම්)සෘජු බවේ ලක්ෂණ පහළ වන්නා වූ, ඒ සදානුස්මරණීය මොහොත, අර්ජුන ප්‍රමුඛ අපේ ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව පරදවා 96 ක්‍රිකට් ලෝක කුසලානය පළමුවරට(මේ වන විට අවසාන වතාවටත්????) මෙරටට ගෙන ඒම, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම හද පතුලෙහි තැන්පත්ව ඇති මතකයක් බවට සැක නැත. ගෙවී ගිය ලෝක කුසලානය මැකලම් ප්‍රමුඛ කළු තොප්පිකරුවන් දිනා ගත්තේ නම්, අපේ කොදෙව්වාසියෙකු ද බුකර් සාහිත්‍යය ත්‍යාගය දිනා ගැනීමට ඉඩ තිබුණි. නමුත්, එය එසේ සිදු නොවුණි. ඕස්ට්‍රේලියාව යළි යළිත් ලෝක ශූරයන් බවට පත් කරමින් ප්‍රවේගකාරී නවසීලන්ත පිළ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියෝය. කෙසේ වුවද මෙම ලෝක කුසලාන තරඟාවලියේදීම අඩු ලකුණු සංඛ්‍යා ලබා ගනිමින් ජයග්‍රහණය වෙත ඉතා තීව්‍ර තරඟයක් වූ මුල් වටයේ ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත තරඟය කළු තොප්පිකරුවන් විසින් තොප්පි උඩ දමමින් සමරණ ලදී. ඒවා හුදු අතපසු වීම් පමණක්මද?. එසේත් නැතිනම් එකට එක සමවීමක් ද?. අපේ කුඩා දූපතේ එක්තරා ලියන්නෙකු බවුන්සරයකට තවත් හයේ පහරක් ගසා තිබේ. කොදෙව්වෙන් ඈතටම එය විසි වී ගොසිණි. පිතිකරු ශෙහාන් කරුණාතිලකය. එම හයේ පහර සජීවිව දුටු ශ්‍රී ලාංකිකයා දිලීප අබේසේකර නම් වූ පරිවර්තකයාය.

පොත චයිනමන්ය. සිංහල සහ ඉංග්‍රීසී නම් දෙකම එකමය. දිලීප මුලින් දුටු ශෙහාන්ගේ හයේ පහරට දිලීප අබේසේකර සාධාරණයක් ඉටුකර ඇත. අපි දැන්!!! සාහිත්‍යයයේ සිට ක්‍රිකට් දෙසට ආගමනය වෙමින් චයිනමන් රස විඳිමු.

96 තරඟය යළි යළිත් නරඹන සෑම මොහොතකම අර අනන්‍යතා සහතිකයේ සඳහන් ලබු ගෙඩියේ නාමකරණයෙන් නිදහස් වී අපේ කොදෙව්වාසියෝ එක සේ තුටු පහටු වෙති. නමුත් හිතුවක්කාර පිතිකරුවා ශෙහාන් එයම තම රචනය තුළ උච්ඡස්ථානයකට ගෙන යමින් එය හුදු අහම්බයක ජයග්‍රහණයක් පමණි යන්න ඒත්තු ගැන්වීම කුමනාකාරයේ උභතෝකෝටිකයක් ද?. නැත! ශෙහාන් නිවරදිය. 96 යනු සැබැවින්ම අහම්බයක ප්‍රතිඵලයකි. මහේල සහ සංගා යන සදානුස්මරණීය ලාංකිකයන් දෙදෙනා බිහි නොවන්නට 96යේ සැර තවත් බාල වීමට ඉඩ තිබුණි. එසේ නම් අප ප්‍රශ්න කළ යුත්තේ, ශෙහාන්ට අනුව මේ උභතෝකෝටියකය ලෙහා ගන්නා තැනකට පරම්පරාවක් දැක්කවීමය. දැන් මේ විකාර සහගත ප්‍රවේශයෙන් පොතේ අන්තර්ගතය වෙත පොළා පැනීමට මට ඉඩ දෙන්න!

