20 November 2018
RSS Facebook Twitter   

අද කලාව ගැන සුනිල් සහ නිරිඇල්ල කථා කරයි

kalava

 

 

පසුගිය කාල වකවානුව තුළ ලංකාවේ කලා ක්‍ෂෙත‍්‍රයන් අතරින් ප්‍රබල අර්බුද ගණනාවකට මුහුණ දුන් ක්‍ෂෙත‍්‍රයක් ලෙස ලංකාවේ වේදිකා නාට්‍ය කලාව හැඳන්විය හැකියි. පැවති ආණ්ඩුව වෙනුවට අලූත් ආණ්ඩුවක් පත්කිරීම සඳහා බොහෝ කලාකරුවන් සක්‍රීයව මැදිහත් වන්නේ, වේදිකා නාට්‍ය කලාව ඇතුළු සමස්ත කලා ක්‍ෂෙත‍්‍රය මුහුණ දුන් මෙම අර්බුදයන්ගෙන් මිදීමේ අරමුණින්.


වේදිකා නාට්‍ය කලාව තුළ පවතින අර්බුද සහ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දැක්මක් මේ. සාකච්ඡාව චමිල ප්‍රියංක විසින්.

බොහෝ කලාකරුවන්ට ඕනෑ වැඩවසම් රජෙක් – ආචාර්ය සුනිල්විජේසිරිවර්ධන

අපි ආණ්ඩුවක් මාරුකරලා ආණ්ඩුවක් පත්කළේ අලූත් දිශාවක් සඳහා ගමන් කිරීමට. මෙහිදී ජනතාව විශේෂයෙන්ම යහපාලනය සම්බන්ධයෙන් අවධානය යොමුකරලා තිබෙනවා. බටහිර ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අදහසත් සමග යහපාලනය පිළිබඳව සාකච්ඡුා කළොත් මේ තුළ ප‍්‍රධාන වශයෙන්ම අවධානය යොමුකරන්නේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් පමණයි. නමුත් අපේ රටේ පුරවැසි ජීවිතය සහ සමාජ ජීවිතය සාර්ථක වීමට නම් මෙම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පමණක් ප‍්‍රමාණවත් වෙන්නේ නැහැ. දින සියයේ වැඩසටහන තුළ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන් වඩා වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. නමුත් ගැඹුරු අර්ථයෙන් යහපාලනය දිනාගැනීමට නම් උඩින් ව්‍යවස්ථා, නීති ප‍්‍රතිසංස්කරණ පමණක් සිදුකිරීම පමණක් ප‍්‍රමාණවත් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වන රටවල යහපාලනය සත්‍ය වශයෙන්ම මුල් අදින්න නම් පුරවැසියෙක් සිටීම මූලික අවශ්‍යතාවක්. යහපාලනය තුළ පුරවැසියෙක් බිහිකරගන්නෙ කොහොමද කියලා අපි සිතිය යුතුයි. යහපාලනය සමග පුරවැසි යහජීවනය පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. පුරවැසි යහජීවනය ඇතිවීමට සහ පුරවැසි විඥානය වර්ධනය වීමට ප‍්‍රධාන බිම් තුනක් සකස් විය යුතුයි. අධ්‍යාපනය ඉන් එකක්. අද ලෝකයේ වැදගත්ම තවත් ක්‍ෂෙත‍්‍රයක් තමයි මාධ්‍ය. මාධ්‍ය විසින් පුරවැසියා සකස් කරනවා. ඉතාමත්ම වැදගත් තවත් අංශයක් තමයි කලාව කියන සාධකය. කලාව තමයි ගැඹුරින්ම අපි අපිව සොයාගන්නා ස්ථානය. පසුගිය රජය වකවානුවේ විනාශ වුණේ මේ බිම් තුන. පුරවැසියෙක් හැදෙන්න තිබෙන කොන්දේසි නැති කළා. යටත්වැසියෙක් බිහිකිරීමට අවශ්‍ය කොන්දේසි බිහිකළා.
අපි තවම ශ‍්‍රී ලාංකික ජාතියක් නොවීම පසුගිය අවුරුදු හැට ගණන තුළම විසඳානොගත් ගැටලූවක්. ශ‍්‍රී ලාංකික මනුස්සයෙක් බිහිවීමට නම් සංස්කෘතික ප‍්‍රතිපත්තියක් සැකසිය යුතුයි.

