20 November 2018
RSS Facebook Twitter   

සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව

 

CT
අද උදේ මගේ යාලුවෙන් මුහුණු පොතේ පල උන ලිපියක් මට ඒවා තිබුනා පුලුවන්නම් බොලොග් එකේ පල කරන්න කියලා .එය ලියා තිබුනේ "ගනුෂ්ක රන්දුල" නමැති සොඳුරු තරුණයෙක් .මටත් රටක් රාජ්‍යක් පහල උනා වාගේ ඒ විස්තර ටික දැක්කම .ඒ තමයි අපි හැමෝගෙම කැමතිම ගායකයෙක් වන සි ටි ප්‍රනාන්දු මහත්තයා .ඔහුගේ 94 වන උපන් දින සමරුව වෙනුවෙන් තමයි මේක ලියලා තියෙන්නේ . ඒ නිසා හැමෝටම කියවන්න මම ඒ ලිපිය මෙතැන පල කරනවා. ගනුෂ්ක රන්දුලට බෝභෝමත්ම ස්තුති කරනවා මෙය පලකිරීමට එකඟ වීම ගැන ........
------------------------------------------------------------------------------

සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව

(සී. ටී. ප්‍රනාන්දු ගේ 94 වැනි උපත් සමරුව 2015 ජනවාරි 28 වැනි දාට යෙදේ. මේ සටහන ඒ නිමිත්තෙනි.)
එක් දහස් නවසිය හතළිස් ගණන්වල අග භාගය වන විට සිංහල ගීත සාහිත්‍යයේ කැපී-පෙනෙන ප්‍රවණතා කිහිපයක් දක්නට තිබිණි. එක් අතෙක සිරිසේන විමලවීර, හියුබට් රාජපක්‍ෂ ආදින් ගේ නුර්ති, ටීටර් ගී සම්ප්‍රදායය පැවැතිණි. තවත් අතෙක ආනන්ද සමරකෝන්, එච්. ඩබ්ලිව්. රූපසිංහ ආදින් ගේ ශාස්ත්‍රීය ගීත සම්ප්‍රදායය පැවැතිණි. ඒ හැමට ම වෙනස් අතෙක වොලී බැස්ටියන්, ජස්ටින් ප්‍රනාන්දු ආදින් ගේ බයිලා ගීත සම්ප්‍රදායය පැවැතිණි. මේ සියල්ලට අමතර ව සිංහල සිනමාවේ ප්‍රභවයත් සමඟ දක්ෂිණ භාරතීය හා උත්තර භාරතීය අනුකාරක ගීත සම්ප්‍රදායයක් ද මෙ වක බිහි විය. බටහිර සංගීතය යනු හුදු බයිලාව යැ යි සමාජගත ව පැවැති දුර්මතය උඩු යටිකුරු කළ සිරිල් ටියුඩර් ප්‍රනාන්දු හෙවත් සී. ටී. ප්‍රනාන්දු ගේ ආගමනය සිදු වූයේ මෙ වන් මියැසි පසුබිමක් පැවැති 1947 වසරේ දී ය.

සී. ටී. ගුවන් විදිලි ගායකයකු ලෙස ගැයූ පළමු ගීය 1947 දී ගැයූ “සවස් කල ඇලේ හමන මඳ නලේ” නම් වූ බව මහාචාර්ය සුනිල් ආරියරත්න පවසයි. එහෙත් ඔහුට ජනප්‍රියතාව ගෙන ඒමට සමත් වූයේ ඒ වසරේ දී ම රීටා ජෙනිවිව් ප්‍රනාන්දු (ලතා වල්පොළ) සමඟ ගැයූ “පින් සිදු වන්නේ අනේ බාල ළමුන්නේ” ගීය යි. ඒ ගීය රචනා කරන ලද්දේ සී.ටී. වෙනුවෙන් පමණක් ගී ලියූ ආර්. එන්. එච්. පෙරේරා විසිනි. වෘත්තියෙන් පාසල් ගුරුවරයකු වූ ආර්. එන්. එච්. වූකලී සී. ටී. ගේ සමීප ඥාතියෙකි. ඔහු ලියූ ගී පදවල අපූර්වත්වය, සෞන්දර්යාත්මක භාවය හා සරල බව නොමඳ ව පිරී තිබිණි. “පින් සිදු වන්නේ අනේ බාල ළමුන්නේ” පමණක් වුව ද මේ සඳහා ප්‍රමාණවත් නිදසුනෙකි. අද පවා පාසල්හි භාවිත කැරෙන සිවු වැනි ශ්‍රේණියේ සිංහල පෙළ පොතෙහි මේ ගීතය ඇතුළත් කොට ඇත්තේ එහි ඇති මෙ කී විශිෂ්ටතාව නිසා ය. සී. ටී. වෙනුවෙන් ආර්. එන්. එච්. ලියූ “සුවඳ රෝස මල් නෙළා”, “අම්බිලි මාමේ”, “පින් සිදු වන්නේ” වැනි සෙසු ළමා ගීවල ද මේ විශිෂ්ටතා ලක්‍ෂණ නොමඳ ව ගප් වී තිබේ. තුරුණු වියේ දී ළමා ගී ගැයූ ගායකයකු බවට සී. ටී. පත් වූයේ බෙහෙවින් ම ආර්. එන්. එච්. ගේ පද රචනාවල බලපෑම නිසා ය. අද වුව ද වැඩි ම ළමා ගී සංඛ්‍යාවක් ගැයූ වැඩිහිටි ගායකයා වනුයේ සී. ටී. ය. ගුවන් විදිලියේ ‘ළමා පිටියෙන්’ හෝ ‘සරස්වතී මණ්ඩපයෙන්’ හෝ බිහි වූ ළමා ගායකයෙක් නම් ළමා ගී ගැයීමේ අරුමයක් නැත. එහෙත් තුරුණු වියේ දී විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පියකු බවට පත් වූවකු ළමා ගී වෙත ආසක්ත වීම විශේෂත්වයෙකි. සිංහල ළමා ගීයට සී. ටී. ගෙන් සිදු වූ සම්ප්‍රදානය මෙ තෙක් ප්‍රාමාණික අධ්‍යයනයකයට පාත්‍ර වී නැත. මේ සී. ටී. ගේ ගීත සාහිත්‍යයේ එක් පැතිකඩකි.