ප්‍රදීප් මැතිව්ස් නම් වූ අප්‍රකට චයිනමන් පන්දු යවන්නෙකු, ඉතාම කෙටි කාලයක් පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩාකොට එක්වරම අතුරුදන් වේ. හෙතෙම දෙමළ ජාතිකයෙකි. නමුත් යාපනය වෙනුවට කොළඹ කේන්ද්‍ර කර ගත්තෙකි. ඩබ්ලිව්.ජී.කරුණාසේන නම් වූ සැබෑ ‘මාධ්‍ය වේදියා‘ තම බ්‍රයිඩ් නම් වූ මිතුරා සමඟ එක් වී ප්‍රදීප් මැතිව් සොයා යයි. අතුරුදන්වීමෙන් පසුව අපේ කථා නායකයා? ප්‍රදීප් යළි කිසි දිනෙක තම අනන්‍යතාවය ලොවට හෙළි නොකරයි. වරෙක ඔහු ඕස්ට්‍රේලියාවේදී මළ බව(මෙය වත්මන් ලාංකීය ක්‍රිකට් අන්දරය සමඟ කෙතරම් උත්ප්‍රාසජනක ගැළපීමක් ද?. ශෙහාන් නුඹ නම් සැබෑම රචකයෙකි.) ඩබ්ලිව් ජී. ට ආරංචි වේ. නමුත් තම හඹා යෑම ජීවිතයේ අවසාන ඕවරය දක්වාම සිදු කරනු ලබන ඩබ්ලිව්.ජී. 'උඩ ඉන්න කෙනා'ගෙ තවත් ප්‍රාතිහාර්යයක්? මත ජීවිතයෙන් නික්ම යයි...

ඔහුගේ පුතා ගාර්ෆීල්ඩ් විසින් ස්වකීය පියාගේ එකම සහ ප්‍රධානම වැඩය අවසානයේ අවසානයක් කරනු ලබයි. එයින් කියවෙනුයේ, චයිනමන් අන්තර්ගතයේම සඳහන්වන පරිදි, එක් වැරැද්දක් හරියන්න පරම්පරා දෙක තුනක් ගත වෙන්න අවශ්‍යය යැයි කියන කාරණාවයි. අම්මෝ!! මගේ මතකය ජුවාන් උල්ෆෝ ගෙ පේද්රෝ පරාමෝ හි උත්ප්‍රාසය දක්වා දිව යයි. උල්ෆෝ කොමාලාවේ දෛවෝපගතය ආඛ්‍යානගත කරන විට අපේ ශෙහාන්, ලංකාවේ ක්‍රිකට්වල අඩුව(Lack) හෙවත් අනූ හයේ අහම්බයෙහි වැරදි නිවරදි ආඛ්‍යානගත කරමින් එහිත් දෛවපෝගතයම උත්ප්‍රාසයට නංවනු ලබයි. කිසියම් හෝ කෘතියක් ඔබට කුල්මත් වූ හැඟීමකින් අවසානය දක්වාම කියවිය හැකි නම්, ඒ චයිනමන් බවට සැකයක් නැත!.

ප්‍රදීප් මැතිව් යනු ඕනෑම ආකාරයකට පන්දු යැවිය හැකි පන්දු යවන්නෙක් පමණක් ද?. නැතිනම් ප්‍රදීප් ගේ චරිතය මේ සමස්ථ ආඛ්‍යානයෙන්ම වියුක්තකරගත් විට ජනිත වන ඵලය, 96 අහම්බයේ සාරාර්ථය ද?. මම මගේ දෙවනි පැනයම පිළිතුර ලෙස භාර ගනිමි. මෙම ලියමන අවසානයේ එයට ඌන පූර්ණයක් එක් කර ඇති බව ද ඔබට දැකිය හැක. මෙය හුදෙක් කියවීමක් මිසෙක විචාරයක් නොවන බැවින් මම ද චයිනමන් ආඛ්‍යානයට සාධාරණයක් ඉටු කිරීමට ඩබ්ලිව්.ජී. මෙන් අසංවරශීලි සටහන් තබමි. කෆ්කාගේ රූපාන්තරණයෙහි සඳහන් අපරූපී ජීවියා සමස්ථ ආඛ්‍යානයෙන් වියුක්ත කරගත් විට ද ඉතිරි වන්නේ, මධ්‍යම පාංතික ජීවිතයේ ඛේදනීයත්වයයි. එම සාහිත්‍යයම භාවිතාව කොමර්ෂලීය අයුරින් මෙන්ම උත්ප්‍රාසවත් ලෙස ද රචනාකොට තිබෙන ශෙහාන් සැබැවින්ම ක්‍රිකට් පිටු පස තිබෙන යථාර්ථය පාඨකයා අභිමුඛයට ගෙන එනු ලබයි.