අපේ සමාජයේ සංස්කෘතික අයිතීන් රැුකෙනවාද සොයා බැලිය යුතුයි. මෙහිදී කාරණා දෙකක් පිළිබඳව සාකච්ඡුා වෙනවා. එකක් තමයි, රටේ සියලූම පුරවැසියන්ට ඒ රටේ සංස්කෘතික ජයග‍්‍රහණයන් සම්බන්ධයෙන් අයිතියක් තිබෙනවාද? කලාව, සංස්කෘතික ජයග‍්‍රහණයන්ට රටේ සියලූම පුරවැසියන්ට සමානාත්මතාවක් තිබෙනවාද? අනිත් කාරණය තමයි සංස්කෘතික අයිතිය. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සෑමදෙනෙක්ම වේවා, ප‍්‍රාදේශීය ජන කොටස් වේවා ඒ අයට තමන්ගේ සංස්කෘතිය සම්බන්ධයෙන් පවතින අයිතිය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒවා රැුකගැනීමට ඉඩක් තිබිය යුතුයි. එකිනෙකාගේ තීරණයන්ට අනුව ඒවා පවත්වාගෙන යෑමට, දියුණු කරගැනීමට ඉඩකඩ තිබිය යුතුයි. සංස්කෘතික ප‍්‍රතිපත්තියක් සකසන විට මෙවැනි නිර්ණායක ඇසුරින් දිශානත විය යුතුයි. මෙම ප‍්‍රතිපත්තිය ලේඛනගත කළාට පසුව ඒවා ක‍්‍රියාත්මක වීමට නම් යම් ආයතනික ප‍්‍රවේශයක් තිබිය යුතුයි.

රාජ්‍යය රටේ සංස්කෘතික ජීවිතයට මැදිහත් විය යුත්තේ, මැදිහත් නොවිය යුත්තේ කිනම් අවස්ථාවේද කියන කාරණා දෙකම ප‍්‍රතිපත්ති සැකසීමේදී සැලකිලිමත් විය යුතුයි. අවශ්‍ය නැති තැනට මැදිහත් වෙන, අවශ්‍ය තැනට මැදිහත් නොවන තත්ත්වයක් අද දකින්න ලැබෙනවා.
1950 ගණන්වල ආරම්භ වූ අවස්ථාවේ සිට සංස්කෘතික අමාත්‍යාංශය කියන්නේ වරදවා වටහාගනු ලැබූ ස්ථානයක්. සංස්කෘතිය කියලා අපේ සමාජය හෝ මේ අමාත්‍යාංශය හරි වටහාගෙන තිබෙන්නේ කිසියම් පැරණි දෙයක් රැුකගැනීමක් කියලා. නමුත් සත්‍ය වශයෙන්ම අද ජීවත්වන මිනිසාගේ සංස්කෘතික ජීවිතය අභියෝගයකට ලක්වෙලා තිබෙනවා. එවිට අතීතයේ උරුමය තිබෙන්න ඕනෑ අද ජීවත්වන මිනිසා වෙනුවෙන්. අද ජීවත්වන මිනිසාගේ සංස්කෘතික ජීවිතය දියුණු කිරීමට මෙම අමාත්‍යාංශය කටයුතු කළ යුතුයි. අද්‍යතන ජන ජීවිතයේ සංස්කෘතිය සම්බන්ධයෙන් ගොඩනැගුණු නිර්ණායකයන් කිසිවක් අපිට නැහැ. ඒ නිසා සංස්කෘතික අමාත්‍යාංශය ඉතාම කුඩා දෙයක් බවට පත්වෙලා තිබෙනවා. අපට තිබෙන අභියෝගයන් මැද්දේ මේක කේන්ද්‍රීය අමාත්‍යාංශයක් විය යුතුයි.
කලාව සම්බන්ධයෙන් අපේ රටේ තිබෙන්නේ එකම එක ආයතනය කලා මණ්ඩලයයි. මේ ආකෘතිය ලැබෙන්නේ බි‍්‍රතාන්‍ය ආකෘතිය යටතේ. ආණ්ඩුවට පරිබාහිරව කිසියම් ස්වායත්ත ආයතනයක් විදිහට පනත තුළ කලා මණ්ඩලය හඳුන්වලා තිබෙනවා. සමහර රටවල ඉතාම හොඳින් කලා මණ්ඩලය දියුණු වෙලා තිබෙනවා. ඕස්ටේ‍්‍රලියාවේ කලා මණ්ඩලය බි‍්‍රතාන්‍යයටත් වඩා දියුණු, ප‍්‍රබල ආකාරයකට ක‍්‍රියාත්මක වෙනවා. ඒ වගේම කලා මණ්ඩලයට අනුබද්ධව අතිවිශාල අරමුදල් හස්තයක් තිබෙනවා. පාරදෘශ්‍ය වැඩපිළිවෙලක් තිබෙනවා. කලාකරුවන්ගේ නිර්මාණවලට මහජනයාගේ මුදල් සම්පාදනය වීමක් තිබෙනවා. බදුවලින් කලා නිර්මාණ සඳහා මුදල් එකතු වෙනවා. ඒවා කලාකරුවන්ට ලබාදෙන යම් කිසි ක‍්‍රමික වැඩපිළිවෙලක් තිබෙනවා. අපේ රටේ ඒ ආකාරයට අරමුදලක් නැහැ. අපිට ඉතුරු වෙලා තිබෙන්නෙ වාණිජ ප‍්‍රාග්ධනය පමණයි. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ නාට්‍ය කලාව වගේ දෙයක් කොහොමද රැුකුණෙ කියන එක හරි පුදුමයි. නාට්‍ය කලාව පවතින්නේ වාණිජ ප‍්‍රාග්ධනය සමග නෙමෙයි. 1976ට පෙර නාට්‍ය කලාව සඳහා ඉතාමත් සුළු පිරිවැයක් තමයි තිබුණේ. ඒ වාගේම නාට්‍ය කලාවේ නිරත වුණු හැමෝටම වාගේ රැුකියා තිබුණා. විවේක කාලයේ විනෝදයට කළ දෙයක් විදියට තමයි නාට්‍ය කලාව රැුකුණේ. 1976ට පසුව නව ලිබරල්වාදී ආර්ථිකයත් සමග මෙම ක්‍ෂෙත‍්‍රයේ වියදම වැඩිවෙනවා. යම්කිසි වෘත්තිකමය තලයකට පැමිණෙනවා. එවිට යම්කිසි ආයෝජන අවශ්‍යතාවක් ඇතිවෙනවා. නමුත් නාට්‍ය කලාවට එවැනි අනුග‍්‍රාහකයන් සිටීමට ඉඩක් නැහැ. මොකද ඒක ලාභදායී කර්මාන්තයක් නෙමෙයි. නාට්‍යයකට මුදල් යොදනවාට වඩා පාරට බස් එකක් දාන එක ලාභයි කියලා ආයෝජකයො දන්නවා. ඒ නිසා ඒක වාණිජ ප‍්‍රාග්ධනය මත යැපීමට නොහැකි දෙයක්. අද වාණිජ පරමාර්ථයෙන් නාට්‍ය හැදෙනවා. රටට අවශ්‍ය එවැනි කලාවක් පමණක් නම් ප‍්‍රශ්නයක් නැහැ. රටේ ජන ජීවිතයට සම්බන්ධ, වගකියන දියුණු නාට්‍ය කලාවක් අවශ්‍ය නම් අපි වෙනත් ක‍්‍රමවේදයක් පිළිබඳව සිතිය යුතුයි.