සී. ටී. ගේ ගීවල පැවැත්තේ ඔහු විසින් ම නිර්මාණය කරන ලද මනහර ස්වතන්ත්‍ර බටහිර තනු ය. ඔහු ගැයූ චිත්‍රපට ගීත හැරුණු කොට සෙසු සියලු ගීවල තනු නිර්මාණය සී. ටී. ගේ විය. මුල් දසකයේ ඔහු ගැයූ ගීවල සංගීත සංයෝජනය කෙළේ බී. ඇස්. පෙරේරා වුව ද පාසල් සමයයේ පටන් සී. ටී. ගේ මිතුරකු වූ පැට්රික් දෙනිපිටිය නොබෝ කලෙකින් ම ඔහු ගේ තනු සඳහා සංගීත සංයෝජනයෙන් දායක විය. සී. ටී. - පැට්රික් සුසංයෝගයෙන් බිහි වූයේ ඉන් පෙර සිංහල ගී රසිකයාට අසන්නට නො ලැබුණු ආකාරයේ බටහිර ඌරුවක් ඇති ගීත ය. එ වක සිංහල ගීත ක්‍ෂේත්‍රය තුළ අනුකාරක ගී රැල්ල බෝ වන රෝගයක් මෙන් පැතිරෙමින් තුබුණ ද සී. ටී. බටහිර ගී තනුවලට වචන ඔබා ගැයුවේ නැත. ඔහු ගේ සියලු ගීවල තුබුණේ ස්වතන්ත්‍ර තනු ය. මේ නවමු බටහිර තනුවලට බෙහෙවින් ම ආකර්ෂණය වූයේ එ වක ඉංගිරිසි ගී ඇසීමට ඇබ්බැහි වී සිටි කුරුඳුවත්තේ බංගලාවල වුසූ පැලැන්තිය යි. ඒ අනුව අගනුවර ධනපති පංක්තිය වෙත සිංහල ගීතය ගෙන යෑමේ ගෞරවය සී. ටී. වෙත හිමි වේ. ඔවුන් වෙත සිංහල ගීය ගෙන යෑමෙන් සී. ටී. හට සැලැසුණේ සුළුපටු ප්‍රතිලාභයක් නො වේ. සති අන්තයේ දී ගාලු මුවදොර හෝටලයේ (Galle Face Hotel) සහ ගල්කිස්සේ මහ හෝටලයේ (Mt. Lavinia Hotel) පැවැති සාද සම්භාෂණ ආදියෙහි ගී ගැයීමට සී.ටී. හට නිතොර ඇරියුම් ලැබිණි. එක් දහස් නවසිය හැට ගණන්වල සති අන්තයක සී. ටී. මේ හෝටලයෙක ගී ගයනු දැක-ගත නොහැකි වී නම් ඒ ඉතා කලාතුරෙකිනි.

CTFernando

සී. ටී. ගේ ගායනයට වසඟ වූයේ මෙ රට රසිකයන් පමණක් නො වේ. ඉහත කී අගනුවර සුපිරි හෝටල් සහ ‘කැංඩි ලේක් ක්ලබ්’ (Kandy Lake Club) කේන්ද්‍ර කොට-ගෙන සී. ටී. හට ඉංගිරිසි ජාතික රසික පර්ෂදයක් ද බිහි විණි. 1967 – 1968 සමයයෙහි ‘ලකී සෙවන්’ දුම්වැටි සමාගමයේ අනුග්‍රහයෙන් ගුවන් විදිලියේ ඉංගිරිසි සේවයේ විකාශය වූ ‘ලකී සෙවන් ෂෝ’ (Lucky Seven Show) නම් සංගීත වැඩසටහනට සී. ටී. ගේ සිංහල ගීත ඇතුළත් වූයේ ඒ වන විට ඔහුට එතරම් ඉංගිරිසි භාෂක රසිකයන් සිටි බැවිනි. ඉංගිරිසි ජාතිකයන් සී. ටී. ගේ මනමෝහනීය හඬට කොතරම් වසඟ වූවා ද යත් සී. ටී. හඬට ඇලුම් කළ මැඩම් ඩෙල්ගාඩෝ නම් යුරෝපීය ඔපෙරා ගායිකාව 1969 දී ඔහුට ලංඩනයේ ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා ආරාධනා කළා ය. ඒ අනුව විදේශයෙක සංගීත ප්‍රසංගයක්‌ පැවැත්වූ මුල් ම ශ්‍රී ලාංකික ගායකයා වූයේ සී.ටී. ය. 1969 ජූනි 24 වැනි දා ලංඩන් නුවර පොදු රාජ්‍ය මණ්‌ඩල ශාලාවේ දී යුරෝපීයයන් වෙනුවෙන් සිංහල ගීත ගැයූ සී.ටී. ප්‍රනාන්දු “රන් හඬ” (The Golden Voice) සම්මානයෙන් ද පිදුම් ලැබී ය. පසු දා සී. ටී. හා පැට්රික් දෙනිපිටිය බී. බී. සී. ගුවන් විදිලි සේවයේ සජීව සම්මුඛ සාකච්ඡාවකට ද සහභාගී වූ හ. එ දා ඒ පිළිසඳර මෙහෙයැවූයේ එ වක ‘බී. බී. සී. සන්දේශයේ’ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ද මැල් ය. සිංහල සේවය අනුයමින් බී. බී. සී. ලෝක සේවයේ වෙනත් විදේශ සේවාවන් ද එ සේ සී. ටී. හා සංවාද පවත්වා විකාශය කොට තිබේ.