“ සඳුදා - රොෂෙල් (34)
නිතරම ගැබ්බරයි, කතාකාරී - රබ්බඩයියා
අඟහරුවාදා - මිෂෙල් (32)
පැහැපත්, කොණ්ඩෙ පස්සට ඇඳලා තද කරලා බඳින්නෙ - පුවක්බඩිල්ලා
බදාදා - ස්ටෙෆනි (28)
හිපියෙක් වගේ, කෙට්ටුයි දිගයි - කෝටුකිතයියා
බ්‍රහස්පතින්දා - මෙලීසා (24)
මූණ රවුම්, තරමක විසේකාරි - පොල් බෑ මූණා
සිකුරාදා - අරුණි (18)
හුරුබුහුටි පැංචි - ඉඳිකටුපැංචා

දැන් හරි, (පිටුව - 274) “

“ එමෙන්ම මා පිළිබඳව ද මගේ දියණියන් ගැනද විස්තර කර ඇති අයුරු ගැන කණගාටුවක් ඇති වේ. මගේ කාමරය ඒ තරම් දූවිල්ලෙන් පිරි එකක් නම් ඔබ එහි ආවේ ඇයි? මා මෝඩයෙකු විහිළුකාරයෙකු ලෙස හුවා දක්වා ඇත. රේන් කෝට් එකකින් සහ තොප්පයකින් මා සැරසුණේ කවරදාද? විජේ, මගේ දියණියන් පිළිබඳව ඔබේ පොතේ සඳහන් වනවාට මම නොකැමැත්තෙමි. එය මුද්‍රණය කරන්නට කළින් එම කොටස් ඉවත් කරන මෙන් ශීලාට දන්වා ඇත. (පිටුව - 285)“

ඔබ දැනටමත් පොත කියවා අවසන් නම්, එසේ නැතිනම් කියවීමට බලාපොරොත්තු වේ නම්, උක්ත උපුටනයන් ද්විත්වය එකිනෙක ගටා බලන්න. අපේ ලේඛකයා දමා තිබෙන්නේ සාහිත්‍යමය බඩල් බවුන්ස් පන්දුවකි. එනම් හාස්‍යයයි. ශෙහාන් ගේ කෘතිය මෙකී නොකී සියලු සාහිත්‍යමය ආලවට්ටම්වලින් සන්නද්ධ වූ කෘතියකි. වරෙක රහස් පරීක්ෂක කතාවකි, එමෙන්ම තවත් විටෙක එය වෙනත් නාමකරණයකි.

ප්‍රදීප් මැතිව් හරහා 96 අහම්බයක් වන්නේ කෙසේද?(අනූ හය පමණක් නොවේ, අද වන විට ප්‍රදීප් හෙවත් අපේ රටේ ක්‍රිකට් සාරයම මහේල සහ සංගා නොවන්නට හුදු අහම්බයක් පමණි)

මැතිව් යනු වරෙක ක්‍රිකට් බෝඩයට ලිපි ලියමින් එයට යා යුතු නිසි ගමන් මඟ පෙන්වන්නෙකි. එමෙන්ම ස්ලේජින් වලින් අන් අයට දමා ගැසීමේ සිට පන්දු යැවීම පමණක් නොව පිතිකරුවන්ට පවා හොඳ අවවාද ද ලබා දෙන ගමන්ම ලකුණු 8කට කඩුළු නවයක් දවා ගත හැකි දක්ෂයෙකි. නමුත් මේ දක්ෂයා ඉතා කෙටි අවුරුදු කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකොට එක්වනම අතුරුදන්වීම අනූ හයේ අහඹුවෙන් පසුව අද දක්වාම අප අත් විඳිනු ලබන ඛේදවාචකයකි. ඉතිං 96 අහම්බයක් වන්නේ කෙසේද කියා කෘතිය කියවා ඔබම සොයා ගන්න. ඒ වෙනුවට මම මැතිව් ගැන ලිවීමට කැමැත්තෙමි.