ලංකාවේ කලා මණ්ඩලය සංස්කෘතික අමාත්‍යාංශය යටතට ගෙනැල්ලා ඒකේ තටු කපලා දමලා තිබෙනවා. ක‍්‍රමානුකූලව ඒකේ මුදල් නැතිවෙලා ගිහින් අරමුදලූත් නැති, නාමික පුවරුවක් බවට පත්වෙලා තිබෙනවා. පසුගිය කාලය වන විට විශ‍්‍රාමික මහාචාර්යවරයෙකුට තමන්ගේ තොප්පියේ ගහගන්න පිහාටුවක් බවට මේ ආයතනය පත්වෙනවා. කලා මණ්ඩලයේ තිබෙන අනුමණ්ඩල අතරින් නාට්‍ය අනුමණ්ඩලය පමණයි යම් කිසි පණක් තිබෙනවා කියලා පෙන්වලා තිබෙන්නේ. එම අනුමණ්ඩලයටත් නාට්‍ය උත්සව සංවිධානය කිරීම හැර වෙන කිසිවක් කිරීමට හැකියාවක් නැහැ. නාට්‍ය අනුමණ්ඩලයේ ස්වාධීනත්වයත් පසුගිය රජය සමයේ සම්පූර්ණයෙන්ම කඩාවැටුණා. මෙවන් පරිසරයක කලාව සම්බන්ධයෙන් රජය මැදිහත්විය යුතු ආකාරය පිළිබඳව කිසියම් නෛතික පටිපාටියක් තිබිය යුතුයි. ඉන්දියාවේ රාජ්‍ය ආයතන තුනක් හරහා කලාවට මැදිහත් වෙනවා. ඒවා මූලික වශයෙන් කලාකරුවාගේ පෝෂණයට අදාලව සැකසිලා තිබෙනවා. ඉන්දියාවේ සාහිත්‍ය කලා ඇකඩමිය තුළ රට ඇතුළේ විවිධ භාෂාවලින් ලියැවුණු කෘති බොහොමයක් පරිවර්තනය කෙරෙනවා. නාට්‍ය පාසල් පවත්වාගෙන යනවා. මේ ආකාරයට නාට්‍යකරුවාට බිහිවෙන්න ආයතනික ක‍්‍රියාදාමයක් තිබෙනවා. නාට්‍ය නිෂ්පාදනය සඳහා අරමුදල් තිබෙනවා. නාට්‍ය රසිකයා දියුණු කිරීම සඳහා නොයෙකුත් ක‍්‍රම තිබෙනවා.
ලංකාවේ කලා මණ්ඩල පනතේ තිබෙන බලයවත් ක‍්‍රියාත්මක කිරීමට හැකියාවක් ඇති වෙලා නැහැ. මේක විශාල වශයෙන් බල ගැන්වීමට සහ දියුණු කිරීමට අවශ්‍යයි. එක් පැත්තක් ප‍්‍රතිපත්ති සැලසුම්, වැඩකිරීම ආදියෙන් සමන්විතව පැවතිය යුතුයි. එම කොටස කලාකරුවන්ට භාර දිය යුතුයි. අනිත් පැත්ත වන විධායක කොටස රජය විසින් කළ යුතුයි. සංස්ථාවක, එහෙමත් නැත්නම් පදනම් ආයතනය වගේ පාලනයක් මෙහි තිබෙන්න පුළුවන්. මේ විදියට පියාපත් දෙකෙන් තමයි පියාඹන්න පුළුවන්. ප‍්‍රධාන අනුමණ්ඩල කිහිපයක් පමණක් ප‍්‍රමාණවත් වෙනවා. විශාල සංඛ්‍යාවක් අවශ්‍ය නැහැ.