නාවලපිටියේ ශාන්ත මේරි දේවස්ථානයේ කන්තාරු ගැයීමෙන් ගායනයෙහි බුහුටිකම් ලත් සී. ටී. ගේ සවන්හි ලැගුම් ගෙන තුබුණේ බටහිර නාද රටා ය. එ බැවින් ඔහු ගේ තනු රචනාවලින් දේශීය නාද මාලා අපේක්‍ෂා කරනු උගහට ය. සී. ටී. ගේ නිර්මාණවලින් දක්නට ලැබුණේ බටහිර ජනප්‍රිය ගීත ආකෘතින්හි ආභාසය යි. සී. ටී ගේ ගීතවලට හා ඉදිරි පත් කිරීමේ ශෛලියට නැට් කිංකෝල් නම් ඉංගිරිසි ගායකයා ගේ ආභාසය ලැබී ඇති බව නදීක ගුරුගේ පෙන්වා-දෙයි. ඔහු ගේ “සැළලිහිණි කොවුල් හඬ” ගීයෙන් “There’s a tavern in the town” නම් ඉංගිරිසි ගීයේ යම් ප්‍රතිරාවයක් ඇසෙන බව වරක් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සඳහන් කොට තිබේ. යනීනා නම් පෝලන්ත ගායිකාව 70 දසකයේ දී තැටිගත කළ ගීයක ආභාසයක් සී. ටී. ගේ “බේරෙන පැණි බිඳු රතු මී වද බඳු” ගීයේ තනුවෙන් පිළිබිඹු වන බව මහාචාර්ය සුනිල් ආරියරත්න දක්වයි. එ මෙන් ම සී. ටී. ගේ “සීගිරි සුකුමාලියේ” ගීය බොසානෝවා රිද්මයෙන් (Bosanova Rhythm) ලංකාවේ බිහි වූ පළමු ගීය ලෙස සැලැකේ. ඔහු ගේ “රන්වන් රන් කෙඳි පීරලා” ගීය සිංහල ගීත සාහිත්‍යයේ මුල් ම රොක් ඇන් රෝල් (Rock & Roll) ගීතයකි. එ මතු නො ව, සී. ටී. ගේ ගීතවලින් ස්පාඤ්ඤ ගීත සම්ප්‍රදායයේ පැහැදිලි ආභාසයක් දැකිය හැකි බව බී. බී. සී. මාධ්‍යවේදී ජෝන් මයර්ස් (John Myers) සඳහන් කැරැ තිබේ.

නොයෙක් බටහිර සංගීත සම්ප්‍රදායයනට අනුගත සිංහල ගීත නිර්මාණ බිහි කිරීමට අමතර ව බටහිර පන්නයේ ගායනාලංකාර සිංහල ගීත නිර්මාණවල යෙදීමෙන් රස ජනනය කිරීම ද සී. ටී. උත්සුක වී තිබේ. රීටා ජෙනිවිව් ප්‍රනාන්දු (ලතා වල්පොළ) ඇතුළු පිරිසක් සමඟ ඔහු ගැයූ ජනප්‍රිය කිතු බැති ගීයක් වන “රෑ තරු බබළනවා” ගීයෙහි හඬ ප්‍රතිරාවය හා අධිප්ලුතිය (Echoing and Overlapping) නම් බටහිර ගායනාලංකාර යොදා-ගෙන තිබේ. එ මෙන් ම යුග ගීයක් නො වන “අපි ඇවිදිමු හඳ පානේ” ගීයෙහි අන්තරා කණ්ඩයෙහි (Interlude) පමණක් කාන්තා හඬක් සුසංගතිය (Harmony) හා ගූමනය (Humming) පිණිස යොදා-ගෙන තිබේ. මේ සී. ටී. ගේ සංගීත විෂයක අත්හදාබැලීම් ය.

සී. ටී. හට පූර්වයෙහි සිංහල ගීයට බටහිර ලක්ෂණ මුසු කිරීමට ප්‍රමුඛ වූවන් අතර මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, පී. ඩී. වින්සන්ට් පෙරේරා හා ආර්. ඒ. චන්ද්‍රසේන ආදිහු වෙති. එහෙත් සිංහල ගීත සාහිත්‍යයේ බයිලා නො වන බටහිර ගී ආරක් බිහි කිරීමට ප්‍රමුඛ වූයේ මෙ ලෙස බටහිර සංගීත සම්ප්‍රදායයන් හා ගායනාලංකාරයන් සිංහල ගීතයට හඳුන්වා-දුන් සී. ටී. ය. ඔහු ගේ ප්‍රමුඛත්වයෙන් බිහි වූ මේ ගීත සම්ප්‍රදායය සිංහල ජනප්‍රිය ගීත (Sinhalese Pop) යනුවෙන් හඳුන්වන ලද්දේ එවක ගී තැටි නිෂ්පාදකයකු වූ ජෙරල්ඩ් වික්‍රමසූරිය විසිනි.

ජනප්‍රිය ගීත සම්ප්‍රදායයේ අවශ්‍ය අංගයක් වන ප්‍රාසංගිකත්වය පිළිබඳ ව පර්යේෂණ කළ අයකු ලෙස ද සී. ටී. හඳුනා-ගත හැකි ය. ඊට හොඳ ම නිදසුන ඔහු ගැයූ “පරවුණු මල් නැවැත නැතේ පිපෙන්නේ” ගීය යි. එහි මුල් තැටිගත කිරීම ම සජීවී සංගීත ප්‍රසංගයෙක දී ගැයුණු ගීයක ස්වරූපය ගනී. ගීතය අතරතුර ප්‍රසංග වේදිකාවෙක උද්දාමයෙන් හඬ නඟන්නවුන් ගේ නොයෙක් කෑ ගැසීම් ඇසේ. මේ වනාහි මින් පෙර කිසිවකු ගේ ගීයක දක්නට නො ලැබුණු ලක්ෂණයෙකි. එ වක පැවැති අවම ශිල්පීය පහසුකම් භාවිතයෙන් මෙ වැනි අත්හදා බැලීමක් කිරීම ප්‍රශංසනීය වේ. සී. ටී. ගේ සජීවී ගායනයේ තුබූ ප්‍රාසංගිකත්වය හා එ වක ඔහුට තුබූ ජනප්‍රියතාව කෙතෙක් ද යත් ඔහු ගේ සංගීත ප්‍රසංග බැලීම සඳහා ප්‍රසංග ශාලාවන්හි දොරජනෙල් කඩා-ගෙන ජන ගඟ ගැලූ අවස්ථා ඕනෑ තරම් පැවැති බව ඔහු ගේ රසිකයෝ අදත් සිහි කෙරෙති.