සැබැවින්ම මැතිව් යනු හුදු එක් චරිතයක් නොවේ.! ඔහු ක්‍රිකට්වල සාරාර්ථයි. නමුත් ඒ සාරාර්ථය ලංකාවට අනුව පරිඝණක පද්ධතියෙන් ඩිලීට් වී හමාරය. සංගා සහ මහේල සුසංයෝගය නොවන්නට අපෙන් ක්‍රිකට් වලට වුණ කෙංගෙඩියක් නැත.! දැන් ඔබ කියාවි ‘ඇයි මුරලි, සනා එහෙම‘ යනුවෙන්. සැබැවින්ම මැතිව් ඉදිරිපිට මුරලි දෙවනිය. සනත්ට තම නෛසර්ගික පිති හරඹයෙන් ක්‍රීඩා කිරීමට උපදෙස් දෙන්නේ මැතිව් ය. ඉතිං මැතිව් යනු තවඳුරටත් චරිතයක් පමණක් ද?. අවසානයේ ඔහු අතුරුදන් වී ගොස් නවසීලන්තයේ වෙනත් අනන්‍යතාවයකින් ජීවත්වීම පසුගිය ලෝක කුසලාන අවසාන තරඟයට නවසීලන්ත පිළ පැමිණීම හරහා විග්‍රහකරගත යුත්තකි. සැබැවින්ම ශෙහාන් යනු ක්‍රිකට් පේන කාරයෙකි. ක්‍රිකට්වල සාරාර්ථය(මැතිව්) නවසීලන්තයේ සැඟවී දිවි ගෙවීමත් නවසීලන්තයට ලෝක කුසලානය අහිමි වීමත් ලාංකීය ක්‍රිකට් එක තැන පල් වීමත් කෙතරම් නම් උත්ප්‍රාසජනක ද?.

ඇලේන් බදියු යන දාර්ශනිකයා වරෙක යථාවේ ලක්ෂ්‍යයන් අටක් හුවා දක්වමින් ඒවාහි එල්බ ගන්නා ලෙස අපට බල කරනු ලබයි. (බදියුගේ මෙම අෂ්ඨ ලක්ෂ්‍යයන් ගැන දැනගැනීමට කියවන්න වංගීස සුමනසේකර විසින් පරිවර්තනය කරන ලද සාකෝසි යනු කුමක්ද? යන ග්‍රන්ථය.) සැබැවින්ම ශෙහාන් මට සාපේක්ෂව මෙම ආඛ්‍යානය හරහා බදියු භූමිකාවට අවතීර්ණ වී ක්‍රිකට්වලට සාපේක්ෂව එහි යථාවේ ලක්ෂ්‍යයක් ගැන අපට පවසනු ලබයි. ප්‍රදීප් මැතිව් යනු, ලාංකීය ක්‍රිකට් වෙනස් කළ යුතු නම්, එක තැන පල් නොවිය යුතු නම්, අප විසින් අල්වා ගත යුතු යථාවේ ලක්ෂ්‍යයකි. ශෙහාන් ඔබට බෙහෙවින්ම තුති!!! අපට මෙම හඳුන්වා දීම සිදු කරනු ලැබුවාට. හිස නමා කරනු ලබන මගේ මේ නිහතමානී ආචාරය ක්‍රිකට් වෙනුවෙන්ම පිළිගන්න. මෙම ලිපිය ශෙහාන්ගේ ග්‍රන්ථයේම සඳහන් වූ උපුටනයකින් අවසන් කිරීමට මම කැමැත්තෙමි.

‘අවසන් ඕවරය
“අපව මතක හිටින්නෙ තරගෙ දිනුවොත් විතරයි“
ඇලන් ෂියරර් නිව්කාසල් පාපන්දු පිළේ ප්‍රහාරක(96-2006)‘

බාසුරු ජයවර්ධන
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

සිව් මංසල