සමාජයේ එක්තරා පිළිගැනීමක් සාහිත්‍ය කලාවන් සම්බන්ධයෙන් තිබෙනවා. ඊට වඩා ගොඩක් පහළ ස්ථානයක් තමයි ප‍්‍රාසාංගික කලාව සම්බන්ධයෙන් ඇත්තේ්. පිළිගැනීමක් නැහැ, මධ්‍යම පාන්තික දරුවන්ව ඒවා ඉගෙන ගැනීමට යොමු කරන්නේ නැහැ. මෙය එතරම් වැදගත් වැඩක් නොවේය කියන අදහස අපේ ඔළුවේ තිබෙනවා. නාට්‍යය, සිනමාව, නර්තනය සම්බන්ධයෙන් තිබෙන්නෙ මෙවැනි පිළිගැනීමක්. මේක නිසාම මේ ක්‍ෂෙත‍්‍රයට මුදල් ලැබෙන්නේත් නැහැ. මෙම තත්ත්වය නැතිකරලා මෙම ක්‍ෂෙත‍්‍රයට අවශ්‍ය බලය අපි ලබාගත යුතුයි.

අද ලංකාවේ කීදෙනෙකුට හොඳ නාට්‍යයක් බලන්න පුළුවන්ද? ශාලා නැහැ. කොළඹ ලයනල් වෙන්ඞ්ට් එකට සමාන කරන්න පුළුවන් ශාලා දහයක් ලංකාවේ නැහැ. ලයනල් වෙන්ඞ්ට් එකේ පෙන්වන නාට්‍යයක් වෙන තැනක ගිහිල්ලා පෙන්වන්න බැහැ. අන්තර් ව්‍යුහය ගොඩනැගීම මුලින්ම සිදුවිය යුතුයි. දැනට වැඩක් සිදුවෙන්නේ නැති ප‍්‍රාදේශීය සංස්කෘතික ආයතන ගණනාවක් රට තුළ තිබෙනවා. ඒවාට නිශ්චිත වැඩසටහනක් නැතිව නාස්ති වෙමින් තිබෙනවා. ප‍්‍රාදේශීයව එම ආයතනවලට අවශ්‍ය ශක්තිය දීලා එම ස්ථාන ප‍්‍රාදේශීය කලාකරුවන්ගේ ස්ථාන බවට පත්විය යුතුයි. අමාත්‍යාංශය විසින් සලකා බැලිය යුත්තේ විධායක පැත්ත පමණයි. අද එම සංස්කෘතික මධ්‍යස්ථානවලින් කලාකරුවො ඉවත් කරලා තිබෙනවා.

අපේ බොහෝ කලාකරුවන්ගේ ඔළුවල ආණ්ඩුව පිළිබඳව තිබෙන්නේ වැඩවසම් අදහසක්. වැඩවසම් රජකෙනෙක් අනුග‍්‍රහය දැක්වූ ආකාරයට අපට අනුග‍්‍රහය දැක්විය යුතුයි කියලා මේ අය සිතනවා. ගම්බිම් දෙන්න ඕනෑ, ගෙවල් දෙන්න ඕනෑ, නළල්පටි පළඳන්න ඕනෑ, සන්නස් ලියලා අපිව උඩට දාන්න ඕනෑ වාගේ අදහසක් තමයි නායකයා සම්බන්ධයෙන් රටේ කලාකරුවන්ගේ තිබෙන්නේ.