එ කල ජනප්‍රියත්වයේ මුදුන් ඉමෙහි සිටි සී. ටී ගේ ජනප්‍රිය සංගීත අනන්‍යතාව ගුරු කොට-ගෙන නිර්මාණ කරණයට අවතීර්ණ වූ ශිල්පීහු බොහෝ වූ හ. ඒ අතර සිංහල කණ්ඩායම් සංගීතයේ පුරෝගාමියා වූ ක්ලැරන්ස් විජේවර්ධන කැපී-පෙනේ. ‘ලොස් කැබරලොස්’ නම් කැලිප්සෝ සංගීත කණ්ඩායමේ නායකයා වූ නෙවිල් ප්‍රනාන්දු ද ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූයේ සී. ටී. ගේ ගී ගයමිනි. ඔහු කලක් තිස්සේ අඛණ්ඩ ව සී. ටී. ගේ ගී ගැයූ නිසා වෘත්තීය ගායකයකු වූ සී. ටී. අපහසුතාවට පත් වූ අතර නෙවිල් ප්‍රනාන්දු ස්වතන්ත්‍ර ගීත ගැයීමට පෙලැඹූ ප්‍රධාන සාධකයක් වූයේ ද මේ අරබයා සී. ටී. ගෙන් එල්ල වූ විරෝධය යි. කෙසේ නමුත් ක්‍රිස්ටෝපර් පෝල්, සී. ඩී. ෆොන්සේකා (ඈත කඳුරැලි සිඹ සිඹ දැවටිලා), කාන්ති වක්වැල්ල (දුර පෙනෙන තැනිතලා), සිඩ්නි ආටිගල (පැලේ වසන රන්මලී), රෝහිත ජයසිංහ (සෝබන සැන්දෑවේ සීතල මඳ පවනේ) යන ශිල්පීන් පෙරට ගෙන ගියේ සී. ටී. බිහි කළ සිංහල පොප් ගී ආර බව ඔවුන් ගේ නිර්මාණ විමසා බැලූ කල පෙනේ. පාසල් වියේ දී සී. ටී. ගේ ගී ගායනා කළ විජය කුමාරතුංග ගේ “රෝස සිහිනයේ සිනා රේඛා” ගීයෙන් සී. ටී. හඬේ ඡායාවක් ඇසෙන බවත් ජිප්සීස් සුනිල් පෙරේරා ගේ බොහෝ මුල් නිර්මාණ සී. ටී. ගේ ආභාසය පිළිබිඹු වන බවත් සුනිල් මිහිඳුකුල පෙන්වා-දෙයි. මේ අනුව සී. ටී. හුදු ගායකයකු ලෙස ලඝු කළ හැකි නො වේ. ඔහු සිංහල ගීත සාහිත්‍යයේ යුග කාරක පුරුෂයෙකි.

සී. ටී. ගේ ගීත ජනාදරයට පාත්‍ර වීමට ප්‍රධාන හේතුවක් වූයේ ඒවාහි සරල පදමාලාව හා මධුර සංගීත සංයෝජනය යි. ඒ වන විට සිංහල ගීත සාහිත්‍යය ගිල-ගෙන පැවැති සංස්කෘත පද බහුල යාන්ත්‍රික භාෂාවකින් ලියැවුණු පද මාලා වෙනුවට සී. ටී. තෝරා-ගත්තේ ඉතා සෞම්‍ය වාංමාලාවකින් සෞම්‍ය අනුභූතීන් ප්‍රතිනිර්මාණය කැරෙන පද මාලා බව පෙනේ. “කිම ද සුමිහිරියේ”, “ආනෙ ඩිංගක් ඉන්න කෝ”, “බේරෙන පැණි බිඳු”, “ලෝ අඩ නින්දේ”, “දවස ගෙවී දැන් ටික ටික” ආදි බොහෝ පද මාලා මීට නිදසුන් කොට පෙළ ගැස්විය හැකි ය. සුනිල් සාන්ත හැරුණු කොට ඒ වන විට හෙළ ගීයේ හද බස වටහා-ගෙන සිටි ශිල්පීන් කිහිප දෙනා ගෙන් අයකු ලෙස සී. ටී. හැඳින්වීම සාධාරණ ය. මේ සී. ටී. ගේ ගීත සාහිත්‍යයේ තවත් පැතිකඩකි.
සී. ටී. ගැයූ බොහෝ ගී ආනුභුතික හා ආකෘතික නව්‍යතාවෙන් ද අනූන විය. එ නම් වස්තු විෂයය හා ඉදිරි පත් කිරීම අතින් ඔහු ගේ බොහෝ නිර්මාණවල අපූර්වත්වය නොමඳ ව ගප් වී තිබිණි. “කැලෑ මල නො වේ”, “සරුංගලේ සරුංගලේ”, “මා බාල කාලේ”, “රෑ පැල් රැකලා”, “අපි ඇවිදිමු හඳ පානේ” වැනි ගීත ඊට පොදුවේ නිදසුන් කළ හැකි ය. ඊට අමතර ව තම ජීවිතයේ සමීපතමයන් හා එදිනෙදා සමාජයේ නිතොර හමු වන පුද්ගල චරිත පිළිබඳ ව ගැයීම ද සී. ටී. ගේ විශේෂත්වයෙකි. “සමන් කැකුළු අතුරලා” ගීය සී. ටී. ගැයුවේ පිය බිරිය වූ ධනවතී වෙනුවෙනි. “බිළිඳා නැළැවේ” ගීය ඔහු ගැයුවේ ඔහු ගේ එක ම පුතු වූ ප්‍රියන්ත වෙනුවෙනි. උක්ත ගීත ද්වයයෙහි අන්තර්ගත මුදු හැඟුම් හා සිලිටි බස් වහර නිසා එ වක මේ ගීත නොමඳ විචාරක අවධානය දිනී ය. අනෙක් අතට සැමියකු ගේ දෘෂ්ටියෙන් බිරිය ගැනත් පියකු ගේ දෘෂ්ටියෙන් බිළිඳු පුතු ගැනත් ගැයුණු ගී හැටේ දසකයට පෙර සිංහල ගීත සාහිත්‍යයේ කොපමණ තිබිණි දැ යි සොයා බැලිය යුතු ය. එසේ ම සී. ටී. “මගෙ සුදු මාමේ” ගීයෙන් ගැයුවේ රා මදින්නකු ගැන ය; “බරබාගේ” ගීයෙන් ගැයුවේ ගැල්කරුවකු ගැන ය; “එළවළු පලා කියා” ගීයෙන් ගැයුවේ එළවළු වෙළෙන්දියක ගැන ය. මේ ගී තුන ම බටහිර සංගීතය මුසු නිර්මාණ වුව ද ඇරැඹෙන්නේ සීපද ගායනාවලින් වීම විශේෂත්වයෙකි. ගැමි සුන්දරත්වය හා ගැමි චරිත පිළිබඳ ව ගැයුණු මෙ වැනි ඇතැම් ගීවල ඇත්තේ නාගරිකයකු ගම දෙස හෙළන දෘෂ්ටියක් බව බොහෝ විචාරකයන් ගේ මතයෙකි.

