22 May 2018
RSS Facebook Twitter   

පැරීසියෙන් මතු වෙන හෙළ සාහිත්‍යය අංකුර - සුනිල් ගාමිණී

lakbimai api" දළදා පෙරහැරේ වැස්ස සංකේතවත් කරමින්, මුලින්ම යන්නේ කසකරුවන්. ඒක හරියට වහින්න ඉස්සෙල්ලා හෙණ හඬ ඇහෙනවා වගේ. ඔවුන් පිටිපස්සෙන් එන්නේ ගිනි බෝල කරකවන්නන්. ඒක හරියට විදුලි කොටනවා වගේ. අලි ඇතුන් වැස්ස වහින්න ඉස්සෙල්ලා අහසෙ පෙනෙන මහා වැහි වලාකුළු වගේ. වැහි වලාකුළු අහස පුරාවටම තිබුණහම, එය මහා වැස්සක පෙරනිමිත්තක්. දළදා පෙරහැර පුරාවට අලි ඇතුන් සිය ගණනක් යොදා ගන්නා නිසා පෙරහැරේ අලංකාරය වගේම , වැසි වහින බලය වැඩි වෙනවා කියලයි මට හිතෙන්නේ. "

මෙහෙම ලියලා තිබුණේ , දවසින් වැඩි කාලයක් පළමු බස ලෙස ප්‍රංශ බස භාවිතා කරන  ප්‍රංශයේ ජීවත්වන දැරියක්. නිවාඩුවකට ශ්‍රී ලංකාවට ගිය මෙම දැරිය , තමා දුටු දළදා පෙරහැර මේ වගේ හරි අපූරුවට හෙළ බසින් විචිත්‍රණය කර තිබෙන අයුරු දුටුවම මේ දරුවන්ගෙ නිර්මාණශීලී හැකියාව පිළිබඳව ඇති වෙන්නෙ ඉමහත් සතුටක්.

' කව්සිළුමිණ ' කියන්නෙ සිංහල සාහිත්‍යයෙහි ශ්‍රේෂ්ඨතම කාව්‍ය ග්‍රන්ථය කියලයි හැමෝම පිළිගන්නෙ.  කුස ජාතකය කථා ශරීරය වුණු මෙම කාව්‍ය ග්‍රන්තයේ එන එක කවියක මෙහෙම සඳහන් වෙනවා.

" කෙළෙ මෙ ද තුටු මොනර - එපුර ගජනා ගජවෙල

දැවැවි හා සියොත්කැන් - විසුරූ පොකුරු පොදනෙත් "

මේ කවියේ සරල තේරුම ගත්තොත් මෙහෙමයි.
මේ නගරයේ ඉන්න හස්තියා මොනරා දකින්නේ වලාකුළක් විදිහට. හස්තියාගේ ගර්ජනය මොනරාට හැඟෙන්නේ මේඝගර්ජනයක් විදිහට. මේ විදිහට නිසැක ලෙසම හිතපු මොනරා සතුටින් නටන්න පටන් ගන්නවා. ඒ අනුව මේ ඇතා මොනරුන්ව සතුටු කරනවා. ඒ විතරක් නෙමෙයි, ඇතාගේ සොඬ අගින් දිය බිඳු විසිරුවන නිසා මේක සැබෑම වැස්සක් කියලා හිතලා පක්ෂියෝ , විශේෂයෙන් කෑදැත්තෝ වතුර එන දිහාවට දුවගෙන යනවා.

එදා ' කව්සිළුමිණ' ලියපු කවියා හස්තියා  වැස්සට සම කරලා ගොඩනඟපු සම්බන්ධය කොතරම් නිර්මාණශීලීද?  ඒ අනුව ගත්තාම මේ සටහනේ මුලින්ම දක්වා තිබෙන උපුටනය  සහිත නිර්මාණය කළ දැරිය කොතරම් නිර්මාණශීලීද කියලා සියුම්ව බලන කෙනෙකුට තේරුම් ගන්න අපහසු නැහැ.

මේ වගේම දූ දරුවන් නව දෙනකුගේ නිර්මාණ දහසයක් ඇතුලත් ළමා නිර්මාණ ග්‍රන්ථයක් පසුගිය දා පැරීසියේ පිහිටි ශ්‍රී ලංකා පැරිස් බෞද්ධ විහාරයේ දී කල එළි දැක්කා.

" ලක් බිමයි අපියි " යනුවෙන් නම් කරලා තිබුණ මෙම ග්‍රන්තයේ  එන කථා සහ සිතුවම් සියල්ල නිර්මාණය කරලා තියෙන්නේ හිරුණි සියඹලාපිටිය, චරක අබේරත්න, සඳුනි දන්තනාරායන, සුපුන්න විතානගේ, දුලංජි ගලප්පත්ති, දමිත විජේසූරිය, දුලෝකි වික්‍රමාඅරච්චි, නතාෂා හෙට්ටිආරච්චි සහ ළහිරුණී විතාන්ගේ කියන දූ දරුවෝ එකතු වෙලා. මේ දරුවෝ සියලු දෙනාම පැරිස් බෞද්ධ විහාරයේ ධම්ම චක්ක දහම් පාසලෙන් සිංහල භාෂාව ඉගෙනුම ලබපු අය.