කලාකරුවෝ කියන්නේ අමුතු පිරිසක් නෙමෙයි. කලාකරුවන්ටත්, ගුරුවරු, වෛද්‍යවරු වගේ අයිති නිශ්චිත වැඩක් තිබෙනවා. අපිට කලාකරුවො ඕනෑද කියලා අපි ඇසිය යුතුයි. කලාකරුවො අවශ්‍ය නම් මේ සමාජය සකස් කළ යුතු ආකාරයක් තිබෙනවා. අභිමානයෙන් කලාකරුවාට අවශ්‍ය ආකාරයට කලාකටයුතුවල යෙදීමට අවශ්‍ය වටපිටාව සැකසිය යුතුයි. කලාකරුවාට අවශ්‍ය ඒ පරිසරය පමණයි. වෙනත් විශේෂ අනුග‍්‍රහ අවශ්‍ය නැහැ.
වෙනස ක‍්‍රියාත්මක කිරීමට මැදිහත් විය යුතුයි – නාට්‍යවේදී පරාක‍්‍රමනිරිඇල්ල

ලංකාවේ වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් වූ රාජ්‍ය මැදිහත්වීම පිළිබඳව වූ ව්‍යාජය දශක පහක කාලයක් පුරා දිව යනවා. නාට්‍ය කලාවට විශිෂ්ට සේවාවක් කිරීම කියලා පෙන්වන්නේ අවුරුද්දට වතාවක් කරනු ලබන නාට්‍ය උත්සවයක් පැවැත්වීම පමණයි. නාට්‍ය කලාව වෙනුවෙන් නාට්‍ය උත්සවයක් සංවිධානය කිරීම ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ අවශ්‍යතාවල දහවැනි ස්ථානයේ පමණ තිබෙන දෙයක්. මීට වඩා හදිසි අවශ්‍යතා ගණනාවක් ලංකාවේ නාට්‍ය කලාව සම්බන්ධයෙන් තිබෙනවා. නාට්‍යකරුවාට නිර්මාණ සඳහා අවශ්‍ය පසුබිමක් සකස් කිරීම මෙම අවශ්‍යතාවලින් පළමුවැන්න වෙනවා. නිර්මාණකරණයේ ස්වාධීනත්වය, පහසුකම් සැපයීම, නිර්මාණ රසවින්දනය සඳහා අවශ්‍ය රසික පිරිසක් බිහිකිරීම, නාට්‍ය කලා අධ්‍යාපනය දියුණු කිරීම, නාට්‍ය කලාව සමාජගත වෙන උපරිව්‍යුහයන් සැකසීම මෙම යටතට ගැනෙනවා. අද ලංකාවේ රසිකයන් බිහිවන අධ්‍යාපන ක‍්‍රමයක් තිබෙනවාද? ඒ වාගේම නාට්‍ය කලාවට අවශ්‍ය වන විභවයන් පළාත් මට්ටමෙන් තිබෙනවාද? පළාත් සභා, ප‍්‍රාදේශීය සභා, නගර සභා වගේ පළාත් පාලන ආයතනවල ප‍්‍රතිපාදන මේ සඳහා වෙන් වෙනවා. නමුත් ඒවා කලා කටයුතු සඳහා කොයිතරම් යෙදවෙනවාද? ඒ වගේම නාට්‍ය කලාව කොයිතරම් දුරට ලංකාවේ ජාතික අවශ්‍යතාවක්ද? මේ සම්බන්ධයෙන් කළ යුතු බොහෝ දේවල් තිබෙන නමුත් සිදුවෙන්නේ නැහැ. නාට්‍ය කලාවට පමණක් නෙමෙයි සෑම කලාවකටම මේ තත්ත්වය පොදුයි. සාහිත්‍යය, සංගීතය, චිත‍්‍ර මේ හැමදෙයක්ම පාසල් විභාගවලට පමණක් සීමා වෙලා තිබෙනවා. ඉන් එහාට මේවා සමාජගත වෙන්නේ නැහැ. නාට්‍යයක් නිර්මාණය වූවාට පසුව ඒ සඳහා පේ‍්‍රක්ෂකාගාරයක් නැත්තේ මේවා සමාජගත වීමේ ඌනතාවක් තිබෙන නිසා. නාට්‍ය කලාව සමාජගත වීමට අවශ්‍ය අවම පහසුකම්වත් නැති තත්ත්වයක් තුළ අවුරුද්දකට වතාවක් පවත්වන නාට්‍ය උත්සවයකින් තේරුමක් නැහැ. තරගයක් ඇතිකරලා නාට්‍යකරුවන් අතර එදිරිවාදිකම් ඇතිකිරීම පමණයි මේ නාට්‍ය උත්සවවලින් සිදුකරන්නේ.