හැටේ දසකයේ දී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ම ගායකයකු වූ නමුත් සී. ටී. ගීත දහස් ගණනක් ගැයූ ශිල්පියෙක් නො වී ය. ඔහු ගැයූ ගීත සංඛ්‍යාව එකසිය හැත්තෑ පහ (175) නො ඉක්මවයි. ඒ අතුරින් “මී අඹ වනයේ”, “මී වදයකි ජීවිතේ”, “ලක්‍ෂ ගණන් වස්තු ලැබී”, “ඈත කඳු රැලි”, “හිමේ සමන් දෙවි පිහිටෙන්”, “සෝබන ලු කොළඹ”, “ළා තණ නිල්ල යි”, “නිසයුරු මුතු වැල්”, “අසරණයා දුගී” වැනි ගීත දොළොසක් (12) පමණ චිත්‍රපට ගීත විය. සී. ටී. ගේ ගී ගොනුවේ දේශාභිමානී ගීත, කිතු බැති ගීත, මවු ගුණ ගීත, ප්‍රේම ගීත, ළමා ගීත, විනෝද ගීත, ආදි හැම ආරක ම ගීත දැක්ක හැකි ය. ඔහු නො ගැයුවේ බුදු ගුණ ගී සහ විරහ ගී පමණි. බෞද්ධයකු නො වූ සී. ටී. බුදු ගුණ නො ගැයීම ගැන විස්මයයට පත් වන්නට දෙයක් නැත. එහෙත් ඔහු විරහ ගී නො ගැයුවේ ඔහු ගේ සෞන්දර්යවාදී ජීවන දර්ශනය හා එවැනි අනුභූතීන් නො පෑහුණු නිසා බව කිය හැකි ය. ඔහු ගැයූ “මී වදයකි ජීවිතේ”, “පරවුණු මල් නැවැත නැතේ පිපෙන්නේ”, “අවදි වන්න අවදි වන්න”, “අද ද ඊයෙ වාගෙම සන්තොසින් ගෙවේ වා”, “රන මොනරයි රන මොනරියි විලාසේ” වැනි ගීතවලින් පිළිබිඹු වන්නේ ඔහු ජීවිතයේ සුන්දරත්වය උපරිමයෙන් ආස්වාදය කළ එපිකියුරියානුවකු (Epicurean) වූ බව යි. ජීවිතයේ දුඃඛ පක්‍ෂය බදා-ගෙන විස්සෝප වීම සී. ටී. ගේ ජීවන දර්ශනය නො වූ බව මේ ගීත කිහිපයෙහි පදමාලා පිරික්සීමෙන් පැහැදිලි වේ.

ගුවන් විදිලියෙන් සරල ගී ගායනයට පිවිසි සී. ටී. 1951 වසරේ පටන් ‘හිස් මාස්ටර්ස් වොයිස්’ (HMV), ‘ෆිලිප්ස්’ (Phillips), ‘ජෙම් ටෝන්’ (Gem Tone), ‘කොළොම්බියා’ (Colombia), ‘සූරිය’ (Sooriya), ‘සිල්වර් ලයින්’ (Silver Line) වැනි තැටි සමාගම් වෙතින් තම ගීත තැටි නිකුත් කෙළේ ය. එක් දහස් නවසිය හැත්තෑ ගණන්වල අග ‘ප්‍රියන්ත’ නාමයෙන් ද ඔහු ස්වකීය ගී තැටි කිහිපයක් නිෂ්පාදනය කොට තිබේ. මීට අමතර ව ‘සී. ටී. හඬ - 1’, ‘සී.ටී. හඬ - 2’, ‘සුවඳ රෝසමල්’ යනුවෙන් ස්වකීය ගීතවල පදමාලා රැගත් පොත් කීපයක් ම සී. ටී. විසින් පළ කොට තිබේ. ‘සී. ටී. හඬ - 1’ ගීත සංග්‍රහයට ප්‍රස්තාවනාව සැපැයූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එහි ලා සී. ටී. හඳුන්වනුයේ ‘වර්තමාන සිංහල සංගීතය නැංවීමට උපකාර වූවන් අතර ප්‍රමුඛ ස්ථානයක් දරන්නකු’ ලෙසිනි. සී. ටී. ගේ රුව කිසි දා පුඤ්චි තිරයට නො නැඟුණේ මෙ රට රූපවාහිනී මාධ්‍යයේ ආගමනයට පළමු ව ඔහු මෙලෝ හැර ගිය බැවිනි. එ බැවින් සී. ටී. ගේ රුව දැක-ගත හැක්කේ ඔහු සුළු චරිත රැඟූ ‘දෙයියන්නෙ රටේ’, ‘ගම්පෙරළිය’, ‘පාරා වළලු’ යන චිත්‍රපට කිහිපයෙන් පමණි.

