22 April 2019
RSS Facebook Twitter   

නව රාජ්‍ය ආරක්ෂක ඇමතිට ඔත්තුවක්!

ruwan wijewaradanaපසුගිය ජනාධිපතිවරණ සමයේ පොලොන්නරුව ඇතුළු නැගෙනහිර පළාතේ සියළුම ප්‍රදේශවලින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජයට පත්කිරීම සඳහා ගංවතුර ආධාර මුවාවෙන් එම පළාත්වල ජනයාට බෙදා දීම සඳහා රුපියල් මිලියන 25 ක් ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යංශය විසින් ආරක්ෂක සේනා මූළස්ථානයේ නැගෙනහිර රෙජීමේන්තු සභාපතිගේ ගිණුමට බැර කර ඇත. මෙම මිලියන 25 ක මුදල ලැබී ඇත්තේ ඡන්දයට දින 5 කට කලින් එනම් පසුගිය ජනවාරි 03 වන දිනයි.

නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරාගේ ඉල්ලීමකට අනුව මෙම රුපියල් මිලියන 25 ක මුදල මහජන බැංකුව වැලිකන්ද ශාඛාවේ ගිණුම් අංක 254-100-100000340 නැමැති නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ රෙජීමේන්තු ආයතන සභාපතිගේ ගිණුමට ආරක්ෂක අමාත්‍යංශය මගින් එවා තිබේ.

ඉන්පසු එම මුදල් පහත සඳහන් ආකාරයට සේනාංකාධිපතිවරුන් අතර බෙදා දී ඇත.

22 සේනාංකාධිපති (ත්‍රිකුණාමල ප්‍රදේශය) බ්‍රිගේඩියර් රෝහිත ධර්මසිරි වෙත රුපියල් මිලියන 13 ක් ලබා දී ඇත. 23 සේනාංකාධිපති (පුනානි ප්‍රදේශය) බ්‍රිගේඩියර් දර්ශන හෙට්ටිආරච්චි වෙත රුපියල් මිලියන 5 ක් ලබා දී ඇත. 24 වන සේනාංකාධිපති (අම්පාර ප්‍රදේශය) බ්‍රිගේඩියර් රෝහණ බණ්ඩාර වෙත රුපියල් මිලියන 1 ක් ලබා දී තිබේ. ඉතිරි මිලියන 6 ක මුදල තවමත් ඉහත ගිණුමේ ශේෂය ලෙස පවතී.

මෙසේ ලැබුණු මුදල් වහාම අදාළ ප්‍රදේශවලට ගොස් ඡන්ද දායකයින්ට බෙදා දෙන්නැයි නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා කෙතරම් බලපෑම් කළද ඉහත කී සේනාංකාධිපතිවරුන් යුධ හමුදා මූළස්ථානයෙන් විමසා ඇත්තේ එසේ කිරීම මැතිවරණ පනත අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බැවින් එසේ බෙදා දීමට අවශ්‍ය නම් ලිඛිතව එය දන්වන ලෙසයි. නමුත් යුධ හමුදා මූලස්ථානය ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

කෙසේ නමුත් මේජර් ජෙනරාල් ලාල් පෙරේරාගේ නියෝගය ක්‍රියාත්මක වී නැත. අදාළ සියළු මුදල් මේ වන විටත් එකී සේනාංකාධිපතිවරුන්ගේ අදාළ බැංකු ගිණුම්වල පවතී. නව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය දිනේන්ද්‍ර රුවන් විජේවර්ධන මැතිතුමනි, මේ පිළිබඳව සොයා බලා වහා කටයුතු කරන්න. මීට වගකිවයුතු පුද්ගලයන් වහා නීතිය ඉදිරියට ගෙන එන්න.

 

 

අති විශේෂ