1952 සම්මත කළ මහා බි‍්‍රතාන්‍යයේ තිබෙන කලා මණ්ඩලයේ පිටපතක් ආකාරයට තමයි ලංකාවේ කලා මණ්ඩලය බිහිවෙන්නේ. ඉතිහාසයේ මෙම ආයතනයට යම් ස්වාධීනත්වයක් තිබුණා. නමුත් අද වෙනකොට මේක පෙනුමට පමණක් තිබෙන ආයතනයක් විතරයි. ලංකාවේ කලාව වෙනුවෙන් මෙම ආයතනය විසින් සිදුකෙරෙන දායකත්වය අවමයි. ඒ වගේම කිසිම ස්වාධීනත්වයක් නැහැ. ඕස්ටේ‍්‍රලියාවෙ සිඞ්නි ඔපෙරා හවුස් එක පාලනය වෙන්නේ ඕස්ටේ‍්‍රලියානු කලා මණ්ඩලයෙන්. ඒ වාගේම කලා මණ්ඩලය යටතේ ප‍්‍රාදේශීයව ආයතන සංවිධානය වෙලා තිබෙනවා. අපේ රටේ මෙවැනි සැලසුම් සහගත ක‍්‍රියාමාර්ගයකට පැමිණීමට අවශ්‍ය ආයතන තිබෙනවා. නමුත් ඒවා අතිශයින්ම දේශපාලනිකකරණය වෙලා. මේවා තුළින් කවදාවත් කලාවේ ස්වාධීනත්වයක් හෝ වර්ධනයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, පළාත් පාලන අමාත්‍යාංශය තුළින් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. අවුරුදු 30ක් පුරා ජනවර්ග දෙකක් අතර ඇතිවුණ පරතරය අවම කිරීමට නම් භෞතික සංවර්ධන කටයුත්තත් සමග සංස්කෘතික සංවර්ධන කාර්යයත් සිදුවිය යුතුයි. ඒක බද්ධ විය යුතුයි. අලූතින් පාරවල්, ගොඩනැගිලි, තාක්ෂණික සංවර්ධනයක් ඇතිවුණාට වැඩක් වෙන්නේ නැහැ. අනිත් අයට ගරුකරන මිනිසුන් සිටින සමාජයක් නිර්මාණය විය යුතුයි. මේවා ක‍්‍රියාත්මක වෙන්න නම් දැන් තියෙන ක‍්‍රමවේදය සම්පූර්ණයෙන්ම කණපිට හරවලා නැවත සකස් කරන ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. එවැනි වූ වැඩපිළිවෙලක් අපි යෝජනා කරනවා. එය ක‍්‍රියාත්මක නොවී කිසිම කලාවක්, සමාජ ඒකාබද්ධතාවක්, යහපාලනයක් අපට බලාපොරොත්තු වෙන්න බැහැ. සමාජය තුළ සංයමයක් ඇති කිරීම, චින්තන රටාවන් වෙනස් කිරීම, රසඥතාව වර්ධනය කිරීම හා ඒ තුළින් කලාවට වෙළෙඳපොළක් බිහිකිරීම මේ තුළින් සිදුකළ හැකියි.

ඉන්දියාවේ 1962 වර්ෂයේදී ජාතික නාට්‍ය ආයතනය හදනවා. එතැනින් නිර්මාණකරුවො බොහොමයක් බිහිවෙනවා. මෙතැනින් බිහිවෙන උගත්තු තම තමන්ගේ ප‍්‍රාන්තවලට ගිහින් නාට්‍ය පාසල් හදනවා. මේ සෑම දෙයකටම මධ්‍යම රජය, ප‍්‍රාන්ත රජය මුදල් ලබා දෙනවා. එම ආයතන වර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් සපයනවා. කේරලයේ රංගන කලා ඇකඩමිය තමයි කේරලයේ රංගන කලාවේ කේන්ද්‍රස්ථානය. මෙම ඇකඩමිය කේරලයේ ස්වාධින සංගීත කණ්ඩායම් තිහකට මුදල් ආධාර ලබා දෙනවා. ඒ ප‍්‍රාන්ත ආණ්ඩුවේ මුදල්. මීට අමතරව මධ්‍යම ආණ්ඩුව වෙනත් ආකාරයකට මුදල් ලබා දෙනවා. අපේ රට කුඩා රටක්. ඒ නිසා අපේ රට තුළ මෙවැනි වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට පහසුයි. අපේ රටට ගුරුවරු අවශ්‍ය වෙනවා, ඉංජිනේරුවෝ අවශ්‍ය වෙනවා, ගෘහ නිර්මාණ ශිල්පියෝ අවශ්‍ය වෙනවා. ඉතින් අපේ රටට කලාකරුවෝ අවශ්‍ය නැද්ද? කලාකරුවෝ අවශ්‍ය නම් මේ රටේ කලාව සහ රසඥතාව දියුණු වෙන වැඩපිළිවෙලකුත් අවශ්‍ය වෙනවා. කලාකරුවො රටේ වටිනා සම්පතක් හැටියට පිළිගැනිය යුතුයි. ඒ වාගේම ඒ අයට අවශ්‍ය මොනවාද යන්න සොයා බැලිය යුතුයි. කලාවෙන් කලාකරුවාට යැපෙන්න පුළුවන් ආකාරයට කලා කේෂත‍්‍රය දියුණු විය යුතුයි. නිදහසක්, අභිමානයක් සහිතව කලාකරුවෙකුට තමන්ගෙ කාර්ය සිදුකිරීමට හැකිවෙන්නේ එවිටයි. අපිට කලාකාරයා අවශ්‍යද, නැද්ද කියන කාරණය විසඳගන්නෙ නැතිව මේවා හදන්න බැහැ.