අපමණ ජනාදරයට පාත්‍ර වූ ගායන ශිල්පියකු වුව ද සී. ටී. හට ක්‍ෂේත්‍රය තුළ අඩන්තේට්ටම් හා කෙණෙහෙළිකම් අතින් අඩුවක් තුබුණේ නැත. මුලින් ම සී. ටී. ප්‍රබුද්ධයන් ගේ ගර්හාවට ලක් වූයේ ඔහු ගේ උච්චාරණය නිසා ය. ඇතැම් සිංහල වදන් සී. ටී. හට උච්චාරණය වූයේ අසිංහල විලාසයකිනි. මෙය සී. ටී. හිතාමතා කළ වැඩක් නො වේ. ඔහු ගේ දත් දෙපෙළෙහි පිහිටීමත් ඉංගිරිසි උච්චාරණයෙන් ලත් ආභාසයත් නිසා අ, ඔ වැනි ස්වර ශබ්දත් ච, ජ, ස, ත, ද වැනි ව්‍යඤ්ජන ශබ්දත් ඔහුට උච්චාරණය වූයේ ඉංගිරිසි භාෂකයකුට මෙනි. මෙය ඇතැම් විචාරකයන් ගේ බරපතළ දෝෂ දර්ශනයට ලක් විය. එහෙත් එවක මොහිදීන් බෙග් “ටිකිරි මෙණිකෙ එම්බුල ගෙනල්ලා” යි ගයන විට නිහඬ ව පසු වූ ගුවන් විදිලියේ ප්‍රබුද්ධයන් සී. ටී. ගේ උච්චාරණය ගැන පමණක් කිපී ගෝරනාඩු කිරීම මධ්‍යස්ථ විචාරකයකු වූ ආචාර්ය තිස්ස අබේසේකර ගේ ඉමහත් විවේචනයට ලක් විය.

1977 දී හෘදයාබාධයක් වැළැඳී සී. ටී. මිය ගිය ද ඊට සිවු වසරකට පෙර 1973 දී ඔහු මානසික ව මරා දැම්මේ ගුවන් විදිලිය බව සුනිල් මිහිඳුකුල අවධාරණයෙන් පවසයි. ඒ වසරේ ගුවන් විදිලි ගායක ගායිකාවන් ශ්‍රේණිගත කිරීම සඳහා පැවැති කටහඬ පරීක්‍ෂණයෙන් සී. ටී. විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු බවට පත් වූයේ නැත. එ දා පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සුනිල් සාන්ත, ඩබ්ලිව්. ඩී. අමරදේව, එච්. ඩබ්ලිව්. රූපසිංහ යන තිදෙනා අතරින් සුනිල් සාන්ත හැරුණු කොට අනෙක් දෙදෙනා ගේ ම මතය වූයේ, පෙරදිග සංගීතයේ තානාලංකාර ගැයීම අතින් සී. ටී. දුර්වල බව යි. ඔහු විශිෂ්ට ශ්‍රේණියේ ගායකයකු ලෙස ශ්‍රේණිගත නො කිරීමට හේතුව ලෙස ඔවුන් දැක්වූයේ මෙය යි. මේ තීරණයට විරුද්ධ වූ සුනිල් සාන්ත කියා සිටියේ, යම් කටහඬක ගායන ශක්තිය තීරණය කිරීමේ දී ඒ ගායකයාට පුරුදු ගායන සම්ප්‍රදායය අනුව කරන ලද ගායනයක් අනුව වර්ගීකරණය කළ යුතු බව යි. සී. ටී. හට සිදු වූ අසාධාරණය පිළිබඳ ව කතා කළ සුනිල් සාන්ත මෙසේ ද කියා තිබේ: “අප ගේ කාර්යභාරය සම්ප්‍රදායයක් පිළිබඳ ප්‍රශ්නයක් නො ව ගායන හැකියාවක් පිළිබඳ ප්‍රශ්නයකි. සංගීතය නිල වසයෙන් කිසි යම් සම්ප්‍රදායයකට සීමා කළ නොහැකි ය. එ සේ කිරීම අසාධාරණයකි.” වරක් සී. ටී. ගැන ලිපියක් ලියූ ආචාර්ය තිස්ස අබේසේකර මේ සිද්ධිය මොනොවට විස්තර කොට ඇතැ යි සුනිල් මිහිඳුකුල වැඩි දුරටත් සඳහන් කරයි.

ජීවමාන ව සිටිය දී ම මෙතරම් අසාධාරණයට ලක් වූ සී. ටී. අභාවප්‍රාප්ත වූ පසු වත් නිසි ඇගැයුමකට හෝ හැදෑරුමකට හෝ විෂයය නො වූ බව අප ගේ නිරීක්‍ෂණය යි. සී. ටී. වූකලී සිංහල ගීත සාහිත්‍යයේ නව ආරක් බිහි කළ ශිල්පියෙකි; ළමා ගී සාහිත්‍යය සුපෝෂණය කළ වැඩිහිටියෙකි; ගීයේ හද බස සොයා ගිය රසවතෙකි; සංගීත විෂයයෙහි නව අත්හදාබැලීම් කළ පර්යේෂකයෙකි; සිංහල ගීය අන්තර්ජාතිකයට ගෙන ගිය දේශාටකයෙකි. එ මතු නො ව 1952 දී එංගලන්තයේ විණ්ඩ්සර් මාළිගයේ පැවැති එළිසබෙත් රැජිනිය ගේ මෞලි මංගල්‍යයේ දී ගීත ගැයූ සිංහල ගායකයා වූයේ ද සී. ටී. බව බොහෝ දෙනා නො දනිති. මෙ වන් අද්විතීය ශිල්පියකු වූ සී. ටී. ගේ වියෝවින් පසු තිස් පස් වසරක් තිස්සේ සී. ටී. පුත්‍ර ප්‍රියන්ත ප්‍රනාන්දුට දිවයින පුරා සංගීත ප්‍රසංග සඳහා ලැබෙන අඛණ්ඩ ආරාධනා සමුදායය ම සී. ටී. ගේ අවිච්ඡින්න ජනප්‍රියතාව පිළිබඳ අභේද්‍ය සාක්ෂ්‍ය යි. එහෙවු සී. ටී. පිළිබඳ විධිමත් ශාස්ත්‍රාලයීය අධ්‍යයනයක් මේ දක්වා සිදු නොවීම නම් ඓතිහාසික අසාධාරණයක් බව සඳහන් කළ යුතු ම ය.