මොවුන්ගෙන් වැඩි දෙනෙක් ඉපදිලා තියෙන්නේ ප්‍රංශයේ දි. මොවුන් අතර සිටින ලංකාවෙ ඉපදුන කිහිප දෙනා ද පැරීසියට ඇවිත් තියෙන්නේ ඔවුන්ගේ කුඩා කලයේදි. ඒ අනුව ගත්තහම " ලක් බිමයි අපියි " නිර්මාණ ග්‍රන්ථය මේ දූ දරුවන්ගේ සැබෑ හපන්කමක් විදිහට අපි අගය කළ යුතුයි.

මෙම ග්‍රන්ථයෙහි ඇතුලත්  ' අපේ දහම් පාසල ' , ' සිංහල වෙදකම ' ,  'ශ්‍රී දළදා පෙරහැර ' ,  'රසම රස සුදුම සුදු කිරිබත් ' , ' මල්වට්ටි වෙන්දේසිය ' ,  'කන්නියා උණුවතුර ළිං ' , ස්වර්ණමාලී මහා චෛත්‍යය ' , ' අවසන් ගෞරවය ' , ' දන්දීමේ වත්පිළිවෙත්' , 'පිංතාලිය' ,'  සෝමාවතී වන්දනාව' , 'ලංකාවේ මා දුටු පුංචි වෙළෙන්දෝ ' , මල්වර නැකත' , ' සිරියා' , ' ලංකාවේ ජිප්සි මිනිස්සු'  සහ  ' මා දුටු විශ්මිත ලංකාව' යන සියලුම නිර්මාණ එක ලෙස බෙහෙවින් අලංකාර නිර්මාණ.

මේ නිර්මාණ තුළින් සාකච්චාවට බඳුන් කරන හෙළ සිරිත් විරිත් හා හෙළ සංස්කෘතිය පිළිබඳව  මේ දරුවන් තුළ මතුවන ආශ්වාදජනක හැඟීම් අතිශය නිර්ව්‍යාජයි. තමන් ජීවත්වන යුරෝපයේ දී ලබන අත්දැකීම් සමඟ ශ්‍රී ලංකාවේදී තමන් අත්දුටු දෑ සසඳමින් අපූරු අදහස් මේ නිර්මාණ මඟින් ඉදිරිපත් කරන්නට  ද ඔවුන් සමත් වී තියෙනවා .

ආයාසයකින් තොරව රසවිඳින්නට හැකි මෙම නිර්මාණ තුළින් දරුවන් මතු කරන අදහස්, වැඩිහිටියන්ටද සමහර කාරණා සම්බන්ඳයෙන් අලුතින් සිතන්නට පොළඹවන තරමට තියුණුයි.

තම දෙමව්පියන්ගේ මව් භාෂාව මටසිලිටු ලෙස පරිහරණය කරන්නට මේ දරුවන්ට හැකි වී තිබීම ප්‍රශංසනීයයි . ඒ හැකියාව ප්‍රගුණ කිරීමෙහිලා අති විශාල මෙහෙයක් ධම්ම චක්ක දහම් පාසල සිදු කර ඇති බව පැහැදිළියි. ඒ වෙනුවෙන් ඊට නායකත්වය දුන් කෝන්ගස්දෙනියේ ආනන්ද ස්වාමීන්වහන්සේගේ නාමයට මෙම පොත පුද කිරීමද යහපත් කෘතගුණ සැලකීමක් .

සිංහල බෞද්ධයන්  වෙසෙන යුරෝපයේ අනෙක් රටවල් හා සසඳන විට,  ප්‍රංශයේ ජීවත්වන හෙළයන් තමන්ගේ මව් භාෂාව තම දූ දරුවන්ට උරුම කර දෙන්නට කරන කැපවීම ප්‍රශස්ත මට්ටමක පවතින බව අවිවාදිතයි.

මේ දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව පිටුපස ඔවුන්ගේ දෙමව්පියන් මෙන්ම දහම් පාසලේ සමස්ත ගුරුවරුන්ගේ වෙහෙසද කැටිවී තිබෙන  බව පැහැදිලියි . එහෙත් මෙම නිර්මාණය එළිදැක්වීම වෙනුවෙන් දරුවන් පොළඹවා ගැනීමේ සුවිශේෂී කාර්‍ය භාරය උර මතට ගෙන තියෙන්නේ විමලා බණ්ඩාර ගුරුතුමියයි .

වෙනත් භාෂාවක් තම පළමු බස ලෙස ගෙන කටයුතු කරන දරුවන් පිරිසක් , සිංහල භාෂාව යොදා ගනිමින් නිර්මාණකරනයේ යෙදීමට ඉදිරිපත්වීම ම අප විසින් ඉමහත් අගය කිරීමකට ලක් කළ යුතු කාරණයක්.

ඒ වගේම අවුරුදු දෙදහස් පන්සිය වසරකට අධික ඉතිහාසයක් ඇති සිංහල සාහිත්‍යය නො නසා ඉදිරියට ගෙන යාමේ වගකීම මෙන්ම හැකියාව ශ්‍රී ලංකාවෙන් බැහැරව ජීවත් වෙන වෙවැනි දරුවන්ට ද ඇති බව ඔවුන්ට පසක් කරදීම වෙනුවෙන් ද මෙකී නිර්මාණ අප කාගේත් නොමඳ ඇගැයීමකට ලක් කළ යුතුයි.

 

 

සිව් මංසල