20 November 2018
RSS Facebook Twitter   

කදුකර කදුලු තවමත් එලෙසමය

 

Photo1

වතුකරයේ දෙමළ ජනතාව යනු පරම්පරා ගණනක් අපට කැඹුරූ, වසර සිය ගණනක් මේ මහපොළොව ඔවුන්ගේ දහදියෙන්, කඳුළින් හා රුධිරයෙන් පෝෂණය කල ජන කණ්ඩායමකි. මේ රට කරවූ හෝ ඔවුන්ගේ කරමතින් රාජ්‍ය පාලනයට පැමිණ සත් මහල් පායවල් ඉදිකළ වතුකරයේ දේශපාලන නායකයින්ගෙන් හෝ ඔවුන්ට සාධාරණයක් ඉටුවූයේ නැත. මිනිසෙකුට ජීවත් වීමට අවැසි අවම මූලික පහසුකම්වත් ඔවුන් හට නොලැබුණු අතර ඔවුන්හට ජීවත් වීම සඳහා ලැබී තිබුණේ ඉංග්‍රීසීන් විසින් ඉදිකර දුන් ලැයිං කාමර පමණී. ඇතිකරණ කුකුළා, එළුවා, හරකා පවා ජීවත්වූයේ මේ කුඩා ලැයිං කාමර තුල සමෝසමේය. මිනිසාගේ මූලික උවමනාවක් වන සිය වර්ගයා බෝ කිරීමේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය සඳහාවත් අවශ්‍ය පෞද්ගලිකත්වය රැකෙන ඉඩක් වත් එම නිවාස තුල නොතිබිණි.

මාගේ වෘත්තීය ජීවිතයේ විවිධ පර්යේෂණ කටයුතු සඳහා මේ ජීවිත තුලට කිහිප වතාවක් එබී බැලීමට මට අවස්ථාව ලැබුණ අතර ඒ හැම මොහොතකම මා තුල ඇතිවූයේ බලවත් කම්පනයකි. මොවුන් ජීවිතය දකින්නේ කවදාදැයි මම නිරන්තරව සිතන්නට වීමි.

සීත කඳුකරයේ තේවතු අතර ඉපිද අහම්බෙන් මෙන් උසස් අධ්‍යාපනයට යොමුව රැකියාවන් සොයන මේ දෙමළ තරුණ තරුණියන් කිහිප දෙනෙකුට රැකියාවන් ලබා ගැනීම සඳහා උදව් කිරීමට මට අවස්ථාවක් ලද අතර මා එය සිදුකලේ අපමණ තෘප්තදායක හැඟීමකිනි. මගේ මතකයේ හැටියට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ පාලන සමයේ මේ අහිංසක දෙමළ ජනතාවට කුඩා මහල් නිවාස ඉදිකර දී ඔවුන්ට නීත්‍යානුකූල බිම් කඩක අයිතිය ලබා දීමේ වැඩපිළිවලක් ගෙන ගිය අතර එයට විරුද්ධව එකල සිංහල ජාතිවාදීන් අවි අමෝරාගත්තේය. ආරම්භ කළ දෙයක් අභියෝග මැඩගෙන අවසානය කරා ගෙනයාමේ ශක්තිය නොමැති දේශපාලකයින් එය අතැර දැමුවාදැයි සැක සහිතය. මේ වැඩ පිළිවෙලට මගේ සිතතුල වූයේ අප්‍රමාණ ගෞරවයකි. සතුටකි. නමුත් ඒය වතුකරය පුරා පැතිරී ගොස් සාර්ථක නොවීය. මම කම්පාවට පත්වීමි.

පසුගිය දිනක මෙම වතුකර ප්‍රජාවට නීත්‍යානුකූල හිමිකමක් ඇති පර්චස් 7ක් වෙන්කොට දී එහි කුඩා නිවසක් ඉදිකර දීමේ ව්‍යාපෘතියක් වත්මන් රජය විසින් ආරම්භ කල බව වාර්ථා වෙනු දකින්නට ලැබුණි. මගේ සිතට කිසියම් උද්දාමයක් ඇතිවිය. එය එසේ විය යුතුමය. ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට ලබා දිය යුතුය. ඒ වැඩසටහන අවසානය කරා රැගෙන යාම සඳහා පාලකයින් හට අප බලකර සිටිය යුතුය. එපමණක් නොව වතුකරයේ දෙමළ ජනතාවගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, ආහාර වැනි මූලික අවශ්‍යතා සපුරා දිය යුතු යැයි මේ ධනපති පාලකයින්ට කෑගසා බල කර සිටිය යුතුය. ඔවුන් වෙනුවෙන් අපි එය මොවුන් ලවා ඉටුකරවා දිය යුතුය.

ඒ අනෙකක් නිසා නොව, මාද, මගේ දරුවන්ද නිදහස් අධ්‍යාපනය ලබමින් අපට අවශ්‍ය මූලික පහසුකම් වලින් සංතෘප්තව සිටින්නේ මේ මිනිසුන් තේ පඳුරු අතර හෙළන දහදිය කඳුළු හා රුධිරයට පින්සිදු වන්නටය. අපි ඔවුන්ගේ ණය කාරයින් වෙමු. ඒ ණය වහා ගෙවා දැමීම අපේ යුතුකම හා වගකීමද වන බැවිනි.

කපිල එම්. ගමගේ

 

 

 

සිව් මංසල