පැවතුණු රජයත් සමග කලාකාරයෝ කණ්ඩායමක් සිටියා. ඒ අය බොහෝ ප‍්‍රයෝජන ගත්තා. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ කාලයේත් මේ ප‍්‍රශ්නේ තිබුණා. පේ‍්‍රමදාස ජනාධිපති ටවර්හෝල් රහහල පදනම ආරම්භ කළා. මේ සඳහා පැරණි නූර්ති ශිල්පීන් සම්බන්ධ කරගත්තා. මේ අය ටවර් නළුනිළියන් ලෙස ලියාපදිංචි කරලා ගෙවල්, අවශ්‍ය තනතුරු ලබා දුන්නා. ඒක වැරදියි කියලා මම කියන්නේ නැහැ. මේ විදියට අනිත් දේවලූත් සිදුවිය යුතුයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේදීත් මේ දේම සිදුවෙනවා. ඉඩම් දෙනවා, ගෙවල් දෙනවා, විශ‍්‍රාම වැටුපක් දෙනවා. කලාවට කරන සේවා විදියට මේවා හුවා දක්වනවා. මේවා ඇත්තටම කලාවේ වර්ධනයට සිදුකරන දේවල් නෙමෙයි. කලාකරුවා වන්දිභට්ටයෙක් කිරීම සඳහා කරන දේවල්. ඊට පසුව ප‍්‍රශස්ති ගීත ගායනා කිරීම ආරම්භ කරනවා. පසුගිය මැතිවරණ සමයේ සමහර කලාකරුවන් පොදු අපේක්ෂකයාට එරෙහිව වස් කවි පවා ගායනය කළා. වැඩවසම් යුගයකට නැවතත් කලාකරුවා ගෙනිහින් තිබෙනවා කියලා මෙයින් පැහැදිලි වෙනවා. ඉතිහාසයේ රජවරු කලාකරුවන්ට වරදාන දුන් ආකාරයට අදත් දෙනවා. ඒ වෙනුවට රජතුමා වෙනුවෙන් ප‍්‍රශස්ති ගී ගායනා කරනවා. කලාකරුවාගේ චින්තනයත් අරගන්නවා. මහින්ද චින්තනයට අනුව කලා නිර්මාණ කරන්න කියලා බලපෑම් කරනවා. කලාකරුවාට කාගේවත් චින්තනයකින් වැඩක් නැහැ. කලාකරුවාට ස්වාධීන චින්තනයක් තිබිය යුතුයි.

ඕස්ටේ‍්‍රලියාවේ ආදීවාසීන් සිටින නාට්‍ය කණ්ඩායමක් තිබෙනවා. මෙම නාට්‍ය කණ්ඩායම ඉතා දැඩි ලෙස ආදිවාසීන්ට සිදුවන අසාධාරණකම් පෙන්වනවා. ආණ්ඩුවේ සමහර ආයතන ඉතා දැඩි විදියට විවේචනය කරනවා. ඒ සඳහා ආණ්ඩුවේ මුදල් දෙනවා. නාට්‍යකරුවෝ යමක් පෙන්නලා දෙනවා. එය තේරුම්කර දීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ සඳහා නාට්‍ය කණ්ඩායමට කලා මණ්ඩලයෙන් මුදල් ලබා දෙනවා. කිසි තහනමක් නැහැ. පොලීසිය දාලා ගහලා එලවන්නේ නැහැ. ප‍්‍රාදේශීය දේශපාලකයො ඇවිත් පිස්තෝල පෙන්නලා ගහන්නේ නැහැ. ඔගොස්ටෝ බෝල් බ‍්‍රසීලයේ ප‍්‍රධාන නගරයක නගරසභිකයෙක් වෙලා සිටියා. ඔහු නගර සභාවේ වැඩකරන සේවකයො එකතු කරගෙන වැඩමුළු පවත්වලා ලෙජිස්ලේටිව් තියටර් කියන ක‍්‍රමවේදය හඳුන්වලා දෙනවා. මේ පාලනයේ තිබෙන දුර්වලතා සහ ඒවා වෙනස් විය යුතු ආකාරය සාකච්ඡුාවට භාජනය වෙනවා. ඒ ආශ‍්‍රයෙන් නිවැරදි ක‍්‍රමවේදයන් ඔහු හඳුන්වලා දෙනවා. ඒ අනුව පනත් පවා සම්මත වෙලා තිබෙනවා. අපේ රටේ එහෙම තත්ත්වයක් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයන් නිර්මාණය කිරීමට නොහැකි තත්ත්වයක් අපේ රටේ තිබෙනවා. විවේචනය කිරීම, අඩුපාඩු පෙන්වා දීම වරදක් හැටියට පාලකයො දකිනවා. මෙය වෙනස්වෙන තත්ත්වයකට අපේ රටේ දේශපාලකයො, නිලධාරීන් සහ සමාජය පත්විය යුතුයි.