ආශ්‍රිත කෘති
අබේසේකර, තිස්ස (1971). “සිතුවිලි” පරසතු (ඔක්තෝබර 15). කොළඹ.
ආරියරත්න, සුනිල් (2002). ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීතය. කොළඹ: ඇස්. ගොඩගේ සහෝදරයෝ.
ගුරුගේ, නදීක (2013). “නූතන ගීතයේ නව ප්‍රවණතා”. ඉපිටුම: හඬ: ගුවන් විදුලි සඟරාව 9 (2) ජනවාරි - මාරතු. තිලකරත්න කුරුවිටබණ්ඩාර (සංස්.). කොළඹ: ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව. පි. 164-179.
මිහිඳුකුල, සුනිල් (2012). “රැජිනගේ මෞලි මංගල්‍යයේ ගී ගැයූ ශ්‍රී ලාංකේය ගායකයා”. දිනමිණ - බද්දර මල්ල (නොවැම්බර 23). කොළඹ: ලේක්හවුස්.
Mahendra, Sunanda (2009). “C. T. Fernando – As I remember him”. Daily News (17th October). Colombo: Lake House.

ගනුෂ්ක රන්දුල විසිනි.
-----------------------------------------------------------------------

01.අවදිවන්න අවදිවන්න

අවදිවන්න අවදිවන්න
දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
සිතනවාට වඩා සොදුරු
විනෝද බර ලෝකෙක අපි
ජීවත්වන්නේ .......

සුසුම් හෙලන කලට දුක් වෙලා
ඔබත් සමග කව්ද අඩන්නේ
ටිකක් සතුටු වන්න සැනසිල
දහසක් ඒ ලෙස හිනැහෙන්නේ

බලනු මැනවි කුරුළු කැදැල්ලේ
සතුට සැපත රස ඉතිරෙන්නේ..//
එහෙම ඉදිමු සිත සැනසිල්ලේ
දුකිනි මිනිස් කම ලබන්නේ ...

අවදිවන්න අවදිවන්න..

දුක සැප දෙක පෙරලි පෙරලි යයි
යන කාලය නැත නවතින්නේ..//
ඊයේ වගේද අද ටිකක් සුබයි
අදට වඩා හෙට හොද වෙන්නේ....

අවදිවන්න අවදිවන්න...

ගායනය : සී.ටී.ප්‍රනාන්දු

02.පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ

පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ
මගේ කුඩා නිවෙස කඩා බිම නොදමන්නේ
වනේ පුරා සොයා ගොසින් කෝටු කඩාලා
කුඩා කුඩා කැබලිවලින් මෙහි ගෙනවිල්ලා
ගසේ මුදුන් අත්ත උඩින් කෝටු තනාලා
උදේ පටන් දවස පුරා කෝටු තනාලා

කොළේ කොළේ දමා කුඩා නිවෙස තනන්නේ
මගේ දයා බිරිඳ නිතර එය සරසන්නේ
රැළේ රැළේ පුළුන් දමා යහන සදන්නේ
අනේ මටයි ළදරුවනේ එය නොකඩන්නේ
දෙමාපියන් සෙනේ වෙතේ තම දරුවන්ටා
ළමා ඔබෙන් අපට නැතේ මිහිපිට ඉන්ටා
සමාවෙලා මෙ අප වෙතේ දිවි රැකගන්ටා
නමා යදිමි දෙන්න පුතේ මිහිපිට ඉන්ටා

ගායනය : සී.ටී.ප්‍රනාන්දු

03.මගෙ සුදු මාමේ

කළුවන් කළු රුවයි අප ගම මදින්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
එන එන කැකුළු මල් නෑරම තලන්නා
දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා

මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ

ගහින් ගහට අතුර දිගේ නගින්නා
ළපටි කැකුළු මල් බල බල තලන්නා //
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
අනේ වාසනාවන් මේ මදින්නා

ළපටි රා තරුණ අපටයි බෙදන්නේ
පැහුණු රා මහළු අයටයි ඔබින්නේ //
විනාකිරට ඉතුරු කොටස තබන්නේ
අවුරුදු අච්චාරුව ඉන් සදන්නේ

කිතුල් මල් තපා තෙල් දිය බාන්නා
රුහුණේ මී කිරට පැණි නිපදවන්නා //
රසැති කිතුල් පොල් හකුරුද හදන්නා
ගමට කප්රුකක් මේ රා මදින්නා

මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ
රා පොඩියක් දී මා සනසන්නේ


ගායනය, සංගීතය - සී.ටී. ප්‍රනාන්දු
ගී පද - සුසිල් සේනාධීර

04.රන්වන් රන්කෙඳි පීරාලා

රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා
රන්වන් රන්කෙඳි පීරාලා
චන්දන කල්කෙන් නෑවිලා
කිංකිණි රූපුර නාද දී
මල් මල් මුහුණක් ඒ ඇදී
උකුල සලාලා බඳ නලවාලා
රඟන්න සියුමැලියේ //

හදේ වීනාව දී නාද දේ
නයනානන්ද රූපේ අගේ
හදේ වීනාව දී නාද දේ
නයනානන්ද රූපේ අගේ
ලියනාරී ලතා නුඹ නැත්තේ කතා
රණ හංසිය වගේ විල් දියේ
රමණීයයි ඔබේ නෙත් ප්‍රියේ

රන්වන් රන්කෙඳි පීරාලා....

නෙතඟේ බැල්ම නිලුපුල් වගේ
මුදු සේ දන්ත කල්‍යාණ වේ
නෙතඟේ බැල්ම නිලුපුල් වගේ
මුදු සේ දන්ත කල්‍යාණ වේ
සුර ලෝකෙන් ගෙනා සළු සුළගේ වනා
රණ මයුරී ලෙසේ මල් ලොවේ
රඟපානු සිනා පා ලොවේ

උකුල සලාලා බඳ නලවාලා
රඟන්න සියුමැලියේ....


ගායනය - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - නෙවිල් ප්‍රනාන්දු


05.පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා කියා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ....

රෑන ගිරව් රෑන පිටින් ඉගිල ගියාදෙන්
සිහින විමන් සිහින ලොවෙන් මිදී ගියාදෙන්
සීත සුලං සීතලයේ හමා ගියාදෙන්
ඉන්න ටිකේ එකතු වෙලා ඉඳිමු විනෝදෙන්

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ....

කාසිපණම් අතේ මිටේ ලැබෙයි කියාලා
වාසි නොවී අවාසියක් වුණැයි හිතාලා
ශෝ‍ක නොවී ලද පමණින් සතුට සොයාලා
ප්‍රීති සිනා සීනු හඬින් ගයමු වයාලා

පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ...

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද රචනය - කරුණාරත්න අබේසේකර

06.මා සුකුමාලී

මා සුකුමාලී මහද දිනූ රමණී
කෝමල පාන්නී සුන්දර කළ්‍යාණී
මා හද ප්‍රීතී දෙනු අම පෙම් රසෙනී
ඔබ වේ මගේ හද මන්දිරේ ‍රැජිණී ප්‍රියේ

සිහිල ගෙන දෙන මේ
නාමු පෙම් නදියේ
ගීත ගයමිනි මේ
ටෘලල් ලලල් ලාලල් ලල්ල ලල
ප්‍රේම නැති ලෝකේ
දුකට මුල පෑදේ
විරහ ගිනිදැල්ලේ
පැටලි වැනසෙයි මා

ගායනය - සී. ටී. ප්‍රනාන්දු

07.සිහින ලොවේ මිහිර මැවූ මාලි

සිහින ලොවේ මිහිර මැවූ මාලි
සිනහ නගයි ඔබයි මනාලි
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ

මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම් ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
ඔය මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ

කවියන්ගේ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී

මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම් ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
ඔය මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ

කවියන්ගේ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ
මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය


08.සුවඳ රෝස මල් නෙලා

සුවඳ රෝස මල් නෙලා මාල ගොතාලා
ගෙලේ දමා ඉහේ ඔතා සිරස සදාලා

ඈත සීනියා පිච්ච ඩේලියා
බලා නෙළා ගනිමි මෙමා
උයනෙ සරාලා

මාල ගොතාලා ගීත ගයාලා //
තබා පතුල් රඟන රඟා
බලමු සියල්ලා

මිහිරි ගීත ගයා ගයා පේළි සැදීලා
සිනා පපා වටේ යතා නටති සිනා ලා
බාල වූ ළමා සදති මල් දමා
දෙපා පදින් පදට තබා කිකිණි සලාලා

දෑත නගාලා නේත්‍ර විදාලා
නමා කමල් පැදෙති සුරල්
රඟ පරදාලා

සුවඳ රෝස මල් නෙලා මාල ගොතාලා
ගෙලේ දමා ඉහේ ඔතා සිරස සදාලා


ගායනය - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - බී. එස්. පෙරේරා

09.කිමද සුමිහිරියේ

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ නැගෙන කැල්මේ
රහස නැත දන්නේ ... //

සෙවණැල්ල වගේ ඔබ එන විලසේ
මට දැනේ නිතර රහසේ
මුදු තොල් පොපියා කිසිවක් නොකියා
ඇයි යන්නෙ පැන විගසේ
හැම උදේම තනියම මෙසේ
හැම උදේම තනියම මෙසේ
ප්‍රිය ළඳේ ඔබව හමුවේ
කල්පනාව පෙම්බර හිනාව පින්බර
මගේ හිතට සුව දේ

කිමද සුමිහිරියේ....

කෙහෙරැල්ල වැටී නළලට සිරසේ
සිහිලක් දේ බොළඳ මුහුණේ
වන මල් පිපිලා බර වී නැමිලා
ළං වෙන්න එයි මැණිකේ
දුටුවාම හදවත ඔබේ
දුටුවාම හදවත ඔබේ
දුක නැසී සතුට ඇතිවේ
ඔබ ගියේ බලන් හිඳ
අගේ කරන්නද
කියන්න සුරතලියේ

කිමද සුමිහිරියේ....

ගායනය - සී. ටී. ප්‍රනාන්දු
පද රචනය - කරුණාරත්න අබේසේකර

10.මී අඹ වනයේ

මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ
ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ
ලා නිල් පාටට දිලිසෙන හින්දාද ඇස් දෙක නලවන්නේ..

සිහිනෙන් සිහිනෙට ඔබ එනවා
මොනවාද හිමිහිට මුමුණනවා
හදවත රිදුමද නවතිනවා
මොහොතින් යළි නොපෙනී යනවා..

බඳ වට සුදු ඔසරිය ඇඳලා
මල් පොකුරක් ඔබෙ අත තබලා
ලඟදිම මනමාලිය කරලා
ගෙනයන්නෙමි ඔබ මගෙ කියලා

මී අඹ වනයේ...


ගායනය - සී.ටී. ප්‍රනාන්දු

 

--http://sinduano.blogspot.co.uk/2015/01/blog-post_29.html

 

 

 

සිව් මංසල