අද පාලනය මාරු වුණාට ක‍්‍රමවේදය මාරුවෙලා නැහැ. යල්පැන ගිය ක‍්‍රමයේ වෙනසක් සිදුකිරීමට නම් සිවිල් සංවිධාන සහ කලාකරුවන් මැදිහත්වෙමින් අරගල කළ යුතුයි. ක‍්‍රමයේ පවතින අඩුපාඩු පෙන්වා දෙමින් ඒවා මගහැරීමේ දිශාවට තල්ලූ කළ යුතුයි. ඒක ඇනහිටියොත් නැවතත් පෙර තත්ත්වයට සමාජය ගමන් කිරීමට නියමිතයි. අද සිදුවෙලා තිබෙන දේශපාලන වෙනසත් සමග නීතිය සම්බන්ධයෙන්, පොලීසියට ලැබෙන විධානයන්, ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට ගනු ලබන උත්සාහයන් සම්බන්ධයෙන් යම් යහපත් තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. යම් යම් තත්ත්වයන් නිවැරදි වන බව පෙනෙනවා. එසේ නම් අනිත් දේවල් නිවැරදි කිරීමට හැකියාවක් තිබෙනවා. නමුත් මේ සඳහා ජනතාව නිහඩව සිටීම පිළියමක් නෙමෙයි. ඡුන්දය දැමීමෙන් පමණක් වෙනසක් බලාපොරොත්තු විය නොහැකියි. ඒ වෙනස සඳහා යොමු කළ යුතුයි. ඒ සඳහා ශක්තිමත් වගේම අර්ථසාධක බලවේගයක් තිබිය යුතුයි. ප‍්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්ඩලය තුළ කලා නිර්මාණ සම්බන්ධයෙන් තහනමක් වෙනුවට වර්ගීකරණයක් කිරීමට බලාපොරොත්තු වන බව පැවසෙනවා. මෙහිදී යම්කිසි කලා නිර්මාණයක් තහනම් කරන්නේ නැහැ. එම නිර්මාණය රසවිඳීමට සුදුසු පේ‍්‍රක්ෂක පිරිසට යොමුකරනවා. මේ ආකාරයට අපගේ අනිත් අවශ්‍යතාවන් ඉටුකරගැනීමට යම්කිසි උසිගැන්වීම් කිරීමට සිදුවෙනවා.
සිවිල් සංවිධානවලට සහ කලාකරුවන්ට විශාල බලයක් තිබෙනවා. යම් යම් දේවල් සිදුවෙන්නේ නැත්නම් පාරට බහින්න සිදුවෙනවා. අරගල කිරීමට සිදුවෙනවා. ඒවා සඳහා සංවිධානගත වීමට සිදුවෙනවා. තම තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටුකරගෙන නිශ්ශබ්දව සිටිය යුතු නැහැ. දූෂණයට වගකිවයුත්තන් දඟගෙට දක්කවනවා කියලා හැමෝම බලයට පත්වෙනවා. නමුත් අවසානයේ දඟගෙට දක්කවනු ලබන්නේ ජනතාවමයි. අවසානයේ චූදිතයන් වන්නේ ජනතාව, එහෙමත් නැතිනම් ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවුණු මිනිසුන් පමණයි. අපි හැමෝම නිශ්ශබ්දව සිටියොත් ඒ දේ සිදුවෙනවා. ඉතිහාසය තුළ ඒ දේ සිදුවෙනවා අපි දැකලා තිබෙනවා. නැවත ඒ දේ සිදුනොවෙන්න නම් මැතිවරණයට මැදිහත්වූවාටත් වඩා වඩා වැඩි බලයකින් මේ වෙනස ක‍්‍රියාත්මක කිරීම සඳහා මැදිහත්විය යුතු වෙනවා.

උපුටා ගැනීම රාවය - Ravaya

 

 

 

සිව් මංසල